ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනි මහතා රචනා කළ කන්දඋඩ ගින්දර නවකතාව ගුණසේන සහ සමාගමේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්වුණි. ලංකා ඉතිහාසයේ ඉතා ගැටුම්කාරී අවධියක් මේ නවකතාවට පාදක වී තිබේ. මතු දැක්වෙන්නේ මෙම නිර්මාණ කාර්යය පදනම් කොටගෙන ඔහු සමග අප කළ සංවාදයකි.
● “කන්ද උඩ ගින්දර” ලංකා ඉතිහාසයේ මධ්‍ය කාලීන යුගයේ මහනුවර අවධිය සහ වංශ කතා ගත රාජ්‍ය දේශපාලන ඉතිහාසය දෙස සිතිවිලි අනුමානයකින් බලන්නට ගත් සාහිත්‍යයික උත්සාහයක්. කොහොම ද ඒ උත්සාහය පල ගැනුණේ?
මේ යුගය ඉතිහාසඥයන් හඳුන්වන්නේ අඳුරු යුගය (Dark Period) කියාලා. මේ අන්ධකාරයට හේතුව මූලාශ්‍ර හිඟකමයි. හමුවන මූලාශ්‍ර සියල්ලම ඉංග්‍රීසින් ලියාපුවා. ඉංග්‍රීසි ඉතිහාසඥයන් ලියාපුවා නෙවෙයි. ඉංග්‍රීසි ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරීන් එංගලන්තයේ යටත් විජිත බාර ලේකම්වරයාට ලියපු රාජකාරි ලියවිලි.
‘කන්ද උඩ ගින්දර’ට අයත් වන්නේ 1706 සිට 1716 පමණ දක්වා කාල පරායාසයක්. දෙවෙනි විමලධර්මසූරිය රජු අභාවප්‍රාප්ත වූ තැන සිට ඔහුගේ රන්දෝලි බිසවගේ පුත්‍රයා වූ කුණ්ඩසාලේ කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ වූ තැන් සිට වසර දහයක කාලයක්. අපි මේ කාලේ හඳුන්වන්නේ ලංකා ඉතිහාසයේ ලන්දේසි යුගය කියලා. ඒ යෙදුමම වැරැදියි. ලන්දේසීන්ට පෘතුගීසීන්ට ලංකාවේ යුගයක් තිබුණේ නෑ. පාසල් දරවන්ටත් උගන්වනවා පෘතුගීසි යුගය, ලන්දේසි යුගය හා ඉංග්‍රීසි යුගය කියලා. 1815 සිට ඉංග්‍රීසීන්ට මේ රටේ දේශපාලන අයිතිය තිබුණා. අනිත් දෙවර්ගයටම මේ රට අයත් වුණේ නෑ.
ඔවුන් ‘පහතරට’ යැයි හඳුන්වන මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළාට රාජ්‍යත්වය තිබුණ උඩරට ප්‍රදේශ (රටෙන් තුනෙන් දෙකක්) පාලනය කළේ සෙංකඩගල රජ්ජුරුවෝ.
ඒත් ඒ යුගය පිළිබඳ අපට වාර්තා හිඟයි. ඇයි? ඒ වෙනකොට අපේ ශාසනය පිරිහිලා, පිරිවෙන අහෝසි වෙලා, අධ්‍යාපනය අඩාළ වෙලා. අපේ අධ්‍යාපනය රැඳිලා තිබුණේ පිරිවෙන හරහායි. ශාසනය පිරිහුණේ සීතාවක යුගයේදී. විජයබා කොල්ලයේ සිටම මායාදුන්නේ, සීතාවක රාජසිංහ වගේ රජවරු පෘතුගීසීන් එක්ක සටන් කළා මිසක් විහාරයක් පිරිවෙනක් ගැන හිතුවෙ නෑ. ඒ අස්සේ ආඬිපකීර්ලා රජ ගෙදර බින්න බැස්සා. අරිට්ටකීවෙන්ඩු පෙරුමාල්ගෙන් බමුණු බණ අහපු සීතාවක රජ්ජුරුවො ශාසනේට වින කෙරුවා. සංඝයාවහන්සේ අහෝසි වෙලා ගණින්නාන්සේලා විහාර බූදල අයත් කරගත්තා. අධ්‍යාපනය, අකුරු ශාස්ත්‍රය පිරිහුණා.
ඒ හේතුවෙන් අතීතයේ සිට පැවැත ආපු මහා විහාරික ඉතිහාස රචනාව මේ යුගයේදී පූරණය වුණේ නෑ. මට විෂය වෙච්චි නරේන්ද්‍රසිංහ යුගය පිළිබඳ මහාවංශයේ ඇත්තේ ඉතා කුඩා පරිච්ඡේදයක් පමණයි. ඒකයි මා සිතිවිලි අනුමානයෙන් මේ අන්ධකාර යුගය අන්වීක්ෂණය කරන්නේ.
● “සැබෑ ඉතිහාසය පරිකල්පනයට නගා සාහිත්‍ය නිර්මාණයක් දක්වා රැගෙන ඒම ලේසි පහසු දෙයක් නොවේ. ඉතිහාස සිද්ධි පරිකල්පනාත්මකව ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට නිර්මාණකරුවකු තුළ පැවැතිය යුතු විෂයාවබෝධය, සංයමය හා භාෂා ප්‍රයෝග වැදගත් වන්නේ කවර අන්දමින් ද?
ඉතිහාසඥයකුට වඩා සාහිත්‍ය නිර්මාණකාරයකුගේ යෙදවුම වෙනස්. ඉතිූආස කියන පාලි පදයේ තේරුම එය එසේ සිදු වුණි කියා ලියා තබන එක. එය ප්‍රශ්න කිරීම, තර්ක කිරීම සහ විග්‍රහ කිරීම නිර්මාණකරුවාගේ කාර්යයි. අපි මහාවංශය ලියුවාට අපේ ‘සිතිවිලි වංශය’ ලියුවේ නෑ. මහාවංශකරුවාගේ අභිලාෂය සිද්ධි වාර්තා කිරීම පමණයි. ඒත් ඒ සිද්ධි තුළ දෝලනය වන සිතිවිලි සහ හැඟීම් ගවේෂණය කිරීම සාහිත්‍යකරුවාගේ කාර්යයි.
මම ඉව කරන්නේ ඒ ‘සිතිවිලි වංශය’යි. මහාවංශය පුරා අපි හෙව්වොත් අපට මේ සිතිවිලි ඉව කළ හැකියි. මා එය හඳුන්වන්නේ ‘සිතිවිලි අනුමානය’ කියා. එය ඉතිහාසකරුවාගේ කාර්යය නොවෙයි. කලාකරුවාගේ කාර්යයි. ඉතිහාස විද්‍යාව හැදෙන්නේ මූලාශ්‍ර තුනක නිගමනවලින්. සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සහ ජනශ්‍රැතික මූලාශ්‍ර. මේ තුනෙන් සිතිවිලි අනුමානය සඳහා වැදගත් වෙන්නේ ශ්‍රැතියයි.
ඒ නිසා මට මහාවංශය ආදි සාහිත්‍ය මූලාශ්‍ර එක්කම වැදගත් වුණා ‘නෝක්කාඩු මාලය’, ‘ශ්‍රී නාමය’, ‘මන්දාරම් පුර වැනුම’, ‘හඟුරංකෙත ජනකවි’, ‘කුණ්ඩසාලේ ජන කවි’ වැනි ජන සාහිත්‍ය කෘති. ඒවාවල ඇත්තේ සිද්ධි සහිත හැඟීම් සිතිවිලි. ඉතින් නිර්මාණකරුවකුට මේ යුගයේ ඇති ඓතිහාසික අන්ධකාරය හැඟීම්බරයි. මේ මන්දාරම සිතිවිලි සාහිත්‍යයි. ඒ භීරමේ ජීවත් වූ ගෑනුන්ගේ මිනිසුන්ගේ හැඟීම් අපේ ජනශ්‍රැති වායුගෝලයේ තාමත් තැන්පත් වෙලා තියෙනවා.
ඒවා ඉතිහාසඥයාගේ වාර්තාවට හෝ පුරාවිද්‍යාඥයාගේ කාබන් 14 යන්ත්‍රයට හෝ හසු නොවෙන්න පුළුවන්. ඒත් නිර්මාණ ශිල්පියාගේ අන්වීක්ෂණයට ඒ සිතිවිලි ගෝචර වෙනවා. ඒවා කියැවීමේ භාෂාව තමයි නිර්මාණ භාෂාව. භාෂාවක ඇති ව්‍යක්ති, ව්‍යංජති, භාවකත්ව, භෝජකත්ව, අලංකාර ශාස්ත්‍රයේ රස ශාස්ත්‍රයේ තියෙනවා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ විශේෂකරණයෙන් ඉගෙන ගත්තේ ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස, වාග් විද්‍යා විතරක් නොවෙයි. රස සිද්ධාන්ත, අලංකාර ශාස්ත්‍ර, විචාර සිද්ධාන්ත, භාෂා යෝග, ශ්‍රැති වින්‍යාස ආදී සාහිත්‍ය විද්‍යා එහි උගන්වනවා. ඒකයි එදා කන්ද උඩ ගින්දර එළිදැක්වුව දවසේ මම මගේ මහාචාර්යවරුන්ට වැඳ නමස්කාරව මේ කෘතිය පිළිගැන්නුවේ.
● ප්‍රබන්ධය අද වනවිට බොහෝ දුර පැමිණ වර්ධනීය තැනක තිබෙනවා. ප්‍රබන්ධය තුළ එකට ගැට ගැසුණු ඓතිහාසික හා දේශපාලන කියැවීමක් ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. මේ මතය සමග ඔබ එකඟ වෙනවා ද?
මේ කෘතිය පුරා මං සිතිවිලි ඉව කරන්නේ දේශපාලකයන්ගේ, පරිපාලකයන්ගේ, නිලධාරීන්ගේ. සමකාලීන දේශපාලනයෙන් මිදී ඔවුන්ට සිතිවිලි නගන්න බෑ. සිතිවිලි අදහස් බවට පත්වෙනවා. අදහස් මතවාද බවට පත්වෙනවා. ෆෙඩි්‍රක් ඒංගල්ස් මෙහෙම කියලා තිබුණා මතක ද?
“යුගයක රජයන අදහස් වනාහි ඒ යුගයේ පාලක පන්තියේ අදහස්ය.”
මේ කියමන එදාටත් අදටත් වලංගුයි. මං කතා කරන යුගයටත්, ඊට පෙර යුගවලටත් වලංගුයි. බලන්න මම මේ කෘතියට පාදක කරගන්නා ඓතිහාසික චරිත සමුදාය. මේසා විවිධාංගීකරණය වූ චරිත සමුදායක් එකම යුගයක පෙනී සිටීමම අරුමයක්. නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන් බවට පත්වන කුණ්ඩසාලේ කුමාරයා ඔහුගේ රාජ සභාවේ සිටි දස්කොන් අධිකාරම, ලෙව්කේ නිළමේ, යාලේගොඩ දෙවෙනි අධිකාරම, මහ රජුගේ රන්දෝලි බිසව වූ උඩුමාල් දේවිය (ප්‍රමිලා දේවිය), රජුගේ යකඩ දෝලිය වූ මොණරවිල කුමාරිහාමි, මියගිය පිය රජුගේ යකඩ දෝලිගේ දරුවා වූ පට්ටිය බණ්ඩාර මොණරවිල යකඩ දෝලිගේ දරුවා වූ උනම්බුවේ කුමාරයා, ප්‍රමිලාගේ සහෝදර කුමාරයා වූ විජය රාජසිංහ, මධුරාවේ සිට පැමිණි ප්‍රමිලාගේ පියා වූ මහා ව්‍යාපාරික පිට්ටි නායක්කාර්, වැලිවිට තුම්පනෙන් බිහි වී සූරියගොඩ පන්සලේ අකුරු කරන පසුව සංඝරාජ තානාන්තර ලත් වැලිවිට සරණංකර සාමණේර, පහතරට පෘතුගීසීන්ගෙන් බේරී උඩරටට පැනගත් ජාකෝවේ ගොන්සාල්වේස් කතෝලික පූජකතුමා. මේ සියලු චරිතවල දේශපාලන ක්‍රියාවලිය අපට ඉතිහාසයෙන් සොයාගන්න පුළුවන්.
ඒත් ඒ දේශපාලනික ක්‍රියාන්විතය හා අනන්‍ය වූ ඔවුන්ගේ සිතිවිලි හා හැඟීම් අන්වීක්ෂණය කිරීමට සාහිත්‍යයික ක්‍රමවේද හා මනෝ විද්‍යා මූලධර්ම අත්‍යවශ්‍ය කෙරෙනවා. පුරාවස්තු ගවේෂණය කරනවා වගේ තමයි ඓතිහාසික චරිතවල සිතිවිලි නිරීක්ෂණය කිරීම. ඒකයි මං ඒ කටයුත්ත ‘සිතිවිලි අනුමානය’ කියා හඳුනා ගන්නේ. ඒ නිරීක්ෂණය නිර්මාණ සාහිත්‍යයට හරි ආශ්වාදනීය දෙයක්.
● අප අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා දශක හතකටත් වඩා ගත වී තිබෙනවා. මේ කාලය තුළ අදටත් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය ඉක්මවා යන නවකතාවක් රචනා කිරීමට නොහැකි වී ඇති බව මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා අප සමග පැවැසුවා. නිදහසින් පසු නවකතාව ගැන ඔබට ඇත්තේ කෙබඳු අදහසක් ද?
විරාගය මේ රටේ බිහි වූ උත්තම නවකතාවක්. ඒ සඳහා තර්ක නෑ. වික්‍රමසිංහයන් කරන්නේත් අරවින්ද හරහා සමකාලීන බෞද්ධ චින්තාව අන්වීක්ෂණය කිරීමයි. එහිදී එතුමන් අරවින්ද නම් මනු සත්වයා තුළ කැකෑරෙන සමාජ සත්වයාගේ සිතිවිලි සංග්‍රාමය මනෝ විද්‍යාත්මකව අන්වීක්ෂණය කරනවා. අරවින්ද ඓතිහාසික චරිතයක් නොවන නිසා වික්‍රමසිංහයන් සාහිත්‍යයික නිදහසක් භුක්ති විඳිනවා. ඒ නිසා කවුරුත් ඔහුව ප්‍රශ්න කළේ නෑ.
ඒත් හිතන්න එතුමන්ගේම ‘භව තරණය’ කොයි තරම් දෝෂ දර්ශනයට ලක් කළා ද කියා. ඇයි? එහි ඉන්නේ ඓතිහාසික චරිතයක්, සිද්ධාර්ථ කුමාරයා. ජර්මන් ජාතික හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ කෘතිය ඉවසූ අපේ රටේ විදග්ධ විචාරකයා සහ සංඝ සමාජය වික්‍රමසිංහගේ ‘භව තරණය’ ඉවසුවේ නෑ. වික්‍රමසිංහයන් කළේත් සිද්ධාර්ථ ගෞතම නම් ඓතිහාසික චරිතයේ සිතිවිලි විග්‍රහ කිරීමයි. අපි බුද්ධත්වය උපාසික මනසින් තේරුම් ගන්නකොට වික්‍රමසිංහයන් එය සිද්ධාර්ථ කුමාරයාගේ මනෝ ලෝකයේ සිට පැහැදිලි කළා. සමාජයට බලපෑවෙ ධර්ම විද්‍යාව. වික්‍රමසිංහට බලපෑවෙ මනෝ විද්‍යාව.
නිදහසින් පසු තමයි අපේ සමාජය වඩාත් අධිරාජ්‍යවාදී වහල් චින්තනයට යොමු වුණේ. ඉංග්‍රීසීන් මේ රටේ ව්‍යාප්ත කළ අධ්‍යාපනය අප තුළ වහල් මානසිකත්වය ඇති කළා. අපි හිතුවෙ ඒක ලිබරල්වාදය කියලා. ඒත් ඒ නව අධිරාජ්‍යවාදය බව අපි දැන ගත්තේ 1956 දී.
56න් මෙපිට මේ රටේ බිහි වූ සංස්කෘතික සිතිවිල්ල නව නිර්මාණ චින්තනයට යොදා ගත්තු නව කතාකරුවන් බොහෝදෙනෙක් මගේ අධ්‍යාත්මය අරා සිටිනවා. ඒ සරච්චන්ද්‍ර සහ සයිමන් නවගත්තේගම.
● නිදහස් ලංකාවේ සංස්කෘතික මිනිසා ගොඩනැගීම සඳහා අප ඉදිරියේ ඇති යුතුකම්, වගකීම් හා අභියෝග මොනවා ද?
නිදහසින් පසු සංස්කෘතික මිනිසා ජාත්‍යන්තර ගැටලුවකට මැදිවෙනවා. පශ්චාද් අධිරාජ්‍යවාදය ලිබරල්වාදය සහ නව ලිබරල්වාදය ජාත්‍යන්තරය හරහා අපට බලපෑවෙ වැරැදි අර්ථකථනයකින්. නිදහසින් පසු අපේ සංස්කෘතියට පාර වැරැදුණා. අපි සංස්කෘතිය වරද්දා ගත්තු නිසා සංස්කෘතික මිනිසා අර්බුදයට ලක් වුණා.
සංස්කෘතිය යනු භූගෝලීය සාධකයක් ලෙසයි මං හඳුනා ගන්නේ. මේ භූගෝලයේ රටක් ස්ථානගත වී ඇති කලාපය අක්ෂාංශය, දේශාංශය අනුව සංස්කෘතිය වෙනස් වෙනවා. පෘථිවි මානවයකුගේ සකලවිධ ඇවැතුම් පැවැතුම් තීරණය කරන්නේ මේ භෞතික භූගෝල සාධකයයි. පෘථිවිය සහ සූර්යයා අතර සම්බන්ධය අක්ෂාංශ අනුව වෙනස් වෙනවා. අපි ඝර්ම කලාපයේ. අපට ඉරු කෙළින්ම පායනවා. බටහිරයා ශීත අක්ෂාංශවල ඉන්නේ. ඔහුගේ සංස්කෘතිය අපට වඩා වෙනස් වන මූලික සාධකය තමයි සූර්යයා. ඒකයි අපි කියන්නේ සංස්කෘතිය ඉර හඳ පායන තෙක් වෙනස් වෙන්නේ නෑ කියලා.
ලංකාවේ නූතන සමාජයීය මිනිසා මේ සමාජයට මූණ දෙන්නේ නෑ. ඒ නිසා අපට සංස්කෘතික මිනිසෙක් බිහි කරගන්න අමාරුයි. ඉංග්‍රීසීන් අපට නිදහස දුන්නේ මේ අර්බුදය වෙත මාර්ගය සකස් කරලා ඉවර වෙලයි. ඔවුන් ගඟ ඔවුන්ට ඕන විදිහට ගලන්න පොළොව සූදානම් කරලයි සොරොව්ව කැඩුවෙ. දැං ගඟ ගලනවා. සංස්කෘතික මිනිසාට උඩු ගං පීනන්න බෑ. ලිබරල්වාදය, නව ලිබරල්වාදය, නූතනවාදය සහ පශ්චාද් නූතනවාදය, අපට අනුක්‍රමයෙන් බලපෑවෙ නෑ. ඒකයි අපි නූතන වාදයට කලින් පශ්චාද් නූතනවාදය කර ගහගෙන ඉන්නේ. පශ්චාද් නූතනවාදී සංස්කෘතික මිනිසෙක්ව මේ රට ඉල්ලන්නේ නෑ.
මම කියන්නේ දූපත් මානසිකත්වයේ කතාවක් නොවෙයි. ජාත්‍යන්කර තතාවක්. අපි ජාත්‍යන්තර කියන වචනයත් වරද්දාගෙන ඉන්නේ. ජාත්‍යන්තරය කියන්නේ ඇමෙරිකානුවාදයට නොවෙයි. ජාතීන් අතර කියන අර්ථයයි. ජාත්‍යන්තර කියන වචනයේ තේරුම ජාතිකත්වයෙන් තොරව කෙනකුට ජාත්‍යන්තරයේ සාමාජිකත්වය ලැබෙන්නේ නෑ. අප ජාත්‍යන්තරයට යන්න නම් ජාතිකත්වය පොදි බැඳගන්න ඕනෙ. ජාත්‍යන්තරය අරමුණු කොටගෙන ජාතික සංස්කෘතික මිනිසාව බිහි කරගන්න ඕන. නිදහසින් පසු එය සිදු වී නැහැ.
ගාමිණි කන්දේපොළ
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිදහසින් පසු අපේ සංස්කෘතියට පාර වැරැදුණා
menna Saturday, 08 February 2020 08:07 AM
ලංකාවට නිදහසක් ලැබුණේ නැහැ. මට හැම වෙලාවේම හිතෙන්නේ මට යම්කිසි භූමියක අයිතිය තිබුණොත් මම එය ලේසියෙන් අතහරීද කියන එකයි. 1953 මහා බ්‍රිතාන්‍යයේ රජකම රැජිණක් අතට පත්වෙන නිසා ඔවුන් උපක්‍රමශීලිව පාලන ක්‍රමය වෙනස් කරා කියයි මට හැඟෙන්නේ. පිරිමියෙක්ගේ ස්වභාවය තම අනසක පතුරුවා යටත් කොට පාලනය කිරීම යැයි මට හිතෙන්නේ. නමුත් කාන්තාවක කායිකව ශක්තිමත් නොවන බැවින් එලෙස පාලනය කිරීමට නොහැක. පාලනය කළ හැක්කේ තම අරමුණු ඉටුකර ගැනීමට දෙපැත්ත කොටවාය. මෙය වසර ගණනක සැලසුමකින් සිංහල දෙමල ලෙස වෙන්කර ඔවුන් තවමත් ලංකාවේ ඔවුන්ගේ අනසක පතුරවනවා. ලංකාවේ ජනගහනය මිලියන 20යි. ලෝකයේ බලවතුන් සමග යුද්ධ කිරීමට සහ බලය පැතිරවීමට ලංකාවට කළ නොහැක. ලංකාවේ මිනිසුන්ට කළ හැක්කේ සමගියෙන් කටයුතු කිරීමයි. මෙම සමගිය නීති මගින් සහ භාෂාවෙන් ඇති කරොත් හොඳයි කියලා හිතෙනවා. ලෝකයේ සිංහල තියෙන එකම රට ලංකාව.. එමනිසා ජාතික සහ රාජ්‍ය භාෂාව සිංහල වුණොත් හොඳයි. අනෙකුත් භාෂා වෙළඳ කටයුතු කොට විනිමය ඉපැයීමට යොදා ගත්තොත් හොඳයි. මම අහලා තියෙන දේ හරි නම් නායක්කාර් වංශිකයෝත් වෙළෙන්දෝ... පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසිත් වෙළෙන්දෝ...
menna Saturday, 08 February 2020 08:23 AM
වෙළඳ කටයුතු කොට උපයන මුදලින් රට අස්ථාවර නොකළ යුතුයි කියායි මට නම් හිතන්නේ. හරියට නිකම් කොම්පැණියක සේල්ස් අංශය තම අංශයේ ලාභය සඳහා එම කොම්පැණියේ පාලන අයිතිය ගන්න හදනවා වගේ වැඩක්... නමුත් කොම්පැණියකට පාලන අංශ, භාණ්ඩ හා සේවා නිෂ්පාදන අංශ වැනි අංශ ගණනාවක් තියෙනවා. මේ හැම අංශයකින්ම ලාභ බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ බැවින් ලංකාවේ පාලන අංශය (විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය) කටයුතු සිදුවිය යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් කියා මට හිතෙන්නේ. මොකද ඉතිහාසයේ සහ වර්තමානයේ මෙන් අනාගතයේද විදේශ සමග කටයුතු කිරීමට සිදුවේ. ඒ ඒ විදේශ භාෂා ප්‍රයෝජනයට ගෙන වෙළඳ කටයුතු කර ලාභ උපයා රටේ පාලනය අස්ථාවර කිරීම නුසුදුසුයි කියා මට හිතෙන්නේ. අනෙකුත් භාෂා අමතර හැකියාවක් ලෙස ගෙන ඔවුනොවුන්ට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක් වුනොත් හොඳයි.