සුළි කුණාටුව” විසින් මුදාහැරි ජල ගැලීම් හා නායයෑම් මගින් ළමයින් 275,000ක් අවතැන් කර ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනකු මවුපියන්ගෙන් වෙන් කර ඇතැයි, කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පසුගිය ඉරිදා (දෙසැම්බර් 7) ඉංග්‍රීසි පුවත්පතකට කියා තිබිණි.
මවුපියන්ගෙන් තොරතුරක් ලැබේ යැයි හෝ ඔවුන් ගැන හෝ අනෙක් ඥාතින් ගැන හෝ තොරතුරක් ලැබේ යැයි මේ ළමයින් හුස්ම නොහෙළා බලා සිටින්නේ යැයි ද ඇය සඳහන් කර ඇත.
මෙය, ඊට දින කිහිපයකට පෙර, විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුවේදී කියා සිටි ඔහුගේ හිතලුවට සමාන බව පෙනේ. කොත්මලේ වාන් දොරටු හදිසියේ විවෘත කිරීමෙන් යට වූ ගම්පොළ නගරයේ දහසක් පමණ මියයන්නට ඇතැයි ඔහුට සිතෙන්නේ යැයි ඔහු පාර්ලිමේන්තුවට කීවේය.
පෝල්රාජ් ඇමැතිනිය ඇයගේ කතාවට වැඩි විස්තර එකතු කරමින් කියා තිබුණේ, “කොපමණ පාසල් ළමයින් වේ ද? වයස අවුරුදු 5ට නැති නම් 10ට අඩු දරුවන් කොපමණ ද? ගැහැනු සහ පිරිමි ළමයින් කොපමණ ද? යන්න පිළිබඳ නිවැරැදි සංඛ්‍යා අපට අවශ්‍යයි” කියාය. එවැනි නිවැරැදි සංඛ්‍යා නොමැති නම් ඇය ළමයින් 275,000ක් අනාථව ඇතැයි කිව්වේ කවර සංඛ්‍යා එකතු කිරීමෙන් දැයි ඇසිය යුතුය. නිලධාරින්ට සම්පූර්ණ වර්ග කිරීමක් කළ හැක්කේ දෙසැම්බර් 8 වැනිදාට යැයි ද ඇය කියා තිබුණි. එය කිසි විටෙක නොවන බව, මම සහසුද්දයෙන් දැන සිටියෙමි. ග්‍රාම සේවා නිලධාරින් දක්වා රජයේ නිලධාරින් අතර ද විපතට ගොදුරු වූවන් නැති නම් ඉන් කිසියම් පීඩාවකට නතු වූවෝ සිටිති. එසේම, සිදු වූ විනාශයේ බරපතළකම දරා ගැනීම ඔවුන්ට ද අපහසු වන්නකි. සමස්ත සමාජයම අබලි ගොඩක් බවට පත්වූ සෙයකි. ඇතැම් ප්‍රදේශවල ප්‍රජා මට්ටමින් තොරතුරු හුවමාරු වීමක් තවම ඇත්තේ නැත. තොරතුරු සම්බන්ධ සමස්තය නිවැරැදිව ගණනය කිරීමේ බරපතළ අපහසුවක් තවම ඇත.
එනිසා පෝල්රාජ් ඇමැතිනියගේ එල්ලයක් නොමැති හිස් ප්‍රකාශ තවදුරටත් ප්‍රශ්න කළ යුතුව තිබිණ. විශේෂයෙන්, තාවකාලික නවාතැන්වල ළමා ආරක්ෂාව සම්බන්ධව ඇයගෙන් ප්‍රශ්න කළ යුතුව තිබිණ. “අවතැන් වූ ළමයින් හා ඔවුන්ගේ පවුල් රඳවා ඇති නවාතැන්වලට, දරුවන්ගේ ආරක්ෂාව සඳහා අපි ළමා ආරක්ෂක නිලධාරින් යොදවා සිටිනවා” යැයි ඇය කියා තිබිණ. ගැහැනු සහ පිරිමි ළමයින්ගේ ආරක්ෂාව සඳහා ළමා ආරක්ෂක නිලධාරියකු හා නිලධාරිනියක යැයි දෙදෙනකු යෙදවිය යුතු බව සාමාන්‍ය අවබෝධයකි. විශේෂයෙන්, විපතට පත් ළමයින් සමඟ කතා කිරීමට, ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට, ඔවුන්ගේ මවු බසින් ඔවුන් සමග කතා කළ යුතුය. එබැවින්, උඩරට වැවිලිකර ප්‍රදේශ සඳහා ද්වි-භාෂා ළමා ආරක්ෂක නිලධාරින් හා නිලධාරිනියන් අවශ්‍ය වන්නේය.
තවමත් හරියාකාරව අවසන් නොවුණු ඛේදවාචකයක් අතරතුර, සර්වප්‍රකාරයෙන් සම්පූර්ණ, කාර්යක්ෂම ආරක්ෂක ජාලයක් අපගේ වැනි රටක බලාපොරොත්තු විය නොහැකි යැයි මම දනිමි. එහෙත්, මේ ආණ්ඩුව යටතේ සියල්ල ඉතා නිරවුල්ව, නිවැරැදිව හා කාර්යක්ෂමව කෙරෙන්නේ යැයි ලොවට කීමට ගත් බාල උත්සාහය ප්‍රශ්න කළ යුතුව තිබිණ. “ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙසැම්බර් 7 වැනිදා වන විට නඩත්තු කළ තාවකාලික නවාතැන් 950ට වැඩි සංඛ්‍යාවක ගැහැනු පිරිමි ළමා ආරක්ෂක නිලධාරින් යෙදෙවීමට අවශ්‍ය පුහුණු පිරිස් ඔබට ඉන්නේ ද” යැයි ඇයගෙන් ඇසිය යුතුව තිබිණ. “පුහුණු ද්වි-භාෂා නිලධාරිනියන් කොපමණ සිටිත් ද” යැයි ඇසිය යුතුව තිබිණ. ඇයගෙන් ඇසිය යුතු වූ තවත් එවැනි ප්‍රශ්න තිබිණ.
දිට්වා සුළි කුණාටු ඛේදවාචකය තවමත් දිග හැරෙන්නකි. විපතට පත් වූ සංඛ්‍යාව තවමත් ඉහළ යන්නකි. ඉකුත් දින කිහිපයේ දැකිය හැකි වූයේ, අතුරුදන් සංඛ්‍යාවේ අඩුවක් ඇති වන්නේ, මියගිය සංඛ්‍යාවේ වැඩි වීමක් සමගින් වීමෙහිය. එබැවින්, ඇමැතිනිය කියූ, මවුපියන්ගෙන් තොරතුරක් ලැබෙන තෙක් හුස්ම නොසලා බලා ඉන්නා ළමයින්ගේ සංඛ්‍යාව ද වැඩි විය හැකිය. අනාථ ළමයින් සම්බන්ධ කාරණාව, ලොව කොතැනක කවර ඛේදවාචකයකදී වුවත් ආණ්ඩුවලට හා බලධාරින්ට මුහුණ දෙන්නට සිදුවන ඉතා සංවේදි සංකීර්ණ ගැටලුවකි. කොරියන් හා වියට්නාම් යුද්ධවලින් පසුවත්, කම්පුචියාවේ පොල් පොට්ගේ විනාශයෙන් පසුවත් මේ මොහොතේ ගාසා ප්‍රදේශයේ ජන සංහාරය සහ යුක්රේන යුද්ධය සමගත්, ඒ වගේම වසර 30කට ආසන්න අපගේ සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ අවසන් කෙරුණු පසුවත් ළමයින් අනාථ වීම බරපතළ ගැටලුවක් වූවකි.
අපගේ උතුරු-නැගෙනහිර ගැටලුව වූයේ අනාථ ළමයින් පමණක්ම නොවේ. ජීවිත ගැටගසා ගැනීමට යම් ආර්ථික පිළිසරණක් සහ ආරක්ෂාවක් අවශ්‍ය වූ ළමයින් සමඟ යුද වැන්දඹුවන් ද සිටීමය. යුද්ධය නිමා කර වසරකුත් තෙමසකට පසු 2010 සැප්තැම්බරයේ 29 වැනිදා එවකට කාන්තා හා ළමා කටයුතු සංවර්ධන නියෝජ්‍ය ඇමැති වූ එම්.ඒ.එම්. හිස්බුල්ලා නැගෙනහිර තත්වය ගැන කරුණු දැක්වූ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පැවැත්වීය. යුද්ධය හේතුවෙන් උතුරු-නැගෙනහිර වැන්දඹුවන් 89,000ක් ඇතැයි ඔහු එහිදී කීවේය. ඉන් 49,000ක් නැගෙනහිරත්, ඉතිරි 40,000ක් වන්නියේ සහ උතුරේත් ඇතැයි කීය. මඩකළපුව දිස්ත්‍රික්කයේ දරුවන් තිදෙනකු ඇති වැන්දඹුවන් 8,000ක් ඇතැයි ද ඔහු කීය. නෝර්වේජියානු මැදිහත් වීමෙන් 2002 පෙබරවාරියේදී අත්සන් තැබුණු සටන් විරාමයට පෙර, “ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමින් විපතට පත් කාන්තාවන්ට හා ළමයින්ට ආධාර කිරීමේ විශේෂ වැඩසටහන - 2000/2001” යන යුනිසෙෆ් වාර්තාවට අනුව, යුද්ධයෙන් විපතට පත් දරුවෝ 900,000ක් උතුරු-නැගෙනහිර වූහ.
අවාසනාවකට, පැහැදිලි සංඛ්‍යා ලේඛන හා දත්ත සමග ගත්තා වුණත් සිදුවීම් හා ක්‍රියාකාරිත්වය අනුව, යුද්ධයෙන් විපතට හා පීඩාවට පත් උතුරු-නැගෙනහිර ළමයින් සඳහා සාධාරණ සැලකීමක් නොතිබිණැයි යුනිසෙෆ් ඇතුළු සංවිධාන ගණනාවක වාර්තා සඳහන් කර ඇත. පුනරුත්ථාපන කඳවුරුවල බොහෝ රැඳවියන් ශාරීරික හා ලිංගික අතවරවලට ලක්වූ බව ද අධ්‍යයන වාර්තාවල සඳහන්ව ඇත.
රජයේ සුබසාධන වැඩසටහන් බොහෝ විට හමුදා නිරීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමේදී යුද වැන්දඹුවන් හා අනාථ වූ දරුවන් අතහැරුණු නැති නම් සිල්ලර සැලකිල්ලකට බඳුන් විණැයි ද වාර්තා වන්නේය. රාජ්‍ය මතවාදය සිංහල - බෞද්ධ මතවාදි බලපෑමක් සහිත වූයෙන් උතුරු-නැගෙනහිර රාජ්‍ය ව්‍යාපෘති ඊට හසු වීම නොවැළැක්විය හැකි වූවකි.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් දකුණේ දරුවන්ට කෙරෙන සත්කාරයේ එවැනි බලපෑම් නොතිබිය හැකි නමුත් මේ ඛේදවාචකය පැහැදිලිවම වෙනස් අභියෝග සමගින් වන මහා ඛේදවාචකයකි. මෙහි ඇත්තේ අනාථ දරුවන් සඳහා තිබිය යුතු දයාබර, ආරක්ෂාකාරි වටපිටාවක් සහතික කළ හැකි, දැනුවත් පුහුණු මානව සම්පත් සම්බන්ධයෙන් වන බරපතළ ඌනතාවකි. ඉකුත් දශකයක දෙකක, විශේෂයෙන් නාගරික හා අර්ධ නාගරික දරුවන් අතර, “මනෝ-සමාජයීය” (Psychosocial: වෙනස් වන සමාජ සාධක මත ඇති වන මානසික පීඩන හා ආතතිය වෙනුවෙන්) උපදේශන සඳහා වර්ධනය වූ ඉල්ලුම, අප නොසැලකූ පසුබිමක, මෙවැනි අභියෝගයකට මුහුණ දීම අතිශය දුෂ්කර වන්නකි.
“සමාජ සංවර්ධනය සඳහා වන ජාතික ආයතනය” විසින් යුනිසෙෆ් සහාය ඇතිව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් 2013 වසරේදී සිදු කරන ලද සමීක්ෂණයෙහි වාර්තාවට අනුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කෙරුණු “ළමා සුරැකුම් නිවාස” 414ක් පළාත් නවයෙහි පැවeතිණි. ඒවා බහුතරයක් රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික සම්බන්ධකම් මත පැවැතිණි. ඒවායේ ළමයි 14,179 දෙනෙක් නේවාසිකව වූහ. මනෝ උපදේශකයෝ 2,979ක් සිටියහ. “උපදේශන හැකියාව ඇති පුහුණු සේවක පිරිස් නොමැති වීම විශාල ප්‍රශ්නයක් යැයි සියයට 60ක් පමණ පරිවාස කොමසාරිස්වරු සඳහන් කළහ.” යනුවෙන් එම වාර්තාවෙහි සටහන් විය. එම වාර්තාවට අනුව, අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ නොකෙරුණු බඳවා ගැනීමට හේතුව වී ඇත්තේ අඩු වැටුප්ය. වාර්තාවට අනුව “අඩු වැටුප් තල මගින් හොඳ පුහුණුවක් ලැබූ කුසලතා පූර්ණ උපදේශකයන් ආකර්ෂණය කළ නොහැකිය. දිගින් දිගටම නුපුහුණු පුද්ගලයන් බඳවා ගැනීමට හේතු වී ඇත්තේ මේ කාරණය වන්නේය.” (පිටුව-8)
මේ සියල්ල අදාළ වූයේ අව වර්ධිත, අර්බුද ගහණ සමාජයක “බාල වයස්කාර හා ලියාපදිංචි නොකෙරුණු විවාහ, ගැටුම් හේතුවෙන් වන අනාරක්ෂාව, අවතැන් වීම, නිවාසයක් නොමැති වීම, වීදි දරුවන් වීම, පවුල් ආරවුල් සහ මවුපිය වෙන්වීම්” හේතු වී අනාථ වූ දරුවන්ටය. දිට්වා සුළි කුණාටුව ඊට හාත්පසින් වෙනස් වූ විශාල අනාථ දරුවන් පිරිසක් අපට බාර කර ඇත. ඔවුහු නොසිතූ ලෙසින් හදිසියේ අනාථ වූ දරුවෝය. සුන්බුන්වලට යට වී සිට මුදා ගත් දරුවෝය. නැති නම් ගංවතුරේ ගසාගෙන යද්දී බේරා ගැනුණු දරුවෝය. ඔවුන්ගෙන් සමහරකට මවුපියෝ නැත. ඇතැමුන්ට සහෝදර සහෝදරියෝ ද නැත. අසල්වැසියෝ නැත. තිබූ පාසලත් නැත. පාසල් මිතුරන්ට ද වෙච්ච දෙයක් දැනගන්නට නැත.
“උපදේශන හැකියාවන් ඇති පුහුණු සේවක පිරිස් නොමැති” අලස අකාර්යක්ෂම පරිවාස යාන්ත්‍රණයකින් මේ ඛේදවාචකයට මුහුණ දිය නොහැකිය. ඔවුන්ට රාජකාරියකට සීමා නොවන, වෘත්තීයමය “මනෝ-සමාජයීය” උපදේශන සේවයක් අනිවාර්ය වන්නේය. ඔවුන්ට කාරුණික, ළෙන්ගතු සහ ආරක්ෂිත පරිසරයක් අවශ්‍ය වන්නේය. ඔවුන්ට පාසල් ජීවිතය නැවත අවශ්‍ය වන්නේය. ඒ වගේම විනෝදාංශ ද තිබිය යුතුය. ඒ සියල්ල ලබා දීමට ඥාතින්ට හෝ අසල්වැසියන්ට පහසු නැත. ඇතැම් විට ඥාතින් හා අසල්වැසියන් ද විපතට පත් වූවන් විය හැකිය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ද, අධ්‍යාපන අමාත්‍යාංශය ද හවුල් කෙරෙන විනයක්, ආරක්ෂාවක් සහ ළෙන්ගතුකමක් සහිත ළමාරක්ෂක වැඩසටහනක් සැලසුම් කර ඊට අරමුදල් යෙදවීම, මේ මොහොතේ ආණ්ඩුවේ හදිසි සහ පූර්ණ වගකීම වන්නේය. එය වෙනස්කම් සහිත ළමයින් හඳුනාගත හැකි වෘත්තීය පුහුණුවක් ලැබූ “මනෝ-සමාජයීය” උපදේශකයන් ඉන්නා වැඩසටහනක් විය යුතුය. ළමයින්ට අපහසුවක් නොදැනෙන භාරකාරත්වයක් තීන්දු කළ හැකි ප්‍රාදේශීය සම්බන්ධිකරණයක් සහිත වැඩසටහනක් විය යුතුය. එය ඒ වගේම, ළමයින්ට තමන්ගේ ගැටලු රහස්‍යභාවයක් ඇතිව කතා කළ හැකි අඛණ්ඩ නියාමනයක් සහිත වැඩසටහනක් විය යුතුය. පාසල් සඳහා වෘත්තීයමය සුදුසුකම් ඇති උපදේශකයන් ලබා දෙන සහ ගුරුවර ගුරුවරියන්ට පාසලේදී මුහුණ දෙන්නට සිදු විය හැකි ගැටලු සම්බන්ධව කලාප මට්ටමින් කෙරෙන දැනුවත් කිරීම් සැලසුම් කෙරෙන වැඩසටහනක් විය යුතුය.
එමෙන්ම, අතීතයේ වූ බාල තීරණ හේතුවෙන් අවශ්‍ය සේවා සඳහා නොලැබුණු මානව සම්පත් මේ මොහොතේ අත්‍යවශ්‍ය වන හෙයින්, එම සේවා ලබා ගැනීමට පැරැණි වැටුප් තල වහා වෙනස් කළ යුතුව ඇත. උපදේශකයන් සඳහා වෛද්‍ය වෘත්තිකයන්ට ලබා දෙන වැටුප ලබා දීම, අද පවතින සමාජ අවශ්‍යතාව සහ වගකීම සඳහා අනිවාර්ය වන්නේ යැයි මම සිතමි. ඒ වගේම, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන ජාතික හෙද පුහුණු පාසල්වල “මනෝ-සමාජයීය” උපදේශකයන් සඳහා පාඨමාලා සංවිධාන කළ හැකිය.
ඒ සමඟ මෙවැනි වැඩසටහනක කෙටුම්පතක් ආණ්ඩුව වෙනුවෙන් වහා ප්‍රසිද්ධ කිරීම, මා සිතන අයුරු, කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනිය ලෙස, පෝල්රාජ් ඇමැතිනියගේ වගකීම වන්නේය. මේ සංවේදි අභියෝගාත්මක පසුබිමෙහි, ආණ්ඩුවෙහි පාරදෘශ්‍යභාවය හා සමාජ වගවීම සම්මුති ගැසිය යුතු වගකීමක් නොවේ. ළමයින් වෙනුවෙන් වන වැඩසටහනක් සැලසුම් කිරීම, සමාජ කතිකාවක් සමගින් විය යුතු අතර, එය ක්‍රියාත්මක විය යුත්තේ ද ප්‍රජා දායකත්වයක් ඇතිවය. සියලු යටිතල පහසුකම් නවීකරණය කිරීමට “දිට්වා සුළි කුණාටුව” අපට නියම කර ඇත. ඒ වගේම, මේ ඛේදවාචකයෙන් ගොඩ එන්නට පමණක් නොව, අනාගතය සඳහා අලුත් ගමනක් අරඹා අලුත් පරම්පරාවක් හැදීමට ද “දිට්වා සුළි කුණාටුව” අපට අවකාශයක් දී ඇත. ඒ සඳහා එම අවකාශය යොදා ගන්නේ ද නැද්ද යන්න තීන්දු වන්නේ ආණ්ඩුව ජනතාවට, සමාජයට වග කියන්නේ නම් පමණි.
(*** කුසල් පෙරේරා)
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘දිට්වා‘ ගෙන් ළමයන් අනාථවීම