ඛනිජ තෙල් සංස්ථාව සහ රාජ්‍ය බැංකුවක් අතර පවතින ආරවුලක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යයෙන් හෙළිදරව්වක් සිදුකෙරිණි. එහි සඳහන් වූයේ ඉන්ධන තොග ඇණවුම් කිරීමේ දී එක් රාජ්‍ය බැංකුවකට මුදල් නොගෙවන්නැයි පිරවුම්හල් හිමියන්ට තෙල් සංස්ථාව කළ දැනුම් දීමකි.
මෙහිදී සැලකිල්ලට ගතයුතු කාරණාව වන්නේ එම රාජ්‍ය බැංකුවට ඉන්ධන පිරවුම්හල් හිමියන් මේ වනතුරුත් මුදල් ගෙවමින් සිටීමය. ඒ වෙනුවට තෙල් සංස්ථාව පිරවුම්හල් හිමියන්ට පෞද්ගලික බැංකු 07ක් ඇතුළු බැංකු 08ක ගිණුම් යොමුකර තිබිණි. එහෙත් මේ තීන්දුව හේතුවෙන් අදාළ රාජ්‍ය බැංකුව සමඟ ගනුදෙනු කරමින් සිටි පිරවුම්හල් හිමියන්ට බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබේ.
අදාළ තීන්දුවට හේතුව වශයෙන් සඳහන් වන්නේ තෙල් සංස්ථාව එකී බැංකුවට විශාල ණය මුදලක් හිඟ හිටුවා තිබීමය. ගිණුමට මුදල් බැර නොකරන්නැයි ඉල්ලා ඇත්තේ එසේ ගෙවනු ලබන මුදලින් ණය කපා ගැනීමට පියවර ගැනීම හේතුවෙන් තෙල් සංස්ථාවට මුදල් නොලැබී යන බැවිනි.
මෙය අධික ණය බරක් ඇති තෙල් සංස්ථාව පැත්තෙන් බලන විට සාධාරණ විය හැකි වුවද එයින් අමාරුවේ වැටෙන්නේ පිරවුම්හල් හිමියන් බව අවබෝධ කරගත යුතුය. මිලියන ගණන් මුදල් රැගෙන ඉන්ධන මිලදී ගැනීමට යාම දැඩි අවදානමකි. පිරවුම්හල් හිමියන් තම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා එවැනි අවදානමකට ඇද දැමිය යුතු නැත.
කෙසේ වුවද මේ සිද්ධියේ ප්‍රධානම ගැටලුව වන්නේ රාජ්‍ය ආයතන දෙකක් අතර මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම වළක්වාගත නොහැකි වූයේ මන්දැයි යන්නය. තෙල් සංස්ථාව රාජ්‍ය ආයතනයකි. අදාළ බැංකුව රාජ්‍ය බැංකුවකි. මේ ආයතන දෙක අතර තබාගත යුතු ව්‍යාපාරික අවබෝධය තුරන් වීමට පෙර එය වළක්වා ගැනීමට අදාළ ආයතන බලධාරීන් මගින් පියවර ගත යුතුව තිබිණි. එසේ පියවර නොගැනීමෙන් තත්ත්වය සංකීර්ණ බවට පෙරළී තිබේ.
රට තුළ මෙවැනි තත්ත්වයක් හට ගැනීමට හේතුවද පවතින ආර්ථික අර්බුදයයි. තෙල් සංස්ථාව රටේ අධික ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයකි. ඔවුන් පාඩු ලැබීමට ලොකුම හේතුව වශයෙන් සඳහන් වන්නේ රාජ්‍ය ආයතන මගින් ලබාගන්නා ලද තෙල් සඳහා මුදල් නොලැබීම හා අකාර්යක්ෂම පාලනයයි. මෙය ඊයේ පෙරේදා සිදු වූ ක්‍රියාවක් නොව අප දන්නා කාලයේ සිටම සිදුවන්නකි. එය වැළැක්වීමට මෙතෙක් බලයට පත් කිසිම රජයක් ක්‍රියා කළේ නැත. එක අතකින් ගන්නා දේ අනෙක් අතින් වියදම් කිරීමේ නිර්ලජ්ජිත ක්‍රමය මේ රට ආර්ථික වශයෙන් මහත් විනාශයකට ඇද දමා තිබේ.
නිසි කළමනාකරණයකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යාමේ ප්‍රතිවිපාකයක් වශයෙන් අපේ රට ආර්ථික සුළි කුණාටුවකට හසුව තිබේ. එමගින් මේ වනවිට රාජ්‍ය ආයතන අතර පැවතිය යුතු එකඟතා සහ අවබෝධය ද පවත්වාගෙන යා නොහැකි මට්ටමට ඇද දමා තිබේ. අද තෙල් සංස්ථාව සහ රාජ්‍ය බැංකුවක් අතර පවතින මේ ගැටුම හෙට තවත් රාජ්‍ය ආයතන අතරට ද පැතිර යා හැක. එය වළක්වා නොගතහොත් මහා අවුලකට මුල පිරෙනු ඇත.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමක් හැඳින්වූයේ ඔලු තුනේ බූරුවෙක් වශයෙනි. එහෙත් රාජ්‍ය ආයතන අතර ඉහත සඳහන් ආකාරයේ ගැටුම් දිගින් දිගටම හටගත්තොත් රටේ පොදු මහජනතාව ආණ්ඩුවටද එම කතාවම කියන්න බැරිකමක් නැත. එම ගැටුම් ඔඩුදිවීමට පෙර වළක්වා නොගතහොත් එවැනි කතා අසන්නට සිදුවනු ඇත. පැහැදිලිවම පවතින ප්‍රශ්නය හඳුනාගැනීමටත් ඊට යෝග්‍ය වන විසඳුම් ඉදිරිපත් කිරීමටත් රජයට හැකිවිය යුතුය. රාජ්‍ය ආයතන අතර පොදු අවබෝධය ගිලිහී යාම ආණ්ඩුවක පැවැත්මට කිසිසේත් හිතකර වන්නේ නැත.
පසුගිය සති කිහිපය තුළදී වූ ඇතැම් සිදුවීම් ආණ්ඩුව මහජනතාවගේ ඉවසීම පරීක්ෂා කරන මට්ටමට ඇද දමා තිබිණි. පාසල් ළමයින් ආහාර නැතිව කලන්තෙ දැමීම, මන්දපෝෂණය ඉහළ යාම වැනි ගැටලු මතුවෙද්දී ආණ්ඩුවේ ඇතැම් බලධරයන් ඒවාට පිළිතුරු දුන්නේ මහත් උද්ධච්ඡ ස්වරූපයකිනි. එවැනි ගැටලුවක් තිබෙන බවක් පිළිගැනීමට ඔවුන් දැක්වූයේ මහත් අකැමැත්තකි. එහෙත් ඇත්ත තත්ත්වය රටේ මහජනතාවගෙන් වසන් කිරීමට හැකියාවක් නැත. එය රජයේ ඇතැම් මැති ඇමැතීන් කියන්නාක් මෙන් සමාජ මාධ්‍ය මවාපෑමක් හෝ කුඩා දේ ලොකු කර පෙන්වා රට කුලප්පු කිරීමක් හෝ තත්ත්වයට ලඝු කළ යුතු නැත.
දරුවන්ගේ මන්දපෝෂණ කතාවලින් පසුව දැන් රාජ්‍ය ආයතන අතර එකඟතා සහ අවබෝධය ගිලිහී යාම කරළියට පැමිණ තිබේ. මේ සියල්ල අප මුලින් සඳහන් කළ පරිදි රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයේම කොටස්ය. මේ ආර්ථික අර්බුදය ඇතිකිරීමට දායක වූ සෑහෙන පිරිසක් මේ ආණ්ඩුව ඇතුළේද සිටිති.
මේ සියලු දෙනා දැඩිව අවධානය යොමුකළ යුත්තේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට හැකි තරම් කැපවීමට මිස තමන්ට තවදුරටත් ලැබිය යුතු අමාත්‍ය ධුර සහ වරප්‍රසාද වැඩිකර ගැනීමට නොවේ. රාජ්‍ය බැංකුවක් සහ තෙල් සංස්ථාව අතර ඇතිවූ ගැටුම අපට පෙන්වා දෙන්නේ එවැනි කැපවීමක් තවම පෙනෙන තෙක් මානයක නැති බව පමණි.
(***)
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තෙල් සංස්ථා-බැංකු සටනට හේතු සොයා වහා විසඳුම් දෙනු