
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු හා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) හිටපු සභාපතිවරයකු වන ඩිව් ගුණසේකර මහතා ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට දින කීපයකට පෙර මහජන නියෝජිතයකු, විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංග හතරක් සඳහන් කළේය.
නීති සම්පාදනයට සහභාගි වීමට ඇති හැකියාව, ප්‍රතිපත්ති සම්පාදනයට සහභාගිවීමට ඇති හැකියාව, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණයට ඇති හැකියාව හා මහජනයා නියෝජනය කිරීමට ඇති හැකියාව ඔහු එසේ සඳහන් කළ ගුණාංග හතරයි.
එහෙත් අපට පාර්ලිමේන්තුවෙන් ඇසෙන නොපිට පෙරළු කුණුහරුප, කිසිදු පදනමක් නැති චෝදනා, හිස් වහසි බස් තම තමන්ගේ නායකයන් පිළිබඳව විශ්වාස කළ නොහැකි ස්තෝත්‍ර ගායනා වැනි සාකච්ඡාවට භාජන වන කාරණාවලට කිසිසේත් අදාළ නොවන කතා අසනවිට ගුණසේකර මහතා සඳහන් කරන ගුණාංග උගත්යැයි කියන මන්ත්‍රීවරුන් තුළවත් තිබේදැයි සැක සිතුණු වාර අනන්තය. මේ තත්ත්වය පාර්ලිමේන්තුවට පමණක් නොව තෝරාපත් කර ගන්නා ලද නියෝජිතයන්ගෙන් සමන්විත පළාත් සභා හා පළාත් පාලන ආයතනවලටද අදාළය.
එහෙත් එම හැකියාව ඇත්තවුන් මෙම මහජන නියෝජිත ආයතනවල කොහෙත්ම නැතැයි ඉන් අදහස් නොවේ. සෑම පක්ෂයකම මෙම ආයතන සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන දෙතුන් දෙනකු සිටිනු පෙනේ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු මෙහිදී ඉදිරියෙන්ම සිටිති.
නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය හා රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය සඳහා එක්තරා මට්ටමක දැනුවත් හා අවබෝධයක් අවශ්‍ය වේ. ජනතාව නියෝජනය කිරීම අනෙකක් නොව ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න දෙස බැලීමය. ඒ අනුව ගත් කල අනෙකුත් කරුණු තුනද ජනතාව නියෝජනය කිරීමකි.
කෙරවළපිටියේ යුගදනවි විදුලිබලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු සියයට හතළිහක් වූ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා රජය පසුගිය ඔක්තෝබර් 21 වැනිදා එම සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළේය. ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම මේ පිළිබඳව එදිනම තම වෙබ් අඩවියේ නිවේදනයක්ද පළකොට තිබිණි. එම නිවේදනයේ සිරස්තලයේ සඳහන් වූයේ එය ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීම සඳහා වූ ගිවිසුමක් ලෙසය.
මෙම ගිවිසුම මගින් රටේ විදුලි සැපයුම මුළුමනින්ම ඇමෙරිකානු සමාගම අතට පත්වන බවත් එය රටේ ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවත් කියමින් විරුද්ධ පක්ෂ මෙම ගිවිසුමට එරෙහි විය. එසේම කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව එම ගිවිසුම අත්සන් කර ඇති බවටද එම පක්ෂ චෝදනා කරයි. ආණ්ඩුවට සම්බන්ධ සුළු පක්ෂද මෙම චෝදනාම ඉදිරිපත් කරයි. ඇමැතිවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන දෙදෙනා ආණ්ඩුව තුළ මෙම විරෝධතාව මෙහෙයවති. ඔවුන් පවසන්නේ මෙම ගිවිසුමට කිසිදා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය නොලැබුණු බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් වන ඇමැතිවරු මෙය කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ බව පවසති. දැන් මෙම කාරණාව අධිකරණය හමුවට ගොස් තිබේ.
පාර්ලිමේන්තුව තුළ ජාතික ජනබලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 10 වැනිදා යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇමෙරිකානු සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම යැයි කියමින් ලියැවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කෙනකු පුදුමයට පත් කරවන ආකාරයේ කරුණු කිහිපයක් පාර්ලිමේන්තුව හමුවේ තැබීය. ඒ වනවිට ඇමතිවරුන් හෝ මෙම ගිවිසුම දැක තිබී නැති බව ඉන් පෙනී ගියේය.
මෙම ගිවිසුම අත්සන් කරනු ලැබ ඇත්තේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග නොව ඊට අනුබද්ධ සමාගමක් සමඟ බවද වසර දෙකක් ගතවන තුරු ගිවිසුමට අත්සන් කරන එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයේ ලිඛිත එකඟතාවකින් තොරව ගිවිසුමේ අන්තර්ගත තොරතුරු හෙළිනොකළ යුතුයැයි ගිවිසුමේ වගන්තියකින් කියවෙන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් ජනතාවගේ ජීවිතයට හා ආරක්ෂාවට බලපාන කාරණයක් සම්බන්ධයෙන් ජනතාවට කරුණු හෙළි නොකරන බව කියමින් විදේශ සමාගමක් සමග රහස් ගිවිසුමක් අත්සන් කිරීම අතිශයින් බැරෑරුම් කාරණයකි.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රතිචාරයද මතු කරන්නේ ඔවුන් ජනතාව නියෝජනය කරන්නේද යන ප්‍රශ්නයයි. එම ප්‍රතිචාර එක් අතකින් හාස්‍යජනකය. අනෙක් අතින් කනගාටුදායකය. දිසානායක මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට තිබුණේ දිසානායක මහතා ඉදිරිපත් කළ ලියවිල්ල සැබෑ ගිවිසුමේ පිටපතක්ද යන්න සැක සහිත බවයි.
රටේ සාමාන්‍ය පුරවැසියකු මෙසේ ප්‍රතිචාර දැක්වූයේ නම් එය සාධාරණය. මන්දයත්, ආණ්ඩුව මෙතෙක් මෙම ගිවිසුම ප්‍රසිද්ධ කොට නැති හෙයිනි. එහෙත් ඇමැති මණ්ඩලයේදී මෙම ගිවිසුමට එකඟතාව පළ කළ බව කියන ඇමැතිවරයකු එසේ පවසන විට මේ මහජන නියෝජිතයන්ද යන ප්‍රශ්නය නිතැතින්ම මතුවේ. ඔහු ගිවිසුමට එකඟතාව පළකොට ඇත්තේ එය කියවා නොවේදැයි යන ප්‍රශ්නය මතුවන හෙයිනි. එය කියවූයේ නම් දිසානායක මහතා ඉදිරිපත් කළ ලියවිල්ල සැබෑ ගිවිසුමේ පිටපතක්ද නැද්ද කියා ඔහුට වැටහෙනු ඇත.
තමන් ගිවිසුම නොකිය වූ බවද ඇමැතිවරයා මෙම ප්‍රතිචාරයේදී ප්‍රකාශ කළේය. එහෙත් නායකත්වය ගැන විශ්වාසය තබා කැබිනට් මණ්ඩලයේදී ඊට එකඟතාව පළ කළ බව ඔහු පවසයි. ඔක්තෝබර් මාසය වනවිට මෙම ගිවිසුම භයානක ගිවිසුමකැයි විපක්ෂය පවසා තිබිණි. එමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකියැයිද එම පක්ෂ සඳහන් කොටක තිබිණි. එසේ තිබියදීත් එය නොකියවාම ඊට එකඟතාව පළ කිරීම ජනතාව නියෝජනය කිරීමක් විය නොහැකිය.
ආණ්ඩු පක්ෂයේ වෙනත් මන්ත්‍රීවරුන්ද පළ කොට තිබුණේ මීට සමාන අදහස්ය. ඔවුන්ද මතු කළ කරුණක් වූයේ දිසානායක මහතා ඉදිරිපත් කළේ සැබෑ ගිවිසුමේ පිටපතක්ද යන ප්‍රශ්නයයි. ඔවුන් වගකීමක් ඇති දේශපාලනඥයන් නම් කළ යුතු වන්නේ තම නායකත්වය වෙතින් සැබෑ ගිවිසුමේ පිටපතක් ලබාගෙන දිසානායක මහතා සඳහන් කළ කරුණු එහි තිබේදැයි පරීක්ෂා කිරීම විනා කිසිදු පදනමක් නැතිව දිසානායක මහතාගේ ලියවිල්ල සැකයට භාජන කිරීම නොවේ.
මෙහි ඇති විශේෂත්වය නම් පොදුජන පෙරමුණේ කිසිදු නායකයකු විශේෂයෙන්ම මෙම ගිවිසුමේ ‘‘මහ මොළකරු’’ ලෙස සැලකෙන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හෝ දිසානායක මහතා ඉදිරිපත් කළ ලියවිල්ල සැබෑ ගිවිසුමේ පිටපතක් නොවේ යැයි කියන්නට ඉදිරිපත් නොවීමය. අඩු තරමින් වසර දෙකක් ගතවන තෙක් ගිවිසුමේ වගන්ති හෙළි නොකරන බවට දෙපාර්ශවය එකඟ වී ඇතැයි දිසානායක මහතා කළ බරපතළ ප්‍රකාශය පමණක් හෝ ප්‍රතික්ෂේප කරන්නට ඔහු ඉදිරිපත් නොවීමයි. එයම දිසානායක මහතා ඉදිරිපත් කළ ලියවිල්ල සැබෑ ගිවිසුමේ පිටපතක් යැයි විශ්වාස කරන්නට කෙනකු පොළඹවයි.
දිසානායක මහතා ඉදිරිපත් කළ කරුණු කිහිපයට අමතරව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හා රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා තවත් බරපතළ කාරණයක්ද ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. එනම් මෙම ගිවිසුමේ පාර්ශවකරුවන් දෙදෙනා වෙනුවෙන්ම සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබා ඇත්තේ එකම පුද්ගලයකු බවයි. මෙය ගිවිසුමකට සාක්ෂිකරුවන් අත්සන් කිරීම විහිළුවක් බවට පත් කරවන තත්ත්වයකි. ජාත්‍යන්තර ගිවිසුමක එවැන්නක් සිදුවීම වංචාවකි. එය ඇමෙරිකානු සමාගමද නොදැන සිටියා විය නොහැකිය.
ජනතාවගේ යහපතට හේතුවන ගිවිසුමක් ජනතාවට වසං කළ යුතු නොවේ. එය මෙසේ සැක කටයුතු අයුරින් එකම සාක්ෂිකරුවකු දෙපාර්ශවයේ සාක්ෂිකරු ලෙස අත්සන් කොට විහිළුවට ලක් කළ යුතුද නැත. මේ කිසිදු කරුණක් පොදුජන පෙරමුණේ නායකත්වය විසින් සාධක සහිතව ප්‍රතික්ෂේප කොටද නැත. එහෙත් මේ තත්ත්වය යටතේ වුවද මෙම ගිවිසුම අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් කුඩා පක්ෂද ඇතුළත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය නොදී සිටිනු ඇත්ද?
සමහර විට දැන් මෙම ගිවිසුමට විරුද්ධව සිටින කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටීමට හෝ ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ නොසිටින්නට පුළුවන. සමහර විට මෙම විරෝධය මගින් විපක්ෂය ශක්තිමත් වීමට තමන් ඉඩ නොදෙන බව කියමින් ඔවුන් ඊට පක්ෂව ඡන්දය දීමටද පුළුවන. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් මෙවැනි කරුණු ඇතුළත් ගිවිසුමක් අනුමත කරන්නේ නම් ඔවුන් ජනතාව නියෝජනය කරන බව කිව හැකි නොවේ.
පෙර නොවූ විරූ අයුරින් දිනකට ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් ගිනිගැනීම් දහයක් හෝ පහළොවක් වාර්තාවේ. ගෑස් සමාගම් පවසන්නේ මෙය ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයක් නොව පාරිභෝගිකයන් පාවිච්චි කරන රෙගියුලේටරය, ගෑස් නළය, ගෑස් ලිප වැනි අනෙකුත් උපාංගවල ප්‍රශ්නයක් බවය. එහෙත් ගැටලුව වන්නේ ජනතාව පසුගිය දශක තුනක් තිස්සේ පාවිච්චි කළේද මෙම උපාංග වීමයි. මෙම පිපිරීම් හා ගිනිගැනීම් රැල්ල ඇතිවීමට පෙර කලාතුරකින් එවැනි සිදුවීම් වාර්තා වූවා විනා දිනකට දහයක් පහළොවක් වාර්තා වූයේ නැත. ඒ අනුව මෙය උපාංගවල ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. ගෑස් ලිප් හා ගෑස් නළ පිපිරීම් නිසා මෙය පීඩනය නිසා සිදුවන්නක් බවද සිතිය හැකිය.
ඒ තත්ත්වය ඇතිවූයේ මෑතකදී ගෑස් සමාගම් ගෑස්වල සංයුක්තිය වෙනස් කිරීම නිසායැයිද සිතිය හැකිය. එහෙත් ගෑස් සමාගම්වල හෝ ආණ්ඩුවේ බලධාරීන් එය පිළිගන්නට දක්වන්නේ අසීමිත මැළිකමකි. ඒ වෙනුවට ඔවුන් දැන් කරන්නට යන්නේ ගෑස් කාන්දුවීමකදී ගඳ හොඳින් දැනෙන අයුරින් ගෑස්වල එතිල් මර්කැප්ටන් නම් රසායනිකය වැඩි කිරීමය. එනම් අනතුර වැළැක්වීම නොව අනතුරක් ඇතිවිය හැකියැයි ජනතාවට දැනගන්නට සැලැස්වීමය. එහෙත් ගඳ දැනෙන්නේ ගෑස් කාන්දුවීමක් ඇති වුවහොත් පමණි. කාන්දුවීමකින් තොරව ගෑස් ලිපක් හෝ නළයක් පිපිරී ගින්නක් ඇති නොවේයැයි ඉන් සහතිකයක් දිය හැකිද? අනතුර වැළැක්වීමට නොව අනතුර ගැන අනතුරු ඇඟවීම ගැන උනන්දුවන දේශපාලනඥයන් කරන්නේ ජනතාවට වගවීමක් නම් නොවේ.
දේශපාලනඥයන් ජනතාව නියෝජනය කරන්නේද යන ප්‍රශ්නය මතු කරන තවත් කරුණක් නම් පොහොර ප්‍රශ්නයයි. කාබනික පොහොර පිළිබඳ කිසිදු අත්හදාබැලීමකින් තොරව හා එම පොහොර ප්‍රමාණවත් අයුරින් ගොවීන්ට සැපයීමට කිසිදු ප්‍රායෝගික සැලැස්මකින් තොරව ආණ්ඩුව පසුගිය මැයි මාසයේදී රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කළේය. මෙය රට මුහුණ දී සිටින විදේශ විනිමය ප්‍රශ්නය නිසා හදිසියේ ගත් තීරණයක් බව පැහැදිලිය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ යළිත් රසායනික පෝර ගෙන්වීම පමණක් නොව මෙතෙක් ආනයනය නොකරන ලද ආහාර ද්‍රව්‍යද ආනයනය කිරීමට සිදුවීමය.
කෘෂිකාර්මික ප්‍රදේශවලින් තේරී පත්වූ එසේම තමන්ද වගා කටයුතුවල නිරත ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හෝ මේ හදිසි තීරණය නිසා ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කිරීමට හා ඔවුනට අනතුරු ඇඟවීමට ඉදිරිපත් නොවීම තේරුම් ගන්නේ කෙසේද? ඇතිවිය හැකි බරපතළ තත්ත්වය ගැන අනතුරු අඟවන්නට ගොස් තමන් උදහසට ලක් වනු ඇතැයි ඔවුන් සිතුවා විය හැකිය. එසේ සිතා කටයුතු කිරීම ජනතාව නියෝජනය කිරීමක්ද? ඔවුන් තම වගකීම ඉටුකළා නම් පොහොර හා ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැනට මතුවී ඇති තත්ත්වය මෙතරම් බරපතළ නොවන්නට ඉඩ තිබිණි.
වත්මන් තත්ත්වය පිළිබඳව යූටියුබ් සංවාදයකට සහභාගි වෙමින් පසුගිය ඉරිදා පාර්ලිමේන්තුව වාරවසාන කරන තෙක් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිව සිටි අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇමැති මණ්ඩලයේ යස් සර් යැයි කියන්නන් නොසිටිය යුතු බව පැවසීය.එහි වාද විවාද ඇතිවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. එහෙත් එවැනි තත්ත්වයක් අද හෝ අතීතයේදී හෝ තිබුණේදැයි සැක සහිතය.
බලයේ සිටින පක්ෂවල තනතුරු සඳහා අරගල කෙරුණා අපට මතකය. එහෙත් ප්‍රතිපත්තිමය පදනමින් අරගල කෙරුණා මතක නැත. ගාමිණී ජයසූරිය මහතා ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව තම ඇමැති ධුරයත් මන්ත්‍රී ධුරයත් අත්හැරීම වැනි සිදුවීම් මෙරට දේශපාලනයේ නැති තරම්ය. දේශපාලනය මහා පරිමාණයෙන් මුදල් ඉපැයීමේ මාර්ගයක්ව පවතින තාක් එවැනි තත්ත්වයක් අපේක්ෂා කරන්නටද නුපුළුවන.
(*** එම්.එස්.එම්. අයුබ්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
JVP අනුර කුමාර දිසානායක ඇතුළු කණඩායම මේ වනවිට පුරුදු, පුහුණු වෙමින් තිබෙනුයේ දේශපාලන ක්‍රීඩාවේ ඔවුන්ගේ පක්ෂයක් වශයෙන් ක්‍රීඩාකරන අවසාන තරගය බව පෙනේ. JVP කණ්ඩායමේ ඉතිහාසය වර්තමානය සහ අනාගතය හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසු පැහැදිලි වන්නේ JVP කණ්ඩායම ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශපාලන තරගයෙන් පසු ඔවුන් දේශපාලන ක්‍රීඩාවෙන් පමණක් නොව දේශපාලන පිටියෙන්ද සමුදීමට සිදුවනු බව දේශපාලන විනිසුරුවරුන් ප්‍රකාශ කර තිබේ... ඔවුන් කණ්ඩායමක් වශයෙන් බුද්ධිමත් තීරණයක් ගතහොත් අන්ත පරාජය වලක්වා ගැනීමටද හැකියාව පවතී..
ගාමිණී ජයසූරිය මහතාගේ මතකය පමණක් නොව, මෙම ලිපියට ප්‍රස්තුතය වූ ජනතා විමුක්ති පෙරමුණ, 2004දී චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමති ධුර 04ක් හොබවන සමයේ විදුලි බල මණ්ඩලය ඇතුළ ආයතන පුද්ගලීකරණයට සැරසෙන අවස්ථාවේ දිනයක් ලබාදී එදින රෑ 12ට පෙර එම ගිවිසුම් අහෝසි කරන ලෙස දන්වා එසේ නොවුනහොත් ඇමති මණ්ඩලයෙන් ඉවත්වන බව පවසා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගියේය. පසුව එම ගිවිසුම් අදාළ දිනයේ රෑ 12ට පෙර ඉවත් කර ගැනීමට චන්ද්‍රිකාට සිදුවිය. ඒ වගේම සුනාමි සහන මණ්ඩලය පරාජයට පත් කිරීමටද කටයුතු කළේ ජවිපෙ ඇමතිවරු ඇමති ධුර අත්හැරීමෙන් සහ එම සන්ධාන ආණ්ඩුවෙන්ද ඉවත්ව යාමෙනි.
ලංකාව වැනි ප්‍රාග්ධනය අඩු රටක සංවර්ධනය සඳහා ප්‍රාග්ධනය පිටතින් පැමිණීම වැදගත්. එය විදේශීය ණය ලෙස හෝ ආයෝජන ලෙස විය හැකියි. ණය ලබාගැනීමේ ආනිසංස අප දැනටමත් විඳිමින් සිටී. ලංකාව වැනි මූල්‍ය විනයක් නැති රටකට වඩා යෝග්‍ය වන්නේ විදේශීය ආයෝජනයි. එවැනි ආයෝජන රටට පැමිණෙන විට සමහරෙක් ඒවා රටේ සම්පත් විකිණීමක් ලෙස අර්ථ දක්වන්නට තැත්කරයි. එය බොහෝ විට සිදුකරන්නේ නොදැනුවත්කම නිසා හෝ පටු දේශපාලන වාසිලබා ගැනීමේ අරමුණකිනි. එවැනි මෝඩ අර්ථ දැක්වීම්වලින් වන්නේ අයෝජකයින් අධෛර්යමත් වීම පමණි. මෙවැනි ආයෝජනවලට විරුද්ධ වන උදවිය, බෙරිහන් දීම නවත්වා, රටට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාගත හැකි විකල්ප ඉදිරිපත් කළයුතුයි. මෙවන් වාතාවරණයක් තුළ, රටට පැමිණෙන විශාල ප්‍රමාණයේ ආයෝජන රහසිගතව තබා ගැනීමේ වරදක් නොමැත.
දැනට ඡන්දේ දෙනවා නම් එකම පක්ෂය ජවිපය විතරයි. ඒක ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්න ගොඩක් කල් යයි..
මෙතන අදහස් දක්වපු බොහෝ දෙනෙකුට ඔළුවට නොගිය ඉතා වැදගත් කාරණයක් ටොක්කක් අැනගෙන හරි තේරුම් ගන්න මම පෙන්නනම්. ඔය සිංගප්පුරුවේ හරි, ඩුබායි වල හරි නායකයෝත් තමන්ගේ රටේ සම්පත් යම් කාල සීමාවන් යටත්ව බදුදීම් වගේ දේවල් කරලා රටට මුලදී මුලදී අවශ්‍ය කරන විනිමය සොයා ගත්තා තමයි. හැබැයි, එකක් ඉතාම හොඳට මතක තියාගන්න. ඒ මිනිස්සු එක ඩොලරයක්වත් කාටවත් වංචා කරන්න දුන්නේ නැහැ. හැකි උපරිම කාර්යක්ෂමතාවෙන් රටේ දියුණුවට යෙදවූවා. මේ කාලකන්නි නායකයින් එහෙමද? කොයි එකා බලයට ආවත් උන් හැම එකාටම ගසා කෑම අනිවාර්ය අංගයක් වෙලා. එහෙම කරනඑකේ විපාක නේද මේ සියලු කාලකන්නි කරුමේ මේ රටට වෙලා තියෙන්නේ. එ්ක හින්දා හොඳට මතක තියා ගන්න මොන ගිවිසුම ගහලා මොනවා වික්කත්, බදු දුන්නත් අන්තිමට ජනතාවට ඉතුරු වෙන්නේ හුලන් විතරයි. මේ කාලකන්නින්ගේ හොරෙන් කරන ගැහිල්ල නවත්වන්න රටේ ජනතාවට පුළුවන් වෙනකන් මේ කිසි දෙයක් හරි යන්නේ නැහැ.