|
ඞී.බී. අතුකෝරාල මහතා 50 වැනි උපන් දිනය නිමිත්තෙන් 1945 දී ගන්නා ලද ඡායාරූපයක් |
වර්ෂ 1981 නොවැම්බර් මාසයේදී ”පෞරාණික රජමහා විහාරයක” නටඹුන් පිළිබඳව මා විසින් ජාතික පුවත්පතකට ලියන ලද ලිපියක් පළවී වැඩි දිනක් ගත වන්නට මත්තෙන් 1981.12.16 දාතමින් යුත් දීර්ඝ ලියුමක් තැපෑලෙන් ලැබිණ. පාඨක ප‍්‍රතිචාරයක් වූ එම ලියුමෙහි අත් අකුරුවල ස්වභාවයත්, යෙදුම්වල විලාශයත් සැබැවින්ම ”වියතකුගේ” ප‍්‍රතිභාව පළ කළේය. ඊට වසර 66කට පෙර තමා පුවත්පතෙහි සඳහන්ව තිබූ ”රජමහා විහාරයට” නුදුරු නිකවැරටිය ප‍්‍රදේශයේ ”ගිරිල්ල” මිශ‍්‍ර පාඨශාලාවේ උපගුරු පත්වීමක් ලැබ සේවය කළ බවත්, එම වකවානුවෙහිදී ඉහත සඳහන් විහාරය වැඳ පුදා ගත් බවත්, ඒ සුන්දර මතකය අවදි වූ නිසාම එදා එහි තතු දක්වන්නට මෙම ලියුම් ලියූ බවත් ආගන්තුක ලියුම්කරු විසින් ලියා තිබිණ. එපමණක් නොව එම වකවානුව සනාථ කරනු වස් 1915 සිට 1919 දක්වා වූ දින පොත් පිටු කීපයක්ද අමුණා එවන්නට අමතක කර තිබුණේ නැත.
සැබැවින්ම ලියුම ඉතා රසවත් මෙන්ම හරවත් විය. රටට යමක් දෙන්නට හැකි දෙයක් මෙම ලියුම් මගින් කෙරුණු නිසා ලියුම්කරු හමුවීමට අදිටන් කර ගතිමි. කෙටි කලකින්ම දිගු හිතවත්කමක් මුල් බැසගෙන තිබූ නිසාම ඞී.බී. අතුකෝරාල නම්වූ ”පඬිවරයා” හමුවන්නට ඔහු සොයා පොල්ගහවෙල ගොඩපොළ ”හැළමඩ” සුන්දර ගම්මානයට ගියෙමි. එදා මාගේ පැමිණීම බලාපොරොත්තුව මේ වියතා මග රැක බලා සිටියේය. ඒ 1985 වසරයි.
ආර්ය සිංහල ඇඳුම් කට්ටලයකින් සැරසී බස්තමක්ද අත දරා සිරුරෙන් පුංචි පෙණුමක් වුවද ගාම්භීර විලාශයක් පෙන්නුම් කළ ඞී,බී. අතුකෝරාල මහතා ඒ වනවිටත් 90 වැනි විය පසු කරමින් සිටිනවග දැන ගතිමි. රැයක් පහන්වනතුරු ඒ අතීත ආවර්ජනයට සම වැදීසිටි මට හැඟී ගියේ, මා රොබට් නොක්ස් හෝ දොස්තර ජෝන් ඬේව් ඉදිරිපස හිඳ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වන්නි හත්පත්තුවේ වගතුග අසා සිටින බවය. ඒ තරමටම ඒ අතීතාවර්ජනය අති මිහිරිය. පුදුම එළවන සුළුය. එදා මා මේ අපූරු පඩිවරයා හා දොඩමළු වූ අයුරින්ම ලිපිය ඉදිරිපත් කිරීම රසවත් විය හැකි යැයි සිතේ.
|
විද්‍යාලයීය නාම පුවරුව 113 වසරක අතීතය කියයි |
”1915 වෙනකොට මගේ වයස හරියටම අවුරුදු 20 යි. සීනියර් විභාගය සමත් වෙලා හිටියේ. ඒ කාලේ සීනියර් විභාගය පාස් කළා නම් ගුරු තනතුරකට ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලීමක් කරපු මට කෑගල්ල කච්චේරියේ සුදු ඒජන්ත මහත්මයාගෙන් ලියුම් කරදාසියක් ආවා උපගුරු තනතුරකට තෝරාගත් බව දන්වලා. පළමු පත්වීම ලැබුණේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ”ගිරිල්ල මිශ‍්‍ර පාඨශාලාව කියල තැනකට.
දෙවියනේ ඒ මමවත් මගේ අප්පච්චිවත් දැනගෙන හිටියේ නෑ මේ ස්ථානය තියෙන්නෙ කොහේද කියලවත්. ඒත් එක්කම මාසයකට රුපියල් 7.50 බැගින් අවුරුද්දකට රුපියල් 90/= ක වැටුප් පදනමකුත් සඳහන් කරල තිබුණා. මේ කිසිම දෙයක් නොදන්න අපි තොරතුරු දැන ගන්න ගියේ බෙලිගල් කෝරළේ රටේ මහත්මයා හමුවෙන්න. මගේ අප්පච්චිට රටේ මහත්මයා අපූරුවට මේ විස්තර ටික පැහැදිලි කර දුන්නා.”
”මේ ගිරිල්ල කියන මිශ‍්‍ර පාඨශාලාව තියෙන්නේ ”මාහෝ” දුම්රිය පොළට ආසන්නයේ. ඒ පළාත භාර මඩහපොල රටේ මහත්මයා මගේ හොඳ මිත‍්‍රයා. මම උඹලට ලියුම් කරදහියක් දෙන්නම් එයාට දෙන්න. උඹලට පහසුකම් හදල දෙයි පොල්ගහවෙලින් නැඟපල්ලා කන්කසන්තුරේ කෝච්චියේ. මාහෝ දුම්රිය පොළෙන් බැහැල ඒ ළඟම තියන මඩහපොල වළව්වට ගිහින් ලියුම් කෑල්ල දීපල්ල කිව්වා.”
|
ඞී.බී. අතුකෝරාල මහතා විවාහ වූ දා ගන්නා ලද ඡායාරූපය |
”1915 සැප්තැම්බර් 16 වැනිදා උදේ මේ ගමන යන්න අප්පච්චි ඇතුළු අපේ පවුලේ හත් දෙනෙකුයි, මමයි, අට දෙනෙක් බුදුන් වැඳල සුබ මොහොතින් පිටත් වුණා.
තලකොළ පෙට්ටියකට බත් මාළු පුරවලා අපේ අම්මා දුන්නේ අතර මඟදි කන්න. දහවල් 12 විතර වෙනකොට ”මාහෝ” දුම්රිය පොළට ආවා. ඒ දවස්වල ”මාහෝ” කඩමණ්ඩියක් කියල තිබුණෙ නැහැ. දුම්රියපොළ ළඟින්ම කඩ දෙකක් තිබුණා. ඉන් එකක් ”යාපන” දෙමළ මුදලාලි කෙනකුගේ සුරුට්ටු කඩයක්. අනිත් එක සිංහල භෝජන ශාලාවක්. අපි ගෙනා බත් පෙට්ටිය ඒ සිංහල කඬේදි කාලා ළඟම තිබුණ මඩහපොළ වලව්වලට ගියා. බෙලිගල් කෝරළේ රටේ මහත්මයා දුන්න ලියුම් මඩහපොළ රටේ මහත්මයාට දුන්නාම එයා සියලූ විස්තර කියල දුන්නා. මෙහෙම...”
”උඹලට යන්න තියන ගිරිල්ල පාඨශාලාව තියෙන්නෙ මෙහේ ඉඳලා හෝ්රා තුන හතරක දුර මඟ දිගට ටිකක් බාධකයි. අලි, කොටි, කුළු හරක් එහෙම ඉන්නව. දිගටම වනන්තරේ තමා. ඒ උනාට උඹලා බයවෙන්න එපා. හරියටම මඟතොට දන්නා තුවක්කු කාරයෝ දෙන්නෙක් දෙන්නම් උඹලගෙ රැුකවලේට. බය නැතුව පලයල්ලා” කියල එතුමා කීවා.
”අපි අට දෙනයි... තුවක්කුකාරයෝ දෙන්නයි. දහ දෙනාම දහවල් 1 ට විතර පයින්ම ගමන ආරම්භ කළා. මාහෝ ඉඳල දළදාගම, වතුපලගම, තම්මිටගම, තිඹිරියාව, නාවාන, කරාගම කියන පොඩි පොඩි කැලෑ පිටිසර ගම්මාන පහුකරගෙන ගිරිල්ල පාඨශාලාවට එනකොට හවස 6 ට විතර ඇති.
හැතැම්ම 15 ක් විතර දුරක් ආවා. මේ එන ගමන්මගේදී පාර දිගටම අලිබෙටි. අලින් කැලෑ බිඳින සද්දේ. හරිම බයයි. කරාගම කියන කැලෑ ප‍්‍රදේශයේදී පාර හරහා කොටි නාම්බෙකුත් පැන්නා. ඒත් බය තුරන් වෙන්නෙ තුවක්කු කාරයෝ නිසා. මඟ දිගටම කැළේ. පළු, වීර ගස් පුරාම ගෙඩි ඉදිල. ඒවා කකා ආවා. තම්මිටගමයි, තිඹිරියාවයි කියන ගම් දෙකේ හොඳ අම්බලන් දෙකක් තිබුණ. පිංතාලිත් හරි අගේට තිබුණා.”
”ගිරිල්ල පාඨශාලාවට ආපු ගමන්ම මට රස්සාව එපා වුණා. මම ඇඬුවා. මේ වනාන්තරේ ඉන්නේ කොහොමද කියල. අපේ අප්පච්චි සැරෙන් වගේ කීවා. ඒක දොහකින් ඕවා හරියයි කියල මම ඉවසාගෙන උන්නා.”
”ඉතින්... අපි දහදෙනාම ඉතා කරුණාවෙන් පිළිගත්තේ ප‍්‍රධානාචාර්යවරයා වශයෙන් හිටපු ටී.කේ. නිකවැරටිය කියන මහත්මයා. එතුමා ගුරු නිවාසය වශයෙන් ප‍්‍රධාන ශාලාවේම එක පසෙක තිබුණ කාමරයකයි නතර වෙලා හිටියේ. පුංචි කුස්සියකුත් තිබුණ. ප‍්‍රධානාචාර්යතුමා අපට රාත‍්‍රී කෑම පිළියෙළ කළා. කෑම ඉව්වේ දොඩම්ගොල්ලේගම, මුදලිහාමි කියල හිටපු මනුස්සයෙක්. කෑම ටික කාලා අපි ඉක්මණින්ම නින්දට ගියේ පයින් ආපු මහන්සියට. නමුත් ඒ නින්දේදී වුණත් මම වරින්වර ගැස්සිල අවදි වුණා අලින්ගේ කෑ ගැසීම්වලට. කොටින් ගොරවන සද්දවලට. පාඨශාලාවට යාව කැළේ පැත්තේ මුවන්ගේ ”හූ” හඬවලට.”
”පහුවැනිදා උදේ ප‍්‍රධානාචාර්යතුමාට මාව භාරදීල අවශ්‍ය රාජකාරිවලින් පස්සේ අපේ අප්පච්චි ඇතුළු පිරිස ආපහු යන්න පිටත් වුණා. අපට ආරක්‍ෂාවට ආපු තුවක්කුකාරයන්ට මහන්සි ගාස්තු හැටියට රුපියල ගානේ රුපියල් දෙකක්ම අප්පච්චි පරිත්‍යාග කළා. ඉන් පස්සේ ඒ අය නැවතත් ගමන් ඇරඹුවේ මාහෝ දුම්රියපොළ බලාගෙන.”
|
බකිංහැම් මාලිගයෙන් ලද ගෞරව පදක්කමේ සටහන |
”ගිරිල්ල මිශ‍්‍ර පාඨශාලාවට තිබුණේ එකම එක ශාලාවක් විතරයි. ඒක හදල තිබුණේ 1900 දී කියල ප‍්‍රධානාචාර්යතුමා කීවා. ශාලාව දෙපසම කාමර දෙකක් තිබුණා. එක පසෙක කාමරේ ප‍්‍රධානාචාර්යතුමා නතර වෙලා. අනෙක් පස කාමරය මට පිළියෙල කරල තිබුණේ. ගිරිල්ල ගමේම තරුණ ගුරුවරයෙකුත් සේවය කළා. එතුමාගේ නම තෙන්නකෝන්. තවත් මොනිටර් ගුරුවරු දෙන්නෙක් වැඩ කළා. ඒ අය අසලම තිබුණ හිදෝගම කියන ගමේ ජීවත් වුන සුද්දහාමි, අවුසදහාමි කියල දෙන්නෙක්. අටේ පන්තියට ගියාම ඔවුන්ටත් ගුරුකම ගන්න පුළුවනි. ඒ අයට කීවේ මොනිටර්ලා කියලා.”
”ගොඩනැගිල්ලේ ප‍්‍රධාන පාරට මුහුණ දාලා තිබුණ කොනේ ප‍්‍රධානාචාර්යතුමාගේ කාමරය පැත්තේ බෙන්ච් :ඊෑභක්‍්‍ය* එකක් තිබුණා. ඒක හරියට පුංචි වේදිකාවක්. ප‍්‍රධානාචාර්යතුමා එතැන මේසයයි, පුටුවයි තියාගෙන රාජකාරි කරනවා. ප‍්‍රධානාචාර්යතුමා තමයි සීනුව නාද කරන්නෙත්. වැරදිවලට දඬුවම් දෙන්නෙත්. ළමයි ඉගෙන ගත්තෙ බිම පැදුරුවල ඉඳගෙන. ගල්ලෑලි ගල්කූරුවලින් තමා අකුරු ලීවේ. පොත් පෑන්, පැන්සල් තිබුණෙ නැහැ. හැම ළමයෙක් වගේම ගුරුවරුනුත් කොණ්ඩ බැඳලා. කොණ්ඩ කැපීමක් ඒ කාළේ නැහැ. දණහිස දක්වා රෙද්දක් ඇඳගෙනයි පිරිමි ළමයි ආවේ. උඩුකය නිරාවරණයි. ගල්ලෑලි ගල්කූරු පන්මල්ලක තමා දාන්නෙ. දවල්ට ඔවුන්ට එහිදීම බත් වෑංජන උයල කන්න දුන්න. අපටත් කන්න ලැබුණා.”
”ප‍්‍රධානාචාර්යතුමා බෙන්ච් එකේ ඉඳගෙන ඉන්න වෙලාවට ළමයි කවුරුවත් කතා බහ නැහැ. සැර වැර කළාම ඔවුන්ට මුත‍්‍රා යනව. වැරදි කරන ළමයි බෙන්ච් එකටම නංවනවා. ළමයි එතැනටකීවේ බෙන්චිය කියල. බෙන්ච් එක ඉස්සරහින් සිමෙන්තියේ ලියල තිබුණ 1910 කියල. ඒ බෙන්ච් එක හදාපු අවුරුද්ද කියලයි. හිදෝගම සුද්දාහාමි මොනිටර් ගුරුවරයා කීවේ.”
”ප‍්‍රධානාචාර්යතුමාගේ ඇඳුම සුදුපාට බැනියම ඇඳල ඊට උඩින් ටුවිට් කෝට් එක. ඒකත් සුදුයි. ටුවිට් රෙද්දක්මයි අඳින්නෙත්. ඒකත් සුදුයි. සපත්තු සෙරෙප්පු පාවිච්චියක් ඇත්තෙම නැහැ. මමත්, ගිරිල්ලෙ තෙන්නකෝන් මහත්තයාත් ඇන්ඳේ ඒ ඇඳුමමයි. මොනිටර් ගුරුවරුන් දෙන්නා පලේකාට් කොටුසරමයි, අත් කොට බැනියම් වගේ මහගත්තු කමිස ඇන්දා.”
|
සිය වසකට පෙර ප‍්‍රධානාචාර්ය තුමාගේ නවාතැන ලෙසට භාවිතා කළ මැදිරිය අද ප‍්‍රධාන කාර්යාලයකි |
”පාඨශාලාවට ආපු අලූත්ම ගුරුවරයා හැටියට මොනිටර්ලායි, ගමේ අයයි, මාව ගණන් ගත්තෙම නෑ. මේක මට හරිම දුකක්. ප‍්‍රචානාචාර්යතුමා කීවා මම හිසේ පළඳින මී අං නැමි පනාව ඉවත් කරන්න වෙයි. ඒක පහතරට මිනිස්සුන්ගේ එකක් කියලා. මම නැමි පනාව අයින් කළාම ඒ තත්ත්වය වෙනස් වුණා. දවසක් මම ගමේ අය රැුස්වුන දවසක කීවේ මම උඩරට ගොවිගම කෙනෙක්. මගේ නම ඩිංගිරි බණ්ඩා. අතුකෝරාළ කියන්නේ මගේ උඩරට පෙළපත කියල. ඔන්න ගමේ අය එදා ඉඳල මට හරිම එකතුයි. එදා ඔවුන් කීවේ අප්පොච්චියේ... ආයිබෝවන්... අපි හිතුවේ තමුන්නැහේ පාත්තයෙක් කියලනේ. පාත්තයා කියල හැඳින්වුණේ පහතරට ප‍්‍රදේශයේ අයට. ඒ පැත්තේ අය කුලභේද ගැන හරියට හෙව්වා.”
”අහල පහළ ගම්වලට ගිහින් ඉගෙන ගන්න නොඑන ළමයි හොයන්නත් අපට පැවරිල තිබුණ. ගැහැණු ළමයින්ටනම් බලකිරීමක් නැහැ. කැමති දෙයක් කරන්න පුළුවනි. ඉගෙන ගන්න නොඑන දරුවන්ගෙ මාපියන්ට නඩු දාන්නත් ආරච්චිලා (ගම්පති) කටයුතු කළා. ගම්වල ළමයි සොයා බලන්න යන ගමනේදී අපට උදව් කළේ උඩගිරිල්ල ගමේ උපාසක මහත්තයා කියල කියන කෙනෙක්. ගමේ ප‍්‍රදේශයේ හොඳට අකුරු ශාස්ත‍්‍රය දන්නා උපාසක මහත්තයා ඉගෙනගෙන තිබුණෙ කඩවලගෙදර පන්සලෙන්. වැලි පිල්ලෙ අකුරු ලියලා. අයනු කී අයන්නේ කියල කියපු කෙනෙක්. බුද්ධ ගජ්ජේ සකස්කඩ නාමාෂ්ඨ සතකය නම් පොත වගේ සියලූම පොත කියවපු දක්‍ෂයෙක්. පන්සලේ බණ පොත් කියවන්නත් මුල්වෙන්නේ උපාසක මහත්තයාමයි.”
”කඩවලගෙදර පන්සල බොහොම පරණයි. සුළුගුලූ උපාසකතුමා මලියදේව රහතන් වහන්සේ එක්ක නතර වෙලා හිටපු තැනක්.”
ගිරිල්ල පාඨශාලාවේ වගතුග අතරම එවකට එම ප‍්‍රදේශයේ පැවැති සියලූ විස්තර දැන ගැනීමේ ආශාව නිසා එතුමා ඒ පිළිබඳවද අපූරු ඓතිහාසික තොරතුරු හෙළි කළේය.
”ඒ කාලේ වන්නිපළාත මහා වනාන්තරේ. පළු, වීර, බුරුත, කරුවල ගස් පිරිලා. හේන් කෙටීම, කුඹුරු කිරීම ප‍්‍රධාන රස්සාවයි. මේ වගාවල පැල් රැුකීමත් ඔවුන්ගේ ජීවිතයේ එක අංගයක්. රාත‍්‍රි කාලවල ගම් ගෙවල්වල පිරිමි උදවිය නැහැ. පැල් රකින්න ගිහින්. එක ගෙයි දීග කෑම නැතිනම් එක බිරිඳට ස්වාමි පුරුෂයො දෙන්නෙක් ඉන්න විවාහ ක‍්‍රමේ සුලභයි. එහෙම ගෙවල්වල ස්වාමිවරුන් දෙදෙනා මාරුවෙන් මාරුවට පැලට යනව. එකෙක් නිතරම ගෙදර ඉන්නව. ස්වාමිපුරුෂයන් දෙදෙනාම එක කුස උපන් අයියමලෝවරු.”
”ගැමියො හරිම අහිංසකයි. ආගන්තුක සත්කාරයට මනාපයි. හැබැයි. පුංචි මාන්නක්කාර කමකුත් තිබුණ. කුල මලභේද බැලූවා. පිරිමින් නිතරම අමුඩ ඇඳගෙන සරමක් කරේ දමාගෙනයි හිටියේ. හිසේ තලප්පාව වරදින්නේම නෑ. සීතලxඋෂ්ණය ඔවුන්ට වැඩි ගණනක් නැති තරම්. ඒ ඔවුන්ගේ ජීවන රටාව හින්දා වෙන්නැති. මොකද මේ ප‍්‍රදේශයේ ගොවිතැන් ආලාපාළු කරන්නේ මුවා, ගෝනා, ඌරා, කුළු හරකා. දඬුවැට පෙරළාගෙන රාත‍්‍රි හේනට කුඹුරට සේන්දු වෙනවා. ඉතින් මේවා රැුක ගන්න. පැලට යන්නම ඕනැ. පැල් රකිනකොට ශරීරේ වහගෙන පැල් රකින්න ගියොත් නින්ද යනනිසා ඇඳුම් අඩුවෙන්මයි ඔවුන් ඇන්දේ. ඔවුන්ට වැඩි ඇඳුමකුත් නැහැ. පැලේ නිදා ගන්නකොට හිස තිබ්බේ පුංචි ලී කොට කෑල්ලක. ලීය රළු නිසා නිතරම අවදි වෙනව. ඉතින් මේක ඔවුන්ගේ එදිනෙදා ජීවිතේටත් හුරුවෙලා. ”
”මේ ගම්වල හුඟාක් ලස්සන ගැහැණු හිටියා. හැබැයි ඒ අය උඩුකයට නම් කිසිම වැස්මක් නෑ. නිරාවරණයි. වයස අවුරුදු 15, 17 වගේ තරුණ ළමයි වුණත් එහෙමයි. දණ හිස ළඟට තියන විදියට කම්බා රෙදි කෑල්ලක් විතරයි ඇන්දේ. යටට වෙනත් ඇඳුමක් නැතිවා වගෙයි. හොඳට වැඩුණු අවුරුදු 18 වගේ තරුණ ගැහැණුයි, කිරි දෙන අම්මලයි උඩුකය වැහෙන්න උතුරු සළුවක් වගේ රෙද්දක් පොරවාගෙන හිටියා. කොහොමටත් මේ අය නාන්නෙ ගමේ තියෙන පොදු වැවෙන්. නාන වෙලාවට නම් ඔක්කොගෙම උඩුකය නිරාවරණයි. එහෙ ගිය මුල් දවස්වල වැවට නාන්න යද්දී මේ දර්ශන දැක්කම මට ලැජ්ජාවක් දැනුණත් ඔවුන්ට නම් ඒ ගැන විශේෂත්වයක් තිබුණෙ නැහැ වගේ.”
”සපත්තු සෙරෙප්පු භාවිතයක් ඒ කාලේ තිබුණෙම නෑ. මා සපත්තු පැළඳගෙන හිටපු මුල් දවසෙම ඔවුන් මා දිහා බැලූවෙ හරිම විමතියෙන්. ඒ නිසා මාත් සපත්තු පැළඳීම අත් හැරියා. ගමේ සමහරු ලී පතුරුවලින් හදා ගත්ත කට්ට කෑලි කියල සෙරෙප්පු පාවිච්චි කළා. ඒත් ගමන් බිමන් වලටයි. ඔවුන් හේන් කොටනකොට කටු ඇනෙන නිසා මුව ගෝන හම් නවල හදාපු අමුතු සෙරෙප්පු ජාතියක් පාවිච්චි කළා. ඒවට කීවේ ”වාන් සම්” නැත්නම් ”වාන් පතුල්” කියල.”
”ගොවිපළවලට ලබුකැටවල වතුර දමාගෙන යන ඔවුන් නිතරම බීවෙ රණවරා, පොල්පලා, බෙලිමල් ඉකිරිය වගේ දේවල්. ඔක්කොම බේත් වර්ගනෙ.”
”ගමේ ගෙවල් හැදිල තිබුණේ වැව පාමුල. ඒකට කීවේ ගම්මැද්ද නැතිනම් ගම්මැදිගොඩ කියල. මේ ඔක්කෝම එකම එක පොකුරට හැදුණු උස් පිල්ගෙවල්. එකම මිදුලට හිටින්න ගෙවල් තිහ හතළිහක් විතර තිබුණා. මේ ගෙවල් ඔක්කෝම වට වෙන්න උස් ”අන්දර කණු” හිටවලා වැටක් බැඳල තිබුණා. ඒ ?ට කොටින් ගම්වලට කඩා වදින නිසා. උස් පිල් ගෙවල් හැදුවේත් මේ නිසාමයි. උස් පිල් ගෙයක පිල් දෙකක් තිබුණා. එකක් උඩ පිල, අනික යටිපිල නැත්නම් අගුපිල. අගුපිල පාවිච්චි වුණේ දවල් කාලයට. ඒකට කොට්ට පිල කියලත් කීවා.
රෑට නින්දට භාවිත කළේ උඩුපිල. ඒ ආරක්‍ෂාව වෙනුවෙන්. හැබැයි ගෑණු උදවිය දවල් කාලේ ඉඳගෙන හරි නිදාගෙන හරි පිලේ හිටියත් ?ට නම් ඉන්නෙ නෑ. ගේ් ඇතුළෙම තමා. ගෙදරටම තියෙන්නෙ එකම කාමරයයි. ඒ කාමරේට ජනෙල් නෑ. දහවලටත් ලාම්පුවක් ඕනෑ ඇතුළට යන්න. ගේ ඇතුළෙ තමා ඔවුන්ගේ සබ්බ සකල මනාවම තියෙන්නෙ. පැදුරු ආන, මලූ ආන, ඇතුල්පත් ආන, වගේම සමහරුන්ගේ කුරක්කන් අඹරණගලත් ගේ ඇතුළේමයි. තියන රෙදි කෑල්ල දමාගෙන තිබුණෙ ලොකු හැලියකට. ඒකට කියන්නෙ පිලී හැලිය කියල. පිලී හැලියේ රෙදි සුවඳවත් වෙන්න සැවැන්දරා මුල් දාලා කොරහකින් වහල දමනවා.”
”ගම් මැද්දෙ මැද මිදුලෙ තමා කාගේත් වී අටු, කුරහන් අටු තිබුණේ. ඒ අතරේ හැම මිදුලක අයිනේ පණ්ඩසාලේ කියල එළිමහන් ගෙයක් තිබුණා. දහවල ගැහැනුන්ට ඉන්න හිටින්න පන්වලින් මළු, පැදුරු වියාගන්න, වී, කුරක්කන් කොටාගන්න මෙතැන හරිම වැදගත්. වී, කුරහන් කොටන තැන බිමට ගල් පතුරක් යොදාගෙන තිබුණා. ඒකට කීවේ ”බිම්මල” කියල. රෑ, දවල් ගෑනු මේ බිම්මලට වී දාලා කෙටුවේ රංචු හැටියට. වටේට කැරකි කැරකි හරිම සුන්දර විදිහටයි. ඒ් වැඬේ කෙරෙන්නෙ.”
”මම ගිරිල්ල පාඨශාලාවේ ඉද්දී එහෙ සිද්ධවුන මළ ගෙවල් කීපයකට ගියා. හැබැයි මැරෙන ප‍්‍රමාණය අල්පයි. මැරෙන අයත් උපරිම ආයු විඳලයි මැරෙන්නෙ. ළදරු හරි ළමා මරණ මා දැක්කෙ නැහැ. වයස 100 තරම් අයගෙ මළ ගෙවල් කීපයකුත් වැව්වල නාද්දි කිඹුලන් කාපු නිසා මැරුණු එක්කෙනෙක් දෙන්නෙක්ගෙ විතරක් දකින්න ලැබුණා.”
”මළ සිරුර ගෙදර තියාගන්නේ සාමාන්‍යයෙන් එක දිනයක් විතරයි. මොකද කල්තියාගන්න ක‍්‍රම නැති නිසා. මැරුණ දවසෙම මළ සිරුර මිදුලට අරගෙන ලෑල්ලක තියල හොඳට නාවනවා. රැවුල කපනවා. පස්සෙ. හොඳ පැදුරක බාවල සුදු රෙද්දක් පොරවනවා. අවසන් කටයුතු කරනදාට මිනිය පැදුරක් එක්කම ඔතාදමල ලීවලින් හදපු ”දරහැව” කියන මැස්සක තියාගෙන කනත්තට හරි සුදුසු තැනකට ගෙනියනව. මළ සිරුරුවලට, මීනී කනත්තට, මේ මිනිස්සු හරිම බයයි. රාත‍්‍රී කාලවල මළගෙවල්වලට පිට මිනිසුන් ආවේ නෑ. මැරුණ අය බලන්න යන අමුත්තන් පසුපස අවතාර එනව කියල මහා බියක් තිබුණා.”
”ගෙදරක ගැහැණු ළමයෙක්, නැත්නම් ඒ අය කියන විදියට පොඩිස්සියක්, ළමිස්සියක් වෙනස් කරවන ”ලොකු ළමයෙක්” වෙනවට ඔවුන් කීවේ ”කොටහළු” වෙනවා කියල. කොටහළු වුණ ළමයා දින ගණනාවක්ම ගේ ඇතුළේ හිරවෙනවා. නියමිත දිනේදී නාවන්නේ ”රෙදි නැන්දා” ඒ රජක කුල කාන්තාවක්. ඒ ගැහැණියට කොටහළු වෙච්ච ගෑනු ළමයා නිදා ගත්ත පැදුර, ඇඳගෙන හිටපු කම්බාය වගේ සියලූම දේ හිමිවෙනව. කොටහළු වෙන දවසේ ඒ සලකුණ රැුඳී තිබුණ රෙදි කැබැල්ල හැලියක දමල ඈත කැලයකට විසි කරනවා. ඒ නාවන දවසේ. ඒකට කියන්නෙ ”හැලියේ දමනවා” කියලයි. කොටහළුවෙන් පස්සේ තරුණියන් උඩුකය රෙදි පටකින් වසා ගන්නවා උතුරු සළුවක් වගේ.”
(මතු සම්බන්ධයි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව උක් දණ්ඩක් වගෙයි .කන්ට කන්ට රසයි .කියවන්ට කියවන්ට රසයි .හරිම ලස්සන කතාවක් .මීලග කොටස ඉක්මනින් පල කරන්න . (අ)
හරිම වැදගත් ලිපියක්. හැම වචනයක් ගානෙම රසවත්. (දී)
ලිපිය ලියපු පුද්ගලයා තවම ජීවත් වෙනවද? ලිපිය දන්නා තිබුනේ 1985දි ඔහුට කියවන්නත් එක්ක. මේ ලිපිය ඔහු දැක්කනම් ගොඩක් සථුතුවෙඉ. හොඳ ලිපියක් කියවන්න ඇසි මේ වගේ ලිපි (දී)
හරිම රසවත් පුවතක්. (ස)
ලිපිය ලියපු පුද්ගලයා තවම ජීවත් වෙනවද? ලිපිය දාන්න තිබුනේ 1985 දී ඔහුට කියවන්නත් එක්ක. මේ ලිපිය ඔහු දැක්කනම් ගොඩක් සතුටු වෙයි. හොඳ ලිපියක්. කියවන්න ආසයි මේ වගේ ලිපි. (ස)
ඇත්තටම ශ්‍රී ලංකාව මේ වගේ සොබා දහමත් එක්ක බැඳුණු ජීවිත වලින් පිරුණු සුන්දර රටක්.නුතන සිංහලයන්ට නම් මෙම ගුරුවරයා ගොඩේ කෙනෙක්. අත්දැකීම විස්තර කරලා තියෙන විදිය ඇත්තටම කොයිතරම් නම් සංවේදීද කියලා කියවන ඕනෙම කෙනෙකුට අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ.ලිපිය ගොඩක් පැහැදිලි එකක්.ගොඩක් දුෂ්කර අතීතයක් වුනත්, හරිම රසවත්.හරයක් නැති වැල් වටාරම් වලට වැඩ ඇත්තටම හදවතට සංවේදී ලිපියක්. (ස)
ඇත්තටම හරිම රසවත්. මම හරි ආසාවෙන් කියෙව්වා (දී)
ගොඩක් හොද ලිපියක් 2 කොටස කියවන්න අසාවෙන් ඉන්නව හරිම සුන්දර අතීතයක්.(නදී)
ඉතාම වැදගත් ලිපියක්.මෙ වගේ ලිපියක් පලකිරීම ගැන සතුටුවෙනවා.(දී)
හොඳ ලියක් සුනිල් කුමාරසිංහ අතුකෝරල (සරුබීජ බ්ලොක්ස්පොට්, බලන්න)(නදී)
දැන් කාලයේ ඉන්න කාන්තාවන් මේවා ආදර්ශයට ගන්න ඕන.(දී)
ඉතා රසවත්. සියළු දෙනාම කියවන්න .ගොඩක් වටිනවා !!! (දී)
ඉතා රසවත්. සියළු දෙනාම කියවන්න (නි)
මේ රසවත් ලිපිය පළකිරීම ගැන කර්තෘ මණ්ඩලයට ඉතාමත් ස්තූති කරමි. " ඔවුන් හේන් කොටනකොට කටු ඇනෙන නිසා මුව ගෝන හම් නවල හදාපු අමුතු සෙරෙප්පු ජාතියක් පාවිච්චි කළා. ඒවට කීවේ ”වාන් සම්” නැත්නම් ”වාන් පතුල්” කියල.” රොබට් නොක්ස් ලියූ "an historical relation of Ceylon" පොතේ ඔහු මහනුවරින් අනුරාධපුර දෙසට පලාගොස් මල්වතු ඔයේ ඉවර දිගේ ගොස් අරිපු ඕලන්ද කඳවුරට ලඟා වූ බව සඳහන් වේ. කැලෑවේ කටු ඇනීමෙන් ඹහුව ආරක්ෂා කළ එකම දෙය ඔහූ එළු හමින් තනා ගත් ”වාන් පතුල්” සපත්තු බව කියා ඇත. රොබට් නොක්ස් මේ එකල සිංහල සිරිත් විරිත් හොඳින් දැනසිටි බව මේ ලිපියෙන්ද පැහැදිළි වේ. (දී)
කදිම ලිපියක්..... අතීතය තුලින් වර්තමානය හදාගන්න වටිනා ලිපියක්. අපේ අතීතය කොයිතරම් සුන්දරද? නිහඩද? මේ වගේ ලිපි කියවනකොට ඇස් වලට කදුළු එනවා (නි)
අප හැමට තිබුන ඒ සුන්දර අතීතය ,,ගහ කොළ සතා සීපාවා, මොනිටර් ගුරුවරු, සීනියර් විභාගේ, බුද්ධ ගජ්ජේ, සකස් කඩ, අනේ ඒ අතීතේ අදටත් තිබේනම් කියා හිතුන වාර අනන්තයි මේ ලිපිය කියවන විට..... (නදී)
අපේ අත්තම්ම,සීය,තාත්ත කියපු පැරණි කතා මතක් වුන.ලංකාදීපයට පින්.(නදී)
මෙතෙක් අපේ රටේ මිහිරි අතීතය මවා පෙන්නන, මේ ලිපිය ලියු මහත්මයට බොහොම ස්තූතියි.අපි නොදුටු ඒ අතීතය කොතරම් සුන්දරද? කවදාවත් මෙවන් ගම්මානයක් අපිට දකින්නට නම් ලැබෙන්නෙ නැහැ. ස්තූතියි ලංකාදීපයට. (ස)
බොහොම වැදගත් ලිපියක්. ද්‍රවිඩ ජාතික මම සිංහලෙන් ඉගනගත්තේ මෙවැනි අනර්ඝ ලිපි ලේඛන හැදෑරිමට පින් ලැබුන නිසාය. අනිවාර්යෙන් මෙම ලිපිය මගේ කුඩා දියනියට පර්වර්තනය කර දෙමි. (නි)
මම ද මේ පළාතේම අයෙක්මි. මහත් සේ ආඩම්බර වෙමි. (නි)
මෙම ලිපිය පල කල ලංකාදීපයට හද පිරි ප්‍රණාමය!! . ඉතාම රසවත් ලිපියක්. ලිපිය ඉවර වනතුරු මට හුස්ම ගන්නවත් මතක් වුනේ නැති තරම.තව කොටසක් තිබෙනවා නම් කරුණාකර පලකරන්න. ඉතා අගනා ලිපියක්. අපි නොදන්නා අපේ රටේ අතීතය ගැන දැන ගන්න අපි ඉතා කැමතියි.ලිපිය පල කල කතෘ මහතාට බොහොම පින් ඉතා වැදගත් රසවත් ලිපියක් පල කලාට. අද කාලේ නිතර පලවන ඕපාදුප ලිපිවලට වැඩ ඉතා හරවත් අගනා ලිපියක්. (ස)
ඔබට ස්තුතියි මෙවැනි අනර්ග ලිපියක් පළ කළාට.ඉතිරි කොටසුත් ඉක්මණින් පළ කරන්න.මවු බිමේ ඈත අතීතයක අපි නොදුටු මෙවැනි විස්තර,මෙවැනි අලංකාර ජන ජීවිතයක් ගැන දැන ගන්න හරි කැමතියි. (නි)
මෙවැනි ලිපියක් කියවීමට ලැබීමත් ජිවිතයේ ලද වාසනාවක්.. (නි)