ගෙවුණු දින සති මාස තුළ ඔබ අපට දෑසින් දකින්නට, අසන්නට සිදුවූ ඛේදනීය සිද්ධීන් රාශියකි. රටක්ම කම්පා කළ සේයා, විද්‍යා වැනි දරුවන්ගේ ඝාතනයන් සමඟ සමාජයේ පවතින කතිකාවන් විවිධාකාරය. පුංචි පැටවුන්ට වෙනදා මෙන් නොව නිදැල්ලේ දුව පැන ඇවිදින්නට ආරක්‍ෂිත වටපිටාවක්, ආරක්‍ෂිත සමාජයක් දෑස පෙනෙන මානයේවත් දක්නට නැත. සොබා දහම පවා අද නිහඬය.

සියල්ල නොබෝ දිනකින් පස්යට සැඟවී යනු ඇත. එහෙත් තිරිසනුන්ගේ පාපතර ක‍්‍රියාවන්ට ජීවිත බිලි දුන් හයක් හතරක් නොතේරෙන දරු පැටවුන් වෙනුවෙන් යුක්තියේ සාධාරණය නැතත්, සොබාදහමේ සාධාරණය හෝ ඉටු වේවි යැයි බලා සිටිනවා මිස කළ යුත්තක් ඉතිරි වී නැත.
එදාට වඩා අද සමාජය විසමය, විවිධාකාරය, පවුල් සංස්ථාවන් තුළ බොහෝ විට සමගියක් එකමුතුවක් නැත. අද ආර්ථිකය හමුවේ රේස් දුවනා මව්පියන්ට දරුවන් ගැන සිතන්නට වෙලාවක් ද නැත. මේ නිසාම ජීවිත වරද්ද ගන්නා පාසල් දරුවන් ගණන දිනෙන් දින වැඩිවේ.
අපි හැමෝම මේ ලෝකෙට එන්නේ ආදරය කියන දේ උපතින්ම අරගෙනය. ආදරය නොවිඳින මනුස්සයෙක් මේ ලෝකේ නැති තරම්. ආදරයෙන් පරාද වුණ දවසට මිනිස්සු ජීවිතෙනුත් පරාද වෙනවා. ඒත් ආදරයෙන් පරාද වුණා කියලා ජීවිතේ අසම්පූර්ණයි කියලා මම දකින්නේ නැහැ. ආදරේ කියන්නේ ඇති වෙන දෙයක්. ඒක තාවකාලික වෙන්න පුළුවන්. ඒත් ඒ ආදරේ ඔයාගේ ගරුත්වය එක තත්පරයකින් විනාශ වෙලා යන්න පුළුවන්. ජීවිතේ පිළිබඳ අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕන. සමාජයේ දරුවන් ගැන අද අහන්නට දකින්නට ලැබෙන අනුවේදනීය කතා ලියන්නට තියා, ඇසීමටත් ලැබීම හරිම අවාසනාවන්තයි.
මේ තවත් එවැනිම අවාසනාවන්ත සිදුවීමක්...
මාතර ප‍්‍රදේශයේ ජීවත් වෙච්ච උත්පලා පවුලේ වැඩිමහල්ම දරුවා. යුද හමුදා නිලධාරියකු වුණු උත්පලාගේ පියා සේවයෙන් විශ‍්‍රාම අරන් පෞද්ගලික ආයතනයක ආරක්‍ෂක නිලධාරියෙක් ලෙස නැවත රැුකියාවකට බැඳුණේ පවුලේ තිබුණු ආර්ථික ප‍්‍රශ්න නිසා. ඒ අතරතුර උත්පලාගේ මව දියණියන් දෙපලව මිත්තණියට බාර කරලා එක්තරා අවධියකදි විදේශ ගත වෙනවා. විදේශ ගතවුණත් කෙටි කාලෙකින් ඇයට නැවත ලංකාවට පැමිණීමට සිදුවුණේ උත්පලා වැඩිවියට පත්වීමත් එක්ක.
හදිසි අවස්ථාවට ලංකාවට ආපු ලලනි වැඩකටයුතු අවසන් කරලා නැවත විදේශ ගත වෙන්න බලාපොරොත්තුවක් තිබුණත්, වැඩිවියට පත් වූ දියණියක් මිත්තණියට බාර කරලා විදේශගත වෙනවට උත්පලාගේ පියා කැමති වුණේ නැහැ. විදේශ ගත නොවුණත් ලලනිට පවුලේ ආර්ථික අමාරුකම් නිසා රැුකියාවක් කරන්න සිද්ධ වුණා.
දියණියන් දෙදෙනාගේම වැඩරාජකාරි සියල්ල පැටවුණේ ලලනිගේ හිස මතට. පියා කොළඹ ප‍්‍රදේශයේ කළ රැකියාව නිසා නිවසේ රැඳුණේ මාසයකට වතාවක් විතරයි. මේ නිසා ලලනිට ලොකු වගකීමක් දරන්න සිද්ධ වුණා.
මාතර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය හදාරපු උත්පලා අධ්‍යාපනයට වඩා දක්‍ෂතා පෙන්නුවේ ක‍්‍රීඩාවට. මේ නිසාම ඇය පොත පතේ අධ්‍යාපනයට එතරම් ඇල්මක් දැක්වූවේ නැහැ. නමුත් ලලනියි තමන්ගේ ස්වාමියයි මේ දුක් විඳින්නේ උත්පලාගෙත්, නැගණියගෙත් අධ්‍යාපනය වෙනුවෙන් කියලා ලලනි නිතර දෙවේලේ සැර වැර කළේ ඇය අධ්‍යාපනයට උනන්දු නොමැති නිසා.
‘‘ඔව්. මම පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඒ තරම් ආස නැහැ. ක‍්‍රීඩාවලට තමයි ආස වුණේ. මම නවය වසරේ ඉන්නකොට අම්මා රට ගියා. අම්මා ගිහින් අවුරුද්දක් වුණේ නැහැ මම වැඩිවියට පත්වුණා. තාත්තා ඒ වෙලාවේ අම්මව ලංකාවට ගෙන්නුවා. උත්සවයේ වැඩ කටයුතු ඉවර වෙලා අම්මා ආයෙම රට යන්න හැදුවත් තාත්තා අම්මට යන්න දුන්නේ නැහැ. ඊට පස්සේ අම්මා මාතර ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක වැඩට ගියා. තාත්තා කොළඹ වැඩ කරපු නිසා ගෙදර ආවේ මාසෙකට පාරක් වගේ තමයි. ගෙදර පරිසරය ගෙවුණේ ඔය විදිහට. මම වැඩිවියට පත්වෙන්න කලින් ඉඳලම මගේ පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා.
ඒ කියන්නේ වයස කීයෙදිද?
අට වසරේ ඉඳලම ආදර සම්බන්ධතාව තිබුණා. මම වැඩිවියට පත්වුණේ 9 පන්තියෙත් අවසාන හරියෙදි. ඒ දවස්වල මම ලොකු මානසික පීඩනයකින් හිටියේ...
ඇයි ඒ?
ඒ වෙනකොට මගේ පන්තියෙ හැමෝම වගේ වැඩිවියට පත්වෙලා තිබුණේ. මට ළමයි හිනා වුණා. මම වැඩිවියට පත්වුණේ නැහැ කියලා. පේ‍්‍රම සම්බන්ධෙ ඇති වුණාට පස්සේ මම විඳවපු මානසික පීඩනයත් ටික ටික මඟ ඇරුණා. ඔහොම ඉන්න කොට අ.පො.ස සාමාන්‍ය පෙළ ටික ටික ළංවුණා. අම්මා මට ගොඩක් වියදම් කළා. හැම විෂයකටම වගේ ටියුෂන් පන්ති යැව්වා. ඒත් මම සමහර දවස්වලට ටියුෂන් පන්ති ගියේ නැහැ. මම යාළුවෙලා හිටපු ඊදහ එක්ක ඇවිදින්න ගියා. ඒත් මම යාළුවෙලා හිටපු කෙනාට වශී වෙලා හිටියෙ. එයා හිතාගෙන හිටියේ මට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා. ඇත්තටම මට ඉගෙන ගන්න ආසාවක් තිබුණේ නැහැ. ඒ වෙනකොට මට ජීවිතේ අරමුණක්, බලාපොරොත්තුවක් තිබුනෙත් නැහැ. ඔය අතරතුර පාසලේ පේ‍්‍රම සම්බන්ධෙ තියෙද්දිම ටියුෂන් පන්තියෙත් පේ‍්‍රමයක් ඇති වුණා. ටියුෂන් පන්තිය තිබුණේ ගෙදරක. ඒ ගෙදර පිරිමි ළමයා එක්ක තමයි පේ‍්‍රම සම්බන්ධය ඇති වුණේ. ඉස්කෝලේ පේ‍්‍රම සබඳතාවත් ඒ වෙනකොට තිබුණා. ඒත් ෆෝන් එකෙන් දෙන්නා එක්කම කථා බහ කළත් මාව සැක හිතුවෙ නැහැ. (අනේ ඒ පිරිමි ළමයගේ නම නම් කියන්න බැහැ)
දවසක් ටියුෂන් පන්ති ගිය වෙලාවේ එදා ගෙදර ඒ පිරිමි ළමයගෙ අම්මා හිටියේ නැහැ. මාව අම්මා එක්ක යන්න එනකම් ගොඩක් වෙලාවට මම ඒ ගෙදර ඉන්නවා. තනියම යන්නෙ නැහැ. එදා...
එදා ඇත්තටම වුණේ උත්පලාගේ ආත්මය විනාශ වුණ එක. ඒ වෙනකොට පිරිමි ළමයි දෙදෙනෙකුම ඇයගේ රැුකගත්තු ආත්මය විනාශ කරලා හමාරයි. පාසල් වයසේදි ආදරේ හරියට උන්මාදයක් වගේ. මේ ආදරේ තියෙන්නේ තාවකාලික මිහිරියාවක් විතරයි කියන එක ඇයට තේරුම් යනකොට ඇගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි.
ඇගේ කම්මුල දිගේ කඩා හැලෙන කඳුළු කැටවල අවසානයක් නැහැ. කඳුළු පිරුණු දෙනෙතින්ම ඇය නැවතත් ඇගේ කතාවට මුලපිරුවා.
‘‘මම අ.පො.ස සාමාන්‍ය පෙල අසමත් වුණා. අම්මගේ, තාත්තාගේ බලාපොරොත්තු හැමදේම බොඳ වෙලා ගියා. එයාලට ඉතිරි වුණ එකම බලාපොරොත්තුව නංගි විතරයි. තාත්තා නම් මට වචනෙකින්වත් හිත රිදෙන දෙයක් කිව්වෙ නැහැ. අම්මා මාව දකින දකින වෙලාවට බණින්න ගත්තා. ආයෙම විභාගය කරන්න ආසාවක් තිබුණෙත් නැහැ. අම්මා මට ගෙදර ජීවිතේ එපා කෙරෙව්වා. නෑ හිතවතුන්ට අම්මා බොරු කිව්වා මම විභාගේ පාස් වුණා කියලා. පස්සේ මාව කළුතර අම්මගේ නෑ කෙනෙකුගෙ ගෙදර නතර කළා. පාසල් ගමන අවසන් වුණාට පස්සේ පේ‍්‍රම සම්බන්ධතාත් ඔක්කොම නතර වුණා. මට එයා නිතර කතා කළත් විභාගය අසමත් නිසා කථා කරන්න ආත්ම ශක්තියක් තිබුණේ නැහැ.
ඊට පස්සේ මොකද වුණේ
මාව නතර කරපු මාමාලගේ ගෙදර ඉඳන් කොළඹ පිළිගත් ආයතනයක ඉංග‍්‍රීසි ඩිප්ලෝමාවක් කරන්න පටන් ගත්තා. කළුතර ඉඳලා මම හැමදාම ආවේ ගියේ එකම බස් එකක. ඒ පාඨමාලාවත් මම කළේ ගෙදර බල කිරීම නිසා. මට ඕන වුණේ මනමාලියන්ට අන්දන පාඨමාලාවක් කරන්න. අම්මා ඒ ඉංග‍්‍රීසි පාඨමාලාවටත් ගොඩක් වියදම් කළා. ඔහොම ඉන්නකොටම මම හැමදාම යන එන බස් එකේ මට යාළුවො ඇති වුණා. ඒක දුරගමන් සේවා බස් එකක්. හැමදාම යන පිරිසක් තමයි ඒකේ යන්නේ, එන්නේ... ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවුණා. පස්සේ පස්සේ බස් එකේ රියැදුරු අයියා මට නිතර කථා කරන්න ගත්තා. කොළඹ ආවම එයාලා ඉන්නේ මම ඉගෙන ගත්ත ඉංග‍්‍රීසි පාසල අවටමයි. අපේ කථාබහ ටික ටික පේ‍්‍රමයකට පෙරළෙන්න ගත්තා. ඒත් ඒ අයියා විවාහකයි කියලා මම දැනන් හිටියා. දැනන් හිටියත් අපේ කථා බහ සුපුරුදු විදිහටම තිබුණා.
ඒ අයියට අවුරුදු හතළිහයි. දරුවො දෙන්නෙක් ඉන්නවා කියලා ඒ අයියම මට කියලා තිබුණා. ඒත් අපේ කථාවේ අවසානයක් තිබුණේ නැහැ. දිගින් දිගටම කථාබහ කළා. මුණ ගැහුණා. ඔහොම ඉන්නකොට එකපාරටම කිව්වා මට දැන් බස් එකේ වැඩ කරලා ඇති වෙලා එතන ප‍්‍රශ්න. මට ගමේ යන්න වෙනවා කියලා. මම ඒකට කැමති වුණේ නැහැ. මට ඒ සම්බන්ධෙ නතර කරන්න හිත හදාගන්නත් බැරි වුණා. එයා මගෙන් ඇහුවා යන ඕනම තැනකට යන්න එනවද කියලා. මම දන්නෑ මට මොනවා වුණාද කියලා. මම එයා කියන තැනකට යන්න කැමති වුණා. එයා මාවත් අරන් කළුතර ප‍්‍රදේශයේම ගෙයක් කුලියට අරගෙන හිටියා.
සතියක් විතර වගේ අපි එකට හිටියා. තාත්තලා මාව සොයාගෙන ආවා. පස්සේ මම දුරකථනය හරහා ගෙදරට කථා කරලා මම කිව්වා මට ගෙදර එන්න බැහැ කියලා. කොහොම හරි අයියගෙම යාළුවෙක් තමයි අපි ඉන්න තැන අම්මලට කියලා තිබුණේ. ඒ වෙලාවේ මම බාලවයස්කාරයි කියලා අයියව පොලිස් බාරයට පත්වුණා. ඒ වෙලාවෙදි මාව භාරගන්න දෙමාපියෝ කැමති වුණේ නැහැ. මාව පරිවාසභාරයට පත්වුණා. මම නිසා චූටි නංගිට ඉස්කෝලේ යන්න පවා නැති වුණා. පොලිසිය ඉදිරියේම එදා මට අම්මා ගැහුවා. මාව දරුකමින් අයින් කරනවා කියලා දෙස් තිබ්බා. මට දැන් අඬලා අඬලා අඬන්න කදුළු නැහැ. මම තාමත් මට වැරදුණ තැන සොයනවා.
නම් ගම් මනඃකල්පිතයි...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් ඔහොම අද්දැකීමක් තියනවා (අ)
මට නම් මේ ගෑනු ළමයා ගෙන් අහන්න තියෙන්නේ තමන් ගේ තාත්තා වයසින් තමන්ටත් බාල තරුණියක් එක්ක ගියොත් මොනවාද හිතෙන්නේ ? (ස)
මේ ඉල්ලන් කාපු එක්කෙනෙක් නේ. ජීවිතේ වැරදුන අයට පිහිටක් වෙන එක සාධාරණ වුනත්, පවුල් අවුල් කරලා තමනුත් අමාරුවේ වැටෙන මේ වගේ අයට නම් සුදුසු පරිවාස භාරය තමයි. (ර)
ආ දැන් එතකොට කාගේද වරද ? මම නම් එක වතාවක් පවුලක් කඩලා සැමියෙකු සොරකම් කළ ගැහැනියක් මගේ වත්ත මායිමෙන් මෙහාට ගන්නේ නැහැ. මෙහෙම කෙනෙකුට අනුකම්පා කරන්න ගිය මගේ ඥාති අක්කා කෙනෙකුට අන්තිමේ තමන්ගේ තරුණ පුතාවත් නැති වෙන්න ගියා. මෙහෙම උදවිය බලන්නේ තව කවුරු හරි පිරිමියෙකුගේ බෙල්ලේ එල්ලිලා ඊළඟට ගොඩ එන්න. (බ)
පවු! ඒ ළමයාගේ වරදක් නෙමෙයි. පෙර කළ කුසල් අකුසල් අනුව තමයි සියලු දේ සිදුවෙන්නේ. ඒ ළමයාට හරියට ග්‍රහ අපල ඇති මගෙ හිතේ. මොනවා කරන්නද, ඒ දෙමාපියනුත් පවුකරලා ඇති මේවා දකින්න. (නි)
ජීවිතේ එකපාරක් වැරදුනොත් මුළු ජීවිතේම ඉවරයි කියලා හිතන්න එපා. එය පාඩමක් කරගන්න (නි)
තුෂානි, පත්තිනි අම්මගේ නංගි වගේ.ඒ ළමය එල්ලෙන්න ඕන පිරිමියෙකුගේ කරේ තමයි.සම ලිංගික විවාහයට අපේරටේ අවසර නැහැ.වරදට සමාව දීල ගැහැණියෙක් අරගන ආදරයෙන් දරුමල්ලන් හදාගත්ත පියවරු අපි අතර ඉන්නවා.ඒ වගේම වැරදුන කෙනාව රවටල නරාවලට ඇදල දමන පිරිමිත් ඉන්නවා. ඉවසීමෙන් කටයුතු කර නිසි කෙනා සොයාගැනීමට දැන්වත් දෙමාපියන්ගේ පිහිට ගත යුතුයි.ඇයට සුබ අනාගතයක්. (බ)
මෙහෙම අය අද සමාජයේ බහුලයි. මෙවැනි දෙයක් සිදු වුන නෑදෑයෙක් නැති කෙනෙක් අද ලංකාවේ හොයාගන්න බැරි තරම්. එයාලටත් නැවත තමන්ගේ වැරදි හදාගෙන සමාජයේ ධනාත්මකව ජීවත් වීමට පරිසරයක් තිබිය යුතුය. තම තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න ඕනේ. වරක් වැරදුන කියල ජීවිත කාලෙම කොන් වෙලා ඉන්න ඕනේ නෑ (බ)
සමහරවිට අම්මා රට නොගියා නම් ළමයා බේරාගන්න තිබුනා. (නි)
හොඳ කතාවක් (නි)