IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


වැටුණු වළෙන් ගොඩඑන පාර මගහැරීම

වළට වැටුණු ආර්ථිකය තවමත් ගොඩට ගෙන නැත. ඇතැම් බලධරයනට එවැනි අවශ්‍යතාවක් තිබෙන බවක් ද නොපෙනෙයි. රටේ ආර්ථිකය වළට වැටීමට පෙරත් පසුවත් ඒ ගැන ඉතා සංවේදීව සේම ඉතා සමීපව කටයුතු කරන එක් ආයතනයක් වන්නේ ලංකා වාණිජ මණ්ඩලයයි. එහෙයින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට කුමක් කළ යුතු දැයි අප ඇසුවේ ලංකා වාණිජ මණ්ඩලයේ උපසභාපති දුමින්ද හුළංගමුව මහතාගෙනි. ඒ මහතා ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරි ආයතනයක් වන ‘‘අර්නස්ට් ඇන්ඩ් යන්ග්’’හි ලංකාවේ හවුල්කරුවා ලෙස ද කටයුතු කරයි. අවුරුදු 40ක් තිස්සේ වෘත්තියෙහි නියැලෙන හුළංගමුව මහතා රටේ අර්බුදය හා ඊට කළ යුතු පිළියම් මෙලෙස දකියි.

ලංකා ආර්ථිකයේ ප්‍රශ්න ඇති වූයේ විදේශ විනිමය නැතිකම නිසාම නොවේ. ඉතා නුදුරු අනාගතයේදී විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වන බව දකින්නට සිටි පාලකයන්ට නොහැකිවීම රටේ අභාග්‍යයකි. ඔවුන් මෙය දැකිය යුතුව තිබුණේ 2020 හෝ 2021 දීය. පාලකයන් එය නොදැක්කත් ව්‍යාපාරික ප්‍රජාව ලෙස අපි එය දුටුවෙමු.

එහෙයින් මහ බැංකුවේ හිටපු අධිපතිටත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්ටත් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන බව අප කීවේ 2020දීය. ප්‍රශ්නය අනිවාර්ය නිසා කල් තියා පියවරක් ගන්නැයි අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් අන්තර්ජාතික ආයතනයක් සමග සාකච්ඡා කර ප්‍රශ්නයට විසඳුම් සොයන්නැයි අපි ඒ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියෙමු. එහෙත් ඔවුහු කිසිවක් නොකළහ.

මීට අවුරුදු දෙකකට පෙර මූල්‍ය අරමුදලට ගියා නම් අපට ලෙහෙසියෙන් ණයක් ගැනීමට හැකියාව තිබුණු බව අපේ විශ්වාසයයි. අවුරුදු දෙකකට පෙර අප මෙතරම් දරුණු තත්ත්වයකට ඇද වැටී සිටියේ නැත. එහෙයින් එකල පහසුවෙන් ණයක් ගැනීමට හැකියාව තිබූ බව අපේ තක්සේරුවයි. හේතුව එකල අප මෙතරම් පහළට වැටී නොසිටීමය.

රටේ ආර්ථිකයේ ප්‍රශ්න ඇතිවීමට බලපෑ දෙවැනි කාරණය 2019දී කළ බදු කප්පාදුවයි. ඒ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් 50%ක්  අහිමි විය. ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා පල්ලම් බැස්සේ ඒ බදු කප්පාදුව නිසාය.

කිසිම රටක රජයක් මෙවැනි දෙයක් කරන්නේ නැත. ව්‍යාපාරික ප්‍රජාවටත් ජනතාවටත් සහන සැලසිය යුතු බව සත්‍යයකි. එහෙත් සියතින් ගෙල සිඳ ගත යුතු නැත. රජයේ ආදායම අඩුකර ගැනීම නිසා ණය ගෙවීමේ හැකියාවද අඩු විය. ඒ නිසා ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන දිගින් දිගටම කියා සිටියේ ණය ගෙවීමට ලංකාවට තිබූ හැකියාව අඩු වූ බවය. ඒ නිසා අපට යළි ණය ලබා ගැනීමට නොහැකි බවත්, ඒ ආයතන පෙන්වා දුන්නේය. එහෙත් එදා සිටි පාලකයෝ ඒ කිසිවක් ගණන් නොගත්තහ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග සාකච්ඡා කළා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් අද ඇති වී තිබෙන අර්බුදය මෙතරම් දරුණු වන්නේ නැත.

ආර්ථික ප්‍රශ්නවලට පිළියම් යොදන්නට දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යවශ්‍යය. ස්ථාවර රජයක්, සාමකාමී වාතාවරණයක් නැතිව මේ තත්ත්වයෙන් ගොඩට ඒමට නොහැකිය. ස්ථාවර රජයක අවශ්‍යතාව පළමු වැන්නයි. දෙවැනි අවශ්‍යතාව වන්නේ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණය. තෙවැනි කොන්දේසිය බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේ අත්‍යවශ්‍යතාවයි.

රජයේ වියදම් කප්පාදු කිරීම සහ නාස්තිය හා දූෂණය අවම කිරීම තවත් අවශ්‍යතා දෙකකි.

ඒවා කරද්දී අප දැනට හුරුවී සිටින ජීවන රටාව වෙනස් කිරීමට සිදුවෙයි.

වළෙන් ගොඩ ඒම රජයට පමණක් කළ හැකි කටයුත්තක්ද නොවේ. ජනතාව ද රජය සමග එකතු විය යුතුය. පසුගිය අවුරුදුවලදී වැරැදි කළේ කවුද, ඒ වැරැදි වුණේ කොහොමද කියා කතා කරමින් සිටියොත් වළෙන් ගොඩට පැමිණිය නොහැකිය. රජය සේම ජනතාවත් රටේ ඇත්ත තත්ත්වය තේරුම් ගත යුතුය. රටට දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යවශ්‍යය. ලංකා වාණිජ මණ්ඩලය පසුගිය මාස තුනේදී රටේ තිබෙන සියලු දේශපාලන පක්ෂ හමුවූ අවස්ථා ගණන 50කට අධිකය. දේශපාලන පක්ෂ පමණක් නොව වෘත්තීය සමිති සමග ද අපි සාකච්ඡා කළෙමු. ඒ සියලු පක්ෂ හා සමිති නායකයන්ගෙන් අප ඉල්ලා සිටියේ රටේ ස්ථාවරත්වය සඳහා කටයුතු කළ යුතු බවය. අපේ ඒ ඉල්ලීමට ඒ සෑම කෙනකුගෙන්ම ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි.

රටේ ආර්ථිකයේ තිබෙන එකම ප්‍රශ්නය විදේශ විනිමය නැතිකම පමණක් නොවේ. රටේ ආදායමට වඩා වියදම දෙගුණයකින් වැඩිකම තවත් බරපතළ ආර්ථික ප්‍රශ්නයකි. ණය ගෙවීමට නොහැකිවීම තවත් ප්‍රශ්නයකි. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවූයේ ලංකා ඉතිහාසයේ පළමුවැනි වරටය.

කොරෝනා පැමිණීමට පෙර අපේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 10කි. ඒ 2019දී පමණය. එහෙත් එවකට අපේ ආනයන වියදම ඩොලර් බිලියන 22කි. ඒ අනුව අපේ ජාත්‍යන්තර වෙළෙඳාම් පරතරය ඩොලර් බිලියන 12කි.

අප එය පියෙව්වේ කොහොම දැයි දැන් බලමු. සංචාරක ව්‍යාපාරයෙන් අපට අවුරුද්දකට ඩොලර් බිලියන 04ක් පමණ ලැබී තිබේ. එසේම විදෙස් රටවල රැකියා කළ ලාංකිකයන්ගෙන් අවුරුද්දකට ලැබුණු විදෙස් මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 7ක් පමණ විය. ඒ අනුව සේවා සහ භාණ්ඩ අපනයෙන් අප අවුරුද්දකට උපයාගෙන තිබෙන ප්‍රමාණය ඩොලර් බිලියන 20ක් පමණ වෙයි. ඉතිරි බිලියන දෙක පියවා ගත්තේ ණය ගැනීමෙනි. මෙතෙක් කාලයක් රටේ ආර්ථිකය දිව්වේ එලෙසය.

කොරෝනා වසංගතය පැමිණි පසු සංචාරක කර්මාන්තයෙන් එතෙක් ලැබුණු ආදායම සම්පූර්ණයෙන්ම අහිමි විය. ඒ අනුව 2020, 2021 හා 2022 යන අවුරුදු තුනේදී සංචාරක කර්මාන්තයෙන් ලැබිය යුතු ඩොලර් බිලියන 12ක් පමණ රටට අහිමි වී තිබේ. විදෙස් රැකියා කරන අයගෙන් ලැබුණු ආදායම ද භාගයක් දක්වා පල්ලම් බැස්සේය. ඒ මාර්ග දෙකෙන් පසුගිය අවුරුදු තුනේදී රටට අහිමි වූ ආදායම ඩොලර් බිලියන 20කට අධිකය. ඒ අතර අවුරුද්දකට ඩොලර් බිලියන දෙකක හිඟයක්ද පවත්වාගෙන ඒමෙන් ඇති වී තිබෙන විදේශ විනිමය ප්‍රශ්නය ඉතා බරපතළ බව ඒ ඉලක්කම් දෙස බලන කාටත් පහසුවෙන් අවබෝධ විය යුතුය.

 

අපනයන ආදායම දැන්නම් ඩොලර් බිලියන 12ක් දක්වා වර්ධනය වී තිබේ. අපනයන ආදායම ලෙස ලැබෙන ඒ මුදලින් සියල්ල කළ නොහැකි බව අපි මහ බැංකු අධිපතිටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් පෙන්වා දුන්නෙමු. ඛනිජ තෙල් අර්බුදයක් ඇති වන බව ද කීවෙමු. රටේ විදේශ විනිමය ආදායම අඩුවීමට කොරෝනා ප්‍රබල ලෙස බලපෑ බව සත්‍යයකි.

එහෙත් මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් කොරෝනා මැදත් නොවැටී සිටින්නේ කෙසේ දැයි ඇත්තේ ප්‍රශ්නයකි. ඉහළ අපනයන ආදායම සහ විදේශ ආයෝජන ඒ රටවල් නොවැටී සිටීමට  හේතු වී තිබේ.

සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගේන්නට අපට පුළුවන් නම් විදේශ විනිමය ප්‍රශ්නයෙන් 50%කට අපට පිළියම් ලැබෙයි. එවිට ඩොලරයට තිබෙන ඉල්ලුම අඩුවෙයි. එමගින් සාමාන්‍ය නීත්‍යනුකූල වෙළෙඳපොළෙන් හා කළු කඩයෙන් ඩොලරයට ලැබෙන රුපියල් ප්‍රමාණය වෙනස් වෙයි. එසේ වීමෙන් විදේශ රැකියා කරන අය නීත්‍යනුකූල මාර්ගවලින් ලංකාවට ඩොලර් එවීමට පෙළඹෙයි. එසේ වුවහොත් අපට  විදේශ විනිමය ප්‍රශ්නයට සහනයක් ලබාගත හැකි වෙයි.

සංචාරකයන් ලංකාවට එන්නට නම් රටේ සාමය තිබිය යුතුය. කැරැලි කෝලාහල, උද්ඝෝෂණ, වර්ජන, පෙළපාලි තවදුරටත් පැවැතියහොත් සංචාරකයෝ ලංකාවට නොපැමිණෙති. අයිතිවාසිකම් ගැනම කතා කරන කවුරුත් ඒවා දිනාගැනීමට අරගල වර්ජන, කෝලාහල කළහොත් එමගින් රටත් රටේ ආර්ථිකයත් තමනුත් වැනසෙන බව තේරුම් ගත යුත්තෝය.

විදේශ විනිමය ප්‍රශ්නය එසේ විසඳුණොත් එමගින් රජයේ ආදායම හා වියදම් අතර පවතින පරතරය පිළිබඳ ප්‍රශ්නය නොවිසඳෙයි. මේ 2022 දී රජයේ උපරිම බදු ආදායම ට්‍රිලියන 1.5ක් පමණ විය හැකිය. එහෙත් රටේ වියදම අවම වශයෙන් ට්‍රිලියන 3.5කි. ඒ අනුව හිඟය ට්‍රිලියන දෙකකි. එය පියවන්නේ කොහොමද? එක්කෝ ආදායම වැඩි කළ යුතුය. නැතිනම් වියදම් අඩු කළ යුතුය. ඒ දෙකම බැරිනම් සල්ලි අච්චු ගැසීමට සිදුවෙයි. එය ද නොතේරෙන්නේ නම් ණයට ගත යුතුය. දැන් ණය පොලිය 30%කි. රජයේ වියදම් සඳහා ණය ගැනීමෙන් මූල්‍ය වෙළෙඳපොළෙහි සල්ලි හිඟයක් පවතී ණය පොලිය ඉහළ අගයක පැවැතීම නිසා ආයෝජන අඩුවී තිබේ. එමගින් ආර්ථිකය වර්ධනය නොවෙයි. සල්ලි අච්චු ගැසූ විට උද්ධමනය ඉහළ යයි. ඒ නිසා කළ යුත්තේ බදු ආදායම වැඩිකර ගැනීමය. බදු ආදායම වැඩි කළ යුත්තේ ජනතාවට පීඩනයක් නොවන ලෙස බදු අනුපාත ඉහළ දැමීමෙනි. බදු අනුපාතය 50%ක් නම් කිසිවෙක් ආයෝජනය නොකරති. ඒ නිසා කළ යුත්තේ බදු අනුපාත ඉහළ දැමීම නොව බදු අය කරන ආදායම් සීමාව පහළ දැමීමය. එමගින් වැඩි පිරිසකගෙන් බදු අය කර ගැනීමට හැකිවෙයි. ආදායමක් තිබෙන සියල්ලන්ම බදු ගෙවන තත්ත්වයක් ඇති කිරීමට සිදුවෙයි. බදු අනුපාත වැඩි කිරීමෙන් පමණක් බදු ආදායම වැඩි කර ගත නොහැකිය. එහෙයින් කළ යුත්තේ බදු අය කරන පිරිස වැඩි කර ගැනීමය. එවිට බදු ආදායම ද වැඩි වෙයි.

බදු ආදායම සහ රජයේ වියදම අතර තිබිය යුත්තේ අතිරික්තයකි. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 01 ක් වත් විය යුතුය. රජයේ ආදායම වියදමට වඩා වැඩි විය යුතුය. එහෙත් දැන් තිබෙන්නේ හිඟයකි. දැන් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5කි. රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.5කි. රජයේ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.

පාඩු ලබන තෙල් සංස්ථාව හා ලංවිම වැනි රාජ්‍ය ආයතනවලට දෙන මුදල් සේම විශ්‍රාම වැටුප් හා සමෘද්ධි හා පොහොර යනාදියට දෙන සහන ඒ සහනාධාර අතරට එකතු වෙයි.

ඒ නිසා ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීමට රාජ්‍ය අංශයෙහි බරපතළ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවෙයි.

ආදායම හා වියදම අතර පවතින පරතරය පියවා ගත නොහැකි නම් තවදුරටත් ණය ගෙවීමට නොහැකි වෙයි. ඒ කොයි දේ කළත් දේශපාලන  සහ සමාජ ප්‍රශ්න ඇති විය හැකිය. රට මෙවැනි තත්ත්වයට ඇද දැම්මේ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලයයි. ආර්ථිකය බංකොලොත් වීමට හේතුව ඒ ආයතන දෙකේ පාඩුවයි. ඒ නිසා ඒ ආයතන දෙකෙහි බරපතළ ප්‍රතිසංස්කරණ නොකළොත් ආර්ථිකය ගොඩ ගැනීම සිහිනයක්ම වනු නිසැකය.

කවර දේශපාලන පක්ෂයක් බලයේ සිටියත් බලයට ආවත් ඒ ප්‍රතිසංස්කරණ කළ යුතුය. වෙනත් පිළියමක් නැති බව ඒ කාටත් අවබෝධ විය යුතුය. අවබෝධ කරගත යුතුය. වාණිජ මණ්ඩලය ලෙස අපි ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව වැනි රටවල තානාපතින් හා මහකොමසාරිස්වරුන් හමුවී අපේ රට ගොඩනැගීමට ආධාර ඉල්ලා සිටියෙමු. ඒ සියලු රටවල් අපට උදව් කිරීමට කැමැතිය.

එහෙත් ඒ රටවල් කියන්නේ වැටුණු වළෙන් ගොඩයාමට අපට සැලැස්මක් තිබිය යුතු බවය. ස්ථිර හා දිගු කාලීන සැලැස්මක් සහ ඒ යෝජනා ක්‍රියාත්මක කරන කාලවකවානුවක් තිබුණොත් ඒ රටවල් අපට උදව් කරයි. එසේ නොමැතිව ඒ රටවලින් මේ වෙලාවේ අපට පුණ්‍යාධාර බලාපොරොත්තු විය නොහැකිය.

ආර්ථික හා බදු ප්‍රතිපත්තිවල කළ යුතු වෙනස්කම් සහ ඒවා කළ යුත්තේ කෙසේ දැයි මම ඉහත කීවෙමි. ව්‍යාපාරික ප්‍රජාව ලෙස අපට පෙනෙන්නේ ඒ මාවතය. සියලු දේශපාලන පක්ෂ ඒ මාවතේ ගමන් කිරීමට එකඟ විය යුතු බව අපේ අවබෝධයයි. ඇතැම් දේශපාලන පක්ෂ අපේ ස්ථාවරය පිළිගත්තත් රටට කියන්නේ වෙනත් දෙයකි. එමගින් තමන්ට ද හානි වන බව ඒ පක්ෂ අවබෝධ කර ගත යුතුය.

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම මේ අරමුදල්වලින් රට ගොඩගත නොහැකි බව බහුතර ජනතාවගේ තක්සේරුවයි.

අප එසේ කියන්නේ නම් අප එහි යා යුතුය. එහෙත් අපි එය නොකරමු. පාර්ලිමේන්තුවට යාමට කැමැති අයට එහි යන්නට ක්‍රමයක් නැත. එහි යන්නට තිබෙන ක්‍රමය කරදරකාරීය. වියදම් අධිකය. එසේම පවතින දේශපාලන සංස්කෘතිය ගැන බහුතර ජනතාව අතර ඇත්තේ ද පිළිකුලකි.

එය එසේ වන බව දැනගෙන එසේ වීම වැළැක්වීම සඳහා ගෙන තිබෙන එක් පිළියමක් වන්නේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 29ක් ජාතික ලැයිස්තුවලින් තෝරා පත්කර ගැනීමය. එහෙත් ඒ 29 දෙනා සඳහා දැන් තෝරා පත් කරගන්නේ ඒ ඒ පක්ෂවල නායකයන්ගේ ඥාතීන්, හිතවතුන්, පාක්ෂිකයන්, ඡන්දෙන් පැරදුණු පුද්ගලයන් සහ හෙංචයියන්ය. ජාතික ලැයිස්තුවේ අරමුණ ඒ තරම් පහත් අපේක්ෂාවන් නොවේ. ඒ ලැයිස්තුවෙන් ගිය අය අතරින් රටට සේවයක් කළේ ලක්ෂ්මන් කදිරගාමර් මහත්මා පමණක් බව මගේ තක්සේරුවයි. මේ විවේචනය ගැන ද දේශපාලන පක්ෂ නායකයන් ගැඹුරින් සිතා බැලිය යුතුය.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (2)

වැටුණු වළෙන් ගොඩඑන පාර මගහැරීම

Gamunu Saturday, 13 August 2022 06:15 AM

වලට වැටුණෙත්, වැටුණු වළෙන් ගොඩඑන පාර මගහැරීම කරනු ලබමින් සිටින්නේත් පාර්ලිමේන්තුවේ සිටින්නා වූ 225 ඇතුළු පක්ෂ දේශපාලන කණ්ඩායම් වේ. ලෝකයේ දියුණු රටවලින් ආධාර සහ IMF මගින් සහයෝගය ලබාගැනීමට සහ ආර්ථික අර්බුද සඳහා විසඳුම් ලබාදීමට නම් ඔවුන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුවේ. ලංකා ඉතිහාසයේ රට මුහුණ දෙන්නාවූ දැඩි ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ දෙමින් සිටිනා අවස්ථාවක මන්ත්‍රීවරු 225ට එක්ව කටයුතු කිරීමට නොහැකි නම් ඉදිරි මැතිවරණයේදී මොවුන් නැවත පාර්ලිමේන්තුවට පත්කර ගත යුතු නොවේ. මොවුන් සියලු දෙනාම බලය වෙනුවෙන් සහ තනතුරු වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළද රට වෙනුවෙන් සහ රටේ පුරවැසියන් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ නැත. මොවුන් 225ටම නැවත ඡන්දය ඉල්ලා ජනතාව වෙත යාමට නොහැකිබව මොවුන් දැනුවත්ව සිටිය යුතු කරුණකි.

:       0       3

nak Tuesday, 16 August 2022 09:02 AM

රට ගොඩ ග‍ැනීම සදහා අත්‍යාවශ්‍යම සාධකයක‍් වනුයේ රටේ දුෂිත දේශපාලන හා නිලධාරි සුසංයෝගය ගලවා ද‍ැමීමයි. එයකිරිමට නමි දෑ හිත‍ැති අය පාර්ලිමේන්තුවට පැමිණිය යුතු අතරඑසේ කිරීමට ප්‍රධාන බාදාව වී ඇත්තේ පවතින අශෝභන ඡන‍්ද ක්‍රමයයි. එ‍් අනුව ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ඡන‍්ද ක්‍රමය වෙනස‍්කිරීම වන අතර ලියුම්කරු ව‍ැනි යමක‍් කල හ‍ැකි අය එ‍් වෙනුවෙන‍් පෙරමුණ ගත යුතුවෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1599 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1385 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site