හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ ලබාදී ඇති අනෙකුත් පහසුකම් ද අහෝසි කිරීම සඳහා වූ පනතක් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ අතරම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වූ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ප්‍රකාශ වේ. ඒවායේ අරමුණ වී ඇත්තේ ජාතික ජන බලවේග ආණ්ඩුව ඒවා නාස්තිකාර වියදම් ලෙස සලකන නිසාත්, මහජනතාව විසින් තෝරා ගනු ලබන ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවැනි දීමනා සහ පහසුකම් හිමි නොවිය යුතු බවට තීරණය කර ඇති නිසාත් ය.
හිටපු ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් දීමනා සහ සමහර පහසුකම් දී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න ආණ්ඩුව වටහා ගෙන තිබේද යන ගැටලුව මෙහිදී පැන නගී. රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් සෑම පුරවැසියකුටම ඔහුගේ වත්කම් පිළිබඳව සැලකීමකින් තොරව මහජනතාව නියෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දිය යුතුය. ඒ අනුව, ආදායම් පිළිබඳව සැලකීමකින් තොරව ජනාධිපති ධුරය සඳහා තරග කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සඳහා තරග කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල අවස්ථාව සලසා දී තිබේ. ඔවුන් එම තනතුරුවලින් ඉවත්වීමෙන් පසුව වුව ද යම්යම් පහසුකම් දීර්ඝ කාලයක් තිස්සේ සලසා දී තිබෙන්නේ එම අයිතිය තහවුරු කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහාය.
ජනාධිපතිවරයකු තම ධුර කාලයේ කටයුතු කිරීමෙන් පසුව තම ජීවනෝපාය සඳහා කිසියම් රැකියාවක නිරතවීමට සිදු වන්නේ නම් එය හැඳින්විය හැක්කේ ඛේදවාචකයක් ලෙසය. ඔවුහු රටට නායකත්වය දුන් සම්භාවනීය පුරවැසියෝ වෙති. තනතුරෙන් විශ්‍රාම යෑමෙන් පසුව ද හිටපු ජනාධිපතිවරුන් ලෙස යම්යම් වගකීම් ඉටු කිරීමට ඔවුන්ට සිදුවේ. මහජනතාවගේ දුක් ගැනවිලි පිළිබඳව සවන්දීමට සිදුවේ. වෙනත් සමාජීය කටයුතුවලට සහභාගීවීමට ද සිදුවේ.
ජනාධිපති ධුරයට පත්වන්නෝ කල්ලතෝනියෝ නොවෙති. මහජනතාව එක් එක් කාලවලදී ආදරය කරන, මහජනතාව විසින්ම අනෙක් අයට වඩා රටේ නායකත්වයට පත්වීමට සුදුසු යැයි සලකනු ලබන පුද්ගලයෝය. අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සාහසිකයන් විසින් ඝාතනය කරන ලදී. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලදී. ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ඇසක් අහිමි විය. මේ සියලු දෙනා රටේ මහජනතාව විසින් තම නායකත්වයට පත් කර ගනු ලැබූ ජන නායකයෝය. ඔවුන් විශ්‍රාම යෑමෙන් පසුව ඔවුන්ගේ දරු පවුල් හෝ ඔවුන්ගේ වැන්දඹුවන් වෙනුවෙන් රජයට වගකීමක් නොපවතින්නේද?
රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ ජනතා විමුක්ති පෙරමුණේ සහ එල්ටිටිඊයේ සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් රජය මේ වනවිට ද යම් යම් දීමනා ලබා දෙයි. කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයේ නිවෙසක් ලබා දීම පිළිබඳව පසුගිය කාලය තුළ කෙතරම් අවලාද නැඟුවේද? ඒ නිසාම එම නිවෙස අතහැර දැමීමට ඇය කටයුතු කළාය.
සංවර්ධනය වූ රටවල මෙන්ම දකුණු ආසියාතික ඉන්දියාව, පකිස්තානය වැනි රටවල ද විශ්‍රාම ගිය නායකයන්ට විවිධ දීමනා සහ පහසුකම් ලබා දෙයි. එසේ කරන්නේ හිටපු රාජ්‍ය නායකයකු ලෙස කටයුතු කිරීම තුළ එම තනතුරුවලින් විශ්‍රාම ලැබීමෙන් පසු රටක් වශයෙන් එම නායකයන් වෙත යුතුකම් ඉටු කිරීම පිණිසය. ජනාධිපතිවරයකුට ලැබෙන වැටුප අනෙකුත් ඉහළ රාජ්‍ය නිලධාරියකුට ලැබෙන වැටුප හා සසඳන විට අවම මට්ටමක පවතී. හිටපු ජනාධිපතිවරුන්ට කාර්යාල හා නිල නිවාස සැපයීමේ දී රජයේ දැනට ඇති ගොඩනැගිලි භාවිත කිරීමක් මිස නව නිවාස ඉදි කිරීමක් හෝ නිවාස කුලියට ගැනීමක් සිදුවී නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රීධුර සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයෝ තම සේවා අතහැර පාර්ලිමේන්තුවට තරග කරති. ඒ අතරම සාමාන්‍ය රාජ්‍ය සේවකයන් තම තනතුරු අතහැර පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථා ද ඇත. තරුණ පිරිස් කිසියම් වෘත්තියක නියැළීමට පෙර මන්ත්‍රී ධුර ලබන අවස්ථා ද ඇත. මන්ත්‍රී වැටුපක්, විශ්‍රාම වැටුපක්, නේවාසික පහසුකම්, ප්‍රවාහන පහසුකම් ආදිය සැපයීම මගින් බලාපොරොත්තු වන්නේ කිසිවකුගෙන් නොයැපී මන්ත්‍රී ධුරයේ වගකීම් ඉටු කිරීම සඳහා ඔවුනට අවස්ථාව සැලසීමයි. එමෙන්ම දූෂණ සහ අක්‍රමිකතාවලට පෙළැඹීමකින් තොරව මන්ත්‍රී ධුරයේ තම වගකීම් ඉටු කිරීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන පුද්ගලයකුට තම සේවය ඉටු කිරීමේ දී බොහෝ කැප කිරීම් කිරීමට සිදු වනු ඇත. තම මාපියන්, පවුල සහ තම පෞද්ගලිකත්වය අමතක කර කටයුතු කිරීමට ඔහුට සිදුවේ. විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට ද, බොහෝ පුද්ගලයන් හමුවීමට ද, තම බල ප්‍රදේශයේ කරදරවලට මුහුණ දෙන පිරිස්වලට සහන සැලසීමට ද සිදුවනු ඇත. ඔහුට කිසියම් හෝ සහනයක් සැලසෙන්නේ මන්ත්‍රී වැටුප ලබා ගැනීම මගිනි. ලබා දෙන විශ්‍රාම වැටුප පාර්ලිමේන්තුවෙන් බැහැර වීමෙන් පසු පහසු ජීවිතයක් ගත කිරීමට ප්‍රමාණවත් නොවුණ ද ජීවිතය පිළිබඳ කිසියම් සුරක්ෂිත බවක් ලබාදේ.
මන්ත්‍රී ධුරය දරන කාලයේ කිසියම් වැටුපක් හෝ දීමනාවක් නොලබා, මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව විශ්‍රාම වැටුපක් ද නොලබා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට කැමැති සහ හැකි පිරිසක් ද වෙති. ඒ ධනපතියන්, මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ පවුලේ ධනයෙන් අවශ්‍ය ඕනෑම දෙයකට මුදල් වැයකළ හැකි පුද්ගලයෝය. එසේ නැතිනම් කප්පම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරමුන්, හොරුන් වැනි ජාවාරම්කරුවෝය. කිසිදු ධනයකට හිමිකම් නොකියන සාමාන්‍ය පන්තියේ පිරිස්වලට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා මෙතෙක් හිමිව තිබූ අවස්ථාව මෙම විශ්‍රාම වැටුප් අහෝසිය මගින් වක්‍රාකාරයෙන් අහිමි වනු ඇත.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන බව ප්‍රකාශ වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් දැනට ලබන පිරිසෙන් ප්‍රකාශ වී ඇති අදහස් දෙස බලන විට එය හොඳින් පැහැදිලි වනු ඇත. දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ සැලකිය යුතු පිරිසක් ද සිටිති. එම මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් පසුගියදා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තමන් මන්ත්‍රී වැටුප් ලබමින් සිටියදී එම වැටුප පක්ෂ අරමුදලට බැර කිරීමට සිදුවූ බවත්, දැන් තම පක්ෂය බලයට පත්වීමෙන් පසු තමන්ගේ විශ්‍රාම වැටුප ද අහිමි කිරීමට සුදානම් වන බවත් ය. ඊට එරෙහිව සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බව ඔවුහු ප්‍රකාශ කළහ. දැන් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව ප්‍රබල හඬක් නගනුයේ මුල් කාලයේ දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ එම පිරිස බව පෙනී යයි.
ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකි වූයේ ඔවුන් එම පක්ෂය වෙනුවෙන් අපමණ කැප කිරීම් කළ බැවිනි. එම මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට දිවි ගැට ගසා ගැනීමට දැන් හැකි වී ඇත්තේ ද ඔවුන් ලබන විශ්‍රාම වැටුප හේතුවෙනි. පාක්ෂිකත්වය හැර වෙනත් කිසිදු වත්කමක් නොතිබූ එම මන්ත්‍රීවරුන්ට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කළ කැපවීම සඳහා ලබා දෙන උපහාරය ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීම ද?
මන්ත්‍රී වැටුප අහෝසි කිරීම පිළිබඳව ඉතා සංවේදී අදහස් දැක්වීමක් පසුගියදා සිදු කළේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු, ජනාධිපතිවරණ අපේක්ෂකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නන්දන ගුණතිලක මහතායි. තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා මන්ත්‍රී වැටුප කොතෙක් දුරට ආධාර වන්නේ දැයි ඔහු විස්තර කර තිබුණි. එය අහෝසි කිරීම තමන් මරා දැමීමක් හා සමාන වන බැවින් මරාගෙන මැරීමකට තමන් සුදානම් වන බව ද ඔහු ප්‍රකාශ කර තිබුණි.
පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් දෙසීය විසිපහ පිළිබඳවත්, රට පාලනය කළ රාජ්‍ය නායකයන් පිළිබඳවත් වෛරය වපුරුවා ලැබූ ජයග්‍රහණ හේතුවෙන් වෛරී පිළිවෙත් අනුගමනය කිරීම මගින් රටට හෝ ආණ්ඩුවට යහපතක් සැලසෙන්නේ යැයි කිව නොහැකිය. හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන විශ්‍රාම වැටුප් හෝ පහසුකම් වෙනුවෙන් විශාල වියදමක් දැරීමට රජයට සිදු නොවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය නිම කර රටේ සියලුම ජන කොටස්වලට සාමයෙන් ජීවත්වීම සඳහා අවස්ථාව සලසා දුන්නේය. ඒ වෙනුවෙන් විශාල මෙහෙයක් කළ මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සහතික කෙරෙන අයුරින් පහසුකම් සැපයීම පිළිබඳව මහජනතාව විරෝධයක් දක්වන්නේ නැත.
ඡන්දවල දී සමහර ජනාධිපතිවරු පැරදෙති. තවත් සමහරු කාලය අවසන්වීම නිසා තනතුරට සමු දෙති. අලුතින් පත්වන පාලකයන් හිටපු පාලකයන්ට අකැමැතිවීම නිසා ඔවුන්ට සැලසෙන පහසුකම් අහෝසි කිරීම මහජනතාව දකින්නේ වෛරය පිරිමසා ගැනීම සඳහා සිදු කරන පළිගැනීමක් වශයෙනි. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම රටේ පැවැති ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පදනම දෙදරා හැරීමකි. සෑම තීරණයකටම වෛරය හා පළිගැනීම මුල් කර නොගත යුතුය.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හිටපු ජනපති වරප්‍රසාද කැපිල්ල