සමානුපාතික නියෝජන ක්‍රමය බරපතළ විවේචන මැද තවදුරටත් ක්‍රියාත්මක වෙයි. සුළු පක්ෂවල වුවමනාව මත එසේ වන බව කීවද මහ පක්ෂවල බොහෝ දෙනා ද මේ ක්‍රමය වෙනස් කිරීමට අකැමැති බව දැන් එළිපිට ප්‍රදර්ශනය වෙමින් පවතී. මේ ඒ පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානි ආචාර්ය අතුල විතානවසම් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ දෙකකි. ඒ එමගින් මෙරටෙහි විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික නියෝජන ක්‍රමය ස්ථාපිත කිරීමය. ඒ ව්‍යවස්ථා සම්පාදකයන් සමානුපාතික නියෝජන ක්‍රමය සඳහා පූර්වාදර්ශ ගත්තේ ඉතාලිය, නවසීලන්තය, ඔස්ට්‍රියාව හා බෙල්ජියම වැනි රටවලිනි. ඒ රටවල සුපිරිසුදු සමානුපාතික නියෝජන ක්‍රම ක්‍රියාත්මක වූවත් 1978 ව්‍යවස්ථාවෙන් ලංකාවට හඳුන්වා දුන්නේ එවැනි සුපිරිසුදු සමානුපාතික ක්‍රමයක් නොවේ.

ආරම්භයේදී මෙරටට හඳුන්වා දුන්නේ ආවෘත ලැයිස්තු ක්‍රමයකි. එනම් පක්ෂ නායකයාගේ කැමැත්තේ පිළිවෙළට නම් සඳහන් ලැයිස්තුවකි. ඡන්ද දායකයා ඡන්දය දෙන්නේ පක්ෂයකටය. පක්ෂයට ලැබෙන ඡන්දවලින් තෝරාපත් කර ගනු ලබන්නේ පක්ෂ නායකයාගේ මනාපය පරිදියි. අපේක්ෂකයන්ට මනාපය පළ කළ හැකි ක්‍රමයක් මුලදී තිබුණේ නැත. තමන් කැමැති අපේක්ෂකයා තෝරා ගැනීමේ හැකියාවක්, ඉඩක් ඒ ක්‍රමයේ නොතිබිණි. ඡන්ද දායකයන් පක්ෂයට ඡන්දය දුන් පසුව මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වන්නේ නායකයාගේ කැමැත්ත දිනා ගත් අනුපිළිවෙළිනි.

සමානුපාතික නියෝජනය ක්‍රියාත්මක වන ඉතාලිය වැනි රටවල කපා හැරීමේ සීමාව (Cut of Point) සියයට පහකි. ඉතාලියේ අදටත් එහෙමය. එහෙත් ලංකාවට සමානුපාතික නියෝජනය හඳුන්වා දුන් යුගයේ කපා හැරීමේ සීමාව නැතහොත් තරගයෙන් ඉවත් කිරීමේ සීමාව සියයට 12.5ක් විය. නැතහොත් අටෙන් එකක් විය. සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන් ව්‍යවස්ථා සම්පාදකයන් එදා කියා සිටියේ එතෙක් පැවැති සරල බහුතර ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ ඇප රාජසන්තක කිරීමේ සීමාව වූ සියයට 12.5 හෙවත් අටෙන් එක සමානුපාතික නියෝජනය ක්‍රියාත්මක කිරීම සඳහා ද අදාළ කරගත් බවය. ඒ ක්‍රමය යටතේ ප්‍රධාන පක්ෂ දුර්වල නොවන බවත් ස්ථාවර ආණ්ඩු ගොඩනැගිය හැකි බවත් ව්‍යවස්ථා සම්පාදකයෝ එදා කීහ. එහෙත් කපා හැරීමේ සීමාව සියයට 12.5 තිබීම සම්බන්ධයෙන් ඒ ආණ්ඩුවේම ඇමැතිවරයකු වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ විරෝධය හා විවේචන දිගින් දිගටම එල්ල විය. එන්.එම්. හා කොල්වින් වැනි වාමාංශික නායකයෝ ද මේ සම්බන්ධයෙන් විවේචන කළහ. එහෙත් එදා පැවැති රජය ඒ විවේචනවලට සවන් දුන්නේ නැත. ස්ථාවර ආණ්ඩු ගොඩනැගීම සඳහා සියයට 12.5 සීමාව එලෙසම පැවැතිය යුතු බව ඒ ආණ්ඩුවේ මතය විය.

එහෙත් සමානුපාතික ක්‍රමය පිළිබඳ සංවාද දිගින් දිගටම ඇතිවිය. එමගින් කුඩා පක්ෂවලට, සුළු ජාතික පක්ෂවලට කෙණෙහිලිකම් වන බවට චෝදනා එල්ල විය. විවෘත ලැයිස්තු එනම් මන්ත්‍රීවරයා තෝරා ගැනීමේ අයිතිය පක්ෂ නායකයාට නොව ඡන්දදායකයාට තිබිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් විය. ඒ නිසා ජාතික ලැයිස්තු ක්‍රමයක් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය. ආණ්ඩුවට එවැන්නක් අවශ්‍ය ද විය. අනතුරුව ඒ ආණ්ඩුව ඡන්ද බලය හා මැතිවරණ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේය. එහි සභාපතිවරයා වූයේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතාය. 1983දී ජවිපෙ තහනම් කළ අතර, ඔවුන් මැතිවරණ දේශපාලනයට ගෙන ඒමේ අවශ්‍යතාවක් ද ආණ්ඩුවට තිබිණි. ඒ කාරක සභා වාර්තා මත 1985දී 14 හා 15 වැනි ව්‍යවස්ථා සංශෝධන සිදුවිය. 14 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කපාහැරීමේ සීමාව සියයට 12.5 සිට සියයට පහ දක්වා පහත හෙලූ අතර, 15 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මනාප ක්‍රමය හඳුන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කළ ඒ සංශෝධන මත පදනම්ව පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූයේ 1989 පෙබරවාරියේදීය. ඒ මැතිවරණයේදී කුඩා පක්ෂ රැසක් කළඑළි බැස්සේය. එයින් ​දේශපාලන පක්ෂ ක්‍රමයේ සේම ඒවායේ හැඩගැස්මේද විශාල වෙනසක් සිදුවිය. ඊට පෙර තිබූ සරල බහුතර ක්‍රමය මත පැවැති මැතිවරණවලදී ප්‍රධාන පක්ෂ ශක්තිමත් වූ අතර, කුඩා හා සුළු ජාතික පක්ෂ දුර්වල විය. කපාහැරීමේ සීමාව සියයට පහ දක්වා පහත හෙළන්නැයි ඒ පක්ෂ දිගින් දිගටම සටන් කළේ කපා හැරීමේ සීමාව සියයට 12.5 මට්ටමේ තිබෙන විට ද සරල බහුතර ක්‍රමය යටතේ සිදු වන කුඩා හා සුළු පක්ෂ දුර්වලවීම එලෙසම සිදු වන හෙයිනි. කපා හැරීමේ සීමාව සියයට පහ දක්වා පහත හෙළීම නිසාත්, මැතිවරණ කොට්ඨාසය විශාල වීම නිසාත් කුඩා හා සුළු ජාතික පක්ෂ ඉදිරියට පැමිණියේය.

සෑම ශක්තිමත් ජන මතයකටම නියෝජනක් ලැබිණි. එතෙක් පැවැති පක්ෂ ක්‍රමය වෙනස් වී බහු පක්ෂ ක්‍රමයක් මෙරටෙහි ස්ථාපිත විය. පාර්ලිමේන්තු සංයුතියෙහි ද විශාල වෙනසක් විය. උතුරු නැගෙනහිරින් මෙන්ම දකුණෙන් ද විවිධ පක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියේය. කිසිම පක්ෂයකට බහුතරයක් ලැබුණේ නැත. ඒ නිසා ස්ථාවර ආණ්ඩු ගොඩනැගීම ද ප්‍රශ්නයක් විය.

මැතිවරණ ක්‍රමයකින් බලාපොරොත්තු වන අරමුණු තුනකි.
1) ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගීම
2) සෑම මතයකටම නියෝජනයක් ලබාදීම
3) නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රුකුල්වීම.

1985දී ඇති කළ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් ස්ථාවර ආණ්ඩු බිහි නොවිණි. එහෙත් සෑම මතයකටම නියෝජනයක් ලැබිණි.
එක අරමුණක් ඉටු නොවුණත් තවත් අරමුණක් ඉටු විය. එයට සුළු ජාතික හා වාමාංශික පක්ෂ බොහෝ සතුටු විය. පාර්ලිමේන්තුව රටේ හා සමාජයේ තත්ත්වය පිළිබිඹු කරන කැඩපතක් බවට පත්විය. ආගම, ජාති හා කුල මල යනාදී ලෙස සමාජයේ පවතින විවිධතා පාර්ලිමේන්තුවෙහි ද මැනවින් නියෝජනය විය. රටේ හා සමාජයේ ඇත්ත තත්ත්වය පාර්ලිමේන්තුවෙන් මැනවින් නිරූපණය විය. සම සමාජ, කොමියුනිස්ට්, ජවිපෙ වැනි දකුණේ සුළු පක්ෂත්, උතුරු නැගෙනහිර හා වතුකරයේ සුළු ජාතික පක්ෂත් මේ ක්‍රමයට කැමැතිය. ඔවුන් සිතන්නේ තමන්ට නියෝජනයක් ලබාගැනීම ගැන පමණකි.

එහෙත් දැන් පැන නැගී තිබෙන බරපතළ ප්‍රශ්නය වන්නේ මේ මැතිවරණ ක්‍රමය යටතේ ස්ථාවර ආණ්ඩු බිහිනොවීමය. මෙරට ආණ්ඩු බිහිවන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වයෙනි. පවතින තත්ත්වය මත ඒ ප්‍රධාන පක්ෂ දෙකටම මැතිවරණ වලට පෙර සිටම සුළු ජාතික හා කුඩා පක්ෂ සමග සන්ධාන ගත වී සභාගවලට යන්නට සිදු වී තිබේ. මෙහිදී සුළු ජාතික පක්ෂ හැකිතරම් උපරිමයෙන් කේවල් කළේය. ඒ පක්ෂවල නායකයෝ මැතිවරණවලින් පසුවත් කේවල් කරති. මෙය මෙලෙස වූයේ ආණ්ඩු හැදීමට ජනතාවට තිබූ අයිතිය හා හැකියාව කපා හැරීමේ සීමාව සියයට පහ දක්වා අඩුකිරීම හේතුවෙනි. රටේ බහුතර ජනතාව ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට බහුතර වරමක් දුන්නත් සුළු ජාතික පක්ෂ නායකයන්ගේ කේවල් කිරීම් මත ඒවාට එකඟව ආණ්ඩු පිහිටුවීමට ප්‍රධාන පක්ෂ දෙකටම සිදු වී තිබේ. දැන් ආණ්ඩු හදන්නේත්, කඩන්නේත් ජනතාව නොව සුළු ජාතික පක්ෂවල නායකයන්ය. තොණ්ඩමන් හා අෂ්රොෆ් සේම හකීම් හා රිෂාඩ් ද වීරයන්ව සිටින්නේ මැතිවරණ ක්‍රමයේ ඇතිකළ ඒ වෙනස්කම් හේතුවෙනි. බහුතරයේ මතය අවලංගු වී සුළුතරයේ මතය වලංගු වී ඇත්තේ එහෙයිනි.

පැරැණි සරල බහුතර ක්‍රමය යටතේ මේ සෙල්ලම් කළ නොහැකි විය. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවන්නැයි ජනාධිපති හෝ ආග්‍රාණ්ඩුකාරවරයා බහුතරයක් ලබාගත් පක්ෂයේ නායකයාට  ඇරියුම් කරයි. එහෙත් වර්තමානයේ එසේ නොවේ. ආණ්ඩු හැදීම නිතර පස්සට යයි. කුඩා පක්ෂවල කේවල් කිරීම් නිමක් නැත. ඒ නිසා නිතර අස්ථාවර ආණ්ඩු බිහිවෙයි.  එය රටේ දේශපාලන ස්ථාවරභාවයට විශාල හානියකි. මෙසේ අස්ථාවර ආණ්ඩු බිහිවීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ සමානුපාතික නියෝජනය යටතේ කපා හැරීමේ සීමාව සියයට පහ දක්වා අඩු කිරීමය.

පවතින මේ ක්‍රමය වෙනස් කිරීමට දකුණේ ජනතා විමුක්ති පෙරමුණ සේම උතුරු නැගෙනහිර හා වතුකරයේ සුළු ජාතික පක්ෂ ද අකැමැතිය. රටේ ගොඩ නැගී තිබෙන්නේ එකිනෙකට පටහැනි තත්ත්වයකි. රටකට ස්ථාවර ආණ්ඩු අත්‍යවශ්‍යය. කුඩා පක්ෂවලට ද නියෝජනයක් ලැබිය යුතුය. පැරැණි සරල බහුතර ක්‍රමය යටතේ බහු ආසන හා විශේෂිත ඡන්ද කොට්ඨාස මගින් ඒ අරමුණ ඉටුවිය. මුස්ලිම් ජනයා සඳහාම අකුරණ නමින් වෙනම ආසනයක් ඇතිකිරීම ඊට එක් නිදසුනකි. සරල බහුතර ක්‍රමයේ පැවැති ඒ හොඳ ලක්ෂණ සේම සමානුපාතික ක්‍රමයේ පවතින හොඳ ලක්ෂණ ද ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යාම රටේ නූතන අවශ්‍යතාවකි.

 මගේ යෝජනාව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව දැනට සිටින 225 ට වඩා වැඩි නොකළ යුතු බවය. මේ 225 න් 168 ක් පැරැණි සරල බහුතර ක්‍රමය මගිනුත් ඉතිරි 57 සමානුපාතික හෝ ජාතික ලැයිස්තු ක්‍රමයක්  මගින් තෝරාපත් කරගත යුතු බවය. එසේ කළ හැකිනම් ස්ථාවර ආණ්ඩු ගොඩ නගා ගැනීම ප්‍රශ්නයක් නොවනු ඇත. එසේ කළහොත් උතුරු නැගෙනහිර හා වතුකරයේ සුළු ජාතික පක්ෂවලට හානියක් වෙන්නේම නැත. ප්‍රශ්නයක් වුවහොත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වැනි සුළු පක්ෂවලටය.  ඔවුනට සාධාරණයක් කිරීම සඳහා ලැයිස්තු ක්‍රමයෙන් තෝරා ගන්නා මන්ත්‍රීවරුන් 57 දෙනා සඳහා කපා හැරීමේ සීමාව අවශ්‍ය නම් සියයට පහේම තබා ගත හැකිය. විකල්ප මැතිවරණ ක්‍රම රාශියක් දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තේරීම් කාරක සභාවලින් නිර්දේශ කර තිබුණත් ඒවා ප්‍රමාණාත්මක හා හරයාත්මක සංවාදයකටවත් ලක් වී නැත.

 සමානුපාතික මැතිවරණ ක්‍රමයේ පවතින සියයට පහේ කපා හැරීමේ සීමාව නිසා සුළු ජාතික හා සුළු පක්ෂවලට තමන් නියෝජනය කරන ජනතාවගේ හඬ නැගිය හැකි බව කීවත් ප්‍රායෝගිකව එසේ නොවෙයි. ඔවුන් තමන් නියෝජනය කරන ජනතාවගේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට පිවිසියත් ඉන්පසුව හැසිරෙන්නේ ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂ මත නොව තමන්ගේ හා තම නෑදෑ හිතවතුන්ගේ ඕනෑ එපාකම් මතය. ප්‍රධාන පක්ෂ දෙක සමග සන්ධාන ගත වී ඒ මහ පක්ෂ දෙක ඇතුළට රිංගා තමන්ට ඇමැතිකම් සමග තම නෑදෑ හිතවතුන්ට සංස්ථා මණ්ඩල සභාපතිකම් සේම තානාපතිකම් ද ලබා ගැනීම ඔවුනගේ සාමාන්‍ය පිළිවෙත වී තිබේ. ඔවුනගේ ඒ පිළිවෙතින් යළිත් ශක්තිමත් වන්නේ ප්‍රධාන පක්ෂ දෙකය. ඔවුහු තමන්ගේ ජනතාව වෙනුවෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී නොසිටිති. ඒ බව තහවුරු කිරීමට තිබෙන හොඳම නිදසුන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එය මෙරට ඇතිකළ ප්‍රතිගාමීම ව්‍යවස්ථා සංශෝධනයකි.

එහෙත් එයට පක්ෂව සම සමාජ හා කොමියුනිස්ට් නායකයන් සමග හකීම්, රිෂාඩ් සේම තොණ්ඩමන්ලා ද අත් එසවූහ.

වතු කම්කරුවන්ට දිනකට රුපියල් ද‌ාහක වැටුපක් දීම යහපාලන රජයේ පොරොන්දුවකි. ඒ ජනතාවගේ නියෝජිතයෝ ඒ ආණ්ඩුවේ ඇමැතිවරු ද වූහ. එහෙත් ඔවුහු ජනතාවට දුන් ඒ පොරොන්දුව ඉටු නොකළහ. ඒ උද‌ාහරණවලින් පැහැදිලි වන්නේ සුළු ජාතික හා සුළු පක්ෂවල නායකයන් තම පෞද්ගලික න්‍යාය පත්‍ර මත කටයුතු කරනවා මිස ජනතා අවශ්‍යතා මත ක්‍රියාත්මක නොවන බවය. ඒ ඇතැම් අය යහපාලන රජය සමයේ මැතිවරණ කල් දැමීමට ද අත් එසවූහ. නිසි කල මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරකි. ජනතා නියෝජනය, ජන හඬ, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් යනාදිය ගැන සුළු පක්ෂවල නායකයන් කතා කරන්නේ බලය ලබා ගැනීම සඳහා පමණක් බව ඉන් අනාවරණය වෙයි.

සුළු ජාතික හා සුළු පක්ෂවල අය පමණක් නොව ප්‍රධාන පක්ෂවල අය ද මේ සමානුපාතික ක්‍රමය යටතේ ජනවාර්ගික, ආගමික හා කුල මල වශයෙන් විවිධ මෙහෙයුම් කරන්නේ තම පෞද්ගලික අභිලාෂ ඉටුකර ගැනීමටය. එහෙයින් පාර්ලිමේන්තුවේ සංයුතිය එලෙසම තබා ගනිමින් එහි ව්‍යූහය වෙනස් කළ යුතුය. ඒ සඳහා එක්කෝ අප ඉහත කී ලෙස සරල බහුතර ක්‍රමයට බර තබන මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යා යුතුය. නොමැති නම් කපා හැරීමේ සීමාව යළි සියයට 12.5 ට ඉහළ නැංවිය යුතුය. සුළු ජාතීන් හා සුළු කණ්ඩායම් සේම සුළු මතවාදීන් ගැන කියමින් පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට කරන මජර දේශපාලනයට තිත තැබිය යුතුය. සුළු කතා ඉවතළා රට ගැන සිතිය යුතුය.

 රට ගැන නොසිතීම නිසා එතනෝල්, මත්කුඩු වැනි විවිධ ජාවාරම් කරන්නෝ ද දැන් පාර්ලිමේන්තුවට පිවිස සිටිති. එය එසේ වී තිබෙන්නේ කපා හැරීමේ සීමාව සියයට පහක් කළ නිසාය. අතීතයේදී ඔවුන් කළේ තම සල්ලි වීසිකර වෙනත් පුද්ගලයන් මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් කිරීමය. එහෙත් ඒ දේශපාලන බලය තමන් අතට ගැනීම වඩාත් හොඳ නිසා ඔවුහුම දැන් පාර්ලිමේන්තුවට පිවිසෙති. ඒ ජාවාරම්කාරයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ දොරටු විවර වී තිබෙන්නේ කපා හැරීමේ සීමාව සියයට පහ දක්වා අඩුකළ හෙයිනි. එහෙයින් ඒ වරද වහා නිවැරැදි කළ යුතුය. ඒ සමගම මනාප ක්‍රමයට ද තිත තැබිය යුතුය.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)