ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වැනි ගුණ සැමරුම හෙටට (10) යෙදී ඇත.  මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මහනුවර බාන්ස් රත්වත්තේ දිසාවට සහ මහවෙලතැන්නේ වලව්වේ රොසලින් මහවෙලතැන්නේ කුමාරිහාමිට දාව, 1916 වර්ෂයේ අප්‍රේල් 17 වැනිදා පවුලේ වැඩිමහල් දියණිය ලෙස මෙලොව එළිය දුටු සිරිමාවෝ රත්වත්තේ දැරිය, බලංගොඩ විදුහලේ පහළ බාලාංශයෙන් මූලික අධ්‍යාපනය ලැබ, රත්නපුරයේ පර්ගියුසන් උසස් පාසලට ඇතුළත් වී ඉන් අනතුරුව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට පිවිස සිය අධ්‍යාපනය ලබා ගත්තාය. ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය තුළ බාදක්ෂිකාවක් ලෙස කටයුතු කළ අතර, පාසල තුළ කැපීපෙනෙන සිසුවියක් වූවාය.

මහවලතැන්නේ වලව්වේ පිපි රෝස කුසුම වූ සිරිමා යෞවණිය, සිය  බලංගොඩ වලව්වට අහම්බයෙන් මෙන් පැමිණි සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ ඇසගැටීම, ශ්‍රී ලාංකික මෙන්ම ලෝක දේශපාලනයේ වෙනසක් සිදු කිරීමට සමත් වූ සිදුවීමක් වූ අතර, අහම්බෙන් සිදුවූ එම හමුවීම අවසානයේ 1940 වර්ෂයේ ඔක්තෝබර් 03වැනිදා විවාහයකින් කෙළවර විය.

සිය විවාහය සිදුවී කෙටි කාලයක් ඇතුළත සමාජ සේවයට පිවිසි බණ්ඩාරනායක මැතිණිය, වර්ෂ 1941දී ‘‘ලංකා මහිලා සමිතියේ’’ සාමාජිකත්වය ලබාගත්තාය. දිළිඳු භාවය අවම කිරීම හා ග්‍රාමීය සංවර්ධනය පදනම් කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම බොහෝ දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කළ ඇය, එකී ප්‍රදේශවල වෙසෙන ජනතාව හා මුසු වෙමින් ඔවුන්ගේ ප්‍රශ්න හඳුනා ගනිමින්, ලංකා මහිලා සමිතිය හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන්නට කටයුතු කළාය.

වෛද්‍ය මේරි රත්නම් මහත්මිය විසින් ආරම්භ කරන ලද ලංකා මහිලා සමිතියේ සාමාජිකාවක් ලෙස දශක දෙකකට ආසන්න කාලයක් කටයුතු කළ ඇය, වසර අටක් එහි භාණ්ඩාගාරික ලෙස ද, දෙවසරක් උප සභාපතිනිය ලෙස ද කටයුතු කළ අතර, අග්‍රාමාත්‍ය ධුරය ලැබීමෙන් අනතුරුව ඉල්ලා අස් වන තුරු එහි සභාපතිනිය ලෙස සිය ධුරය මෙහෙය වූවාය.

විවාහයෙන් දස වසරක් තුළ සුනේත්‍රා ඩයස් බණ්ඩාරනායක, චන්ද්‍රිකා ඩයස් බණ්ඩාරනායක හා අනුර ප්‍රියදර්ශ සොලමන් ඩයස් බණ්ඩාරනායක නමින් දරුවන් තිදෙනෙකුට දෙමව්පියන් වූ බණ්ඩාරනායක යුවළගේ එවකට නිවස්නය වූයේ කොළඹ රොස්මිඩ් පෙදෙසේ ටින්ටජෙල් නිවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ බණ්ඩාරනායක මහතා, දේශපාලන වශයෙන් කාර්ය බහුල ජීවිතයක් ගත කළ අතර, එක්ව ආ ජීවන ගමනේ සෑම දිනම ඔහු පසෙකින් හිඳ ශක්තියක් වන්නට සිරිමාවෝ මැතිනියට හැකි විය.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තෙවසරක් ගෙවී යන්නට මත්තෙන් විවාහයට දශක දෙකක් සම්පූර්ණ වීමට ද පෙර, චීවරධාරියකුගේ වෙඩි පහරකට ලක්ව අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා 1959 වර්ෂයේ සැප්තැම්බර් 26 වැනිදා මෙලොවින් සමුගැනීමත් සමග සිරිමාවෝ මැතිනියට තම දරුවන් තිදෙනා පිළිබඳව මෙන්ම, සැමියා විසින් බිහි කළ පක්ෂය සම්බන්ධයෙන්ද තිබූ වගකීම් වැඩි විය.
බණ්ඩාරනායක මහතාගේ අභාවයත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හා රාජ්‍ය නායකත්වය පිළිබඳව අර්බුද මතු වූ අතර, ඒ සියල්ල විසඳා ගැනීමට සුදුසුම ක්‍රමය ලෙස පක්ෂයේ ප්‍රධානීන් විසින් සිරිමාවෝ මැතිනියට දේශපාලනය වෙත ආරාධනා කරන්නට යෙදිණි.

අකමැත්තෙන් නමුත් සිය සැමියා විසින් බිහි කළ පක්ෂය විනාශ වීමට ඉඩ දිය නොහැකි බැවින්, සිරිමාවෝ මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය බාරගැනීමට එකඟ වූවාය.

ඇගේ ආගමනයත් සමග 1960 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රහණය, ලෝක දේශපාලනය වෙනස් කළ ජයග්‍රහණයක් බවට පත්කරමින් වර්ෂ 1960 ජූලි මස 21 වැනිදා එවකට මෙරට ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ඇය අග්‍රාමාත්‍යවරිය ලෙසට පත් වුවද, එකී තනතුර රඳා පවත්වා ගැනීමට නම් තවත් අභියෝගයක් ජය ගත යුතු වූ අතර, වැඩ භාර ගැනීමෙන් තුන් මසක් යාමට මත්තෙන් සෙනෙට් සභාවේ අසුනක් ලබා ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ අනුව ඇම්.පී. ද සොයිසා මහතා සෙනෙට් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයකු ලෙස සෙනෙට් සභාවට පත්වීමට බණ්ඩාරනායක මැතිනියට හැකි විය.

දේශපාලනයට ඇය අලුත් වුවද ඇය සතු වූ පරිණත දැක්ම හුදෙක් අත්දැකීම් සහිත දේශපාලනඥයන් පවා අබිබවා ගිය අතර, ඇගේ පළමු ධුර කාලය තුළදීම ඇය විරුද්ධ පක්ෂයට අභියෝගයක් විය. ඒ අනුව 1962 ජනවාරි 27 වැනිදා ඇය පාලනයෙන් පහකොට රාජ්‍ය බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක් තිබූ අතර ඒ පිළිබඳව තොරතුරු කල් ඇතිව ලැබීම හේතුවෙන් එකී කුමන්ත්‍රණ ව්‍යර්ථකොට එය සැලසුම් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අභියෝග රාශියක් මැද ජනතා සේවයට කැප වූ මැතිනිය, සිය පළමු ධුර කාලය තුළ සිදු කළ පොදුරාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ සම්මේලනයට සහභාගි වීම තවත් ඓතිහාසික අවස්ථාවක් වූ අතර, 1961 මාර්තු 17 වැනිදා පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ 11 වන සම්මේලනයට ඇයගේ සහභාගිත්වය, රාජ්‍ය නායිකාවක් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත විය.

පෙර සඳහන් කළ පරිදිම මැතිනියගේ පළමු ධුර කාලය තුළ ඇයට අභියෝග රාශියක් එල්ල වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1964 දෙසැම්බර් මාසයේදී පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී පරාජයට පත්වන්නට සිදු විය. ඒ අනුව 1964 දෙසැම්බර් 17 පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් කැඳවන්නට යෙදිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව 1965 මාර්තු 22 වැනිදා පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 61ක් දිනාගනිද්දී, අත්තනගල්ල ආසනයෙන් ඉදිරිපත් වූ මැතිණිය, වැඩි ඡන්ද ප්‍රමාණයකින් සිය ආසනය ජය ගත්තාය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 41ක ජයග්‍රහණයක් ලැබී තිබූ අතර, බණ්ඩාරනායක මැතිණිය නායකත්වය දැරූ සමගි සන්ධානයට ආසන 55ක් ලැබුණි. ඒ අනුව ඇය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත්වූවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පකෂය එක්ව එක්සත් පෙරමුණ පිහිටුවා ගනිමින් එහි නායකත්වයට පත්වූ මැතිනිය, 1970 මැයි 27 පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක්, ලංකා සමසමාජ පක්ෂයට ආසන 19ක් හා කොමියුනිස්ට් පක්ෂයට ආසන 6ක් වශයෙන් හිමි කර ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවාය.

මෙරටට නාමිකව ලැබී තිබුණු නිදහස යථාර්ථයක් බවට පත් කරන්නට කටයුතු කළ මැතිනිය, වර්ෂ 1972 මැයි 22 වැනිදා මෙරට ජනරජ ව්‍යවස්ථාව නීත්‍යානුකූලව පිළිගැනීමත් සමග ශ්‍රී ලංකාව ඩොමිනියන් තත්ත්වයෙන් බැහැර වී සම්පූර්ණයෙන්ම නිදහස් රටක් බවට පත් කිරීම වෙනුවෙන් සදාකාලික බහුමානයට පාත්‍ර වන්නීය.

කෙසේ වෙතත් මෙම කාලය තුළදීත් ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීම වැනි අභියෝග රාශියකට මුහුණ දුන් මැතිනිය ඒ සියල්ල ජය ගන්නට සමත් වූවාය. 1977 මැයි මාසයේදී ප්‍රථම ජාතික රාජ්‍ය සභාව විසුවා හැරි අතර, අනතුරුව 1977 ජූනි 21 පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්විය.

1977දී ලැබූ පරාජය සමග ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කමිටුවක් මගින් අග්‍රාමාත්‍ය හැටියට සේවය කළ කාලයේදී බණ්ඩාරනායක මැතිනිය බලය අවභාවිත කළ බව තීන්දු කරමින්, ඇගේ ප්‍රජා අයිතිය අහිමි කළාය.

ඒ සමගම නැවත 1986 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ආඥාවක් නිකුත් කරමින් ඇගේ ප්‍රජා අයිතිය ප්‍රතිෂ්ඨාපනය කරන තුරු ඇයට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමට නොහැකි විය.
ප්‍රජා අයිතිය ප්‍රතිෂ්ඨාපනය වීමෙන් අනතුරුව යළිත් වරක් විපක්ෂ නායිකාව ලෙස පාර්ලිමේන්තුවට පත්වූ මැතිනිය, 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ කාර්ය නියමයක් නොමැති අමාත්‍ය ධුරයකට පත්විය.

කෙසේ වෙතත් 1994 වර්ෂයේදීම චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වන මැතිනිය, 2000 අගෝස්තු 10 වන දින සෟඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වනතුරු එම ධුරයේ කටයුතු කළාය.

2000 වර්ෂයේ ඔක්තෝබර් 10 දින පැවති මැතිවරණයේදී නිට්ටඹුවේ සංඝබෝධි මහා විද්‍යාලයේදී තම ඡන්දය ප්‍රකාශ කළ මැතිනිය, පුරවැසියෙක් ලෙස තම අවසන් සේවය ඉටු කිරීමෙන් අනතුරුව කොළඹ එන අතරමග දෑස් පියාගෙන තිබුණේ, මෙරට දේශපාලනයේ ස්වර්ණමය සලකුණක මතක සටහන් ඉතිරිකරමිනි.


(***)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්
නීතිඥ දයාසිරි ජයසේකර.