2020 වසරේ ප්‍රකාශිත කෘති අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවන ග්‍රන්ථ ලේඛනය ඉකුත්දා ප්‍රකාශයට පත්විය. කොරෝනා වසංගතය හේතුවෙන් සම්මානිත ග්‍රන්ථ නාමාවලිය ප්‍රසිද්ධියට පත් කළ බවත්, පසුව සම්මාන උළෙල පැවැත්වීමට නියමිත බවත් අප පුවත්පත වාර්තා කළේය. රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ සියලු ලේඛක ලේඛිකාවන්ට ‘‘ලංකාදීප’’යේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු. වඩාත් යහපත් මානව සමාජයක් වෙනුවෙන් වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත ප්‍රීතියෙන් සාහිත්‍යකරණයේ යෙදෙන සුධීමතුන්ට මේ හිමිවුණ රාජ්‍ය සම්මාන වඩ වඩාත් ධෛර්යයෙන් යුතුව එම කාර්යයෙහි තව තවත් නිමග්න වීමට මෙම සම්මාන ප්‍රදානෝත්සවය බලවත් පෙළඹවීමක් ශක්තියක්වීම ඒකාන්තය.

‘‘සාහිත්‍ය’’ යන වචනයට අදාළව ඇති එක් තේරුමක් වනුයේ ‘‘රස සහිත තැන’’ යන්නය. මිනිසා ස්වභාවයෙන්ම ‘‘රසට’’ කැමතිය. මෙම රසය මිනිසා විඳින ආකාර විවිධ වේ. එක් වරක මිනිසා තම තමන්ට දුක්දී රසයක් විඳී. තවත් විටෙක අන්‍යයන්ට දුකක් දී එය රසයක් ලෙස විඳී. මෙම වින්දන මාධ්‍යයන් දෙකම ග්‍රාම්‍ය වේ. ඒ වෙනුවට රසය උසස් ලෙස වින්දනය කිරීමට මාධ්‍යයක් මිනිසාට ඇවැසි විය. කලාව ලොව පහළ වූයේ ඒ අනුවය. කලාව යනු රස නිෂ්පාදන මාර්ගය වේ. නවකතා කලාව, කෙටිකතා කලාව, නාට්‍ය කලාව, චිත්‍රපට කලාව ආදී යෙදුම්වලින් ඒ බව සනාථ වේ. එම කලාවන් හරහා පෙර අත් නොවිඳි රසයක් නිර්මාණය කිරීමට සියල්ලන්ටම නොහැකිය. ඒ සඳහා පළමුව තමන්ට උසස් රස වින්දනයක් තිබිය යුතුය. එය නිසි පරිදි කලතා පෙරා බෙදා හැරීමට ඉවසුම් බවක් තිබිය යුතුය. ඒ සඳහා බොහෝ ඇසූපිරූ ඇත්තෙකු විය යුතුය. සම්මානයන්ට පාත්‍රවන්නේ එම සකලාංගයන්ගෙන් සමන්විත වන අපූරු මිනිසුන්ය. ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් ගමනාන්තයට මිනිස් සමාජය රැගෙන යන්නේ එම අපූරු මිනිස්සු වෙති..

මිනිසා යනු යන්ත්‍රයක් නොවේ. දුක – සතුට ඉදිරිපිට සංවේදී වන සත්ව කොට්ඨාසයකි. එහෙත් එම සංවේදීවීම ඉබේ සිදුවන්නක් නොවේ. ඒ සඳහා පෙළඹවීමක් ඇවැසිය. සාහිත්‍යධරයා, කලාකරුවා අතින් සිදුවන්නේ එම අනගිතම මෙහෙවරකි. ඔවුන් අමතන්නේ සමස්ත මානව හැඟීම්වලටය. එයින් සංවේදී වන මිනිසා එම මානව හැඟීම්වල ස්වභාවය හඳුනා ගනී. එම මානව හැඟීම් හොඳ – නරක ලෙස හෝ උසස් - පහත් ලෙස වෙන්කර හඳුනා ගනී. තමන් මෙතෙක් නුදුටු ලොවක් තිබෙන බව පසක් කර ගනී. ඒ අලුත් ලොවෙහි අසිරි සිරිය ඔහුට දැනෙන්නට පටන් ගනී. එහි චමත්කාරය ඔහුට අලුත් රසයක් රැගෙන එයි. මනුෂ්‍යත්වය යනු කුමක්දැයි හඳුනා ගන්නා මිනිසා සියලු අවකල් ක්‍රියාවන්ගෙන් මිදී තුන් කල් දක්නා ඉසිවර නුවණින් කටයුතු කිරීමට පෙළඹේ. පුද්ගල පෞරුෂය ගොඩනැගීම සාහිත්‍ය ඉවහල්වන්නේ ඒ අයුරිනි. ‘‘කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි’’ යන සදාතනික ප්‍රකාශයෙහි පදනම ද එයය.

මිනිස් සිත ස්වභාවයෙන්ම වරදට පාපයට බරය. වැරැදි දේ කිරීමෙන් පාපී ක්‍රියාවන්හි නියැලීමෙන් අපමණ ප්‍රීතියක් විඳීමට මනස කැමතිය. මේ මනස එම පාපී උගුලෙන් ගලවාගනු යුතුමය. නොඑසේ නම් අත්වන්නේ පරාජය හා විනාශය පමණි. මිනිස් මනස යනු උසස් තත්ත්වයට වර්ධනය කරගත හැකි දෙයකි. එහි කෙළවර බුද්ධත්වය වේ. දේවත්වයට පත්වීම යනු ද මනස උසස් තත්ත්වයට පත් කිරීමකි. ආගම දහමට මෙන්ම සාහිත්‍ය එහිදී අප්‍රමාණ මෙහෙවරක නියැලෙයි. සාහිත්‍යකරුවා නිර්මාණශීලීව එම කාර්යයෙහි නියැලෙයි. ඔවුන් සුවිශේෂී මානව සම්පතක් ලෙස හැඳින්වෙන්නේ එහෙයිනි.

අප රට සතුව උසස් මෙන්ම දුරාතීතයට අයත් සාහිත්‍යයක් තිබේ. අදටත් මෙම සමාජය සුවපත් කරමින් සිටින්නේ එම සාහිත්‍යයම වේ. විශේෂයෙන්ම මෙම කොරෝනා මාරාන්තික ව්‍යසනය හමුවේ කියවීමේ වැදගත්කම ඉහළින්ම අවධාරණය කෙරිණි. ඩලස් අලහප්පෙරම මහතා අධ්‍යාපන ඇමතිව සිටි සමයේ කොරෝනා උවදුර හමුවේ ‘‘පොත් ලියන්නැයි’’ පාසල්  දරුවන්ට ආයාචනා කළේය. එය කදිම පියවරකි. කොරෝනා ඛේදවාචකය ඉදිරිපිට එය දරා ගැනීමට මෙන්ම එය කළමනාකරණය කර ගැනීමට ඇවැසි විසල් මනස පාදා දුන්නේ ද සාහිත්‍ය මගිනි. මෙම සාහිත්‍යකරුවා ආදරයෙන් රැක බලා ගත යුත්තේ එහෙයිනි.

සමාජය බෙහෙවින් සංකීර්ණ වෙමින් තිබේ. මහ පොළොව නුහුලන තරමට අපරාධ වර්තමාන මිනිසා වෙතින් සිදුවේ. සන්නිවේදන තාක්‍ෂණික විප්ලවයත් සමග මිනිසා බොහෝ දුරට කියවීමෙන් දුරස් විය. යාන්ත්‍රික මිනිසකු බිහිවූයේ ඒ අනුවය. එහෙත් ගමන් කරමින් සිටින්නේ වැරැදි මාවතක බව මිනිසා අවබෝධ කරගනිමින් සිටී. ඒ මිනිසාට විකල්පයක් වශයෙන් තිබෙන්නේ පොත්ය. කොළඹ පැවැති පොත් ප්‍රදර්ශනයට රොද බැඳ ගන්නා මහ සෙනඟෙන් ඒ බව මනාව ඔප්පු වේ. අවශ්‍ය වන්නේ එම තත්ත්වය තව තවත් දියුණු කිරීමය.

මෙරට කලාකරුවාට, සාහිත්‍යධරයාට නිසි පිළිගැනීමක් නැති බවට චෝදනාවකි. එය අසත්‍යයක් නොවේ. මෙම පරිසරය වෙනස් කළ යුතුය. වාර්ෂිකව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කලාකරුවා සාහිත්‍යධරයා ඇගයුමට ලක් කරන කදිම අවස්ථාවකි. එහෙත් එබඳු වාර්ෂික ලිත් සැමරුමක් පමණක් ප්‍රමාණවත් නොවන බව වරක් නොව සිය දහස් වාරයක් ඔප්පු වූ ඒකාන්ත සත්‍යයකි.

(***)