ශ්රී ලංකාවට ඉකුත් නොවැම්බර් 27 වැනිදා ඇතුළු වූ ‘‘දිට්වා’’ යනුවෙන් නම් කරනු ලැබ ඇති සුළි කුණාටුවෙන් 639 දෙනකුට ජීවිත අහිමි වී තවත් 210 දෙනකු අතුරුදන් වී සිටින බව අවසානයට අප කියවන වාර්තාවල සඳහන් විය. සැබෑ සංඛ්‍යා ලේඛන සුළු වශයෙන් වෙනස් විය හැකිය.
පවුල් හය ලක්ෂයකට පමණ අයත් ලක්ෂ 21 දෙනකුට මෙම සුළි කුණාටුවෙන් බලපෑම් ඇති වී තිබේදැයි කියැවේ. එසේම මාර්ග කිලෝ මීටර් 247කට සහ පාලම් 35කට හානි සිදුවී ඇති බවත් ගොඩනැගිලි 2,77,000කට වැඩි සංඛ්‍යාවක් ගංවතුරට යට වූ බවත් වාර්තාවල සඳහන් වේ.
ඒ දිනවලම එනම් නොවැම්බර් 26 සහ 27 යන දිනවල ඉන්දුනීසියාව, මලයාසියාව හා තායිලන්තය යන රටවලට ද සුළි කුණාටුවකින් හානි සිදුවී තිබේ. එය දිට්වා සුළි කුණාටුවම නොවේ. ‘‘සෙන්යාර්’’ යනුවෙන් නම් කරනු ලැබ ඇති එම කුණාටුවෙන් ඉන්දුනීසියාවේ පමණක් අඩු තරමින් 593 දෙනකු මියගොස් 468 දෙනකු අතුරුදන් වී ඇති බවත් 2600 දෙනකු තුවාල ලබා ඇති බවත් ලක්ෂ හයක් පමණ දෙනා අවතැන් වී ඇති බවත් වර්ල්ඩ් වෙදර් ඇට්‍රිබියුෂන් නම් වෙබ් අඩවියේ සඳහන් වේ. ඉන්දුනීසියාවේ විපතට පත් ජන සංඛ්‍යාව ලක්ෂ 15ක් පමණ වේ. මලයාසියාවේ විපතට පත් සංඛ්‍යාව 37,000ක් පමණ වේ යැයි කියවේ.
ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය ද මෙම විපත තම දේශපාලන අරමුණු සඳහා යොදා ගනුද පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම විපක්ෂය මෙය ආණ්ඩුව අපකීර්තියට පත් කර යළි බලයට පත්වීමට මාර්ගයක් කර ගන්නට උපරිම ලෙස උත්සාහ දරයි. මේ අතර ආණ්ඩුව ද සහන කටයුතු කරන අතරම විපක්ෂයේ මෙම උත්සාහය ගැන කියමින් දේශපාලනය කරයි.
මේ අතර මේ කාරණයේදී දේශපාලනඥයන් හා විපතට පත් ජනතාව අතරද ඇත්තේ විශාල පරතරයකි. නොවැම්බර් 1 වැනිදාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම විපත ගැන අනාවැකි පළ කළ බව විපක්ෂය කියා සිටිය ද ලියුම්කරුද ඇතුළු විපතට පත් ජනතාව එවැන්නක් ගැන දන්නේ නැත. ආණ්ඩුවද පවසන්නේ කාලගුණ දෙපාර්තමේන්තුව නොවැම්බර් 12 වැනිදා එවැනි බරපතළ අනාවැකියක්ද පළ නොකළ බවය.
එහෙත් නොවැම්බර් 26 වැනිදා එම දෙපාර්තමේන්තුව ඉහළ වර්ෂාපතනයක් හා දැඩි සුළං පිළිබඳව අනතුරු අඟවා තිබිණි. එම දෙපාර්තමේන්තුව අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දුන්නද සාමාන්‍යයෙන් ධීවරයන් හැර අන් කිසිවෙක් එවැනි නිවේදනයක් ගණන් ගන්නේ නැත. මෙවර ද එසේම විය.
ඊට පසුදින එනම් විසිහත් වැනිදා එම අනතුරු ඇඟවීමට අමතරව ප්‍රධාන ගංගා කිහිපයක පහළ නිම්නයේ ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙනු ලැබීය. කොළඹට ද දැඩි සුළඟක් හැමූ අතර වර්ෂාපතනය ද දැඩි විය. මේ අනුව ඊට පසුදින එනම් නොවැම්බර් 28 වැනිදා (සිකුරාදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
එදින දහවල් වනවිට ලියුම්කරු ජීවත්වන කැලණි ගං මිටියාවතට 2016 ගංවතුරට වඩා දරුණු ගංවතුර අනතුරක් ඇති වන්නට යන බවට රාවයක් පැතිරී ගියේය. වැල්ලම්පිටිය පොලීසිය ද අඩි විස්සකට වඩා උසට ගංවතුර මට්ටම ඉහළ යා හැකි යැයි අනතුරු අඟවමින් කැලණි ගඟ අසල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානවලට යන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උපදෙස් දුන් බව දැන ගන්නට ලැබිණි.
වෙනත් ප්‍රදේශ මෙන්ම මෙම ප්‍රදේශය ද හරියටම සමතලා තැන්පත් නොවේ. මෙහි ඇතැම් ස්ථාන ගං ඉවුරට වඩා පහත්ය. තවත් ඇතැම් ස්ථාන ගං ඉවුරට වඩා උස්ය. තවත් සමහර තැන ඉවුරේ මට්ටමට සමානය. ඉහත කී අඩි විස්ස ගණන් ගන්නේ කොතැන සිට දැයි අපට ප්‍රශ්නයක් විය. අපට මෙය දැනුණේ අතිශයෝක්තියකින් යුතුව එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කරන්නට දරන උත්සාහයක් ලෙසය. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ කොතැනවත් අඩි විස්සක් උසට ජල මට්ටම ඉහළ ගිය බවක් දැන ගන්නට නැත.
කෙසේ වෙතත් බලධාරීන් කෙසේ කීව ද ජනතාව ආපදා සහිත ස්ථානවලින් ඉවත් කිරීම පහසු නොවේ. අනතුරුදායක ස්ථානවලින් පිටත සිටින පිරිස් අනතුරුදායක ප්‍රදේශවල ජීවත්වන අය තම නිවාස හා ඒවායේ ඇති වටිනා භාණ්ඩ ගැන නොසිතා ජීවිතය බේරා ගැනීමට එම ස්ථානවලින් පිටවී ආරක්ෂක ස්ථානවලට යා යුතු යැයි ද ජීවිතය බේරා ගතහොත් පසුව දේපළ උපයා ගත හැකි යැයි ද කියති. එහෙත් මේ ‘‘දාර්ශනික’’ අදහස එක්වරම පිළිගන්නට අනතුරුදායක ස්ථානවල ජීවත්වන ජනතාව සුදානම් නැත.
පළමුවැනි කාරණය අනෙක් පිරිස් කුමක් කීව ද තමන් ජීවිත කාලයක් දුක් මහන්සියෙන් ඉපැයූ දෑ අනාරක්ෂිතව අත්හැර යන්නට නොහැකි මානසිකත්වය ඔවුනට අනතුරුදායක ස්ථාන අත් හැර යන්නට ඉඩ නොදේ. එසේම ප්‍රදේශයම හිස් වුවහොත් සොරුන් වටිනා දෑ සොරකම් කරනු ඇතැයි ඔවුහු සිතති. අප සෑම විටම සිතන්නේ යථාර්ථය අනුව නොව අපට වාසි සහගත ලෙසය. ඒ අනුව ඒතරම් උසට ගංවතුර නොගලනු ඇතැයි සිතන්නට ගංවතුර තර්ජනය ඇති ප්‍රදේශවල ජනතාව පෙළැඹෙති. තමන් සිටින ස්ථාන නාය නොයනු ඇතැයි නාය අනතුරු ඇති ප්‍රදේශවල ජනතාව ද තම සිත රවටා ගනිති.
2016 දී කැලණි ගං මිටියාවතේ ඇති වූ ගංවතුර ආපදාවේ දී ලියුම්කරු ද නිවසින් පිට වූයේ නිවසේ ගංවතුර ගලන්නට පටන්ගෙන තුන්වැනි දිනයේ බිම් මහලේ අඩි හතරක් පමණ ජලය පිරුණු පසුවය.
ඊට ද හේතු වූයේ ගංවතුර උඩුමහලට ගලනු ඇතැයි ඇති වූ බියක් නිසා නොව විදුලිය විසන්ධි වී නිවසේ සියලු දෙනාගේම ජංගම දුරකතන ක්‍රියා විරහිත වීමේ අනතුරක් ඇති වූ හෙයිනි. ඒ වනවිටත් මිදුලේ ජලය කරවටක් පිරී තිබිණි. මෙවරද අපට නිවසින් පිටවන්නට බල කළේ සන්නිවේදන ප්‍රශ්නයයි.
ජනතාව ආරක්ෂිතව ස්ථාන කරා යන ලෙසට බලධාරීන් කරන නිවේදනය නොතකා හරින අනෙක් කාරණය නම් නිවෙස අත්හැර යන්නේ කොහේද යන ප්‍රශ්නයට සරල පිළිතුරක් නැති වීමය. නිවෙස අත්හැර යන සෑම කෙනකුම පාහේ තමන්ගේ වටිනා බඩු භාණ්ඩවලට, ලියකියවිලිවලට හා දරුවන්ගේ ඇඳුම් හා පොත්පත්වලට කුමක් වනු ඇත්දැයි දැඩි මානසික පීඩාවකින් යුතුව එසේ යති. මෙවර අපගේ අසල්වැසියන් දෙදෙනකු තම දියණියන්ගේ විවාහයෙන් පසු දෑවැදි වශයෙන් දෙන්නට මිලදීගෙන තිබූ නිදන කාමර කට්ටල ජලයෙන් යට විය. ඉන් එක් අසල්වැසියකුගේ දියණියගේ විවාහය වෙනුවෙන් මිලදී ගත් වටිනා ඇඳුම් ද රොන් මඩින් විනාශ විය.
මේ මානසික පීඩාව නිසා නිවසින් පිට වුවද ලැබෙන පළමු මොහොතේම නිවෙසට පැමිණිය හැකි ළඟම තැනෙක් රැඳෙන්නට ඔවුන්ට අවශ්‍ය වේ. එවැනි තැනක් සිතා ගන්නටවත් නොහැකි නිසා බොහෝ දෙනා නිවෙසින් පිට වීමට අදිමදි කරති. පාසල්, පන්සල්, දේවස්ථාන වැනි ස්ථානවලට ඇතැම් විට විපතට පත් වූවන්ට නවාතැන් දෙන්නට බලධාරීන් කටයුතු කළ ද ඒවායේ ජලය, වැසිකිළි පහසුකම් ආදිය ප්‍රමාණවත් තරම් නැත. කාන්තාවන්ගේ ආරක්ෂාව ගැනද පවුලේ වැඩිහිටියෝ සිතති.
විපතට පත් ඇතැම් පුද්ගලයන්ට තම ඥාතීන්ගේ නිවෙස්වලට යා හැකි වුවත් කොතරම් දින ගාණක් ඒවායේ සිටින්නට සිදුවේද තමන් ඥාතීන්ට බරක් වනු ඇත්ද, තමන්ගේ ආත්ම ගරුත්වයට හානියක් වේද යනාදී බොහෝ ප්‍රශ්න ඔවුන් හමුවේ ඇත. ආපදා සහිත ප්‍රදේශවල ජනතාව බලධාරීන්ගේ උපදෙස් නොතකා තම නිවෙස්වලම රැඳී සිටින්නට උත්සාහ කරන්නේත් ඇතැම් විට ඒ නිසාම මරණය පවා තෝරා ගන්නේත් ඒ නිසාය.
අනතුර සුළුවෙන් ඇති විට මෙවැනි ආපදාවකට මුහුණ දෙන්නට නිවෙසේ ඇති සියල්ල වටිනා භාණ්ඩ වේ. අනතුර දැඩිවත්ම ටිකින් ටික ඔවුහු බොහෝ දේ අත්හරින්නට එකඟ වෙති. අවසානයේ දී සමහර විට නිවසේ ඔප්පුව, කණකර හා වෙනත් වටිනා ලියකියවිලි කිහිපයක් පමණක් ගෙන නිවසින් පිටවන්නට ඔවුන් තීරණය කරන විට ඔවුන් ප්‍රමාද වී තිබෙන්නට පුළුවන.
මේවා අනතුරුදායක ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ප්‍රශ්නයි. එහෙත් බොහෝ දේශපාලනඥයන් සිතන්නේ අනතුරු ඇඟවීමක් කළ සැණින් ජනතාව ආරක්ෂිත ස්ථානවලට යන්නට සුදානම්ය කියාය. එසේම ඔවුනට යන්නට ආරක්ෂිත ස්ථාන ඇතැයි කියාය.
ලියුම්කරු ජීවත්වන කැලණි ගං මිටියාවතේ පහළ කොටසේ ජීවත් වන්නන්ට මෙවර ගංවතුරෙන් බේරී ඉවත් වන්නට ඕනෑ තරම් කාලය තිබිණි. ඔවුන්ට නාගලගම් වීදිය, හංවැල්ල වැනි ප්‍රදේශවල ජල මාපකවල ඉලක්කම් සමග තම ප්‍රදේශයට ඇති විය හැකි බලපෑම ගැන අතීත අත්දැකීම්වලින් ලත් අවබෝධයක් ද තිබුණේ නම් ඔවුනට එසේ ඉවත් වීම පිළිබඳ තීරණය ගැනීම ද පහසු වන්නට තිබිණි.
අනෙක් අතට අතීතයේ දී බලධාරීන් කළ අනතුරු ඇඟවීම් ගණනාවක් අනතුරකින් තොරව පසුව ඉවත් කර ගැනීම ද මෙවර ජනතාව ප්‍රදේශයෙන් ඉවත්වීමට අදි මදි කරන්නට හේතු විය. 2016 මහා ගංවතුර ආපදාවෙන් පසු 2017 දීද අප සිටින ප්‍රදේශයේ කැලණි ගඟ පිටාර ගැලුවේය. බලධාරීහුද ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස කීහ. එහෙයින් ලියුම්කරු වත්තල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිය ද එවර ගංවතුර නිවෙස්වලට ගලා ආවේ නැත. හංවැල්ල, මල්වාන වැනි ප්‍රදේශවල පමණක් නිවාස තරමක් යට වී තිබිණි. අපි උඩුමහලට දැමූ භාණ්ඩ දිනක් පමණක් වෙහෙස වී යළි පහත මාලයට ගත්තෙමු.
2018 දීද බලධාරීහු ආරක්ෂිත ප්‍රදේශවලට යන ලෙස අපට කීහ. එවර අපි නිවෙසින් නොගිය ද දැඩි වෙහෙසක් දරා පහත මාලයේ භාණ්ඩ උඩු මහලට ගත්තෙමු. එහෙත් අප කොහිවත් ගියේ නැත. ගංවතුර ගැලුවේ ද නැත. අපි යළිත් දැඩි වෙහෙසක් දරා නිවසේ බඩු භාණ්ඩ පහත මාලයට ගත්තෙමු. මෙසේම 2022දී හා 2024 දීද සිදුවිය. මේ නිසා අනතුරු ඇඟවීම් කළ පමණින් අනතුරක් සිදු නොවේය යන මානසිකත්වය අප තුළ ගොඩ නැගී තිබේ.
එහෙත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ට දොස් පැවරිය නොහැකිය. ඔවුන් කරන්නේ අනතුරක් ඇතිවිය හැකියි යන්න දැනුම් දීමයි. එම දැනුම දීම අනුව වායුගෝලයේ කටයුතු සිදු නොවිය හැකිය. අනෙක් අතට එසේ දැනුම් නොදී අනතුරක් වන්නට ඉඩ හරින්නට ද ඔවුනට නොහැකිය. කෙසේ වෙතත් මෙවැනි තත්වයක් ජනතාවට හිරි හැරයක්ය යන්න ගැන විවාදයක් නැත.
මෙවර ඇතැම් ස්ථානවල කළ අනතුරු ඇඟවීම් ප්‍රශ්නකාරීය. තමන් ජලාශයක ජලය මුදාහරින බව ජනතාවට දැනුම් දුන්නේ විනාඩි 10කට පෙර යැයි එක්තරා නිලධාරියකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබිණි. ජලාශයට පහළින් ජනතාව නිතරම සිටින්නේ ජලාශයේ දොරටු විවෘත කළහොත් දුවන්නට සුදානමින් නොවේ. විනාඩි දහයකින් කළ හැකි දෙයක් නැත.
කෙසේ වෙතත් ආපදා සහිත ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම පිළිබඳව දේශපාලනඥයන් කතා කරන්නේ ඔවුන් මුහුණ දෙන ක්ෂණික ප්‍රශ්න ගැන අවබෝධයකින් නොවේ. බොහෝ විට දේශපාලන ඇසකින් ප්‍රශ්නය දෙස බලා ඔවුහු ඒ ගැන අදහස් පළ කරති.
(*** එම්.එස්.එම්. අයුබ්)
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුළි කුණාටු පණිවිඩයේ නොදුටු පැත්ත