IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


සාහිත්‍යය - ඉතිහාසය නොතකා හැරීම සමාජ ඛේදවාචකයක්

කේ. ජයතිලක නිර්මාණ-විචාර විමර්ශන සම්මන්ත්‍රණය අගෝ. 01දා.

සිංහල නවකතාව, කෙටිකතාව, ළමා සාහිත්‍යය, විචාර කලාව ආදී විවිධ සාහිත්‍ය ක්ෂේත්‍ර වෙත ප්‍රබල නිර්මාණාත්මක දායකත්වයක් ලබා දෙමින් එහි අනන්‍යතා ලකුණක් මතු කිරීමට සමත් වූ ප්‍රතිභාසම්පන්න නිර්මාණ රචකයකු වන කේ. ජයතිලක මහතාගේ නිර්මාණ විචාර විමර්ශනය කෙරෙමින් පැවැත්වෙන සම්මන්ත්‍රණයක් අගෝස්තු 01 වැනිදා සිකුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඇම්.බී. ආරියපාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරයි. කේ. ජයතිලක පදනමේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන පැවැත්වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලතා ගුරුසිංහ මහත්මිය සමග මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කේ. ජයතිලකයන්ගේ සාහිත්‍ය මෙහෙවර සැකැවින් විමසා බැලීමේ අරමුණිනි.

 

ප්‍ර විශ්වවිද්‍යාල ගුරුකුලයක් හෝ වෙනත් කණ්ඩායමක් නියෝජනය නොකළ ස්වාධීන නිර්මාණ මාර්ගයක් ගොඩනඟාගත් කේ. ජයතිලක වැනි සාහිත්‍යකරුවකුගේ නිර්මාණාත්මක කාර්යභාරය විමසීමට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය කල්පනා කළේ ඇයි?

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය කේ. ජයතිලකගේ නිර්මාණාත්මක භූමිකාව විමර්ශනය කිරීමට තෝරා ගෙන ඇත්තේ විශේෂ ශාස්ත්‍රීය හා සංස්කෘතික හේතු නිසා බව කිවයුතුයි. එය කරුණු කිහිපයකට ලඝු කර පැහැදිලි කළ හැකියි. ඔහු සිංහල සාහිත්‍යයේ ස්වාධීන අනන්‍යතාවක් ප්‍රකට කරන ප්‍රබල හඬක්. එය ස්ථාපිත උසස් අධ්‍යාපන ආයතනවලින් පිටත ස්වාධීන නිර්මාණාත්මක මාවතක් නියෝජනය කරන්නක්. සාම්ප්‍රදායික වර්ගීකරණවලට අභියෝග කරන ප්‍රධාන ධාරාවෙන් බැහැර වූවක්. සිංහල සාහිත්‍යයට සුවිසල් මෙහෙවරක් කළ ‘කන්නිමහර ප්‍රාඥයා’ යන විරුදාවලිය ලත් කේ. ජයතිලක විශ්වවිද්‍යාල ප්‍රජාවට සිහිපත් කරවීමේ වගකීම අප සතුයි. එම කෘතගුණ දැක්වීම වෙනුවෙනුයි, කේ. ජයතිලක පදනමේ පූර්ණ අනුග්‍රහය මත මෙම කටයුත්ත සඳහා අපි මැදිහත් වෙන්නේ.

 

ප්‍ර ජී.බී. සේනානායකගෙන් පසු සිංහල කෙටිකතාවේ පරිසමාප්තිය-කලාත්මක අගය භාෂාත්මක අනන්‍යතාවක් ඔස්සේ ගොඩනැඟූ ප්‍රමුඛයකු හැටියට කේ. ජයතිලකයන් අගය කළ හැකියි. කෙටිකතාකරුවකු ලෙස ඔහුගේ භූමිකාව වැදගත් වන්නේ ඇයි?

කෙටිකතා කලාව ආත්ම සංයමයකින් හා දැඩි විවේක බුද්ධියෙන් යුතුව හැදෑරීම නිසා ජී.බී. සේනානායක සිංහල කෙටිකතාවට කළ මෙහෙවරෙහි දිගුවක් ලෙස කේ. ජයතිලකගේ නිර්මාණකරණය හැඳින්විය හැකිය. මාර්ටින් වික්‍රමසිංහ ‘උපන්දා සිට’ කෘතියෙහි දක්වන අන්දමට බටහිර විචාරකයන් පිළිගත් කෙටිකතා ස්වරූපයට හුරු කරනු පිණිස තම අත්දැකීම් තළා සකස් කිරීමෙන් ලැබූ හික්මීම නිසාදෝ සේනානායක ඒ අත්දැකීම්වලට හිමි දේශීය ස්වරූපයක් දීම වඩා හොඳ බව සිහි කළේ. දුක් දොම්නස් සොම්නස් බහුල සිංහලයන්ගේ අසංස්කෘත ජීවන ප්‍රවෘත්ති සේනානායකගේ භාවනාවට අරමුණු නොවූයේ මේ නිසා දැයි වික්‍රමසිංහ ප්‍රශ්න කරනවා. ජයතිලකගේ ‘එකගෙයි අවුරුද්ද’, ‘අතීරණය’, ‘වජිර පබ්බත’, ‘පුනරුප්පත්තිය’, ‘කටු සහ මල්’, ‘නොනිමි සිත්තම’ යන කෙටිකතා සංග්‍රහ විග්‍රහ කරන විට දාර්ශනික භාෂාමය සහ චිත්තවේගීය මාන ගැඹුරු කරන නව මාවතක් ජයතිලක හසු කරගන්නා ආකාරය හඳුනාගත හැකිය. කේ. ජයතිලකගේ කෙටිකතා වඩා වැදගත් වන්නේ කලාත්මක කුසලතාව සිංහල කෙටිකතාවේ ප්‍රකාශන සීමා පුළුල් කරමින් පශ්චාත් සේනානායක යුගයට බුද්ධිමය ප්‍රවේශයක් ලබා දුන් බැවින්

 

ප්‍ර නවකතාකරුවකු ලෙස කේ. ජයතිලකයන් ගොඩනැඟූ සමාජ සංස්කෘතික හා දේශපාලන චින්තනය ඔහුගේ බොහෝ නවකතාවල ප්‍රබල යටි පෙළක් සේ විහිදී යනවා. මේ විශේෂත්වය ඔබ දකින්නේ කොහොමද?

කේ. ජයතිලකගේ නවකතාවල ගැබ්ව පවත්නා සමාජ සංස්කෘතික හා දේශපාලන චින්තනය සිංහල සාහිත්‍යයේ ඔහුගේ කෘති වෙන් කර ගත හැකි සුවිශේෂ සහ බලවත් යටි පෙළක් නියෝජනය කරනවා. ඔහු තම ‘සමාජ ප්‍රගතිය සහ සාහිත්‍යය ගැන’ කෘතියේ සඳහන් කරන අන්දමට “සාහිත්‍ය කෘතියක් යනු පවත්නා ලෝකය ඇසුරෙන් මවනු ලබන අලු‍ත් ලෝකයක්.” ‘පුංචිරාළ’, ‘පුංචිරාළගේ මරණය’, ‘රාජපක්ෂ වලව්ව’, ‘මතු සම්බන්ධයි’, ‘මායා මාලිගා’, ‘කාලෝ අයංතේ’, ‘චරිත තුනක්’, ‘පිතාමහ’, ‘පරාජිතයෝ’, ‘අප්‍රසන්න කතාවක්’, ‘අධිෂ්ඨාන’, ‘මහල්ලෙකුගේ ප්‍රේම කතාව’, ‘දෙලොවට නැති අය’ නවකතා අධ්‍යයනය කරන විට මතුපිට දැකිය හැකි පෞද්ගලික පැවැත්ම සහිත ආඛ්‍යාන බවට පත් වෙනවා. කෙසේ වුවද ඒවාට යටින් පන්ති ව්‍යුහය, සමාජ අසාධාරණය, සංස්කෘතික වෙනස්වීම් හා සදාචාරාත්මක පරිහානිය ගම්‍යමාන වෙනවා. ඔහු තම සාහිත්‍ය විචාර චින්තාවලී’ කෘතියේ දක්වන අන්දමට “සැබෑ රසයක් කෙනෙකුට විඳ ගත හැක්කේ ස්වකීය දේශයෙහි ස්ථිරව පිහිටා සිටීමෙනි. නැතිනම් ඔහු ඒ රසිකත්වය විසින්ම දේශයෙන් උසුලාගෙන ගොස් තැන තැන හෙළා දමනවා.” ජයතිලක තම දේශපාලන දැක්ම මතු කරනුයේ සජීවී අත්දැකීම්වලින්. සංස්කෘතික සම්මත ආගමික පිළිවෙත් සාරධර්ම පිළිබඳ සියුම් විවේචන මෙන්ම ඔහුගේ සමාජ දේශපාලන චින්තනයද මෙම නවකතාවල ප්‍රබලව දැකිය හැකියි. කේ. ජයතිලකගේ සුවිශේෂත්වය වන්නේ ඔහුගේ නවකතා හුදු සරල කතන්දරයකට සීමා නොවී ගැඹුරු, සමාජ දේශපාලන චින්තනයක් යටි පෙළෙන් මතු වන බැවින්.

 

ප්‍ර පැරැණි සාහිත්‍ය ග්‍රන්ථ විවරණ සහ නූතන සාහිත්‍ය අධ්‍යයනය සම්බන්ධයෙන් ඔහු කළ විචාර කෘතිවලින් ඔහුගේ පුළුල් විචාර දෘෂ්ටිය කැපී පෙනෙනවා. එහෙත් ඔහුගේ විචාරාත්මක මැදිහත්වීම මෙරට සාහිත්‍ය කතිකාව තුළ සාධාරණ ලෙස ඇගයීමට ලක්වූවා යැයි සිතනවාද?

කේ. ජයතිලකගේ විචාරාත්මක මැදිහත්වීම මෙන්ම ශාස්ත්‍රීය පොතපත සම්බන්ධ කතිකාව ප්‍රමාණවත් නොවන බවයි මගේ හැඟීම. ‘සිංහල කතා කලාවේ විකාශනය’, ‘සාහිත්‍ය විචාර සටහන්’, ‘දෛවයෝග විචාරය’, ‘නවකතාව හා සමාජය’ වගේ සාහිත්‍ය විචාර කෘතිත්, ‘සීගිරි ගී නිර්මාණ’, ‘විමර්ශන සහිත මයූර සන්දේශය’, ‘විමර්ශන සහිත තිසර සන්දේශය’, ‘ජාතක සාහිත්‍යය හා වෙස්සන්තර’ වැනි ශාස්ත්‍රිය කෘති අනිවාර්යයෙන් නැවත සාකච්ඡාවට ලක් කළ යුතුයි. නූතන සාහිත්‍යයත්, පුරාතන සාහිත්‍යයත් පිළිබඳ සෞන්දර්යාත්මක හා දාර්ශනික විචාරාත්මක දෘෂ්ටිය, ඔහු තුළ පැවති දෘෂ්ටිවාදය සහ ඉදිරි දැක්ම පිළිබිඹු කරන්නක්. මේ නිසා කේ. ජයතිලකගේ විචාරාත්මක මැදිහත්වීම් වඩාත් සූක්ෂ්මව අධ්‍යයනය කළ යුතුමයි. එමඟින් ජයතිලකගේ සාහිත්‍යමය අනන්‍යතාව පිළිබඳ පුළුල් හා ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකි වෙනවා.

 

ප්‍ර ත්‍රිපිටකය හැර තම පුස්තකාලයේ අනෙක් සියලු‍ම පොත් ගිනි තබන ලෙස කේ. ජයතිලක තම ජීවිතයේ අවසන් භාගයේ කියා තිබුණා. එයින් කියැවුණේ පොතපතින් ඈත් වූ අවිචාරවත් සමාජය කෙරෙහි වූ ඔහුගේ කලකිරීම හා අප්‍රසාදයද්‍? ඔහු පැතූ සමාජය බිහි නොවීමේ ඛේදවාචකයද?. සාහිත්‍යයෙන් ඈත්වූ එම අවිචාරවත් සමාජයක ඛේදවාචකය දෙස  විශ්වවිද්‍යාල ආචාර්යවරියක ලෙස ඔබ බලන්නේ කොහොමද?

මාර්ටින් වික්‍රමසිංහ මහතා දක්වන පරිදි “පොතක් කියවීම වනාහි කෙනකු විනෝදයත්, උගැන්මත් සොයා  තමා නොගිය විරූ රටකට වැදීම වැන්න.” පොතපතින් ඈත් වූ සමාජයක් කියන්නෙ බුද්ධිමය අපේක්ෂා භංගත්වයේ සංකේතයක්. මෙය හුදෙක් ජයතිලක මහතාගේ පෞද්ගලික කලකිරීමකට වඩා සාහිත්‍යය අතහැර දැමූ සමාජයකට එරෙහි සංකේතාත්මක විරෝධයක්. සාහිත්‍යය සමාජ විද්‍යාත්මක අංශයෙන් විශ්ලේෂණය කිරීමේ වැදගත්කම මතු කරන එතුමාගේ සමාජ ප්‍රගතිය හා සාහිත්‍යය ගැන’ කෘතිය මෙයට හොඳ නිදසුනක්. සාහිත්‍ය, ඉතිහාසය වගේ ක්ෂේත්‍රවලින් සිදුවන සංස්කෘතික පසුබැසීම කියන්නෙම අනාගත සමාජයක ඛේදවාචකයක්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදිහට අප තුළත් පවතින්නේ අපේක්ෂා භංගත්වයක්. සමස්තයක් ලෙස සමාජය තුළම පවත්නා භාෂාව, සාහිත්‍යය නොතකා හැරීම නිසා භයංකර ලෙස ද්‍රව්‍යමය පදනම් බිඳවැටෙන සමාජයක ආධ්‍යාත්මික සංස්කෘතියේ පැවැත්ම නිශ්චිත අභියෝගයට ලක් වෙමින් තිබෙනවා. ඒ නිසාම මම පෞද්ගලිකවත් ජයතිලක මහතාගේ ප්‍රකාශයට එකඟයි.

 

ප්‍ර කේ. ජයතිලක ඇතුළුසමාජ චින්තකයන් ගොඩනැඟූ සමාජ සංස්කෘතික දර්ශනය නැවත කරළියට ගෙනැවිත් ගැඹුරු සංවාදයක් ගොඩනැඟීමේ ප්‍රබල අවශ්‍යතාවක් අද වනවිට ඇති වී තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය මෙම සංවාදය අරඹා තිබෙනවා. යහපත් සංස්කෘතික සංවාදයක් රට තුළ ඇති කිරීම අවශ්‍ය වන්නේ ඇයි?

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය මෙම සමාජ සංස්කෘතික උරුමයන් වෙනුවෙන් සක්‍රීයව කටයුතු කරන අධ්‍යයනාංශයක්. විශේෂයෙන්ම කේ. ජයතිලක වැනි සමාජ චින්තකයන්ගේ දර්ශනය පිළිබඳ අර්ථාන්විත සංවාදයක් නිර්මාණය කිරීමේ කාලෝචිත අවශ්‍යතා සපුරාලීම බුද්ධිමය අවකාශය ස්ථාපිත කිරීමක්. විශ්වවිද්‍යාල සිසුන්ට මෙම කේ. ජයතිලකගේ නිර්මාණ-විචාර විමර්ශන පිළිබඳ සම්මන්ත්‍රණය සංස්කෘතික සංවාදයට පදනමක් සපයා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව තුළ පොහොසත් සංස්කෘතික සංවාදයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන්නේ කේ. ජයතිලක වැනි චින්තකයන්ට ගෞරව කිරීම සඳහා පමණක් නොවේ. ඔවුන් පැතූ සංස්කෘතික සංවේදීතාව, සදාචාරාත්මක දැනුවත්භාවය සහ සහකම්පනයෙන් යුත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසාය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රයත්නය ජාතික කර්තව්‍යයකට උර දීමත්, ගැඹුරු සාකච්ඡාවකට වේදිකාව සකස් කිරීම බවත් අවසාන වශයෙන් කිව යුතුයි.

 

(***)

සංවාද සටහන - ගාමිණී කන්දේපොළ



අදහස් (0)

සාහිත්‍යය - ඉතිහාසය නොතකා හැරීම සමාජ ඛේදවාචකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site