රටට අවශ්‍ය තරමට විදේශ විනිමය සංචිත නැතහොත් විදේශ මුදල් නැතිකම නුතනයේ ලංකාව මුහුණ දී සිටින බරපතලම ආර්ථික අර්බුදය ලෙස හැදින්විය හැකිය. මේ පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ ඉම්පිරියල් විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය පිළිබඳ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසු ලිපියකි.

මහාචාර්ය ත්‍රිශාන්ත මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයකු වන ඒ මහතා, 2004 සිට 2007 දක්වා කාලයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙක් ද වෙයි. මේ ඒ මහතාගේ හඬයි.

“ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ග තුනකි. ඒ, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අපනයන ආදායමයි. 

විදේශ රැකියා කරන අයගෙන් ලැබුණ විදෙස් මුදල් ප්‍රමාණය දැන් පෙර පරිදි නොලැබෙයි. 
එයට හේතු දෙකකි. එකක් කොරෝනා නිසා විදෙස්වල රැකියා කළ යම් පිරිසකට රැකියා අහිමිව ඔවුන් යළි ලංකාවට පැමිණීමය. අනෙක් කාරණය ලංකාව ඇතුළේ පවතින අවිනිශ්චිතතාවය. එය නම් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමය. විදෙස් මුදල් ඒකකවල වටිනාකම නිතර ඉහළ යාමය. ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 206ක් බව මහ බැංකුව කීව ද නිල නොවන වෙළෙඳපොළෙහි එහි වටිනාකම රුපියල් 230 ද ඉක්මවා පවතී. පවතින මෙම අවිනිශ්චිතතාව නිසා ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ යුරෝපයේ රටවල දැනටත් රැකියා කරන ලාංකිකයන් මෙරටට මුදල් එවන්නේ නැති තරම්ය. ඔවුන් එසේ කරන්නේ තම විදෙස් මුදල්වලට අදට වඩා වැඩි රුපියල් ගණනක් හෙට ලබාගත හැකිය යන විශ්වාසයෙනි.

විදෙස් මුදල් ලැබුණු දෙවැනි මාර්ගය සංචාරක කර්මාන්තයයි.

2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් වැටීම ආරම්භ වූ සංචාරක කර්මාන්තය ඇදවැටුණේ කොරෝනා වසංගතය හේතුවෙනි. අවසන් වරට සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ලැබුණේ 2018 වසරේදීය. ඒ වසරේදී ඉන් ලැබුණු ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 4.5කි.

ඒ වසරේදී පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ 23කි. 2020 දී පැමිණි සංචාරකයන් පිරිස 5,07,311කි. 2020 අප්‍රේල් සිට නොවැම්බර් දක්වා කාලයේ කිසිම සංචාරකයකු ලංකාවට පැමිණ නැත. 2020 දෙසැම්බරයේදී පමණක් 393 දෙනෙක් පැමිණියහ. ඒ 393 දෙනාත් සමග එනම්, 2020 දෙසැම්බරයේ සිට 2021 ජුලි දක්වා කාලයේදී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 19,337ක් තරම් සුළුය. සංචාරක කර්මාන්තය වැටී තිබෙන තැන ඉන් පැහැදිලිය. එන්නත්කරණයෙන් ලංකාව ලබා තිබෙන සාර්ථකත්වයත්, යුරෝපයට එළැඹෙන සීත සමයත් නිසා සංචාරක කර්මාන්තය යළි පණ ගසා නැගිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුවත් 2018 මට්ටමට යාමට තවත් අවුරුදු දෙක තුනක් යනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

ලංකාවට විදෙස් විනිමය ලැබෙන අනෙක් මාර්ගය අපනයන කර්මාන්තයයි. 
සියවස් ගණනක සිට ලංකාව අපනයන කර්මාන්තයේ යෙදී සිටියත්, ඒ ක්ෂේත්‍රයෙන් ලබා සිටින ප්‍රගතියක් නැති තරම්ය. රජයේ සංඛ්‍යා ලේඛනවලින්ම ඒ බව අනාවරණය වෙයි. භාණ්ඩ හා සේවා අපනයනයෙන් 2017 දී ලංකාව ලබා තිබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 19,084කි. 2018 දී එය 20,264කි. 2019 දී ඒ සංඛ්‍යාව ඇමෙරිකන් ඩොලර් මිලියන 19,414කි. මා ඒ සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංඛ්‍යා දත්තය. ඒ දත්තවලින් අනාවරණය වන්නේ, ලංකාවේ අපනයන ආදායමෙහි වර්ධනයක් නැති බවය. නැතහොත් ලංකාවේ අපනයන එක තැනක පල්වන බවය.

පවතින ඇත්ත තත්ත්වය එය නම්, ලංකාව විදෙස් විනිමය උපයා ගැනීම සඳහා විකල්ප මාර්ගවලට යොමු විය යුතුමය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය එයට හොඳ මාර්ගයකි.

එහෙත්, ලංකාව ඉන් නිසි ප්‍රයෝජන ලබාගෙන නැති බව අවංකව පිළිගත යුතුය. රට ඇතුළේ තිබෙන ඇතැම් සමාගම් විදෙස් රටවලට එවැනි සේවා සැපැයුව ද ලංකාවේ ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණ සේවා සපයා ගන්නේ විදෙස් රටවලිනි. එමගින් වන්නේ රටේ තිබෙන විදෙස් විනිමය සංචිත ටිකත් හිස් වීමය. ඒ ප්‍රතිපත්ති නිවැරැදි විය යුතුය.

විදෙස් විනිමය උපයාගත හැකි හොඳම මාර්ගය අධ්‍යාපනයයි. ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව පමණක් නොව ලංකාව පිහිටි කලාපයේ තිබෙන නේපාලය ද විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබාදීමෙන් ආදායම් උපයයි.

මා සේවය කරන ඉම්පීරියල් විශ්වවිද්‍යාලය මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල අතරින් හිමි කරගෙන සිටින්නේ තෙවැනි තැනය. එහි පළමු තැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට හිමි වී තිබෙන අතර, දෙවැනි තැන හිමි කරගෙන සිටින්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි. 2020 ලෝක වාර්තාව අනුව ඉම්පීරියල් විශ්වවිද්‍යාලයට සමස්ත ලෝකයෙන්ම හිමි වී තිබෙන්නේ අට වැනි ස්ථානයයි. 2020 දී ඉම්පීරියල් විශ්වවිද්‍යාලයෙහි සිටි සිසුන් සංඛ්‍යාව 18,264කි. ඒ සිසුන් අතරින් සියයට 60.5ක් මහා බ්‍රිතාන්‍යයේ සහ යුරෝපා සංගමයේ රටවල සිසුහුය. ඉතිරි සියයට 39.5ම වෙනත් රටවලින් පැමිණි සිසුහුය. 2020 දී ඉම්පීරියල්හි සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 42.7ක් පශ්චාත් උපාධි හදාරණ සිසුහු වෙති. මහා බ්‍රිතාන්‍යයේ හා යුරෝපා රටවල ළමයින්ගෙන් එක හා සමාන මුදලක් අය කරන ඉම්පීරියල් විශ්වවිද්‍යාලය වෙනත් රටවල සිසුන්ගෙන් එමෙන් තුන් ගුණයක් අය කරයි.

ඒ අනුව, 2020 දී ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 1,367කි. 2019 දී ලංකාවේ ආණ්ඩුව මුළු රටේම අධ්‍යාපන ක්ෂේත්‍රයට වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1,695කි. ඒ දෙකෙහි පරතරය ඩොලර් මිලියන 328කි.

විදෙස් රටවල සිසුන්ට අධ්‍යාපනය ලබාදීමෙන් මහා බ්‍රිතාන්‍යයේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලය පමණක් එතරම් විශාල මුදලක් උපයන්නේ නම්, මහා බ්‍රිතාන්‍යයේ සියලුම විශ්වවිද්‍යාල කොපමණ මුදලක් උපයනු ඇති ද? එහෙත් ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් තම වියදමෙන් සියයට 25ක්වත් උපයා ගන්නේ ද?
එහෙයින්, අධ්‍යාපන ක්‍රමය සහ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති නූතන ලෝකයට ගැළපෙන ලෙස සංශෝධනය කර අධ්‍යාපනයෙන් ඩොලර් ඉපයීමට ලංකාව වහා යොමු විය යුතුය.

ලංකාවේ පාලන තන්ත්‍රයෙහි පවතින දුර්වලතා කෙරෙහි ද අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.
1948ට පෙර අවුරුදු 200ක් පමණ ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. එනම්, ලංකාව පාලනය කළේ මහා බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසුව එරටට යුරෝපා වෙළෙඳපොළෙහි ප්‍රශ්න ඇති විය. කොරෝනා වසංගතයෙන් ද ප්‍රශ්න ඇති විය.

මොන ප්‍රශ්න ඇති වුණත් මහා බ්‍රිතාන්‍යයේ පාලන තන්ත්‍රය හැරෙන්නේ රටේ ආර්ථිකය පෝෂණය කරන වාණිජ ප්‍රජාව දෙසටය. රජය සිටින්නේ ඔවුන් සමගය. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන්නේ වාණිජ ප්‍රජාවගේ අදහස් විමසීමෙනි.

රටේ පුරවැසි සැමට ආණ්ඩුව පෙන්වන්නේ මොන ප්‍රශ්න තිබුණත් ඕනෑම අර්බුදයක් තමන්ට ජයගත හැකි බවය. ආණ්ඩුවත්, වෙළෙඳ ප්‍රජාවත්, ජනතාවත් එක්ව රට ගොඩගත යුතු බව ආණ්ඩුව නිතර ප්‍රදර්ශනය කරයි. කවර පක්ෂයක් බලයට පැමිණියත් කවරකු අගමැති වුවත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එයයි.

ඇති වී තිබෙන්නේ රටේ ආදායම පිළිබඳ ප්‍රශ්නයක් නම්, ආණ්ඩුව කතා කරන්නේ රටට ආදායම් උපයා දෙන අය සමග මිස වෙනත් අය සමග නොවේ. ලංකාව හිතන්නේ විදේශ මිනිමය හිඟකම නිසා විදෙස් විනිමය රටින් පිටට යන ආනයන නැවැත්වීමටය. එසේ කරමින් අපනයන වැඩි කරන්නට සැරසෙයි.

ඇතැම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පිටරටවලින් අමුද්‍රව්‍ය ආනයනය කළ යුතු වෙයි. එහෙත්, ආනයන සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේ නම් ආනයනික අමුද්‍රව්‍ය හා උපාංග මත පදනම් වන අපනයන දිරිගන්වන්නේ කොහොම ද? එවැනි අවස්ථාවල බ්‍රිතාන්‍ය රජය කතා කරන්නේ අපනයනකරුවන් සමගය. ඔවුන්ගේ අදහස් විමසීමෙන් තොරව ඒ පිළිබඳව තීන්දු නොගනියි.

විශ්වවිද්‍යාලවල ආදායමෙහි ප්‍රශ්නයක් තිබේ නම්, ඒ ගැන සාකච්ඡා කරන්නේ විශ්වවිද්‍යාල සමගය. අනෙක බ්‍රිතාන්‍යයේ ආදායම් ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල විවිධාකාරයෙන් දායක වෙයි. සිසුන් සංඛ්‍යාව ඉහළ තබාගෙන උපයන ආදායම ඉහළ නැංවීම එක් ක්‍රමයකි. විශ්වවිද්‍යාලවලට වැඩි ආදායමක් ලැබෙන්නේ විදෙස් සිසුන්ගෙනි.

මහා බ්‍රිතාන්‍යයේ හා යුරෝපා සංගමයේ රටවල් සිසුවකුගෙන් අවුරුද්දකට පවුම් 900ක් අය කරන අතර, වෙනත් රටවල සිසුන්ගෙන් අවුරුද්දකට පවුම් 24,000ක් අය කරයි. වෙනදා විදෙස් සිසුන් සංඛ්‍යාව සියයට 30ක් පමණ වුවත්, මෙවර එය සියයට 39ක් පමණ දක්වා ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කළේය. අපේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ පමණක් රටවල් 131ක සිසුවෝ ඉගෙන ගනිති. විශ්වවිද්‍යාල පරිපාලනය රටට ආදායම් ඉපයීමට කැපවන්නේ එලෙසිනි.

ආර්ථිකයේ මර්මස්ථාන මොනවා ද කියා සොයා බලා ඒ තැන්වලට හා පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නේ රජයෙනි. රජය ක්‍රීඩා නොකරයි. රජය කරන්නේ ක්‍රීඩා කරන අයට පහසුකම් සැලසීමය. අධ්‍යාපනය ලැබීමට බ්‍රිතාන්‍යයට එන සිසුන්ට අදාළ වීසා කොන්දේසි පවා අපේ නිර්දේශ මත රජයෙන් වෙනස් කර දෙයි. කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නම් තණතිල්ල (Pitch) සකසා දිය යුත්තේ පන්දු යවන්නා කියන ලෙසටය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කරන්නේ ද එලෙසිනි. ඒ නිසා පන්දු යවන්නා විකට් ගනියි. අනෙක, යම් වැඩක් සාර්ථක වුවහොත් එහි ගෞරවය දෙන්නේ එය කළ පුද්ගලයාට මිස වෙන අයකුට නොවේ. එහෙත් ලංකාවේ එසේ නොවෙයි. සාර්ථක වුවහොත් එහි ගෞරවය ආණ්ඩුව ලබාගන්නා අතර, අසාර්ථක වුවහොත් එහි වගකීම ජනතාව මත පටවයි.

රටක ප්‍රශ්න තිබෙන අවස්ථාවක සිය හැකියාවට අනුව පුද්ගලයන්ට මුදල් හා බලය ලැබෙන ක්‍රමය (Meritocracy) ඉතා වැදගත්ය. ඉන් අදහස් කෙරෙන්නේ කුසලතා හා දක්ෂතා තිබෙන පුද්ගලයන්ට ප්‍රමුඛතාව පිරිනැමිය යුතු බවය. හේතුව, අර්බුදවලින් ගොඩ ඒමට අවශ්‍ය වන්නේ එවැනි මිනිසුන් මිස වන්දිභට්ටයන් හෝ වහලුන් ලෙස ක්‍රියා කරන පුද්ගලයන් නොවේ. කුසලතා සහ දක්ෂතා තිබෙන පුද්ගලයන්ට ලංකාවේ සැලකිලි අඩුය. අර්බුදවලින් ගොඩ ඒමට නොහැකිව රට අගාධයටම යන්නේ එහෙයිනි. දක්ෂතා හා කුසලතා පිරි මිනිසුන් දිරිගන්වන ක්‍රමවේදයක් (Moral Boost) රටේ පවතින්නේ නම්, අර්බුද විසඳීම මහා බරපතළ ප්‍රශ්න වන්නේ නැත.

ලංකාවේ අද පවතින තත්ත්වය මත රටට ආදායම් උපයා දෙන මිනිසුන් සිටිය යුත්තේ පාලන තන්ත්‍රයේ ඉහළ (Crown) තනතුරුවලය. හේතුව, ආදායම් උපයන ක්‍රමත්, ඒ සඳහා තිබෙන අවස්ථා සේම බාධකත් මැනවින් දන්නේ ඔවුන් නිසාය. යටත් විජිත යුගයේ රටවල් ආක්‍රමණය කළේ අමුද්‍රව්‍ය සොයා ගැනීම සඳහාය. එහෙත්, නූතන යුගයේ ඒ අවශ්‍යතා සපුරා ගන්නේ ගනුදෙනු මගිනි. දෙපාර්ශ්වයටම ජයග්‍රහණ අත්වෙන වෙළෙඳ ගිවිසුම් මගිනි. පාලන තන්ත්‍රයේ මුදුණේ (Crown) සිටින පුද්ගලයන් ඒවා නොදන්නේ නම්, රට වළටම වැටෙනවා මිස ගොඩට ඒමට නොහැකි වෙයි. අනෙක් කාරණය, රටේ දියුණුව සඳහා රටෙහි සිටින ව්‍යවසායකයන් සංඛ්‍යාව ඉහළ නැංවිය යුතුය. පහළ සිටින අයට දිරිගැන්වීම් දී ඔවුන් ඉහළට ගැනීම බ්‍රිතාන්‍ය ක්‍රමයයි. ඒ සඳහා නව ව්‍යාපාර බිහි කිරීමට විශ්වවිද්‍යාලවලට විවිධ දීමනා හා සහන ද ලැබෙයි.

බ්‍රිතාන්‍යයේ අලුත් නිෂ්පාදන හා සමාගම් බිහිවන්නේ විශ්වවිද්‍යාලවලින් කරන පර් යේෂණවල ප්‍රතිඵල ලෙසය. ඉන්ටෙල්, ගූගල්, ෆේස්බුක් වැනි සමාගම් සියල්ල විශ්වවිද්‍යාල පර් යේෂණවල ප්‍රතිඵලය. එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාලවලින් එවැනි සැලකිය යුතු මෙහෙවරක් නොවෙයි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් එවැනි පර්යේෂණ හා පුද්ගලයන් බිහි වුවත්, ඒවාට සහ ඔවුනට අත දී ඉදිරියට ගන්නා ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවෙයි.

ලංකාවේ විශ්වවිද්‍යාල රටේ කර්මාන්ත සමග ඍජුව බද්ධ කළ යුතු බව මගේ අත්දැකීමයි. උපකුලපතිවරුන්ට ඉලක්ක දිය යුතුය. ඒ ඉලක්ක සපුරන්න බැරි අය නෙරපා දැමිය යුතුය. එසේම ඉලක්ක සපුරන අය දිරිගැන්විය යුතුය. අගය කිරීමෙන්, දීමනා දීමෙන් දිරිගැන්විය හැකිය. ලංකාව දක්ෂයන් හා කුසලතා පිරි මිනිසුන් ඕනෑ තරම් සිටින රටකි. ප්‍රශ්නය, ඔවුනට නිසි තැන හිමි නොවීමය. ලංකාවේ ආණ්ඩුව කරන බරපතළම වරද ව්‍යාපාර කිරීමය. වෙළෙඳ ව්‍යාපාර කිරීම භාර දිය යුත්තේ පෞද්ගලික අංශයටය. මහා බ්‍රිතාන්‍ය ආණ්ඩු මීට අවුරුදු 200කට පෙරත් ව්‍යාපාර කළේ නැත.

අවුරුදු 200කට ඉහතදී ලංකාව ඇතුළු රටවල් යටත් කරගත්තේ පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම් විසිනි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කළේ, ඒ සමාගමෙන් යටත් කරගන්නා රටවල පාලනය භාර ගෙන ඒ සමාගම්වලට සහ ඒ රටවල ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමය.

ආණ්ඩුව ක්‍රියාත්මක විය යුත්තේ පහසුකම් සලසන්නකු (Facilitator) ලෙසමය. මහා බ්‍රිතාන්‍යය ලංකාව පාලනය කළේ එලෙසිනි.

1942/43 මුදල් වර්ෂයේ ලංකාවේ අය රුපියල් විසි කෝටි හය ලක්ෂ හත්සිය හතළිස් හතකි (20,00,06,747). වැය රුපියල් දහඅට කෝටි පනස් ලක්ෂ හය දහස් පන්සිය හයකි (18,50,06,506). ඒ අනුව, සුද්දන්ගේ පාලන කාලයේ ලංකාවේ තිබුණේ අය වැය අතිරික්තයකි. එහෙත්, දැන් ණය ගෙවීමටත් විදෙස් රටවලින් ණය ගනී. ආණ්ඩුව මගින්ම ව්‍යාපාර කිරීම එයට එක් හේතුවක් බව මගේ තක්සේරුවයි.”

මහ බ්‍රිතාන්‍ය යේ ඉම්පිරියල් විශ්ව විද්‍යාලයේ රොබෝ තාක්ෂණය පිළිබඳ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර

=======================

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්