18-Page-6-M--(12)  

 

අබලන් වී  ගිය පරණ බෙලෙක් තහඩු  කැබැල්ලක  ඉහත වදන සටහන් කර පාරේ ගමන් කරන්නන්ට පෙනෙන සේ විනාශ වී ගිය ගේ දොර කඩසාප්පු ඉදිරියේ එල්ලා තිබුණේ කොළඹ සිට යාපනය දක්වා දුර ප්‍රදේශයක ජීවත් වන මිනිසුන් පිරිසක් නම් නොවේ. මේ අපූරු සටහන සහිත පුවරුව මටත් මාගේ ඡායාරූප ශිල්පී මිතුරාටත් දැකගන්නට ලැබුණේ කොළඹ සිට කිලෝමීටර් තිහ හතළිහක දුරක පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයකදීය. හරියටම කොස්ගම සාලාව යුද හමුදා කඳවුර ඉදිරිපිට දී ය. උතුරු නැගෙනහිර දෙපළාත්වල දරුණුවට ඇවිළ ගිය යුද්ධය පිළිබඳ සජීවී අත්දැකීම් මේ ප්‍රදේශයේ මිනිසුන්ට අත්විඳීමට අවකාශ නොතිබූ නමුත් යුද හමුදා කඳවුරේ තිබූ පුංචි පතරොමේ සිට කාලතුවක්කු උණ්ඩ හා මල්ටි බැරල් වැනි බර අවි පිපිරී ඒවා තමන් දුක් මහන්සියෙන් ගොඩනැගූ ගේ දොර හා කඩ සාප්පු  විනාශ කර දමන විට ඔවුන්ට මතක් වන්නට ඇත්තේ යාපනයයි. 


ඒ නිසා ඔවුහු තම ගම් ප්‍රදේශය පුංචි යාපනයක් සේ දුටුවේය. ඒත් යුද හමුදා කඳවුරක අසුරා තිබූ අවි ගබඩාවක් පිපිරී යෑම නිසා ඒ අවට පිහිටි ප්‍රදේශයේ මිනිසුන්ගේ දේපල විනාශවී ජන ජීවිතය කඩාවැටුණේ නම් රැයක් දවාලක් නොමැතිව දිනපතා එල්ටීටීඊයත්, රජයේ ආරක්ෂක හමුදාවනුත් අතර පැවැති දරුණු සටන්වලට මැදිවූ උතුර නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වූ ජනයාගේ ජීවිත ඉරණම කෙලෙස විසඳෙන්නට ඇත්දැයි කිනම් ආකාරයේ අවිනිශ්චිතභාවයක් ඒ ජීවිතවල තිබෙන්නට ඇත්දැයි අපට සිතාගත හැකිය. 

18-Page-6-M--(3)


එය වෙනම කාරණාවකි. 


මීට සති දෙකකට ඉහතදී කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඇති වූ පිපිරීමත් ඒ හේතුවෙන් අවට ප්‍රදේශ රැසක ගේදොර හා කඩසාප්පු විනාශ වී ගිය ආකාරයත් පිළිබඳව මේ වනවිට නොදන්නා කෙනෙකු සොයා ගැනීම ද දුෂ්කර කටයුත්තකි. සාලාවේ ඛේදවාචකය ඒ තරමටම රටට දැනිණි. ජීවිත හානි එමටම සිදු නොවුවත් මේ සිද්ධිය රටේ ආරක්ෂක අංශ සහ සාමාන්‍ය  මහජනයා අතර වන සබඳතාව ගැන අලුත් විදියකට සිතන්නට  මග පාදා ඇති බව නම් පෙනේ. විශේෂයෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවල අවි ගබඩා පවත්වා ගෙන යෑම පිළිබඳව දැඩි විරෝධයක්  මතුව ඇති බව සාලාව පිළිබඳ කෙරෙන කතාබහෙන් හඳුනාගත  හැකිය. 


සාලාවේ ඛේදවාචකයෙන් පසු විනාශ වී ගිය ගේ දොර ගොඩනැගිලි සහ කඩා වැටුණු ජන ජීවිතය යළි ගොඩනැගෙන අයුරු නිරීක්ෂණය කර එය වාර්තා කිරීම අපේ මේ කොස්ගම සංචාරයේ අරමුණ විය. 


ඉකුත් 05 වැනි දින සන්ධ්‍යාවේ සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඇති වූ මේ පිපිරීමෙන් සාලාව, සුදුවැල්ල, ඉහළ කොස්ගම, පහළ කොස්ගම, නාමල්ගොඩ ආදී ග්‍රාම සේවා වසම් ගණනාවක ගේ දොර ගොඩනැගිලි විනාශ වූ අතර වැඩිම හානියක් සිදුවී තිබුණේ සාලාව ග්‍රාමසේවා වසමට අයත් ප්‍රදේශයටය. අප එහි යන විටත් විනාශ වී ගිය ගේදොර හිමි ජනතාව සිය නිවෙස් පිහිටි භූමියේ ඉදිකර තිබූ කුඩාරම්වල ලැගුම්ගෙන සිටි ආකාරයත් දැක ගන්නට ලැබුණු අතර යුද හමුදාවේ  සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවකගේ සහභාගීත්වයෙන් යුතුව එදා පිපිරීමේ කම්පනයෙන් විනාශ වී ගිය ගේ දොර ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කිරීමට අදාළ කටයුතු සිදුවන ආකාරයක්ද පෙනෙන්නට තිබිණි. ඒ හැර පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආහාරපාන යුද හමුදාව මගිනුත් ඇඳුම් පැළඳුම් ආදිය සාලාව ග්‍රාම නිලධාරී කාර්යාලය මගිනුත් බෙදාදෙනු දැකගත හැකිවිය. 

 

18-Page-6-M--(8)

 


අවි ගබඩාව පිපිරීමෙන් පූර්ණ හානි සිදුවූ නිවෙස්වල හිමිකරුවන්ට කුලී නිවාසවල ජීවත්වීම සඳහා මාස තුනක උපරිම කාලයකට යටත්ව රජය මගින් ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් පනස් දහසේ (50,000) දීමනාවද අප ගිය දිනට පෙර දින (14) සිට ලබාදීම ආරම්භ කර ඇති බවද දැන ගන්නට ලැබිණි. කෙසේ වෙතත් පිපිරීමෙන් දැඩි ලෙස විනාශයට පත් ගේදොර හා කඩසාප්පු හිමි ජනතාවගේ අපේක්ෂාව වී තිබෙන්නේ හැකි ඉක්මනින් සුපුරුදු ජීවිතයට යෑමය. ඇස්මානයේ තිබෙන යුද හමුදා කඳවුරේ තිබු උණ්ඩ ඇතුළු ආයුධ තමන්ගේ ජීවිතවලට මේ තරම් විපතක් කරනු ඇතැයි ඔවුන් සිතුවේ නැත. 
‘වුණ දේ වුණා. ඒ හින්දා දැන් අපි අඬ අඬා ඉඳලා වැඩක් නෑ. මට ඕනෑ ඉස්සෙල්ලා වගේම සතුටෙන් ජීවත් වෙන්න. ඒ නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච අපේ මේ ගේ හදා ගන්නයි මට අවශ්‍ය. අපේ තාත්තට ඉන්න එකම ළමයා  මම නිසා මාව මේ ගෙදර තියා ගන්න තාත්තා අපේ ගෙදර ලස්සනට හැදුවා. තිබුණ විදියටම ගේ හදලා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ’

චන්දන සූරියඅරච්චි 


සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව 


‘කඳවුර ගිනි ගත්තෙ කලින් සතියෙ ඉරිදා වුණාට ජනතාවට නැවත සිය වාසස්ථානවලට එන්න පුළුවන් වුණේ ඊට දවස් දෙකකට පස්සෙ. ඒ ඇවිල්ලත් අපි ඉස්සෙල්ලම කළේ විනාශ වෙලා තිබුණ ගේ දොර කඩසාප්පු පිළිබඳ පොලිසියට පැමිණිලි කරන එක. බදාදා දිනේදී ජනතාව මේ ස්ථානයට එකතුවෙලා රජයේ ක්‍රියාකාරිත්වය ගැන විරෝධයක් දැක්වූවා. ඊට පස්සේ  තමයි අපි මේ සංවිධානය පිහිටුවාගෙන රජයට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ. මේ පිපිරීමට වගකිව යුත්තේ රජය. ඒ නිසා රජය සහන සැලසිය යුතුයි.  මේ විපතට පත් ජනතාව හැටියට අපි රජයෙන් ඉල්ලන්නේ මේ ජනතාවට තමන්ගේ ගේ දොර වගේම ව්‍යාපාර පෙර තිබුණු විදියට ආපහු සකස් කර ගැනීම සඳහා  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලයි. ඒ වෙනුවෙන් අපි එකතුවෙලා ඉන්නවා. 


සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් දහතුනක ජනතාව මේ පිපිරීම හේතුවෙන් පීඩාවට පත්වෙලා ඉන්නවා. සාලාව කොස්ගම නැගෙනහිර කොස්ගම බටහිර රණවිරුගම වගේ ග්‍රාමසේවා වසම්වල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වෙලා ඉන්නවා.

විශේෂයෙන්ම කඳවුර ආසන්න ගම්මානවලට විශාල හානි සිදුවෙලා තියෙනවා. තවමත් පොලිසියට පැමිණිලි  ලැබෙමින්  තියෙන නිසා තවම හරිහැටි සංගණනයක් සිද්ධ වෙලා නෑ. 


මෙහිදී විනාශ වෙච්ච ගෙවල් ආපහු ප්‍රතිසංස්කරණය කිරීමේදී යුද හමුදාවේ  මැදිහත්වීම  ගැන අපි අගය කරනවා. නමුත් මෙතනදී  කියන්න ඕනෑ වැදගත්ම දේ තමයි කැඩිච්ච ගෙවල්වලට ඇස්බැස්ටස්  දාලා විතරක් හරියන්නේ නෑ. මොකද ගොඩක් ගෙවල්වල ෆවුන්ඬේෂන් බිත්ති පුපුරලා තියෙන්නේ. ඒ නිසා අපි රජයට කියන්නේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ සහාය ඇතිව මේ ඉදිකිරීම් සිදු කරන්න කියලයි’ 


කෞෂල්‍යා මහත්මිය මෙසේ අපත් සමග කතා කරන අතරතුරේ සිය පියා තමා වෙනුවෙන් හැඩ වැඩ කළ නිවෙසට ඇස්මානයේ තිබෙන කඳවුරේ ගිනි අවි විසින් කරනු ලැබ තිබෙන විනාශයේ තරමද පෙන්වුවාය. බිත්ති පසාරු කරමින් පොළොව අභ්‍යන්තරයට පතිතවී තිබූ බර අවි හමුදාව විසින් ඒ වනවිටත් ඉවත් කරනු ලැබ තිබූ නමුත් එම සලකුණු එලෙසම එහි තිබිණි. විනාශ වී ගිය ඇයගේ නිවෙස පරීක්ෂා කළ අපි තව ටිකක් දුරට ඉදිරියට ගියෙමු. පියසි තිබූ සලකුණක් හෝ නොමැති බිත්ති කැබැලි වී ගිය ගෙවල් යැයි හදුනාගත නොහැකි සුන්බුන් රැසක් අපේ නෙත ගැටිණි. නීල වර්ණයෙන් යුතු කූඩාරම් ඒ සෑම තැනකම ඉදිකර තිබූ අතර ඒවායෙහි ලැගුම් ගෙන සිටියේ එම නිවාසවල හිමිකරුවන්ය. ඔය අල්ලපනල්ලේ අපි දමයන්ති පෙරේරා මහත්මියගේ කූඩාරමට ගොඩවුණෙමු. ඇයටද කියන්නට කතාවක් තිබිණි. 


‘එදා ඔය පිපිරීම වෙන වෙලාවේ මම කඬේට ගිහින් හිටියේ. කඳවුර පැත්තෙන් ලොකු දුමක් දානවා ඉස්සෙල්ලම දැක්කා. පස්සේ මමයි මගේ මහත්තයයි ගෙදරින් එළියට බැහැලා ගමේ අනිත් අයටත් මේ ගැන කිව්වා. ඒත් සමහරු කෑම්ප් එකේ මොනවා හරි පිච්චෙනවා ඇති කියලා ඒක වැඩිය ගණන් ගත්තෙ  නෑ. විනාඩි දෙකක් විතර යනකන් රතිඤ්ඤා පුපුරනවා වගේ සද්දෙ ඇහුණෙ. ඊට පස්සෙ මහ හයියෙන් පුපුරනවා ඇහුණා. අපි පුළුවන් තරම් ඈතට දුවලා විනාඩි විස්සක් විතර ගියාට පස්සෙ දැක්කා කඳවුර   පැත්තෙ ඉඳලා රතුපාටට ලොකු ගිනි බෝල අපේ ගෙවල් පැත්තට විසි වෙනවා. ගේ දාලා දුවනකොට ගෙදර ඔප්පුවයි අපේ උප්පැන්න සහතිකයි අරන් ගිය නිසා ඒවා බේරුණා. ඒත්  අනිත් හැම දෙයක්ම විනාශ වෙලා’ ගිනිගත් නිවෙස දෙස විටින් විට බලමින් දුක්මුසු ස්වරයෙන් කීවාය. මේ වින්නැහිය අතරේ ඇයට එදා තවත් ප්‍රශ්නයකට මුහුණපාන්නට සිදුවී තිබිණි. එනම් සිය හෘදරෝගී සැමියාගේ බේත් තිබූ තැනින් සොයා ගැනීමය. 


‘මගේ මහත්තයා බයි පාස් කරපු හාට් පේෂන්ට් කෙනෙක්. එදා රෑ අපි දුවන කොට එයාගේ බේත් එක ගන්න බැරිවුණා. පහුවදා උදේ මම මේ පැත්තට ආපසු ඇවිල්ලා මේ වගක් හමුදාවේ මහත්තයකුට කිව්වම බෝම්බ නිෂ්ක්‍රීය අංශේ දෙන්නෙක් එක්ක මගේ ගෙදරට එන්න ඉඩ දුන්නා. මහත්තයාගේ බේත් ටික දාලා තිබුණෙ ප්ලාස්ටික් පෙට්ටි දෙකක. වෙලාවට ඒවාට මොකුත් වෙලා තිබුණෙ නෑ. පස්සෙ මම ඒවත් අරන් ඉක්මනට ගියා’ 
ඇයට සිය නිවසේ ඔප්පුව හා නිවැසියන්ගේ උප්පැන්න සහතික රැගෙන යෑමට තරම් නිනව්වක්  තිබුණත්  බොහෝ දෙනෙකුට මේ ජරමරය අස්සේ ඕනෑ වුණේ සිය පණ නල පමණක් රැකගෙන කොහාට හරි දුවන්නටය. ඒ නිසාම පස්වැනිදා රැයෙහි සාලාවේ වැසියන් විශාල පිරිසකගේ එකම වත්කම වී තිබුණේ ඇඳිවත පමණි. නන්දා පද්මිණී මහත්මියද ඒ අතර කෙනෙකි. 


‘ඔය සිද්ධිය වෙන වෙලාවෙ මම නාන ගමන් හිටියෙ. කෑම්ප් එක පැත්තෙන් විශාල දුමක් දාන්න පටන් ගත්තම අපි ඈතට දිව්වා. මොකද ගිය ආණ්ඩුව කාලේ අපිව දැනුවත් කරලා තිබුණා මේ වගේ ලොකු දුමක් ගින්නක් දැක්කොත් අයින් වෙන්න කියලා. ඊට පස්සේ හයියෙන් පුපුරන්න පටන් ගත්තා. ගේ දාලා දුවනකොට ගෙදර ඔප්පු මේ මොනවත්  අපි අරන් ගියේ නෑ. ඇඳිවත විතරයි. අපේ ගෙදර ඉස්කෝලෙ යන වයසේ දරුවෙක් ඉන්නවා. එයාගෙ පොත්පත් මේ හැම දෙයක්ම පිච්චිලා. අපි රංවල පාර ළඟට යනතෙක්ම දිව්වා. මම එදා දිව්වේ ඇඳන් හිටපු දිය රෙද්ද පිටින්. පස්සෙ දුව අරන් ගිහින් තිබුණු ගවුමක් ඇදගෙන තමයි එදා රෑ හිටියේ.  දවස් තුන හතරකට පස්සෙ අපේ ගෙදරට එනකොට ගන්න දෙයක් නෑ. ආයුධ ගොඩක් වැටිලා තිබුණා. මේ සිද්ධිය නිසා මගේ ලොකු දුවගෙ ළමයා බය වෙලා. නිකන් කම්පනය  වෙලා වගේ. එයා ඉස්කෝලෙ යන්නත් බයයි. ඉස්කෝලෙනුත් ළමයට එන්න කිව්වා පොත්පත් හැමදේම දෙනවා කියලා. අපිත් මේ කූඩාරමට වෙලා ඉන්නේ ළමය කොහොම හරි ඉස්කෝලෙ යවා ගන්න ඕනෑ නිසයි. අපිට කෑම බීම හැම දෙයක්ම හම්බ වෙනවා. පනස්දාහේ චෙක් එකත් අද හම්බ වුණා. අපිට සල්ලි ඕන නෑ. මේ ගෙවල් හදලා දුන්නොත් ඒ  හොඳටම ඇති. 

 

18-Page-6-M--(13)

 


එදා කඳවුරේ ඇතිවූ පිපිරීමත් සමග සිය නිවෙස්වලින් එළියට පැන මහා මාර්ගය දෙසට පැමිණි ජනතාවට පණ බේරා ගෙන දුවනවා හැරෙන්නට  කරන්නට අන් කිසිවක් තිබුණේ නැත. දේපළවලට තණ්හාවේ නිවෙස්වල රැඳී සිටීම හෝ කඳවුරේ සිදුවන පිපිරීම දැක බලා ගැනීමේ ආශාවෙන් දෙපාවලට ජවය නොදී සිටීම සමාන කළ හැකිව තිබුණේ මාරයා එනතුරු බලා සිටීම වැනි ක්‍රියාවකටය. වාසනාවකට සාලාව ගමේ කවුරුත් එවැනි අනුවණකම් කරන්නට නොගියහ. එනිසාම කඳවුරේ තිබූ මහා බර අවි පවා සෑහෙන දුරකට ඇදී ගොස් ගෙවල්වල පියසි, බිත්ති දෙබෑ කරමින් පොළොවට කිඳා බැස තිබූ නමුත් කිසිවෙකුට හෝ අනතුරක් සිදුවී නොතිබුණි. අවිස්සාවේල්ල  ජනාධිපති විදුහලේ විදුහල්පති ප්‍රියන්ත සමරසිංහ මහතාගේ නිවෙස පිහිටා තිබෙන්නේ ද කඳවුර ඉදිරිපිට හයිලෙවල් මාර්ගය ආසන්නයේමය. අප ඒ පැත්තට යන විටත් විදුහල්පතිවරයා සිටියේ ගින්නෙන් විනාශ වී ගිය සිය නිවෙස ඉදිරිපිටය. 
‘ඉස්සෙල්ලම කඳවුර පැත්තෙන් සද්දයක් ඇහුණා. පොඩි ගින්නකුත් දැක්කා. මම හිතුවේ ඒක හමුදාව නිවා ගනියි කියලා. ඒත් ගින්න එන්න එන්නම වැඩි වෙනකොට ළමයින් අරගෙන ගෙදර පිටිපස්ස පැත්තෙන් අපි ඈතට  දිව්වා. අපි දුවන අතරෙත් කෑලි විසිවුණා. ඒවායෙන් බේරී බේරී තමයි දිව්වේ. මේ සිද්ධියෙන් මගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශයි. ළමයි ඉස්කෝලෙ යවන්න ඕනෑ නිසා මම තාවකාලිකව ගෙයක් ගත්තා. ආණ්ඩුවෙන් දෙන පනස්දාහ අද හම්බ වුණා. මේ පිපිරීමෙන් වුණු හානිය වගේම මිනිසුන්ගේ ප්‍රශ්නත් ටිකක් සංකීර්ණ නිසා රජයෙ මැදිහත්වීමේදී  යම් යම් අඩුපාඩුකම්  තියෙනවා. අපිත් ඒවා අවබෝධ කරගෙන කටයුතු කිරීම වැදගත්. 


අනපේක්ෂිතව ඇතිවූ මේ පිපිරීමෙන් සාලාව ප්‍රදේශයේ ජනතාවගේ දේපළ විශාල වශයෙන් විනාශ වී තිබේ. ගින්නෙන් විනාශ වූ ඇතැම් වාහන ඒ ආකාරයටම තිබෙන  අයුරු අපේ නෙත ගැටිණි. ශ්‍රියාකාන්ති මහත්මිය කොස්ගම සිට නුගේගොඩ දක්වා පාසල් ළමයින් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන ගියේ ඇගේ වෑන් රථය යොදා ගනිමිනි. සාලාවේ අවි ගබඩාවේ ඇතිවූ පිපිරීමෙන් ඇයගේ එම වෑන් රියට මෙන්ම නිවසේ තිබූ මෝටර් රථයටද බරපතළ හානි සිදුවී තිබේ.

18-Page-6-M--(10)


‘එදා හවස මම වෑන් එක හෝදමින් හිටියෙ. මට ඉස්සෙල්ලම කෑම්පස් එක පැත්තෙන් ගොරෝනවා වගේ සද්දයක් ඇහුණෙ. පස්සෙ මම බබාට ටීවී  එක ඔෆ් කරන්න කියලත් කිව්වා. ඊට පස්සේ කෑම්ප් එක පිපිරෙන්න ගත්තට පස්සෙ මම ළමයත් අරගෙන  වාහන දෙකත් දාලා දිව්වා. එදා රෑ අපි මගේ යාළුවකුගේ ගෙදර හිටියෙ. මගේ අම්මයි තාත්තයි පූගොඩ පැත්තට කිලෝමීටර් දාහතක දුර දුවල  තියෙනවා. කොහොම හරි අපි ආපසු මෙතැනට ආවේ දවස් තුනකට පස්සෙ. ඒ එනකෙට ගෙදර බඩු මුට්ටුයි වාහන දෙකයි මේ ඔක්කොම පිච්චිලා. ළමයි දෙන්නගෙ සහතික මේ මොකුත් තිබුණෙ නෑ. පනස්දාහ මටත් අද හම්බ වුණා. විනාශ වෙච්ච අපේ මේ ගෙවල් රජයෙන් හදලා දෙනවා කිව්ව නිසා අපි ඒවා ඉක්මනට හදලා දෙයි කියන විශ්වාසයෙන් ඉන්නෙ. දැනට මේ කූඩාරමේ හිටියට ළමිස්සියෙකුයි පොඩි බබෙකුයි එක්ක ඒකෙ ඉන්න අමාරුයි’ 


විදුරංග තරුණ මහතා වෘත්තියෙන් කරණවෑමියෙකි. ඔහුගේ බාබර් සාප්පුව පිහිටා තිබුණේ ද කඳවුර ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ කඩසාප්පු පේළියේය. විදුරංග, මේ  තියෙන්නේ මගේ සැලුන් එක තිබුණ තැන කියමින් සිය අත දිගුකර අපට පෙන්වුවද එතන සැලුන් එකක් තියෙන්න ඇති කියා සිතා ගන්නවා හැරෙන්නට දෑස්වලින් දකින්නට එහි බාබර් සාප්පුවක් ඉතිරි වී තිබුණේ නැත. 


‘මේ සිද්ධිය  වෙද්දී මම කෙනෙක්ගේ කොණ්ඬේ බාගෙට කප කපා හිටියෙ. කෑම්ප් එක පිපිරෙන්න පටන් ගත්තට පස්සෙ මම කොණ්ඩෙ කපන  එක නතර කරලා දාලා අවිස්සාවේල්ල පැත්තට දිව්වා. ආපහු රස්සාව කරන්න පුළුවන් විදියට මේවා ඉක්මනින් හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නෙ’ 
කඳවුර අවට තවත් ව්‍යාපාරික ස්ථාන රැසක් විනාශ වී තිබුණි. මේ දිනවල  නිරතුරුව තක්සේරු කටයුතු සිදුවෙමින් තිබෙන නිසා කඩ හිමියෝ සිය ව්‍යාපාරික ස්ථානවලට වී සිටිති. ශ්‍රියානි රේණුකා මහත්මිය රූපලාවණ්‍යාගාරයක් කරගෙන ගියාය. එහෙත් එය සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වී තිබේ. ඇය ද උදේ හවා මෙහි රැඳී සිටින්නේ සිදුවූ හානියට ලැබෙන සහන  පිළිබඳ හරි තොරතුරක්  දැන ගැනීමටය.


‘එදා මමයි මගේ සැලෝන් එකේ වැඩ කරන මල්ලියි එළියට ඇවිත් බලන් හිටියා කෑම්ප් එකෙන් ලොකු දුමක් නගිනවා.  එතකොට වෙලාව පහයි හතළිස් නවයයි. අපි එහෙම බලන් ඉන්නකොට දැක්කා පාර ඉස්සරහ තිබුණු කඬේකට උණ්ඩයක් වැටිලා ඒක පුපුරනවා. පස්සෙ තමයි කඬේ වහලා මමත් බයික් එකට නැගලා  පූගොඩ පැත්තට ගියේ. කිරිඳිවැල පොළට ගිහින් මම එතන දවස් දෙකක් හිටියා. ඊට පස්සේ ෂොප් එකට ඇවිත් බලනකොට ඒකෙ ගන්න දෙයක් නෑ. මම බයික් එක ගත්තෙ ගෙවන්න. තවම එක වාරිකයයි ගෙව්වේ. කඬේ විනාශ වෙලා තියෙන නිසා දැන් ඒ වාරික සල්ලි ගෙවා ගන්න විදියකුත් නෑ. මේ දවස් දෙකේම මම උදේ ඉඳන් රෑ වෙනකන් මෙතන ඉන්නෙ මොනවා හරි විස්තරයක්  දැනගන්න පුළුවන් වෙයි කියලා හිතලා. මගේ ගෙදර තියෙන්නේ කොස්ගම. ඒකටත් ටිකක් හානි වෙලා තියෙනවා. මගේ සැලෝන් එකට මේ ළඟදී  රුපියල් හැටනව දාහක් ගෙවලා ගත්ත කොම්පියුටර් එක උණුවෙලා ගිහින්. තව බඩු ගොඩක් විනාශයි.  ඉක්මනටම සහන ලැබෙනවා නම් අපිට ආපසු පරණ විදියටම ජීවත් වෙන්න පුළුවන්’ 
හැරී ජෝශප් පෙරේරා මහතාට අයත් ටේලර් සාප්පුවද මේ පිපිරුමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොසිනි. අප එම ස්ථානයට යන විටත් ඔහු තැනින් තැන විසිරී තිබූ ඇඳුම් එකතු කරමින් සිටියේය. 


‘මේ ටේලර් ෂොප් එක මම කළේ. මේකට අල්ලපු මේ කඩ කාමරය  මම කෙනෙකුට බද්දට දීලා තිබුණෙ. කෑම්ප් එකේ ගින්නෙන් මගෙ කඩ කාමර දෙකම විනාශයි. එදා රෑ දහය එකොළහ වෙනකන්ම අපි අවිස්සාවේල්ල  පැත්තට  දිව්වා. කෑම්ප් එකෙන් ගිනි විසි වෙනවා ඒ පැත්තටත් පෙනුණා. සම්පූර්ණයෙන් ගෙවල් විනාශ වුණු අයට විතරයි පනස්දාහ දුන්නේ. අපේ කඩසාප්පුවලට වුණු විනාශය ගැන තොරතුරු ගත්තට තවම මොකුත් සහන ලැබුණෙ නෑ. මගේ ගෙදරත්  පිටිපස්ස  පැත්ත විනාශ  වුණා. ඒත් ඒක මේ වෙනකොට හමුදාව හදනවා. 


සාලාව ඇතුළු අවට ප්‍රදේශ කීපයක සිදුවී ඇති දේපළ හානිය සුළුපටු එකක් නොවන බව ඒ ප්‍රදේශයේ සංචාරය කරන කවරෙකුට වුව වැටහේ. අර්ධ හානි සිදුව තිබෙන නිවාස පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ත්‍රිවිධ හමුදා ශ්‍රමයෙන් දියත් කර ඇති අතර, ප්‍රදේශයේ  ළිං පිරිසිදු කිරීමේ කර්තව්‍යය නාවික හමුදාව  විසින් ආරම්භ කරනු ලැබ තිබේ. සම්පූර්ණයෙන්ම විනාශවී ගිය නිවෙස් ඉදිරිපිට අබලි ද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩගසා තිබෙන  ආකාරයක් දැකගත හැකි වූ අතර ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇත. අපත් සමග අදහස් දැක්වූ බොහෝ දෙනකු ආරක්ෂක අංශවල සක්‍රීය මැදිහත්වීම පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කළ අතර ඔවුන් සියලු දෙනාම පාහේ එක හඬින් කියා සිටි කාරණයක් වූයේ යුද හමුදා කඳවුර මෙම ස්ථානයේ පවත්වාගෙන යෑම ගැටලුවක් නොවුණත් අවි ආයුධ ගබඩාව නියම ලෙසටම ඉවත් කළ යුතු බවය. 


 මෙම පිපිරීමෙන් හානි  සිදුවූ සාලාව රණවිරු ගම්මානයට ද අප ගමන් කළ අතර එහිදී දැකගත හැකි වූයේ හමුදා සාමාජිකයන් විසින් විනාශ වූ නිවාස පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවය. හානිවූ නිවාස බොහොමයක් යථා තත්ත්වයට පත් කර ඇති ආකාරයක්ද නිරීක්ෂණය විය. රණවිරු  ගම්මානයෙහි ජීවත්වන මෙන්ඩිස් මහත්මිය අප සමග පවසා සිටියේ මෙවැනි කතාවකි. 


‘ඔය සිද්ධිය වුණ වෙලාවේ අපි රැස්වීමකට ගිහින් හිටියෙ. පුපුරණ සද්දෙ එනකොට අපි  හිතුවෙ වහලයක් ගිනි ගන්නවා ඇති කියලා. ඒත් ටික වේලාවක්  යනකොට සාලාව පැත්තෙ තිබුණු වාහන ඔක්කොම මේ පැත්තට  ආවා කෑම්ප් එකේ බෝම්බ පුපුරනවා කියාගෙන. ඊට පස්සෙ අපේ ගමේ ඔක්කොමලා මීපෙ හන්දියට යනකන් දිව්වා. අපේ ගමේ ගෙවල් එකසිය හතක් තියෙනවා. ඒ හැම එකටම වගේ හානි වෙලා.  හමුදාවෙන් අපේ ගෙවල් හදලා දෙනවා කිව්වා. ඒ වගේම ගෙවල්වල පිච්චිච්ච බඩු ගැන විස්තරයකුත් අරන් ගියා. ගමේ ඔක්කොමලා වගේ පදිංචියට ඇවිත්  තියෙන්නේ. 


සාලාව කඳවුරේ සිදුවූ පිපිරුමෙන් කොස්ගම රෝහලට ද බරපතළ හානි සිදුවී තිබූ අතර අපි එහි යනවිට දැක ගන්නට ලැබුණේ  රෝහල සම්පූර්ණයෙන්ම නවීකරණය කර බාහිර ප්‍රතිකාර රෝග අංශයේ ප්‍රතිකාර ලබාදීමේ කටයුතු ද සුපුරුදු පරිදි සිදුවන ආකාරයකි. පිළිසකර කරන ලද රෝහල් ගොඩනැගිල්ල අද දින සන්ධ්‍යාවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබූ නිසා රෝහල් පරිශ්‍රයෙහි කිසියම්  උත්සව සිරියක් ද දැක ගන්නට ලැබිණි. මීට ඉහතදී සාලාව අවට ප්‍රදේශ කීපයක තාවකාලිකව  වසා දමා තිබූ පාසල් රැසක්ම මේ වනවිට ආරම්භ කර ඇති අතර දරු දැරියන් සාමාන්‍ය පරිදි පාසල් යන ආකාරයක්ද දැක ගන්නට ලැබිණි. 

 

5 6

 


යුද හමුදා කඳවුරේ පතුරොම් ගබඩාවේ ඇති වූ පිපිරීමෙන් වැඩිම හානිය සාලාව ග්‍රාමසේවා  වසමට අයත් ප්‍රදේශයට  සිදුව ඇති අතර මේ වනවිටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කීපයක් එකතුව හානියට පත් ජනතාවගේ  නිවාස හා ව්‍යාපාරික ස්ථාන පිළිබඳ නිවැරදි තොරතුරු එකතු කිරීම සිදු කරමින් සිටින ආකාරයක්ද පෙනෙන්නට තිබිණි. විශේෂයෙන්ම හානිවූ නිවාසවල බඩුබාහිරාදිය පිළිබඳ තොරතුරු ද මේ වනවිට නිලධාරීන් විසින් එක් රැස් කරගනු ලැබූ බව ගම්මු අප  සමග පැවසුහ. 


සාලාව ග්‍රාම සේවා වසම ඇතුළත පූර්ණ ලෙස හානි සිදුවූ නිවාස ගණන 143කි. 173ක් අර්ධ හානි සිදුවූ  නිවාසය.  සුළු හානි  සිදුව ඇති නිවාස ගණන 194කි. විනාශ වී ඇති ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 78කි. පෙර පාසල් සහ ගෙවතු එක බැගින් විනාශ වී තිබේ. සාලාව ග්‍රාමසේවා වසම ඇතුළත ස්ථාපිත කර තිබෙන ආපදා සම්බන්ධීකරණ  මධ්‍යස්ථානය මගින් අපට මෙම තොරතුරු දැන ගැනීමට හැකිවූ අතර ජූනි 14 වැනිදා වනවිට ගම්වාසීන් අනූ දෙදෙනකුට (92) රුපියල් පනස්දහසේ  නිවාස කුලී දීමනාව ලබාදීමට  පියවර ගෙන තිබූ බව එහි සිටි නිලධාරියෙක් පැවසීය. තවද  පිපිරුමෙන් විනාශයට පත්වූ හෝ අස්ථානගත වූ ඉඩම් ඔප්පු, ජාතික හැඳුනුම්පත් ආදී වැදගත් ලේඛන නැවත සකස් කර එම ජනතාවට ලබාදීම සඳහා ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇතැයි ඔහු වැඩිදුරටත් අප සමග පවසා සිටියේය. 


කඳවුරේ ඇතිවූ මෙම පිපිරීමෙන් වැඩිම හානිය සිදුවූයේ සාලාව යුද හමුදා කඳවුරටය. මදක් ඉහළ සිට බැලූ විට දැක ගන්නට ලැබුණේ එක යායට විනාශ වී ගිය  ගොඩනැගිලි ගණනාවකි. කඳවුරු භූමියට ඇතුළුවීම තහනම් කර තිබුණෙන් අපට ඒ සම්බන්ධව නිවැරදි  තොරතුරු ලබාගත නොහැකි විය. 


කෙසේ වෙතත් මේ සියලු විනාශයන්ගේ බරපැන දරන්නට සිදුව තිබෙන්නේ රජයටය. හමුදා කඳවුර මෙන්ම විනාශ වූ නිවාස, කඩසාප්පු මේ ආදී සෑම දෙයක්ම යළි යථා තත්ත්වයට පත් කිරීම රජයේ  ප්‍රමුඛ වගකීමකි.  මේ වනවිටත් ආණ්ඩුව ඊට අදාළ මැදිහත්වීම් සිදුකර ඇති අයුරු දැක ගන්නට ලැබෙන අතර ජනතාව අපේක්ෂා කරන්නේ කූඩාරම්වලින් ඉවත්වී හැකි ඉක්මනින් සිය නිවාස සහ කඩසාප්පුවලට යෑමටය. 

m