ආරක්‍ෂක ලේකම් ඇතුළු පිරිස

 

දුරුත්තේ සීතලට තවමත් ඇඟ ගැහෙයි. පරිසරය වසාගත් මීදුම් සළුව සමන් ගිරට අපූර්ව චමත්කාරයකි. සමන් ගිරෙහි මළුව දක්වා දිවෙන විදුලි එළිය සැතපුම් ගණනක් මෙහා සිට බලන්නකුටත් මන බඳින දසුනකි. දවස් ගණන් පේවී සිරිපා වඳින්නට යන බැතිමතුන්ද, සිරිපා කරුණා කර එන බැතිමතුන්ද මග දිගට අපටත් මුණ ගැසිණි. අවුරුද්දට දෙතුන් විටක් සිරිපා කරුණා කිරීම වන්දනාවේ එන තරුණ පිරිසට විනෝදයකි.

 

වඳින්න යන මේ නඬේට සුමන සමන් දෙවි පිහිටයි...”
වැඳල බහින මේ නඬේට සමන් දෙවිඳු කරුණාවයි”
කරුණාවයි කරුණාවයි සුමන දෙවිඳු කරුණාවයි”
වඳින්ට යන කිරි කෝඩුට සමන් දෙවිඳු කරුණාවයි”
වැඳල බහින දඬු කෝඩුට සුමන සමන් දෙවි පිහිටයි”
අපේ බුදුන් අපි වඳින්ට - පෙරළි පෙරළි අපි වඳින්ට”
මෙන්න මෙතන තැනිතලාව - කෝපි බොන්ට හොඳ වෙලාව”
අග්ගල කං ඩෝං පුතා - හෙළේ නගිං ඩෝං පුතා”

 

සිරිපා කරුණා කරන කවි අපේ කන වැකෙයි. හුදු විනෝදයකට නොපෙරළුනු ධාර්මික විනෝද ගමනකි. සිරිපා කරුණා කරන කවුරුත් තමන් එහි ගිය වාර ගණන සිහිපත් වෙන්නට මළුවේ ඝණ්ඨාව නාද කරති. ඇතැම් වයසක ආච්චිලා ආතලා මළුවේ ඝණ්ඨාව හැට හැත්තෑ වර නාද කරති. එය ඔවුන්ට සතුටකි. අසන දකින අයට පුදුමයකි.

දෙව්ලොවහි ආලින්දය යැයි පිළිගැනෙන සිිරිපා මළුව නිරන්තර දේව ආශිර්වාදය පවතින දෙවියන් වඩින ස්ථානයක් හැටියට ප‍්‍රසිද්ධය. සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේගේ පාදස්පර්ෂයෙන් පූජනීය වූ සමන්ත කූටය අද කුදු මහත් බෞද්ධ - අබෞද්ධ ප‍්‍රජාවගේ මහත් වූ ගෞරවයට බැතියට පාත‍්‍රවූ පින් බිමෙකි. මේ පින්වන්ත චාරිකාවේ යෙදෙන්නකුට වුව සමන් දෙවියන්ගේ ආශිර්වාදය, ශක්තිය හිමි වන බව සියල්ලෝ විශ්වාස කරති. එනිසාම කට වරදවා නොගෙන, සමන් දෙවි හාමුදුරුවන්ගෙන් අවසර ගෙන, දවස් ගණන් මස් මාංසයෙන් වැළකී සිරිපා කරුණා කිරීම එදා පටන් අදත් දැකිය හැකි විශේෂත්වයකි. එකී පුණ්‍ය ගුණයෙහි පිහිටා කවුරුන් වුව කරුණාවේ යෙදෙන නිසා -සිරිපා කරුණාව” දුරාතීතයේ පටන් උතුම් පාද චාරිකාවකි.


 

කිලෝ ගණනක බර රැගෙන පඩි නගින සෙබළු


 

සිරිපා මළුවේ ඇසෙන ඝණ්ඨා නද දෙව්ලොව පුරා නින්නාද දෙන සීනුවක් වැනිය. ඒ අසිරිමත් බිමෙහි දෙවියන්ට කරන ආරාධනයක් මෙන් පසුගියදා සිරිපාදස්ථානයට නව ඝණ්ටාවක් සහිත ඝණ්ඨාර කුළුණක්, දොළොස් මහේ පහනක්, කොප්පරා පහනක් පූජා කිරීම උත්සවාකාරයෙන් සිදුවිය. ඊට අමතරව ශ්‍රී පාද මළුවේ පැතලි කළුගල් අල්ලා පෞරාණික ස්වරූපයෙන් අත්‍යාලංකාර කොට තිබිණ. මේ මහා පූජනීය සත්කාරයට ධන පරිත්‍යාග කොට කටයුතු කළේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතා සහ එම මැතිනියයි. ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා පරිදි එම කාර්යය සිදුවිණි.

අද සිරිපා කරුණා කරන ඔබට එම පෞරාණික උරුමය පිරුණු කළුගල් ඇල්ලූ සිරිපා මළුවේ ඇවිද යා හැකිය. දොළොස් මහ පහන, කොප්පරා පහන හා ගල් කැටයම් සහිතව කෙරුණු ඝණ්ඨාර කුළුණ දැක බලා ගත හැකිය. ඔබේ දැකුමෙන් ඔබ්බට ඒ මහා කාර්යභාරය වෙනුවෙන් බොහෝදෙනෙක් දහදිය, කඳුළු හෙළුෑහ. මහා ධනයක් යෙදුහ. අපමණ කැපකිරීම් කළහ.

ඒ සියලූ දෙනා මෙලොව පරලොව වශයෙන් මහා පින්කමක් කළෝයි දෙවරක් නොසිතා අප ප‍්‍රකාශ කරම්හ.

නල්ලතන්නියෙන් පටන්ගත් විට මකර තොරණ, රතුපාලම, සාම චෛත්‍යය, ගඟුලතැන්න, සීත ගඟුල, රතු අම්බලම, ගොළුතැන්න, ඉඳිකටුපාන, මහගිරිදඹය, ඇහැළකණුව ඔස්සේ සිරිපා මළුවට දුර කිලෝමීටර හතක් පමණය. තැන්නේ කිලෝමීටර් හතක් යනවාට වඩා කන්ද ඒ දුර යාමද නැවත ඒ දුර බැසීමද පහසු නොවන්නකි. ඒ අපහසුකම සිරිපා වැඳ ආපසු එන ඇතැම් මුහුණු වලින් පෙනේ.

සිරිපා මළුවේ ඉහත කී අසිරිමත් පින්කම කිරීමට බරින් වැඩි කොටසක් අතේ, කරේ එල්වා ගිය බව විශ්වාස කළ නොහැකි වුව ඔබ විශ්වාස කළ යුතුය. අතේ කරේ ටොන් ගණනාවක බරක් එල්ලගෙන නල්ලතන්නියේ සිට සිරිපා මළුව තෙක් ඔවුහු ගියෝහ. එය ගියේ කෙසේද? එය කළේ කවුද? ඒ වෑයම කුමක්ද? ඒ අසිරිමත් පින්කම හැඩ කළ අපේ යුගයේ යෝධයන් ගැන අපි ලියමු. ශ්‍රී ලංකා යුද හමුදාව, මෙහිලා සුවිසල් දායකත්වයක් සපයනු ලැබූහ. මේ මහා කාර්යය විටෙක සටනකි. මහා ක‍්‍රියාන්විතයකි. මෙහෙයුමකි. නමුත් එය පුණ්‍යවන්ත එකකි. යුද හමුදාපති ලූතිනන් ජනරල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උභය මැදවල මහතාගේ උපදෙස් මත 11 වන සේනාංකය ඊට සූදානම් වූහ.


 

බෑගයේ අසුරා උළුකැට ගෙනයමින්


 

දින ගණනක් 11 වැනි සේනාංකයේ රණවිරුවෝ මේ උදාර කාර්යය උදෙසා පේ වූහ. කාගේත් සිත්වල තිබුණේ නියෝගයකට, අණකට වඩා, බැතියෙන් කළ යුතු තමන්ගේ වැඩක් යන හැඟීමකි. මහා පින්කමක්ය යන හැඟීමකි. සියලූ යුද සෙබළු වෙත ඉපදුනේ අපමණ චිත්ත ධෛර්යකි.

දිනය 2012 දෙසැම්බර් 09 වැනිදාය. සෙබළු පිරිස උදේ නල්ලතන්නියට එකතු වූහ. සිරිපා මළුවට අතුරන අඩිය අඩිය ප‍්‍රමාණයේ කළු ගල් කුට්ටි (ටයිල්) එහි ගොඩ ගසා තිබිණි. එක ගල් කුට්ටියක් කිලෝ 8ක් 10ක් පමණ බරින් යුතුවිය. තමන්ගේ බෑග තුළට ගල් කුට්ටි දෙක තුනක් බැගින් දමා එයටම වතුර බෝතලයක් කෑම පාර්සලයක් දමාගෙන ඔවුහු ගමන පිටත් වූහ. මුළු බෑගයේ බර කිලෝ 25ක් පමණවිය. අවාරයේ සිරිපා කරුණාවකි. උදේ 7.00 ට පිටත් වූ පිරිස මිනිස් පුළුටක් නැති හිම වතේ දෙන්නා තුන්දෙනා බැගින් කන්ද තරණය කළහ. කොළ වැටී, ගස්වල අතු වැටී පාළුවී ගිය සිරිපා මගෙහි ඌරන්, මුවන්, ගෝනුන් විටින් විට දිස්වේ.

අස්ගිරි මහානාහිමියන් දෝලාවකින් සිරිපා මළුව වැඩමවද්දී

රතු අම්බලම, ඉඳිකටුපාන ආදී තැන් කීපයක නැවතී ගිමන් හැර ආයෙත් බර පිටෙහි එල්ලා ගමනහි යෙදේ. ගල් කුට්ටි ගෙන යාම වැලි කොට්ටයක් ගෙන යනවාට වඩා ඔවුන්ට වෙහෙස දැනුණු බව සැබෑවකි. ගල් කුට්ටියේ පිහිටීම පිට තලයට දැඩි අපහසුවකි. උදේ 11.00 පමණ වන විට පිරිස මළුවට ළඟාවූහ. කෙතරම් හැඟීමකින් කටයුතු කළෝ දැයි කියනවා නම් කීපදෙනෙක් එවෙලේම ආපසු බැස යළිත් ගල් කුට්ටි දෙකක් රැුගෙන නැවත කන්ද තරණය කළහ. මේ සියලූදෙනා ලක්ෂපාන 22 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිලධාරීන් හා සෙබළුන්ය.

මේ ආකාරයට සිරිපාදයට ගෙනයා යුතු ටයිල් කළුගල් ප‍්‍රමාණය 3000 ට වැඩි විය. බිත්ති වලට අල්ලන පතුරු ගල් ප‍්‍රමාණය 2000 ට වැඩි විය. අවස්ථා ගණනාවකදී කණ්ඩායම් යොදවා මාස ගණනක් පුරා එම කාර්යය කළහ.

පසුව සිවිල් ආරක්ෂක බළකායද මේ දැවැන්ත සත්කාරයට එකතු විය. ඔවුහු සිය දෙනෙක් පමණ සිරිපාදයේ නතර වී ගල් කුට්ටි කොටස් වශයෙන් කඳුමුදුනට රැුගෙන ගියහ. ඔවුහු කණ්ඩායම් ලෙස එක පිිරිසක් නල්ලතන්නියේ සිට සාම චෛත්‍යය ළඟටද, එතැන සිට තව කණ්ඩායමක් රතු අම්බලම දක්වාද, රතු අම්බලමේ තැබූ ගල් කුට්ටි ඉඳිකටුපානටද, එතැනින් මළුවටද රැුගෙන ගියහ. ගල්කුට්ටි ගෙන යාම එසේ නිමා විය. මෙහි තවත් විශේෂත්වයක් වූයේ ලා/කෝප‍්‍රල් ශාන්ත කුමාර කිලෝ 75ක් පමණ වනසේ ගල් කුට්ටි 6ක් මළුව කරා එකවර රැගෙන යාමය.

ඉන්පසුව වැලි හා සිමෙන්ති රැුගෙන සිරිපා කරුණා කිරීම ආරම්භ විය. සිමෙන්ති කොට්ටය දෙකට කඩා කිලෝ 25 බැගින් කරට ගත් යුද සෙබළු යළි ගමන ඇරඹූහ. වැහි ඇති දිනවල කිලෝ 25 හේ වැලි කොට්ට කරට ගත්හ. දැඩි සීතල ආදී අවාරයේ විඳිය යුතු සියලූ අපහසුකම් විඳ ගනිමින් යළිත් වැලි සිමෙන්ති උඩට ගෙන ගියහ. හමුදා නිලධාරීන්ගේ සිත්වල තිබුණේම මේ මළුවේ පය ගහන වාරයක් පාසා පරම්පරාවකට පින් ලැබෙන උදාර කාර්යයක්ය යන හැඟීමකි.
ගල්, වැලි ගෙනයාමට සිවිල් ආරක්ෂක බලකායද මහා කාර්යයක් කළහ. සිරිපාදය අවට බරගෙන යන කුලීකරුවෝද කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මගින් යොදවා තිබිණි. ඔවුහු නල්ලතන්නියේ සිට මළුව දක්වා එක කිලෝවක් ගෙන යාමට රුපියල් 26 ක මුදලක් අය කිරීමද විශේෂත්වයක් විය.

ඉන් පසු මළුවේ පොළොවේ ටයිල් ගල් කුට්ටි ඇතිරීම හා බිත්තිවල පතුරු ගල් ඇල්ලීම කෙරිණි. මාස ගණනක් පුරා එම කටයුතු සිදුවිය. මේ කාර්යය සඳහා 22 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් ලලන්ත ගම්ලත් නිතර සෙබළුන්ගේ සෙවණෙහි සිටියේය. ඊළඟ දැවැන්ත කාර්යභාරය වූයේ ඝණ්ඨාර කුළුණ සඳහා සකස් කළ කැටයම් ගල් කණු කොටස් මළුවට රැුගෙන යාමය. ඒ අතර කාලයේ කිලෝ 690ක් බර කොප්පරා පහන, කිලෝ 1200 ක් බර දොළොස් මහේ පහන, කිලෝ 760ක් බර ගණ්ඨාරය, කිලෝ 1690 ක් බර දොලොස් මහේ පහන සඳහා වන ගල් බේසම නල්ලතන්නිය වෙත ලැබිණි.

කැටයම් ගල් කණු කුට්ටියක් කිලෝ 80 ත් 250 ත් අතර ඒවා විය. මේ කාර්යය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවද පූර්ණ සහාය ලබාදුන්නේය. ගුවන්යානයේ විශාල දැලකට ගල් කුට්ටි, කොටසින් කොටස පැටවිණි. නල්ලතන්නියේදී එම කටයුතු සඳහා ලූතිනන් බොතේජු ඇතුළු සෙබළු 20ක් පමණ දායක වූහ. දැලට බර පැටවූ පසු එය ඔසවාගෙන ගුවන් යානය සිරිපා කඳු මුදුන දක්වා පියාසර කළේය. එතරම් බරක් එල්වා, එතරම් උඩක් ගුවන් යානයක් පියාසර කිරීම එක් අතෙකින් අවදානම් සහිත විය. තවත් අතෙකින් එවැන්නක් මුල්වරට ලංකාවේ කළාද විය හැකිය.

මේ කටයුතු කෙරෙන ආකාරය සොයා බැලීමට ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වැඩම කොට අනුශාසනා කළහ.

ගුවන් යානය විසින් ගෙන යන ගල් කණු සිරිපා මළුවේ එක ස්ථානයකට සීරුවට පතිත කළ අතර ඒවා වහා එම ස්ථානයෙන් ඉවත් කිරීම මේජර් සුගත් දහනායක ඇතුළු සෙබළු 22ක් මළුවේ ක‍්‍රියාකාරී වූහ. එක කොටසක් ගෙන ගොස් ඊළඟ කොටස ගෙන ඒමට විනාඩි 10ක් පමණ කාලයක් ගත විය. ඒ වන විට ගෙනා සියලූ දේ අදාළ තැනින් ඉවත් කොට දැල ආපසු ගෙන යාමට සූදානම් විය යුතුය. පහළද ඒ ආකාරයට බඩු පටවා සූදානම් විය යුතුය. මේ ආකාරයට ගල් කණු කොටස්, ගල් බේසම, ගණ්ඨාරය, ගලින් කළ අලි දෙදෙනෙක්, පිත්තල පහන, කොප්පරා පහන, පිත්තල බේසම සතියක් තිස්සේ ඉහළට ගෙන යාම සිදුවිය. ඒ ඇතැම් දිනවල මීදුම සහ සුළඟ නිසා ගුවන් කටයුතු අතරමග නතර කරන්නටද සිදුවිය.

 


 

බලාසිටින අයට මෙය මහ පොළොවේ හා ගුවනේදී රණවිරුවන් කළ තවත් වික‍්‍රමාන්විතයක් විය.

ගල් කණු යොදා බාස්වරු ඝණ්ඨාර කුළුණු කැටයම් ගල් කුට්ටි යොදා ගොඩ නගද්දී යුද හමුදාව එහි නැවතී දිගටම ඔවුන්ට උපකාර කළහ.
කොප්පරා පහනේ හා දොළොස් මහේ පහනේ වහළය සඳහා පැතලි උළු කැට 3492  96ක් නල්ලතන්නියට ලැබුණේ මේ අතරය. යුද සෙබළු යළිත් උළු කැට ගෙන ගියහ. උළුකැට 15 - 20 ක් පමණ බෑගයක දමා කිලෝ 15 - 20 ක් පමණ වන බෑගය කරේ එල්ලගෙන ඒ ගමන ගියහ.


ගමනේ ඉතිරිය ඊළගට...