සුදෝ සුදු පෙණකැටි නැගෙමින් නෙත සිත පිනවමින් කෙළිලොල් දඟකාර අන්දමින් වියානා ඇළේ ගලා යන මහවැලි ජල බිඳක පහස ලබන්නට ඇත්නම් යන සිතිවිල්ල සුන්දර මේ දිය කොමළිය දකින ඕනෑම කෙනකුට සිත් පහළවන්නේ නිතැතින්මය.
එවැනි සිතිවිලි දාමයක් සිත දරාගෙන දඟකාර ජල කඳට බසින නුහුරු නුපුරුදු ඇතැම් ආගන්තුකයකුට වෙන්නේ මහා අවාසනාවන්ත කතාවක පරිච්ඡේදයක අවසානයක් සනිටුහන් කිරීමටය. මෙවැනි අවාසනාවන්ත කතා පුවත් මවන දිය කොමළිය වන්නේ මහවැලි ව්‍යාපාරයේ කෙත්වතු පෝෂණය කිරීමට මහවැලි ජලය රැගෙන යනු ලබන වියානා ඇළ හෙවත් බේසම් ඇළ ආශ්‍රිතවය.
බින්තැන්න හා තමන්කඩුව දෙපළාතේ ලක්ෂ සංඛ්‍යාත නව කෙත් බිම් සරු කරනු සඳහා 1965 වර්ෂයේදී පමණ, දිවංගත ඩඩ්ලි සේනානායක මහතාගේ යුගයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වූ බව කියයි. සංවර්ධන කටයුතු ආරම්භ කර අතරමග නැවතුණු මෙම සංවර්ධන ව්‍යාපෘතිය 1974-75 වර්ෂයේදී පමණ නැවත සක්‍රිය වී තිබේ.
මහවැලි ව්‍යාපාරයට ජලය සැපයීම සඳහා ඉදිකරනු ලැබූ මහවැලි දකුණු ඉවුර යෝධ ඇළ කැපීම එකල ආරම්භ කර ඇත්තේ මිනිස් ශ්‍රමය උපයෝගි කරගෙනය. කියුබ් වශයෙන් කම්කරුවන්ට බෙදා දුන් කොටස්වල කැපූ පස් කූඩාවලින් බැම්මට රැගෙනවිත් දමා ඇති අතර, එදවස කුලිය වශයෙන් කම්කරුවකුට ගෙවා ඇත්තේ රුපියල් 3ක් වැනි මුදලකි. පසු කාලීනව මිනිස් ශ්‍රමය කාලය ගතවන නිසා යන්ත්‍ර සූත්‍ර මගින් සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණු බව කියයි.
ටික කලකට නතර වී තිබූ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නැවත 1978-1979 යන වර්ෂවලදී ආරම්භ වී තිබේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමයේ මහවැලි අමාත්‍යවරයා වූ ගාමිණි දිසානායක මහතා විසින් 1982 වර්ෂයේදී ආරම්භ කරන ලද කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මිනිපේ අමුණෙන් දකුණට හැරවෙන මහවැලි ජලය මහවැලි ජනපදවල කෙත්යාය කරා රැගෙන යනු ලබන්නේ බේසම් ඇළ හෙවත් වියානා ඇළ මගිනි. මෙහි ජල බැස්ම සැතැපුමකට අඟලක් වශයෙන් දක්වා තිබේ. මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉතාලි රජයේ වියානනි යන ඉදිකිරීම් කොම්පැනියකට භාර දී තිබූ බව සඳහන් වේ. මෙම ඇළට වියානා යන නම හැදෙන්නේ වියානනි නමැති විදේශීය සමාගමක් විසින් ඇළ මාර්ගය ඉදිකිරීම නිසා බව කියයි.
ඇළ ඉදිකිරීම සඳහා යට වූ ගැමියන්ගේ ඉඩම් සඳහා නව ඉඩම් කොටස් හෙනානිගල ඇතුළු මහවැලි ප්‍රදේශවලින් ලබා දීමට රජය කටයුතු කර තිබේ. සංවර්ධනය වෙමින් පැවැති මෙම ඇළ ආශ්‍රිත පළමු අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ එකල ගල් රෝල් යන්ත්‍රයක් පෙරැළී එක් අයකු මරණයට පත්වීමෙනි. දෙවැන්න, එකලම ටිපර් දෙකක් ගැටීමෙන් අයෙක් මියගොස් තිබේ. එදිනෙන් ආරම්භ වූ මිනිස් ජීවිත බිලි ගැනීම් සියයට ආසන්න බව ඇළ ආශ්‍රිත පදිංචිකරුවෝ පවසති.
මහියංගන හා වියලුව මැතිවරණ කොට්ඨාසවල ගම්මාන ගණනාවක් හරහා ගලා යන මෙම මහවැලි ජලය එම ඇළ දෙපස පදිංචිකරුවන්ට මහඟු සම්පතකි.
මිනිපේ ප්‍රධාන අමුණේ සිට දිවෙන වියානා ඇළ මගින් හෑපොළ වැව, ලොග්ගල්ලා ඔය ජලාශය, දියබානා ඔය ජලාශය, උල්හිටිය ජලාශය, රත්කිඳ ජලාශය ඇතුළු ජලාශ හා කුඩා වැව් ගණනාවක් ද මහවැලි ජලයෙන් පෝෂණය කරනු ලබයි.
ජාතික ආහාර නිෂ්පාදනයට දායක වෙමින් ගොවියාගේ කෙත්වතු සරුසාර කරමින් වියානා ඇළ ඔස්සේ ගලා යන මහවැලි දියවර ශෝචනීය පුවත් මවන ජල මාර්ගයක් වී තිබීමට හේතු වන්නේ වියානා ඇළ දෙපස ආරක්ෂක ඇඳි වැටක් ඉදිකිරීමට අදාළ බලධාරින් පියවර නොගැනීම නිසා බවට ගම්වාසිහු චෝදනා මුඛයෙන් කතා කරති.
මහවැලි කෙත්වතු සරුසාර කිරීමට ජලය රැගෙන යන මෙම ඇළ මාර්ගයේ බැම්මේ දෙපස ගම්මාන ගණනාවක් පිහිටා ඇති අතර, එම ගම්මානවල ජනතාව, ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවෝ සහ පාසල් දරුවෝ මේ බැම්මේ පිහිටි මාර්ග දෛනිකව ප්‍රයෝජනයට ගනිති. ඇළ බැම්ම මාර්ගයේ 17 කණුව හන්දියේ සිට ලොග්ගල්ලා ඔය වියානා ඇළ දක්වා බදුල්ල දක්වා දිවෙන මාර්ගයත් 17 කණුව හන්දියෙන් බදුල්ල-මහියංගනය මාර්ගයත් ඉදිවී තිබේ. මේ මාර්ගවල ගමන් ගන්නා රථවාහන ගණනාවක් ද ගෙවී ගිය කාලයේ අනතුරුවලට ලක් වීමෙන් ජාතියට අහිමි වූ ජීවිත ගණන විශාල අගයක් ගන්නා අතර, අහිමි වූ විනාශ වූ දේපළ ද බොහෝය. මෙම අනතුරුවලට ප්‍රධාන හේතුව වන්නේ අනාරක්ෂිත අධික වේග ධාවනය හා මාර්ගයේ දෙපස ආරක්ෂක ඇඳි නොමැතිකම බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
අවාසනාවන්ත කතා දෙකක් ගෙවී ගිය සතියේ ඇළ ආශ්‍රිතව මහියංගනය, 17 කණුව හන්දියෙන් වාර්තා විය. ඉන් එකක් වන්නේ, බදුල්ල දෙස සිට මහියංගනය බලා ධාවනය වූ මෝටර් රථයක් 17 කණුව හන්දියෙන් මාර්ගයෙන් ඉවතට පැන ඇළට වැටීමෙන් එහි ගමන් ගත් ජීවිත දෙකක් ජලයේ සැඟව යාමය. දෙවැන්න වන්නේ, ඉකුත් 20 වැනිදා සිදු වූ තරුණියකගේ ජීවිත කතාව ඇළේ ජල කඳේ සැඟව යාමයි.
වර්තමානයේ කතාබහට ලක්වන්නේ සරසවි සිසුවියකගේ ජීවිතය අහිමි වීමකි. ඇය හම්බන්තොට, වැලිගල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සරසවි සිසුවියකි. මැය සහ ඇගේ පෙම්වතා බව කියන මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයා සමග රජරට සරසවියේ සිට ඉකුත් 20 වැනිදා සිය ගම බලා ගමන් ගන්නා අවස්ථාවේදී මහියංගන - බදුල්ල මාර්ගයේ 17කණුව ප්‍රදේශය හරහා ගලාබසින වියානා ඇළ බැම්මේ අසලින් දිය නෑමට සූදානම්ව ඇළ බැම්ම දිගේ ඉහළට ඇවිද යමින් සිටි තරුණ පෙම්වතුන් යුවළකගේ කතාවෙනි.
එම කතා පුවත විස්තර කරන්නේ දියේ ගිලී ජීවිතයත් මරණයත් අතර සටනක පොරබදමින් සිටි 27 හැවිරිදි තරුණයාගේ දිවි බේරා ගැනීමට තම ජීවිතය ද පරදුවට තබා මහවැලි ජල කඳට පැන ඔහු නිරුප්‍රද්‍රිතව ගොඩට ගත් තරුණ යුවළකගෙනි. ඇය මාපාකඩවැව, 17 කණුව ආසන්නයේ පදිංචි කේ. මධුෂිකා දේශානි මහත්මියයි. ඔහු මහියංගන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල් (86726) කේ.ජී. සුමේධ බණ්ඩාරය. සිය බිහිසුණු අත්දැකීම දේශානි මහත්මිය මෙසේ සඳහන් කළාය.
“අපේ නිවාසය ඉදිරියෙන් තමයි වියානා ඇළ මෙන්ම මහියංගනය බදුල්ල මාර්ගය තිබෙන්නේ. මෙදින ඒ කියන්නේ 20 වැනිදා සවස 4.30ට පමණ මමත් මහත්තයාත් අපේ චූටි පුතාත් එක්ක වියානා ඇළ අසල තිබෙන කුඩා වෙළෙඳසලකට අපේ ත්‍රීවීල් එකෙන් ගියා. එතැන ඉන්නකොට අපි දැක්කා වියානා ඇළේ ඒ කියන්නේ අපේ ගෙවල් පැත්තේ ඉහළ කොටසේ දිය නාමින් හිටපු මාමා කෙනෙක් දිය නාන ඇඳුම පිටින් කෑගසමින් අතින් යමක් සංඥා කරමින් අපි හිටපු දිහාට දුවගෙන එනවා. එයා දිහා බලනකොට අපි දැක්කා වියානා ඇළේ කවුදෝ කෙනෙක් පහළට ගසාගෙන එන බව. ඔහු වතුරෙන් ගොඩ එන්න උත්සාහ කරනවාත් දැක්කා. මගේ මහත්තයා ක්ෂණිකව ත්‍රීවීල් එක ස්ටාට් කරගෙන එම දෙසට ආවා. වීල් එක නතර කරපු ගමන් මහත්තයා දියේ ගසාගෙන එන කෙනා බේරා ගන්න ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම ඇළට පැන්නා. මහත්තයාට සහයෝගයට වීල් එකේ තිබුණු නයිලෝන් ලණුවත් අරගෙන මමත් ක්ෂණිකව ඇළට පැන්නා. මටත් හොඳට වතුරේ පීනන්න පුළුවන්. මහත්තයා දියේ ගිලෙමින් සිටි කෙනාගේ කොණ්ඩෙන් අල්ලාගෙන ගොඩට ඇදගෙන පීනාගෙන ආවා. එයා ඇළ ඉවුරට ගෙනාවාට පස්සේ එතැනට ඇවිත් හිටපු මගේ අම්මා තමයි ඒ කෙනාව ගොඩට ගත්තේ. එතකොට එයාගේ ඇස් උඩ ගිහිල්ලා හොඳටම බය වෙලා හිටියේ. කට ඇරිලා තිබුණා. මහත්තයා එයාගේ බඩෙන් අල්ලලා බඩ මිරිකලා ක්ෂණික ප්‍රථමාධාරයක් දුන්නා. එයාගේ බඩේ තිබුණු වතුර කටෙන් පිට වුණා. ටික වේලාවකින් එයා කතා කළා. ඔහු කිව්වා “අනේ මගේ පෙම්වතියත් ඇළට වැටුණා, එයාවත් ගොඩ ගන්න” කියලා. ඒ සමගම මහත්තයාත් තවත් තරුණයකුත් ඇළට පැනලා ඒ තරුණිය හොයන්න ගත්තා. ඒත් අපිට එයාව හොයා ගන්න බැරි වුණා. එයා දිය යටින් පහළට ගසාගෙන යන්න ඇති කියලා අපිට හිතුණා. පහුවෙනිදා අපිට ආරංචි වුණා දියේ ගිලුණු තරුණිය මෙතැන ඉඳලා කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටි දියඹානා වැවෙන් ගොඩ ගත්තා කියලා.
මෙම ස්ථානයෙන් ඇළේ පහළින් ආරක්ෂිත යකඩ වැටක් හරි තිබුණා නම් ඒ තරුණියගේත් ජීවිතය බේරා ගන්න තිබුණා. ඒ ගැන අවධානය යොමු කරනවා නම් වටිනවා.”
මොකද ඔයා වයරයක් අරගෙන මහත්තයාත් එක්ක ඇළට පැන්නේ?
“මහත්තයා තමයි ඇළට පැන්නේ. එයාට තනියම යන්න දෙන්න බැහැ. මොකද වතුරේ ගහගෙන යන අය ගන්න ගියාම ඒ අය අනෙක් කෙනාව බදාගන්නවා කියලා මම අහලා තියෙනවා. එතකොට බේරා ගන්න ගිය කෙනාත් පීනාගන්න බැරිව අමාරුවේ වැටෙනවානේ. ඒ නිසා තමයි මමත් වීල් එකේ තිබ්බ වයර් එකත් අරගෙනම ඇළට පැන්නේ.”
වියානා ඇළේ සැඩ ජල පහරට හසුව දියේ ගිලී ජීවිතයෙන් සමුගත් හා සමුගන්නට ඔන්න මෙන්න කියා සැඩ පහරේ පොරබදන ජීවිතයට නැවත ජීවය දෙන්නට වසර ගණනාවක සිට කටයුතු කරමින් සිටින උල්හිටියේ දියකිඳුරා හෙවත් රංජිත් අයියා සිය අත්දැකීම් මෙසේ විස්තර කරයි.
“මගේ නම පී.එල්.ඒ. රංජිත් ප්‍රනාන්දු. මම දැනට පදිංචි බෙලිගල්ල ගමට ඇවිල්ලා අවුරුදු 55ක් පමණ වෙනවා. මම මහවැලි ව්‍යාපාරයට ජලය රැගෙන යන වියානා ඇළේ වැඩ කළා. ස්ථිර ආදායම් මාර්ගයක් මට නැහැ. මට දරුවන් දෙදෙනෙක් සිටිනවා. මම පදිංචිව සිටින්නේ බෙලිගල්ල ගමේ. මගේ නිවස අසලින් තමයි මහවැලි වියානා ඇළ තිබෙන්නේ. නිවසට පහළින් උල්හිටිය ඔයේ පුංචි වැවත් තිබෙනවා. මට මතකයි මීට වසර හතළිහකට විතර ඉස්සර දවසක් දහවල් 12ට විතර මම නිවසේ සිටිනකොට මගේ නිවස අසලින් ගලාබසින වියානා ඇළ දෙසින් කිසියම් පිරිසක් කෑගහනවා ඇහුණා. ඒ ගැන විපරම් කිරීම සඳහා මම ඇළ දිහාට දුවගෙන ආවා. එතකොට මම දැක්කා වියානා ඇළත් උල්හිටිය ඔයේ ජලයත් එකතු වෙන ස්ථානයේ තියෙන කුඩා ජලාශය අසල විශාල පිරිසක් රැස්වෙලා කෑගසමින් සිටිනවා. මමත් එතැනට ගියා. එතැනදී මට දැනගන්නට ලැබුණා මෙම ස්ථානයේ නාන්නට ගිය තරුණයකු දියේ ගිලිලා කියා. එයා හොයන්න අමාරුයි කීවා. එතැන හිටපු කවුරුවත් වතුරට බහින්න බයයි. මොකද මෙතැන ජල මාර්ග දෙකක් එකතු වෙන තැනක් නිසා ලොකු සුළියක් වාගේ වතුර කැරැකෙනවා. බලාගෙන ඉන්න බැරි තරම් සැඩ වතුර පාරක් මෙතැන තියෙනවා. මම දෙපාරක් හිතුවේ නැහැ, ඇඳගෙන හිටපු කමිසය ගලවලා පැත්තකට විසි කරලා සරමෙන් අමුඩයක් ගහගෙන අර ජල කඳට පැන්නා. පැනලා දිය යටට ගිහිල්ලා එහේ මෙහේ සොයා බැලුවා. එහෙම විනාඩි පහළොවක් විතර හොයනකොට මම දැක්කා එහා පැත්තේ ඉවුරට වෙන්නට එතැන තිබුණු ලී කොටයක හිර වෙලා සිටිනවා. මම එයා අරගෙන ගොඩට ආවා. එයා ජලාශයේ ඉවුරේ තිබ්බා. එවිට එතැන හිටපු මිනිස්සු එයාව වාහනයක දාගෙන රෝහලක් කරා ගියා. මම දන්නවා මෙයා රෝහලකට රැගෙන ගියාට වැඩක් නැහැ කියලා. මට දැනුණා මෙයා මියගිහිල්ලා කියලා. මම ඒවා කියන්න ගියේ නැහැ. පස්සේ මට ආරංචි වුණා එයා මිය ගියා කියලා. මෙයා පිට පළාතකින් විනෝද චාරිකාවකින් ආපු කණ්ඩායමක වයස අවුරුදු 30ක විතර තරුණයෙක් කියලා. එදා ඉඳලා ගෙවුණු අවුරුදු 40ක විතර කාලයේ මම මේ ජල කඳට වැටුණු මිනිස්සු 62ක් විතර ගොඩට ගෙන තියෙනවා. මට ආරංචි හැටියට මේ පිරිසෙන් 26 දෙනෙක් විතර අදටත් ජීවත්ව සිටිනවා.”
දියේ ගිලී මැරෙන්නට ගිය, දැනට ජීවතුන් අතර ඉන්න මිනිස්සු රංජි අයියාට සලකනවා ඇති නේද?
“මොන පිස්සු කතාවක් ද මහත්තයා. ඒ සිදුවීම් වුණ දවසට දින කිහිපයකට පස්සේ ජීවිත බේරා ගත්තු ඔය දෙතුන් දෙනෙක් තෑගි බෝග අරගෙන නම් ආවා. ඒ හැරෙන්න වෙන කිසි කෙනෙක් මම උන්නා ද මළා ද කියලා බලන්න ආවේ නැහැ. ඔහොම තමයි අපේ රටේ මිනිසුන්ගේ හැටි.”
මෙම ඇළ මාර්ගයේ සිදුවන රථවාහන අනතුරුවලදී දියේ සැඟවෙන රථවාහන ගොඩට ගැනීමට පොලිසියට සහාය දක්වන්නේ මාපාකඩවැව, මැදයාය ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. ලක්ෂ්මන් සෙනෙවිරත්න (42) ධීවර කාර්මික මහතාය. ඔහු මේ වන විට වසර දහයක් පමණ කාලය තුළ ඇළට වැටුණු වාහන 10ක් පමණ ගොඩට ගැනීමට දියඹට බැස සහයෝගය දැක්වූ බව සඳහන් කරයි.
“ඇළේ වැටුණු වාහන ගොඩ ගන්නවා කියන්නේත් විශාල අමාරු කාර්යයක්. මොකද පොඩ්ඩ මිස් වුණොත් තමන්ගේ ජීවිතෙත් අවදානම්. මට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. දවසක් කාර් එකක් ගිලිලා තිබුණා. පොලිසියෙන් මට කතා කරලා කිව්වා මේ කාර් එක ගොඩ ගන්න උදව් වෙන්න කියලා. මට මේ සම්බන්ධයෙන් පුහුණුවක් නම් නැහැ. ඒත් මට ඒක කරන්න පුළුවන් කියලා මම දන්නවා, මම ධීවර රක්ෂාවේ යෙදෙන නිසා, නිතර වැවට බැහැලා කටයුතු කරන නිසා. වාහනය ගොඩට ගන්න ලොරියක් වාගේ එකක් ඇවිත් තිබුණා. මම ඒකේ වයරය අරගෙන ඇළට බැහැලා වතුර යටට ගිහිල්ලා වයරයේ කෙළවර කොක්ක කාර් එකේ බටයකට දානවාත් එක්කම ලොරිය වයරය අදින්න සූදානම් වුණා. කාර් එකේ බටේත් ඇමුණුම් කොක්කත් අතර මගේ ඇඟිල්ල හිර වුණා. මට ඇඟිල්ල ගන්න විදිහක් නැහැ. වතුරේ වැඩි වේලා ඉන්නත් බැහැ. මට දෙවියෝ පිහිට වුණා. ඇඟිල්ල ඇදලා ගන්නකොට හම ගැලවිලා තමයි ආවේ. ඇඟිල්ල තුවාල වුණා. එහෙම නොවුණා නම් මගේ ජීවිතෙත් ඉවරයි.”
මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සිරිබෝ රුවන් කුමාර මහතා මෙසේ පැවැසීය.
“මහවැලි කෙත්වතු සරුසාර කිරීම සඳහා ගම්මාන ගණනාවක් හරහා ගලා යන ජාතික ආහාර නිෂ්පාදනය ඇතුළු විවිධ නිෂ්පාදනයන්ට දායකත්වයක් ලබා දෙන මහවැලි ජලය අපිටත් රටටත් මහඟු සම්පතක්. මේ ජලය මහවැලි කලාප කරා රැගෙන යනු ලබන්නේ බේසම් ඇළ හෙවත් වියානා ඇළ මගිනුයි. මේ ඇළ අඩි 15ක පමණ ගැඹුරින් හා අඩි 40ක් පමණ පළලින් යුක්තයි. මේ ඇළේ දෙපස ආරක්ෂිත ඇඳි නොමැති නිසා ගෙවී ගිය කාලය තුළ සිදු වූ අනතුරු හා ඒ ආශ්‍රිතව අහිමි වූ වටිනා මිනිස් ජීවිත ගණන ඉහළ යමින් පවතිනවා. මෙම අනතුරු අවම කරන්න නම් මහවැලි සංවර්ධන අධිකාරිය ආරක්ෂක අංශ විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. මේ සඳහා අපිට යෝජනා කිහිපයක් සඳහන් කරන්න පුළුවන්. ඇළ ප්‍රදේශයේ අවශ්‍ය ස්ථානවල වීථි ලාම්පු සවි කිරීම, දියඹානා ඔය සොරොව්වේ සිට කෙසෙල්පොත මාර්ගයට වැටී ඇති පාලම ළඟට එනතුරු ආරක්ෂිත වැටක් ඉදිකිරීම වගේ දේවල් (වෙලම්පැල විදුහල හා ඔරුබැඳිවැව විදුහලේ දරුවන් මෙම මාර්ගය දෛනිකව භාවිත කරනවා), මාපාකඩවැව, 17 කණුව මහවැලි කාර්යාලයට යන ගමන් මාර්ගයේ ආරක්ෂක වැටක් ඉදිකිරීම, සංචාරක ආකර්ෂණය ඇති බේසම යන ස්ථානයට හා 17 සිට දියඹානා ඔය දක්වා ආරක්ෂිත වැට ඉදිකිරීම, අනතුරු බහුල ලෙස වාර්තා වන මහියංගන - බදුල්ල මාර්ගයේ 17 කණුව හන්දියේ ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් කිහිපදෙනකුට ජල ආශ්‍රිත පුහුණුවක් ලබා දීම, ආරක්ෂිත කබා කිහිපයක් එම ස්ථානයේ තැබීම හා ශක්තිමත් කඹයක් සහ එයට අවශ්‍ය නැංගුරම් කොක්කක් සවිකර දීම, අනතුරු ඇඟවීමේ නාම පුවරු ඇළ දිගේ සවි කිරීම, ඇළේ යටට (අවශ්‍ය ස්ථානවලට) ආරක්ෂිත යකඩ දැල් සවි කිරීම, ඇළ ආසන්නයේ පිහිටි මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයට කිමිදුම් කට්ටලයක් ලබා දීම, ගම්වැසියන් නිතර අනාරක්ෂිත අන්දමින් දිය නාන ස්ථානවල ආරක්ෂිත පඩිපෙළ ඉදිකිරීම වැනි දෑ ඉටු කිරීමෙන් තව දුරටත් සිදු වීමට ඉඩ ඇති අනතුරු අවම කරගත හැකි බවට අපි අදාළ අංශ වෙත පෙන්වා දෙනවා.”
වියානා ඇළ ආශ්‍රිතව සිදු වෙමින් තිබෙන අනතුරු සම්බන්ධයෙන් මහියංගන පොලිස් අධිකාරි පී.ඩබ්ලිව්.එස්.බී. පලිපාන මහතා මෙසේ පැවැසීය.
“වියානා ඇළේ සිදු වන මේ අනතුරු වාර්තා වන්නේ පිට ප්‍රදේශවලින් පැමිණි අයගෙනුයි. මෙම ඇළ ආශ්‍රිතව මෙතෙක් සිදු වූ අනතුරුවලට ප්‍රධානම හේතුව වශයෙන් සඳහන් කළ හැක්කේ දියේ ගැඹුර මෙන්ම දියේ සැඩ පහර නොදැන ජලයට බැසීම නිසා සිදු වූ අනතුරු සහ අනාරක්ෂිත අන්දමින් රථවාහන ධාවනය නිසා සිදු වූ අනතුරු බවයි. අනෙක තමයි, මෙම ඇළේ බැම්මේ ආරක්ෂක ඇඳි නොමැතිකමත් ඇළේ දැලක් නොමැතිකමත් එයටම බලපා තිබෙනවා. ඒ නිසා මෙම කරුණු කෙරෙහි අදාළ අංශ වැඩි අවධානයක් යොමු කිරීම කාලෝචිතයි. අනතුරක් ගැන වාර්තා වූ වහාම ඒ සම්බන්ධයෙන් අපි කඩිනමින්ම අවශ්‍ය කටයුතු කරනවා. පිට ප්‍රදේශවලින් පැමිණෙන අයට අපි කියන්න කැමැතියි දිය නානවා නම් සුදුසු ස්ථානයක පමණක් එම කටයුතුවලට යොදා ගන්නා ලෙසත්, මත්පැන් වැනි දෑ පානය කර මෙම ඇළේ දිය නෑමෙන් වළකින ලෙසත්. අනෙක තමයි, මේ ඇළ මාර්ගයේ රථවාහන ධාවනයේදී ඉතා කල්පනාකාරිව, අධික වේගයෙන් නැතිව රථය ධාවනය කරන ලෙසත් රථවාහන රියැදුරන්ට සිහිපත් කරන්න කැමැතියි.
(*** හසලක - සුනිල් ඒකනායක)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සුන්දර වියානා ඇළේ අසුන්දර කතන්දරේ
m. saman perera Monday, 28 July 2025 06:17 PM
අපරාදෙ වටිනා ජීවිතයක්.., ඔබට නිවන් සුව ලැබේවා පුතේ...!