යුද්ධයේ අවසානයත් සමගම සංවර්ධනය වෙත යොමු වූ අවධානය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙහිලා ද ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව ඇසීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටකි. යූ.ඒ.ඊ. රාජ්‍යයට පසුගිය දිනවල පැමිණි අමාත්‍යවරුන් දෙදෙනකුම එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත අවධාරණයෙන් පැවසුවේ එක් ශ්‍රී ලාංකිකයකු විසින් එක් සංචාරකයකු හෝ ලංකාවට එවන්නට කටයුතු සලසනු ලබන්නේ නම් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙහිලා බොහෝ සේ මහෝපකාරී වන බවය. එය සැබෑවක් බව අපි පිළිගන්නෙමු. එහෙත් මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාවට ආ සංචාරකයා අත්වින්දේ ශ්‍රී ලංකාවේ ඇති සම්ප‍්‍රදායික සුන්දරත්වය පමණකි. එතනින් එහා ගිය යමක් ලංකාව තුළ සංචාරකයාට කළ හැකි බව අද වනවිට අප පෙන්වාදිය යුත්තේ කාලයත් සමග සංචාරකයා ද නවීන ලෝකය හා අත්වැල් බැඳගෙන ඇති බැවිනි. රජයේ ඇමැතිවරයකු පැමිණි අවස්ථාවක දී මෙහි සිටින ව්‍යාපාරිකයන් ආයෝජකයන් අතරේ බෙදා දුන් ශ්‍රී ලංකාව ගැන වූ ඡායාරූප ඇල්බමයක් විය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාම සුන්දර ඡායාරූප එකතුවකි. එය දුටු කෙනකු ශ්‍රී ලංකාව දැකිය යුතු රටකැයි සිතට ගනු නොඅනුමානය. එහෙත් ඒ තීරණය ක‍්‍රියාත්මක අදියරට ගෙන එන්නට නම් සංචාරක අමාත්‍යාංශයේ ඡායාරූපවල අලූත් වෙනසක් විය යුතුය. චිරාත් කාලයක් තිස්සේ අප රටට ආ සංචාරකයා අප රටේ ස්වභාවික සෞන්දර්ය නැරඹුව ද නවීන ලෝකයේ සංචාරකයා වඩ වඩාත් ක‍්‍රියාකාරකම් (Activities)කෙරෙහි ආශක්ත වීම අද ලෝකය දෙස රූපවාහිනී ආදී මාධ්‍ය දෙස බැලීමේදී අපට පෙනී යන්නකි. ඒ නිසාම අප රට ද සංචාරකයාගේ උවමනාව අනුව සංචාරක කර්මාන්තය අනාගතය වෙත යොමු කිරීමට මංමාවත් තැනිය යුතුය. අපට උරුම දේ දෙන අතරම සංචාරකයාට අවශ්‍ය දේ ලබාදීමට අපේ උරුමයන් පාවිච්චි කළ යුතුය. ලංකාවේ සුන්දරත්වය සේම එහිදී කළ හැකි ක‍්‍රියාකාරකම් මේ මේ යැයි හුවා දැක්වෙන ඡායාරූප උදාහරණ ලෙස නැගෙනහිර මුහුදු තීරය (දිය යට කිමිදීම ඡායාරූපවලින් පෙන්විය යුතුය) කඳුකරයේ ඇති කඳු නැගීමට අමතරව කඹ ආධාරයෙන් කඳු ගැනීම වන තීර උපයෝගී කොට ගෙන කළ හැකි ත‍්‍රාසජනක ක‍්‍රියා ආදී නොයෙක් දේ අප ඡායාරූප මගින් විදහා දැක්විය යුතුය. ත‍්‍රස්තවාදයෙන් රට මිදුනා යැයි කීමෙන් පමණක් සංචාරකයා රටට අද්දවා ගත නොහැකිය. මෙතෙක් කාලයක් දැකීමට නොහැකිව තිබූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට ගොස් සංචාරකයාට දැකිය හැකි දේ (කුරිරු යුද්ධයේ නටඹුන් තිබුණාට මදිය) හා කළ හැකි දේ අප පෙන්විය යුතුය. නිලාවැලි වෙරළ ගැන පුළුල් වැලිතලා ගැන කීවාට පමණක් මදිය. එම පුළුල් වැලිතලා උපයෝගී කොටගෙන සංචාරකයාට අමතක නොවන අත්දැකීම් ලබාගත හැකි යම් ක‍්‍රියාකාරකම් නිර්මාණය කොට අප ඒවා පෙන්වාදිය යුතුය. ඩුබායි වැනි අධික උණුසුම් දේශගුණයක් සහිත රටක පවා උඩ වහල විවෘත තට්ටු දෙකේ බස් රථ යොදා ගනිමින් නගරයේ අසිරිය සංචාරකයාට ලබාදීමට ඉඩ සලසා ඇත. එතරම් උණුසුම් නැති අප රට තුළ කොළඹ සිට තෝරාගත් නගර වෙත එවන් බස් සේවයක් ආරම්භ කළ හැකිය. මෙවන් වූ ගිනි ගහන රස්නයක, මෙවන් වූ කොන්ක‍්‍රීට් පුරවරයක සුන්දරත්වය පවා එම වහල විවෘත බස්වල ගොස් සංචාරකයා අත්විඳින්නේ නම් හරිත පැහැයෙන් බබලන අපේ රට වැනි රටක තුරුලතා ආසන්නයේ යමින් ඒවා ගත දැවටෙමින් වඩා උසකින් ගමන් කරන අතරේ රටේ සුන්දරත්වය දකිමින් ඔහු යන ගමන ආහ්ලාදකර වනු ඇත. තවද බේරේ වැව, ගෝල්ෆේස් අවට මුහුද උපයෝගී කොට ගෙන බෝට්ටු සේවාවක් පටන් ගන්නේ නම් අග නගරයේ ඇති ප‍්‍රධාන ස්ථාන වෙනත් කෝණයකින් බලා ගැනීමට සංචාරකයාට  ඉඩකඩ සැලසේ. ආරුගම්බේ වැනි ප‍්‍රදේශවල සිටින සාගරය හා ගැටී අත්දැකීම් ලබා ගත් තරුණයන් උපයෝගී කොට ගෙන මදක් ගැඹුරු මුහුදේ පවා මේ සේවා රට පුරාම ව්‍යාප්ත කළ හැකිය. මන්ද ආරුගම්බේ වැනි ප‍්‍රදේශවල තරුණයන් මේ වනවිට මුහුද වෙතින් ද සංචාරයන් වෙතින් ද උපරිම අත්දැකීම් ලබා ඇති බැවිනි. මෙහි වෙසෙන ලාංකිකයකු පෙරළා ලංකාවට යන මොහොතේ සවුදි අරාබියානු යුවළක් ද එම ගුවන් යානයේ ලංකාවට ගොස් ඇත. අපගේ ආගමන විගමන අංශ නිලධාරියා (පිරිමි) මුලූ මුහුණම වසා සිටින එම සවුදි කතට මුහුණේ තිරපට නිරාවරණය කොට මුහුණ පෙන්වන්නැයි කීපවර බලකොට කියද්දී ඔවුන් එය එකහෙලා ප‍්‍රතික්ෂේප කරන්නට වූයේ පිට පිරිමියකු ඉදිරිපිට සවුදි කාන්තාවන්ට මුහුණ නිරාවරණය කිරීම තහනම් බැවිනි. මෙහිදී අප ලාංකික හිතවතා ඉදිරිපත් වී අපගේ නිලධාරියාට කරුණු පහදමින් එම කත ඔහු ඉදිරිපිට කෙලෙසකවත් තිරපට ඉවත් නොකරන බවත් ඔහුට ගමන් බලපත‍්‍රයට අනුව ඇය හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කාන්තාවක් යොදා ගන්නා ලෙස පවසා ඇත. එම සිද්ධියෙන් එම සංචාරක යුවළ ඉමහත් කලකිරීමට පත්ව ඇත. මෙහි වරද කොතැනද? සංචාරකයන්ට අප රටට එන්නට යයි අඬගැසුවද ඔවුන් ආ විට එළිපත්තේදීම පිළිගැනීම එසේ නම් ඔවුන් යළිත් දෙවැනි වර එයිද? අප කෙතරම් ප‍්‍රියමනාපශීලී ජාතියක් යැයි කියුවද ආගමන විගමන අංශයේ කටයුතු කරන බොහෝ නිලධාරීන් එහි කටයුතු කරන්නේ සිනා පොදකුදු නොමැතිවය. වසර 8ක් තිස්සේ අප පවා මව් රටට ආවා ගියද අප ද දකින්නේ සැකයෙන් මෙන් අප දෙස බලන ඔවුන්ගේ ගාම්භීර මුහුණු මිස ප‍්‍රියමනාපශීලී බව නොවේ. ආගමන විගමන බලධාරීන් මෙහිදී කළයුතු දෙයක් ඇත. දැනට ගුවන් තොටුපොලේ ආගමන විගමන අංශයට නව පුහුණුවක් දුන් ඉතා ප‍්‍රියමනාපශීලී තරුණ කොටසක් යෙදිය යුතුය. සෑම සියලූ දෙනා දෙසම සුපරීක්ෂාකාරී බැල්ම එළිපිට බැලීමේදී එයින් සිත් රිදීම මිස සිත් හැදීම නොසිදුවන නිසා කැමරා උපකරණ දැනට ඇතුවාට වැඩි ගණනක් සෑම කවුන්ටරයක් වෙනුවෙන්ම යොදා ඇතුළු කාමරයක සිට යන එන්නන්ගේ මුහුණු, මුහුණුවල හැඟීම්, ප‍්‍රතිචාර ඔහු බියෙන් සැකෙන් ද යන්න (කැමරාව ඉතාම සමීප ලෙස මුහුණට යොමු කොට තැබිය හැක). ඇතුළු කාමරයක සිට බැලීමට දැනට මෙහි රාජකාරි කරන නිලධාරීන්ට ඉඩ සලසා දිය යුතුය. මන්ද ඔවුන් කවුන්ටරයේ සිට හොරුන් වංචාකරුවන් අල්ලනවාට වඩා කාමරයක සිට කැමරාවක් මගින් එය ඉතා සාර්ථක ලෙස කළ හැකි අතර ගුවන් තොටුපොලේ කීර්ති නාමයට ද අවැඩක් නොවේ. මා මෙය දිග දුරට කියන්නේ අප මව් බිමට එන සෑම සියලූ දෙනාගේම පිළිගැනීමේ නිලධාරීන් මෙම ආගමන විගමන නිලධාරීන් බැවිනි. ඔවුන්ගේ කිසිවකු ගණන් නොගන්නා ආඩම්බර මුහුණු අභියස අප ප‍්‍රියමනාපශීලී ජාතියක් යන්නට මුලින්ම තිත වැටෙන බැවිනි. ඒ නිසාම සංචාරක අමාත්‍යාංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව එකමුතුව මේ කටයුතු නව මගකට යොමු කළ යුතුය. ඉන්දියානු පවුලක් පසුගිය දිනවල ලංකාවට පැමිණ හෝටලයක නැවතී යාල ආදී තැන්වල ඇවිදීමට හෝටලයෙන් වාහනයක් ලබා ගත්ත ද එම වාහනය ඒ දින කීපයේ යන එනකල් ලෙඩ දී ඇති අතර එහි රියදුරා යා යුතු මංමාවත් නිසි අයුරින් නොදත් අයකු වීම නිසා එම ඉන්දියානුවන්ට සංචාරය මුලූමනින්ම එපාවී ඇත. තරු හෝටල්වල පවා වාහනවල රියදුරන්ගේ තත්ත්වය මෙසේ නම් අනෙක් හෝටල් ගැන කවරක් කියන්නද? මෙහි සිටින අපගේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු  (ඔහු සංචාරකයන් අප රටට යවන්නෙකි) අප හා පැවසුවේ ඔහු සංචාරකයන් යවන්නේ තරු 4 සිට ඉහළට බව ය. එයට හේතුව ඊට පහළ හෝටල් වෙත යොමු කළොත් නිතර නිතර හෝටල්වල අඩුපාඩු ගැන පැමිණිලි ලැබෙන බවය. හෝටල් නාන කාමරවල වතුර නැතිවීම, විදුලිය නැතිවීම, දොර අගුලූ නැතිවීම ආදී නොයෙක් ගැටලූ මතුවන බවය. කෙසේ වුවද සංචාරක ව්‍යාපාරය ලබන වසරේ මෙයට වඩා වැඩි දියුණුවකට ගෙන එන්නට නම් අද සිටම සංචාරක අමාත්‍යාංශය, සංචාරක හෝටල් කෙරෙහි දැඩි හා පුළුල් අවධානය යළිත් වරක් යොමු කළ යුතුය. මන්ද පෙර සිටි සංචාරකයා මෙන් නොව අද පරපුර නව තාක්ෂණය සමග ලෝකය පුරා ඇවිද ලෝකය දැක බලාගත් කොටසක් වන අතර ලෝකයේ  දියුණුව නිසාම අතට පයට සැප උපරිම ලෙස බලාපොරොත්තු වන කොටසකි. හෝටල්වල ඇති නොයෙක් අඩුපාඩු ඔවුන් කලකිරවන අතර යළිත් වරක් මෙහි එන්නට සිතන සිත වළකනු ඇත. අමාත්‍යවරුන් රටින් රට ගොස් සංචාරකයන් එවන්නැයි කීවාට මදිය. එසේ එන අයට පරිවාර සේවා කරන අප කිසි දෙයක අඩුපාඩුවක් නොවන්නට පළමුව වග බලා ගත යුතුය. දිනෙන් දිනම අඩුපාඩු හල යුතුය. අප රටේ සිටින  ඕනෑම අයකුට  ඕනෑම මොහොතක ව්‍යාපාරයක් පටන්ගත හැකිය. අපේ රටේ හැටි එහෙමය. එහෙත් මෙවැනි රටවල්වල නම් ව්‍යාපාරයක් (කුඩා හෝ විශාල වුව එකම ක‍්‍රමවේදය අනුගමනය කළ යුතුය) පටන් ගැනීමට මාස කීපයක සිට පේ විය යුතුය. සුවිශාල නීතිමය රාමුවක කටයුතු කළ යුතුය. අප රටේ  සංචාරක ව්‍යාපාරයට ද මෙම ක‍්‍රමය ඇති කළ යුතුය. (ඩුබායි රටේ දී  ඕනෑම ව්‍යාපෘතියක් ඇරඹීමේ දී ආයතනයේ ඉදිරිපස  ආරක්ෂක කැමරාවන්, ගිනි නිවීමේ උපකරණ ආදිය ද අනිවාර්ය අංග වේ. කැමරාව සවි කිරීමෙන් යන එන්නන් පැය 24 පුරා කැමරා ගතවේ. සොරකමක් හෝ වෙන යම් අවශ්‍යතාවයක දී එහි වටිනාකම මිල කළ නොහැකිය. අප රටේ තැනින් තැන රෙස්ට් හවුස්, ගෙස්ට් හවුස්, හෝටල් බිහි වුවද ප‍්‍රමිතිය බිංදුවය. සංචාරක මග පෙන්වන්නෝ ද එසේමය. බොහෝ සංචාරක මග පෙන්වන්නන් දුරාචාරවලට යොමුවූ කොටස් ය. නිවසේ රැකියාවක් නැතිව සිටින තරුණයා තවකෙකුගේ කීමට ගයිඞ් කෙනකු බවට පත්වේ. බොහෝ දෙනාට අපේ රට ගැන ඉතිහාසය ගැන මෙලෝහසරක දැනුමක් නැත. මෙය වෙනස් විය යුතුය. මොවුන් රජයේ ලියාපදිංචි කොට (ත‍්‍රීවීල් රථ මෙන්) ඔවුනට විශේෂ පුහුණුවක් (දැනට ලබාදෙන පුහුණුවට වඩා වැඩි දෙයක් ඔහුට දිය යුතුය. රට අපේ ය යන හැඟීම ඔවුනට කාවැද්දිය යුතුය) ලබාදී නිල ඇඳුමක් ලබාදිය යුතුය. ඔවුන්ගේ රැකියාවේ ඇති බැරැරුම් බව ඔවුනට වටහා දිය යුතුය. මන්ද ඔවුන් රට ගැන දෙන අදහස ඔවුන්ගේ හැසිරීම් රටට සේම සංචාරක ව්‍යාපාරයේ නැගීම හෝ බැසීම වන බැවිනි. තවද හිපි, කුඩු සංස්කෘතිය වළකාලීමට ද මෙම ලියාපදිංචි කිරීම හා නිල ඇඳුම් ලබාදීම බලපාන බැවිනි. කොළඹ තදාසන්න ප‍්‍රදේශ පුරා සංචාරකයන්ට සිත්සේ සාප්පු සවාරියේ යෙදිය හැකි ලෙස සාප්පු සංකීර්ණ බිහිවිය යුතුවා සේම සංචාරක අත්පොත්වල එම සාප්පු සංකීර්ණවල නම් හා පිහිටා ඇති තැන් ද සඳහන් විය යුතුය. ඒවායේ ඇති දේ ද (උදා: රෙදිපිළි, ලී කැටයම්, ආහාර පාන) සඳහන් වන්නේ නම් රස්තියාදුවකින් තොරව සංචාරකයන්ට තමනට අවශ්‍ය ස්ථාන වෙත යා හැක. විදේශයන් හි පිහිටි තානාපති හා කොන්සලේට් කාර්යාලවල පෙනුම වඩාත් ප‍්‍රසන්න හා සිත් ඇදගන්නා මුහුණුවරකට ගෙන ආ යුතු වන්නේ එහි බාහිර පෙනුම ඉතා පැරණි ඇල්මැරුණු තත්ත්වයෙන් පවතිද්දී එහි යන විදේශිකයකුගේ මනස උකටලී වන බැවිනි. ඩුබායි දේශයේ මෙට්රෝ (දුම්රිය ස්ථාන) සෑම එකකම පාහේ ඇති ආසන ආදියේ වෙන රටවල වටිනාකම් විශේෂත්වයක් විදහා පාමින් එම රටවලට සංචාරකයා කැන්දන බැනර් පෝස්ටර් ආදිය තිබුණ ද අප රටේ ඒවා නැත. ඩුබායිවල සංචාරයට ලෝකයේ නන් දෙසින් එන සංචාරකයන් මෙට්රෝ දුම්රියේ එක්වරක් හෝ ගමන් කරන්නේමය. ඒ නිසාම මෙම දුම්රිය ස්ථානවල ඇති බැනර් හා පෝස්ටර් මුලූ ලෝකයටම විවෘත වෙළඳ දැන්වීම් විශේෂයකි. ඒ නිසාම මෙවැනි ස්ථානවල අප රට ගැන දැන්වීම් දැමීමට ද සංචාරක අමාත්‍යාංශය (තානාපති කාර්යාල හරහා) උනන්දු විය යුතුය.