IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සංචාරක ඉලක්කය හීනයක්ද?

2025 වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට සංචාරකයන් විසිහය ලක්ෂයක් ගෙන්වා ගැනීමටත්, සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 05ක් උපයා ගැනීමටත් ශ්‍රී ලංකාව ඉලක්ක කර තිබුණි. එසේ වුවද 2025 වසරේ ඔක්තෝබර් මාසය අවසානයේ දී ප්‍රකාශයට පත්කර ඇති සංඛ්‍යාලේඛන අනුව සංචාරක ආදායම පිළිබඳ ඉලක්කය මෙන්ම සංචාරක පැමිණීම පිළිබඳ ඉලක්කය ද සම්පූර්ණ කර ගැනීමට හැකිවේද යන ප්‍රශ්නය පැන නැගී තිබේ.

එයට හේතුව 2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ඇති කරගෙන තිබෙන ප්‍රගතියට අනුව තවත් ඉතිරිව ඇති මාස 02ක කාලය තුළ එම ඉලක්ක සම්පූර්ණ වන බවක් පෙනෙන්නට නොතිබීමයි.

සංචාරක කර්මාන්තය රටේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් සහ විශා‍ල දායකත්වයක් ලබාගත හැකි අංශයකි. ඊට හේතුව රටේ විදේශ විනිමය ඉපයුම් මාර්ග අතර ප්‍රමුඛත්වයක් එම අංශයට ලැබී තිබීමට අමතරව රටේ සේවා නියුක්තිය සම්බන්ධයෙන් ද එය ඉහළ දායකත්වයක් ලබා දී තිබීමයි. දශක කිහිපයක් තුළ අතිවිශාල සංවර්ධනයක් අත්කරගෙන තිබීම හේතුවෙන් සංචාරක කර්මාන්තය රටේ ප්‍රධාන ආර්ථික අංශයක් බවට පත්ව තිබේ. 1960 දශකයේ සිට සංචාරක කර්මාන්තය දියුණුවට පත් වූ අතර 70 දශකයේ දී සංචාරක පැමිණීම ද, ඉන් ලැබෙන ආදායම ද අඛණ්ඩව ඉහළ යන තත්වයක් අත්කරගෙන තිබුණි.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ දේශපාලන, ආර්ථික සහ සමාජයීය අර්බුද ද, ස්වාභාවික ව්‍යසන ද සංචාරක ව්‍යාපාරයේ අඛණ්ඩ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇතිකර තිබේ. 1982 වසරේ ජූලි මාසයේ ඇතිවූ ජාතිවාදී කෝලහලය, 1988/89 වසරවල රට තුළ පැවැති භීෂණය, තිස් අවුරුදු යුද්ධය, සුනාමි ව්‍යසනය, පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් ව්‍යසනය ආදී විවිධ හේතු මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම සඳහා හේතු වූ බව පෙනේ. 2009 දී එල්ටීටීඊ යුද්ධය අවසන් වීමත් සමගම ඒ වනවිට පසුබෑමකට ලක්ව තිබූ සංචාරක ව්‍යාපාරය යළිත් වර්ධනය වීමට පටන් ගත්තේය. 2009 වසරේ දී සංචාරක පැමිණීම 448,000ක් විය. 2018 වසරේ දී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව සටහන් විය. එම වසරේ පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,333,796 කි. සංචාරක ව්‍යාපාරය ආරම්භයේ සිට 2025 වසර දක්වා කාලපරිච්ඡේදය තුළ පැමිණි ඉහළම සංචාරකයන්ගේ සංඛ්‍යාව 2018 වසරේ දී ඒ අයුරින් සටහන් විය.

2018 වසර දක්වා වසර 09ක කාලපරිච්ඡේදය තුළ අඛණ්ඩව අත්කරගෙන තිබූ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනය කඩා වැටීම සඳහා එම වසරේ දී සිදුවූ පාස්කු ප්‍රහාරය ප්‍රධාන හේතුවක් විය. 2019 වසරේ දී සංචාරකයන්ගේ පැමිණීම 1,913,702 දක්වා පහත වැටුණි. ලෝකයේ කොවිඩ් රැල්ල ආරම්භ වීම ද මෙම කඩා වැටීම තවදුරටත් වර්ධනය වීමට හේතු විය. 2020 දී සංචාරකයන්ගේ පැමිණීම 507,704 දක්වා පහත වැටුණි. 2021 දී එය 194,495ක් විය. 2009 වසරින් පසු වාර්තා වූ අවම සංචාරක පැමිණීම එම වසරේ දී සටහන් විය. කොවිඩ් වසංගතය සමග දේශීය සහ විදේශීය වශයෙන් පනවා තිබු සංචරණ සීමා මැද්දේ වුවද 2022 වසර වනවිට සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් ඇතිව තිබුණි. එම වසරේ මුළු සංචාරක පැමිණීම 719,978 දක්වා ඉහළ ගියේය. එය කැපී පෙනෙන තත්වයක් ලෙස හැඳින්විය හැක්කේ සංචරණ සීමා, ඉන්ධන හිඟය, ගෑස් හිඟය, විදුලි කප්පාදුව, අරගලය වැනි අවහිරතා පැවැතිය දී පවා සංචාරකයන් අතිවිශාල සංඛ්‍යාවක්‍ ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙනි.

කොවිඩ් වසංගතය අවසන් වී ආර්ථික අර්බුදය ද තරමක් දුරට පහව ගොස් ගුවන් ගමන් යළි පෙර පැවති තත්වයට පත්වෙද්දී 2023 වර්ෂයේ දී සංචාරක පැමිණීම පෙර වසර හා සැසඳීමේදී දෙගුණයකින් ඉහළ ගියේය. 2023 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,887,303 ක් විය. 2024 වසරේ සැප්තැම්බර් 21 දා දින ජනාධිපතිවරණය ද, නොවැම්බර් මස 14 දා මහ මැතිවරණය ද පැවැත්වුණි. එසේ වුවද එම වසරේ මුළු සංචාරක පැමිණීම 20,53,465 දක්වා ඉහළ ගියේය. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය විශාල පසුබෑමකට ලක් විය. නැවත ආර්ථිකය ගොඩනැගීමේදී ප්‍රමුඛතාවක් ලැබිය යුතු අංශයක් ලෙස සලකන ලද්දේ සංචාරක ව්‍යාපාරයයි. එයට හේතුව විශාල අරමුදල් ප්‍රමාණයක් යෙදවීමකින් තොරව ක්ෂණිකව යථා තත්වයට පත්කර ගත හැකි ආර්ථික අංශය ලෙස සංචාරක ව්‍යාපාරය සැලකූ බැවිනි.

ඒ වනවිට ප්‍රමාණවත් තරම් හෝටල් සහ නේවාසික පහසුකම් ගොඩනැගී තිබුණු බැවින් අවශ්‍ය වූයේ පවතින පහසුකම් යළි යථාවත් කිරීම පමණි. රජය මෙන්ම සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් ද ඒ සඳහා සූදානම් වූ අතර 2021 දී 194,495 දක්වා පහත වැටුණු සංචාරකයන්ගේ පැමිණීම ඉන් වසර තුනකට පසු 2024 දී 2,053,465 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි විය. එවැනි තත්වයක් තුළ නව රජය විසින් 2025 වසර සඳහා වූ සංචාරක ඉලක්ක සකස් කරන ලද්දේ මේ දක්වා වාර්තාගත වූ ඉහළම සංචාරක පැමිණීම සහ ඉහළ ආදායම් මට්ටම ඉක්මවන ආකාරයේ වර්ධනයක් අත්කර ගැනීමේ අපේක්ෂාව මතය. කෙසේ වුවද 2025 වසරේ ඔක්තෝබර් මාසය වනවිට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,890,687 ක් විය. නොවැම්බර් මස 17 වැනි දින වනවිට සංචාරකයන් 2,000,000ක් පැමිණි අතර එම සංඛ්‍යාව සම්පූර්ණ වීමට අදාළ සංචාරකයා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එදින සිට මේ වසර සම්පූර්ණ වීම සඳහා තවත් ඇත්තේ දින 44ක් පමණි. එම කාලය තුළ අපේක්ෂිත ඉලක්කය සම්පූර්ණ වීමට නම් තවත් සංචාරකයන් 600,000ක් මෙරටට පැමිණිය යුතුය. මේ වසරේ මාසික සංචාරක පැමිණීම් ප්‍රමාණය සලකා බලන විට එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නොහැකි බව පෙනී යයි.

2025 වසරේ සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 05ක් වේ. 2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් කාලය තුළ ලබාගෙන ඇති මුළු සංචාරක ආදායම ඩොලර් බිලියන 2.65ක් වේ. අපේක්ෂිත ආදායම් ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නම් නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුළ ඩොලර් බිලියන 2.35ක් ඉපයිය යුතුව තිබේ. එසේ වුවද පසුගිය මාස 10 තුළ මාසික සාමාන්‍ය ආදායම ඩොලර් මිලියන 265.9ක්ව පවතිද්දී මෙම මාස 02 තුළ ඩොලර් බිලියන 1.17 බැගින් එක් මාසයක් තුළ ආදායම ඉපයීමට කිසිසේත්ම නොහැකි බව පැහැදිලි වනු ඇත. ඉලක්ක සම්පූර්ණ කර ගැනීම කෙසේ වෙතත් අඩුම තරමින් 2018 වසරේ පැවති තත්වයට හෝ ළඟාවීමේ හැකියාවක් නැති බව පෙනේ.

ඉහළ බදු අනුපාත නියම කර, වක්‍ර හා ඍජු බදු ලෙස ඒවා අයකර ගැනීම මගින් ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබේ. එසේ වුවද ආර්ථිකයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට නම් රටේ නිෂ්පාදන හා සේවා අංශවල කාර්යක්ෂමතාව ඉහළ නංවා අවම මට්ටමින් හෝ ඒවා 2018 වසරේ පැවති මට්ටමට හෝ ළඟා කර ගත යුතුව ඇත. මෙය ඉතා පහසුවෙන් පෙර පැවති තත්වයට පත්කර ගත හැකි කර්මාන්තයක් වන නමුදු රජයට අඩුම තරමින් එහි නියමිත ඉලක්ක හෝ සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇත. පළපුරුද්ද හෝ අත්දැකීම් හෝ ව්‍යවසායක දැනුමක් ඇති පුද්ගලයන් ආර්ථික අංශ මෙහෙයවීමට යොදා නොගැනීම නිසාත්, නිසි පරිදි එම අංශ අධීක්ෂණය නොකිරීම නිසාත් මේ ආකාරයේ කනගාටුදායක ප්‍රතිඵල ලබා ගැනීමට සිදුව ඇත.

(***)

 



අදහස් (0)

සංචාරක ඉලක්කය හීනයක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site