අද අප භාවිත කරන්නේ කවර සිංහලයක්ද යන්න අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍යතාවක් නැත. මෙකල ලිවීම හා කතා කිරීම යන ද්විභාවිතයේදීම උපයෝගී කොට ගැනෙන සිංහලය ඔබ ව්‍යවහාරයෙන්ම පසක් කොටගෙන ඇති හෙයිනි.

මේ සිංහල පාඨය කියවනු මැනවි.

‘‘හෙළ බස තරම් පින්වත් බසක් තවත් ඇත්ද යනු පිළිතුරු පතන පැනයෙකි. එහි පැරැණි බව සලකන කලැ අතරක් නැති වැ එය දිගට හරහට පත් විපත් පමණ මනනා කලැ මෙතෙක් පැවැත්ම යැ අසිරිය! එහෙත් පරසතුරන්ගේ මෙතෙක් සිය සතුරන්ගේ රුදුරු උවදුරු ගොදුරු වෙමින් එසා කලක් රැකුණේ කවර බසද? ඒ අතින් බලත් හෙළ බස් පින් බල බලවත් මැයැ. ඒ පින් බෙලෙන් දෝ අවදියෙන් අවදියැ එය රක්නා නිසා මැ පැරුම් පුරා ගෙනැ එන සැටියෙන් පිළිවෙළින් පහළ වූ වියත්හු පෙනෙත් මැයැ.’’
මේ ගද්‍යපාඨයෙහි එකද සංස්කෘත පාලි වචනයක් දක්නට නැත. තනිකරම ඇත්තේ සිංහල වචන පමණය. ඒ නිසා එය හැඳින්විය යුත්තේ ශුද්ධ සිංහල පාඨයක් වශයෙනි. අපගේ පැරණි ගද්‍ය පද්‍ය දෙකම මුලදී ලියැවී ඇත්තේ මෙවැනි ශුද්ධ සිංහලයකිනි. සංස්කෘතය, පාලිය අමිශ්‍ර වූ සිංහලයකිනි. කාලයාගේ ඇවෑමෙන් ශුද්ධ සිංහලයට අමිශ්‍ර සිංහලයට සංස්කෘතයේ සහ පාලියේ වචන මිශ්‍රව ගියේය. ඒ අනුව මිශ්‍ර සිංහලයක් අපේ ලිවීමේදී මෙන්ම කතාවේදී ද භාවිතයට පැමිණියේය.

එක් එක් යුගයේදී ලියැවුණු ඇතැම් පැරණි ග්‍රන්ථයක ශුද්ධ සිංහල භාෂා රීතියෙන් රචිත ලේඛන දක්නට ලැබුණද, බහු භාවිතයට පත්ව ඇත්තේ සංස්කෘත, පාලි වැළඳ ගත් මිශ්‍ර සිංහලය මැයි. එය අද ද එසේ මැයි. මෙකල එහි ශීඝ්‍ර ව්‍යාප්තියට වඩාත් පිටුබල වූයේ පුවත්පත් මාධ්‍යය යැයි සිතමි. එහෙත් මෙම භාෂා සම්මිශ්‍රණයේදී එක් විශේෂ කරුණක් ඉස්මතුව පෙනේ. එය මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට අපේක්‍ෂාවක් නැතද අවධානයට යොමු කිරීම අවස්ථෝචිත යැයි හඟිමි.

ඉහත සඳහන් පරිදි සිංහලය සංස්කෘතයේ හා පාලියේ බලපෑම නිසා අමිශ්‍රත්වයෙන් මිශ්‍රත්වයට ගියද එම විශේෂ විපර්යාසයට යට වූයේ අපගේ ගද්‍ය සිංහලය මිස පද්‍ය සිංහලය නොවේ. පැරණි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ මෙන්ම සීගිරි ගීද විමර්ශනයට භාජන කිරීමෙන් මේ ස්වතන්ත්‍ර ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කොට ගත හැකිය. මේ ස්වාධීන සම්ප්‍රදාය වර්තමානය තෙක්ම පැමිණ ඇති බවට අද ලියැවෙන කවි සින්දු ද ප්‍රත්‍යක්ෂ සාක්ෂි සපයයි. එහෙත් මෙකල ලියැවෙන ශාස්ත්‍රීය පොත්පත්වල හා නවකතා, කෙටි කතා වැනි ප්‍රබන්ධවල දක්නා ලැබෙන ගද්‍ය සිංහලය ගැන එසේ පැවසිය නොහැකිය. ඒවා නිරන්තරයෙන්ම ලියැවෙන්නේ මිශ්‍ර සිංහලයෙනි. දැන් ඒ සිංහලයට ආදී යුගයේ මෙන් සංස්කෘත, පාලි භාෂාවල පමණක් නොව දෙමළ හා බටහිරට අයත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි භාෂාවලද වචන කෝෂය සම්මිශ්‍රණය වී ඇත. එහෙත් ඒ ශබ්ද අපගේ සිංහලයේ වේෂය ගෙන දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට යෑම නිසා සිංහලයම බවට පත්ව ඇති හෙයින් ඒ මුල් භාෂා උරුමය නියත ලෙස හඳුනාගත හැකි අනන්‍යලක්ෂණ බින්දු මාත්‍රයකුදු ප්‍රකට නොකරයි. මෙම භාෂා විපර්යාසයේ අවසන් ඵලය කුමක්ද? සිංහල මහ ජනයාද තම කතාවේදී භාවිතයට ගන්නේ ඉහත පැහැදිලි කළ අයුරින් බහු භාෂා මිශ්‍රිතව ගිය සිංහලයකි.

ශුද්ධ සිංහලයක් අපට උරුමව තිබෙන විට සිංහල හෝඩියද ශුද්ධ විය. හෝඩිය මිශ්‍රව ගියේ පිටින් අපේ භාෂාවට අලුත් භාෂා එක්වීමෙනි. සිංහල හෝඩියට පළමුවෙන්ම මහ ප්‍රාණ ශබ්ද එක් කළේ සංස්කෘත, පාලි භාෂා යුගලයයි. අද සිංහල අකුරක් හැටියට නිරන්තරයේ භාවිතයට ගන්නා ‘‘ෆ’’ අක්ෂරය අපේ හෝඩියට එක් කිරීමට බලපෑවේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන බටහිර භාෂාවලට අයත් වචන කෝෂයයි.


(***)