මාතෘකාව දුටු සැණින් කලබල නොවී සාවධාන වන්න. මේ ලිපියේ මුඛ්‍ය අරමුණ වරාය නගරය හෝ ඒ පනත ගැන විචාරය කිරීම නොවේ. එහෙත් එම සිද්ධිය මුල් කරගෙන ලංකාවේ රාජ්‍ය පාලනයේ මිථ්‍යාවක් ගැන විමසීමක යෙදීම මෙහි අරමුණය. මේ ලිපිය ලිවීමේ දී මා සිත තදින් ම වැළඳගත් ගීතයක් සිහියට නැගේ. ඒ දීපාල් සිල්වා මහතා ගැයූ ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ’ ගීතය ය. මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ එම ගීතය ඇසීමෙන් නො නැවත මනසින් පරිකල්පනයකට ලක් කරමු යන්න ය. මන්ද, පාලකයන් සහ වෙළෙන්දන් දෙන ලද ආකෘති ඔස්සේ නොව තම පරිකල්පනයෙන් දේවල් වටහා ගැනීම වඩාත් වැදගත් නිසා ය.

ලංකාවේ රාජ්‍ය පාලනය ජාතික සීමාවකට කොටුවීම ආරම්භ වන්නේ 1975-77 අතර කාලයේ ය. එය පිම්මේ දුවන්නට පටන් ගන්නේ 1977 න් පසුවය. ඒ ප්‍රකාශය පැහැදිලි කරගනිමු. ගෝලීය හෝ ජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැදගත් චරිතයක් වූයේ 1975 ට පෙරය. ජෝන් කොතලාවල මහතාගේ බැන් ඩුන් ප්‍රකාශය, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජපන් සාම ප්‍රකාශය සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මූලිකත්වය දුන් නොබැඳි ව්‍යාපාරය, සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම සහ ඇය ඉන්දු-චීන ගැටුමේ සාම දූතිකාව ලෙස කටයුතු කිරීම සහ රටක් ලෙස පවත්වාගෙන ගිය ඍජු විදේශ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ලෝක දේශපාලනයේ වැදගත් භූමිකාවක් සහිත කාගේත් අවධානයට ලක්වූ, පිළිගැනීමට ලක්වූ ජාත්‍යන්තර සාමාජිකයෙක් විය. එම කාලයේ ශ්‍රී ලංකාව යනු හුදු ඒ රට තුළම බල පොරයක සිටි චණ්ඩින්ගෙන් පිරුණු රටක් නොව ජාත්‍යන්තර දේශපාලනය ගැන විමසිල්ලෙන් පසුවෙමින් ඒවායේ අවාසි අවම කරමින් අභියෝග කළමනාකරණය කරමින් රාජ්‍ය ගොඩනැගීම පිළිබඳව වෑයමක යෙදුනු පිරිසකගෙන් සමන්විත රටක් ය.

එවැනි රටක් ගෝලීය සිතියමේ හුදු නැවතුම් පොළක් සහ සති පොළක් බවට පත්වූයේ 1977 න් පසුවය. ඉන් පසු එය ගෝලීය දේශපාලනයේත් ගෝලීය වෙළඳාමේත් අවධානයට ලක්වන්නේ ගෝලීය පද්ධතියේ වැදගත් සාමාජිකයකු වශයෙන් නොව ඕනෑම පාර්ශ්වයකට පාවිච්චි කළ හැකි භූමියක්, සතිපොළක්, නැව් තොටක් සහ මුහුදු සීමාවක් ලෙස ය. ගෝලීය පෞරුෂයක් නැති රටක ඉරණම එය ය. එසේම වෙළඳපොළ ක්‍රමය මිස රට ගොඩගත හැකි වෙනත් ක්‍රමයක් ඇත්තේම නැතැයි කියා සිතන සහ ක්‍රියාකරන පාර්ලිමේන්තුවකින් මෙන්ම  වෙළෙඳපොළ සඳහා වහලුන් නිෂ්පාදනය කරන සහ හීලෑ කරන සහතික පත්‍රධාරී මහාචාර්යවරුන්ගෙන් / වරියන්ගෙන්, විද්වතුන්ගෙන් සහ උගතුන්ගෙන් මේ රට පිරෙන්නට පටන් ගත්තේ 77 න් පසුවය.

දැන් අපි මාතෘකාවට යමු. ඉංග්‍රීසි භාෂාවේ Port සහ Harbor යනුවෙන් වචන දෙකක් වේ. Port යන්නට නැව්තොට යන්න භාවිතා කළ හැකිවන අතර Harbor යන්න සඳහා වරාය යැයි කීම සුදුසු යැයි සිතේ. නැව්තොටක් යනු නාවික ගමනාගමනයට සහ භාණ්ඩ-මගී ප්‍රවාහනයට අදාළ විශාල මුහුදු ජල ප්‍රදේශයක් ය. නැව්තොටවල් විසින් සිදුකරනු ලබන මූලික කාර්යය වනුයේ එක් රටක සිට තවත් රටකට වෙළඳ පහසුකම් හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමය. වරායක් යනු නැව් තොටුපොළකට වඩා කුඩා බෝට්ටු නවතා තබන කුඩා මුහුදු ජල කොටසකි. ඒ එසේ වුවත් ලංකාවේ සිංහල ව්‍යවහාරය තුළ ඒ දෙකටම කියන්නේ වරාය කියා ය.

ඒ අනුව බලන කල ශ්‍රී ලංකාව වරාය රාජ්‍යය කි. මේ වන විට නැව්තොටවල් හතකින් ද (ධීවර) වරාය තිහකට ආසන්න සංඛ්‍යාවකින්ද වට වූ රාජ්‍යයක් වරාය රාජ්‍යයක් ලෙස නම් කිරීම නිවැරදි යැයි මට සිතේ. ලංකාව ගෝලීය නාවික සිතියමේ උපායමාර්ගික තැනක පිහිටා තිබෙනවාට අමතරව වරාය හතළිහකට ආසන්න ගණනක් තිබෙන රටක් වීම අප නිසිලෙස ප්‍රයෝජනයට ගෙන නැති බව දීපාල් සිල්වා මහතා තම ගීතයෙන් කියා සිටින්නේ ‘‘රට වටකර සාගරයයි එහි සම්පත් ආකාරයයි පිටින් මාළු රටට ගේනවා ඕයි” යනුවෙන් සදය උපහාසයෙනි. ඇත්තටම රට වටා මුහුදක් සහ මුහුද වටා සාගරයක් තිබුණද පරිභෝජනයට අවශ්‍ය මාළු පිටරටින් ආනයනය කරන අපේ රට  ‘‘කෙරළිනන්නේ පිස්සුවකට වඩා භයානක කෙළිසෙල්ලමක් ය. “රට මැද තනි වෙල් යායයි බැලුවම හරි සිරියාවයි නැවෙන් ගෙනත් හාල් බානවා ඕයි” ඒ දීපාල් සිල්වා මහතාගේ ගීයේ ඊ ළඟ පද පෙළය. මේ සියල්ල නොතකා නිසිලෙස කළමනාකරණය කරන්නට බැරිවුණ තීරකයන් සහ පාලකයන් ඊ ළඟ වැඩෙන් නම් රට ගොඩගත හැකි බව කී ගමනක් නම් අපට පවසා ඇති දැයි මෙනෙහි කරන්න.

විවෘත ආර්ථිකය, එනම් රටේ ආර්ථිකය විවෘත කළවිට, මහවැලිය කඩිනම් කළ විට, ජල විදුලි බලාගාර වැඩිකළ විට, විශ්වවිද්‍යාල ගණන   සහ ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කළ විට, මගී ප්‍රවාහනය, රෝහල් සහ වෛද්‍ය සේවය පෞද්ගලික අංශයට ද විවෘත කළ විට, අධිවේගී මාර්ග තැනූ විට, වාහන වැඩිවැඩියෙන් ගෙන් වූ විට, වෙළඳපොළ ආරක්ෂා කිරීම සඳහා එහි අකටයුතු සහ හානි වසන් කළ විට යනාදී වශයෙන්, දියුණුවේ නාමයෙන් කොපමණ දේවල් අප ඉදිරියේ තබා ඇති දැයි සිතන්න. ඒ එකකින්වත් පසු මේ රටේ පොදු ජනයාගේ ජීවිත සුඛිත මුදිත වූයේ නැත. අලුත්ම යෝජනාව වරාය නගර ව්‍යාපෘතියෙන් නම් අපට ගොඩ ඒමට හැකිය යන්න ය. එහෙත් මේ ‘අප’ යන්නට මේ රටේ පොදු ජනයා අයිති නැත. මා ගියවර ලිපියේ පැහැදිලි කළේ රාජ්‍යය පිළිබඳ ජනතා විශ්වාසය මුළුමනින්ම බිඳවැටී ඇති බවය. එය එසේ නම් ආණ්ඩු කියන දේවල් ගැන කවර විශ්වාසයක් ද? එසේ විශ්වාස නොකරන්නේ රටේ දියුණුවට යැයි කියා මේ දක්වා ක්‍රියාත්මක කළ කිසිම දෙයකින් අපේක්ෂිත දේ නොව මහා හානි ප්‍රමාණයක් සමාජයට අත්කර දීමට මෙරට තීරකයන් සහ පාලකයන් කටයුතු කර ඇති නිසා ය.

අප ඇසිය යුත්තේ ලංකාවේ එහෙම වෙන්නේ මන්ද කියා ද? ඊට පිළිතුර වන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා සිය ‘‘අයි ඩෝන්ට් නෝ වයි” නම් වූ ඔහුගේ ගීතයෙන් ප්‍රකාශ කරන අයුරින් ‘‘ලංකාවේ එහෙම වෙන්නේ ඇයි, අයි ඩෝන්ට් නෝ වයි” යන්න ද නැත. ඊට කදිම පිළිතුරක් දීපාල් සිල්වා මහතාගේ ගීතයෙන් සොයා ගත හැකිය. එහි දක්වා තිබුණේ ‘‘නිස්සො සුදුස්සෝ යටකොට, පුස්සො වැඩ දෙනව යමරෙට, සෙතක් වෙයිද එහෙම රටකට” යනුවෙනි. දශක ගණනාවක් මේ රට ගෙවා ලබා ඇත්තේ එවැනි අත්දැකීම් ය.

අප ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක්, එනම් අපේ රටේ වර්තමානයේ සිටින සහ වන්නට සිතාගෙන සිටින පාලකයන්ගෙන් සහ තීරකයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ, ඔබ මේ රටට යෝජනා කරන සංවර්ධන ආකෘතිය කුමක් ද? ඒ සඳහා ඔබ සතුව ඇති මාස්ටර් ප්ලෑන් එක මොකද්ද? එවැන්නක් ඇත්නම් එහි එකම උපායමාර්ගය වෙළෙඳාම ද? ඊට පිළිතුර ඔව් නම් කිව යුත්තේ, ගෝලීය ක්‍රමයක් තුළ භූ දේශපාලන උගුල්වල සහ ආර්ථික උගුල්වල නොවැටී ඒ උපායමාර්ගය ඉටුකර ගැනීමට සයුරු කීපයක් කාන්තාර කීපයක් ගිරිශිඛර කීපයක් තරණය කරන්නට වේ දැයි සිතා ඔබ කටයුතු කරන බවක් නම් පෙනෙන්නට නැත කියා ය. රාජ්‍ය තාන්ත්‍රීය, ආර්ථික, වෙළඳ සහ ආරක්ෂක ක්ෂේත්‍රවලට අදාළ ගෝලීය සිතියම්වල ගොදුරක් ම සහ අතකොළුවක් ම වූ, ගෝලීය ප්‍රජාව තුළ වැදගත්, තීරණාත්මක, ගුණාත්මක, ප්‍රශස්ත සහ ආකර්ශනීය භූමිකාවක් නැති අප වැනි රටවල අනාගත ඉරණම එතරම් සුබදායක නැති බව අප සියල්ලෝම දනිති.

එහෙත් එය නොතකා ක්‍රියාකරන අභ්‍යන්තර (දේශපාලන ක්‍රියාවලියක නොව) බල පොරයක නිරත වීම පාලන පුරුද්ද කරගත් රටවලට ඒ ගැන සිතන්නට වුවමනාවක් නැත. දේශපාලනය සහ බලපොරය අතර විශාල වෙනසක් ඇත. දේශපාලනය මානව වර්ගයාගේ සහ භූමියේ යහපත උදෙසා වන්නකි. බල පොරය හුදු තමන්ගේ සහ තම කණ්ඩායමේ ස්වාර්ථකාමී අරමුණු ඉටුකර ගැනීම සඳහා වන්නකි. එවැනි සමාජයක දේශපාලනඥයෝ නොසිටිති. සිටින්නෝ බලවාදීහුය. අප කාගේත් වගකීම විය යුත්තේ මේ සමාජය දේශපාලන සමාජයක් කිරීමය. එවිට දේශපාලනය විසින් ගනු ලබන තීරණ හැම විටම පොදු ජන හිතවාදී සහ අනාගතවාදී වනු ඇත. වරාය නගරය පිළිබඳ ගන්නා තීරණ ගත යුත්තේ ගෝලීය ක්‍රමයක් තුළ භූ දේශපාලන උගුල්වල සහ ආර්ථික උගුල්වල නොවැටී ය. එසේ වැටීමට බොහෝ ඉඩකඩ ඇත්තේ 1977 න් පසු අපේ රට ගෝලීය සිතියමේ උපායමාර්ගික සහ ක්‍රියාකාරී සාමාජිකයකු නොවී සිටින නිසාය. එබැවින් අප ගත යුත්තේබාහිර පාර්ශ්ව උපායමාර්ගිකව කළමනාකරණය කරන ජාතික තීරණයක් මිස බල-පාර්ශ්වීය තීරණයක් නොවේය යන්න මෙවර මගේ කිවි දා දැක්මය’.


(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක