ලංකා විදුලි බල මණ්ඩලයේ දුෂණ වංචා හා නාස්තිය පිළිබඳව බලා සිටි කාලය දැන් හොඳටම ප‍්‍රමාණවත්ය. ඇස්, කන් පියාගෙන බලා සිටි කාලය දැන් හොඳටම ප‍්‍රමාණවත්ය. මේ රටේ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන දෙකවූ ලංකා විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගැන බලධාරීන් මේතරමට නොසැලකිලිමත් ලෙසින් හා වගකීම් විරහිතව බලා සිටින්නේ කුමක් නිසාදැයි යන්න බලවත් සැකයකි.

වික්ටෝරියා ජලාශය පිටාර යන තත්ත්වයට පත්වුවත්, බොහොමයක් බලාගාර මුළුමනින්ම පාහේ ජලයෙන් පිරී ඇත. එහෙත් බලාගාරයක යන්ත‍්‍ර ක‍්‍රියාවිරහිතවී ඇත. තවත් එකක් අලූත්වැඩියා කටයුතු සඳහා ඒවා වසා දමා ඇත. ”වාසනාවට පයින් ගහනවා.” අපේ ගම්බද ජනතාව කරන ප‍්‍රකාශයක් මෙහිදී සඳහන් කළයුතුය. වැසි ජලය අපූරුවට පවතින අවස්ථාවේ විදුලිය නිෂ්පාදනය කර ඉන්ධන සඳහා වැය වන අතිවිශාල මුදල අඩුකර ගැනීමට ඇති අවස්ථාව මණ්ඩලය අහිමි කරගෙන ඇත.

මේවනවිට ප‍්‍රධාන ජලාශ‍්‍රවල ජල මට්ටම බෙහෙවින් ඉහළ ගොස් ඇත. මෑතකදී ජලාශ‍්‍ර මුළුමනින්ම පිරීගිය අවස්ථාවකි. ගිගාර් වොට් 1200 ක ජල විදුලියක් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති අවස්ථාවකි.

විදුලි නිෂ්පාදන යන්ත‍්‍රාගාර 3 ක් අක‍්‍රියවීම පිළිබඳව විවිධ කතාබහ පවතී. ජල විදුලිය නිෂ්පාදනය ලාභදායක එහෙත් ඉන්ධන යෙදීම හෝ පෞද්ගලික අංශ වලින් විදුලිය මිලදී ගැනීමේදී මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ට විශාල වාසි හිමිවන බවට කතාබහ පවතී. කොමිස් මුදල් ලැබෙන බවටද කතා පවතී.
පසුගිය මැයි මාසයේ සිට විදුලිබිල ඉහළ යාමත් සමග ජනතාවට විදුලිය පිළිබඳව දැඩි සැකයක් ඇතිවී තිබේ. මණ්ඩලය මේ තරමටම අලාභ ලබන්නේ ඇයි? අඩුම වශයෙන් ලාභයට පහසුවට විදුලිය නිෂ්පාදනය කර ගත හැකි අවස්ථාවේ ඒ සඳහා කැපවී ක‍්‍රියා නොකරන්නේ මන්ද? යන්න ජනතාවට ප‍්‍රශ්නයකි.
අඩු වශයෙන් විදුලි බිල මාස කීපයකටවත් අඩුකර ගැනීමට හැකි නම් එය ජනතාවට විශාල සහනයකි.

මේ තරම් වැසි වැටෙන කාලයක, විදුලි බලාගාර ආශ‍්‍රිතව ජලය පිරී ඇති කාලයක ජල විදුලිය නිෂ්පාදනය කර ගැනීමට මණ්ඩලය උනන්දු නොවන්නේ ඇයි?
ඒ පිළිබඳව ඉරිදා ලංකාදීපය බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂ අශෝක අබේගුණවර්ධන මහතාගෙන් තොරතුරු විමසීමු.

 


බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂ අශෝක අබේගුණවර්ධන
විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීමට ක‍්‍රම කීපයක් ඇත. ප‍්‍රමුඛතාව ජල විදුලියටය. ජල විදුලිය නිෂ්පාදනය කිරීමට අමතර මුදලක් වැය නොවේ. ඊට අමතරව ගල් අඟුරු හා ඛනිජ තෙල් මගින් විදුලිය නිෂ්පාදනය කෙරේ. විදුලිය ජනනය කිරීමේදී ප‍්‍රථමයෙන් ජලාශ‍්‍රවල ජල  තත්ත්වය හා එම ජල ප‍්‍රමාණ වලින් විදුලිය නිෂ්පාදනය කළ හැකි ප‍්‍රමාණය ගණනය කිරීම සිදුවෙයි.

ජලාශ‍්‍රවල ජලය තිබූ පමණින්ම ඒ ගණනය කිරීම කළ නොහැකිය. අනාගතය දෙසද සලකා බැලීම සිදුවෙයි. පිටාර ගලන ජලය හැම බින්දුවකටම මූල්‍යමය වශයෙන් වටිනාකමක් ඇත. වැස්සට පෙර ජලාශ‍්‍ර වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමත්, වැස්ස කාලයට පිටාර ගැලීම වළක්වා ප‍්‍රයෝජනය ගැනීමත් සාමාන්‍යයෙන් අනුගමනය කරන ක‍්‍රමය වෙයි.

බලාගාරයක නිශ්චිත නඩත්තුවක් තිබීමද වැදගත්ය. එවිට යන්ත‍්‍ර හරියාකාරව ක‍්‍රියාත්මක වෙයි. මේවනවිට ජලාශ‍්‍ර සියල්ලම පිරී පවතී. කුකුළේ ගඟ මෙ.වො. 75 ක විදුලි ජනන බලාගාරය මේ වනවිට නතර කර ඇති බව දැනගන්නට ඇත. වික්ටෝරියා මෙ.වො. 210 ක් නිපදවෙන බලාගාර තුනකින් මෙ.වො. 70 ක නිෂ්පාදනය අත්හිටුවා ඇත. වික්ටෝරියා ජල විදුලි බලාගාරයේ ටර්බයින් යන්ත‍්‍ර තුනෙන් එකක් මෙ.වො. 70 ක් නිෂ්පාදනය අත්හිටුවා ඇත. නිෂ්පාදනය අත්හිටුවා ඇතත් ජලය පිටාරයාම සිදුවෙයි.

වික්ටෝරියා ජලාශ‍්‍රයේ මේ තත්ත්වයෙන් දිනකට රුපියල් දශ ලක්ෂ 40 ක පමණ පාඩුවක් සිදුවේ. කුකුළේ ගඟ ව්‍යාපෘතියෙන්ද රුපියල් දශ ලක්ෂ 40 ක පමණ පාඩුවක් සිදුවේ. පැය 24 ක් වසා තැබීමෙන් හා ජලය පිටාරයාමෙන් සිදුවන පාඩුව එයයි. ජලය පිරී පවතින විට ජලාගාරයේ බැම්ම ආරක්ෂාවට ජලය පිටාර යෑම සිදුවෙයි.

බලාගාරය මගින් ජලය ඉවත් කිරීමේදී විදුලිය නිෂ්පාදනය වෙයි. බලාගාරය වසා තැබීමෙන් සිදුවන්නේ ඉතා වටිනා ජල ප‍්‍රමාණයක් අපතේ යාමයි.
විදුලි ඉල්ලූම වැඩිම අවස්ථාවල තෙල් වලින් විදුලිය නිෂ්පාදනය සිදුවෙයි. ඒ අවස්ථාවල ජල විදුලිය ප‍්‍රමාණවත් නොවන බැවින් ඉන්ධන යොදා විදුලිය නිපදවීමටද සිදුවෙයි. එවිට පාඩුව ඉහළයයි. නව ලක්ෂපාන බලාගාරයද වරක් අත්හිටුවා තිබූ අතර ඒ මොහොතේ මෙ.වො. 95 ක් නිෂ්පාදනය අත්හිටුවා තිබිණි. ජලය අපතේ යාම විදුලිබල මණ්ඩලයට බරපතළ පාඩුවක් වන අතර එහි සැබෑ පාඩුව විඳින්නට සිදුවන්නේ රටේ ජනතාවටය. අද සිදුවී ඇත්තේත් එයයි.

මේ පිළිබඳව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබුණේ ජූනි මාසයේ වර්ෂාව නොලැබෙන නිසා නඩත්තු කටයුතුවලට වසා ඇති බවයි. තවත් නිලධාරියෙක්ද ඒ ප‍්‍රකාශය කර තිබූ අතර මෙය අහඹු වර්ෂාවක් ලෙස සඳහන් කර තිබිණි.

ජලය වැඩි කාලයට අලූත්වැඩියා කටයුතු කිරීමෙන් නිෂ්පාදනය සඳහා ජලය රඳවාගැනීමට හැකිවන බවටද තවත් බලධාරීන් ප‍්‍රකාශ කර තිබිණි. ජලාශවල ජලය රැඳීම හා වැස්ස පිළිබඳව වසර 40 ක 50 ක දත්ත මණ්ඩලය සතුවේ. ඒ සඳහා වූ තොරතුරු රටාවක් ඇත. ඒ වාර්තා යොදා ගනිමින් රටට වාසිදායක අන්දමට කටයුතු කිරීම විද්‍යාත්මක කරුණකි. ජලය අපතේ යාම රටට විශාල පාඩුවකි. මේ විද්‍යාත්මක සොයා බැලීම කළයුතුව ඇත්තේ බලාගාරවල යන්ත‍්‍ර අලූත්වැඩියාවට යෙදවීම පිළිබඳවයි.

එවැනි ක‍්‍රියාකාරකම් වලින් තොරව විදුලි බල මණ්ඩලය ක‍්‍රියාකිරීමෙන් ඇතිවන සැකය නම් මේ තරම් වැසි ලබද්දී ජල විදුලිය නිෂ්පාදනය නොකිරීම කිසියම් කුමන්ත‍්‍රණකාරී කටයුත්තක්ද යන්නයි. ජල විදුලිය නිෂ්පාදනය අඩාළ කිරීමෙන් පසුවද ඉන්ධන බලාගාර වලින් ඉන්ධන ලබාගනී. එයින් එම බලාගාරවලට අති විශාල මුදලක් ගෙවීමට සිදුවෙයි. එබැවින් විදුලිය නිෂ්පාදන ක‍්‍රියාවලිය විද්‍යාත්මක දැනුම පදනම් කරගෙන වඩා ලාභදායී ක‍්‍රමයකට, ජල විදුලියෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගත හැකි ආකාරයට අධ්‍යයනයක් කළයුතුය. නැතහොත් සිදුවන පාඩුව බිලියන ගණනක් වනු ඇත.

මහවැලිය හා ලක්ෂපාන මෙරටට ජල විදුලිය ලබාදෙන ප‍්‍රධානම බලාගාර දෙක වෙයි. ඉහළ කොත්මලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ යන ජල විදුලිබලාගාර 5 ක් හා ලක්ෂපාන විදුලි බලාගාර දෙකෙන් මෙ.වො. 1200 ක් පමණ නිෂ්පාදනය කරයි. මීට අමතරව සමනළ වැව, කුකුළේ ගඟ මෙ.වො. 75 ක් ඇත. ඒ සියලූ ජල විදුලි නිෂ්පාදන ප‍්‍රමාණය මෙ.වො. 2250 ක් පමණය.

තවත් මෙ.වො. 200 ක් පෞද්ගලික අංශයෙන් ලබාගනී. මේ වසර මුලදී විදුලි බිල වැඩි කළේ මණ්ඩලයේ වියදම වැඩි බව ප‍්‍රකාශ කරමිණි. ජලයෙන් මෙ.වො. පැය 1143 ක නිෂ්පාදනයක් මුල් වසර තුළ ලබා ගැනීමට එදා මණ්ඩලයේ අපේක්ෂාව වී තිබුණා. අද වන විට ලැබී ඇත්තේ මෙ.වො. පැය 2600 කට වැඩි ප‍්‍රමාණයක් දළ වශයෙන් විදුලිය නිෂ්පාදනය කර තිබිණි. මණ්ඩලය ප‍්‍රකාශ කළ ආකාරයට ඉතිරිය ඉන්ධන වලින් ලබා ගැනීමට බලාපොරොත්තු වූවා විය හැකිය.

මණ්ඩලය ප‍්‍රකාශ කළ ආකාරයට ගණනය කිරීමේදී මෙ.වො. පැය 1470 ක් ඉන්ධන පාවිච්චිය නතරවී ඇත. බිලි. 35 ක මුදලක් එයින් ඉතිරිවී ඇත.
බිලියන 256 ක් වියදම් වන බව මණ්ඩලය මුලදී ප‍්‍රකාශ කළේය. එයින් දැනටම බිලියන 35 අවශ්‍යවී නැත. තෙල් වලින් විදුලිය නිපදවීම වෙනුවට ජලයෙන් විදුලිය නිපදවීම එයට හේතුවයි. පළමු මාස 6 තුළම මණ්ඩලයට බිලියන 35 ක වාසියක් හිමිවී ඇත. ගිය වසර 10 දෙස බලන විට වැඩිම ජල විදුලිය ප‍්‍රමාණයක් යොදා ගෙන ඇත්තේ 2010 වර්ෂයේදීය. මේ වසරේ ඊට වඩා වැඩිය. බලාගාරවල ගබඩාකර තිබුණේ සියයට 65 ක පමණ ජල ප‍්‍රමාණයකි. නමුත් අදවන විට සියයට 95 කට අධික ප‍්‍රමාණයක් පොදුවේ ජලය ගබඩා වී ඇත.

ඉතිරි මාස 6 දීත් මණ්ඩලයට මෙයින් විශාල වාසියක් ලැබීමට හේතුවකි. විදුලිබලාගාරවල අලූත්වැඩියා කටයුතු සිදුවන්නේ පායන කාලවලදීය. එවිට ජලය අපතේ යාමක් නොවේ. විශේෂයෙන් විදුලිබල මණ්ඩලය රටේ කාලගුණික තත්ත්වය, විදුලිය වැඩිපුරම අවශ්‍ය අවස්ථාවල විදුලිය නිපදවීම ආදී කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

මෙහිදී විදුලි බල මණ්ඩලයේ අවධානයට යොමුවිය යුතු තවත් විශේෂ කරුණක් ඇත. එනම් මේ දේශගුණික තත්ත්වයයි.

ගෝලීය උණුසුම් තත්ත්වය මත වියළි කාලගුණය වැඩිවන තරමට වර්ෂාවද වැඩිවේ. වර්ෂාව පවතින කාලයට වාන් දොරටු විවෘත කිරීමට සිදුවන තරමට ජලය වැඩිවෙයි. ඒ තත්ත්වයට ගැළපෙන පරිදි විදුලිබල  මණ්ඩලය තම සැලසුම් සකස් කර ගතයුතුය. අනාගතයට මං සැලසීම  මේ පළමු අවස්ථාව නොවනු ඇත.
විද්‍යාත්මක ඇගයීමකින් ජලාශ‍්‍රවලට ජලය ලැබීම හා අනාගතයට විදුලි නිෂ්පාදනය අපතේ යාමට වැළැක්වීමට පියවර ගත යුතුය.

 


ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නන්දික පතිරගේ
විදුලි ජනන යන්ත‍්‍ර 3 ක් සම්බන්ධයෙන් මේ ප‍්‍රශ්න මතුවී තිබෙනවා. යන්ත‍්‍ර දෙකක් කුකුළේගම විදුලිබලාගාරයේ, අනික වික්ටෝරියා විදුලි බලාගාරයේ, විවිධ චෝදනා, පරිභව කිරීම්, අපහාස කිරීම් වලට පෙර සත්‍ය තත්ත්වය පිළිබඳව දැනුවත්වීම ඉතා වැදගත් කරුණකි. සත්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයකින් තොරව මඩ ගැසීමට හෝ ජනප‍්‍රියවීමට කරුණු දැක්වීම ගැන කනගාටුවිය යුතුව ඇත.විදුලි නිෂ්පාදනය බලාගාර දෙකක ඇණහිටීමේ ගැටලූවට හේතුවූ කරුණු මෙසේය.

පසුගිය 8 වැනිදා පැවැති තද සුළි සුළං තත්ත්වය නිසා මතුගම, පන්නිපිටිය මාර්ගයේ වොට් 130,000 ක අධිවෝල්ටීය විදුලි බල සැපයුම් මාර්ගයට ගසක් කඩා වැටීමෙන් විශාල අලාභ හානි සිදුවිය. විශාලම අලාභය සිදුවූයේ කුකුළේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත‍්‍රයටයි. මෙම යන්ත‍්‍රාගාරයේ යන්ත‍්‍රය ඇතුළත බරපතළ ලෙසින් හානිවී තිබුණා. අනිත් යන්ත‍්‍රය සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වුණා.

හානිවූ යන්ත‍්‍රය ජපානයේ  ඕ.එම්.ඊ. ආයතනය මගින් පරීක්ෂා කර බැලූ අතර එහිදී හානිය බරපතල බවත් අලූත්වැඩියාවට තවත් වසරක පමණ කාලයක් ගතවන බවත් ප‍්‍රකාශ කළා. ක‍්‍රියාත්මක වෙමින් තිබූ යන්ත‍්‍රයද පරික්ෂා කර බලා ඇති අතර එහිදී අනාවරණය වූයේ එයටද හානි සිදුවී ඇති නිසා එයද අලූත්වැඩියා කළයුතු බවයි. ඒ සඳහා සති 5 ක පමණ කාලයක් ගතවනු ඇත. අනෙක් විදුලි ජනන ප‍්‍රශ්නය වික්ටෝරියා පිළිබඳවය. ලංකා විදුලිබල මණ්ඩලය සතුව බලාගාර 13 ක් පවතින අතර ඒවායේ කැරකෙන යන්ත‍්‍ර 32 කි. මේ යන්ත‍්‍ර අනිවාර්යයෙන්ම මාසිකව අලූත්වැඩියා කළ යුතුව ඇත.

සාමාන්‍ය ක‍්‍රමය මෙය වුවත් වික්ටෝරියා විදුලිබලාගාර යන්ත‍්‍රය වසර 4 කින් අලූත්වැඩියා කර නොතිබිණි. අලූත්වැඩියාවට සූදානම් වන සෑම අවස්ථාවකම කුමක් හෝ හේතුවක් මත එය පැහැර හැරීමට සිදුවී තිබිණි.

විදුලි බල මණ්ඩලයේ අත්දැකීම් මත ජූනි මාසයේ වර්ෂාව ලැබී නැත. එම නිගමනයට අනුව ජූනි මස 5 වැනිදා අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි.

ප‍්‍රධාන ජලාශ‍්‍රවල ජල ධාරිතාව (19-06-2013 වන විට)
කාසල්රේ     -   සියයට 100
මාවුස්සාකැලේ -     සියයට 99.9
කොත්මලේ    - සියයට 100
වික්ටෝරියා - සියයට 99.3
රන්දෙණිගල - සියයට 94.2
සමනළ වැව - සියයට 65

විදුලි ජනන යන්ත‍්‍ර අනෙකුත් සියල්ල ක‍්‍රියාත්මක වෙමින් පවතී. නිෂ්පාදන අඩාළ වූ විදුලි ජනන යන්ත‍්‍ර 3 න් දෙකක්, දේශගුණික තත්ත්වය මත වූ අලාභයකි. එය කිසිවකුට නතර කළ නොහැක්කකි. අනික් විදුලි ජනන යන්ත‍්‍රය අළුත්වැඩියාව කල් ඇතිව තීරණය කර තිබූ එකකි.

තවත් කරුණක් වී ඇත්තේ මේ දිනවල පවත්නා සීතල දේශගුණික තත්ත්වයන් සමග විදුලි ඉල්ලූමේ අඩුවක් පැවතීමයි. සාමාන්‍යයෙන් මෙ.වො. 1200 ක ඉල්ලූමක් පැවතුනත් දැන් පවතින්නේ මෙ.වො. 800 ක පමණ ඉල්ලූමකි. වැඩි නිෂ්පාදනය බෙදාදීමට කෙනෙක් නැත.

ජල විදුලි නිෂ්පාදන ප‍්‍රමාණය, මේ වන විට සියයට 45 සිට 72 දක්වා ඉහළ ගොස් ඇත. ඉතිරිය ලබාගන්නේ නොරොච්චෝල විදුලි බලාගාරයෙනි. ඉන්ධන සඳහා කිසිදු මුදලක් වැය කර නැත. පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමට එක සතයක මුදලක් වැය කර නැත.

ඉන්ධන සඳහා මුදල් වැය කරන බවට කරන ප‍්‍රකාශ හිතලූවක් පමණි. එය කතා කරන අයට වැරදිකරුවන් පිළිබඳව  ඕනෑම ක‍්‍රියාමාර්ගයක් ගත හැකිව ඇත.
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු 800 ක පමණ පිරිසක් සිටිති. එයින් එක් අයෙක් හෝ වැරදි නම් වහාම පියවර ගන්න. ඔහු ආරක්ෂා කිරීමට අප ඉදිරිපත් වන්නේ නැත. නමුත් නිකරුනේ මේ කරන අවලාද නිසා විදුලි ඉංජිනේරුවරු දැඩි කළකිරීමට පත්වී සිටිති. මේ චෝදනා කරන අය වචන ගොඩක එල්ලී සිටිනවා විනා, සත්‍ය පිළිබඳව අවබෝධයක් නොමැත. අසත්‍ය ප‍්‍රකාශ කරන තරමට ඒවා නිවැරදි කිරීමට ඉංජිනේරුවරුන්ට වෙලාවක්ද නැත. ඉංජිනේරුවරු මේ රටේ උගත් පිරිසකි. මේ රටේ ජනතාවගේ මුදලින් ඉගෙන ගත් පිරිසකි. අපහාස, චෝදනා එල්ල වනවිට ඒවා නිවැරදි කිරීම වෙනුවට ඔවුන් කරනු ලබන්නේ නිහඬව සිය රාජකාරිය කිරීමය. ඒ මහතා පැවසීය.

 


ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතා දරන මතය මෙබඳුය.
සියලූ ජලාශ‍්‍ර මේ වන විට සියයට 95 ක්ම ජලයෙන් පිරිලා. නිරිත දිග මෝසම් සුළං මාස 1 1/2 ක පමණ කාලයක් තිස්සේ සක‍්‍රිය වීම මේ තත්ත්වයට හේතුවක්. නමුත් වික්ටෝරියා ජලාශ‍්‍රයේ මෙ.වො. 70 ක ටර්බයිනයක් නඩත්තු කටයුතු සඳහා වසා දමා තිබෙනවා. කුකුළේගඟ විදුලිබලාගාරයෙන් මෙගාවොට් 75 ක ප‍්‍රමාණයක් විදුලිය අහිමිවී තිබෙනවා. මේ විදුලිබලාගාරය ක‍්‍රියාත්මක නොවීම නිසා මෙ.වො. 195 ක විදුලිය නිෂ්පාදනයක් අහිමිවී තිබෙනවා. මුදල් වශයෙන් රුපියල් මිලියන 110 ක අහිමිවීමක්.

මේ විදුලිය ඒකකයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නේ නම් රුපියල් 30.00 ක මුදලක් වැය කළ යුතු වෙයි. මේ වසර මුලදී විදුලි ගාස්තු වැඩි කළේ මණ්ඩලය පාඩු ලබන බව සඳහන් කරමින්. නමුත් හොඳ කළමනාකරණයක් තිබුණා නම් මණ්ඩලයේ වියදම අඩුකර ගැනීමට අවස්ථාව තිබුණා.
මණ්ඩලයේ පාඩුව නොසැලකිල්ල දැරීමට සිදුවී ඇත්තේ රටේ ජනතාවට. එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය වඩාත් දුරදක්නා නුවණින්, කළමනාකරණ කටයුතු සැලසුම් කළා නම් අඩු වශයෙන් වැඩි කළ විදුලි බිලටත් සහනයක් ලබාදීමේ අවස්ථාව සැලසෙනු ඇත.

 

 

දයාසීලි ලියනගේ