IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වසර 07කට පෙර දැයෙන් සමුගත් බෙල්ලන්විල මහා යතිවරයාණෝ

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ අනු නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති හා කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වශයෙන් කටයුතු කළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් අපවත් වී අදට වසර 07ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1942 අප්‍රේල් මස 14 වැනිදා ජන්ම ලාභය ලද මෙම පිංවත් කුලකුමරුවාණන්ගේ ගිහි කළ නම වූයේ ඕමන්තගේ ගිල්බට් පෙරේරාය. නිකපේ ශ්‍රී විජයරාජ පාසල, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය හා වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ එම කුලකුමරුවා වයස අවු. 13දී එනම් 1956 පෙබරවාරි 28 වැනිදා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ස්වර්ණමය යුගයේ නිර්මාතෘ ලෙස සලකන  බෙල්ලන්විල සෝමරතන ලොකු හාමුදුරුවන් වෙතින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

1967 කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ 1972 විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගත් අතර, 1980 එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගන්නට සමත්වූහ.

පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සිය ගුරු ජීවිතය ඇරඹූ උන්වහන්සේ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ දැරූ පරිවේනාධිපති තනතුරෙන් ඉවත්වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස පූර්ණකාලීනව සිය සේවාව ලබාදුන්හ.

2000 වර්ෂයේදී උන්වහන්සේට විශ්වවිද්‍යාලයක් තුළින් ලැබිය හැකි ඉහළම තනතුර වන සම්මානනීය කුලපති පදවියෙන් පිදුම් ලැබීම උන්වහන්සේටත්, එම තනතුරටත් කරන ලද ගෞරවයක් ලෙස හඳුන්වා දිය හැකිය.

උන්වහන්සේ තම ජීවිත කාලය තුළ ධර්ම ගවේශන ග්‍රන්ථ රාශියක් රචනා කර ඇත.

ඒ අතර බුදුවරු සහ බෝසත්වරු, බුද්ධාගම හඳුනා ගැනීම, බුදු පිළිමය, මුද්‍රා සහ ආසන, බුද්ධ ප්‍රතිමා කලාව සහ බුදු පිළිමයේ විකාශය, බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය, බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ, අංගුත්තර නිකායේ සිංහල අනුවාදය, ප්‍රඥා පාරමිතා සාහිත්‍යය, බුදු දහම සාහිත්‍ය සහ කලාව, නොසැලෙන මනස, බෞද්ධ මහා පුරුෂ සංකල්පය, මිනිසාගේ ආගම් ඒ අතර ප්‍රධාන වේ.

කිසිවිටෙකත් පදවි තානාන්තර පසුපස හඹා නොගිය උන්වහන්සේ, ජාතික, ආගමික, ශාසනික පුනරුදය සඳහා සිය මතය අභීතව ප්‍රකාශ කළ භික්ෂුන් වහන්සේ නමක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

විමලරතන ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල ආරම්භ කරන ලද්දේ දරුවන්ට අධ්‍යාපනය පමණක් නොව ඔවුන්ට විනය හා ගුණගරුක බව ලබාදීමේ අරමුණිනි.

සෑම මාස 03කට වරක් කළුබෝවිල හා කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා ප්‍රදේශයේ අසරණ ජනතාවගේ විවිධාකාර වූ රෝගවලට නොමිලයේ බෙහෙත් ලබාදීම සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීමත්, වසරකට වරක් ප්‍රදේශයේ දුප්පත් පවුලක් තෝරා ඔවුනට ඉඩමක් සහිත නව නිවසක් ඉදිකර දීමත්, ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පොත් හා ශිෂ්‍යත්ව ලබාදීමත් උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද ප්‍රජා සත්කාරක සේවාවන් අතර ප්‍රධාන වේ.

බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසු වසර 35කට අධික කාලයක් ඉතාමත් අලංකාරවත් ලෙස පවත්වාගෙන යාමට විමලරතන මිහියන්ට හැකියාව තිබුණ අතර, උන්වහන්සේ තුළ පැවැති විශිෂ්ට සංවිධාන ශක්තිය හා එඩිතර නායකත්ව ගුණාංග එයින් මනාව ප්‍රදර්ශනය කරන ලදී.

උන්වහන්සේගේ 07 වැනි ගුණානුස්මරණ පිංකම වෙනුවෙන් උන්වහන්සේට පිං අනුමෝදන් කිරීම සඳහා පෙබරවාරි 21 වැනිදා සිකුරාදා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ විශ්‍රාමලත්, සම්මානිත, මහාචාර්ය දේවාලේගම මේධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් පවත්වන අතර, පෙබරවාරි මස 22 වන දින මහා සංඝරත්නය විෂයෙහි දහවල් දානය පිරිනමනු ඇත.

ඊට අමතරව පෙබරවාරි 09 වැනිදා  බෙල්ලන්විල ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලාවේදී බෙල්ලන්විල රාජමහා විහාරය හා බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනමේ සංවිධානත්වයෙන් ලේ දන්දීමේ කැඳවුරක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

එපමණක් නොව විහාරස්ථානයේ ඇසල පෙරහැර ආරම්භ කිරීමට ප්‍රථම අපවත් වී වදාල බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් හා විමලරතන අනු නාහිමියන් සමරමින් දිවයිනේ අඩු පහසුකම් සහිත විහාරස්ථානයක්, පිරිවෙනක්, ගම්මානයක් තෝරා ඒවාට අවශ්‍ය සිවුරු පිරිකර, උපකරණ, මූල්‍යාධාර හා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක්ද සෑම වර්ෂයකම අගෝස්තු මාසයේ සිදු කරනු ඇත.

අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි වෙනුවෙන් සිදු කරනු ලබන මෙම හැම පිංකමක්ම බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, කඩුගන්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන්ගේ මූලිකත්වයෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරේ.

දැයෙන් සමුගත් මෙම යතිවරයාණන් සිදු කරන ලද සමාජ, ආගමික ශාස්ත්‍රීය සේවාවන් සලකා උන්වහන්සේට ගෞරව කිරීමක් වශයෙන් බෙල්ලන්තර බොරලැස්ගමුව ප්‍රධාන මාර්ගය ‘‘මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි මාවත’’ ලෙස නම් කරන ලද අතර, උන්වහන්සේට උපහාර පිණිස ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් 2023.04.28 වැනිදා මුල් දින කවරයක් නිකුත් කිරීමට ද කටයුතු කර ලදී.

වසර 7කට පෙර අප අතරින් වියෝ වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා!

 

(***)
බෙල්ලන්විල රාජමහා විහාරස්ථ දායක සභාවේ ලේකම්
එල්.එස්. වනිගසිංහ.



අදහස් (0)

වසර 07කට පෙර දැයෙන් සමුගත් බෙල්ලන්විල මහා යතිවරයාණෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site