IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


වැල්වෙටිතුරෙයි සිට නන්දිකඩාල් දක්වා - එල්.ටී.ටී.ඊ යේ නැගීම - වැටීම

ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් ඉලක්කය සඳහා වූ සන්නද්ධ අරගලයේ පරිණාමය හා වර්ධනයත් සමග දේශපාලන-මිලිටරි ක්ෂිතිජය හරහා දෙමළ සටන්කාමී කණ්ඩායම් රාශියක් මතු විය. බොහෝ දෙනකු දන්නා ලොකු කුඩා සංවිධාන 34ක් පැවති කාලයක් තිබුණි.

මේ සියල්ල අතර, දෙමළ සන්නද්ධ අරගලය වසර ගණනාවක් ජීවමානව තබා ගත් එකම සංවිධානය වූයේ යාපනය අර්ධද්වීපයේ වැල්වැටිතුරෙයිහි වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයයි. එල්ටීටීඊය ප්‍රභාකරන් යටතේ අවසානය දක්වාම වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා තම ප්‍රකාශිත අරමුණ වෙනුවෙන් නොනවත්වා සටන් කළේය.

ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ අරගලයේ ඉතිහාසය ගත් කල මැයි මාසයට වැදගත්කමක් එක්වෙයි. සන්නද්ධ අරගලයක් හරහා දිවයිනේ වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් සටන්කාමී ශ්‍රී ලාංකික දෙමළ තරුණයන් කොටසක් එල්ටීටීඊ සංවිධානය යටතේ නැවත සංවිධානය වූයේ 1976 මැයි 5 වැනිදාය. 1976 මැයි 14 වැනිදා, ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන වින්‍යාසය වන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙස නැවත නම් කර දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළත් “‍දෙමළ ඊළම”‍ නමින් දෙමළ රාජ්‍යයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කළේය.

ඉන් දශක ගණනාවකට පසුව, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතින් එල්ටීටීඊය සම්පූර්ණ වශයෙන් මිලිටරි පරාජයක් අත්වින්දේ 2009 මැයි මාසයේදීය. මේ සම්බන්ධයෙන් ගත් කල මැයි මාසයේ දින හතරක් තීරණාත්මක වැදගත්කමක් දරයි. 2009 මැයි 19 වැනි දිනදා දකුණු ආසියාවේ දීර්ඝතම යුද්ධය අවසන් වූයේ එල්ටීටීඊ නායක තිරුවෙන්ගඩම් වේලු‍ප්පිල්ලෙයි ප්‍රභාකරන් මියගිය බවට වන නිල නිවේදනයත් සමගය. ඔහුගේ දේහය “නන්දික්කඩාල්” ලෙස හැඳින්වෙන මුලතිව් කලපු ඉවුරේදී සොයා ගනු ලැබුණි. 1976 මැයි මාසයේදී පිහිටුවන ලද එල්ටීටීඊය, ඉන් වසර 33 කට පසු එනම්, 2009 මැයි මාසයේදී හමුදාමය වශයෙන් සමූලඝාතනය කරන ලදී.

එබැවින්, මැයි මාසය කොටි ලෙස හඳුන්වන එල්ටීටීඊය විසින් මෙහෙයවන ලද දෙමළ ඊළාම් සන්නද්ධ අරගලයේ දී ඉතා වැදගත් බව ඔප්පු වී ඇත. මෙවර මැයි මාසයේ තුන්වැනි සතියේදී, ඇතිව මෙම තීරුවෙන් පෙර ලිපිවල සහාය ඇතිව ප්‍රභාකරන් සහ එල්ටීටීඊයේ නැගීම සහ වැටීම කෙරෙහි අවධානය යොමු කරන්නේ මෙම පසුබිම තුළ ය.

 

වැල්වෙටිතුරෙයි

ප්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් 26 වැනිදාය. ඔහු පිරිමි ළමයින් දෙදෙනකු සහ ගැහැනු ළමයින් දෙදෙනකුගෙන් යුත් පවුලක බාලයා විය. පවුලේ බාලයා වූ බැවින්, ප්‍රභාකරන්ගේ සුරතල් නම “‍තම්බි” හෝ මල්ලි විය. ඔහුගේ පියා වීරසාමි තිරුවේන්ගඩම් වේලු‍ප්පිල්ලෙයි ය. ප්‍රභාකරන්ගේ මවගේ නම පාර්වතීපිල්ලෙයි ය. ප්‍රභාකරන්ගේ පවුල වෙරළබඩ නගරයක් වන වැල්වෙටිතුරෙයි සිට පැමිණි අතර එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ VVT ලෙසය. ප්‍රභාකරන්ගේ පවුල වැල්වෙටිතුරෙයි හි ගෞරවනීය පෙළපතකට අයත් විය. ඔවුන් “තිරුමේනි කුඩම්බම්” හෝ තිරුමේනි පවුලට අයත් අය ලෙස හැඳින්විණි. වැල්වෙටිතුරෙයි හි ප්‍රසිද්ධ ශිවන් දේවාලය ඉදිකරනු ලැබුවේ ප්‍රභාකරන්ගේ මුතුන් මිත්තන් විසිනි.

ප්‍රභාකරන්ගේ ආකල්ප හා දේශපාලන චින්තනය හැඩගැසුණේ සමකාලීන සිදුවීම් සහ පරිසරය අනුව ය. 1958 දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිව් හැවිරිදි දරුවකු ලෙස ඔහු ඇසූ බිහිසුණු කතා ඊට බෙහෙවින් බලපෑවේය. දිනක්, ප්‍රභාකරන්ගේ නිවසට කාන්තාවක් පැමිණියාය. ඇගේ කකුල්වල පිළිස්සුම් තුවාල විය. ඒ ගැන විමසීමේදී, කුඩා පිරිමි ළමයාට දැන ගැනීමට ලැබුණේ “‍සිංහල” පිරිසක් විසින් කාන්තාවගේ නිවසට ගිනි තබා ඇති බවයි. ඇය පිළිස්සුම් තුවාල සහිතව බේරී ඇත. පානදුරේ බ්‍රාහ්මණ පූජකයකු ගිනි උදුනක පුළුස්සා මරා දැමීමේ ප්‍රසිද්ධ කතාව සහ තාර බැරලයකට විසි කරන ලද ළදරුවා පිළිබඳ කතාව ද තරුණ ප්‍රභාට අසන්නට ලැබුණි. මේ සියලු‍ කතා ඔහු තුළ නොමැකෙන හැඟීමක් ඇති කළේය.

ප්‍රභාකරන් සටන්කාමියකු බවට පත් කිරීමට තවත් සාධකයක් වූයේ ඔහු වැල්වැටිතුරෙයිහි උපන් අයකු වීමයි. වැල්වැටිතුරෙයිහි ප්‍රදේශය ජාවාරම් කටයුතු සඳහා කීර්තියක් අත්කර ගෙන තිබූ අතර, තමන්ගේම උපසංස්කෘතියක් ද එහි තිබුණි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණ සහ ජාවාරම් පරීක්ෂා කිරීම සහ මැඩපැවැත්වීම සඳහා සන්නද්ධ හමුදා විසින් “මොන්ටි මෙහෙයුම” දියත් කරනු ලැබුණි.

මේ නිසා පසුගිය ශතවර්ෂයේ පනස් ගණන්වල මුල් භාගයේ සිට වැල්වැටිතුරේ ප්‍රදේශයේ ආරක්ෂක කඳවුරු පිහිටුවීම අත්‍යවශ්‍ය විය. මෙම හමුදා පැවැත්මේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ ඝර්ෂණ ඇති විය. හැත්තෑව දශකයේ දේශපාලන අර්බුදය උත්සන්නවීමට බොහෝ කලකට පෙර සිටම වැල්වැටිතුරේ ජනතාව සහ සන්නද්ධ හමුදා අතර ගැටුම්කාරී මනෝභාවයක් පැවතීමට මෙය හේතු විය. ප්‍රභාකරන් සහ වැල්වැටිතුරේ ප්‍රදේශයේ තවත් තරුණයන් පිරිසක් සන්නද්ධ හමුදා සහ කොළඹ රජය කෙරෙහි කෝපයෙන් හා අමනාපයෙන් වැල්වැටිතුරේ හැදී වැඩුණේ මෙම පරිසරය තුළය.

 

දෙමළ ස්වයං පාලන පක්ෂය

මෙම වාතාවරණය තුළ හැදී වැඩුණු ප්‍රභාකරන් දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූයේ පසුගිය සියවසේ හැට ගණන්වල අගභාගයේ සහ හැත්තෑව දශකයේ මුල් භාගයේදීය. කයිට්ස්හි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. නවරත්නම් ඉංග්‍රීසියෙන් ෆෙඩරල් පක්ෂය ලෙස හැඳින්වෙන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් වෙන් වූ අවස්ථාව මෙය විය. ෆෙඩරල් පක්ෂයේ “රන් මොළය” ලෙස වරක් හඳුන්වන ලද නවරත්නම්, 1968 දී “තමිෂහාර් සුයාච්චි කෂාගම්”‍ හෝ දෙමළ ස්වයං පාලන පක්ෂය පිහිටුවා ගත්තේය.

ෆෙඩරල් ඉල්ලීම ඉතා සුළු හා ප්‍රමාද වැඩි යැයි කියා අතහැර දැමූ නවරත්නම්, ඒ වෙනුවට “සුයාච්චි” හෝ “ස්වයං පාලනය” තෝරා ගත්තේය. එය වෙනම රාජ්‍යයක් සඳහා යෙදෙන තරමක මෘදු වචනයකි. වෙනුගෝපාල් මාස්ටර් නම් ගුරුවරයකු සිටි අතර, ප්‍රභාකරන් ඔහුට මහත් සැලකිල්ලක් හා ගෞරවයක් දැක්වීය. වෙනුගෝපාල් මාස්ටර් පසුව නවරත්නම්ගේ ක්‍රියාකාරී ආධාරකරුවකු බවට පත්විය. ප්‍රභාකරන් ඇතුළු සිසුන් කිහිප දෙනෙකු ඔහුගේ අනුගාමිකයන් බවට පත් වූ අතර, දෙමළ ස්වයං පාලනයේ දැඩි භක්තිකයෝ බවට පත්වූහ.

1970 දී ප්‍රමාණකරණය හඳුන්වාදීමත් සමග යාපනයේ ශිෂ්‍ය ජනගහනය රැඩිකල්කරණය වීමට පටන් ගත්තේය. තමිල් මානවවර් පෙරවයි (දෙමළ ශිෂ්‍ය සම්මේලනය) සහ තමිල් ඉලයිග්නර් පෙරවයි (දෙමළ තරුණ සම්මේලනය) පිහිටුවනු ලැබුණි. රැස්වීම්, පෙළපාළි සහ විරෝධතා මාලාවක් පැවැත්විණි. ප්‍රභාකරන් මෙම ක්‍රියාකාරකම් කිහිපයකට සහභාගීවීමට පටන් ගත් අතර, දෙමළ ශිෂ්‍ය හා තරුණ ක්‍රියාකාරී රැස්වීම් බොහොමයකටද ඔහු සහභාගී විය.

ඉක්මනින්ම රැස්වීම් සහ අවිහිංසාවාදී උද්ඝෝෂණ කෙරෙහි ඔහුට තිබූ උනන්දුව හීන වී යන්නට විය. මේවා ඔහුට ඕනෑවට වඩා හීලෑ ඒවා විය. ඊශ්‍රායලයේ හගන්නා සහ ඉර්ගුන් (සියොන්වාදී පැරා මිලිටරි සංවිධාන දෙකක්) පිළිබඳ කතාවලින් ආභාසය ලැබූ ප්‍රභාකරන්, ශ්‍රී ලංකා රාජ්‍ය පීඩනයට එරෙහි විය හැක්කේ බලයෙන් පමණක් බව තරයේ ඒත්තු ගැන්වීය.

 

දෙමළ නව කොටි

ප්‍රභාකරන් තවත් කිහිප දෙනෙකු සමඟ එකතු වී දෙමළ නව කොටි සංවිධානය පිහිටුවා ගත්තේය. පෙනෙන විදිහට, නූනාවිල්හි රාජරත්නම් වැනි ඉලංකෙයි තමිල් අරසු කච්චි හි දෙමළ රැඩිකල්වාදීන් හැට ගණන්වල මුල් භාගයේදී දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා “කොටි” නමින් කණ්ඩායමක් පිහිටුවාගෙන තිබුණි. මෙය කිසි විටෙකත් ආරම්භ නොවීය. ප්‍රභාකරන් රාජරත්නම් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පටන් ගෙන තිබූ අතර, නව ව්‍යාපාරය යම් ආකාරයක “පුනර්ජීවනයක්” විය යුතු යැයි හැඟු‍ණි. එබැවින්, සංවිධානය දෙමළ නව කොටි :(Tamil New Tigers-TNT) විය.  Trinitritoloene” යන පුපුරන සුළු සංයෝගය හැඳින්වෙන කෙටි යෙදුම වන TNT ද නමට අදාළ විය.

යාපනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාව 1975 ජූලි මාසයේදී පොන්නාලෙයි හි වර්ධරාජා පෙරුමාල් (විෂ්ණු) කෝවිලේ දී ඝාතනය කරමින් දෙමළ නව කොටි සංවිධානය සිය සලකුණ තැබීය. පසුව ප්‍රභාකරන් පැවැසුවේ මෙම ඝාතනය ඔහුගේ “පළමු හමුදා ක්‍රියාකාරකම” බවයි.

 

එල්ටීටීඊය පිහිටුවීම

1976 මැයි 5 වැනිදා ටීඑන්ටී සංවිධානය දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය බවට පරිවර්තනය විය. එදින දෙමළ තරුණයන් 40-50 ක් පමණ යාපනය අර්ධද්වීපයේ රහසිගත ස්ථානයක රහසිගතව රැස්වී එල්ටීටීඊය පිහිටුවා ගත්හ. උමා මහේෂ්වරන් එහි නායකයා බවට පත්විය. ප්‍රභාකරන් සන්නද්ධ නායක ධුරයට පත් කරනු ලැබිණ. නව ව්‍යාපාරය පාලනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර, උමා මහේෂ්වරන් සහ ප්‍රභාකරන් යන දෙදෙනාම මෙම කමිටුවේ සාමාජිකයෝ වූහ.

වසර කිහිපයකට පසු එල්ටීටීඊය දෙකට බෙදී ගියේය. උමා මහේෂ්වරන්ගේ නායකත්වය යටතේ සාමාජිකයන් බොහෝ සංඛ්‍යාවක් කැඩී ගොස් දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්) පිහිටුවා ගත්හ. නාගරාජා සහ අයියර් වැනි සමහරු තමන්ගේම වූ මාර්ගවලට ගමන් කළහ. ප්‍රභාකරන්ට පක්ෂපාතී වූයේ මුල් එල්ටීටීඊ සාමාජිකයන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණකි.

දැන් එල්ටීටීඊය එහි නායකයා සහ හමුදා අණදෙන නිලධාරී යන තනතුරු දෙකම හෙබවූ ප්‍රභාකරන් යටතේ ස්වාධීනව ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය. පසුව චාල්ස් ඇන්තනි හෙවත් සීලන් හමුදා ප්‍රධානියා බවට පත්විය. 1983 ජූලි වන විට එල්ටීටීඊ සාමාජික සංඛ්‍යාව 30 ක් විය. එහි පූර්ණකාලීන සාමාජිකයන් 23 ක් සහ අර්ධ කාලීන සාමාජිකයන් හත් දෙනකු සිටි අතර විවිධ තරාතිරම්වල සියලු‍ම වයස් කාණ්ඩවල “සහායකයන්” බොහෝ දෙනෙක් සිටියහ.

 

කළු ජූලිය

1983 ජූලි 23 වැනිදා තිරුනෙල්වේලිහිදී එල්ටීටීඊය බිම් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කළේය. 1983 කළු ජූලි දෙමළ විරෝධී සංහාරයට හේතු වූයේ මෙයයි. දෙමළ තරුණයන් සටන්කාමී ව්‍යාපාරවලට සම්බන්ධ වී දෙමළ ඊළම සඳහා සටන් කිරීමට ස්වයංසිද්ධ “ඉක්මන් කිරීමක්” ඇති විය. ඉන්දියාව මෙම සටන් ව්‍යාපාර පුහුණු කිරීම සහ සන්නද්ධ කිරීම ආරම්භ කළේය. දෙමළ ඊළම සඳහා වූ අරගලයම බොහෝ අමුතු හැරීම් සහ සුවිශේෂී හැරීම්වලට භාජන විය. සංවිධාන අතර අභ්‍යන්තර යුද්ධ පැවතුණු අතර, එල්ටීටීඊය ප්‍රමුඛ දෙමළ කණ්ඩායම බවට පත්විය.

 

ඉන්දු-ලංකා ගිවිසුම

1987 ජූලි 29 වැනි දින ඇති කරන ලද ඉන්දු-ලංකා ගිවිසුම දෙමළ දේශපාලනයේ විශාල වෙනසක් ඇති කළේය. එල්ටීටීඊය හැර අනෙකුත් සියලු‍ම දෙමළ පක්ෂ සහ සංවිධාන මෙම ගිවිසුම පිළිගත්හ. ඔවුන් දෙමළ ඊළාම් අරගලය අත්හැරීමට සහ ගිවිසුම යටතේ සපයා ඇති විධිවිධානයක් පිළිගැනීමට තීරණය කළහ. එල්ටීටීඊය ද මුලින් එකඟ වූ අතර, ආයුධ කිහිපයක් භාර දුන්නේය. මුල් අවධියේදී “දිරිගැන්වීමක්” ලෙස නවදිල්ලියෙන් මාසිකව ලබාදුන් මුදල් ගෙවීමක් පවා පිළිගත්තේය. කෙසේ වෙතත්, කොටි ඉක්මනින්ම මාර්ගය වෙනස් කර සතුරුකම් නැවත ආරම්භ කළ අතර, ඉන්දියානු හමුදාවට පවා මුහුණ දීමට එඩිතර විය. 1990 දී ඉන්දීය හමුදාව ඉවත් කරගනු ලැබුණි.

ඊළඟ වසරවලදී එල්ටීටීඊය සහ විවිධ රජයන් අතර කොළඹදී සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි. ඒ කිසිවක් සාර්ථක නොවූ අතර, තාවකාලිකව යුද්ධයක් නොමැති කාල පරිච්ඡේද සමඟින් රට නිමක් නැති යුද්ධයකට මුහුණ දුන්නේය.

 

එල්ටීටීඊයේ “වර්ධනය”

මේ අතර, එල්ටීටීඊය ඇතැම් අංශවලින් දැවැන්ත “වර්ධනයක්” අත්පත් කර ගත්තේය. ආරම්භක     ද්විඉලක්කම් සාමාජිකත්වය ඉලක්කම් පහකට ළඟා විය. එල්ටීටීඊය පුළුල් දෙමළ ඩයස්පෝරාව අතර පෙරමුණ/ශාඛා සංවිධාන සහිත අන්තර්ජාතික ආයතනයක් බවට වර්ධනය විය. 1990 සිට, උතුරු හා නැගෙනහිර සැලකිය යුතු කොටස් තම පාලනය යටතේ තබා ගැනීමට එල්ටීටීඊය සමත් විය. 2009 මැයි මාසයේ අවසානය පැමිණෙන තෙක් මෙම තථ්‍ය රාජ්‍යයේ භූමි ප්‍රමාණය වරින් වර උච්චාවචනය විය. යුද්ධයේ වාසනාව අනුව කොටි භූමිය වැඩි වී අඩු වී ඇත. එහෙත්, වසර ගණනාවක් තිස්සේ තථ්‍ය රාජ්‍යයකට සමාන “විචල්‍ය” එල්ටීටීඊ පාලන ක්ෂේත්‍රයක් පැවතුණි.

මෙම “එල්ටීටීඊ පාලන” ප්‍රදේශය තුළ, කොටින් විසින් පොලිස් ස්ථාන, උසාවි, දේශීය ආදායම් කාර්යාල, රූපවාහිනී, ගුවන්විදුලි, චිත්‍රපට ඒකක, පුවත්පත්, බැංකු, ආගමන හා විගමන කාර්යාල, ව්‍යාපාර, ගොවිපල වැනි ව්‍යුහ පිහිටුවා ගත් අතර, ඔවුහු තමන්ගේම නීති පවා කෙටුම්පත් කළහ.

යුදමය වශයෙන්, එල්ටීටීඊය වර්ධනය විය. කොටි පාබල බලසේනා, කාන්තා බලසේනා, කමාන්ඩෝ ඒකක සහ බිම්බෝම්බ දැමීම, ස්නයිපර් ප්‍රහාර, මෝටාර් සහ කාලතුවක්කු වෙඩි තැබීම, ටැංකි සහ සන්නද්ධ මෝටර් රථ ප්‍රතිරෝධය දැක්වීම සඳහා විශේෂිත අංශ ඇති කළහ. සියල්ලටත් වඩා, ඔවුන්ට කළුකොටි හෝ කරුම්පුලිගල් ලෙස හැඳින්වෙන මරාගෙන මැරෙන ඝාතක කණ්ඩායමක් සිටියහ.

කොටි සංවිධානය මුහුදු කොටි නමින් නාවික අංශයක් සහ ගුවන් කොටි නමින් නව ගුවන් අංශයක් ද පිහිටුවා ගත්හ. එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව බොහෝ නාවික යාත්‍රා සහ කුඩා ගුවන් යානා සීමිත සංඛ්‍යාවක් තිබුණි.

කොටි සංවිධානය, දෙමළ ඩයස්පෝරාව තම මූලස්ථානය කරගනිමින් පුළුල් විදේශීය ජාලයක් පිහිටුවා ගත්හ. ඔවුන්ට ප්‍රචාරක කටයුතුවල නියැළී සිටින බහු මාධ්‍ය සංවිධාන සහ අරමුදල් රැස් කරන ක්‍රියාකාරීහු ගණනාවක් සිටියහ. බටහිර නගර බොහොමයක කෙටි දැනුම්දීමකින් මහජන පෙළපාළි සංවිධානය කිරීමේ හැකියාව කොටි සංවිධානයට තිබුණි. බටහිර හා නැගෙනහිර රටවල් කිහිපයකම එල්ටීටීඊ සංවිධානය වාණිජ ව්‍යාපාර රාශියක් පවත්වාගෙන ගියේය. විදේශවලින් ලබාගත් අවි ශ්‍රී ලංකාවේ උතුරට ප්‍රවාහනය කරන නැව් සමූහයක් ද ඔවුහු පවත්වාගෙන ගියහ.

කෙටියෙන් කිවහොත්, 1983 න් පසු යුගයේදී එල්ටීටීඊය අත්පත් කරගත් වර්ධනය අතිවිශිෂ්ටය. 1983 ජූලි මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව “වෙනුවෙන්, ඔවුන් විසින්” පවත්වාගෙන යනු ලබන මෙතරම් විශාල “සාර්ථකත්වයක්” වාර්තා කළ එකම ව්‍යාපාරය එය විය හැකිය.

 

අපහසු සත්‍යය

මෙම සාර්ථක වර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අතිවිශාල මිලක් දැරීමට සිදු විය. සිරස් අතට එල්.ටී.ටී.ඊය ඉහළට ගිය නමුත් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව තිරස් අතට පහළට ගියහ. මෙය එල්.ටී.ටී.ඊය සහ ඔහුගේ අනුගාමිකයන් බොහෝ විට ප්‍රතික්ෂේප කළ සහ අතීතයේ දී පැවසීමට අකමැති වූ අප්‍රසන්න සහ අපහසු සත්‍යයයි.

දෙමළ ජනතාව දුර්වල කර සහ හීන කර දැමූ දශක ගණනාවක් තිස්සේ සටන් කිරීමෙන් පසුව, දෙමළ ජනතාවගේ අහිමි වූ අයිතිවාසිකම් නැවත දිනා ගැනීමේදී එල්ටීටීඊය කිසිදු ස්ථිර ජයග්‍රහණයක් අත්කර ගත්තේ නැත. දෙමළ ප්‍රදේශ වසර ගණනාවක් තිස්සේ මරණය, අවතැන් වීම සහ විනාශය මගින් වැසී ගියේය. දෙමළ ජනතාව මේ සියලු‍ දුක් වේදනා හා ශෝකයට මුහුණ දුන්නද, දෙමළ ඊළම සඳහා වූ ඔවුන්ගේ කල් පවතින ගවේෂණයේදී එල්.ටී.ටී.ඊය කිසිවක් අත්කර ගත්තේ නැත.

 

බිත්තියේ ලිවීම

2007 සිට හමුදා තත්වය නිරීක්ෂණය කළ ඕනෑම බුද්ධිමත් නිරීක්ෂකයකුට බිත්තියේ ලිවීම පැහැදිලිව දැකගත හැකි විය. එහෙත්, හමුදාව ඉදිරියට යද්දී පවා ප්‍රභාකරන් සහ ඔහුගේ අනුගාමිකයෝ යථාර්ථය නොසලකා හැරියහ. සතුරා ළං වන විට ඉහළ නායකයන් විසින් ගිරවුන් මෙන් කෑ ගැසුවේ “කිත්ත වරට්ටුම්, තිත්තම් ඉරුක්කු”‍ (ඔවුන්ට ළඟට එන්න දෙන්න. අපට සැලැස්මක් තිබේ) යනුවෙනි. පෙනෙන විදිහට, හමුදාවට නිශ්චිත ස්ථානයකට වඩා ඉදිරියට යාමට නොහැකි වනු ඇතැයි කොටින් තුළ විශ්වාසයක් තිබූ බැවින්, ඉදිරියට යන සන්නද්ධ හමුදා ගැන ප්‍රභාකරන් සහ එල්ටීටීඊය සෑහෙන කාලයක් තිස්සේ අනවශ්‍ය ලෙස කනස්සල්ලට පත්ව සිටියේ නැත.

පරන්තන් බිඳ වැටීමෙන් පසු මෙම තක්සේරුව විකෘති වූ අතර, එය ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් විය. පරන්තන් නගරයෙන් පසුව කිලිනොච්චි සහ පසුව අලිමංකඩ... දක්වා “කුඩා ඩන්කර්ක්”‍ (දෙවැනි ලෝක යුද්ධ සමයේදී ප්‍රංශයේ උතුරේ ඩන්කර්ක් වෙරළ තීරයෙන් සහ වරායෙන් මිත්‍ර පාක්ෂික සොල්දාදුවන් 338,000 කට වැඩි පිරිසක් ඉවත් කර ගැනීමේ මෙහෙයුම) ආකාරයේ මෙහෙයුමක් හරහා අර්ධද්වීපයේ සිරවී සිටි කාඩර්වරුන් කඩිමුඩියේ ඉවත් කිරීමෙන් පෙන්නුම් කළේ කොටින් සැබවින්ම නිදා සිටින බවය.

යාපනය-මහනුවර මාර්ගය හෙවත් ඒ-9 අධිවේගී මාර්ගය සහ එහි බටහිර දෙසට ඇති සියලු‍ම ප්‍රදේශ අහිමිවීමෙන් පසුව පවා, ඒ-9 අධිවේගී මාර්ගයේ නැගෙනහිර ප්‍රදේශවල හමුදා පීඩනයට බොහෝ කාලයක් ඔරොත්තු දිය හැකි බවට එල්ටීටීඊයට තවමත් විශ්වාසයක් තිබුණි. අවසාන විකල්පය වූයේ වෙරළට ප්‍රවේශ විය හැකි මුලතිව් දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් පුරා “යුද අගල්” හාරා, පසුව එය දැඩි ලෙස ආරක්ෂා කිරීමය.

 

කුඩා අවකාශයකට කොටු කිරීම

එහෙත් මෙම අදියරේදී හමුදාවේ වේගවත් ප්‍රගතිය එල්.ටී.ටී.ඊය පුදුමයට පත් කළේය. සාපේක්ෂව කෙටි කාලයක් තුළ, විවිධ හමුදා අංශ සහ කාර්ය සාධක බළකා කොටි භූමිය කරා වේගයෙන් ඉදිරියට ගියහ. එහි ප්‍රතිඵලයක් ලෙස හමුදාව අඛණ්ඩව ඉදිරියට යත්ම, එල්ටීටීඊය සහ ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් හැකිළෙමින් තිබූ කුඩා අවකාශයකට කොටු කරනු ලැබුණි.

හමුදාව ඉදිරියට ඇදෙමින් සිටියද, යම් අවස්ථාවකදී සටන් පෙරමුණට දරුණු පහරක් එල්ල කර බොහෝ ජීවිත හානි සිදු කිරීමට එල්ටීටීඊයට හැකි යැයි ප්‍රභාකරන් වැරැදි ලෙස විශ්වාස කළේය. මෙය හමුදාවේ අධෛර්යයට පත් කර තත්වය ආපසු හැරවීමට උපකාරී වනු ඇතැයි ප්‍රභාකරන් අනුමාන කළ බව පෙනෙන්නට තිබේ. දේශපාලන-මිලිටරි තත්වය නරක අතට හැරුණද, යම් අවස්ථාවක දී හමුදා මෙහෙයුම නතර වන බව ප්‍රභාකරන්ට හොඳටම විශ්වාස විය.

 

ආනන්දපුරම් පරාජය

පෙනෙන විදිහට ලොකු විශ්වාසයක් තබා තිබුණේ පුතුකුඩිඉරිප්පු කලාපයේ හමුදා ආරක්ෂක වළලු‍ විනාශ කිරීම සඳහා දැවැන්ත ප්‍රති-ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම ගැනය. එහෙත් 2009 අප්‍රේල් 4-5 දිනවල ආනන්දපුරම්හිදී ඇති වූ මිලිටරි පරාජය හේතුවෙන් ඔහුගේ උතුරු හමුදා අණදෙන නිලධාරී “කර්නල්” තීපන් ඇතුළු කාඩර්වරුන් 623 දෙනෙක් මිය ගියහ. ඉන්පසු මෙම ලියුම්කරු ලිව්වේ ආනන්දපුරම් පරාජයෙන් එල්.ටී.ටී.ඊයට ගොඩ ඒමට නොහැකි වනු ඇති බවත් මෙම යුද්ධය පරාජයට පත්වීමේ තීරණාත්මක මොහොත විය හැකි බවත්ය. එම නිරීක්ෂණය පසුව නිවැරැදි බව ඔප්පු විය.

 

ත්‍රෛපාර්ශ්වික මෙහෙයුම

අවසානය පැමිණියේ ආනන්දපුරම් ප්‍රහාරයෙන් සති හයකට පසු, මැයි මස මැද භාගයේදී ය. වට කරනු ලැබ සිටි ප්‍රභාකරන් සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයෝ බුද්ධිමය කුමන්ත්‍රණ සැසියකට එක් වූහ. එහිදී ත්‍රෛපාර්ශ්වික මෙහෙයුමක් දියත් කිරීමට තීරණයක් ගනු ලැබුණි. ප්‍රභාකරන් ඇතුළු කොටි කණ්ඩායමක් කොටු වූ ස්ථානවලින් පිටතට පැමිණ කලපුව සහ පරන්තන්-මුල්ලයිතීව් මාර්ගය හෙවත් ඒ-35 අධිවේගී මාර්ගය තරණය කිරීමට නියමිතව තිබුණි. ඉන්පසු කොටි වන්නියේ ගණ වනාන්තරවලට ගොස් ක්‍රියාත්මක වනු ඇත. සමහරු නැගෙනහිරට ගමන් කරනු ඇත.

දෙවැනි කොටි කණ්ඩායමක් හමුදාව සමග සම්බන්ධ වෙමින් යටත් වීමේ කොන්දේසි සාකච්ඡා කරනු ඇත. ප්‍රධාන අරමුණ වූයේ තුවාල ලැබූ කාඩර්වරුන්ට, පවුලේ සාමාජිකයන්ට සහ සිවිල් වැසියන්ට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමය. තුන්වැනි කණ්ඩායමේ වගකීම වූයේ පසුපස ආරක්ෂක කටයුතුවල නිරතවීමය.

2009 මැයි 17 වැනිදා ඉරිදා මධ්‍යම රාත්‍රිය ගෙවී ටික වේලාවකට පසු එල්ටීටීඊය සන්නද්ධ හමුදාවන්ට දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් දියත් කළේය. ප්‍රහාරය දිශා තුනකින් සිදු වූ නමුත්, ප්‍රහාර ප්‍රධාන වශයෙන් 53 වැනි සේනාංකය විසින් පාලනය කරන ලද නන්දික්කඩාල් කලපු ප්‍රදේශය දෙසට යොමු විය. දරුණු සටන්වලින් පසු, කොටි බලඇණි තුන කඩා වැදුණි. බලඇණි තුනම එක්ව ගත් විට කාඩර්වරුන් 350-400 ක් පමණ විය. හමුදා නායකයන් සියල්ලම පාහේ පිටතට යාමට උත්සාහ කරන කණ්ඩායම් තුනට ඇතුළත් විය.

 

කළු කොටි

පුපුරන ද්‍රව්‍ය පටි පැලඳ සිටි පිරිමි ළමයින් සහ ගැහැනු ළමයින් හමුදාව රැඳී ස්ථාන වෙත පැන තමන්වම පුපුරුවා ගැනීම නිසා ප්‍රහාරයෙන් කළු කොටි බොහොමයක්ම මියගියහ. මෙය අනෙකුත් කොටින්ට හමුදාව රැඳී ස්ථාන වෙත ඇතුළු වීමට “හිඩැස්” නිර්මාණය කළේය. කොටි 53 වැනි සේනාංක ආරක්ෂක වළල්ල බිඳ දැමුවද, සොල්දාදුවන් දැඩි කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ අතර, එහිදී බොහෝ දෙනෙක් මියගියහ. තවද හමුදාව පිටුපසින් වැඩි පිරිසක් සමඟ බහු ආරක්ෂක ස්ථර ස්ථාපිත කොට තිබුණි.

කඩා වැදුණු එල්ටීටීඊ සාමාජිකයන් යම් දුරකට අතරමැදි ස්ථානයකට කොටු කර පසුව විනාශ කරනු ලැබුණි. ප්‍රහාරය අසාර්ථක වීමෙන් සහ බොහෝ කොටි සාමාජිකයින් වටලෑමෙන් පසු, එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ කිහිප දෙනෙක් සයනයිඩ් පානය කිරීමට පටන් ගත්හ. ඒ හා සමානව, කොටි “‍ආරක්ෂකයන්” ද පරාජයට පත්කරනු ලැබුණි.

 

“නන්දිකඩාල්”

අඟහරුවාදා අලු‍යම උදාවීමට පෙර ප්‍රභාකරන්ගේ සිරුර සොයා ගනු ලැබුණි. එල්ටීටීඊයේ නායකයා වූ 54 හැවිරිදි ප්‍රභාකරන්ගේ සිරුර මැයි 19 වැනිදා අඟහරුවාදා සොයා ගනු ලැබුවේ “නන්දිකඩාල්” ලෙසින් හැඳින්වෙන මුලතිව් කලපුව අසලිනි. ඔහු වෙඩි තබාගෙන සියදිවි නසා ගත් බව ඇතැමුන්ගේ විශ්වාසයයි. මළ සිරුර සොයාගනු ලැබුවේ ලු‍තිනන් කර්නල් රෝහිත අලු‍විහාරේ නායකත්වය දුන් 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ සොල්දාදුවන් විසිනි.

එල්.ටී.ටී.ඊයේ දේශපාලන උපායමාර්ගික ඇන්ටන් ස්ටැනිස්ලෝස් බාලසිංහම් විසින් “දෙමළ ඊළාම් ජනාධිපති සහ අගමැති” තනතුරු දෙකෙන්ම හඳුන්වන ලද මිනිසාගේ ජීවිතය මෙසේ අවසන් විය. හමුදාපති සරත් ෆොන්සේකා විසින් මැයි 19 වැනිදා ප.ව. 12:15 ට මරණය නිල වශයෙන් නිවේදනය කළේය.

ලෝකයේ බලවත්ම ගරිල්ලා සංවිධානය පාලනය කළ ප්‍රභාකරන්ගේ මරණයෙන් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ බලයේ තාවකාලික ස්වභාවයයි. තනි පිස්තෝලයකින් තම සටන්කාමී ජීවිතය ආරම්භ කළ ප්‍රභාකරන් වසර ගණනාවක් පුරා සෙවණැලි රාජ්‍යයක් මෙහෙයවන බලවත් ව්‍යාපාරයක් ලෙසට එල්ටීටීඊය ගොඩනඟා ගත්තේය. ඔහු “දෙමළ ජාතික නායකයා” (තේසියත් තලෙයිවර්) යන තත්වය ලබා ගත් අතර, ඔහුගේ උග්‍ර අනුගාමිකයන් විසින් ඔහුව “‍සූරියතේවන්” (හිරු දෙවියන්) ලෙස දිව්‍යමය තත්වයට ඔසවා තබනු ලැබුණි.

ප්‍රභාකරන්, දෙමළ ඊළම යන අපැහැදිලි ඉලක්කය සඳහා ශ්‍රී ලංකාවේ සජීවී ජනවාර්ගිකත්වයක් ලෙස දෙමළ ජනතාවගේ මුළු පැවැත්මම අවදානමට ලක් කළේ සූදු අන්තුවකු මෙනි. ඔහුට අනුව එය ඇති වීමට හෝ නැතිවීමට කිසිවක් නැති සූදුවක් විය. ඔහු තම සොල්දාදුවන්ට ජයග්‍රහණය සඳහා සටන් කිරීම හෝ මරණයට මුහුණ දීම හැර වෙනත් විකල්පයක් නොමැති වන පරිදි තම බෝට්ටු පුළුස්සා දැමූ ආක්‍රමණික හමුදා ජෙනරාල්වරයකු හා සමාන විය. ආපසු හැරීමක් නැත. සොල්දාදුවන් යුද්ධය දිනුවහොත්, ජෙනරාල්වරයාගේ දැඩි අධිෂ්ඨානය ගැන ප්‍රශංසා කරනු ලැබේ. ඔවුන් පැරදුණහොත්, කතාව කියන්නට කිසිවකු ඉතිරි නොවනු ඇත.

 

ආපසු හැරවිය නොහැකි හානියක්

අවසානයේ සිදු වූයේ එයයි. ප්‍රභාකරන් සහ      එල්.ටී.ටී.ඊ හමුදා යන්ත්‍රය තවදුරටත් නැත, ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවට සිදු කරන ලද ආපසු හැරවිය නොහැකි හානිය, “ඔවුන්ගෙන් පසුවත් ජීවත් වේ”.

 

(***)
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ  
  අනිල් කරුණාරත්න



අදහස් (1)

වැල්වෙටිතුරෙයි සිට නන්දිකඩාල් දක්වා - එල්.ටී.ටී.ඊ යේ නැගීම - වැටීම

Upul Wednesday, 28 May 2025 04:16 PM

අනේ ඉතින් මේ ඔක්කොම කළේ සාමය හොයාගන්නනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 227 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 563 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site