‘දුර්වල අන්දමින් කෙටුම්පත් කරන ලද පනත් මුළුමහත් රාජ්‍යයටම බරකි. විනිසුරෝ ඒවා අර්ථකථනය කරගැන්මට හා යොද‌ා ගැන්මට අරගල කරති. නීතිඥවරු ඒවා පදනම් කොට නිෂ්චිත උපදෙසක් ගත නොහැකිව ළතැවෙති. පුරවැසියෝ ඒවා දෙස බලා තම වික්ෂිප්තභාවය තහවුරු කරගැන්මට රිසි වෙති. බොහෝ අවස්ථාවල ඒවා ලිහාගන්නට නඩු මඟට බසින්නට සිදුවේ.’


ජේ. මෙනාර්ඩ්, ඇ.එ.ජ. ව්‍යවස්ථාද‌ායක සභාව
කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසම සම්බන්ධ පනත – 2021 නම් පනත් කෙටුම්පත ඉතාමත් වැදගත් නීති සම්පාදන කර්තව්‍යයකි. එය ශ්‍රී ලංකාවේ සකළවිධ කටයුතු වෙනස් කරන්නක් ලෙස විස්තර කළ හැකිය. එය ශ්‍රී ලංකාව ලබන විශාලතම විදේශ ආයෝජනය වන අතර බොහෝ රටවල් සේම ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට එය බලා පෑ හැකිය. මේ අවස්ථාවේදී එම කෙටුම්පත අතිශය වැදගත් පරමාදර්ශයක් වනුයේ චයිනීස් හාබර් කොම්පැනි ලිමිටඩ් ආයතනය සකස් කළ සමස්ත සැලැස්මේ වෙළඳපොළ යන්ත්‍රණය ලෙස එය ක්‍රියාත්මක වන බැවිනි.

 අවාසනාවකට මෙම පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අපගේ වෘත්තීයමය සංවිධාන හෝ බුද්ධිමතුන්ගේ ප්‍රජාව විසින් විග්‍රහයකට ලක් කොට නැත. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාමය නීති කෙටුම්පත් ගෙන ඒමේ දී ඒවා සම්බන්ධයෙන්, උනන්දුව දක්වන පිරිස් වෘත්තීයමය ආයතන සහ බුද්ධිමතුන්ගේ අදහස් විමසා බැලීම අද්‍යතන යුගයේ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සිරිතයි. එවිට ඒවා සම්බන්ධ වැදගත් නීතිමය කරුණු විග්‍රහයට ලක් වේ.

 2019 විනිමය සුරැකුම්පත් හුවමාරු කොමිසමට අද‌ාළ පනත ගෙන ඒමේදී ආචාර්ය කනග් ඊස්වරන් යටතේ උපදේශක සභාවක් පත්කරන ලද අතර එහි කෙටුම්පත් උපදේශකවරයා වූ මම ඒ සඳහා උනන්දුවන කරුණු කාරණා දන්නා උදවිය ඊට හවුල් කරගත්තෙමි. එම කෙටුම්පත ඔවුන්ට විවෘත කළ මම ඊට අද‌ාළ වැදගත් කරුණු ද ඔවුන් ඉදිරියේ තැබීමි. එය ඉතාමත් වැඩද‌ායි කර්තව්‍යයක් වූ අතර එහිදී නොපැහැදිලි තැන්, අස්ථාවර තැන්, නිශ්චිත නොවන තැන්, හරි හැටි නොදත් තැන් ඇතුළු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ දී ගැටලු මතුවිය හැකි තැන් පිළිබඳව පැහැදිලි කරගත හැකි වූයේය. පනත් කෙටුම්පත විග්‍රහ කිරීමේ කටයුත්තට පෙර වරාය නගර සහ විශේෂ ආර්ථික කලාපවලට අදාළව ගෝලීය වශයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.


ගෝලීය දර්ශනය
 වරාය නගරය සහ විශේෂ ආර්ථික කලාප සම්බන්ධයෙන් නීතිමය කටයුතු එකකට එකක් බොහෝ සෙයින් වෙනස්ය. ඒවායේ නීතිමය පසුබිම එක හා සමාන නොවන්නේ එකම තරම හැම හැඩේටම නොගැළපෙන්නා සේය. ලතින් ඇමෙරිකාවේ සහ කැරිබියන් දූපත් ආශ්‍රිත මූල්‍යමය මධ්‍යස්ථාන කාලයක් තිස්සේ අන්තර් ජාතික ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතා හා ඉල්ලීම් හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය අනුව හැඩ ගැසී තිබේ. මුල් අවධියේ දී මෙම රටවල් අන්තර්ජාතික ව්‍යාපාර සමාගම් පනත, බදු විරහිතව සහ බදු අඩු කිරීම් සහිතව ක්‍රියාත්මක කරනු ලැබීය. කල්ගත වෙද්දී ඔවුහු සාගරය ආශ්‍රිත (අක්වෙරළ) බැංකු කටයුතු, සාගර ආශ්‍රිත (අක්වෙරළ) රක්ෂණ කටයුතු භාරකාර කටයුතු වෙනත් නිෂ්පාදන හා සේවා සේවාද‌ායක සමාගම් හා තනි පුද්ගලයන්ගේ ඉල්ලීම් හා අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වර්ධනය කරගත්හ.

බහමාස් සාගර ආශ්‍රිත (අක්වෙරළ) බැංකු සහ භාරකාර පනත (Bahamas Offshore Banks and Trastact) සහ BVI Offshore සමාගම් පනත සාර්ථක ලෙස ක්‍රියාත්මක වූයේය. මේ ආකාරයටම පැනමා රාජ්‍යය ද සාගර ආශ්‍රිත නැව් සමාගම් කිහිපයක් ලියාපදිංචි කොට පැනමා ධජය යටතේ ලෝපුරා නාවික ගමනාගමනයේ යෙදීමේ අවසරය ඒවාට ප්‍රද‌ානය කළේය. ඇන්ටිගුවා සහ බාර්බුද‌ා අන්තර්ජාලය හරහා ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩා හඳුන්වා දුන් අතර ඇ.එ. ජනපදයෙන් ඒවාට අභියෝග එල්ල විය. එසේ වුව ද ලෝක වෙළඳ සංවිධානය (WTO) හි ඊට අද‌ාළ නඩුවෙන් ඔවුහු ජයගත්හ.
යුරෝපයේ, ස්විට්සර්ලන්තයේ, අයර්ලන්තයේ, ජර්සි, අයිල් ඔෆ් මෑන් සහ සයිප්‍රස්හි මේ හා සමාන දියුණු තත්ත්වයක් දැකගතක හැකිය. මෙම රටවල අන්තර්ජාතික සමාගම් ලියාපදිංචි කිරීම සහ ඉන්පසුව විවිධ නිෂ්පාදන හා සේවා හඳුන්වා දීම මගින් විදේශ ආයෝජන තමන් වෙත ඇද ගෙන තිබේ. ස්විට්සර්ලන්තය බැංකු රහස්‍ය භාවය අතින් නමක් දිනාගෙන ඇත.

 මැදපෙරදිග ද නව නීති ක්‍රියාත්මක කරමින් පැරණි වැරදි අත්හැර දැමීමට පටන් ගෙන ඇත. කටාර් සහ ඩුබායි එක් නෛතික ක්‍රමයකට නතු වී ඇති අතර ඒවායේ කළමනාකරණ කටයුතු සිදුවන්නේ කටාර් මූල්‍ය සේවා අධිකාරිය (ෆයිනැන්ෂල් සර්විසස් ඔතෝරටි) සහ ඩුබායි මූල්‍ය සේවා අධිකාරිය (ඩුබායි ෆයිනැන්ෂල් සර්විසස් ඔතෝරටි) යටතේය. ඒවා එකිනෙකාට අද‌ාළ නියාමන ප්‍රතිපත්ති සහ නීතිවලට අනුව ක්‍රියාත්මක වේ. ඒවා ඉංග්‍රීසි බස කතා කරන පොදු නීතිය ඇති රටවල ක්‍රියාත්මක විශේෂ ආර්ථික කලාපවලින් බොහෝ සෙයින් වෙනස් වේ.

මැලේසියාවේ ආචාර්ය මහතීර් මොහොමඩ් ලබුවාන් ඕෆ් ෂෝර් ෆයිනැන්ෂල් ඔතෝරටි නම් මූල්‍ය අධිකාරියය පිහිටුවා සාගර ආශ්‍රිත බැංකු ක්‍රම, සාගර ආශ්‍රිත භාරකාර කටයුතු, රක්ෂණ, හවුල් සමාගම් කටයුතු ආදිය සඳහා දීර්ඝ වශයෙන් (ව්‍යවස්ථාපිත) නීතිමය ක්‍රම හඳුන්වා දී තිබේ. ඒ ආකාරයට ඔවුහු ප්‍රතිපත්තියක් ඔස්සේ නොව නීතිමය වශයෙන් මාර්ගෝපදේශ ලබා ගනිති. ඒ අනුව ඔවුන් සාර්ථකත්වය ලබා ඇත්තේ සුළු පිරිසක් වුවද අති ධනවත් සේවා ද‌ායකයන් හවුල් කර ගැනීමෙනි.

ශ්‍රී ලංකාවේ කෙටුම්පත් කර ඇති පනතින් වරාය නගරයේ යටිතල පහසුකම් වර්ධනය කර ගැනීම උදෙසා ආයෝජන ඇද ගැනීමටත්, අන්තර්ජාතික ව්‍යාපාර ප්‍රජාව උදෙසා සාගර ආශ්‍රිත නිෂ්පාදන හා සේවා සැපයීමටත් අද‌ාළ නීතිමය හා නියාමන රාමුව සැකසේ. මෙම නීතිමය රාමුව ඊටම ආවේනික එකක් වන අතර එහි සංකල්පමය තත්ත්වයත්, එහි විෂය පථයත්, අන්තර්ගත කරුණුත් ආර්ථික කොමිසමේ නියාමන, නීති, නියෝග හා අතුරු නීති හරහා විස්තාරණය විය හැකිය. මේ අනුව ශ්‍රී ලංකාව, 1986 ජැමෙයිකාවේ ඔවෝ රියොස් හි පැවැති CALC රැස්වීමේදී විනිසුරු ක්‍රැබේ (Crabbe) දුන් උපදෙස් ගුරුකොට ගෙන කෙටි පාර්ලිමේන්තු පනතකින් හා දීර්ඝ විධායක නියාමන සහිත නෛතික තාක්ෂණයක් උපයෝගී කරගෙන මෙම සංකීර්ණ නීති කෙටුම්පත සකසා තිබේ.

 මෙම පනත් කෙටුම්පත කියවීමෙන්, එහි ඇති නෛතික කෙටුම්පත්කරණයට අද‌ාළ අඩුපාඩු කිහිපයක් සහ ගැටලු මතුවන තැන් මට හඳුනාගත හැකි විය. එම නිසා මෙම කෙටුම්පත සම්බන්ධයෙන් සාධනීය විග්‍රහයක් කිරීමට පෙර අපගේ දරු මුණුපුරන්ගේ නාමයෙන් නීති කෙටුම්පත්කරණය පිළිබඳ කරුණු කිහිපයක් කීමට මම කැමැත්තෙමි.


 නීති කෙටුම්පත්කරණය
 නීති කෙටුම්පත්කරණය වෙනත් ඕනෑම ලියවිල්ලක් සකස් කිරීමකට වඩා යම් අන්දමක සන්නිවේදන කාර්යයකි. එහි අතිශයෝක්තියෙන් හෝ පුන පුනා කියන වදන් නොමැත. එහි පැහැදිලි, සරල බසින් කරුණු කිවයුතු අතර ඒ නිසාම ආයෝජකයින්ටත්, ව්‍යවස්ථාමය කරුණු උදෙසා භාවිත කරන්නන් හටත් උනන්දුවන්නන්ටත් එය පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. එක්සත් රාජධානියේ පළමු පාර්ලිමේන්තුවේ හිටපු සභිකයකු වූ ත්‍රින්ග් (Thring)  සාමිවරයා අවුරුදු 150 කට පෙර කියා සිටියේ ව්‍යවස්ථාපිත නීතියක්, විකිණීම සඳහා රේසර නිපදවන්නාක් මෙන් කෙටුම්පත් කළ යුතුය යනුවෙනි. එවිට එම නීතිය අලෙවිකරණය පහසුය. ප්‍රබල හා කාර්යක්ෂම ලෙස අද‌ාළ අරමුණු උදෙසා ඉවහල් කරගත හැකිය. එම පදනමේ පිහිටා, ආයෝජකයන් වැඩි පිරිසක් ආකර්ෂණ කර ගැනීමටත්, දුරවබෝධගතිය අවම කර ගැනීමටත්, නොපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීම උදෙසාත්, බොහෝ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල වසර 40 ක් තිස්සේ ලැබූ අධ්‍යයන ඔස්සේ කළ යුතු වෙනස්කම් කිහිපයක් හා යෝජනා කිහිපයක් මම කරන්නෙමි.


 කෙටුම්පත් කළ පනත පිළිබඳ විග්‍රහය
(a) දීර්ඝ නාමය
 දීර්ඝ නාමය පමණට වඩා දිගය. කෙටුම්පත් කළ පනතින් අන්තර්ගතය පුළුල් විෂය පථය පැහැදිලිව හා නිෂ්චිතව ඒ මගින් දැක්විය යුතුය.
කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් බවට පත් කරලීම සඳහා වූ පනත,
කොළඹ වරාය නගරය උදෙසා ආයෝජන ආකර්ෂණ කර ගැනීමට නියාමනය කිරීමට, කළමනාකරණය හා ප්‍රවර්ධනය කිරීමට එකම ස්ථානයකින් සියලු සේවා කටයුතු සැපයීම උදෙසා ආර්ථික කොමිසමක් පිහිටුවා බලගැන්වීම පිණිසත්,

 සමාගම් සේවා ද‌ායකයන් හා සාගර ආශ්‍රිත බැංකු කටයුතු  උදෙසා ධනවත් පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමටත්, සාගර ආශ්‍රිත සමාගම්, නේවාසික තට්ටු නිවාස සංකීර්ණ, රෝහල් සහ වෙනත් නිෂ්පාදන හා සේවා පිහිටුවා ලීමටත් ආයෝජකයන්ට දිරි දීමනා හා බදු සහන සැපයීම, කලාපය තුළ අන්තර්ජාතික හා ජාතික ආරවුල් විසඳීමේ මධ්‍යස්ථාන පිහිටුවීම හා මේ සියලු දේට අද‌ාළ කරුණ සහ අවස්ථානුකූලව මතුවන  අවශ්‍යතා උදෙසා කටයුතු කිරීමත් පිණිසය.

(b) පූර්විකාව
 කෙටුම්පතේ ඇතුළත් කර ඇති පූර්විකාව ආකර්ෂණීය නොවන අතර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටීම අතින් ක්‍රමෝපායික වශයෙන් වැදගත් වීමත් තරගකාරීත්වය අතින් වැදගත් වීමත් එහි සඳහන් විය යුතුය.
පහත සඳහන් ආරම්භක පාඨ පූර්විකාවට ඇතුළත් විය යුතු බව මම නිහතමානීව යෝජනා කරමි.

බටහිර ආසියාවට, නැගෙනහිර අප්‍රිකාවට, ඉන්දියානු උප මහාද්වීපයට, නැගෙනහිර ආසියාවට සහ චීනයේ එක් මාවතක් එක් තීරයක් යන සියල්ලට පිවිසුම් ස්ථානයක් ලෙස ඉන්දියානු සාගරයේ ක්‍රාමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. මේ සියල්ල හා එක්ව කලාපීය වශයෙන් සහ ඉන් එහා වැදගත්කමක් දරන වෙළඳ බලාධිකාරීන්ගේ සහභාගිත්වයේ බලපෑම විශේෂ ආර්ථික කලාපයට බලපානු ඇත.

(C) පනත් කෙටුම්පතේ II කොටස
 පනත් කෙටුම්පතේ II  කොටස අද‌ාළ වනුයේ කොමිසමේ අරමුණු, බලතල හා කාර්යභාරය සම්බන්ධයෙනි. මෙය ඉතා වැදගත් කොටසක් වනුයේ ඊට මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදය උදෙසා මුදල් ගලා ඒම වැළැක්වීමේ මූලික කාර්ය කොටසට අද‌ාළ වගන්ති ඊට ඇතුළත් වන බැවිනි.

 ආයෝජන මණ්ඩල පනත හා පරස්පර වීම මගහැර ගැනීම උදෙසා 5 (b)  වගන්තිය ඉවත්කර ඒ වෙනුවට පහත සඳහන් උප වගන්තිය ඊට ඇතුළත් කළ යුතුය.

(b) රටේ සෙසු ප්‍රදේශවලට බහුවිධ බලපෑම් ඇතිවන සේ වරාය නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම.
6 වැනි වගන්තියේ 02 වැනි ඡේදයෙන් අනතුරුව ඒ සමගම පනත (3) යනුවෙන් දක්වා ඇති ඡේදය ඇතුළත් කිරීම වඩාත් වැඩද‌ායි වේ. ඒ මගින් වෙනත් වරාය නගර මෙන් කොළඹ වරාය නගරයේ ද ආයෝජන ප්‍රවර්ධනය කිරීම උදෙසා ඒජන්ත කාර්ය භාරයක් ගතික වශයෙන් ඉටු කිරීමට, ශ්‍රී ලංකාවේ දේශීය නීති හා ගණකාධිකරණ ආයතනවලට ඉඩ සැලසේ. (Offshone Directory) සාගර ආශ්‍රිත නැතහොත් අක්වෙරළ නාමාවලියේ විවිධ අධිකරණ බල ප්‍රදේශ තුළ කටයුතු කරන විවිධ ඒජන්ත ආයතනවල නාම ලේඛනයක් සැපයේ. කෙටුම්පත් කරන ලද පනතෙන් අපගේ නීතිඥවරුනට  හා ගණකාධිකාරීන්ට ආයෝජන ප්‍රවර්ධනය උදෙසා ඒජන්තවරුන් ලෙස ගතික කාර්ය භාරයක් ඉටුකිරීමේ ඉඩකඩ නැත. පහත දැක්වෙන (3) ඡේදයේ ඒ පිළිබඳව සඳහන් වේ.

(3) (1) උප වගන්තිය යටතේ සඳහන් කාර්ය හා ක්‍රියාද‌ාම හා බලය, ක්‍රියාවේ යෙදවීමටත්, ඉටුකිරීමටත් විසර්ජනය සඳහාත් කොමිසම විසින් සාගර ආශ්‍රිත සමාගම්, බැංකු සහ අනෙකුත් ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ඒජන්තයන් පත්කිරීම අනුමත කළ යුතුය.

(d) පනත් කෙටුම්පතේ III වැනි කොටස
තුන්වැනි කොටස අද‌ාළ වන්නේ කොමිසමේ සංයුතිය, පරිපාලනය සහ කළමනාකරණය යන කටයුතුවලට ය. සාගර ආශ්‍රිත (අක්වෙරළ) බැංකු සහ සමාගම් උදෙසා ලියාපදිංචිය පිරිනැමීමේ භාරදූර වගකීම කොමිසමට පැවරී තිබේ. මූල්‍ය මණ්ඩලය විසින්, වෙනත් සාගර ආශ්‍රිත මූල්‍ය මධ්‍යස්ථාන මෙන් ආයෝජකයන් ආරක්ෂා කරගැනීම උදෙසා ඇතැම් කොන්දේසි පනවමින් හා සාගර ආශ්‍රිත බැංකු A B C  යනුවෙන් වර්ගීකරණය කිරීම හෝ ඒවාට බලපත්‍ර දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී කොමිසමට එකී යම් බැංකුවක් හෝ සමාගමක් ලියාපදිංචි කිරීමේ හැකියාව පවතින්නේද යන ප්‍රශ්නය පැන නැගේ.
වෙනත් විශේෂ ආර්ථික කලාපවලින් අසාධු ලේඛනයට (Black List)  ඇතුළත් කොට ඇති ආයෝජකයන්ගේ ලැයිස්තුවක් කොමිසම විසින් පවත්වා ගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා කොමිසම අනෙකුත් විශේෂ ආර්ථික කලාප සමග සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. එසේ නොකළහොත් කොමිසමට එරෙහිව විවේචන එල්ල විය හැකිය.

 කොමිසම කොළඹ වරාය නගරයේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම අවශ්‍යය. යමක් වැරදී ගියහොත් එය ආශිර්වාදයක් නොව ශාපයක් බවට පත්වනු ඇත. යම් වංක ආකාරයකින් කොළඹ වරාය නගරය තුළට මත්ද්‍රව්‍යවලින් උපයන මුදල්, ත්‍රස්තවාදී අරමුදල් පැමිණේ නම් ඒවා වැළැක්වීමට හැකි සෑම වෑයමක්ම දැරිය යුතුය. එම වංක උපක්‍රමවලට අංක භාවිත ගිණුම්, දරන්නා නමින් නම් කළ කොටස් අයත් විය හැකිය. අද දවසේ මේ යුගයේ දී මංකොල්ලකාරයන්ට ඇතුළට එන්නට ඉඩදීම කිසිසේත්ම නොකළ යුත්තේ අප අනුගමනය කරන සෑම පියවරක් ගැනම අන්තර්ජාතික ප්‍රජාව සෙවිල්ලෙන් පසුවෙන නිසාය.
 ආයෝජකයන් සියුම් පරික්ෂාවට ලක් කිරීම සිදුනොකළ හොත් සිදුවන්නේ මහ විපතකි. ඇන්ටිගුවා සහ බාර්බුඩා හිදී ඇලන් ස්ටැන්ෆොර්ඩ් සාගර ආශ්‍රිත බැංකුවක් පවත්වා ගැනීම උදෙසා බලපත්‍රයක් ලබා ගත්තේය. ඔහු කාර්යාල කිහිපයක් හා නිවාස සංකීර්ණ ඉදිකොට 20/20 ක්‍රිකට් තරගාවලියකට අනුග්‍රහය දැක්වූයේය. පසුව ඔහු ව්‍යාජ ආයෝජකයකු ලෙස වරදකරු කොට ඇ.එ. ජනපද අධිකරණයෙන් අවුරුදු 120 ක සිර දඬුවමක් ඔහුට නියම විය. මම 2015 දී ඇන්ටිගුවාවට ගිය විට  එම මූල්‍ය මධ්‍යස්ථානයේ කොටසක් පාළුවට ගොස් තිබෙන අයුරු දැක කම්පාවට පත්වීමි.

(e) පනත් කෙටුම්පතේ v  වැනි කොටස v වැනි කොටස අද‌ාළ වන්නේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා කාර්ය මණ්ඩලය සම්බන්ධයෙනි. අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කොමිසමේ කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවකයන් ලෙස සැලකිය යුතු බවත් ඔවුන් අල්ලස් පනතට හා අපරාධ විධි විධාන සංග්‍රහයට යටත් වන බවත් කියවෙන ප්‍රතිපාදන මෙම කොටස යටතේ තිබිය යුතුය.

(f) පනත් කෙටුම් පතේ VII වැනි කොටස VII  වැනි කොටසට අයත් වන්නේ සාගර ආශ්‍රිත සමාගම් ලියාපදිංචි කිරීමේ කටයුතුය. එය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. සාගර ආශ්‍රිත (අක්වෙරළ) සමාගම් හඳුන්වා දෙනු ලැබුවේ 1982 සමාගම් පනත යටතේය. එබැවින් ශ්‍රී ලාංකීය තරුණයන්ට මෙම සාගර ආශ්‍රිත නැව් සමාගම්වල නාවිකයන් ලෙස රැකියාවල නිරත විය හැකිය. පැනමා රාජ්‍යයේ මෙන් සාගර ආශ්‍රිත නැව් සමාගම් ලියාපදිංචි කර තරුණයන්ට නාවික  අංශයේ නාවික ඉංජිනේරුවරුන් හා නාවික නියමුවන් ලෙස රැකියා අවස්ථා ලබා දීම ලලිත් ඇතුලත්මුදලිගේ සිහිනයක් විය.
හේතු කිහිපයක්ම නිස 1982 පනත යටතේත්, 2007 පනත යටතේත් සාගර ආශ්‍රිත සමාගම් ලියාපදිංචි වීම අසාර්ථක විය.

එහිදී බදු ක්‍රමය නිශ්චිතව සකසා නොතිබිණි. සාගර ආශ්‍රිත සමාගම් වලට අද‌ාළව පිරිනැමෙන ඇතැම් දිරි දීමනා ඒවායේ  ගැටලු විසඳෙන ආකාරයෙන් සකස් වී නොතිබිණි.

කෙටුම්පතේ මෙම කොටසේ සාගර ආශ්‍රිත සමාගම් නියාමනය කිරීමට අද‌ාළව පිරිනැමෙන දෑ ඇතුළත් කොට තිබිය යුතුය. අප මෙම සංකල්පය වර්ධනය කිරීමට නම් සාගර ආශ්‍රිත ලෝකයේ තරගකාරිත්වය යොමුවන දිශානතිය දැනගෙන එය කළ යුතුය.

ආර්ථික කොමිසම විසින්, සාගර ආශ්‍රිත සමාගම්වලට පිරිනමන බදු සහන, මූල්‍ය වරද‌ාන, දිරි දීමනා එකින් එක පැහැදිලිව සටහන් කළ යුතුය. ඉන්පසු ඒවා කැබිනට් අනුමැතියට යොමුකළ යුතුය. ඒවා අනුමත වූ විට ජනාධිපතිවරයා විසින් ඒවා ගැසට් පත්‍රිකාවකින් ප්‍රකාශයට පත්කොට යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එසේ නොකළහොත් නීතිමය වශයෙන් ස්ථාපිත වූ සමාගම්වලට කොළඹ වරාය නගරයේ මෙහෙයුම් කිරීමට නොහැකි වනු ඇත.

(g) පනත් කෙටුම්පතේ VIII වැනි කොටස
VIII වැනි කොටස සම්බන්ධ වන්නේ සාගර ආශ්‍රිත බැංකු කටයුතුවලටය. කෙටුම්පතේ ‘බැංකු ව්‍යාපාර’ යන්නට දෙන නිර්වචනය ඉතා පටුය. කීර්තිමත් බැංකු වරාය නගරය කරා ඇදගන්නට එම නිර්වචනය ප්‍රමාණවත් නොවේ. එම නිර්වචනයේ ආයෝජන බැංකු හා ඉස්ලාමීය බැංකු කටයුතු ඇතුළත් විය යුතුය. මෙම කොටසේ ඇති නියාමන නීති අතිශය වැදගත් වන්නේ අර්බුද තත්ත්වය මඟ හරවා ගන්නටය.
45 වගන්තිය යටතේ ඇති රෙගුලාසි රහස්‍ය සම්බන්දතා හා බැංකුවල රාහස්‍යභාවයට අද‌ාළ විය යුතුය. සාගර ආශ්‍රිත බැංකු ව්‍යාපාර කටයුතුවල ආකර්ෂණය වන ප්‍රධානම කොටස රහස්‍ය භාවයයි. රන් බිජුලන කිකිළියට සමාන වන්නේ බැංකුවල එම රහස්‍ය භාවයයි.

වෙනත් රටවල නීති ක්‍රියාත්මක කරන ආයතන බැංකු ගිණුම්වලට අද‌ාළ ලේඛන බොහෝ විට ඉල්ලා සිටී, ඇතැම් විට එවැනි බැංකු නිලධාරීහු ඔවුන්ගේ රටට ඇතුළු වූ විට එම රටවල අධිකරණයේ  පෙනී සිටින සේ නියෝග නිකුත් කරති.

(ඇ.එ.ජ. එරෙහිව නොවෙස්කෝෂිකා බැංකු නඩුව 1982) බලන්න
කොමිසමෙන් එවැනි ඉල්ලීම් කිරීම සඳහා පනතෙන් හෝ නියාමන නීතිවලින් යාන්ත්‍රණයක් සකසා තිබිය යුතුය. එවැනි බැංකුවකට හෝ  පෞද්ගලික ගිණුමකට අද‌ාළව බැලූ බැල්මට පෙනෙන සාක්ෂියක් ඉදිරිපත් කිරීමට එය අවශ්‍ය වේ.

කෙටුම්පත් කරන ලද පනත ව්‍යවස්ථානුකූල ද

මෙම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවතින ගැටලුවක් නිසා මෙම ලිපියේ අරමුණ මෙකී පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලද යන්න විමසා බැලීම නොවේ.
සාගර ආශ්‍රිත කටයුතුවල දී විදේශිකයන් හා කටයුතු කිරීමේදී රටේ පවතින නීතියෙන් වෙනස්වීම අද‌ාළ නොවන්නකි. කෙසේ වුවද මෙම වැදගත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ප්‍රවීණ වෘත්තිකයන්ට ඉඩ නොදීම නිසා මේ මගින් ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාද‌ාමයත්, ජනතාවගේ ස්වෛරීභාවයත් උල්ලංඝනය වීමට ඉඩ තිබේ.  දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාපිත අධිකරණය 2006 වසරේ පැවැති Doctors For Life  එරෙහිව කතානායක නඩුවේදී පාර්ලිමේන්තු පනතක් එකී තීන්දුව මගින් අවලංගු කරන ලද්දේ ප්‍රවීණ වෘත්තිකයන්ගේ අදහස් විමසා බලා නොතිබීම හේතුවෙනි. එම තීන්දුවෙන් එම පනතට අද‌ාළ වෘත්තිකයන්ගේ අදහස් විමසීමෙන් පසුව ඉදිරිපත් කිරීම නිර්දේශ කෙරිණි.


 නිගමන සටහන්
කොළඹ වරාය නගරය, ආර්ථික කොමිසමෙන් කළමනාකරණය කිරීමේ කාර්යය අතිශය භාරදූර කර්තව්‍යයකි. මෙම පනත අයිස් බර්ගයක ඉහළ කොටස හා සමාන වන අතර (නොපෙනෙන කොටස වැඩි නිසා) සාගර ආශ්‍රිත බොහෝ නීති රෙගුලාසි එකී පාලනය තුළ සිදුවන්නකි.

මෙම පනත මගින් කොළඹ වරාය නගරය චීනයේ කොලනියක්ව පවතින බව කීම අතිශය වැරදි සහගතය. එයින් සිදුවන්නේ බටහිර සිට පෙරදිග දක්වා රටවල් ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක්කිරීමයි. ක්‍රාමෝපායික වශයෙන් වැදගත් මර්මස්ථානයක බටහිරත් නැගෙනහිරත් අන්තර්ජාතික වෙළඳ‌ාම මගින් යා කිරීම අතිශය වැදගත් කරුණකි.

 සාගර ආශ්‍රිත (අක් වෙරළ) ව්‍යාපාර කටයුතු අතිශය තරගකාරීය. එක්සත් රාජධානිය සහ ඇ.එ.ජ. වැනි දියුණු රටවල් රාශියක මේ හා සමාන සාගර ආශ්‍රිත මූල්‍ය මධ්‍යස්ථාන සාර්ථකව පවත්වා ගැනෙන්නේ බදු සහන ආදිය සැපයීම මගිනි.

(***)
2021 අප්‍රේල් 19 වැනිදා Daily FT පත්‍රයේ පළවූ
Colombo Port City Economic Commission Bill-2021
ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ