IMG-LOGO watawala

2024 මැයි මස 22 වන බදාදා


ව්‍යවසායකත්වය නොසලකා හැරීමේ ආනිසංස

දේශීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර පහසුවෙන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ක්‍රමයෙන් උද්ගත වෙමින් තිබෙන බවට ඔවුන් අතරින්ම විවිධ මතවාද පැන නැගී තිබේ. මේ ඒ පිළිබඳව දේශීය ව්‍යවසායකයකු සමග කළ සාකච්ඡාවක සටහනකි.

ඒ ව්‍යවසායකයා ආචාර්ය නයන දෙහිගමය. එපික් ටෙක්නෝලොජි සමාගම් සමූහයේ නිර්මාතෘවරයා ද ඔහුය. ජපානය, සිංගප්පූරුව හා මැලේසියාව යන රටවල ද තම සමාගම්වල ශාඛා පිහිටුවාගෙන යමින් විදෙස් වෙළෙඳ පොළඳ අත්කරගෙන සිටින දෙහිගම මහතා මහනුවර කින්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ගම ද මහනුවරය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගත් ඒ මහතා ව්‍යවසායකත්වය පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගෙන තිබෙන්නේ තායිලන්තයේ පිහිටි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකිනි. මේ ඔහුගේ හඬයි.

නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා වන ලී ක්වාන් යු ප්‍රථම වතාවට ලංකාවට පැමිණියේ 1956 අප්‍රේල් මාසයේදීය. එදා ලංකාවට පැමිණි ඔහු පෙරළා සිය රටට ගියේ සිංගප්පූරුව ද කොළඹ සේ දියුණු කළ යුතු බව කියමිනි. ඒ සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම 2019 දී ඇමෙරිකන් ඩොලර් 92,270 කි. 2019 දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,852 කි. 2019 දී සිංගප්පූරුවේ දල ජාතික නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 372.1 කි. 2019 දී ලංකාවේ දල ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 84.01 කි. සිංගප්පූරු කොටස් වෙළෙඳ පොළේ 2018 දී ලියාපදිංචි සමාගම් ගණන 7,45,000 කි. 2021 ජුනි මාසය වෙද්දී ලංකාවේ කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි සමාගම් ගණන 285 කි.

ඒ ලංකාව හා සිංගප්පූරුව අතර වෙනසය. 1980 දශකය වන විටත් අපේ අවඥවට හා උපහාසයට ගොදුරු වූ දකුණු කොරියාවේ ඒක පුද්ගල ආදායම 2019 දී ඇමෙරිකන් ඩොලර් 31,846 කි. 2019 දී එරට දල ජාතික නිෂ්පාදිය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 1,647 කි. 2019 දී බංග්ලාදේශයේ දල ජාතික නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 302.6 කි. 2019 දී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 84.1 කි. අර්ථික හා සාමාජිය සංවර්ධනය අතින් ලංකාවට ගව් ගණනක් ඈතින් සිට රටවල් දැන් ලංකාවට වඩා ගව් ගණනක් දුර ගොස් සිටින්නේ ඇයි?. මගේ අවබෝධය හා තක්සේරුව අනුව නම් ඊට බලපා තිබෙන්නේ එකම එක කාරණයකි. ඒ කාරණය නම් එදා මේදා තුර සිටි කිසිම පාලකයකුට ව්‍යවසායකත්ව මනසක් නොතිබීමය.

ලංකාවට වඩා ගව් ගණනක් දුරින් සිටි රටවල් වන සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව, දකුණු කොරියාව වැනි රටවල සිටි නායකයන් ඒ රටවල් දියුණුව කරා ගෙන ගියේ ව්‍යවසායකත්ව මනසේ මහිමයෙනි.

අද බංග්ලාදේශය ලංකාවට වඩා ආර්ථිකමය වශයෙන් ශක්තිමත්ම සිටින්නේ ද එරට පාලකයන්ගේ ව්‍යවසායකත්ව මනස නිසාය. ව්‍යවසායකත්වය තිබිය යුත්තේ ව්‍යසායකයන් අතර පමණක් නොවේ. එය රටක පාලකයන්ටද තිබිය යුතුය.

ව්‍යවසායකයකුගේ සාර්ථකත්වයට බලපාන කරුණු පහකි. නැතහොත් ව්‍යාපාරයක සාර්ථකත්වයට ඉහවල් වන හේතු පහකි. ආදායම, ලාබය, මුදල් සංචරණය (Cash flow), වර්ධනය හා නව නිර්මාණ කිරීම ඒ කරුණු පහයි. ව්‍යවසායකයකු ඒ කරුණු ගැන සැලකිලිමත් නොවී ඒවා තුලනය කරගැනීමකින් තොරව කටයුතු කළහොත් ඒ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම කඩා වැටෙයි. රටක ආණ්ඩු කරන නායකයන් අතරද ඒ ලක්‍ෂණ පහ තිබිය යුතුය. එසේ නොවූ කළ සිදුවන්නේ රට ආර්ථික වශයෙන් කඩා වැටී සමාජමය වශයෙන් පිරිහීමය. අද ලංකාවට සිදු වී ඇත්තේ ද එයයි.

සිංගප්පූරුව අද තිබෙන තැනට ගෙනියන්නට ලී ක්වාන් යූ ඉගෙන ගත්තේ ලංකාවෙනි. අපේ රටේ ක්‍රියාත්මක වූ ‘‘කොළඹ ක්‍රමය’’ ලීගේ සිත්ගත් ව්‍යාපෘතියකි.. එකල බොහෝ රටවල් ඉගෙන ගන්නට පැමිණියේ ලංකාවටය.

මැලේසියාව තම රටට පළමුවැනි රබර් පැළය රැගෙන යන්නේ ලංකාවෙනි. මැලේසියාව අද ලෝකයේ හතර වැනි රබර් අපනයනකරුවාය. එහෙත් ලංකාව ඉන්නේ කොහෙද? අපට මෙහෙම වුණේ ඇයි? ඒ කරුණු නිසි විදියකට අධ්‍යයනය කරද්දී ලංකාවේ පාලකයන්ට ව්‍යවසායක මානසිකත්වය නැති නිසා රට මේ තත්ත්වයට පත් වූ බව මැනවින් අවබෝධ කරගත හැකිය. පාලකයන් ව්‍යවසායක මනසකින් කටයුතු කරන තුරු රට දියුණු කරනවා තබා දැනට තිබෙන ප්‍රශ්න ටිකවත් විසදාගත නොහැකි බව මගේ තක්සේරුවයි. පාලන තන්ත්‍රයේ සිටින දේශපාලකයන් පමණක් නොව පරිපාලන තන්ත්‍රයේ සිටින රජයේ නිලධාරීන්ට ද ව්‍යවසායකත්ව මනස අත්‍යවශ්‍ය බව මගේ විශ්වාසයයි.

රටක දල ජාතික නිෂ්පාදිතය උපයා දෙන, රැකියා බිහිකරන එමගින් ආර්ථික හා සමාජ සංවර්ධනයට දායකවන ව්‍යවසායකයන්ට හිරිහැර කරන්නේ සහ ඒ ව්‍යවසායකයන්ගේ ඔළුගෙඩිවලට කුලු ගෙඩිවලින් ගසන්නෝ ව්‍යවසායක මනසක් නැති පාලකයෝ සහ නිලධාරියෝය. දේශීය ව්‍යවසායකයන්ගේ ඔළුගෙඩිවලට කුලුගෙඩිවලින් ගසන බව සනාථ කිරීමට දිය හැකි හොඳම උදාහරණය ලාෆ් ගෑස් සමාගමට අත්කර දෙමින් තිබෙන ඉරණමය.

2020 අප්‍රේල් මාසයේ දී ලෝක වෙළෙඳ පොළෙහි ගෑස් ටොන් එකක මිල ඇමෙරිකන් ඩොලර් 346කි. එය දැන් ඩොලර් 620කි. ඒ අනුව ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල සියයට 200කින් පමණ වැඩි වී තිබේ.

රජයට පාඩු වන බව කියමින් පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල වැඩි කළ රජය තෙල් නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන ගෑස් මිල වැඩි කිරීමට ලාෆ් සමාගමට ඉඩ නොදෙයි.. ඒ නිසා කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයකින් රුපියල් 850ක පාඩුවක් වන බව ලාෆ් සමාගම කියයි. එසේ වු කල ඒ සමාගම ලාබ ලබන්නේ කෙසේද? ඔවුන්ගේ  කටයුතු සඳහා මුදල් සංචරනය වන්නේ  කෙසේද? ඉදින් මේ දේශීය ව්‍යවසායකයා ජීවත් කරවන්නේ කෙසේද?

ලාෆ් සමාගමට ගෑස් මිල වැඩිකිරීමට ඉඩ නොදීමෙන් ඒ සමාගමට අහිමි වන්නේ ලංකාවේ වෙළෙඳ පොළ පමණකි. එහෙත් රටට ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය හා අප්‍රිකාවේ ගෑස් වෙළෙඳ පොළද අහිමිවෙයි. එසේ වන්නේ ඒ රටවලට ගෑස් අපනයනය කරන්නේ ලාෆ් සමාගම වීමය. ඒ සමාගම  එය කරන්නේ හම්බන්තොට වරායේ පිහිටි තම පර්යන්තය හරහාය. ඒ රටවලට ගෑස් අපනයනය කිරීමෙන් ඒ සමාගම උපයන්නේ ඩොලර්ය. මෙතෙක් ඒ ඩොලර් ලැබුණේ ලංකාවටය. එහෙත් දේශීය ව්‍යාවසායකයන්ගේ ඔළුගෙඩිවලට කුලුගෙඩිවලින් ගැසීමේ පිළිවෙත නිසා මින් ඉදිරියට රටට ඒ ඩොලර් උල්පත ද අහිමිව යයි.  හම්බන්තොට වරාය දැන් චීනය සතුය. ලාෆ් සමාගමේ ගෑස් ආනයන හා අපනයන පර්යන්තය තිබෙන්නේ ඒ හම්බන්තොට වරායේය. ඒ අනුව ලාෆ් සමාගමට මෙසේ හිරිහැර කරන්නේ ඔවුන්ගේ ගෑස් පර්යන්තය චීනයට දීමට දැයි දැන් දේශීය ව්‍යවසායකයන් අතර මතයක් ගොඩ නැගී තිබේ.

ලංකාව ලෝකයට රැගෙන ගිය සමාගමකට රටේ ආණ්ඩුව සලකන්නේ එලෙස ද? එසේ නම් ආණ්ඩුව එමගින් දේශීය ව්‍යවසායකයන්ට දෙන පණිවිඩය කුමක්ද? අද ලාෆ් සමාගමට අත්ව තිබෙන ඉරණම හෙට මගේ සමාගමට අත්විය නොහැකිද යන බිය හා සැකය අද දේශීය ව්‍යවසායකයන් අතර ශීඝ්‍රයෙන් පැතිරෙයි.

ආයෝජකයන් හොයන්නේ කරදර හිරිහැර නැතිව පහසුවෙන් ආයෝජනය කළ හැකි තැන්ය. රටවල්ය. යම් තැනකින් හෝ යම් රටකින් බාධක හිරිහැර වනවිට ඒ රටෙහි ආයෝජනය කිරීමට බිය සැක ඇතිවන විට  නිදහස් හා පහසු රටවල ආයෝජනය කිරීමට ව්‍යවසායකයෝ නිරන්තරයෙන්  පෙළඹෙති.

ලෝක බැංකුවෙන් සකසන ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකයෙහි ලංකාව දැනට සිටින්නේ 99 වැනි තැනය. ඒ රටවල් 190 ක් අතරිනි. 2012 දී අපට ඒ දර්ශකයෙහි හිමිවූයේ 83 වැනි ස්ථානයයි.

ඉන් අනාවරණය වන්නේ ලංකාවේ ව්‍යාපාර කිරීම එන්න එන්නම අමාරු වන බවය. ජාත්‍යන්තරයේ ලංකාව සම්බන්ධයෙන් පවතින්නේ එවැනි මතයකි. එසේ නම් මෙරටෙහි ආයෝජනය කිරීමට විදේශිකයන් එනු ඇතැයි සිතිය නොහැකිය. එවැනි පරිසරයක රටේ දැනට ඉතිරි වී සිටින දේශීය ආයෝජකයන් ටික දෙනාත් රට හැර  ගියොත් ලක්ෂ කීයකට රැකියා නැතිවෙයිද? කී ලක්ෂයක් පාරට වැටෙයි ද?

අපේ රටේ පාලකයන්ට ව්‍යවසායකත්ව මනසක් නොමැති බව ව්‍යාපාර කිරීමේ පහසුව මනින ඒ දර්ශකයෙන් ද ( Ease of Doing Business Index - EODB) හෙළිවෙයි. ඒ දර්ශකයට ඇතුළත් රටවල් ගණන 190කි.

 ඒ දර්ශකයෙහි පළමුවැනි තැන නවසීලන්තයටත් දෙවැනි තැන සිංගප්පුරුවටත් තෙවැනි තැන හොංකොංවලටත් හිමිවී තිබේ. දකුණු කොරියාව හිමිකරගෙන සිටින්නේ එහි පස්වැනි ස්ථානයයි. මැලේසියාව 12 වැනි තැනත් තායිලන්තය 21 වැනි තැනත් හිමිකරගෙන සිටියි. අපේ අසල්වැසි ඉන්දියාව  63 වැනි තැනක් භූතානය 89 හා නේපාලය 94 වැනි ස්ථානත් හිමිකර ගෙන සිටියි. ඉන් අනාවරණය වන්නේ අපේ දකුණු ආසියානු කලාපයේ රටවල් තුනක්ම අපට ඉදිරියෙන් සිටින බවය. එසේ නම් දකුණු ආසියාවේ රටක ආයෝජනයට කැමැති විදේශිකයකු වුවද ලංකාවට වඩා ඉන්දියාව, භූතානය හෝ නේපාලය දෙසට හැරෙන්නට තිබෙන ඉඩ ඉතා ඉහළය.

ආණ්ඩුව හා දේශපාලන බලය සතු ආණ්ඩු පාක්‍ෂිකයන් සේම හිතවතුන් අපේ දේශීය ව්‍යවසායකයන්ට හිරිහැර කරන්නේ ජාත්‍යන්තරයේ රට මෙතරම් පහළ තැනක තිබියදීය. 2012 දී 83 වැනි තැන සිට 2020 වනවිට 99 වැනි තැනට වැටුණා සේ ඉදිරියේදී තවත් පහළට වැටුණොත් ආර්ථික හා සාමාජීය වශයෙන් රට අගාධයේ පතුළටම ඇද වැටී දේශපාලන වශයෙන්ද රට අස්ථාවර වනු නිසැකය. රට එවැනි තැනකට ඇද දැමීමට කටයුතු කරන්නේ දැයි අපි ආණ්ඩු කරන්නන්ගෙන් ප්‍රශ්න කරමු.

ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකය සකස් කරන්නේ තවත් අනු දර්ශක රැසක් පදනම් කරගෙනය. පොරොන්දු, කොන්ත්‍රාත්, ගිවිසුම් බලගැන්වීම හා ක්‍රියාත්මක කිරීම (Enfor cing Contracts) අතින් ඒ රටවල් 190 අතරින් ලංකාවට හිමිවී තිබෙන්නේ 164 වැනි ස්ථානයයි. එය රටක් හැටියට අපට ඉතා නරක තත්ත්වයකි. මෙමගින් ජාත්‍යන්තරය ලංකාව හඳුනා ගන්නේ පොරොන්දු ඉටු නොකරන, ගිවිසුම් කඩ කරන රටක් ලෙසය. එවැනි රටකට විදෙස් ආයෝජකයෝ පැමිණෙත්ද? රටෙහි දැනටත් සිටින ආයෝජකයෝ තවදුරටත් රටෙහි රැඳී සිටිත්ද?

බදු ගෙවීම අතින් (Paying Taxes) ඒ රටවල් 190 අතරින් ලංකාව හිමිකරගෙන සිටින්නේ 142 වැනි ස්ථානයයි. ඉන් හෙළිවන්නේ ලංකාවේ අවංක ව්‍යාපාරිකයන් ඉතා අඩු බවය. වැඩි දෙනා බදු නොගෙවන බවය. එසේම බදුවලින් රිංගා යන බවය. අවංක නීතිගරුක ආයෝකයෝ මෙවැනි රටවල් ප්‍රිය නොකරති. ණය ගැනීමට තිබෙන හැකියාව (Getting Credit) අතින් ලංකාවට හිමිවී තිබෙන්නේ ඒ රටවල් 190 අතරින් 132 වැනි ස්ථානයයි. එය මෙරට ජනතාව අතරන් අතිවිශාල බහුතරයකට තිබෙන බරපතළ ප්‍රශ්නයකි. විවිධ ලිපි ලේඛන ඉල්ලමින් කල් ගැනීම හා කල් මැරීම මෙරට බැංකුවලට ආවේණික ලක්‍ෂණයකි. රාජ්‍ය බැංකුවල මේ තත්ත්වය ඉතා බරපතළය. පුංචි ණයක් ගැනීමට මහා ඇපකර ඉල්ලයි. ඒ කාරණයේ දී පෞද්ගලික බැංකු ද රාජ්‍ය බැංකු සමග තකට තකය. මේ දිනවල මම ද එවැනි ඉරණමකට ගොදුරු වෙමින් සිටිමි. පෞද්ගලික බැංකුවකින් මා ඉල්ලන ණය මුදල සඳහා ඔවුන් මගෙන් ඉල්ලන ඇපකරය ණය මුදල මෙන් දෙගුණයකටත් වැඩිය. බැංකු එතරම් විශාල ඇපකරයක් ඉල්ලන්නේ අප කරන්නට යන ව්‍යාපාර සාර්ථක වේද? නොවේද? යන සැකය මත බව නිසැකය.

බැංකුවලට ඒ සැක සංකා ඇතිවී තිබෙන්නේ පහසුවෙන් ව්‍යාපාර කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ආණ්ඩුව මගින් ඇතිකර තිබෙන නිසා බව මගේ තක්සේරුවයි.

රටේ සිටින දේශීය ව්‍යවසායකයෝ ආණ්ඩුව නමැති තාත්තාගේ දරුවෝය. සියලු දරුවෝ තාත්තා සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටිති. ඒ තාත්තා ඒ දරුවන් සියලු දෙනාටම යුක්තිය ඉටුකළ යුතුය. එහෙත් අද එසේ නොවෙයි. ආණ්ඩුව පිරිසකට රතු පලස් එලන අතර තවත් පිරිසකගේ ඔළුගෙඩිවලට කුලුගෙඩිවලින් ගසයි. කකුල් මාට්ටු දමයි. යම් ප්‍රදේශයක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යන ව්‍යවසායකයාට ඒ ප්‍රදේශයේ බලවත් දේශපාලකයාට ලොකු කුට්ටියක් ගෙවීමට හෝ ව්‍යාපාරයේ කොටස් දීමට සිදුවෙයි. නැත්නම් ඔහු එම ව්‍යාපෘතිය කිරීමට ඉඩ නොදෙයි. ව්‍යවසායකයා ආයෝජනය කරන්නේ ඔහුගේ ඉතුරුම් හෝ බැංකුවකින් ණයට ගන්නා මුදල්ය. විරැකියාවෙන් පෙළෙන අයට රැකියා නිර්මාණය කර දෙන්නේ ද ඒ ව්‍යවසායකයාය. ඔහු රජයට බදු හා වෙනත් නොයෙක් ගාස්තු හා කුලී ද ගෙවිය යුතුය.

රටේ දළ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වන්නේ ද ව්‍යවසායකයාය. ඒ සියල්ල කරමින් කොහේවත් සිටින නිකමකුට තම ව්‍යාපාරයේ කොටස් හෝ අල්ලස් දිය යුතුය.. අද රටේ ව්‍යවසායකයන් අතර පැතිරෙන්නේ එවැනි නරක ආරංචිය. මේ තත්ත්වය ඉතා ඛේදනීයය. හැට නව  ලක්ෂයක් ජනතාවගේ පැතුම මෙය නොවේ. 1947න් පසු බිහිවූ ප්‍රබලම ආණ්ඩුව මෙයයි. මෙය පාර්ලිමේන්තුවේ පැහැදිලි තුනෙන් දෙකක බහුතර බලයක් හිමි ආණ්ඩුවකි. එහි ජනපතිට මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ නිර්මාතෘවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාට හිමි වී තිබූ බලතල වලටත් වඩා බලතල හිමි වී තිබේ.

විධායක ජනාධිපති ක්‍රමයක් ලංකාවේ ඇති කළ යුතු බව ජේ.ආර්. ප්‍රසිද්ධියේ කිව්වේ 1966 දෙසැම්බර් 14 වැනිදාය. ඒ විද්‍යාභිවර්ධන සංගමයේදීය. ජේ.ආර්. එදා කිව්වේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා ජනප්‍රිය විය නොහැකි එහෙත් නිවැරැදි තීන්දු ගත හැකි ශක්තිමත් විධායකයක් ලංකාවට අවශ්‍ය බවය. ජේ.ආර්. ඇතිකළ විධායකයටත් වඩා ප්‍රබල විධායකයක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ගොඩ නැගිණි. අතිශය ප්‍රබල විධායකයක් රටේ තිබිය දී අල්ලස් දූෂණ, නාස්ති, පොදු දේපළ කොල්ලකෑම් හා දේශපාලන බලය අවභාවිතා කිරීම් දිනෙන් දින ඉහළ යයි නම් නීති ගරුක රට වැසියන්ට එමගින් දෙනු ලබන්නේ කවර පණිවිඩයක්දැයි අපට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (3)

ව්‍යවසායකත්වය නොසලකා හැරීමේ ආනිසංස

Prasantha Rajapakshe Tuesday, 10 August 2021 01:42 PM

අපේ රටේ සැබෑ තත්වය මෙයයි.

:       0       0

Pubudu Wickrama Wednesday, 11 August 2021 12:16 PM

නයනාගේ ලිපියට මම 100% එකඟයි. අපේ රටේ ව්‍යවසායකයින් සඳහා සම මට්ටමේ ක්‍රීඩා පිටියක් නොමැත. රජයේ ආයතන සහ දේශපාලනඥයින්ට අල්ලස් දීමට කැමති මිනිසුන්ට මෙහි ව්‍යාපාර කළ හැකිය. කලකට පෙර මම පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් රැකියා කරන ව්‍යාපාර කිහිපයකම නියැලී සිටි අතර නයනා සිය ලිපියේ සාකච්ඡා කරන කරුණු නිසා සියල්ල අතහැර දැමීමට මට සිදු විය. අද ඔබේ ව්‍යාපාරික භූමියේ ඇති කැළි කසල ඉවත් කිරීමට පවා ඔබ මහ නගර සභාවෙන් ගෙවන නිල මුදලට ඉහළින් PHI පහලට අල්ලස් දිය යුතුය. මේ රට දියුණු කිරීමට නම් එහි පළමු පියවර වශයෙන් අපේ කම්කරු නීතිය වෙනස් කළ යුතුයි.

:       0       0

තිලිනි Tuesday, 24 August 2021 01:42 PM

මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් ඇත්තටම මා මේ සම්බන්ධයෙන් මගේ පර්යේෂණ නිබන්ධනය සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. දේශීය ව්‍යවසායිකත්වයට මෙවැනි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන්නේ නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වන රාජ්‍ය ප්‍රතිපත්තීන් කියලයි මගේ අදහස. මට අවශ්‍යයි තව දුරටත් මේ සම්බන්ධයෙන් දැනගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සරච්චන්ද්‍ර මුලින්ම නාට්‍ය ලිව්වේ ගුවන් විදුලියට
2024 මැයි මස 21 86 0

විසිවැනි සියවසේ සිංහල සාහිත්‍යය, විචාර කලාව හා නාට්‍ය කලාව යන ක්ෂේත්‍රවල අභිවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් හා බුද්ධිමය සම්ප්‍රදානයක් ලබා දුන් ක


මවු භාෂාව ලජ්ජාවක්ද?
2024 මැයි මස 21 116 0

අප සතුව ඇති ප්‍රධානතම වංශ කතාව සහ ප්‍රමුඛතම සාහිත්‍ය මූලාශ්‍රය ලෙස සැලකෙන මහාවංශය දෙමළ බසට නැගීමේ භාරධූර කටයුත්ත මේ වන විට ආරම්භ වී තිබේ. කැලණිය විශ්ව


ආර්ථික පනතේ ඉලක්ක සැබෑවේද?
2024 මැයි මස 21 123 0

ඉකුත් මාර්තු 21 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංදේශයකට අනුව දැන් “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” පාර්ලිමේන්තුවට ඉදිරිප


ඉරාන තානාපතිට පහරදීම රටේ ප්‍රතිරූපයට හානියක්
2024 මැයි මස 21 1053 3

මෙරට සිටින තානාපති ප්‍රජාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන අමුතු කතාවකට පසුගියදා මාධ්‍ය සිරස්තල වෙන්වී තිබිණි. මෙරට ඉරාන තානාපති, ආචාර්ය අල


ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක
2024 මැයි මස 20 216 0

රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය


රේගුවේ ආදායම් අවභාවිතාව
2024 මැයි මස 20 806 0

ශ්‍රී ලංකා රේගුව රටට ආදායම් ගෙන එන ප්‍රධානම රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ වර්ෂය ආරම්භයේදී ප්‍රකාශ කර තිබුණේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 857 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2403 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2063 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site