අපේ රටේ තවමත් ක්‍රියාත්මක වන්නේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 දී සැකසූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ තැන සිටම බොහෝ දෙනා අතර යම් යම් විවේචන දක්නට ලැබිණ.
පසු කාලයේ යම් යම් සංශෝධන කිහිපයක් ව්‍යවස්ථාවට ඇතුළත් වූ බව පෙනේ. ඒ කෙසේ වෙතත්, සුළු සුළු සංශෝධන පැවැතියත් තවමත් මෙරට ක්‍රියාත්මක වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා සම්පාදනය කළ 1978 මූලික ව්‍යවස්ථාවමය.
එය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ දිගින් දිගටම විවේචනයට ලක් විය. එම ව්‍යවස්ථාවෙන් ගොඩනැගූ ආර්ථික ක්‍රමයත්, සමාජ ක්‍රමයත්, දේශපාලන ක්‍රමයත් ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක් විය. ව්‍යවස්ථාව එබඳු තදබල විවේචනයකට ලක් කළ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය දැන් රටේ බලය අත්පත් කරගෙන සිටියි. ඔවුන් බලයට එන්නට පෙර ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රය තුළ ප්‍රමුඛ ලෙස සාකච්ඡාවට ලක් වූයේ ව්‍යවස්ථාවේ වෙනසක් කළ යුතු බවය. ඔවුන් අවධාරණය කර සිටියේ, සම්පූර්ණයෙන්ම මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවකි. ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් සැකසිය යුතු බව ඔවුන්ගේ අදහස විය. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද මේ ව්‍යවස්ථා වෙනස සිදු විය යුතු බව ඔවුහු ජනතාව ඉදිරියේ අවධාරණය කළහ. මැතිවරණ ප්‍රකාශනයේ ද මෙය ප්‍රමුඛ කාර්යයක් ලෙස දක්වා තිබුණි. එසේ නව ව්‍යවස්ථාවක් මගින් රටේ දේශපාලන ක්‍රමයේ වෙනසක් හා සමාජ සංස්කෘතියේ වෙනසක් ඇති කළ යුතුය යන මතය ඔවුහු ඉදිරිපත් කළහ.
මේ වන විට ජාතික ජන බලවේගය රටේ පාලන බලය හිමි කරගෙන වසරක් ගෙවී ගොස් තිබේ. එහෙත්, මේ දක්වා ව්‍යවස්ථා වෙනසක් පිළිබඳව කිසිදු ආකාරයේ අදහසක් නිල වශයෙන් ප්‍රකාශ වී නොමැත. මහජනතාව හැටියට අප අපේක්ෂා කළේ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගත් පසු ලහි ලහියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා වෙනුවට වඩාත් බුද්ධිමත්ව කල්පනාකාරිව ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙළකට යනු ඇති බවය. බලයට පත් වී පළමු වැනි වසර තුළම ඊට අවශ්‍ය පදනම සකස් කරනු ඇති බවය. අඩුම තරමින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව බරපතළ සමාජ සාකච්ඡාවක් ආණ්ඩුව ගොඩනගනු ඇති බවය. එහෙත්, ආණ්ඩුවේ නිහඬ බවින් පැහැදිලිවම පෙනී යන දෙය නම්, ඔවුන්ගේ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතම කාර්යය ලෙස සැලකුණු ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අමතක කර දමා ඇති බවය. ඒ වෙනුවට කෙරෙන්නේ රටේ මූලික නීතිය එසේම තිබියදී සුළු සුළු නීති සම්පාදනය කරමින් සංශෝධනය කරමින් රටේ පාලනය ඉදිරියට ගෙන යාමය. එහෙත්, මේ සුළු සුළු සංශෝධන මගින් රටේ ජනතාව ඉල්ලා සිටි වෙනස කළ හැකි ද යන ප්‍රශ්නය මතු වී තිබේ.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු, සෑම කාරණයකටම බෙහෙතක් නොවුණත් එමගින් රටේ ආර්ථික, දේශපාලන සමාජ හා සංස්කෘතික වශයෙන් විශාල වෙනසක් ඇති කළ හැකිය. ඒ වෙනස රටවැසියා අපේක්ෂා කළ එකකි. හුදු කට වචනයෙන් හෝ ප්‍රතිපත්තිමය තීරණවලින් නීති රීති ගොඩනැගීමෙන් පමණක් මේ දේ කළ නොහැකිය. රටේ කාටත් පිළිගත හැකි ආකාරයට මූලික නීතිය සම්පාදනය විය යුතුය. එමගින් රටේ සැබෑ වෙනසකට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුය.
කෙසේ වෙතත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තවමත් බරපතළ අර්බුදයක් තිබෙන බව අප පිළිගත යුතුය. තවමත් ඇත්තේ මධ්‍යගත වූ විධායක බලයක් සහිත එනම් බලවත් ජනාධිපතිවරයකු සහිත ආණ්ඩු ක්‍රමයකි. 17 වැනි සංශෝධනයෙන් සහ 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සෑහෙන දුරට කප්පාදුවක් කළත් අදටත් ජනාධිපතිවරයා රටේ බලවත් පුද්ගලයෙකි. මේ අනුව, රටේ ජනාධිපතිවරයා හා ජනාධිපති ලේකම් කාර්යාලය තවදුරටත් බල මූලස්ථානය නැතහොත් ප්‍රධාන බලාගාරය බවට පත් වෙයි. ඔහුට ඇති බලය කොපමණදැයි අද පවා තේරුම්ගත හැකිය. මේ අනුව, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් අත්‍යවශ්‍ය වේ.
මේ අනුව, අප කළ යුත්තේ එක්කෝ කැබිනට් ක්‍රමයකට යාමය. නැති නම් විධායක ජනාධිපති ක්‍රමය තබාගන්නා අතරේ ඇමෙරිකාවේ මෙන් ජනාධිපතිවරයාගේ බලයට සංවරණ ක්‍රමයක් ඇති කළ යුතුය. එයින් ජනාධිපතිවරයාගේ බලය තවදුරටත් මැඩපවත්වන විධිවිධාන ආයතන පද්ධතියක් සකස් කළ යුතුය. එසේම, පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් වේ. දැනට රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව ආදි ස්වාධීන කොමිෂන් සභා පැවැතියත් ඒවා මුළුමනින්ම ස්වාධීන යැයි සැලකිය හැකි නොවේ. ඒවා බොහෝ දුරට තවමත් පවතින්නේ දේශපාලනයේ විධායකයට නතු වූ දේශපාලන පක්ෂවල බලපෑමට ලක්වූ ආයතන ලෙසය. රාජ්‍ය සේවය වුව ද මුළුමනින්ම ස්වාධීන නොවේ. එබැවින්, මේවා ස්වාධීන කිරීම අත්‍යවශ්‍ය වේ. එය පනත් මගින් කළ නොහැකිය. ඒ සඳහා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය. ඊට ශක්තිමත් අත්තිවාරමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දැමිය යුතුය.
එසේම, පවත්නා සමානුපාතික නියෝජන ක්‍රමයේ ද බරපතළ ගැටලු පවතී. එබැවින්, නියෝජන ක්‍රමය පිළිබඳව ද පුළුල් සාකච්ඡාවක් සමාජයෙහි ඇති කරමින් නව ව්‍යවස්ථාවකින් නියෝජන ක්‍රමය වඩාත්ම ප්‍රජාතාන්ත්‍රීයකරණය කරන්නේ කෙසේදැයි වටහාගත යුතුය. තවදුරටත් මනාප ක්‍රමයේ පවත්නා දෝෂ, මන්ත්‍රීවරයා ඡන්ද කොට්ඨාසයකට වග නොකියන කාරණය, ඇතැම් ප්‍රදේශවලට නියෝජනයක් නොමැති වීමේ කාරණය, පක්ෂ ක්‍රමයේ පවත්නා දැඩි අසමතුලිතතා ආදිය කෙරෙහි අවධානයට ලක්විය යුතුව තිබේ. එපමණක් නොව, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැනි කාරණා විධිමත්ව සංශෝධනය කිරීමට අවශ්‍යයය. පක්ෂ ලියාපදිංචිය එන්න එන්නම විහිළුවක් බවට පත්වෙමින් තිබේ. අපේක්ෂකයන් විශාල පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් මේ තත්වය පැහැදිලිය. මැතිවරණ ක්‍රමය තුළ ඒවා වෙනස් කිරීමක් අවශ්‍ය වේ.
අනෙක් පැත්තෙන් රටේ වෙසෙන විවිධ ජන කොටස්, ආගමික කොටස්වලට අයත් ජනයාට දේශපාලන ක්‍රමය කෙරෙහි යම් අතෘප්තිකරභාවයක් ඇත. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනයාගේ ප්‍රශ්න මුළුමනින්ම විසඳී ඇතැයි කිව නොහැකිය. ඔවුන් නිහඬව සිටීමෙන් හැඟවෙන්නේ ඔවුන්ට ප්‍රශ්න නැති බව නොවේ. ඔවුන් ද රටේ පාලන ක්‍රමයේ කොටස්කරුවන් බවට පත් කරගෙන රට තනි රාජ්‍ය ක්‍රමයකට ගෙන ඒමේ නව දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සැකසිය යුතුය. නැගෙනහිර ප්‍රදේශයේ ජීවත්වන ජන කොටස්වල ප්‍රශ්න හඳුනාගෙන ඊට නිශ්චිත පිළියම් සැපයිය යුතුය. මේ සියල්ල ඉතා නිවැරැදිව හා ක්‍රමවත්ව කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් මගිනි. එම ව්‍යවස්ථාව මේ සියලු ප්‍රශ්න ගැටලු සියල්ලට ආමන්ත්‍රණය කරන එකක් විය යුතුය. එබඳු ස්ථාවර විසඳුම් ලැබෙන විධිමත් ව්‍යවස්ථා වෙනසක් මේ ආණ්ඩුව සිදුකරනු ඇතැයි ජනතාව බරපතළ ලෙස අපේක්ෂා කළහ.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී මේ ආණ්ඩුවට ගැටලුවලට මුහුණ දීමට සිදු නොවේ. මන්ද, මේ ආණ්ඩුව පිහිටුවීමට ජනතාව විශාල බලයක් ලබා දී ඇති බැවිනි. ජනතාව මේ තරම් බලයක් ජාතික ජන බලවේග ආණ්ඩුවට ලබා දී ඇත්තේ ඔවුනට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කරගැනීමේ අපේක්ෂාව ඇතිවය. ජනතාව ඉල්ලා සිටි මෙම දේශපාලන වෙනස ඇති කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස මගිනි. කල්පවත්නා ව්‍යවස්ථාපිත පදනමක් එමගින් එය සකස් කරගත හැකිය. දැන් මාලිමා ආණ්ඩුවට ලැබී ඇති ජනවරම අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසට කිසිම බාධාවකින් තොරව මග පාදාගත හැකිය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් සහිත බහුතර කණ්ඩායම ද ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයම නියෝජනය කරන නිසා මේ සම්බන්ධ ගැටලුකාරි අවස්ථා මතු වන්නේ නැත. විධායකයත්, ව්‍යවස්ථාදායකයත් එකම කඳවුරකට අයත්ව එහි බලය ද තුනෙන් දෙකක් වන විට ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කිසිදු බාධාවක් පෙනෙන්නට නැත.
මීට පෙර බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලයක් හිමි වූයේ විවිධ දේශපාලන කණ්ඩායම්වල එකතු වීමෙනි. ව්‍යවස්ථා වෙනස සම්බන්ධයෙන් කතා කළ එබඳු ඇතැම් අවස්ථාවල සන්ධානය තුළ සිටි විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ මත දැරූ බව ද දක්නට ලැබිණි. එහෙත්, මාලිමා ආණ්ඩුවේ විශේෂ ලක්ෂණය නම් එකම අදහස් දරන එකම කණ්ඩායමක් සිටීමය. එබැවින්, එය මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතාම වටිනා අවස්ථාවකි. අවශ්‍ය ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් එම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන මාලිමා ආණ්ඩුව තවමත් මෙසේ කල්මරමින් සිටීම විශාල ගැටලුවකට කාරණයකි.
ඒ නිසාම මහජනතාවට පොදුවේ ඇති වන සැකය වන්නේ, මාලිමා ආණ්ඩුවත් තමන්ට හැකියාව තිබියදීත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවධාරණය කර තිබියදීත් මීට පෙර ආණ්ඩු මෙන්ම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය හිතාමතාම නොසලකා හරිමින් සිටින්නේ ද යන්නයි. එය ආණ්ඩු බලය ලබාගැනීමේ ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස පමණක් භාවිත කළේ ද යන්නයි. ජනතාවගේ එම සැකය සාධාරණ වන්නේ, මාලිමා ආණ්ඩුව බලය ලබාගෙන පුරා වසරක් ගත වූ පසුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කිසිදු සාකච්ඡාවක් අවධානයක් යොමු නොකිරීමය. ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය හෝ ප්‍රබල ඇමැතිවරයකු හෝ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා වූ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ දක්වා ඉදිරිපත් කළ බවක් පෙනෙන්නට නැත. මේ ආණ්ඩුව යටතේ ද ව්‍යවස්ථා වෙනස හමස් පෙට්ටියට යන්නේ ද යන සැකය මතු වන්නේ මේ නිසාය.
මෙරට ජනමාධ්‍යයේ ද සිවිල් සංවිධානවල ද මේ අවස්ථාවේ ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ රටට උචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට බල කෙරෙන සමාජ සාකච්ඡාවක් ඇති කිරීමය. එමගින් රටේ නව දේශපාලන ක්‍රමයක්, දේශපාලන සංස්කෘතියක්, රටට ගැළපෙන ආර්ථික ක්‍රමයක් ඇති කළ හැකි ආකාරයේ නව නීති රීති සකස් කිරීමේ දිසාවට පාර පෙන්වීමය. ඒ සඳහා ආණ්ඩුව මෙහෙයවීමය.
එහෙත්, එබඳු සාකච්ඡාවක් ජනමාධ්‍යයේ හෝ සිවිල් සංවිධානවල ද ගොඩනැගී ඇති බවක් නොපෙනේ. ආණ්ඩුව පමණක් නොව විපක්ෂය පවා ව්‍යවස්ථා වෙනස සම්බන්ධ කාරණයේදී දිගින් දිගටම මුනිවත රකින බව පෙනෙන්නට තිබේ. එහෙත්, මගේ කල්පනාවේ හැටියට නම් මේ මොහොතේ රටේ සාකච්ඡා කරළියට ගත යුතු ප්‍රධාන මාතෘකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස සම්බන්ධ කාරණයයි. ආණ්ඩුව මේ සම්බන්ධ අවධානය යොමු නොකර තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ පවත්නා ව්‍යවස්ථාවම අනුමත කරමින් පිළිගනිමින් සිටින නිසා දැයි විපක්ෂය සහ මහජනයා ප්‍රශ්න කළ යුතුව තිබේ. එම ප්‍රශ්නයට ආණ්ඩුව ඍජු පිළිතුරක් දිය යුතුව තිබේ. පවත්නා ව්‍යවස්ථාව පිළිබඳ ජනතාවගේ ඇති අතෘප්තිකරභාවය අවධාරණය කර ව්‍යවස්ථා වෙනසකට අවශ්‍ය පරිසරය සැකසීමට සිවිල් සංවිධාන, විපක්ෂය ඇතුළු සියලු දෙනා ආණ්ඩුවට බල කළ යුතුය.
ජනතාව පැරැණි ක්‍රමය ප්‍රතික්ෂේප කළේ පුද්ගල චරිත පමණක් නොව ව්‍යවස්ථාව ද අනවශ්‍ය බව කියමිනි. දැන් ජනතාව අපේක්ෂා කළ පරිදිම පුද්ගලයන් වෙනස් වී ඇත. එහෙත්, රටේ ව්‍යවස්ථාව මූලික නීතිය පෙර පැවැති පරිදිමය. නව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්‍රමයක් අපේක්ෂා කරන රටකට ඒ සාම්ප්‍රදායයික ක්‍රමයත් සමග තවදුරටත් ඉදිරියට යා නොහැකිය. මේ ක්‍රමයම තවදුරටත් ඉදිරියට ගෙන යාමෙන් සිදුවන්නේ, මෙතෙක් පැවැති පැරැණි දේශපාලන ක්‍රමයම නැවත තහවුරු වීමය. පරණ ව්‍යවස්ථාවම තවදුරටත් ආරක්ෂා කරමින් පරණ දේශපාලන ක්‍රමය තුළම අලුත් පුද්ගලයන් ගෙන ඒමෙන් ජනතාව අපේක්ෂා කරන නව සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වෙනස ඇති කළ නොහැකිය.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ව්‍යවස්ථා සංශෝධනයට කල්මැරීම