IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


වන්නියේදී ජන සංහාරයක් කළාද?

වරදකරු බව ඔප්පු වන තුරු අහිංසකයකු ලෙසින් සැළකීම අපගේ අධිකරණ පද්ධතියේ මූලිකාංගයකි. කෙසේ වෙතත් නන්දිකඩාල් හිදී අවසන් වූ යුද්ධයේ අවසාන අදියරේ සිදුවීම් සඳහා එවැනි ප්‍රමිතියක් යොදාගෙන නොමැත. කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරය දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීමට අවසර දීමත් සමග ජන සංහාරයේ කෑගැසීම තව තවත් ඝෝෂාකාරී වී තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් ශ්‍රී ලංකා රජයට ජන සංහාරයක් සම්බන්ධයෙන් චෝදනා කර නැත. ජන සංහාරයේ හඬ නැගුවේ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්, එල්ටීටීඊ පෙරමුණු සංවිධාන සහ එල්ටීටීඊ යට හිතවත් දේශපාලනඥයන් පමණි.

ජන සංහාරයේ චෝදනාව ප්‍රධාන සාධක දෙකක් මත පදනම් වේ; ඒ යුද්ධයේ අවසාන අදියරේදී සිවිල් වැසියන් 40,000 ක් මිය ගිය බවට වන චෝදනාව සහ ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන්ට එරෙහිව කාලතුවක්කු භාවිත කළ බවට වන චෝදනාවයි.

යුද්ධයේ අවසාන මාස කිහිපය තුළ, එල්ටීටීඊය පසුබැසීමේ යෙදී සිටි අතර, ඉදිරියට එන හමුදාව නැවැත්වීමට නොහැකි විය. ඒ නිසා ඔවුන් සිවිල් ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට, ඔවුන් සමූහ වශයෙන් රැගෙන යාමට, කාන්තාවන්, ළමයින්, මහලු‍ අය සහ රෝගීන් ඔවුන් සමග පසුබැසීමට රැගෙන යාමට යොමු විය.

සිවිල් ජනතාව එල්ටීටීඊයෙන් වෙන් කිරීමේ මංමුළා සහගත උත්සාහයක දී, හමුදාව අවස්ථා තුනකදී යුද මුක්ත කලාප ප්‍රකාශයට පත් කළ අතර, එල්ටීටීඊය කිසි විටෙකත් මෙම යුද මුක්ත කලාපවලට ගරු නොකරමින් බර අවි භාවිත කරමින් හමුදාවට පහර දුන්නේය. එල්ටීටීඊය සතුව මිලිමීටර් 152 දිගු දුර කාල තුවක්කු, මිලිමීටර් 130 කාලතුවක්කු, මිලිමීටර් 122 කාලතුවක්කු, මිලිමීටර් 120, මිලිමීටර් 81, මිලිමීටර් 60 මෝටාර් ඇතුළු කාලතුවක්කු සහ මෝටාර් සහ ඉහළ පුහුණුව ලත් කාලතුවක්කු සහ මෝටාර් භට කණ්ඩායම් තිබුණි.

 

යථාර්ථය

ජාත්‍යන්තර මාධ්‍ය, විශේෂයෙන් චැනල් 4, ඔවුන්ගේ වාර්තා චිත්‍රපටවල, හමුදාව සිවිල් වැසියන්ට එරෙහිව කාලතුවක්කු භාවිත කරන බවට ව්‍යාජ කතාවක් නිර්මාණය කිරීමේ අරමුණින්, එල්ටීටීඊය කාලතුවක්කු සන්තකයේ තබා ගැනීම සහ භාවිත කිරීම ගැන කිසි විටෙකත් සඳහන් කළේ නැත. එහෙත් යථාර්ථය වන්නේ එල්ටීටීඊය යුද මුක්ත කලාප තුළ සිට කාලතුවක්කු භාවිත කරමින් හමුදාවට පහර දීමයි. එහි දී සිය ගණනක් මිනිසුන්ට ජීවිත අහිමි වූ අතර, කාලතුවක්කු වෙඩි තැබීමෙන් ප්‍රතිචාර දැක්වීමට සිදු විය, එය ඔවුන්ගේ අයිතිය තුළ ඇති ක්‍රියාවකි.

හමුදාවට පහර දීමට අමතරව, එල්ටීටීඊය තමන්ගේම ජනතාවට එරෙහිව මෙන්ම රෝහලට ද කාලතුවක්කු භාවිත කළ බවට ඇසින් දුටු සාක්ෂි කිහිපයක් තිබුණි. මෙම සිදුවීම් කිසි විටෙකත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර නොමැත. චැනල් 4 නාලිකාව මෙම වැදගත් සිදුවීම් මඟ හැරියේ ඔවුන්ගේම ප්‍රධාන සාක්ෂිකරු මෙන්ම එක්සත් ජාතීන්ගේ හිටපු ප්‍රකාශක සහ “The Cage; The fight for Sri Lanka and the last days of the Tamil Tigers”  හි කතුවරයා වන ගෝර්ඩන් වයිස්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජනපද රජය විසින් වාර්තා කරන ලද විට පවා ය.

“අඩුම තරමින් සමහර අවස්ථාවලදී දෙමළ කොටි තමන්ගේම ජනතාවට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවට හොඳ සාක්ෂි තිබේ. භයානක ගණන් කිරීම වූයේ ප්‍රමාණවත් තරම් දෙමළ ජනතාවක් මිය ගියහොත්, අවසානයේ ජාත්‍යන්තර කෝපයට හා මැදිහත්වීමට එය තුඩු දෙනු ඇති බවයි” - ගෝර්ඩන් වයිස්, ද කේජ් පිටුව 109.

එල්ටීටීඊය වෙඩි තැබීමේ ස්ථාන පිහිටුවා ඇති බවක් පෙනෙන්නට තිබූ “යුද මුක්ත කලාපය” ද ඇතුළුව, දෙපාර්ශ්වය විසින්ම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරගත් බවට අඛණ්ඩව වාර්තා තිබේ.” - සර් ජෝන් හෝම්ස්, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සහ හදිසි සහන සම්බන්ධීකාරක නියෝජ්‍ය මහලේකම්.

“ශ්‍රී ලංකා හමුදාවට දොස් පැවරීම සඳහා එල්ටීටීඊය සිවිල් ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.” - එක්සත් ජනපද රජය

ජන සංහාර චෝදනාව දරුස්මාන් වාර්තාවේ සඳහන් කර ඇති හතළිස් දහසක් මියගිය සංඛ්‍යාවට ද සමීපව සම්බන්ධ වේ, එහි සඳහන් වූයේ “යුද්ධයේ අවසාන දිනවල සිවිල් වැසියන් 40,000 ක් පමණ මිය යන්නට ඇත” යනුවෙනි. මෙම ප්‍රකාශය කිසිසේත්ම තීරණාත්මක නොවන නමුත්, එය උපුටා ගෙන නැවත නැවතත් උපුටා දක්වා ඇති අතර, ඉන් එයට ගොබෙලියානු නීත්‍යනුකූලභාවයක් ලබා දෙයි. 40,000 සංඛ්‍යාව ආරම්භ වන්නේ ගෝර්ඩන් වයිස්ගේ “ද කේජ්” පොතෙන් වන අතර, එහිදී ඔහු පවසන්නේ සිවිල් වැසියන් 10,000 - 40,000 ක් අතර සංඛ්‍යාවක් මිය යන්නට ඇති බවයි.”

 

ගෝර්ඩන් වයිස් මෙම සංඛ්‍යාව සොයාගත්තේ කෙසේද?

වයිස්ගේ ඇස්තමේන්තුව, 2009 දී වන්නියේ සිරවී සිටි 330,000 (425) ක් පිළිබඳ ඔහුගේම ඇස්තමේන්තුවෙන් බේරාගත් සිවිල් වැසියන් 290,000 ක් (සැබෑ සංඛ්‍යාව 294,000) පමණ දළ අඩු කිරීමක් භාවිත කරමින් ලබාගෙන ඇත. කෙසේ වෙතත්, මෙය තනිකරම ඇස්තමේන්තුවක් වන අතර, එල්ටීටීඊය කොපමණ සිවිල් වැසියන් තම නිවෙස්වලින් පලවා හැර ප්‍රාණ ඇපයට ගෙන ඇත්දැයි කිසිවකු සැබවින්ම දැන සිටියේ නැත. 2010 දී වයිස් ඔහුගේම ප්‍රකාශයට පටහැණිව 300,000 ක සංශෝධිත ඇස්තමේන්තුවක් සපයයි, අපි එම දළ අංක ගණිතය භාවිත කරන්නේ නම්, මියගිය සංඛ්‍යාව 6,000 කි. මෙම සංඛ්‍යාව එල්ටීටීඊය මරා දැමූ සිවිල් වැසියන්, කාඩර්වරුන් සහ බලහත්කාරයෙන් බඳවා ගත් අය අතර වෙනස හඳුනා නොගනී. එබැවින් 40,000 ක සංඛ්‍යාවට කිසිදු විශ්වාසදායක පදනමක් නොමැත, 40,000 ක සංඛ්‍යාවට මූලාශ්‍රය බවට පත්වන දරුස්මාන් වාර්තාව පවා නිගමනය කළේ “යුද්ධය අවසන් වී වසර දෙකකට පසුවත්, සිවිල් මරණ සඳහා තවමත් විශ්වාසදායක සංඛ්‍යාවක් නොමැති” බවයි.

දරුස්මාන් වාර්තාවේ සඳහන් වූයේ, “එක්සත් ජාතීන්ගේ සංවිධානය  2008 අගෝස්තු සිට 2009 මැයි 13 දක්වා මුළු සංඛ්‍යාව 7,721 ක් ලෙස ස්ථාපිත කර ඇති අතර, පසුව ගණන් කිරීම දුෂ්කර වෙයි” යනුවෙනි. දරුස්මාන් වාර්තාව එක්සත් ජාතීන්ගේ දේශීය කණ්ඩායමේ සංඛ්‍යාව ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස ගන්නා අතර, මැයි 13 න් පසු “සිවිල් වැසියන් (තුවාල ලැබූවන්) සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වූ” බව සඳහන් කරයි.

40,000 ක සංඛ්‍යාව පිළිගතහොත්, මැයි 13 සිට 18 දක්වා කාලය තුළ සිවිල් වැසියන් 33,000 ක් මරා දැමීමට සිදුවනු ඇත. එය දිනකට 6,000 කට වඩා වැඩි වන අතර, ඕනෑම ගැටුමකදී හාස්‍ය සහ විකාර සහගත සංඛ්‍යාවකි.

යුද කලාපයේ බිම් මට්ටමේ මූලාශ්‍ර තිබූ මානව හිමිකම් සඳහා වන විශ්වවිද්‍යාල ගුරුවරුන් සංවිධානය ^UTHR&" මරණ සංඛ්‍යාව පිළිබඳ වඩාත් යථාර්ථවාදී දැක්මක් ලබා දෙයි.

“සිවිල් වැසියන්ගේ ජීවිත හානි මැනීමේදී සැබෑ ගැටලුවක් ඇති වූයේ එල්ටීටීඊ සංඛ්‍යාලේඛන හෝ ඔවුන් බලපෑම් කළ සංඛ්‍යාලේඛන සිවිල් වැසියන්, බලහත්කාරයෙන් බඳවා ගත් අය සහ සටන්කරුවන් ඒකාබද්ධ කරන බැවිනි. යුද්ධය අවසන් වීමෙන් පසු, රජය ප්‍රකාශ කළේ “ත්‍රස්තවාදීන්” 23,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බවයි. මෙම සංඛ්‍යාව සහ එල්ටීටීඊය එහි සටන්කරුවන් සෑදූ ආකාරය සැලකිල්ලට ගත් විට, මෙම සංඛ්‍යාවෙන් 13,000 කට වඩා සටන් කිරීමට අකමැති මෑතකදී බලහත්කාරයෙන් බඳවා ගත් අය සහ බංකර් හෑරීමට බල කරන ලද පවුල්වල සාමාජිකයන් බව පැවසීම කිසිසේත්ම කළ නොහැකි දෙයකි. මෙය මුළු මියගිය සංඛ්‍යාවෙන් විශාල කොටසක් සඳහා හේතු වනු ඇත... එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආරෝපණය කරන ලද සංඛ්‍යාලේඛන සත්‍ය යැයි සලකනු ලැබුවද, භූමියේ සිට සංඛ්‍යාලේඛන ලබා දුන්නේ කවුරුන්ද සහ ඔවුන් සිවිල් වැසියන් සහ (බලහත්කාරයෙන් යොදවන ලද) සටන්කරුවන් අතර ප්‍රමාණවත් ලෙස වෙන්කර හඳුනා ගත්තේද යන්න වැනි බොහෝ සිතාගත නොහැකි දේවල් තිබේ. 2009 ජනවාරි තුන්වැනි සතියේ සිට මාර්තු අවසානය දක්වා සිවිල් වැසියන්ගේ ජීවිත හානි සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතුණේ හමුදාව ඉදිරියට යද්දී සහ එල්ටීටීඊය සිවිල් වැසියන් අතරින් වෙඩි තබන විට නිරන්තර සටන් පැවති බැවිනි.

මානව හිමිකම් සඳහා වන විශ්වවිද්‍යාල ගුරුවරුන් සංවිධානය මෙසේද සඳහන් කළේය:

“අවසාන වශයෙන්, අප්‍රේල් 19 න් පසු සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිළිබඳව පරෙස්සමින් පර්යේෂණ කළ යුතුයි... මැයි 14 සහ මැයි 17 රාත්‍රියේ සිවිල් වැසියන්ගේ මරණ සඳහා එල්ටීටීඊය බොහෝ දුරට වගකිව යුතු බව අපි දනිමු. ඒ ආකාරයෙන් සංවිධානයක් බිඳ වැටුණු විට, එක් කොටසක් සිවිල් වැසියන් සමග එකතු වී පලා ගිය අතර, තවත් කොටසක් නායකත්වය අතහැර දමා ඇති බවත්, යටත් වීම පිළිගැනීමට අකමැති රජයකින් නියත මරණයට මුහුණ දෙන බවත් හැඟී, සමබරතාව නැති කර ගත් අතර තම ජීවිත ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන අනෙක් අය සමග කෝපයට විය. තුවාල ලැබූ සංඛ්‍යාවන් ලබා දීමේදී, සිවිල් වැසියන්, බලහත්කාරයෙන් බඳවා ගත් අය සහ කාඩර්වරුන් අතර වෙනස පැහැදිලිව දක්වා නොමැති බව අපි පෙන්වා දුන්නෙමු. (“අනතුරු ඇඟවීමක් සහිත විනාශකාරී ජයග්‍රහණයක් සහ පරාජයක්”, විශේෂ වාර්තාව අංක 32, මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යාල ගුරුවරුන් (යාපනය), ශ්‍රී ලංකාව, 2009 ජුනි 10,”

2008 අගෝස්තු සිට 2009 මැයි 13 දක්වා ගැටුම් කලාපයේ 7,721 දෙනකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශීය කණ්ඩායම වාර්තා කළ අතර, එම ඇස්තමේන්තු මගින් එල්ටීටීඊ බලහත්කාරයෙන් බඳවා ගත් අයගේ මරණ බැහැර කිරීමට උත්සාහ නොකළ බව ද ඔවුහු සඳහන් කළහ.

මානව හිමිකම් සඳහා වන විශ්වවිද්‍යාල ගුරුවරුන් සංවිධානය වැනි ස්වාධීන මූලාශ්‍ර දිනකට මරණ සංඛ්‍යාව 15-20 ක් ලෙස දක්වා ඇත. එම කාලය තුළ යුද මුක්ත කලාපයේදී මියගිය අයගෙන් විශාල සංඛ්‍යාවක් එල්ටීටීඊ ක්‍රියාමාර්ග හේතුවෙන් මිය ගිය බව මානව හිමිකම් සඳහා වන විශ්වවිද්‍යාල ගුරුවරුන් සංවිධානය වාර්තා කළේය.

එක් අවස්ථාවකදී පමණක්, මැයි 14 වැනි දින නන්දිකඩාල් කලපුව අසල තල් පැළ තවානක් අසලදී, අනෙක් පැත්තට හෝ දකුණට වට්ටුවක්කල් වෙත යාමට උත්සාහ කළ සිවිල් වැසියන් 500 ක් එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද බව මානව හිමිකම් සඳහා වන විශ්වවිද්‍යාල ගුරුවරුන් සංවිධානය වාර්තා කළේය (“ඔවුන්ට කතා කිරීමට ඉඩ දෙන්න: යුද්ධයේ වින්දිතයින් පිළිබඳ සත්‍යය”, මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යාල ගුරුවරුන් (යාපනය), ශ්‍රී ලංකාව, විශේෂ වාර්තාව අංක 34, 2009 දෙසැම්බර් 13.).

මැයි 14 වැනි දින එක්සත් ජනපද කොංග්‍රස් වාර්තාවේ සඳහන් කිරීමකින් මෙය සනාථ විය. “නන්දිකඩාල් කලපුව තරණය කිරීමට උත්සාහ කළ 60,000 ක විශාලත්වයෙන් යුතු කණ්ඩායමක කොටසක් අතර සිටි යුද මුක්ත කලාපවලින් පැන ගිය පවුලක අත්දැකීම විදේශීය රජයක් වාර්තා කළේය. එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් සිවිල් වැසියන්ට වෙඩි තබා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මිය ගියහ.”

භූමියෙන් ලැබෙන වාර්තා බොහෝ දුරට කතන්දර පමණක් වන බැවින්, මුල්ලවයික්කාල් යුද්ධයේ අවසාන දිනවල මියගිය සංඛ්‍යාව තහවුරු කිරීම සඳහා වෙනත් ක්‍රම දෙස බැලිය යුතුය. හියුමන් රයිට්ස් වොච් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇමරිකානු විද්‍යා දියුණුව සඳහා වූ සංගමයේ ^AAAS& විද්‍යා හා මානව හිමිකම් වැඩසටහනෙන් ශ්‍රී ලංකාවේ ඊසානදිග ප්‍රදේශයේ යුද මුක්ත කලාපයේ සහ අවට ප්‍රදේශවල වාණිජ අධි විභේදන චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීම සහ විශ්ලේෂණය කිරීම සඳහා ඉල්ලීමක් කිරීම අපේ වාසනාවකි (ශ්‍රී ලංකාවේ අධි-විභේදන චන්ද්‍රිකා ඡායාරූප සහ ගැටුම්, AAAS විද්‍යාත්මක වගකීම, මානව හිමිකම් සහ නීති වැඩසටහන, වොෂින්ටන්-ඩීසී, 2009 මැයි, ලබා ගත හැකිය.)

මෙම චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන්, වෙනම සොහොන් බිම් තුනක් හඳුනා ගැනීමට, සිවිල් සහ එල්ටීටීඊ සොහොන් බිම් අතර වෙනස හඳුනා ගැනීමට, කාලයත් සමඟ සොහොන් බිම්වල වර්ධනයට සහ එක් එක් ස්ථානයේ සොහොන් ගණන ඇස්තමේන්තු කිරීමට හැකි විය. සිවිල් සොහොන් බිම් වඩාත් අහඹු ලෙස තැන්පත් කර ඇති ආකාරයට වඩා පිළිවෙළට ඇති එල්ටීටීඊ සොහොන් බිම් ගණන් කිරීම පහසු විය. විශ්ලේෂණය ඇස්තමේන්තු කර ඇත්තේ ස්ථාන තුනේම සොහොන් බිම් 1,346 ක් ඇති බවයි. මෙම තොරතුරු කිසිවිටෙකත් ප්‍රසිද්ධියට පත් නොකළේ, බොහෝ විට මානව හිමිකම් සංවිධාන දෙක ඔවුන් සොයන දේ, එනම් සමූහ ඝාතන පිළිබඳ සාක්ෂි සොයා නොගත් බැවිනි!

අවසන් දින කිහිපය පුරාම යුද කලාපයේ රැඳී සිටි දෙමළ වෛද්‍යවරුන්ගෙන් කෙනකු වන වෛද්‍ය ෂන්මුගරාජා, සටනේ අවසාන දිනවල අහිමි වූ තුවාලකරුවන් පිළිබඳ ඉතා සූක්ෂම පරිගණකගත වාර්තා තබා ගත් බව ඔහුගේ දිවුරුම් ප්‍රකාශය උපුටා දක්වමින් පැවසීය: “2009 මාර්තු මාසයේදී මරණ 500-600 අතර සංඛ්‍යාවක් සහ මා දැන සිටි අර්බුදයේ අවසානය දක්වා මරණ 2,500 ක් පමණ සිදුවී ඇතැයි මම කියමි.”

 

තුවාල ලැබූවන්ට සාපේක්ෂව මරණ අනුපාතය

වන්නියේ කොපමණ පිරිසක් මිය ගියාද යන්න තහවුරු කර ගැනීමට තවත් ක්‍රමයක් නම් තුවාල ලැබූවන්ට සාපේක්ෂව මරණ අනුපාතය දෙස බැලීමයි. 1940 සිට ගැටුම් අධ්‍යයනය කළ රොබිම් එම් කූප්ලන්ඩ් සහ ඩේවිඩ් ආර් මෙඩින් විසින් බි්‍රතාන්‍ය වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් කියැවෙන්නේ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් දෙගුණයක් වන අතර, එය මියගිය අයට වඩා 13 ගුණයක් තරම් ඉහළ අගයක් ගත හැකි බවයි. තුවාල ලැබූවන්ට මරණ අනුපාතය 5:1 ක් බව මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ ජෝන් ටිර්මන් විසින් වඩාත් පිළිගත හැකි බව සොයා ගන්නා ලදී. අපි 40,000 අගයට අඩුම අනුපාතය යෙදුවත්, තුවාල ලැබූ සංඛ්‍යාව 80,000 ක් විය යුතුව තිබුණි. අපි වඩාත් යථාර්ථවාදී සංඛ්‍යාව යෙදුවහොත්, තුවාල ලැබූ සංඛ්‍යාව 200,000 ක් විය යුතුව තිබුණි. මියගිය අය මෙන් නොව, වෛද්‍ය වෘත්තිකයන් විසින් ප්‍රතිකාර කළ යුතු බැවින් අපට තුවාල ලැබූවන්ගේ වඩා හොඳ සංඛ්‍යාවක් ඇත. තුවාල ලැබූ සිවිල් වැසියන් 15,000-20,000 ක් වූ බවත්, 5:1 අනුපාතය සහ ක්‍රියාකාරී පසු වචන භාවිත කරමින්, මරණ සංඛ්‍යා 5,000 - 6,666 දක්වා යොමු වන බවත් ගෝර්ඩන් වයිස් විසින්ම වාර්තා කරන ලදී. මෙය එක්සත් ජාතීන්ගේ මුල් සංඛ්‍යාව වන 7,000 ට ඉතා ආසන්නය.

මෙම මරණ සංඛ්‍යාවට පවා එල්ටීටීඊ සාමාජිකයන් සහ බලහත්කාරයෙන් බඳවා ගත් අය ඇතුළත් බව මතක තබා ගත යුතුය.

එසේ නම්, සිවිල් මරණ 40,000 ක සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. එය සිදුවීම් සංවේදී කර තම පොත විකිණීමට කැමති එක් මිනිසකුගේ කාර්යයක් වන අතර, එය මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, එල්ටීටීඊ අවශේෂ සහ බටහිර මාධ්‍ය සමූහයක කාර්යයකි. එම 40,000 ක සංඛ්‍යාව ස්වර්ගයෙන් පාන් ලෙස ලැබුණු අතර, එමගින් ඔවුන්ට කතාව ජීවමානව තබා ගැනීමට සහ යුද්ධය අවසන් වීමෙන් පසුද, බොහෝ කලකට පසුව මුදල් ගලා එන බව සහතික කිරීමට ඉඩ සලසයි. ඔවුන් මෙම සංඛ්‍යාවට ඇලී සිටින්නේ එහි මූලාශ්‍රය හෝ එහි විශ්වසනීයත්වය පරීක්ෂා නොකර, දරුස්මාන් වාර්තාවේ ඒ ගැන සඳහන් කිරීම පමණි.

අද මානව හිමිකම් ආරක්ෂා කිරීම, වාර්තා කිරීම සහ විමර්ශනය කිරීම ඩොලර් මිලියන ගණනක ගෝලීය කර්මාන්තයක් වන අතර ජාත්‍යන්තර රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය සමාගම්, ශාස්ත්‍රඥයන්, වාර්තාකරුවන් සහ තවත් බොහෝ අය එයින් හොඳ ජීවනෝපායක් උපයා ගනී.

මෙම අසත්‍ය චෝදනාවලට ඵලදායී ලෙස ප්‍රතිචාර නොදැක්වීම සහ දරුස්මාන් වාර්තාව නොසලකා හැරීම සම්බන්ධයෙන් අනුප්‍රාප්තික ශ්‍රී ලංකා රජයන් ද වැරදිකරුවන් වේ. සෑම බරපතළ චෝදනාවකටම ක්ෂණික හා ඵලදායී ප්‍රතිචාරයක් අවශ්‍ය වේ. යුද්ධය අවසන් කිරීමේ මානව වන්දිය අතිශයින් ඉහළ ය, මෙය එල්ටීටීඊය ජනතාව ඔවුන්ගේ නිවාසවලින් පලවා හැර මිනිස් පලිහක් ලෙස භාවිත කර ඉදිරියට යන ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පෙරමුණේ තැබීමේ සෘජු ප්‍රතිඵලයකි. ඔවුන්ගේ අරමුණ දෙයාකාර විය. ඒ තමන්ව ආරක්ෂා කර ගැනීම සහ ජාත්‍යන්තර විරෝධයක් ඇති කිරීම සහ හමුදා ඉදිරි ගමන නැවැත්වීමට රජයට පීඩනය යෙදීමයි.

අපේ රජය හෝ අපේ හමුදාව දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු නොකළ බව සියලු‍ම ශ්‍රී ලාංකික දනිති. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සාමකාමී සහ සමෘද්ධිමත් ජීවිත ගත කරන අතර, ඔවුහු ව්‍යාපාර සහ රජයේ ඉහළම මට්ටම් කරා ළඟා වෙති.

ජන සංහාරයක් සිදු නොවූයේ නම් සහ කිසිදු රජයක්, මානව හිමිකම් ආයතනයක් හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකා රජයට ජන සංහාරය සම්බන්ධයෙන් චෝදනා කර නොමැති නම්, ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් හි ඉදිකරන ලද ස්මාරකය දෙමළ ජන සංහාරය සඳහා අනුස්මරණයක් නොවේ. කෙසේ වෙතත් එය සේවය කරන්නේ ලෝකයේ මාරාන්තික ත්‍රස්තවාදී සංවිධානවලින් එකක් සඳහා වන අනුස්මරණයක් ලෙසය. එල්ටීටීඊය කවුදැයි සිහිපත් කිරීම හොඳ දෙයක් වන අතර, ගෝර්ඩන් වයිස් විසින් රචිත “දූෂිත ජනමාධ්‍යවේදය; චැනල් 4 සහ ශ්‍රී ලංකාව” හි ඡේදයක හොඳම සාරාංශය උපුටා දැක්විය හැකිය:

ගෝර්ඩන් වයිස්, එල්ටීටීඊය සහ එහි “බිහිසුණු ප්‍රචණ්ඩත්වයේ වාර්තාව”‍ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නිරීක්ෂකයන්ට ඉදිරිපත් කරයි. එල්ටීටීඊ නායක ප්‍රභාකරන් “කාන්තාවන් සහ ළමයින්ගෙන් පිරුණු බස් රථවලට බෝම්බ දැමීමට... භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීමට සහ සිරකරුවන් මරා දැමීමට” නියෝග කළ බවත්, “‍ඔවුන් දිගු සමූලඝාතන මාලාවකදී සිවිල් වැසියන් කපා කොටා, පහර දී, වෙඩි තබා, පුළුස්සා සහ එල්ලා මරා දැමීය.. කුඩා පරිමාණ සිදුවීම් දුසිම් ගණනකදී වැඩිහිටියන් සමග ළමයින් ද ඝාතනය කරන ලැබූ...” ‍බවත් ඔහු වාර්තා කරයි. එල්ටීටීඊය “දුම්රිය, ගුවන් යානා සහ බස් රථවල බෝම්බ අටවා ඇත... 1987 දී කොළඹ පිටකොටුවේ කාර් බෝම්බයක් පුපුරා ගොස් සිවිල් වැසියෝ 113 දෙනෙක් මිය ගියෝය. 1996 දී, දුම්රියකදී එකව බ්‍රීෆ්කේස් බෝම්බ හතරක් පුපුරා ගිය අතර, මගීන් හැට හතර දෙනෙකු මිය ගොස් තවත් 400 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 2006 දී, කැබිතිගොල්ලෑවේදී බස් රථයක සිදු වූ පිපිරීමකින් සිවිල් වැසියෝ හැට දෙනෙක් මිය ගියහ.” 1983 සිට 2009 මැයි දක්වා කාලය තුළ “සිවිල් ඉලක්ක වෙත කොටි ප්‍රහාර 200 ක් පමණ සිදු වූ අතර, ඉන් සිවිල් වැසියෝ 3,700 ත් 4,100 ත් අතර සංඛ්‍යාවක් මිය ගියහ” යනුවෙන් වයිස් තවදුරටත් පෙන්වා දෙයි. “මෙම සංඛ්‍යාවට ඔවුන් පාලනය කළ ප්‍රදේශවල කොටි විසින් මරා දමන ලදැයි කියන දෙමළ ජාතිකයන් සංඛ්‍යාව හෝ දෙමළ කොටි වධ කඳවුරුවලදී මරා දමන ලදැයි සැලකෙන සිය ගණනක් සිරකරුවන් ඇතුළත් නොවේ. මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ගුරුවරුන් ඇස්තමේන්තු කරන්නේ දෙවැන්න 7,000 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි” යනුවෙන් වයිස් තවදුරටත් සඳහන් කරයි. එල්ටීටීඊය “මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ළමා සොල්දාදුවන් භාවිත කිරීම ක්‍රමානුකූල කළ” බව වයිස් ද තහවුරු කරයි.

ඉතිරිව සිටින එල්ටීටීඊ හිතවතුන්ගේ ප්‍රයෝජනය සඳහා කැනඩාවේ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට ඉඩ දීමෙන් ඔහු දැක්වූ අනුකම්පාව ගැන අපි බ්‍රැම්ප්ටන් නගරාධිපති පැටි්‍රක් බ්‍රවුන්ට ස්තූතිවන්ත විය යුතුය.., මන්ද එවැනි ස්මාරකයක් කිසිදා ශ්‍රී ලංකාවේ ඉදිනොකරන නිසාය. ඔසාමා බින් ලාඩන් සහ අයිඑස්අයිඑස්, පොල්පොට් සහ කෙමර් රූජ්, හිට්ලර් සහ නාසීන් වෙනුවෙන්ද ඔහු එසේ කළ යුතුය.

ඒ සඳහා අපි ඔහුට සුභ පැතිය යුතුය!

(***)
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
(මෙම ලියුම්කරු පුරෝගාමී සූර්ය බලශක්ති ව්‍යවසායකයෙකි, කොළඹ මහ නගර සභාවේ හිටපු සාමාජිකයෙකි, ජර්මනියේ හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයෙකි. එසේම ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මුනුපුරෙකි.)



අදහස් (0)

වන්නියේදී ජන සංහාරයක් කළාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 408 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 854 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site