කශේරුකාව වක ගැසෙන තෙක් ජීවන බර උසුලන ජනතාවගේ කරමතට තවත් බරක් පැටවුනේ විදුලිබිල ගාස්තු ඉහළ නැංවීමට ගත් තීරණයත් සමඟය.
‘‘නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ’’ කීවාක් මෙන් අවසානයේ ජනතාවට සිදුවන්නේ රාජ රාජ මහේශාක්‍යයන් ගන්නා තීරණවලට හිස නමන්නට සිදුවීම පමණි.

ලංකාව විකල්ප බලශක්ති කෙරේ අවධානය යොමු නොකරන්නේ ඇයි? විදුලිය සැපයීම පිළිබඳව අර්බුද මතු වූ බොහෝ අවස්ථාවල මතු කළ ප‍්‍රශ්නයක් වූයේ එයයි.

 

 

ලංකාව යනු භූ විෂමතාවෙන් අනූන රටකි. ලෝකයේ ජල විදුලිය නිපදවන රටවල් ඇත්තේ අතළොස්සක් පමණකි. ඒ ලෝකයේ බොහෝ රටවල් ජල විදුලිය උත්පාදනය කරන්නට තරම් භූ විෂමතා නොමැති වීමේ හේතුව මතය. එම රටවල් විදුලිය නිෂ්පාදනය සඳහා විකල්ප සාධක ලෙස ඛනිජ තෙල් හා ගල් අඟුරු යොදා ගනී.

බි‍්‍රතාන්‍යයේ තවමත් බලශක්ති වලින් 33% ක් පමණ උපයා ගන්නේ ගල් අඟුරු තාප බලාගාර අනුසාරයෙනි. එය ලාභදායී මෙන්ම අඩු මිලක් යටතේ ගත හැකි තත්ත්වයක පවතී.

 ඕනෑම දෙයක යහපත් පැතිකඩක් මෙන්ම අයහපත් පැතිකඩක්ද පැවතිය හැකිය. ගල් අඟුරු තාප බලාගාර දැවැන්ත ලෙස පරිසර දුෂණ කාරකයක් බවට පත්වන්නේ ඒ අනුවය. ගල් අඟුරු තාප බලාගාර මගින් සල්ෆර්  (SO2) නිෂ්පාදනය වෙන අතර සල්ෆර් මූලද්‍රව්‍ය පරිසරයට නිකුත්වීම බරපතළ ලෙස හරිත ආවරණයට හානිකර වෙයි.

ලෝකයේ පවතින විකල්ප බලශක්ති ප‍්‍රභේද මොනවාද? යන්න පිළිබඳව පුළුල් ලෙස විමසීමේදී විකල්ප බලශක්ති ප‍්‍රභේද රැසක් පිළිබඳව අපට අපේ අවධානය යොමුකළ හැකිය.

ප‍්‍රතිචක‍්‍රීය කරණයට ලක්කළ (Clean Coal) ගල් අඟුරු ලෝකයේ පවතින තවත් විකල්ප බලශක්ති ක‍්‍රමයකි. එකී ක‍්‍රමවේදය ඔස්සේ විදුලිය උත්පාදනය කෙරෙන්නේ මේ ආකාරයටය.

ගල් අඟුරු පිච්චීමෙන් හයිඩ‍්‍රජන් වායුව ලබා ගැනීමෙන් පසු එම වායුව විදුලි උත්පාදනයට යොදා ඉතිරිවන අපද්‍රව්‍ය සියල්ල නැවත භූගත කිරීමයි. එයින් පරිසර හානිය අවම වේ.

ක්ලීන් කෝල් විදුලි උත්පාදන ක‍්‍රමවේදය පරිසර හිතකාමී විදුලි උත්පාදන ක‍්‍රමවේදයකි. නිෂ්පාදන පිරිවැය තරමක් අධික වුවත් පරිසර හිතකාමී මෙම විදුලි උත්පාදන ක‍්‍රමය රටකට වඩා හිතකර වෙයි.

න්‍යෂ්ඨික බලය (Nuclear) විදුලි උත්පාදන ක‍්‍රමයද ලෝකයේ පවත්නා තවත් විදුලිබල උත්පාදන ක‍්‍රමයකි. ජන ජීවිතයට එල්ල විය හැකි අවදානම අධික වෙන පසුබිමක් මෙම විදුලි උත්පාදන ක‍්‍රමයේ අන්තර්ගතයේ පවතින හෙයින් අවදානම වළක්වා ගන්න අවශ්‍ය තාක්‍ෂණික අධ්‍යනයක් කර මෙම විදුලි උත්පාදන ක‍්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කළ හැකිය. එහෙත් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය වැනි ආයතනවල අනුමැතිය ලබාගැනීම අප වැනි තුන්වැනි ලෝකයේ රටකට ඉතා දුෂ්කර කාර්යයකි. මෙම විදුලි උත්පාදන ක‍්‍රමය ලංකාවට සුදුසු වුවත් අවශ්‍ය තාක්‍ෂණික අධ්‍යයන සිදුකර අවශ්‍ය විදුලි උත්පාදන ක‍්‍රමවේදය කෙරෙහි යොමුවෙන්නට ආර්ථික හැකියාවක් නැති බව අදාළ බලධාරීන්ගේ මතයයි. සුළු ඉඩකඩක් තුළ ඉදිකරන ලද න්‍යෂ්ටික බලාගාරයක් තුළින් අවම අමුද්‍රව්‍ය යෙදවීමෙන් ලොව වෙනත් සියලූම විදුලි උත්පාදන ක‍්‍රමයන්ට වඩා වැඩි ධාරිතාවක් ලබාගත හැකි වුවත් ඒ සඳහා වූ ආරක්ෂණ ක‍්‍රමවේදයක් ගොඩනැගීමේ හැකියාව අප රටට නැත.

අප රටේ ඇති ඛනිජ තෙල් නිධි පිළිබඳ ගවේෂණය කර ඛනිජ තෙල් සම්පත ලංකාවේ ආර්ථිකය සඳහා යොදාගැනීමට හැකියාවක් ලැබුණොත් එහි අතුරුඵලයක් හැටියට එයින් ලැබෙන ගෑස් වලින්ද විදුලිය නිපදවා ගත හැකිය. එසේ ගෑස් නිපදවා ගත හැකි වුවහොත් ඉතාමත් ලාභදායී බලශක්ති ප‍්‍රභේදයක් ලෙස එයද භාවිත කළ හැකිය.

සූර්ය බල ශක්තිය (Solar Power) තවත් විකල්ප බලශක්ති උත්පාදන ක‍්‍රමයකි. ලංකාව සමකය ආසන්නයේ පිහිටි රටක් බැවින් වැඩි කාලයක් සූර්ය තාපය පවතින වියලි කාලගුණයක් ඇති ලංකාව වැනි රටකට සූර්ය තාපයෙන් උපරිම ප‍්‍රයෝජනයක් ගත හැකිය. සූර්ය තාපයෙන් විදුලිය උත්පාදනය කරන විදුලි උත්පාදන ක‍්‍රමයක් වූ සූර්ය බල ශක්ති තාක්‍ෂණය ශ්‍රී ලංකාව වැනි රටකට වඩා යෝග්‍ය විකල්ප බලශක්ති ක‍්‍රමයක් වෙයි.

ඇතැම් සීත හිම වැටෙන රටවල හිරු එළිය වැටෙන්නේ වසරේ එක් කාලයකදී පමණි. එහෙත් ලංකාව වසරේ වැඩි දවසක් හොඳ හිරු එලියකට හිමිකම් කියයි. රටේ අවශ්‍යතාවට සරිලන ආකාරයෙන් තාපය ගබඩා කරන්නට අවශ්‍ය සූර්යකෝෂ සහ බැටරි නිපදවීමට හෝ මිලදී ගැනීමට මුදල් ආයෝජනය කරන්නට තරම් අපට හැකියාවක් නැත. එමෙන්ම මිලදී ගන්නට ජනතාව සතු හැකියාව ගැනද අවධානය යොමුකළ යුතුය යන තර්කය අදාළ බලධාරීන් හා දේශපාලනඥයන් නගන පොදු තර්කයකි. ජල විදුලිය නිපදවීමේ ක‍්‍රියාදාමය ඔස්සේ තමන් අතට ගලාඑන කොමිස් මුදල් තමාට අහිමි වේයැයි යන හැඟීමද මීට හේතුවකි.

විදුලි පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටක් එක් විදුලි උත්පාදන ක‍්‍රමයකට පමණක් සීමා නොවී විකල්ප විදුලි උත්පාදන ක‍්‍රම කෙරෙහිද යොමු විය යුතුය. නොඑසේනම් විදුලි උත්පාදනය පිළිබඳ අර්බුද ඇති වූ විට විදුලිය ජනනය සීමා සහිත වූ විට රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීමේ හැකියාව නැති වී යයි. දවසේ ඇතැම් වේලාවල විදුලිය විසන්ධි කොට තිබීමෙන් එය කර්මාන්ත ක්‍ෂේත‍්‍රය කෙරේ දැඩි ලෙස බලපායි.

මහා පරිමාණයේ කර්මාන්තශාලා ඊට විකල්ප ලෙස ජෙනරේටර් යන්ත‍්‍ර භාවිත කළත් සුළු පරිමාණයෙන් හා ගෘහස්තව කර්මාන්ත පවත්වාගෙන යන පිරිසට එවන් විකල්ප කෙරෙහි යොමුවන්නට තරම් හැකියාවක්ද නැත. මේ සියලූ අත්දැකීම් වලට අපි දැන් කාලයක් මුළුල්ලේ සිටම මුහුණ දෙන්නෙමු. විකල්ප බලශක්ති නිෂ්පාදනය කෙරෙහි යොමුවීමේ වැදගත්කම රටක් හැටියට වඩාත් තීව‍්‍ර ලෙස අපට දැනෙමින් පවතී.
 

සුළං බලය සූර්ය තාපය විසඳුමයි

 

අශෝක අබේගුණවර්ධන
බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්‍ෂ

 

විදුලිබලය උත්පාදන කිරීමේ විකල්ප ක‍්‍රම ලෙස ගල් අඟුරු හා තෙල් සැලකුවොත් ගල් අඟුරු ලංකාවේ නැත. තෙල් තිබේදැයි තවමත් හඳුනාගෙන නැත. එම නිසා විකල්ප විදුලි උත්පාදන ක‍්‍රමලෙස පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අවධානය යොමුකිරීම වඩාත් ප‍්‍රතිඵලදායි වේ.
සුළංබලයෙන් විදුලිය උත්පාදනය කිරීම අපරටට ගැළපෙන සාර්ථක විකල්පයකි.
දැනට මෙගාවොට් 90 ක විදුලි ධාරිතාවක් සුළං බලයෙන් විදුලිය උත්පාදනය කරයි. මන්නාරමේ සුළංබලයෙන්  විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන්නට ආණ්ඩුව අවධානය යොමු කර ඇති අතර පෞද්ගලික අංශයන්ද මේ විකල්ප විදුලිබල උත්පාදනය සඳහා ආයෝජකයන් ඉදිරිපත් වී තිිබේ. එහිදී තාක්‍ෂණික ප‍්‍රශ්නයක් මතු වී ඇතත් ඒ පිළිබඳවද ජපන් ආධාර මත වෙනම අධ්‍යනයක් සිදුවේ.
සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය අපට ඇති අනෙක් විකල්පයයි. සුර්ය බලයෙන්  මුළු රටේම විදුලි අවශ්‍යතාව සපුරාලීමට හෙක්ටයාර් දහදාහක භූමි ප‍්‍රමාණයක් සෑහෙයි. එය ලංකාවේ මුල් ඉඩම් ප‍්‍රමාණයෙන් 2% ක. දැනට හම්බන්තොට මෙගාවොට් 1 ක් සුර්ය බලයෙන් විදුලිය උත්පාදනයකරන අතර මෙගාවොට් 30 කට මූලික වැඩකටයුතු සකස් කරයි.
පුනර්ජනනීය බල ශක්තිය නිෂ්පාදනය සඳහා වැඩි මුලික වියදමක් දරන්නට සිදුවූවත් දිගුකාලීනව එය ලාභදායි වෙයි. ෆොසිල ඉන්ධන භාවිතයේදී බලාගාරවල ආයුකාලය පුරාම ඉන්ධන වියදම දැරිය යුතු වුවත් පුනර්ජනනීය බලශක්තියේදී සුළං සහ හිරු එළිය සඳහා වියදමක් දරන්නට සිදුනොවේ.
දරවලින් විදුලි නිෂ්පාදන බලාගාර 4 ක් දැනට ඇති අතර ඉන් මොගාවොට් 11 ක් පමණ නිෂ්පාදනය කරන අතර ඉදිරියේදී මොගාවොට් 600 ක් පමණ නිෂ්පාදන ඉලක්කයට ළඟා වීමේ හැකියාව තිබේ.

සුළං බලය යොදාගෙන ජලවිදුලිය නිෂ්පාදනය කිරීමද තවත් එක් විකල්ප බලශක්ති විශේෂයකි. අප රට පිළිබඳව සැලකිලිමත් වුවහොත් ලංකාවේ ඊසාන දිගට වසරේ එක් කාලයකදීත් නිරිත දිගට තවත් කාලයකදීත් තද සුළං ලැබෙන තත්ත්වයක් පවතී.

ලංකාවේ හැම ප‍්‍රදේශයක්ම පාහේ එළිමහන් බිම් ලෙස නොපවතින නිසාත් භූ විෂමතා නිසාත් සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සෑම ප‍්‍රදේශයකම පාහේ කිරීමට නොහැකි වෙයි. එහෙත් සුළං බලයෙන් විදුලිය නිපදවීමේදී භාවිත කරන අවර පෙත්ත කැරකැවෙන්නට අවශ්‍ය සුළඟ සහ එය ස්ථාපිත කරන්නට අවශ්‍ය භූ සාධක ලංකාවේ මුහුදු බඩ ප‍්‍රදේශවල පවතී. ඒ සඳහා මුදල් ආයෝජනය කළ හැකි නම් සුළං බලයෙන් විදුලිය නිපදවීමෙන් ලබාගන්නා විදුලි ධාරිතාවද ලංකාවේ විදුලිබල පරිභෝජනය සඳහා යොදාගත හැකියි. නෙදර්ලන්තය, ඇමෙරිකාව වැනි රටවල් මෙම බලශක්ති ක‍්‍රමවේද කෙරෙහි යොමු වී සිටියි.

ශ්‍රී ලංකාව විකල්ප බලශක්ති ක‍්‍රමවේද කෙරෙහි යොමුවෙනවානම් ඒ සඳහා අවශ්‍ය විකල්ප සම්පත් අප රටේ  ඕනෑ තරම් පවතී. එහෙත් ඒවා භාවිතයට ගැනීමක්, නිසි කලමනාකාරිත්වයකින් යුතුව විකල්ප බලශක්ති නිෂ්පාදනය කෙරෙහි යොදා ගැනීමේ විධිමත් සැලසුමක් අප රටේ තවමත් නැත.
ඒ සඳහා පුළුල් රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය වෙයි. අවශ්‍ය රාජය ප‍්‍රතිපත්ති ක‍්‍රමවත්ව සකස් වේ නම් ආයෝජකයන් විකල්ප බලශක්ති උත්පාදන ක‍්‍රම සඳහා ඉදිරිපත්වෙන ඉඩකඩ පවතී. එහෙත් අප රටේ මේ පිළිබඳව වන රාජ්‍ය මැදිහත්වීම පවතින්නේ ඉතා දුර්වල මට්ටමකය.

එහෙත් ජල විදුලිය නිෂ්පාදනය හැරෙන්නට අප රට තවමත් විධිමත් විකල්ප විදුලි බල උත්පාදනයක් කෙරෙහි යොමුව නැති බව නැවත වරක් සිහිපත් කළ යුතුව ඇත. අධික නියං සමයකදී ජල විදුලි නිෂ්පාදනය සඳහා පාදක කරගන්නා ජල මූලාශ‍්‍ර සිඳී යන අවදානමක් උද්ගත වූ විට ජලාශ වල ජල මට්ටම අඩුවූ විට විදුලි උත්පාදන ධාරිතාව පහළ බසී. අදාළ බලධාරීන් ඊට යොදන විකල්පය දවසේ පැය ගණනක් විදුලි බලය ලබාදීම කප්පාදුවට ලක් කිරීමය.

එමෙන්ම අද විදුලි බිල වැඩිවීමේ ප‍්‍රතිඵලය සෘජුවම භුක්ති විඳින ජනතාවට මෙම විකල්ප විදුලි උත්පාදන ක‍්‍රමවේද ඔස්සේ යම් සහනයක් ලබා දිය හැකිනම් එය රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මහත් පිටුවහලකි. එසේ නොවන්නේ ඇයි? රටේ සෑම අමාත්‍යංශයකම පාහේ සිදුවන හොරකම, වංචාව, අක‍්‍රමිකතාව, දුෂණ, මාෆියා හා කොමිස් ගැහිල්ල අදාළ විෂය භාර අමාත්‍යංශයටද එනයින්ම අදාළය.

හොඳ සූර්ය තාපයක් ලැබෙන රටක, සුළං ලැබෙන රටක, සම්පත් පවතින රටක ජල විදුලිය දෙස පමණක් බලා සිටීමට ජනතාවට සිදුව ඇත්තේ ද එකී න්‍යායන්ගේම අනුහසිනි.

 

 

සටහන -  සංජීවිකා සමරතුංග