අම්පාර දිස්ත‍්‍රික්කයේ දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වඩිනාගල සහ ඒ අවට ගම්මාන රැසක දිගින් දිගටම සිදු වන භූ කම්පනයන් නිසා ප‍්‍රදේශවාසීන් ඉමහත් කුතුහලයට, බියට සහ අපහසුතාවයට පත්ව ඇති ආකාරය පසු ගිය දිනෙක එහි සංචාරය කළ අපට දැකගත හැකි විය.

නමුත් මෙම භූ චලන තත්ත්වයන් පෘතුවියේ ස්වාභාවික ක‍්‍රියාවලියක් නිසා නොවන බවත් එය මිනිස් ක‍්‍රියාවලියක් නිසා සිදු වන බවත් අනුමාන කළ හැකි බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. එහෙත් එම කෘත‍්‍රීම මිනිස් ක‍්‍රියාවලිය කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව හෙතෙම සඳහන් කළේය. මේ පිළිබඳව තවමත් දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද ඔහු අවධාරණය කළේය.

අම්පාර නගරයේ සිට කිලෝමීටර් 32ක් පමණ සියඹලාණ්ඩුව දෙසට ගිය විට වඩිනාගල ගම්මානය හමුවේ. මෙම භූ කම්පන හේතුවෙන් වඩිනාගල පමණක් නොව ඒ අවට වූ පල්ලංඔය, කරබාන, දේවාලහිඳ, කෙහෙල්වත්ත, කිවුලේගම යන ගම්මානවල ජනතාව ද බලවත් අපහසුතාවයට පත්ව ඇත. මෙම ගම්මානවල ජනතාවගේ නිවාස විස්සකට වඩා වැඩි ප‍්‍රමාණයක් ඇති වූ භූ කම්පන නිසා ඉරි තලා ගොස් ඇති ආකාරය එහි ගිය අපට දැකගන්නට ලැබිණි.

මෙම භූ චලන තත්ත්වය මුලින්ම දැනී තිබුණේ ඉකුත් නොවැම්බර් මස 24 වැනි දිනයි. එදින දවස මුළුල්ලේම වරින් වර මෙම තත්ත්වය අත්දකින්නට වඩිනාගල වැසියන්ට සිදුවිය. එම කම්පනයත් සමග ප‍්‍රදේශයේ නිවාස බොහෝමයක් ඉරි තලා ගිය අතර නුහුරු නුපුහුරු වූ මෙම අත්දැකීමෙන් ගම් වැසියෝ කුතුහලයටත්, වික්ෂිප්ත භාවයටත්, බියටත් පත්ව තිබේ. නිවාසවල දොර ජනේල මෙන්ම වහලද තත්ත්පර දෙක තුනක් පමණ සෙල වී ගිය බව ගම් වැසියෝ අප සමග කීහ. ඉන් පසුව ඉකුත් 01 වැනි දා පෙරවරු අට පසු වී මිනින්තු දහයක් ගත වෙද්දී තවත් භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පන සිදු වූ අවස්ථා කීපයක්ම වඩිනාගල පදිංචි පී.කේ. නිලානි (45) මහත්මිය විසින් සටහන්කරගෙන තිබුණි. ඒ අනුව එදිනම පෙරවරු 8.14ට, 9.05ට, 9.10ට, 9.25ට පස්වරු 4.35ට සහ 4.40ට භූ කම්පන සිදුව තිබේ.

මේ පිළිබඳව ඉරිදා ලංකාදීපටය අදහන් පළ කළ පී.කේ. නිලානි මහත්මිය මෙසේ සඳහන් කළාය. ”දවස් කීපයක ඉඳලා මේ කම්පනය සිද්ධ වෙනවා. අපේ ගෙදර බිත්ති දෙපොළකින් ඉරි තලලා ගිහින් තියෙනවා. හිටපු ගමන් පොළොව දෙදරාල යනවා වගේ වෙනවා. වහළ පවා සෙළවෙන බව දැනෙනවා. දැනට නම් ලොකු අවධානමක් නැහැ. නමුත් ඉදිරියේදී මොනවා වෙයිද කියලා අපි බයෙන් ඉන්නේ”

දිමුතු තුෂාර මහතා ද (40) වඩිනාගල පදිංචිකරුවෙකි. මෙම භූ කම්පනය හොඳින්ම අත්දැකපු අයකු ලෙස ඔහු අදහස් පළ කළේ මෙසේය.

මාසයකට විතර කළින් මේ භූ චලනය සිදු වුණත් ගම් වැසියන්ට ඒ පිළිබඳව පුළුල් අත්දැකීමක් තිබුණේ නැහැ. කොහොම නමුත් අපි ග‍්‍රාම නිලධාරීතුමාට මේ පිළිබඳව දැනුම් දුන්නා. පසුගිය 24 වැනිදා තමයි අපට තදින්ම මේ කම්පනය දැනුනේ. එදා පාන්දර 3.00ට විතර මම ඇඳේ නිදාගෙන හිටියේ එක සැරේම ඇඳ සෙළවුණා. ඒක සාමාන්‍ය සෙළවීමක් නෙවෙයි. තත්ත්පර කීපයක් ඒ සෙළවීම තිබුණා. ගෙදර කුස්සියේ තිබුණු පිඟන් කෝප්ප පවා සෙළවෙන හඬ ඇහුණා. ඒක ඉන් පසුවත් වරින් වර දැනුණු කම්පනයන්ට අනුව අහස ගුගුරවාගෙන යනවා වගේ හඬක් තමයි ඇහෙන්නේ. පොළොව තුළින් ඒ ශබ්දය ටික වෙලාවකින් ඈත අහස දිහාවට යනවා වගේ දැනෙනවා.

වඩිනාගල විද්‍යාලයේ විදුහල්පති තිලක් ප‍්‍රියංකර අලහකෝන් (43) මහතා ද මෙම අත්දැකීමට මුහුණ දුන් අයෙකි. මෙම පාසලේ බිත්තියක් ද ඉරි තැලී ගොස් තිබෙන ආකාරය අපට දැකගන්නට ලැබුණු අතර භූ කම්පනය පිළිබඳව හෙතෙම අදහස් පළ කළේ මෙසේය.
මේ භූ කම්පනය අපේ පාසලටත් අවස්ථා කීපයකදීම දැණුනා. එක දවසක් මම දහවල් කාලයේදී වඩිනාගල හංදියේ ඉන්නකොට මේ තත්ත්වය හොඳටම දැණුනා. එක සැරේම පොළොව දෙදරවාගෙන ගියා. ඉන් පස්සේ ඒ හඬ ඈත අහස දිහාවට ගිහිල්ලා මහා හඬකින් යමක් පුපුරණ විදිහට ඇහෙනවා. තවත් දවසක දී වඩිනාගල ජයන්ති වැවේ ජලය පොම්ප කරන තැන කොන්ක‍්‍රීට් එක උඩ ඉන්නකොට මේ චලනය සිද්ධ වුණා. නමුත් වැවේ ජල කඳ නම් සෙළවුණ බවක් නම් පෙණුනේ නැහැ. ඒ වෙලාවේ ලොකු ගිගුම් දීමක් සමග ගල් බෝර දානකොට ඇහෙන පිපිරුම් හඬක් ඇහුනේ. සමහර දිනවල දී මෙම සිදු වීම දවසට හත් අට වතාවත් සිද්ධ වෙනවා. වඩිනාගල ගමට යාබදව පල්ලන්ඔය ජයන්ති වැව තියෙනවා. මේ වැව 1956 දී විතර හදනකොට උණු වතුර බුබුලක් මතුවෙලා තියෙනවා. ඒ බුබුල වහල වැව් බැම්ම බැඳගෙන යන කොට බැම්ම අවස්ථා තුනකදී බිඳී ගිය බව ගමේ වැඩිහිටියෝ කියනවා. පස්සේ ඒ උණුවතුර බුබුළ නළ මාර්ගයකින් වෙනත් තැනකට සම්බන්ධ කළ බවත් ඔවුන් සඳහන් කලා. ඉතින් මම අනුමාන කරන්නේ මේ භූ චලනයට එතැනත් යම් සම්බන්ධයක් ඇති කියලා.


වඩිනාගල කරබාන තිස්ස ගොවි සංවිධානයේ සභාපති බුද්ධදාස ගලප්පත්ති මහතා (58) මේ පිළිබඳව අදහස් පළ කළේ මෙසේය.

මේ භූ කම්පනය හොඳින්ම දැනෙන්නේ නිවසක් ඇතුළේ ඉන්නකොටයි. මම නිදාගෙන ඉන්නකොට මුළු ඇඳම හෙල්ලිලා ගියා. තත්ත්පර දෙක තුනක කාලයක් ඒ සෙළවීම තිබුණා. ඊට පස්සේ කොහේ හරි ඈතක වෙඩිල්ලක් පත්තු වුණා වගේ ඇහුණා. මේ වගේ දෙතුන් අවස්ථාවකටම මම මුහුණ දුන්නා. මේක හරිම අබිරහස් තත්ත්වයක්.

මේ පිළිබඳව තමන්ට සැල වූ විගස දමන ප‍්‍රාදේශීය ලේකම් තුමා මගින් දිසාපතිවරයාට ද දන්වා යැවූ බව වඩිනාගල ග‍්‍රාම නිලධාරි දුෂාර ගමගේ (42) මහතා සඳහන් කළේය. මේ කම්පනයන් නිසා නිවාස කැඩුණු බවට බෙහෝ දෙනා සඳහන් කර ඇති බවත් ඒවා පිළිබඳව සොයා බලන බවත් හෙතෙම සඳහන් කළේය. මේ වන විට චලන 28ක් පමණ සිදුවී ඇති බවට දැනගන්නට ලැබී ඇතැයි ද හෙතෙම තවදුරටත් කීය. අප ග‍්‍රාම නිලධාරිවරයා සහ භූ විද්‍යා නිලධාරීන් සමග කතා කරමින් සිටියදී එක්වරම ඈතින් අහස ගුගුරනවා සේ ඇසුණු අතර එහි කම්පනය ද තරමක් දැණුනි. නිලධාරීන් ද ඒ පිළිබඳව අවධානය යොමු කළේය.

සැබවින්ම මෙය අබිරහස් තත්ත්වයක් බවට පත් වී ඇත. මෙම අබිරහස් කම්පනයන් සහ හඬවල් මොනවාද යන්න සොයා බලන්නට ඉකුත් 05 වැනි දා සවස් භාගයේදී භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනකු වන ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ ජානක අජිත් පේ‍්‍රම මහතා සහ තාක්ෂණ නිලධාරි සුපුන් භාණුක මහතා කොළඹ සිට වඩිනාගල ගම්මානයට පැමිණියහ. අප වඩිනාගල ගම්මානයේ සිටින විට ඔවුන් පැමිණි අතර අප මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ජානක අජිත් ප්‍රේම මහතාගෙන් තොරතුරු විමසුවෙමු.මෙවැනි කම්පනයන් හඳුනා ගැනීමට අපේ රටේ භූ කම්පන මාන මධ්‍යස්ථාන තුනක් තියෙනවා. එකක් පල්ලෙකැලේ ස්ථාපිතයි. අනිත් දෙක හක්මණ සහ මහකනදරාවේ ස්ථාපිත කරලා තියෙනවා. මේ ප‍්‍රදේශයේ සිදුවුණා යැයි කියන චලනයන් දෙකක් පල්ලෙකැලේ මධ්‍යස්ථානයට වාර්තාවෙලා තියෙනවා. මේ චලනයන් දෙකෙන් එකක් මධ්‍යස්ථාන තුනටම වාර්තා වෙලා තියෙනවා. එහි කම්පන තරංග මැනීම අනුව 2002-12-01 දින සිදු වූ එක චලනයක් රිච්ටර් පරිමාණ ඒකක 2.29ක අගයක් අරන් තියෙනවා. ජන ජීවිතයට හානි සිදු වෙන්න නම් මේ අගය ඒකක 4ට ඉහළ අගයක් ගන්න  ඕනෑ. මේ අගය 3ට වඩා ඉහළට ගියොත් ජනතාවට කම්පනය තදින් දැනෙනවා. මම ඉස්සෙල්ලා කියපු 2.29 චලනය සිදු වුණ තැන විදිහට අපට වාර්තා වෙලා තියෙන්නේ අම්පාර නගරයත් කොණ්ඩවටුවාණ ප‍්‍රදේශයත් අතර ප‍්‍රදේශයක. නමුත් තවමත් ඒ ස්ථානය නිශ්චිතවම අඳුනාගෙන නැහැ.

මේ අතර ප‍්‍රදේශවාසීන් නිලධාරීන් හමුවේ සඳහන් කළේ යාබද ගල්ඔය ජාතික වනෝද්‍යානය දෙසින් ද භූ චලන වලට සමාන හඬවල් ඇසුණු බවයි. තවත් පැතිර ගිය කතාවක් වූයේ වනාන්තරය මධ්‍යයේ බෝර දමමින් කිසියම් පිරිසක් සංවිධානාත්මකව නිධන් හාරන බවයි. මේ පිළිබඳවද අවධානය යොමු කළ ගල්ඔය ජාතික වනෝද්‍යාන භාරකරු වූ මනෝජ් විද්‍යාරත්න මහතා සතියකට අධික කාලයක් තිස්සේ සිය නිලධාරීන් වනෝද්‍යානයේ විශේෂ මුර සංචාර සඳහා යොදවා සොයා බැලූ අතර එවැනි කිසිදු හෝඩුවාවක් හමුනොවූ බව ද සඳහන් කළේය.

තව දුරටත් එම මුර සංචාර එලෙසම පැවැත්වීමට කටයුතු යොදන බවද අවධාරණය කළේය. මෙම භූ කම්පන සිද්ධියත් සමඟ ප‍්‍රදේශයේ පැතිර ගිය තවත් කථාවක් වූයේ ඒ ආසන්නයේ වූ ජයන්ති වැව මෙන්ම ඉඟිනියාගල සේනානායක සමුදුරේ බැම්මට හානියක් වීමට ඉඩකඩ ඇති බවයි. එහෙත් භූ විද්‍යා නිලධාරීන් පවසන්නේ දැනට ඇති තොරතුරු අනුව එවැනි අනතුරක් පෙනෙන්නට නොමැති බවකි.

මේ පිළිබඳව තවදුරටත් අදහස් පළ කළ භෞතික භූ විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේ භූ කම්පන පිළිබඳව කල් වේලා ඇතුව දැන ගත නොහැකි බවයි. එය හිටි අඩියේ සිදුවෙන ක‍්‍රියාවලියක් බැවින් ඉන් ගැලවීම අසීරු බවද එහෙත් යම් යම් ආරක්ෂිත පියවර ගත හැකි බවද පෙන්වා දුන්නේය.

මේ වන විටත් භූ කම්පන මාන උපකරණ ඉඟිනියාගල දෙමට ඇල්ල, සහ පල්ලන්ඔය යන ප‍්‍රදේශවල ස්ථාපිත කර ඇති අතර නොබෝ දිනකින් ගල්ඔය වනෝද්‍යානය මධ්‍යයට ගොස් භූ විද්‍යා නිලධාරී හු පරීක්‍ෂණ පැවැත්වීමට ද නියමිතය. අවට ප‍්‍රදේශයේ ගල් කොරි කීපයක්ද මේ වන විටත් පරීක්ෂණයට ලක් කර ඇති අතර පරීක්‍ෂණ පිපිරවීම් ද කර බැලූවේය. එහෙත් එවැනි මිනිස් ක‍්‍රියාකාරකම් නිසා මෙවැනි චලයන සහ හඬවල් සිදුනොවන බව ප‍්‍රත්‍යක්‍ෂ වී තිබේ.

සටහන සහ සේයාරූ - දිගාමඩුල්ල සමන් දිසානායක සහ අම්පාර වසන්ත චන්ද්‍රපාල

බුද්ධදාස

දිමුතු

ග‍්‍රමා නිලධාරි දුෂාර

ජානක අජිත් පේ‍්‍රම