18_page_2-RS

 

කාන්තාවන් ගැන කතා කරනකොට ඇය යන එන ගමන බිමන ආරක්ෂා කරන එක පිරිමියෙකුගේ වගකීමක් වුණේ දුර අතීතයේ ඉඳලා. මෙන්න මේ පිළිවෙත වගකීමෙන් ඉටුකරන්න රෑ දවල් නොබලා වෙහෙස මහන්සිවෙන අපූරු තරුණ පිරිසක් අපට හමුවුණා, කඳුකරයෙදි. කාන්තාවන් කිව්වට මෙයාලා එසේ මෙසේ කාන්තාවන් නෙවෙයි. උඩරට මැණිකෙ, පොඩි මැණිකේ, ටිකිරි මැණිකෙ, සෙංකඩගල මැණිකෙ, දෙනුවර මැණිකෙ මේ කොයි කොයි මැණිකෙගෙත් ආරක්ෂාවට හිටියේ මේ තරුණ පිරිසම තමයි.

 


තරුණයන් කියලා කිව්වට මෙයාලගෙ වයසත් මැණිකෙලා තරමට තමයි. වයස අවුරුදු පනහක් හැටක් වුණත් මොවුන් සිය රාජකාරිය ඉටු කරන්නේ තරුණයෝ වගේ ඝන මී¥ම තියෙන සීතල ?ක දුෂ්කර දුම්රිය මාර්ගයක යන්න පුළුවන් කාටද? මේක වෘත්තියක් මේ වෘත්තිය හඳුන්වන්නේ සංචාරක මුරකරු කියලා. කඳු පල්ලම් බැහැගෙන අපූරු ලතාවකට ගමනේ යෙදෙන මැණිකෙලා යන පාරේ ආරක්ෂාව ගැන සොයා බලන්නේ මේ පිරිස.

1
කඳුකර දුම්රිය මාර්ගය ගැන ඔබට මතක නම් සමහර තැන් තියෙනවා මිනිසෙකුට ගමන් කරන්න ඉඩක් නැති දුම්රියට විතරක් ගමන් කළහැකි ස්ථාන.
ඔබ පහසුවෙන් දුම්රියේ යනකොට මේ පිරිස ඉතා අපහසුවෙන් වුවත් සිය රාජකාරිය ඉටු කරනවා.


රේල් පීලිවල ඇණ ගැලවිලාද, පස් කණ්ඩි කඩන් වැටිලාද, මාර්ගය අවහිර වෙලාද කියලා කාටවත් කලින් සොයා බලන්නේ මේ සංචාරක මුරකරුවෝ.
මොවුන්ගේ වෘත්තිය හා බැදුණු දුක්බර හා රසබර කතා බොහොමයි. ඉතිං ඉරිදා ලංකාදීප අප සම්බන්ධ කරගත්තා මේ පිරිස අතරින් කෙනෙක්. ඔහුගේ නම සී රාමනාදන්. රාමනාදන් සේවය කරන්නේ නානුඔය දුම්රිය මාර්ගයේ මේ වන විට ඔහු වළක්වලා තියෙන අනතුරු සංඛ්‍යාව විසි හතරක්. වළක්වපු දුම්රිය අනතුරු සංඛ්‍යාව විසි හතරක් වෙනකොට බේරගත්තු ජීවිත සංඛ්‍යාව කොයි තරම්ද කියල ඔබට හිතාගන්න පුළුවන්ද? තමන්ගේ ජීවිතේ පරදුවට තියලා දහස් ගණනක් ජීවිත රකින රාමනාදන් ඉරිදා ලංකාදීප වෙත කිව්වෙ මෙහෙම කතාවක්.


මගේ ගම් පළාතත් නානුඔයමයි. දැං මේ සංචාරක මුරකරු රස්සාවට මම ඇවිත් අවුරුදු විසිපහක් විතර වෙනවා. මුලින්ම මේ රස්සාව කළේ මගේ තාත්තා නානුඔය ස්ටේෂමේ ඉඳලා තලවකැලේ කොටගල රේල්පාර දිගේ මගේ තාත්තා රස්සාව කරපු විදිහ මම දැකල තියෙනවා.


අපි බොහොම දුප්පත් මිනිස්සු ජීවිත අවදානම වැඩි වුණත් මේ රස්සාව මම තෝරගත්තේ මගේ ගෙදරට හයියක් වෙන්න හිතලා. මුල් කාලෙදි මොන හේතුවක් නිසා මේ රස්සාව තෝරගත්තත් දැන් මම මේ රස්සාව කරන්නේ සතුටින්. අද මම මේ රස්සාව කරනවා වගේ මගේ තාත්තාත් මේ රේල්පාර දිගේ ඇවිදගෙන ගියහැටි මට අදත් මතකයි.


මම දැන් සංචාරක මුරකරු රස්සාවට ඇවිත් අවුරුදු විසිදෙකක් වෙනවා. මේ රස්සාව පහසු නෑ. මුල් දවස්වල පුරුදු වෙනකොට රස්සාව අතාරින්න පවා හිතුණා.

3
නමුත් දැන් හැමදේම හොඳට පුරුදුයි. අපිට මාසිකව රාජකාරි යෙදිලා තියෙන්නේ උදේ වැඩමුර දවස් පහළොවයි රෑ වැඩ මුර දවස් පහළොවයි.
මගේ රාජකාරි තමයි දුම්රිය මාර්ගයේ යම් අබලන් තත්ත්වයක් තිබුණොත් ඒ පිළිබඳව දුම්රිය රියදුරුට දැනුම් දීලා අනතුර වළක්වන එක.


ඇත්තටම මට බොහොම සතුටුයි මගේ සේවාකාලය තුළ දුම්රිය අනතුරු වළක්වලා ජීවිත ගොඩාක් මම බේරාගෙන තියෙනවා. වළක්වපු අනතුරුවලින් අමතක නොවෙන සිද්ධියක් තියෙනවා.


ඇත්තටම ඒ දුම්රිය අනතුර වුණා නම් ජීවිත විශාල ගණනක් නැති වෙන්න වුණත් ඉඩ තිබුණා. එදා මට කරන්න වෙලා තිබුණේ නයිට් ඩියුටියක්. මම රේල්පාර පරීක්‍ෂා කරගෙන ඇවිදගෙන ගියා. ඇත්තටම කාත් කවුරුවත් පේනතෙක් මානෙක නැති මනුස්ස කටහඬක් ඇහෙන්නේ නැති රේල්පාරේ පාන්දර ජාමෙට යන එක ලෙහෙසි නෑ. ? ජාමෙට පාන්දරට රේල්පාර දිගේ යනකොට වල් ඌරෝ ඉත්තෑවෝ විතරක් නෙවි, සර්පයොත් අපට හමුවෙනවා. එහෙම වෙලාවට දෙවියන් සිහිකරගෙන යනවා ඇරෙන්න මොනවා කරන්නද.


මේ මාරක අනතුර වෙන්න ගිය දවසේදි මම රේල්පාර පරීක්‍ෂා කරගෙන ගියා ඒ යනකොට මම දැක්කා රදැල්ල පාලමේ පීල්ලක් කැඩිලා තියෙනවා. ඒ වේලාවේ උඩරට මැණිකේ එතැනින් ගමන් කරන වේලාව. ඒ විතරක් නෙවෙයි උඩහ ඉඳලා දුම්රියක් පහළට ඒවිද පහළ ඉඳලා දුම්රියක් උඩහට යාවිද කියලා කියන්න බෑ. කැඩුණු පීල්ලට උඩින් දුම්රිය ගියොත් අනිවාර්්‍යයෙන්ම ලොකු අනතුරක් වෙන බව මට තේරුණා. රදැල්ල පාලම යටින් ගලායන්නේ කොත්මලේට යන වතුර පාරක්. අනතුර වළක්වා ගන්න බැරි වුණොත් ජීවිත ගණනාවක් වුණත් නැතිවෙන්න පුළුවන්.


ඒ වගේ වෙලාවට කෝච්චිය නවත්තන එක තමයි අපි මුලින්ම කරන්නේ. දුම්රිය නවත්තන්න අපි භාවිතා කරන්නේ රතුපාට, කොළපාට ලයිට් එළි ඊට අමතරව ඩයිනමයිට් වෙඩි අටක් පාවිච්චි කරනවා.


සංචාරක මුරකරුවන්ට දීලා තියෙන මේ ඩයිනමයිට් වෙඩි අට ඩියුටි මාරුවෙනකොට ඊළඟ සේවා මුරය කරන්න ඉන්න කෙනාට බාර දෙන්න  ඕන.
සාමාන්‍යයෙන් පාන්දර ජාමෙට එහෙම නැත්නම් රෑට දුම්රිය රියදුරුට නින්ද ගිහින් තිබුණොත් කොළපාට රතුපාට ආලෝක එළි විතරක් පෙන්වලා දුම්රිය නවත්වන්න බෑ. එහෙම වේලාවට පෙර සුදානමක් විදිහට ඩයිනමයිට් රේල්පීල්ලට සවිකරන එක තමයි අපි කරන්නේ. එහෙම කරන්නේ කැඩුණු පීල්ල කොටස මැද ඉඳලා මීටර් සියයක් පෙරමගට වෙන්න. මොකද උඩහා ඉඳලාද පහළට දුම්රිය එන්නේ පහළ ඉඳලාද දුම්රිය උඩහට යන්නේ කියන්න බෑ. ඒ නිසා උඩහා ඉඳලා පහළට එන දුම්රිය නවත්වන්න මීටර් සියයක් උඩහට වෙන්නත් ඩයිනමයිට් පීල්ලට බඳින අපි පහළ ඉඳලා උඩහට යන දුම්රිය නවත්තන්නත් මීටර්සියයක් පහළට වෙන්න දුම්රිය මාර්ගයේ අපි ඩයිනමයිට් බඳිනවා.


ඩයිනමයිට් බැන්දහම ඒ පුපුරන සද්දෙට රියදුරු නිදාගෙන හිටියොත් ඇහැරෙනවා. එතකොට පීල්ල කැඩුණු තැනට එන්න ඉස්සෙල්ලාම දුම්රිය නවත්ව ගන්න පුළුවන්.


මොනතරම් ඩයිනමයිට් බැන්දත් අපි සංඥා එළි දල්වනවා. මොකද වෙඩි පුපුරවන්නේ නැතිව සංඥා එළියෙන්ම දුම්රිය නවත්වන්න පුළුවන්නම් හොඳයිනේ.
රදැල්ල පාලමේ පීල්ල කැඩුණ වෙලාවේ මම තවත් සංචාරක මුරකරුවෙකුට කතා කළා. ඔහු ඒ වෙලාවේ හිටියෙ රදැල්ල නානුඔයත් අතර ප‍්‍රදේශයේ. ඔහුට කතා කරලා මම කිව්වා පීල්ලක් කැඩිලා තියෙනවා කියලා. මේ සිදුවීම වෙන වේලාවෙ එතැනින් යන්න තිබුණේ රාති‍්‍ර තැපැල් දුම්රිය. මේ රාති‍්‍ර දුම්රියේ බොහොමයක් පිරිස් යන එනවා. ඔහු එනතුරු මම ඩයිනමයිට් බඳින්න පටන් ගත්තා.


ඒ දුම්රිය මාර්ගය අපට හොඳට පුරුදුයි. වැඩිවෙලා ගියෙ නෑ අනෙක් මුරකරු ආවා. අපි දෙන්නම අපිට පුරුදු රාජකාරිය කරන්න කි‍්‍රයාත්මක වුණා.
කැඩුණු පීල්ල මධ්‍ය ලක්ෂය කරගෙන මීටර් සියයක් එහාටත් මෙහාටත් වෙන්න වෙඩිබැන්දා. ඒ අතරේ තාක්ෂණ ශිල්ප සහයක අංශය ඒ කියන්නේ නඩත්තු අංශයට කතාකරලා පීල්ලේ අබලන් තත්ත්වය ගැන කිව්වා.


වෙඩි බැඳලා අපි සංඥා නිකුත් කළා. දුම්රිය පාන්දර දෙකහමාර වෙනවිට රදැල්ල පාලම පසුකරගෙන යන්න ආවා. ඒ වගේ වේලාවට අපට තියෙන්නේ එක අරමුණයි. ඒ මඟින්ගේ ජීවිත. දුම්රිය අනතුර වළක්වා ගන්න. මම දෙවියන්ගේ පිහිට පැතුවා. අපේ සංඥා එළි රියදුරු දැකලා දුම්රිය නවත්වගන්න හැකියාව ඔහුට ලැබේවා කියලා. දුම්රියේ වේගය වැඞී මගේ හිත කලබල වේලා තිබුණේ. අනතුරක තියෙන භායානකකම මම දැනගෙන හිටියා.


මම ආලෝක එළි දැල්වුවා රියදුරුට පේනවිදිහට. ඒත් අපට දුම්රිය නවත්තන්න පුළුවන් වේවිද. ඊළඟ තප්පරේ මොනවයින් මොනවා වේවිද කියන්න පුළුවන්කමක් තිබුණේ නෑ.


කාලේ බොහොම ඉක්මණට ගෙවුණා. ඇත්තටම අදත් ඒ ගෙවුණ මොහොත භායානක හීනයක් වගේ.


දෙවියන්ට ස්තූති වේවා! පීල්ල ආසන්න වීමට කලින් දුම්රිය නැවතුණා.


ඩයිනමයිට් පුපුරන්න කලින් දුම්රිය නැවතුණා. ඇත්තටම ඒ වගේ වේලාවට දැනෙන හැඟීම පැහැදිලි කරන්න අමාරුයි. දුම්රිය නැවැත්තුවට පස්සෙ මාර්ග නඩත්තු අංශයෙන් ඇවිත් තාවකාලිකව පීල්ල පැය බාගයක් ඇතුළත හැදුවා. ඒ හදලා දුම්රිය පිටත් කළා. ඇත්තටම අපේ රාජකාරිය හරියට කරන ගමන් රාති‍්‍ර තැපැල් දුම්රිය නවත්වගෙන වෙන්න ගිය අනතුර නවත්ත ගන්න පුළුවන් වීම ගැන හිතනකොට එයින් බේරාගන්න පුළුවන් වුණ ජීවිත ගැන හිතනකොට බොහොම සතුටුයි.


ජීවිත බේරාගන්න රාජකාරිය කරන්න රේල්පාර දිගේ ගිය ගමනෙදි මගේ ජීවිතය අවදානමකට පත්වුණ අවස්ථාවකුත් මට තියෙනවා.


ඒත් රෑ වැඩමුර අවස්ථාවක් දුම්රිය මාර්ගය දිගේ ඇවිදගෙන යනකොට පටු ප‍්‍රදේශයකදි රාති‍්‍ර දුම්රියක් මා ඉදිරියට ආවා. ඇත්තටම ජීවිතේ බේරාගන්න නම් මා බහින්න  ඕන බෑවුම් ප‍්‍රදේශයට. සමහර තැන් තියෙනවා බෑවුමේ පස් බුරුල්වෙලා පහළට කඩාගෙන යන.


දුම්රිය ටිකෙන් ටික මගේ පැත්තට එනකොට මම පීල්ලෙන් බෑවුමට බැස්සා. ඒ අවස්ථාවේ දුම්රිය මං ඉන්න ප‍්‍රදේශය පහුකරගෙන ගියා. කෝච්චිය යනකොට මගේ කකුලට වෙනසක් දැනුණා. මට දෙවියෝ සිහිවුණේ ඒ වේලාවේ. කරවලයෙක් කකුල ගාව. ටෝච් එළියට කරවලයා දැකපු මම දුම්රිය යනතුරු හිටියෙ නෑ එතැනින් ඉවත් වුණා. එදා නිකමට හරි බෑවුමට වැටුණා නම් කරවලයාගේ දෂ්ඨ කිරීමට ලක් වුණා නම් එහෙම නැතිනම් දුම්රියට අසු වුණා නම් අද මම ජීවතුන් අතර නෑ.


අපි මේ රස්සාව කරන්නේ ජීවිත අවදානම අරගෙන. කඳුකරයේ වඩාත්ම දුෂ්කර දුම්රිය මාර්ගවලට එක මුරයකට සංචාරක මුරකරුවෝ දෙදෙනෙක් යොදන අවස්ථාවන් තියෙනවා. දෙදෙනාට ආරක්ෂාව ඒ දෙදෙනාම තමයි.


ඇත්තටම මේ කඳුකර මාර්ගයේ සතුන් සිව්පාවුන් දුම්රියට හසුවෙනවා. ඊට අමතරව දුම්රිය මගේ ගමන් කරන අය අනතුරට ලක් වුණ අවස්ථාත් තියෙනවා.
මට මතකයි දුම්රිය මාර්ගය දිගේ ගිය තරුණයෙක් වංගුවක් ඇති ප‍්‍රදේශයකදී අනතුරට ලක්ව මියගිය සිද්ධියකුත්. අමතක නොවෙන බොහොමයක් සිදුවීම් මේ දුම්රිය මගේදී අපට අත්විඳින්න ලැබිලා තියෙනවා. සිදුකරන එකම කි‍්‍රයාවලිය ඔයාලට පැහැදිලි කළ තත්ත්වය වෙද්දි ඒ විදිහට වළක්වපු අනතුරු අවස්ථා ගොඩක් තියෙනවා.


බේරගත්ත මගීන් ගැන හිතද්දි සතුටුයි. ඒ, රාමනාදන් කියූ කතාව.


නමුත් ඔහු නොකියු සංචාරක මුරකරු වෘත්තියට ඉරිදා ලංකාදීප අවධානය යොමුවීමට හේතු වු සංවේදී කරුණකුත් තිබෙනවා. සංචාරක මුරකරු වෘත්තියේ ඇති වැදගත්කම ඔබට පැහැදිලි කරන ගමන් ඔබ නොදන්න කරුණක් ගැන අවදානය යොමුකරන්න කැමතියි.


මේ සංචාරක මුරකරු වෘත්තිය සුද්දගේ කාලේ ඉඳලා පැවත එන්නක්. ඒ කාලේ මොවුන්ට දීමනාවක් ලබාදුන්නා. ඒකට කිව්වේ කෝලි දීමනාව කියලා. එනම්, සිලිම්වලින් පටන් ගත්තු මේ දීමනාව මෑත කාලයේදී රුපියල් දොළහක් විදිහට ගෙවනු ලැබුවා. ඔබට මතකනම් කෝපි කෝප්පයක් රුපියල් දොළහට බොන්න බෑ.


ඒ දීමනාව මෑත භාගයේදී බොහොම අමාරුවෙන් වැඩිවුණා. ඒ රුපියල් හතළිහක් විදිහට. ඇත්තටම ඉඳහිට නුවරඑළියට සැපගන්න නිලධාරීයෙකු ගියත් ඔහුගේ කෝපි අවශ්‍යතාව කෝප්ප පහ හයක් ඉක්මවනවා.


ඒ අතරේ ඇඟ රත්වෙන්නත් වියදම් කරනවා ඇති. ඒක වෙනම කතාවක්.


මේ සංචාරක මුරකරුට සැතපුම් දහ අටක් විස්සක් රෑ ජාමෙට හිරිගඩු පිපෙන සිතලේ ගමනේ යෙදිලා රාජකාරිය කරන්න ලබාදෙන කෝපි දීමනාව රුපියල් හතළිහක් වීම ප‍්‍රමාණවත් වෙන්නේ කොහොමද?


තමන්ගේ ජීවිතය පරදුවට තියලා අඩු වැටුපකට රුපියල් හතළිහක කෝපි දීමනාවකට ජීවිත බේරාගන්න කැපවී සිටින මෙවැනි සංචාරක මුරකරුවෝ ගැන අවධානය යොමුවිය යුතුයි නේද? අපි ඔබට කියු කතාව වෙන එකක් වුණත් ඔවුන් කියු කතාවට යටින් අප දන්නා නොකියු කතාව ඉරිදා ලංකාදීපයට අප ලියා තැබුවේ නිලධාරීන්ගේ අවධානය යම් තාක් දුරකට හෝ මොවුන් වෙත යොමු වේවි කියන බලාපොරොත්තුවෙන්.  

m