IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ලූව්ර කෞතුකාගාරයට හොරු පැන්න හැටි

පැරීසියේ ලූව්ර කෞතුකාගාරයට හොරු පැන්න පුවත දෙස් විදෙස් මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය විය. සොරකම සිදුවූයේ පසුගිය 19 වැනිදා ඉරිදා දිනයේ උදෑසනය. එය, මිනිත්තු කීපයකදී සිදුවුණු ලොව වේගවත්ම සොරකම ලෙස කාගේත් අවධානය දිනා ගෙන ඇත. ප්‍රංශ කිරීටයට අයත් මිල කළ නොහැකි ආභරණ රැසක් සොරකම් කෙරුණි. සොරකමත් සමඟ කෞතුකාගාරය වසා දැමුණේ ඊට විශේෂ පොලිස් ආරක්ෂාවක් පමණක් නොව හමුදා ආරක්ෂාවක් ද ලබා දෙමිනි.

පසුගිය ඉරිදා දිනයේ, ප්‍රංශයේ වේලාවෙන් උදෑසන 9.30 ට පමණ සොරකම සිදුවිය. ඒ වනවිට කෞතුකාගාරය නරඹන්නන් වෙනුවෙන් විවෘත වී තිබුණි. මුහුණු ආවරණය කර ගත් සොරුන් තිදෙනෙක් හෝ සිවු දෙනෙක් කෞතුකාගාර සේවකයන් ලෙස වෙස්වලා ගෙන රථයක සවිකළ දොඹකර සෝපානයක් භාවිතයට ගනිමින්, කෞතුකාගාර ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ, ජනේල වීදුරුවක්, නවීන පන්නයේ වීදුරු කපන කියතකින් කපා ඇතුළට පැමිණියහ. සොරුන් ඇතුළු වූයේ ‘ගැලරි දි ඇපලෝන්’ හෙවත් ‘ඇපලෝ ගැලරිය’ටය. ඔවුහු ගැලරියේ වීදුරු කුටි දෙකක ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා තිබූ, ප්‍රංශ කිරීටයට අයත් මිල කළ නොහැකි වටිනාමක් ඇති විවිධ රාජකීය ආභරණ ගණනාවක් සොරා ගත් අතර එසැණින් පළා ගියහ. මේ සියල්ලටම ගත වූයේ මිනිත්තු හතක් පමණ කෙටි කාලයකි. සොරුන් පළා ගියේ ස්කූටර් යතුරු පැදි දෙකකිනි. සොරුන් ආභරණ තැන්පත් කර තිබුණු වීදුරු කුටිවල වීදුරු කපද්දී, කෞතුකාගාරයේ අනතුරු ඇඟවීමේ නලා නාද වී ඇත. එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය නරඹන්නන් ආරක්ෂිතව කෞතුකාගාරයෙන් පිටතට යොමු කිරීමට කටයුතු කළ අතර, ආරක්ෂක අංශ සාමාජිකයන් සොරකම සිදුවුණු ඇපලෝ ගැලරියට වහා පැමිණ ඇත. එහෙත් ඒ වනවිටත් සොරුන් එතැනින් ගොස් තිබුණි. ඉතා ඉක්මනින් සිදුවුණු එය සියවසේ සොරකම යැයි මාධ්‍ය හඳුන්වා දී ඇත.

එය ඉතා සැලැසුම් සහගතව කළ සොරකමක් බවත්, සොරුන් කලබල නොවී, සීරුවෙන් සොරකම සිදු කරන අයුරු ආරක්ෂක වීඩියෝ කැමරාවල සටහන් වී ඇති බවත් ප්‍රංශ සංස්කෘතික කටයුතු අමාත්‍යවරිය වන රෂීඩා දාති පසුව මාධ්‍ය හමුවේ පැවැසුවාය. මෙම සොරකමින්, කිසිවකුටවත් තුවාලයක් වූයේ නැත. එබැවින් මෙය, ප්‍රචණ්ඩත්වයකින් තොරව, ඉතා වෘත්තීය මට්ටමින් සිදු කළ සොරකමක් බවත්, පලපුරුදු සොරුන් පිරිසක් සොරකමට පැමිණි බව පැහැදිලි වන බවත් අමාත්‍යවරිය වැඩි දුරටත් පැවැසුවාය. කෞතුකාගාරයේ පිටත සහ ඒ අවට ගොඩනැගිලිවලත්, වීදිවලත් ඇති සීසීටීවී ආරක්ෂක කැමරා දසුන් පරීක්ෂා කරමින්, සොරුන් ගිය මාර්ගය හඳුනා ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් ප්‍රංශ පොලිසිය පැවැසීය. සොරකම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සිය කනස්සල්ල පළ කළේ, මේ සංස්කෘතික ඝාතනය සිදු කළ අපරාධකරුවන් සහ ඔවුන් සොරා ගත් රාජකීය කවුතුක ආභරණ හැකි ඉක්මනින් යළි සොයා ගන්නා බව පවසමිනි. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නුනෙස් මාධ්‍ය හමුවේ කියා සිටියේ මිනිත්තු 7 ක් වැනි කෙටි කාලයක් ඇතුළත සිදුවුණු එම සොරකම ඉතාම සූක්ෂම එකක් බවය. ලූව්ර කෞතුකාගාරයේ බලධාරීන්ට අනුව, වටිනා ඔටුනු ආභරණ, මාල, කරාබු සහ පින් ඇතුළු ආභරණ අටක් සොරුන් විසින් රැගෙන යනු ලැබුණි. මේවා සියල්ලම 19 වැනි සියවසට අයත් වන අතර, ප්‍රංශ රාජකීයයන්ට හෝ අධිරාජ්‍ය පාලකයන්ට අයත්ව තිබූ ඒවාය. තෙවැනි නැපෝලියන්ගේ බිරිඳ වූ අධිරාජිනී යුජිනීට අයත් ඔටුන්නක් සහ පින් එකක්, ප්‍රංශ අධිරාජිනියක වන මාරි ලු‍වීගේ මරකත මාලයක් සහ මරකත කරාබු යුගලයක්, මාරි-ඇමලී සහ හෝර්ටෙන්ස් යන රැජිනියන්ට අයත් වූ නිල් මැණික් සහිත ඔටුන්නක්, මාලයක් සහ එක් කරාබුවක් ද සොරකම් කළ භාණ්ඩ අතර වෙයි. මෙම සෑම ආභරණයකම, දියමන්ති දහස් ගණනක් සහ වෙනත් වටිනා මැණික් ගල් ඇති බව ද පැවැසෙයි. යූජීන් අධිරාජිනියගේ තවත් ආභරණ දෙකක්, සොරුන් පළා යන විට අතහැර දමා ගොස් තිබුණු බවත් ඒවා ආරක්ෂක අංශ නිලධාරීන්ට හමුවුණු බවත් පැවැසෙයි.

ලෝකයේ විශාලතම සහ වඩාත්ම නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කරන, වටිනාම කෞතුකාගාරය කුමක්දැයි කවුරුන් හෝ ඇසුවොත්, ඊට පිළිතුර ප්‍රංශයේ පැරීස් අගනුවර ලූව්ර කලා කෞතුකාගාරයයි. මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබෙන භාණ්ඩ සහ කලා නිර්මාණවල වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැකිය. එපමණක් නොව, මෙම ලූව්ර කෞතුකාගාර ගොඩනැගිල්ල පවා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයකි. ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ උරුමයන් විදහා දක්වන කේන්ද්‍රස්ථානයක් ලෙස ලූව්ර කෞතුකාගාරය සැලකෙයි. හේතුව, මෙම කෞතුකාගාරයේ ඇති සෑම නිර්මාණයක්ම ලෝකයේ කලා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන ඒවා වීමය.

ලූව්ර කෞතුකාගාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ 12 වැනි සියවසේදීය. මෙම ගොඩනැගිල්ල මුලින්ම ඉදිකරන ලද්දේ දෙවැනි පිලිප් රජු විසින් පැරීසියට ආරක්ෂාව සැපයීම සඳහා වූ බලකොටුවක් ලෙසය. කාලයාගේ ඇවෑමෙන් මෙම බලකොටුව ප්‍රංශයේ රාජකීය නිවහනක් බවට පත් විය. 16 වැනි සියවසේදී පළමු වැනි ෆ්‍රැන්සිස් රජු විසින් මුල් බලකොටුව කඩා දමා එය තේජාන්විත පුනරුද මාලිගාවක් බවට පත් කළ අතර, ඔහු විසින් රැස් කළ පෞද්ගලික කලා එකතුවද මෙහි තැන්පත් කිරීම ආරම්භ කළේය. කෙසේ වෙතත්, දාහතර වැනි ලු‍වී රජු සිය රාජ සභාව වර්සායිල් මාලිගයට ගෙන ගිය පසු, ලූව්ර මාලිගය තවදුරටත් රාජකීය නිවහනක් ලෙස යොදා නොගන්නා ලදී. ලූව්ර මාලිගය, කෞතුකාගාරයක් බවට පත්වීමේ තීරණාත්මක මොහොත උදා වූයේ ප්‍රංශ විප්ලවය අතරතුරදීය. 1793 වසරේ දී, ජාතියේ විශිෂ්ට කලා කෘති ප්‍රදර්ශනය කිරීම සඳහා ලූව්ර, පොදු කෞතුකාගාරයක් ලෙස විවෘත කරන ලදී. මෙලෙස එය රාජකීය නිධානයක් වූ තැනක සිට, මහජනයාට විවෘත වූ කලාගාරයක් දක්වා පරිණාමය විය. 1980 දී එවකට ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සුවා මිතරෝන්ගේ සංකල්පයකට අනුව, ලූව්ර කෞතුකාගාරය නවීකරණය සිදුවිය. ඊට වීදුරුවලින් පිරමීඩයක් ද එක් කෙරුණි. මෙම පිරමීඩය ඉදි කිරීම කරනු ලැබුවේ චීන-ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පී අයි.එම්. පේයි විසිනි. ඔහු ඓතිහාසික මෙන්ම සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට ගරු කරමින්, එයට හානියක් නොවන අයුරින් නූතන කලා නිර්මාණයක් ලෙස වීදුරු පිරමීඩය නිර්මාණය කළේය.

ලොව විශාලතම කෞතුකාගාරය ලෙස ද සැලකෙන ලූව්ර කෞතුකාගාරයේ ඇති ප්‍රදර්ශන එකතුව අති විශාල වන අතර, එය පූර්ව ඉතිහාසයේ සිට 19 වැනි සියවස දක්වා වූ මානව නිර්මාණශීලීත්වය විහිදුවයි. මෙහි ප්‍රදර්ශනයට තබා ඇති කලා කෘති ගණන 35,000 කට වැඩිය. සම්පූර්ණ ප්‍රදර්ශන භාණ්ඩ ප්‍රමාණය සම්පූර්ණ එකතුව 600,000 කට වඩා වැඩිය. මෙම එකතුවට ඊජිප්තු පුරාවස්තු, ග්‍රීක ‍මොනු පුරා වස්තු, ඉස්ලාමීය කලාව, මූර්ති, සහ සිතුවම් අයත් වෙයි. ලූව්ර කෞතුකාගාරයේ ඇති වඩාත් වැදගත්, වටිනාම කලා නිර්මාණය වන්නේ මොනලීසාගේ චිත්‍රයයි. ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චිගේ විශිෂ්ඨතම කලා නිර්මාණය ලෙස සැලකෙන්නේ මෙයයි. 1911 දී, ඉතාලි ජාතික කෞතුකාගාර සේවකයෙක් මොනලීසා චිත්‍රය සොරකම් කළේය. ඒ කාලයේ මොනලීසා චිත්‍රය ජනතාව අතරේ ප්‍රසිද්ධියට පත්ව තිබුණේ නැත. එය ගැලරි බිත්තියක එල්ලා ප්‍රදර්ශනයට තබා තිබුණු අතර, ඉතාලි ජාතික කෞතුකාගාර සේවකයා එය ඔහුගේ කබායේ සඟවා ගෙන රැගෙන ගොස් තිබුණි. වසර දෙකකට පසු සිතුවම සොයා ගත් අතර,තමන් එය සොරකම් කළේ එය ඉතාලියට අයත් කලාකෘතියක් නිසා යැයි සොරා පැවැසීය. අද මොනලිසා සිතුවම කිසිම සොරකුට සොරකම් කිරීමට නොහැකි ලෙස ඉතා දැඩි ආරක්ෂිත වීදුරු කුටියක් තුළ ප්‍රදර්ශනයට තබා ඇත. 1998 දී, කැමිල් කොරොට් නම් චිත්‍ර ශිල්පියාගේ ‘ලෙ චෙමින් දෙ සෙවේස්’ නමැති 19 වැනි සියවසේ ඇදි සිතුවම සොරකම් කෙරුණි. මෙම සොරකමින් පසු කෞතුකාගාරයේ ආරක්ෂක විධිවිධාන විශාල වශයෙන් ප්‍රතිසංස්කරණය කෙරුණි.

ලූව්ර කෞතුකාගාරය හුදෙක් කලා භාණ්ඩ තැන්පත් කරන ස්ථානයක් නොවෙයි. එය කලාව, ඉතිහාසය සහ ප්‍රංශ ජාතික අනන්‍යතාවයේ සංකේතයකි. වාර්ෂිකව මිලියන අටකට අධික සංචාරකයන් පිරිසක් පැමිණෙන ලූව්ර කෞතුකාගාරය, ගෝලීය සංචාරක සිතියමේ අත්‍යවශ්‍ය ගමනාන්තයක් වී අවසන්ය. ඔබ යුරෝපයේ සංචාරයට යන්නේ නම්, ප්‍රංශයේ පැරිස් අගනුවරට යන්නේ නම්, ඔබ යා යුතුම තැනක් වන්නේ මෙම කෞතුකාගාරයයි.

(***ලු‍සිත ජයමාන්න - බීබීසී ඇසුරිනි)



අදහස් (0)

ලූව්ර කෞතුකාගාරයට හොරු පැන්න හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1296 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1236 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 449 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site