IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


ලප නොම වන් සඳ සේ සොමි ගුණෙනා

මෙරට නාට්‍ය කලාවට අනුපමේය සේවාවක් කරමින් එහි සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් ඇතිකළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ 29 වැනි අනුස්මරණය මෙම මස 16 වැනිදාට යෙදේ. නාට්‍ය කලාවේ මතු නොව සිංහල නවකතාවේත්, කෙටිකතාවේත්, විචාර කලාවේත් සුපෝෂණය සඳහා නව මං විවර කළ එතුමා විශිෂ්ට කවීත්වයක් ප්‍රකට කළ කලාතුරකින් පහළ වන ප්‍රතිභාසම්පන්න නිර්මාණ රචකයෙකි.

එතුමාගේ එම නිර්මාණ දායකත්වයෙන් අල්පමාත්‍රයක් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වේ. කුඩා කාලයේ පටන් සරච්චන්ද්‍රයන්ගේ ඇසුර ලබමින්ද පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සරච්චන්ද්‍රයන්ගේ ගුරුහරුකම් ලබමින්ද සංගීත ක්ෂේත්‍රයේ ප්‍රබල භූමිකාවක් ඉටුකළ සංගීතවේදී ජයන්ත අරවින්ද මහතා සරච්චන්ද්‍රයන් පිළිබඳ නිර්මාණාත්මක කරුණු විමසා බැලීමට ඇති අගනා ජීවමාන සාක්ෂියකි. සරච්චන්ද්‍රයන්ගේ රත්නාවලී, පෙමතො ජායතී සොකො ආදි  නාට්‍යවල සංගීතය නිර්මාණය කළ අරවින්ද මහතා මනමෙ, සිංහබාහු ඇතුළු සරච්චන්ද්‍රයන්ගේ වෙනත් නාට්‍ය සඳහා ද තම දායකත්වය සැපයීය. මෙහි දැක්වෙන්නේ විශාරද ජයන්ත අරවින්ද මහතා සමග කළ කතාබහක් ඇසුරින් සැකසුණු සටහනකි.

ජයන්ත අරවින්දයන් සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතර වන ඇසුර අරවින්දයන්ගේ ළමා අවදිය දක්වාම දිවයයි. ඒ සම්බන්ධයෙන් ඔහු තම මතකය අවදි කරන්නේ මෙලෙසිනි.

“සරච්චන්ද්‍ර මහත්තයා මම දන්නෙ අවුරුදු හතේ අටේ කාලෙ ඉඳලා. මගේ පියා වන වින්සන් සෝමපාල හමුවීමට සරච්චන්ද්‍ර සර් අපේ ගෙදර එනවා. අපේ තාත්තත් එක්ක කවි විරිත් ඡන්දස් ශාස්ත්‍රය ගැන සරච්චන්ද්‍ර සර් නිතරම කතාබහ කළා. එහෙම ආවාම අපේ තාත්තා මට කියනවා ඩොක්ටර්ට ඇහෙන්න වයලීනය වාදනය කරන්න කියලා. ‘පුතාට හොඳට පුළුවන්නේ’ කියලා සරච්චන්ද්‍ර සර් මගේ වාදනය අගය කළා. එතුමා මමයි තාත්තයි දෙන්නාම ගුවන්විදුලි සංස්ථාවට එක්ක ගිහින් සංගීත රසාස්වාදන වැඩසටහන් කිහිපයක්ම කළා.’’

අරවින්දයන්ට මහාචාර්ය සරච්චන්ද්‍රයන් තවදුරටත් සමීප වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. එය ජයන්ත අරවින්දයන්ගේ සංගීත දිවියේද හැරවුම් ලක්ෂ්‍යයක් විය. සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයකටම සංගීතය සැපයීමේ දුර්ලභ අවස්ථාව ජයන්ත අරවින්දයන්ට ලැබෙන්නේ ඒ අනුවය.

“1959 දී සරච්චන්ද්‍රයන්ගේ රත්නාවලී නාට්‍යයට සංගීතය සැපයීමට මට අවස්ථාව ලැබුණා. ඒක සංස්කෘත නාට්‍යයක්. පියදාස නිශ්ශංකගේ සිංහල පරිවර්තනයක්. පියදාස නිශ්ශංකයන් ඉතා මැනවින් එය සිංහලට පරිවර්තනය කර තිබුණා. සරච්චන්ද්‍රයන්ගේ රත්නාවලී නාට්‍යයට ගීත 30ක් පමණ නිර්මාණය කිරීමට ලැබුණා.

මේ සෑම ගීතයක්ම නිර්මාණය කළේ රාගධාරී සංගීතයෙන්.

සරච්චන්ද්‍ර සර් සිතාරය වාදනය කළා. බොහෝ විට ඉරිදා දිනවල මම සරච්චන්ද්‍ර සර්ගේ ගෙදර ගිහින් නාට්‍යවල සංගීත වැඩ කරනවා. මේ ගීතවලට රාග යොදාගන්නා හැටි ඔහු නිතර මගෙන් විමසා සිටියා. ඒ රාග හැම එකක්ම ඔහු ලියාගත්තෙ දිනපොතේ. මමත් සමහරවිට ඒ ඩයරියේ රාග ලියනවා. සර් මට ඒ වෙලාවෙ කතාවක් කිව්වා.

“ජයන්ත, මාරයා මගෙ බෙල්ලෙන් අල්ලගත්තත් ඒ වෙලාවෙත් මම මොනවහරි ඉගෙන ගන්නවා.” කියලා.

යමක් ගැඹුරින් විමසා දැනගැනීමට එතුමාට පුදුම ආශාවක් තිබුණා.’’

ජයන්ත අරවින්දයන් මහාචාර්ය සරච්චන්ද්‍ර සමග එක්ව රත්නාවලී නිෂ්පාදනය කිරීමට විශාල කැපකිරීමක් කළේය. අරවින්දයන්ට මේ නිසාම ඒ තුළම ජීවත් වන්නට සිදුවිය. ඔහු මේ පිළිබඳව හරි අපූරු කතාවක් අප සමග පැවසීය.

“අපි සරසවි ශිෂ්‍ය කාලෙ බොහෝ ශිෂ්‍යයන් ඔවුනොවුන්ගේ පෙම්වතියන් එක්ක ප්‍රේම කරද්දි මම ප්‍රේම කළේ රත්නාවලී නාට්‍යයට. ඒ ප්‍රේමය හොඳින් ඵල දරපු නිසා අගනා දරුවන් තිහක් බිහිකරන්න පුළුවන් වුණා. ඒ තමයි රත්නාවලී නාට්‍යයේ එන ගීත තිහ.

එක්දහස් නවසිය පනස් ගණන්වලට පෙර ලංකාවේ නූර්ති සංගීතය බොහොම දියුණු වුණා. ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් වගේ අය ඒ වෙනුවෙන් විශාල මෙහෙයක් කළා. ලංකාවේ නූර්ති සංගීතයේ අන්තිම අග්ගිස්ස තමයි රත්නාවලී නාට්‍යය.’’

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සාහිත්‍ය – කලා ක්ෂේත්‍රය තුළ මෙරට සිටි විශිෂ්ට

පර් යේෂකයෙකි. මනමෙ, සිංහබාහු වැනි නාට්‍ය මතු නොව එතුමා කළ විචාර, නවකතා සහ කෙටිකතා කෘති බොහොමයක් එම පර්යේෂණවල මනා පල ලෙස හැඳින්විය හැකිය. මේ සම්බන්ධයෙන් අරවින්දයන් දරන්නේ මෙබඳු අදහසකි.

“කොච්චර දෙස් විදෙස් පර් යේෂණ කළත් සරච්චන්ද්‍රයන්ගේ ප්‍රධාන අවධානය යොමුවුණේ දේශීය නාට්‍ය කලාවක් ගොඩනගන්නේ කොහොමද කියන එක ගැනයි. විශේෂයෙන්ම ‘නාඩගම’ ගැන ඔහුගේ දැඩි අවධානයක් යොමුවුණා. ජන සම්ප්‍රදායේ පැවති නාඩගම ඒ වනවිට තිබුණෙ බොහොම ගොරහැඩි තත්වයක. නාඩගමේ පැවති නොගැලපෙන අංගලක්ෂණ ඉවත් කරලා ගොරහැඩි බව නැති කරලා මනා කාව්‍යමය ගුණයෙන් යුතු නිර්මාණයක් ගොඩනගන්නට සරච්චන්ද්‍රයන්ට හැකියාව ලැබුණා.

කාව්‍යමය ගුණය වැඩියෙන්ම තියෙන නාට්‍ය නිෂ්පාදනය කළේ මහාචාර්ය සරච්චන්ද්‍ර බවට විවාදයක් නෑ. භාෂාව ඉතාම සුඛනම්‍ය විදිහට ඒ සඳහා යොදාගත්තා. එතුමා සතුව පැවති විශිෂ්ට භාෂාත්මක අවබෝධයත් ඊට බලපෑවා. මෙතුමාගේ ‘පෙමතො ජායතී සොකෝ’ නාට්‍යය ඒ කාව්‍යාත්මක භාෂාවේ උපරිම ඵලය යැයි කියන්න පුළුවන්. පෙමතො වගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබීම මගේ ජීවිතයේ ලැබූ මහා වාසනාවක් හැටියටයි මම සලකන්නෙ.”

මෙරට නාට්‍යය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයකැයි සැලකිය හැකි මනමෙ නාටකය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිදුකළ දෙස් විදෙස් අත්හදාබැලීම් ගණනාවක විශිෂ්ට ප්‍රතිඵලයකැයි සැලකිය හැකිය. මනමෙ නාට්‍යයේත් සිංහබාහු නාට්‍යයේත් ඇතුළත් ගීත බොහොමයක පද භාවිත සහ තනු නිර්මාණ සඳහා මෙරට සම්භාව්‍ය සාහිත්‍යයෙන් හා ජන සම්ප්‍රදායෙන් ලැබූ ආභාසය ප්‍රකට වේ. මේ බව පැහැදිලි කිරීමට ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා තම ‘ගීත පද රචනා විමර්ශන’ කෘතියෙහි දක්වන පහත අදහස උදෘත කොට දැක්විය හැකිය.

‘‘මනමේ නාට්‍යයේ හා සිංහබාහු නාට්‍යයේ ගීත සඳහා මහාචාර්ය සරච්චන්ද්‍ර සාම්ප්‍රදායික පද්‍ය සාහිත්‍යයෙන් ලද ආභාසය පහත නිදසුන්වලින් පැහැදිලි වනු ඇත.

 

සන්නන් සිහින් ගෙදි සෙවණලු වැලි          තෙලෙන

තැන් තැන්වලම සැතපී සියුමැලි   බැවින

රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින

යන් මන් තොසින් මග තොරතුරු නියම     දැන

(සැළලිහිණි සන්දේශය)

සැළලිහිණි සන්දේශයේ එන මේ පද්‍යයෙහි හලන්ත ‘න’ කාරය නිසා නැගෙන ශබ්ද ධ්වනියක් ඇත. ඒ ගීතාත්මක ලක්ෂණය සරච්චන්ද්‍ර මහතා තම සිංහබාහු නාට්‍යයේ ගීයක් සඳහා මෙසේ යොදාගනී.

තැන් තැන්වලම ලැගි සන්නන් මුවන් රැල

ගන්මින් බුදින්නට රස බොජුනා

වන් නෙත් අඳුන් බඳු දූ පුත් රුවන් දැක

මන් සන්තොසින් වළඳමි සමගින්

(සිංහබාහු නාට්‍යය)

සරච්චන්ද්‍ර මහතා මේ කියන අයුරින් මනමෙ නාටකයේ එන

 

‘ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා

ආදර දිනනා සිසු සැවොමා’

 

ගීතය රචනා කිරීමේදී සැළලිහිණි සන්දේශයේ එන

‘ලප නොමවන් සඳ මෙන් සොමි ගුණ ගිහිණී’ යන පද්‍යයේ ආභාසය ද මනමේ නාටකයේ එන,

‘පිපි තඹරන නද බමරන

පිය රැව්දෙන ලිය කිඳුරන’

ගීතය සඳහා කාව්‍යශේඛරයේ එන පද්‍යයක ආභාසය ද ලබා ඇති බව පැහැදිලි වේ.’’

සුනිල් සරත් පෙරේරා මහතා දක්වන මේ වැදගත් කරුණට අමතරව සරච්චන්ද්‍රයන් තම ඇතැම් ගී නිර්මාණ සඳහා දේශීය ජන සම්ප්‍රදායේ නාද රටා කෙරෙහි අවධානය යොමුකළ වග විශාරද ජයන්ත අරවින්ද මහතා අප සමග මෙසේ ප්‍රකාශ කළේය.

“දේශීය නාඩගම් පිළිබඳ බොහෝ තොරතුරු චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගෙන් දැනකියා ගන්නට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට පුළුවන්කම ලැබුණා. මට මතකයි චාල්ස් සිල්වා ගුණසිංහ මහතා මීගමුවේ සිට එනවා පේරාදෙණියට සරච්චන්ද්‍ර සර් මුණගැහෙන්න. ඇතැම් දවස්වල ඔහු අපේ නේවාසිකාගාරයේ කාමරවල නවාතැන් ගෙන අපිත් එක්ක පැරැණි නාඩගම් ගී ගායනා කරනවා. සරච්චන්ද්‍ර මහතා මනමෙ නාටකයට යොදාගත්ත,

‘නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ

යුත් උතුම් භූ පාලනා - මා ප්‍රිය වේ’

වගේ ගීතයකට නාද රටා ගන්නෙ

‘දුල් නිමල් සිසි සෙ දිසි

සරදඹරේ’

වැනි පැරැණි නාඩගම් ගී ආශ්‍රය කරගෙන, මම දවසක් සරච්චන්ද්‍ර සර්ගෙන් ඇහුවා මනමෙ නාට්‍යයේ එන,

‘රජ ඉසුරු නැත නැත මිණි කිරුළු

ඇත මෙම හිමගිර දෙන්නෙමි සියලු

වගේ ගීතයක නාද රටාව කොහෙන්ද ලැබුණෙ කියල. එතුමා කිව්වෙ පැරැණි නාඩගම් ඇසුරින් ලබාගත් බවයි.

සිංහබාහු නාට්‍යයේදීත් නාට්‍යමය ගුණය වගේම කාව්‍යමය ගුණය මනා සේ එකට එකතු කළා. මේ දෙක සමබර කළා.”

මීට අමතරව විශාරද ජයන්ත අරවින්දයන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘පෙමතො ජායතී සොකො’ නාට්‍යයේ සංගීතය නිර්මාණය කිරීමටද පූර්ණ දායකත්වය සැපයීය. එය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය පිටපතකි. ඒ පිළිබඳ අත්දැකීම් සම්බන්ධයෙන් අරවින්දයෝ මෙවැන්නක් ප්‍රකාශ කළහ.

“පෙමතො ජායතී සොකො” නාට්‍යය ගීත නාටකයක්. ඔපෙරාවක්. එහි ගාථා ඇතුළු සියලුම ප්‍රකාශ ගායනා හැටියටයි තියෙන්නෙ. අපි අර මුලින් කියපු කාව්‍යමය ගුණයත් නාට්‍යමය ගුණයත් මනා සේ යොදාගැනීම පිළිබඳ ඉහළම මට්ටමේ උදාහරණය තමයි පෙමතො ජායතී සොකො නාට්‍යය.

ඇදුරුතුමා වන්න මගේ

නුදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර

ජීවිතයේ ගිරි දුර්ගය

නගින්ට අත්වැලක් වන්න

මහට දෙන්න ගුරු උපදෙස්

වියෝ වෙතත් මා ඔබගෙන්

නිරන්තරව සිහියට එන

සමීපයෙන් ඉවත් නොවී

දුකටත් සැපටත් දෙකටම

නොහරින හිතමිතුරකු සේ

මම මේ ගීතවල සංගීතය නිර්මාණය කළේ සරච්චන්ද්‍ර සර්ගේ ගෙදර නැවතිලා.

මම අර මුලින් කිව්වා වගේ සරච්චන්ද්‍ර මහතා හැමතිස්සෙම අවධානය යොමුකළ වචන දෙකක් තිබුණා. එකක් තමයි කාව්‍යමය ගුණය. අනිත් එක කලාත්මක ගුණය. සෑම නිර්මාණයකදීම එතුමා මේ කාරණා දෙක රැක්කා. සංගීතය නිර්මාණය කිරීමේදී සංගීත රසය ගැන විශේෂයෙන් සැලකිලිමත් වුණා. ස්වර රසය රඳවාගන්නා ගමන් තියුණු ශබ්ද රසයක් මතු කරන්න උත්සාහ ගත්තා. සිංහබාහු නාට්‍යයේ මේ ගුණය මැනවින් තිබෙනවා.

ලොල්ලා වඩන නිති දුල්ලාම රණලිය

තුල්ලා නයන මිණි ඉඳුනිල්ලා

පුල්ලා කමලවත දක්නා තුරා

මෙ ඇසිල්ලා නොවෙය සිත සැනසිල්ලා

වගේ තැන්වල ඒ ගුණය හොඳින්ම පෙනෙනවා. මේ සියල්ල කළේ නාට්‍යය රසය ප්‍රබලව තියාගන්න ගමන්.”

මෙරට නාට්‍යය කලාව වෙනුවෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කළ අගනා මෙහෙවර ප්‍රමාණ කිරීම දුෂ්කරය. සරච්චන්ද්‍රයන් ගොඩනැගූ නාට්‍යය කලාවත්, වර්තමානයේ මෙරට පවත්නා නාට්‍යය කලාවත් අපට සසඳා බැලිය හැක්කේ කෙසේද? විශාරද ජයන්ත අරවින්දයන් ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.

“අද නාට්‍යවල තියෙන්නෙ දෙබස් විතරයි. ඒ දෙබස්වලත් තියෙන්නෙ බැනගන්න එකයි, කෑගහන එකයි, රණ්ඩු කරන එකයි විතරයි. නාට්‍යකරුවො ප්‍රේක්ෂකයාගේ හිත ගන්න හදන්නේ ඒවායින්. ඒත් සරච්චන්ද්‍රයන් බැලුවෙ කලාත්මක බව සහ කාව්‍යාත්මක ගුණය ගැනයි. සරච්චන්ද්‍ර මහතාටත් අපටත් ඒ කාලෙ ඕනෑ වුණේ කලාව දියුණු කරන්නයි. ඒත් අද තියෙන්නෙ වෙන වෙන අරමුණු.’’

රටේ රසවින්දනය ගොඩනගන්න නම් මේවා ගැන නැවත ගැඹුරු සංවාදයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. එහෙම නොවුණොත් මේ සමාජ දූෂණය නවත්වන්න බෑ. අද වැඩිපුරම තියෙන්නෙ බාල ඕලාරික නිර්මාණ. ගැඹුරු සාහිත්‍යය කලා කෘති ගැන සංවාද කරන්න පුළුවන් අය අද ඉන්නෙ ඉතාම කලාතුරකින්. කාව්‍ය රසය, නාට්‍යය රසය, ව්‍යංගාර්ථ, වක්‍රෝක්ති දැන් ඉන්න බොහෝ දෙනකුට තේරෙන්නෙ නෑ. ඒ දැනුම නැති සමාජයක රසවින්දනය ගොඩනැගීම අභියෝගයක්. ඒත් ඒක කළ යුතුව තිබෙනවා. රටේ රසවින්දනය දියුණු කිරීම රජයේත් වගකීමක්.”

විශාරද ජයන්ත අරවින්දයන්ද පැහැදිලි කරන පරිදි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට දැක්විය හැකි ලොකුම උපහාරය වන්නේ එතුමන් බිහිකළ සුවිශිෂ්ට නිර්මාණ පිළිබඳව ගැඹුරු සංවාදයක් ගොඩනගා උසස් රසිකත්වයෙන් හෙබි වින්දනාත්මක හා විචාරශීලී සමාජයක් ගොඩනැගීමට මහන්සි ගැනීමය.

 

(***)
සටහන
ගාමිණී කන්දේපොළ



අදහස් (0)

ලප නොම වන් සඳ සේ සොමි ගුණෙනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 116 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1057 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site