ඇය මේ වනවිට ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවතේ රැජින වී හමාරය. ඉන්දියාවේ පැවැති “ලෝක රූ රැජින – 2025” තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය, අවසන් 4දෙනා අතරට තේරී පත් නොවූවද, ශ්‍රී ලාංකේය රූ රැජින ඉතිහාසයේ වාර්තා තබන්නට සමත්වූවාය.
ඒ ලෝක රූ රැජින තරගාවලියක අංශ 3ක් යටතේ ජයග්‍රහණය කරා ගිය පළමු ශ්‍රී ලාංකීය රුවැත්තිය ලෙසිනි. ලොව රුවැත්තියන් 108 දෙනකු සමග තරග කරමින් ඇය ලංකාවට කීර්තියක් හා ගෞරවයක් අත්කර දුන්නාය.
මෙරට මෙන්ම ලෝකයේද ඇස් ඇරවන්නට සමත් වූ ඇය 25 හැවිරිදි අනුදි ගුණසේකරය. ලාංකීය ජනතාවගේ හදවත් දිනාගත් මේ සොඳුරු රූ රැජින ලංකාවට පැමිණි පසු පළමුවරට මුද්‍රිත මාධ්‍යයක් වෙනුවෙන් “ලංකාදීප” ය සමග කතාබහ කළේ දැඩි සතුටකිනි.
Qඅනුදි, ලෝක රූ රැජින නොවුණත්, අද දවසේදී අපේ රටේ ජනතාවගේ හදවතේ රැජින වී අවසන්. ඒ ගැන මොකද සිතෙන්නේ?
මට හිතාගන්න බැරි තරම් සහයෝගයක් ලැබී තියෙනවා. එයාර්පෝට් එකේදී තමයි මම දැක්කේ. ඇත්තටම මම එනකොට සිතුවේ නෑ මෙතරම් ආදරයක්, ගෞරවයක් ලැබෙයි කියලා. මගේ ඇස්වලට කඳුළුත් ආවා. මම සමාජ මාධ්‍යවලින් දැක්කත් ඒ ආදරය, ගෞරවය හැබැහින් දැක්කේ එදායි. ඒක මට ලොකු ගෞරවයක්.
කිරුළක් ලබාගන්න එක ලොකු අභියෝගයක්. හැබැයි ඊට වඩා කෙනෙකුගේ ආදරය, ගෞරවය ලබාගන්න එක ලොකුම අභියෝගයක් කියලයි මට හිතෙන්නේ. මම ඒ අභියෝගය ජයගෙන තිබෙනවා කියා දැන් මට සිතෙනවා.
Qඅනුරාධපුර වගේ ප්‍රදේශයකින් ඔය වගේ තැනකට කවදාහරි යන්න ලැබෙයි කියා හීන මැව්වාද?
ඔව්. මම අවුරුදු 17 ඉඳලා ශ්‍රී ලංකාවෙන් ලෝක රූ රැජින තරගයට යන්න ආසාවෙන් හිටියේ. එහෙම සිතුවාට ඒකට යන්න බැහැ කියලා මිනිස්සු අපට මූණටම කියන අවස්ථා තිබෙනවා. ඒක මම කවදාවත් බාධකයක් කරගත්තේ නෑ. ඒ අධිෂ්ඨානය, කැපවීම, උනන්දුව මගේ අරමුණ කරා යන්න රුකුලක් වුණා.
Qමෙවර ලෝක රූ රැජින තරගාවලියේදී රටවල් 108 ක රුවැත්තියන් සමග මාසයක් පුරා කටයුතු කළා. ඒ අත්දැකීම් කොහොමද?
ඇත්තටම හොඳ අත්දැකීම් තමයි ලබාගත්තේ. දාලා එන්න බැරි තරමට අපේ යාළුකම් තිබුණා හැමෝමත් එක්ක. එක එක්කෙනාගේ රටවල් ගැන, ජීවිත අත්දැකීම් ගැන අපි කතාකළා. ඉතින් මම හිතන්නේ දැනටමත් කට්ටිය එකතුවෙලා එක එක රටවල්වලට යන්න කතාවෙලා තියෙනවා. ට්‍රිප් යන්න, එකතුවෙන්න වගේ දේවලට. මොන දේ වුණත් කට්ටියටම හොඳ යාළුවෝ ටිකක් නම් එකතු වුණා.
Qරූ රැජින තරගයේ අංශ තුනකින් ඔබ ඉහළට ආවේ ලංකාවේ පළමු රූ රැජින ලෙසටයි. ඒ වෙලාවේ ඇතිවුණ හැඟීම කොහොමද?
ඇත්තටම ගොඩාක් සතුටුවෙනවා. ඒ තරග අංශ තුන හරිම තරගකාරී තත්වයක තිබුණේ. මොකද “හෙඩ් ටු හෙඩ්” චැලේන්ජ් එක හරිම අමාරුයි ඉදිරියට යන්න. අපි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතැන මවුභාෂාව ඉංග්‍රීසි වූ කට්ටිය ඉන්නවා. එහෙම වුණාම ඒ වගේ තැනකින් ඉදිරියට යන්න අමාරුයි. ඒත් අපි අවසන් 20 දෙනා අතරට ආවා. ඊට අමතරව “ටැලන්ට්” එකේදී මම කළේ නැටුමක්. එතැනදී වුණත් ආසියාවේ 5 දෙනා අතරට එන්න ලැබුණා.
ඒ වගේ මල්ටිමීඩියා අංශයෙන් දෙවැනියා වුණා. ලංකාව වගේ පොඩි රටකින් එවැනි තැනකට එන්න ලැබීම ලොකු දෙයක් ලෙස මා සලකනවා.
Qඑතැනදී ඔබ කළ කතාව ලංකාවේ බොහෝ දෙනාගේ ඇස් අරවන්න සමත්වුණා. එයත් ලොකු බලපෑමක් එල්ල කරන්න සමත් වෙන්න ඇති නේද?
ඇත්තෙන්ම ඔව්. ඒක මම සිතුවේ නෑ එච්චර දුරට යයි කියලා. මොකද මට කලින් දවසේ තමයි එහෙම කතාවක් කරන්න තිබෙනවා කියලා කිව්වේ. කෙටි කාලයකින් එය කරන්න තිබුණේ. අවම කාලයකින් අපිම හදාගෙන ඉදිරිපත් කරන්න ඕනේ. මතක තියාගන්න කාලයක් තිබුණෙත් නෑ. ඒක එතරම් දුරට යන්න මම එය උපරිමයෙන් කළා කියලා මට සිතෙනවා.
Qඔයාට අන්තිම 40 දෙනා අතරට එන්න නොහැකිවීම ගැන දුකක් ආවේ නැද්ද?
කොහොමටවත් නෑ. ඇත්තටම අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. මෙවැනි තරගවලදී අපි කරන දේවල්වලට අමතරව තව ගොඩාක් දේවල් බලපානවා. විනිශ්චය මණ්ඩලය සහ පවත්වපු රට. එතකොට අපේ රටේ ඉතිහාසය දෙස බලන විට අපි “පැජන්ට් කන්ට්‍රි” එකක් විදිහට සැලකුවේ නෑ. හැම සාධකයක්ම බලපානවා. රටේ ජනතාව බලාපොරොත්තු තියාගත්තාට හැමවෙලේම මධ්‍යස්ථ තැනක තමයි මම කොහොමටත් හිටියේ. මොකද මම දැනගෙන හිටියා මීට අමතරව ගොඩාක් දේවල් මෙතනට බලපානවා කියන එක. ඉතින් මම විනිශ්චයට ගරු කරලා ඒක මම බාරගත්තා. පුළුවන් උපරිමයෙන් මම කළා. ලංකාව ලබානොගත්ත රෙකෝඩ් තුනකුත් මම තිබ්බා. ඒක තව පන්නරයක් වේවි ඊළඟ කෙනාට. ඒක මම මධ්‍යස්ථව බාරගත්තා.
Qරටක් විදිහට ඔබට අපේ රටෙන් තල්ලුවක් ලැබුණාද මේ ගමනේදී?
ඔව්. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ පළමු වතාවට තමයි අපට මේ වගේ සහයෝගයක් රටෙන් ලැබුණේ. මුදල් වියදම් කරන්නේ නැතිව රටේ ජනතාව අපට දුන්න සහයෝගයට ගරු කරනවා. මම කියන්නේ මීට පස්සෙ එන අයටත් මේ වගේ සහයෝගයක් ලැබෙනවා නම් ගොඩාක් වටිනවා.
Qඔයාගේ “සහේලි පදනම” හරහා කියාපාන කාන්තා ඔසප්භාවය පිළිබඳව මේ රූ රැජින තරගය මගින් ලොවටම කියාපාන්න පුළුවන් වුණා නේද?
ඇත්තෙන්ම ඔව්. ඒත් ලෝකයටම කියාගන්න මෙහිදී මට අවස්ථාව උදාවුණා. දැනටමත් ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන අයත් මට කතාකරලා කිව්වා, ලංකාවට ඇවිත් අපි මේ සම්බන්ධයෙන් වැඩ කරන්න ඕනේ කියලා. මම බලාපොරොත්තු වෙනවා, ඒ උදව් ලබාගෙන ලංකාවේ තවදුරටත් ව්‍යාප්ත කරන්න. ඒ වගේම මේ “සහේලි පදනම” ලොව පුරා ව්‍යාප්ත කරන්නත් මේ හරහා මම බලාපොරොත්තු වෙනවා.
Qමේ ගමනේදී ඔබගේ අම්මයි, තාත්තයි සෙවණැල්ල වගේ ළඟින්ම හිටියා. දියණියක් විදිහට ඒ ගැන ආඩම්බරයක් තියෙනවා නේද?
අනිවාර්යෙන්ම. මම හිතන්නේ මවුපියන්ගේ සහයෝගය නිසයි මෙතරම් දුරක් මම ආවේ. පවුලේ අයගේ, යාළුවන්ගේ සහයෝගය මට ලැබුණා. ගොඩාක් අමාරු තැන්වලදී දරාගන්න පුළුවන් වුණේ මවුපියන් හින්දා තමයි. ඔවුන් මට විශාල ශක්තියක් වුණා.
Qඔබ ලංකාවට පැමිණි මොහොතේදී ප්‍රකාශ කළා, සමහර අවස්ථාවල මට දරාගන්න බැරි තරමට අවස්ථා ආවා. ඒත් රටේ අය වෙනුවෙන් ඒවා දරාගත්තා කියලා. ඇයි එතරම් අමාරු ප්‍රශ්න ඇතිවුණාද?
ඒක ඇත්ත. එතන අපි කරන කාර්යය පහසු දෙයක් නොවෙයි. ගොඩාක් අයට පේන්නේ අපි මේකප් කරගෙන, ඇඳුම් ඇදගෙන අපි දවස ගතකරනවා කියලයි. එහෙම නෑ. හැමදෙයක්ම තරගයේ කොටසක්. උදේ පාන්දර ඇහැරෙක එකේ ඉඳලා වැඩ ගොඩාක් තිබෙනවා. සමහර දවස්වලට වැඩ දරාගන්න බැරිතරම්. අපට උදව් කරන්න කවුරුත් නෑ. අපේ මේකප්, ඇඳුම් සියල්ල තනියෙන් කරගන්න ඕන. ඊට අමතරව සමාජ ජාලාවල අපි හොඳත් දකිනවා, නරකත් දකිනවා. ඒ වගේ තැන්වලදී අනවශ්‍ය පීඩනයක් එන්න පුළුවන්. සමහර අවස්ථාවල අපි උපරිමයෙන් කළත් ඒක මදිවෙන අවස්ථා තිබෙනවා. ඒක ගැන අනවශ්‍ය විවේචනය කරන අවස්ථා තිබෙනවා. මම හිතන්නේ ඒවා සාමාන්‍යයයි. ඊට උඩින් මට සහයෝගය ලැබුණු නිසා ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද මම රට වෙනුවෙන් ඒ සියල්ල දරාගත්ත හින්දා.
Qඔබගේ හොඳම යාළුවා වගේ හිටිය තායිලන්ත රූ රැජින තමයි මෙවර “ලෝක රූ රැජින” වෙන්නේ. ඔයාට මොකද දැන් හිතෙන්නේ?
එයා ඇත්තටම හොඳ චරිතයක්. මම දැනගෙන හිටියා ගොඩාක් දුරට එයා දිනනවා කියලා. එයා හරිම ලස්සනට ඒ කාර්යය කළා. ඒ වගේම හදවතින්ම හරි සුන්දර තරුණියක්. ලබාගන්න සුදුසුම කෙනා තමයි ඒක ලබාගත්තේ. මම හදවතින්ම ඇයට ආශිර්වාද කරනවා, ඇයගේ ඒ ගමන සාර්ථකව යන්න. ඇය මාත් එක්ක ළඟින්ම හිටි හොඳම යාළුවා විදියට ඇයගෙන් ගොඩාක් දේ ඉගෙනගන්න පුළුවන් වුණා.
Qඔබගේ ඉදිරි බලාපොරොත්තු මෙයින් පස්සේ වෙනස් වෙනවාද?
කොහෙත්ම නෑ. හැමෝම හිතනවා මම සිනමාවට යොමුවෙයි කියලා. මම එයට ආසත් නෑ. කවදාවත් මම සිනමාවට එන්නේ නෑ. ගොඩාක් දුරට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා සහ මගේ රැකියාව පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව “සහේලි පදනම” තවදුරටත් ව්‍යාප්ත කරන්නයි මම හිතාගෙන ඉන්නේ.
ඉදිරියේදී පී.එච්.ඩී. එක කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම කැමතියි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමුවෙන්න, නැත්නම් ලංකාවේ විදේශ සේවා අංශයෙන් ඉදිරියට යන්න. මේ දේවල්වලට යොමුවෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ.
Qමෙවර රූ රැජින තරගාවලියේ ප්‍රශ්න ඇතිවුණාද? එංගලන්ත රූ රැජින ඉල්ලා අස්වී එරටට ගොස් විවේචන එල්ල කර තිබුණාද? ඔයාටත් එවැනි දේවලට ප්‍රශ්න ඇතිකළාද?
මට පෞද්ගලික එහෙම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ. මට එයාගේ අත්දැකීම් ගැන කතාකරන්න අමාරුයි. අවංකවම මම එහෙම පෞද්ගලික දෙයක් අත්විඳලා නෑ. ඇත්තටම අප අවභාවිත කළ බවත් මට පෞද්ගලික දැනිලා නෑ. අපට ලොකු ආරක්‍ෂාවක් දුන්නා. අපි ගැන හිතලා පැය 24 පුරා ලොකු සහයෝගයක්, ආරක්‍ෂාවක් ඒ රටෙත් දුන්නා. මම පෞද්ගලිකව එහෙම දෙයක් අත්වින්දේ නෑ.
Qඔබ වගේ මේ රටේ තරුණියන් කැමතියි මෙවැනි පැජන්ට්වලට එන්න. ඒ අයට ඔයාගේ අත්දැකීම් එක්ක මොනවද කියන්න තිබෙන්නේ?
බියුටි පැජන්ට් එකක් කිව්වාම ගොඩාක් දෙනා බලන්නේ වපර ඇහැකින්. එහෙම කියන්න පුළුවන් අවස්ථාත් තිබෙනවා. හැබැයි මට කියන්න පුළුවන් “ලෝක රූ රැජින” තරගය එහෙම එකක් නොවෙයි. තමන් කල්පනාකාරී වෙන්න ඕනෑ, තමන් තෝරාගන්න පැජන්ට් එක මොකක්ද කියන එක. ඊට අමතරව තමන්ට අවශ්‍ය මූලික අඩිතාලම ලබාගන්න. ඒක ගොඩාක් වටිනවා. මොකද කතාබහ කරන විදිහ, අධ්‍යාපනය, හැසිරීම, අනෙක් අයට සලකන විදිහ ආදී විවිධ දේ එතැනදී බලපානවා. මගෙන් ගොඩාක් ගැහැනු ළමයි මැසේජ් කරලා අහනවා, කොහොමද මේකට යන්නේ කියලා. මම කියන්නේ කිසිම දෙයක් මේ ලෝකේ බැහැ කියලා නෑ. තමන් උත්සාහවන්ත වෙලා ඒ දේ කරන්න පුළුවන්. මම වුණත් මට පුළුවන් උපරිම දේ කරනවා. උපරිම දේ කළොත් මට පසුතැවෙන්න දෙයක් නෑ. ඒ හින්දයි ලංකාව මීට පෙර නොගත් ස්ථාන 3ක් මම මෙහිදී ලබාගත්තේ. මම ගැහැනු ළමයින්ට කියන්නේ හොඳට හොයලා බලලා මේ දේවල් කරන්න කියලා. හැබැයි මේ දේට හීන මවන එක අමාරුයි කියලා හිතන්න එපා. තමන්ට හීනයක් තිබෙනවා නම්, එයට කැපවෙනවා නම්, ඒක අමාරු දෙයක් නොවෙයි.
Qඔබ රුවැත්තියක්. එහේදී ආදරය ඉල්ලා ආරාධනා එහෙමත් ලැබුණාද?
එහෙම ප්‍රශ්න ඇතිවුණේ නෑ. එහෙම දේවල් ආවේ නෑ. ඒ තරගයේදී අපිට කාත් එක්කවත් කතාකරන්නවත් අවසර නෑ. එහෙම දෙන්නෙත් නෑ. හරිම සංයමයෙන් කරන්නේ. අපට කාටවත් ෆෝන් නම්බරයක්වත් දෙන්න බැහැ. ඒ නිසා එහෙම කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ සහ එහෙම කවුරුවත් ආදරය ඉල්ලලා ආවෙත් නෑ.
Qදැනටමත් ඔයා පෙම්වතියක් කියලා ආරංචියි. එහෙම නේද?
ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. අපේ සම්බන්ධයට දැන් අවුරුදු පහක් විතර වෙනවා. ඒක ගැන කවුරුත් දන්න හින්දා ප්‍රශ්න ඇතිකරන්නේ නෑ.
(***)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලාංකිකයන්ගේ හදවතේ රූ රැජින