ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය දොන් ස්ටිවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායක සිරිමතුන් අභාවප්‍රාප්තව අදට පුරා වසර හැට නවයක් සපිරේ. මෙම ස්මරණ ලිපිය ඒ නිමිත්තෙනි.

ජාතික නිදහස් සටනට පණ පොවමින් ඒ සඳහා ජාතිය එක්සේසත් කරමින් හිරේ විලංගුවේ වැටෙමින්. ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීම පිණිස වියත් සටනක් ගෙනගිය කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ඩී.එස්. සේනානායකයන් මව්බිම යටත් විජිතවාදින්ගෙන් නිදහස් කොට එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස 1948 පෙබරවාරි 04 වැනි දින අබිසෙස් ලැබීය.

නිදහස් සටන වෙනුවෙන් අනෙකුත් නායකයන් සමග සේනානායකයන් ඉටුකළ මහා මෙහෙය දුටු මෙරට සබුද්ධික ජනතාව, ජාතියේ පියා, මහාමාන්‍ය ආදී වශයෙන් වූ සුවිශේෂී විශේෂ නාම එතුමන්ගේ පෙළපත් නාමයට ඉදිරියෙන් එකතු කළහ.

1946 වර්ෂයේ ඩී.එස්. සේනානායකයන් තමන් දැරූ කැබිනට් ඇමති ධුරයෙන් ඉවත්ව, නිදහස් සටන වේගවත් කිරීම පිණිසත් එක්සත් ජාතික පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් බිහි කිරීම පිණිසත්, එවකට බලවත්ව සිටි සිංහල මහ සභාව, ලංකා ජාතික සංගමය, මුස්ලිම් සංගමය වැනි සංවිධාන ඒකරාශී කළේය. එමෙන්ම ඒ සමයේ දී ඉන්දියානු සහ ශ්‍රී ලංකා දෙමළ නායකයන් රැසක් ඒ වෙනුවෙන් එක මිටකට ගැනීමට එතුමන්ට හැකිවිය.

ඩී.එස්. සේනානායකයන් ශ්‍රී ලංකාවාසී බහු ආගමික, බහු ජාතික, ජනතාවකගේ ගෞරව බහුමානයට පත්වීමට අවශ්‍ය කරුණු එතුමන් සිදුකරන ලද ජාතික මෙහෙවරෙන් උපයාගෙන තිබුණි. ඉන් සමහරක් ලෙස සුපිරිසුදු බෞද්ධ පවුලකට දාව ඉපදුන බෞද්ධ නායකයකු වීම, සියලු ආගමිකයන්ටත් සියලු ජාතීන්ටත් තම තමන් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් ය යන ජාතික අනන්‍යතාව ලබාදීමට කැපවී ක්‍රියා කිරීම, තමන්ට රටේ පාලන බලය හිමිවීමටත් ප්‍රථම ප්‍රාදේශීය වශයෙන් සිදු කරන ලද ජාතික, ආර්ථික, ආගමික සහ සමාජ කටයුතු වැනි දේ පෙන්වාදිය හැකිය. ඩී.එස්. සේනානායකයන් වැනි මහත්මා දේශපාලනයක් වෙනුවෙන් කැපවුණු නායකයන් රටේ ප්‍රථම රාජ්‍ය නායකයා බවට පත්වීම පිළිබඳව සැබැවින්ම ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ.

රජරට වන්නිකරේ ජනතාව ඩී.එස්. සේනානායකයන්ව අදටත් සලකන්නේ දේවත්වයෙනි.

‘‘කපුටන් වැනි මැලේරියා මදුරුවන් ඉන්නවා. යන්න එපා මැරෙන්න තමයි වෙන්නේ’’ යනාදී වශයෙන් එදා සේනානායකයන් රජරට සංවර්ධන ව්‍යාපාර ආරම්භ කරන විට විරුද්ධවාදීන් මතයක් ගෙනගිය අවස්ථාවේ ‘‘නැහැ නුඹලා පමණක් නොවේ. මමත් එනවා නුඹලත් එක්ක. බයවෙන්න එපා, එදා හෙළ රජ දවස මේ පෙදෙස්වලින් තමයි සිංහල ජාතිය පෝෂණය වුණේ. වෙහෙර විහාර හැදුවේ. මුහුදු වගේ වැව් බැන්දේ’’ යනා දී වශයෙන් ජනතාවට පහදා දෙමින්, රූස්ස ගස් මත තැනූ පැල්පත්වල රාත්‍රිය ගතකරමින්, නිසිපරිදි අහරක් පානක් නොලබමින්, පාරක් තොටක් හරිහැටි ඉදිව නොතිබූ වැව් බැඳී රටේ ගොනුන් බැඳි ගැල්වල ගමන් කරමින් අභිනවයෙන් එහි පදිංචි වූ ජනතාවගේ දුකසැප සොයා බලමින් ඔවුන් සමග කාලයක් දිවිගෙවා නව ජනපදිකයන් අවදිකළ ආකාරය සැබවින්ම විස්මය ජනකය. දැසි දස්, මිල මුදල්, වතුපිටි, යාන වාහන යහමින් තිබූ සේනානායක මැතිඳුන් වැනි පුද්ගලයකු සාමාන්‍ය පහළ පන්තියක අයකු විලසින් රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් වෙනස්ම ගමනක යෙදිමින් කිසියම් හෝ ප්‍රතිලාභයක් අනපේක්ෂිතව රටක් ජනතාවත් සුඛිත මුදිත කිරීම අරමුණු කොට කටයුතු කිරීම සුළුපටු කරුණක් නොවේ.

මින්නේරිය, ඇලහැර, මිනිපේ, පැරකුම් සමුද්‍රය, ඉඟිනියාගල සේනානායක සමුද්‍ර ව්‍යාපාරය වැනි දැවැන්ත වාරි ව්‍යාපාර පිළිසකර කොට සහ අලුතින් අරඹා, ඒ අයටත් ජනතාව පදිංචි කොට මංමාවත් වෙහෙර විහාර, පාසල්, ආරෝග්‍ය ශාලා සහ නොයෙකුත් රජයේ ආයතන ඇරඹීම වැනි පොදු කටයුතු සිදු කිරීමටත්. ඩී.එස්. සේනානායකයන් වැව් බැඳි රාජ්‍යයට කර තිබෙන සේවාව, හෙළ රජ දවසින් පසු එහි සිදුව ඇති අග්‍රගන්‍ය ජාතික සේවාවකි.

දකුණේ විවිධ පෙදෙස් තුළ විසූ අඩු ආදායම්ලාභී පවුල්, ඉඩම් හිමිකමක් නොතිබු පවුල් තෝරා අලුතින් බිහිවන ලද ජනපද ව්‍යාපාරවල පදිංචිකරවා, කුඹුරු වගාව පිණිස අක්කර 5 ක් සහ ගොඩ ගොවිතැන් සඳහා අක්කර 3 ක් බැගින් ඔවුන් වෙත ලබා දුන්නේය. මෙයට අමතරව පුංචි නිවසකට ද වගා කළ අස්වැන්න ලැබෙන තෙක් මාසිකව රු. 200ක දීමනාවක් ද ලබා දීමට එතුමා කටයුතු යොදා තිබුණි.

1931 වර්ෂයේ පිහිට වූ ව්‍යවස්ථා සභාව වෙනුවෙන් පැවැත් වූ ඡන්දයෙන් මිනුවන්ගොඩ ආසනයේ නියෝජිතයා ලෙස සේනානායකයන් නිතරගයෙන් තේරීපත් විය. එහිදී කෘෂිකර්ම ඇමති ධූරයට පත්වූ හෙතෙම, 1933 වර්ෂයේ ඉඩම් පනත සම්මත කරගත්තේය. ඉක්බිති 1934 වර්ෂයේ මින්​නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කොට, පොළොන්නරුවේ සිට වව්නියාව දක්වා පෙදෙස් හි සංවර්ධන දොරටු විවෘත කළේය.

ගල්ඔය සේනානායක සමුද්‍රය ඉදිකොට නැගෙනහිර පළාතේ පොතුවිල් පෙදෙස දක්වා වාරි පහසුකම් සලසා විශාල පෙදෙසක ගොඩ මඩ ගොවිතැන් දියුණු කළේය. මීට අමතරව කන්තලේ සේරුවිල, අල්ලෙයි ජනපදය වැනි ප්‍රදේශ සේනානායක සිරිමතුන්ගේ නෙත යොමුවී සංවර්ධනයේ අරුණලු දුටු ස්ථාන කිහිපයකි. එදා රජ දවස සාර්ථක කෘෂි බිමක්ව තිබී පසුව නටබුන් වූ මිනිපේ ව්‍යාපාරයේ නූතන ප්‍රතිසංස්කරණ ද සේනානායක යුගය තුළ සිදුව තිබේ. ලංකාවේ කෘෂිකර්ම ඇමතිවරයකු ලෙස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෘෂිකර්මය උදෙසා එවැනි විශාල සේවාවක් දේශයට උරුම කළ ඇමතිවරයකු අද දක්වා මෙහි බිහිවී නොමැත.

ඩී.එස්. සේනානායකයන් දිගු දුරක් දුටු නායකයෙකි. එතුමාගේ ලේ, සම්, මස්, නහර ගතව තිබුණේ සංවර්ධිත ලංකාවක් බිහිකර ලීමයි. ඒ වෙනුවෙන් ඉදිකළ සේනානායක සමුද්‍ර ව්‍යාපාරය වෙනුවෙන් රුපියලක ණය මුදලක් පමණවත් විදේශවලින් ලබා නොගත්තේය. සේනානායක සමුද්‍ර ව්‍යාපාරය යටතේ ජල විදුලි බල ව්‍යාපෘතියක් පවා බිහිවී තිබුණි. කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයෙන් ඉතා වැදගත් ස්ථානයක ඇති බැවින් සේනානායක ශ්‍රීමතාණන් එදා සිය කෘෂිකර්මය සහ ස්වදේශාභිමානය ග්‍රන්ථය රචනා කළ 1935 වැනි කාල පරිඡේදයක ජනතාවගේ ව්‍යාප්තිය මෙසේ දැක තිබුණි.

තෙත් කලාපය වශයෙන් හඳුනාගත හැකිව තිබූ පෙදෙස් වන බස්නාහිර, වයඹ, දකුණ සහ සබරගමුව යන පෙදෙස් තුළ රටේ සමස්ත ජනගහනයෙන් සියයට70 ක් ඉක්මවා විසිර තිබුණි. කෘෂිකර්මාන්තය පමණක් වැඩි වශයෙන් ව්‍යාප්තව කර්මාන්ත ඌණ තත්ත්වයක තිබූ ඒ යුගයේ ජන ඝණත්වයන් ක්‍රමාණුකූලව අවම විය. එදා සාම්ප්‍රදායික සිංහල පවුලක සාමාජිකයන් බොහෝ විට අට දෙනෙකු ඉක්ම විය. එනිසාම ඉඩම් පරවේණිය පරපුරෙන් පරපුරට ඉතා අඩුවී යන මට්ටමක් තිබුණි. එයට විකල්පයක් ලෙස අරඹා තිබූ ගොවි ජනපද ව්‍යාපාර යටතේ යම් ඉඩමක් ලබා ගැනීමට ඔවුහු නිරායාසයෙන් පෙළඹුණහ. ඒ අනුව ඉහතින් සඳහන් කරන ලද ගොවි ජනපද ව්‍යාපාර යටතේ ඔවුනට ඉඩම් ලබා දීමට සේනානායකයන් කටයුතු කළේය.

අලුතින් ඉඩම් ලැබ පදිංචි වූ ජනතාව, පරිභෝජනය පිණිස වගා කටයුතු පිණිස, හදිසියේ පැමිණෙන කරදරවලට පිළියමක් ලෙස විශාල වශයෙන් ණය බරින් පෙළෙන බවත් ඔවුන් ​පොලී මුදලාලිගේ උගුලට හසුව සිටින බවත්, ඩී.එස්. සේනානායකයන් දැන ගත්තේය.

ලබාගන්නා ණය පියවීම පිණිස තමන් වගා කළ භූමියෙන් ලැබෙන අස්වැන්න වෙළඳපොළේ පවතින මිලට වඩා අවම මිල ගණනකට පොලී මුදලාලිට ලබාදිය යුතුවීම. ණය ලබාදීමේ දී ඇති කරගත් මූලික කොන්දේසියක් විය. වැඩි පොලියකට මුදල් ලබා අඩුම මිලකට තම නිෂ්පාදන පොලී මුදලාලිටම විකිණීමට සිදුවීම මොන තරම් ඛේදවාචකයක් ද?

මේ හේතුවෙන් ඇතැම් ගොවීන්ගේ ඉඩකඩම් හරක බාන, ප්‍රදේශයේ වෙසෙන පොලී මුදලාලිට සින්න වීමෙන් ඔවුන් පත්ව සිටි ඉච්ඡාභංගත්වය සේනානායකයන් හොඳින් නිරීක්ෂණය කළේය. එම නිසාම ඉතාමත් සහනදායි පොළියකට ගොවීන්ට ණය ලබාගැනීම පිණිස රාජ්‍ය උගස් බැංකුව නමින් බැංකු ආයතනයක් අරඹනු ලැබීය. ඩී.එස්. සේනානායකයන් කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද යුගයේ ඉඩම්වල පලතුරු වගාව, ශෂ්‍ය මාරු ක්‍රම, නව කෘෂි ප්‍රභේද හඳුන්වා දීම, පොහොර යෙදවීම සහ යොදවන ආකාරය වගාව කෘෂි සතුන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාර පිළිබඳව ගොවි ජනතාව නිරන්තරව දැනුවත් කිරීම් ද කරන ලදී.

1948 ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවට නිදහස ලබාදීමේ දී දෙරට අතර යම් යම් එකඟතා කිහිපයක් ඇති කරගන්නා ලදි. මෙය යුද ජයග්‍රහණයකින් ලබාගත් නිදහසක් නොව. බුද්ධිමය සංග්‍රාමයකින් ලබාගත් නිදහසක් බැවින් සුදු පාලකයන් අප රටට අවශ්‍ය පූර්ණ ස්වාධීනත්වය, මල් වට්ටියක හොවා ලබා දීම සිදු නොකළේය. ඒ වනවිට ඔවුන් පිහිටුවා තිබූ යම් යම් මරමස්ථාන තවදුරටත් ඔවුන් භාරයේම තබා ගන්නා ලදි. ඒ අනුව මෙරට තිබූ යුද කඳවුරු නිදහස ලබාදීමෙන් පසුවත් ඉවත් නොකිරීම පිළිබඳව වාමාංශික පක්ෂ යම් මතවාදයක් ජනතාව තුළ, උලුප්පාලීමට කටයුතු කරමින් සිටියේය.

වරක් මේ පිළිබඳ දකුණේ ජනනායකයන් අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ විමසා සිටීමේ දී අලුතින් නිදහස ඇරඹු රටට අභ්‍යන්තරයෙන් හෝ බාහිර වශයෙන් පැමිණෙන කැරැල්ලකට හෝ වෙනයම් අර්බුදකාරී තත්ත්වයක් මැඬපැවැත්වීමේ වගකීම මුල් පාලකයන් භාර ගැනීම කොන්දේසි අතර තිබෙන නිසා තව ටික කාලයක් හමුදා කඳවුරු මෙහි තිබේවි. ඊට වඩා භයානක යමක් සිහින්ව දියත් වෙමින් තිබෙන බවට ඔබ දැනුවත්දැයි පෙරළා විමසා සිටියේය.

මේ අවස්ථාව වනවිට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටුවා ගෙන තිබුණි. ඒ මහතාගේ පක්ෂයේ ප්‍රධාන අරමුණු අතර සිංහල භාෂාව පමණක්, බුද්ධාගමට නිසිතැන ලබාදීම වැනි දේ අන්තර්ගතව තිබුණි. බුද්ධාගමට නිසිතැන ලබාදීම පිළිබඳව ‘‘තර්කයක් නොමැතියි. එහෙත් ඉන් අන්‍ය ආගම්වලට බලපෑමක් සිදු නොවිය යුතුයි.’’ සේනානායකයන්ගේ අදහස විය. ‘‘තවදුරටත් සිංහල පමණක් යන්න මේ රටට කෙතරම් උචිතදැයි පරිස්සමෙන් අප කල්පනා කළ යුතු කරුණක්. ප්‍රධාන වශයෙන් භාෂා දෙකක් කතා කරන ජනතාවක් උතුරු නැගෙනහිර පළාත් දෙකක් මූලික කොටගෙන පාරම්පරිකව පදිංචිව ඉන්නවා. ඉතින් ඒ වචන තුළ ජාතිවාදි බවක් සහ ආගම්වාදී බවක් හට ගත්තොත් ඉදිරියේ දී ඇතැම් විට මහා විනාශයක් වෙන්න පුළුවන්. ඒක සමහරවිට අපේ පරපුරෙන් පසු මතු උපදින පරපුරට හෝ ඔවුන්ගේ දරු පරපුරට වෙන්න පුළුවන්. ඒකයි එතන තියෙන සැබෑ විනාශය වන්නෙ’’ යැයි පැවසීය.

එතුමා එදා දුටු දේ එතුමන්ගේ අභාවයෙන් වසර තිහකින් පසු එනම් 1980 ගණන්වල සිට අවුරුදු තිහක් තිස්සේ කටුක ලෙස අපි අත්වින්දෙමු. ඩී.එස්. සේනානායක මැතිතුමන් ජාතික සමගිය ඉතා ගැඹුරින් අපේක්ෂා කළ නායකයකු විය.

ඩී.එස්. සේනානායකයන්ගේ පරපුර, ගෝඨාභය රජුන් වෙනුවෙන් සේනාධිපතිකම් කොට පැවත එන උදාර පෙළපතක් ලෙස ඉතිහාසයේ සහ වංශ කථාවල සඳහන් වේ. බෞද්ධයෙක් ලෙස තම පාලන කාලයේ සහ ඉන් ඉහත ශාසනය වෙනුවෙන් විශාල සේවාවක් එතුමා සිදු කළේය. මහියංගන පුදබිම ප්‍රතිසංස්කරණය මෙන්ම රුවන්මැලි සෑ රඳුන් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් එතුමා කැපවී ක්‍රියා කළේය. තම පෞද්ගලික සහ පාරම්පරික ඉඩම්, සල්ගල ආරන්‍ය සේනාසනයේ අභිවෘද්ධිය පිණිස පූජා කළේය. අනුරාධපුර නවනගරය බිහිවන්නේ ද එතුමන් දවසය. නිදහස් මන්දිරය ද නිදහස් චතුරශ්‍රය ද ​සේනානායකයන්ගේ සිතුවිල්ලකින් ඉදි වූවකි. මෙයට අමතර වශයෙන් ලක්ෂපාන ජල විදුලි බලස්ථානය ද සේනානායක යුගයේ ඉදිවී ඇත.

ඩී.එස්. සේනානායකයන් විසින් සිදුකර ඇති ජාතික මෙහෙවර විස්තර කිරීම මෙවැනි කෙටි සටහනකින් කෙසේවත් සිදුකළ නොහැකිය. 1884 වර්ෂයේ ඔක්තෝබර් මස 20 දින ජන්ම ලාභය ලබා 1952 මාර්තු මස 22 දින හදිසියේ දිවංගත වූ දොන් ස්ටීවන් සේනානායකයන් පුරා වර්ෂ 68 ක් වූ සිය ජීවිත කාලය පුරාවට ඉටු කර ඇති යුග මෙහෙවරින් අමන්දානන්දයට පත් වූ ජනතාව එතුමන් හැඳින්වූයේ ‘‘මහ පැරකුම් සෙවණැල්ල’’ නමිනි.

- එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක
රුවන් විජයවර්ධන