IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රටට බරක් වුණු සුදු අලි

රාජ්‍ය ආයතන යනු, රජය පූර්ණ ලෙස හෝ අර්ධ වශයෙන් හෝ හිමිකාරිත්වය දරන සහ පාලනය කරන ආයතන හෝ සංවිධනය. රාජ්‍ය ආයතන පිහිටුවීම සහ පවත්වාගෙන යාම අවැසි වන්නේ රටක මහජනයාගේ යහපත උදෙසා සේවය කිරීමටය.

රාජ්‍ය ආයතන ප්‍රධාන වශයෙන් එනම් වාණිජමය අරමුණින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන, වාණිජමය නොවන රාජ්‍ය ආයතන ලෙස දැකිය හැකිය. ලංකා සතොස, රාජ්‍ය බැංකු ආදිය වාණිජමය රාජ්‍ය ආයතන වේ. එනම්, ලාභ උපයමින් තරගකාරිත්වයකින් යුතුව එම ආයතන කටයුතු කරයි. රජයේ රෝහල්, රජයේ පාසල්, විශ්වවිද්‍යාල ආදිය වාණිජමය නොවන රාජ්‍ය ආයතන වේ. මෙම වාණිජ නොවන රාජ්‍ය අයතන රටේ සහ ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරයි. මේ අයුරින් පුළුල් පරාසයක විහිදුණු රාජ්‍ය ආයතන පද්ධතියක් මෙරට දක්නට ලැබේ.

වර්තමානයේ මෙම සියලු‍ම රාජ්‍ය ආයතන නිසි පරිදි පවත්වාගෙන යාමට නම්, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම කළ යුතුය. එනම්, පොදුවේ සේවාවක් සැපයීමට උපායමාර්ගිකව සම්පත් කළමනාකරණයක් සිදු කළ යුතුය. රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කළ යුත්තේ ඇයි යන ප්‍රශ්නය නැගීමේදී එයට ප්‍රධන හේතු කිහිපයකි. එනම්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ජාතික ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීම, මූල්‍ය බර අඩු කිරීම, ණය බර අඩු කිරීම, පාලනය සහ කළමනාකරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහාය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතුය. රාජය ආයතන ප්‍රතිසංස්කරණ ඉතිහාසය ගත් විට මෙරට අවස්ථා කිහිපයකදීම වරින් වර ප්‍රතිසංස්කරණ සිදු වී තිබේ. වර්තමානය වන විට මෙරට ආර්ථිකය යම් යම් අභියෝග ඔස්සේ ගමන් කරමින් සිටී. එක් පසෙකින් විශාල ණය බරක් රට මත පැටවී තිබේ. අනෙක් පසෙකින් එවන් තත්වයක් තිබියදීත් බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබමින් පවත්වාගෙන යයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ රජයේ වැය බර වැඩි වීමෙන් මහජනතාව බදු බරින් පීඩාවට පත්වීමයි. රාජ්‍ය ආයතනවල අලාභය පියවනු ලබන්නේ රටේ මහජනතාවයි. වර්තමානයේ ක්‍රියාකාරි මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. එයට හේතු ලෙස දක්වනුයේ ද, රාජ්‍ය ව්‍යවසාය පිහිටුවීමේ අරමුණු වර්තමානය සමගින් නොගැළපීමක් මෙන්ම වෙළෙඳපොළ අවශ්‍යතා සමග නොගැළපීමයි.

විවිධ වූ හේතු මත රාජ්‍ය ආයතන අලාභ ලබයි. අනිසි දේශපාලන මැදිහත් වීම, අතිරික්ත සේවකයන්, අකාර්යක්ෂම නායකත්වය, වගකීමකින් තොර වූ සේවක හැසිරීම, නිසි කළමනාකාරිත්වයක් නොමැති වීම, පෞද්ගලික අරමුණු මත පදනම් වීම වැනි හේතු මගින් බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන තත්වයට පත් වී තිබේ.

රාජ්‍ය ආයතන මගින් සේවා ලබා ගැනීමේදී මහජනතාව විවිධ ගැටලු‍වලට මුහුණ පාති. නිදසුන් ලෙස; විදුලිබල ගැටලු‍, ගමනාගමන ගැටලු‍, ඛනිජ තෙල් ගැටලු‍ ආදියට නිරන්තරව මහජනයා මුහුණ දෙති. වාණිජමය වශයෙන් ලාභ ලබන ආයතන පාඩු ලැබීම සමස්ත රටේ ආර්ථිකය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරයි. එමගින් වාණිජ නොවන සේවා සපයන ආයතන වන අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි අංශ වෙත ද මුදල් වෙන් කිරීමට ඇති හැකියාව සීමිත වේ. එබැවින්, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කළ යුතුම අවශ්‍යතාවකි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමයකි. එනම්, රජය සහ පෞද්ගලික අංශයේ මැදිහත් වීමකින් යුතුව මෙරට ආර්ථිකය ක්‍රියාත්මක වේ. රාජ්‍ය ආයතන විශාල වශයෙන් පෞද්ගලික අංශයෙන් ණය ගැනීම පෞද්ගලික ආයතන වෙත ද බලපෑම් එල්ල කරයි. එනම්, පෞද්ගලික අංශයට ණය ලබා ගැනීමට පවතින අවකාශය සීමා වීමක් සිදු වේ. පෞද්ගලික අංශයේ ආයෝජන සිදු කිරීමත් අවම වීම සිදුවන අතර, පෞද්ගලික අංශය පාඩු ලැබීම කෙරෙහි මෙය බලපායි. රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා විදේශීය ණය අරමුදල් කෙරෙහි යොමු වීම මගින් විවිධ කොන්දේසිවලට යටත්ව කටයුතු කිරීමට සිදු වේ.

පෞද්ගලික අංශයට පවරා දීම සහ ප්‍රතිසංස්කරණය අතර වෙනස සහ සබඳතාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී ප්‍රතිසංස්කරණය යන වඩාත් කාර්යක්ෂම, මූල්‍යමය වශයෙන් තිරසාර සහ ජාතික ආර්ථික ඉලක්ක සමග වඩා හොඳින් පෙළගැස්වීම සඳහා ප්‍රතිසංවිධානය කිරීම වේ. එය කළමනාකරණය සහ වගවීම අනුව සිදු කළ යුක්තකි.

එහෙත්, පෞද්ගලීකරණය කිරීම යනු, ප්‍රතිසංස්කරණ පියවරවල අවසාන පියවර වේ. රාජ්‍ය සතු වත්කම් පූර්ණ ලෙස හෝ අර්ධ වශයෙන් පෞද්ගලික අංශ වෙත විකිණීම ගනුදෙනු මාලාවකි. මෙහිදී රාජ්‍ය ආයතන සේවා හිමිකාරිත්වය, කළමනාකාරිත්වය, පාලනය යන සියල්ල හෝ කොටස් වශයෙන් පෞද්ගලික අංශය වෙත පවරා දීම සිදු කරයි. යම් අවස්ථාවලදී ආයතන අයිතිය රාජ්‍ය අංශය වෙත පවතිද්දී කළමනාකරණය පමණක් පෞද්ගලික අංශය වෙත පැවැරීම ද සිදු කරයි. ශ්‍රී ලංකා එයාර්ලයින්, ශ්‍රී ලංකා ටෙලිකොම් යනු, පෞද්ගලික අංශය වෙත පැවැරූ රාජ්‍ය ආයතන වේ. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ අරමුණු වන්නේ, පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීම, බදු බර අඩු කිරීම, රජයේ වියදම් අඩු කිරීම, රජයට පවතින ඍජු වගකීම අවම කිරීම ආදිය වේ.

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය සේවකයන්ට ඇති වන බලපෑම් කෙරෙහි අවධානය යොමු කිරීමේදී රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය හරහා සේවක අතිරික්තය අවම කිරීමේ හැකියාව පවතී. සේවක අතිරික්තයක් ඇති රාජ්‍ය ආයතනයකින් සේවක හිඟයක් ඇති රාජ්‍ය ආයතනයකට හුවමාරු කිරීමක් සිදු කළ හැකිය. ඒ හරහා යම් රාජ්‍ය ආයතන තුළ පවතින සේවක හිඟය ද අවම වේ. එමෙන්ම, රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පැවැරීමේදී සේවකයන්ට කොටස් නිකුත් කිරීම මගින් සේවකයන්ගේ අනන්‍යතාව මෙන්ම උනන්දුව ද වැඩි වීමට රුකුලක් වේ. ආයතනයේ ලාභ සේවකයන් අතරින් බෙදාහැරෙන බව දැනෙන බැවින් සේවක උද්‍යෝගය ලබාගත හැකිය.

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය සාර්ථකව ක්‍රියාත්මක වීමට බලපාන සාධක අතරින් නීතිමය ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීම මූලික වේ. නීතිමය රාමුවක් ඔස්සේ ආයතනයක නිර්මාණය විය හැකි ඒකාධිපතිත්වය අවම කිරීම, සේවක විනය සහ සේවක ආරක්ෂාව තහවුරු කිරීම සිදු කළ හැකිය. නිසි ආයතනික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම ආයතන ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් වේ. එම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී උපායමාර්ගික ව්‍යවසාය මොනවාදැයි යන අවබෝධය ඉතා වැදගත් වේ. එනම්, දියුණු වූ රටවල රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යයනය කර අත්දැකීම් ලබා ගැනීම වැදගත් වේ. එහිදී නිවැරැදි විනිවිදභාවයෙන් යුතු මූල්‍ය වාර්තා සැකසීම, ආයතනික වියදම් පාලනය, නිසි කළමනාකාරිත්වය, උපායමාර්ගික තීරණ ගැනීම සක්‍රිය කිරීම, ආයතන අතර තරගකාරිත්වයක් ගොඩනැගීම සිදු කළ හැකිය.

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ සඳහා නියාමන අධිකාරියක් පවත්වා ගැනීම ද වැදගත් වේ. එනම්, මූල්‍ය පහසුකම් ලබා දීමේදී මූල්‍ය විනය පවත්වාගත යුතුය. මහජනයාට අනිසි බරක් ලබා නොදිය යුතුය. සමාජ සාධාරණත්වයක් පවත්වාගත යුතුය. සමහර රාජ්‍ය ආයතනවල භාණ්ඩ මිල ගණන් එකවර ඉහළ පහළ දැමීම සිදු කරයි. මෙය එක් රැයකින් සිදුවන දෙයකි. එයින් මහජනයා මහත් අපහසුතාවට ලක් වේ. යම් ආයතනයක් අලාභයක් ලැබූ සැණින් ලාභ ලැබීම සඳහා මිල ගණන් වැඩි කිරීම සුදුසු නොවේ. මෙය ක්‍රමානුකූලව සිදු කිරීම කළ යුතු අතර, එයට නියාමන අධිකාරියේ දායකත්වය අවශ්‍ය වේ. එමෙන්ම, යම් රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ තවත් රාජ්‍ය ආයතන නිසා වීමට පුළුවන. නිදසුන් ලෙස; එක් රාජ්‍ය ආයතනයක් අඛණ්ඩව විදුලි බිල් නොගෙවීම විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට බලපානු ලැබිය හැක. මෙවැනි ක්‍රියා ද නියාමනය කළ යුතුය.

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය සඳහා යොදාගත හැකි තවත් උපායමාර්ගයක් වන්නේ පුමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමයි. එනම්, ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට නම් අත්‍යවශ්‍ය වන්නේ මොනවා ද සහ ඒ අතරින් වඩාත් පුමුඛතාවක් දැක්විය යුත්තේ කුමන කාරණා සඳහා ද යන්නට ලැයිස්තුගත කිරීම වැදගත් වේ.

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය සම්බන්ධව පොදු ජනතා සහභාගිත්වය ද ඉතා වැදගත් වේ. එහි වැදගත්කම ඉතිහාස කරුණු හරහා ද ගම්‍ය වේ. එනම්, අතීත රජවරු රාත්‍රියේදී වෙස් වලාගනිමින් රටවැසියන්ගේ නිවෙස් අවට ගැවැසෙමින් රාජ්‍ය පාලනය, ආර්ථිකය ආදි කරුණු පිළිබඳව ජනතා අදහස් පිළිබඳව අවධානය යොමු කළහ. එලෙස සිදුකරන්නට යෙදුණේ නිසි රාජ්‍ය පාලනයක් සඳහා මහජන අදහසේ ප්‍රබල බලපෑමක් ඇති බැවිනි. ඒ අයුරින්ම රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයට මහජන සහභාගිත්වය වැදගත් වේ. මෙම දාමය තුළ පහළම මට්ටමේ සිටින්නෝ මහජනතාවයි. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව, ගැටලු‍, අසාධාරණය ආදිය සඳහා මුහුණ දෙනු ලබන්නෝ ද මහජනතාව වෙති. එබැවින්, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය සඳහා අදහස් මහජනතාවගෙන් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මහජනයාට රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පැමිණිලි, චෝදනා, අදහස් ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකසා දීම වැදගත් වේ. ඒ සඳහා පොදු දුරකතන අංකයක් හඳුන්වා දීම ඉතා සාර්ථක විසඳුමක් වනු ඇත.

(*** සටහන - ශෂිකා අබේරත්න)



අදහස් (0)

රටට බරක් වුණු සුදු අලි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25586 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18151 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 593 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 836 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site