අද අප රටක් හැටියට මුහුණ දී තිබෙන ප්‍රමුඛම අර්බුදය නම් ආර්ථික අර්බුදයයි. එහෙත් මේ අර්බුදයේ යථා ස්වභාවය ගැන රටේ ජනතාව දන්නේ නැත. ආණ්ඩුව ද ඇත්ත කියන්නේ නැත. අඩුම තරමින් අයවැය විවාදයේදී ද ඒ ගැන කතා කළේ නැත. කෙසේ වෙතත් මා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන බව ජනාධිපතිවරයාට කීවේ කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල පැමිණි අවස්ථාවේය.

කොවිඩ් වසංගතයට මුහුණ දෙන ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා එදා මුළු ඇමැති මණ්ඩලයම කැඳවා තිබිණ. මා ජනාධිපතිවරයාට කීවේ කොවිඩ් වයිරසය පරයන අර්බුදයකට අනාගතයේදී මුහුණ දෙන්නට අපට සිදුවනු ඇති බවය. ඒ නිසා තමන්ට ඡන්දය දුන් හැටනව ලක්ෂයක් වූ ජනතාව කල්තියා දැනුවත් කරන වැඩපිළිවෙළකට යාම හොඳ බව අවධාරණය කළෙමි. එසේ කළහොත් අඩුම තරමින් හැටනව ලක්ෂයක් කෙසේ වෙතත් ඉන් අර්ධයක්වත් ජනතාව ආණ්ඩුව පැත්තේ හිටගනු ඇතැයි මම පෙන්වා දුන්නෙමි. එහෙත් ඔහු ඊට සිනාසුණා විනා කිසිවක් කීවේ නැත. දෙවනුව මා කීවේ මේ ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයි. කවර හෝ හෝටලයක තෙදින නේවාසික වැඩමුළුවක් පවත්වා කන්න බොන්න දී හෝ ආර්ථික අර්බුදයේ තරම මේ යැයි ඔවුන්ට කියා දිය යුතු බව මම කීවෙමි. 2008 ගෝලීය මූල්‍ය අර්බුදය පැමිණි අවස්ථාවේ ආර්ථික විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එවැනි වැඩමුළුවක් පැවැත් වූ ආකාරය ද මම සිහි කළෙමි. ඊට පෙර චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනියගේ පාලන කාලයේදී ද එවැනි වැඩමුළු පැවැත්විණි.

එහෙත් මේ කිසිවක් කිරීමට ජනාධිපතිවරයා සාවධාන නොවීය. අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයකට මේ ආර්ථික අර්බුදය ගැන මෙලෝ අවබෝධයක් නැත. මහජනතාව සිටින්නේ කෝප ගැන්වීය. ඔවුහු හාල් මිල ඉහළ ගියත් පාරට බසිති. ගෑස් නැති වුණත් පාරට බසිති. පොහොර නැති වුණත් පාරට බසිති. මේ පසුපස මහා අර්බුදයක් ඇතැයි පැහැදිලිව ජනතාවට සන්නිවේදනය කළේ නම් අඩු තරමින් ආණ්ඩුවට ඡන්දය දුන් මිනිසුන්ගෙන් කොටසක්වත් තත්ත්වය තේරුම් ගන්නවා ඇත. එහෙත් අද ආණ්ඩුවට පක්ෂ මිනිහෙක් සොයාගන්නටවත් නැත. රටක ජාතික ආපදාවක් පැමිණි විට යුද්ධයකදී අණ දෙන්නා මෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පාලනය කළ නොහැකිය. රාජ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් මහජනතාව රාජ්‍ය නිලධාරීන් මැති ඇමැතිවරුන් දැනුවත් කිරීම අවශ්‍යය. එමෙන්ම විපක්ෂය සමග සංවාදයක් තිබිය යුතුය. සාකච්ඡා සම්මන්ත්‍රණ පොදු එකඟතාවක් නොමැති වූ විට රටක් පාලනය කළ හැකි නොවේ. දැන් ආණ්ඩුවත් අයාලේය. ජනතාවත් අයාලේය. ආර්ථිකයත් අයාලේය. රට අරාජිකය. 1948 නිදහස ලැබීමෙන් පසු මෙවැනි තත්ත්වයකට රට වැටී නැත.

රට මෙවැනි අර්බුදයකට තල්ලුවීමට බලපෑ ප්‍රධානම හේතුව නම් ණය අර්බුදයයි. ශ්‍රී ලංකාව ඇත්තේ ගත් ණය ගෙවාගත නොහැකි තැනකය. මුදල් ඇමැතිවරයාම ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව 2010 වනවිට සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4595කි. 2020 වනවිට එය රුපියල් බිලියන 15,117කි. එහි විදේශ ණය පංගුව 2010 වනවිට රුපියල් බිලියන 2025කි. 2020 වනවිට රුපියල් බිලියන 6052කි. දේශීය ණය පංගුව රුපියල් බිලියන 2575 සිට රුපියල් බිලියන 9065ට වැඩි වී ඇත.

1978 දී රොනී ද මැල් මුදල් ඇමැතිවරයා තම පළමු අයවැය ඉදිරිපත් කරද්දී 1977 වනවිට මෙරට විදේශ ණය ප්‍රමාණය තිබුණේ ඇමෙරිකන් ඩොලර් 750කය. 1975 දී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමැතිකමින් ඉවත් වනවිට එහි අගය ඇමෙරිකන් ඩොලර් 743කි. අද වනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 30-40ත් අතරේ මහා විදේශ ණය කන්දක් වී තිබෙන්නේ එදා ඩොලර් 743 සිට පැමිණි ගමනය. සෑම ආණ්ඩුවක් යටතේම මෙසේ ක්‍රමානුකූලව ණය බර වැඩි වී ඇත. අප ඇසිය යුත්තේ ඊට හේතුවය. 1978 වනවිට අපේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 24කි. එහෙත් අද මහා භාණ්ඩාගාරයට එන්නේ සියයට 6ක් වැනි සුළු පංගුවකි. දැන් ඒ සියයට 6 ඊටත් අඩු විය යුතුය. ඒ ගැන හරිහමන් සංඛ්‍යාලේඛනවත් නැත.

රජයේ ආදායම අඩු වූ විට අයවැය හිඟයක් නිර්මාණය වේ. අපට දැන් රුපියල් ද නැත. ඩොලර් ද නැත. රුපියල් සඳහා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මාර්ගයෙන් රට තුළින් ණය ගත්තේය. අවසානයේ ඒවාත් උපරිම ණය ගෙවාගත නොහැකි තත්ත්වයට පැමිණියේය. ඉන් මත්තට කළේ රුපියල් බිලියන ගණනින් සල්ලි අච්චු ගැසීමය. එහෙත් අපට ඩොලර් අච්චු ගසන්නට බැරිය. යුද්ධය පැවැති සමයේ පවා බිලියන 4-8 අතර පවත්වා ගත් අපේ ඩොලර් සංචිතය දැන් තිබෙන්නේ 2-3 අතරේය. එසේ වුවත් වාර්ෂිකව ආපසු ඩොලර් බිලියන 3ක් පමණ අප ණය ද ගෙවිය යුතුය.

 1978 දී නව පාලනය සමග ජේ.ආර්. ජයවර්ධනගේ සිහිනය තිබුණේ අපේ රට අපනයන ආර්ථිකයකට ගෙනයන්නටය. එහෙත් දැන් ආනයනය අපනයනය මෙන් දෙගුණයකටත් වැඩිය. මේ නිසා එදිනෙදා කටයුතුවලටත් ආයෝජනයටත් පරිභෝජනයටත් සුබසාධනයටත් ආදී වශයෙන් සියලු දේ කරන්නට සිදුව තිබෙන්නේ ණයට මුදල් ගෙනය. විදේශීය ණය ගන්නේ කාගෙන්ද? සියයට 25ක් පමණ ගන්නේ විදේශ ආණ්ඩුවලිනි. ජපානයෙන් සියයට 10ක් චීනයෙන් සියයට 10ක් ආදී වශයෙනි. සියයට 45ක් පමණ ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළිනි. සෙසු ප්‍රමාණය ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා වැනි සංවිධානවලිනි. දැන් ණය උපරිමයටම හිර වී එහෙම ණය ගන්නවත් විදියක් නැත.

2022 අයවැයේ මේ කතා කිසිවක් නැත. අඩුම තරමින් මේ යථාර්ථය තමන්ගේ කැබිනට් මණ්ඩලයට කියන්නටවත් පාලකයන් අවංක විය යුතුය. මේ ඇත්ත ගැන දන්නා ආර්ථික විද්‍යාඥයන් සිටින්නේ ද කට වහගෙනය. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් තවත් ආර්ථික විද්‍යාඥයන් පිරිසකුත් සියලු දෙනා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නැයි කියාය. සැබැවින්ම මේ වනවිට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට 18 වතාවක් ගොස් තිබේ. පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ 1965දීය. මුදල් අමාත්‍යාංශය පවා මේ වර්ෂය සිය අයවැය වාර්තාවල වැරැදියට සඳහන් කර තිබෙන්නේ 1961 හැටියටය. මේ ණය ගැනීමට ප්‍රතිපක්ෂව කටයුතු කළේ සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමැති ආචාර්ය එන්.එම්. පෙරේරා ය. ඒ, බණ්ඩාරනායක මැතිනියගේ පාලනය යටතේ කර්මාන්ත සංවර්ධනයෙන් දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමෙනි. අද වනවිට කාර්මික නිෂ්පාදන ඇත්තේම නැත. කෘෂිකර්ම නිෂ්පාදන සියයට 6ට බැහැලාය. එළවළු පලතුරු පවා ආනයනය කෙරේ.

රජයේ ආදායම මෙසේ අඩුවීමට පැමිණි පාලකයන් බදු සම්බන්ධයෙන් අනුගමනය කළ වැරැදි ප්‍රතිපත්ති ද හේතු විය. 1931 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ගෙන එන ලද බූදල් බද්ද අහෝසි කරනු ලැබුවේ 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. තවද ධන බද්ද, තෑගි බද්ද, මුද්දර බද්ද, ප්‍රාග්ධන බද්ද ද අහෝසි කෙරිණි. ආදායම් බද්ද සියයට 70 සිට සියයට 55ට බැස්සුවේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා කළේ ඒ ආදායම් බද්ද සියයට 55 සිට සියයට 45ට බැස්සීමය. චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සියයට 45ක් වූ ආදායම් බද්ද සියයට 35ට බැස්සූ පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ එය සියයට 24ටම බැස්සීමය. රාජපක්ෂ දෙවැනි පාලන කාලය පැමිණියේ එය සියයට 14ක් තරම් කුඩා පංගුවකටම ගෙන ඒමෙනි.

හරියට බැලුවොත් දැන් රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම් බදු ගෙවන්නන් නැති තරම්ය. ඒ අඩුව පුරවන්නේ වක්‍ර බද්දෙනි. වක්‍ර බදු ගෙවන්නෝ පාරිභෝගිකයෝ හෙවත් සාමාන්‍ය ජනයා ය. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක පාලන කාලවල පිරිවැටුම් බද්දක් යැයි කියා දෙයක් තිබුණේ නැත.

පසුකාලීනව වැට් බද්දක් හැටියට නාමකරණය වූයේ එහෙම පැමිණි පිරිවැටුම් බද්දය. දැන් මේ පිරිවැටුම් බදු සහිත වක්‍ර බදු සියයට 85කි. ඍජු බදු සියයට 15කි. ලෝකයෙන්ම අඩුම ආදායම් බදු ගෙවන්නෝ ලංකාවේ ධනපතියෝය. ලෝකයේ වැඩිම වක්‍ර බදු ගෙවන්නෝ අපේ රටේ මහජනයාය. අවසාන විග්‍රහයේදී 1978 සිට අනුගමනය කළ මේ බදු පිළිවෙතින් පාලකයන් කර ඇත්තේ ඇති හැකි පන්තිය සැහැල්ලු කර පොදු ජනයා මත බර පැටවීමය.

මෙසේ බර පැටවීමේදී ආණ්ඩු ඉදිරිපත් කළ න්‍යාය වූයේ ප්‍රාග්ධන සම්පාදනය හා ආයෝජනය වැඩි කිරීමය. 2005-2014 මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී දළ දේශීය නිෂ්පාදිතය හා ඒක පුද්ගල ආදායම දෙගුණයක් වුවත් රාජ්‍ය ආදායම වැඩි වූයේ නැත. එසේ නම් ඒ මුදල්වලට වූයේ කුමක්ද? පරිභෝජනය කිරීමයි. චීනයේ දියුණුවේ රහස ගැන කතා කරන්නන් චීනය විදේශයන්ගෙන් ණය නොගත් බවත් ඉතිරි කිරීම් කළ බවත් ඇතැම්විට නොදන්නවා විය හැකිය. චීනයේ ආර්ථිකයේ රහස නම් ඉතිරි කිරීම්ය. අදටත් චීනයේ ඉතිරි කිරීම් සියයට 50-60ත් අතරේය. අපේ සියයට 22ය. ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා ජාතික ඉතිරි කිරීමේ බැංකුවක් ගෙන ආවේ ඒ සඳහාය. එහෙත් දැන් එයත් වාණිජ බැංකුවක් වී ඇත. මා ඕ සේතුං කීවේ සතයක් හෝ ඉතිරි කරන්න කියාය.

ආණ්ඩුව ප්‍රාග්ධනය හැටියට පාවිච්චි කළේ කෝටි ගණනක් වූ ජනයාගේ ඉතුරුම්ය. ලංකාව ඒ වෙනුවට උත්තේජනය දුන්නේ සිය පුරවැසියන්ට පරිභෝජනය කරන්නටය. අන්තිමේදී අපට ආයෝජනත් නැත. ප්‍රාග්ධනයත් නැත. කර තිබෙන්නේ ණයට ගෙන කෑමය. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා තමාට සියල්ලට කර ගසන්නට වී ඇතැයි කීවත් ඔහු කියන දේවල් කරන්නට ද අවස්ථාවක් ලැබෙන්නේ නැත. දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගැනීමය.

ලක්ෂ 14ක් පමණ වූ රාජ්‍ය සේවකයන්ට මාස්පතා වැටුපක් ලැබේ. බඩු මිල ඉහළ ගියත් මැරෙන්නේ නැතිව ජීවත්වෙන්නට ඔවුන්ට එය ප්‍රමාණවත්ය. පෞද්ගලික අංශයේ සමාගම්වල සිටින සියයට 26ක් පමණ වූ සේවකයන්ට ද පඩි බාගයක් ලැබුණත් මැරෙන්නේ නැතිව ජීවත්වෙන්නට හැකිය.

ප්‍රශ්නය තිබෙන්නේ පදික වෙළෙඳුන්, සුළු වෙළෙන්දන්, ත්‍රිරෝද රථ රියැදුරන්, කුලී කම්කරුවන් ආදී සියයට 70ක් පමණ වූ අවිධිමත් ආර්ථිකයේ ජනයාටය. වහාම සවිමත් කළ යුත්තේ ඒ මිනිසුන්ය. මුදල් වෙන්කර ඇති ආකාරය අනුව නම් දිස්ත්‍රික් හා ගම්වලට වෙන්කර ඇති මුදල් පරිභෝජනයට පාවිච්චි කළහොත් නම් වැඩක් වෙන්නේ නැත. නිෂ්පාදන කෙසේ වෙතත් බඩු මිල ඉහළ යන වේගයත් ඩොලර් හිඟයත් එකට ගත් කල ඇත්තේ බරපතළ අර්බුදයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට එකල අපිත් මැරීගෙන වැඩ කළෙමු. ඔහු බලයට පැමිණියේ 2019 නොවැම්බරයේ ය. කොවිඩ් වසංගතය ආරම්භ වූයේ දෙසැම්බර් 31ය. හරියටම බලයට පැමිණ සති කීපයකි. වසංගතයේ පළමු රැල්ල පාලනයට ආණ්ඩුව සමත් වුවත් ඊළඟ රැලි සමග සෞභාග්‍යයේ දැක්මකට ඉඩක් නොවීය. ඒ කෙසේ වෙතත් ඉන්පසු පැමිණි ප්‍රශ්න හමුවේ මූර්තිමත් වූයේ ජනාධිපතිවරයා දේශපාලකයකු නොවන බවය. රටක ජාතික ආපදාවකදී පාලකයා සිටිය යුත්තේ ජනතාව සමග වෙනදාටත් වඩා සමීපවය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා ජනතාව අතර අද ඇත්තේ ලොකු පරතරයකි. එමතු නොව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් හා තමන්ගේම කැබිනට්ටුව සමග ඔහුට ඇත්තේ හොඳ සම්බන්ධයක් නොවේ.

ඔහු තවමත් වැඩ කරමින් සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් වාගේය. ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආවේම විධායක ජනාධිපතිවරයා ආණ්ඩුවේත් පක්ෂයේත් රාජ්‍යයේත් ත්‍රිවිධ හමුදාවේත් නායකයා යන තනතුරෙහි තබමිනි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ යනු පක්ෂයක නායකයෙක් නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තිබෙන්නේ ඔහුගෙන් ඈතය. එය මෙහෙයවනු ලබන්නේ මහින්ද රාජපක්ෂ විසින්වත් නොවේ. බැසිල් රාජපක්ෂ විසිනි. මන්ත්‍රීවරුන් අවනත වන්නේ තමන්ට නාමයෝජනා දෙන තැනැත්තාටය. ජේ.ආර්. ජයවර්ධන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම් ටික සාක්කුවේ දාගෙන වැඩ පටන්ගත්තේ ඒ නිසාය. ආණ්ඩුව මේ සා වියවුලකට වැටෙන්නට හේතුව මේ පක්ෂ බල ව්‍යාපෘතිය හා ආණ්ඩුකරණය අතර දුරස්ථභාවය යැයි කීමෙහි වරදක් නැත.

ඉතින් අවසන ජනාධිපතිවරයාට කියන්නට යමක් තිබේ. වී.අයි. ලෙනින් කී ලෙසට නම් ඒ, “කවදාවත් ජනතාව හමුවේ සත්‍ය නොසඟවනු.” කියාය.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)