අලූත්ගම ගාලූ පාරේ කලූවාමෝදර හන්දියෙන් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විටදී හමුවන සුන්දර පරිසරයකින් යුතු කුඩා කඳු ගැටයක සුප‍්‍රසිද්ධ කන්දේ විහාරස්ථානය පිහිටා ඇත. බෙන්තොට ගලපාත විහාරය මූලස්ථානය කරගෙන කන්ද උඩරට රාජාධි රාජසිංහ සමයේ ආරම්භ වී ඇති මෙම විහාරස්ථානයේ මුල් නායක හිමියන් වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජවහන්සේගේ ශිෂ්‍ය නමක් වූ දේද්දුව ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය උඩුගම චන්ද්‍රසාර හිමියෝය. විහාරස්ථ වර්තමාන දාගැබ ඉදිකිරීමට ප‍්‍රථම කුඩා දාගැබ ඉදිකර ඇත්තේ බුද්ධ වර්ෂ 2327 දී බව ලේඛනගතවී තිබීම විහාරය ආරම්භය ගැන තවත් සාක්ෂියකි. දිනපතා පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජා, දේව පූජා මෙන්ම වාර්ෂික කිරිපිඬු හා මුරුතැන් පූජා විහාරස්ථ ආගමික වැඩසටහන් අතර මුල් තැනක් ගනී. උඩුගම චන්ද්‍රසාර හිමියන්ගේ අනුශාසනා පරිදි උන් වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත හිමියන් මෙහි මුල්ම විහාරාධිපති ධුරය දරමින් විහාරස්ථානයේ මූලික පසුබිම ගොඩනඟා ඇත. පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්ථදස්සි, පොතුවිල සරණතිස්ස, හීනටියන්ගල ජනරාම, යන විහාරාධිපතීන් වහන්සේලා විහාරයේ සංවර්ධන කටයුතුවල නියමුවරු වූහ. බුද්ධ වර්ෂ 2479 දී ඉදි කෙරුණු වර්තමාන දාගැබ ඉදිරිපිට භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කළ දර්ශනීය බුද්ධ ප‍්‍රතිමාවක් සහිත කුඩා මැදුරක් හා දැකුම්කළු මලසුන් ගෙයකි. අට පැතලි වේදිකාවක් මත නිර්මාණය කර ඇති දාගැබ විහාරස්ථානයේ සුන්දරත්වය වඩාත් වර්ධනය කරයි. මහනුවර යුගයේ චිත‍්‍ර සම්ප‍්‍රදායට නෑකම් කියන පැරණි බිතුසිතුවම්වලින් යුත් ඉපැරැුණි ධාතු මන්දිරයේ රිදියෙන් කළ කරඬුවක සර්වඥ ධාතු තැන්පත් කර තිබීම විහාරස්ථානයේ ඇති පූජනීයත්වයට හේතුවකි. විහාරස්ථ අති පැරැණි සුවිසල් බෝධිය මෙම පුදබිමේ පෞරාණික බව කියා පාන ප‍්‍රබල සංකේතයකි. ඒ වට බෝධිඝරයක්  ඉදි කර ඇත. එමෙන්ම මෑතකදී ඉදි කරනු ලැබූ 107 රියන් සමාධි බුදු පිළිමය විහාරස්ථානයට ගෙනෙනුයේ අසිරිමත් දසුනකි. බුදු පිළිමය යටින් ප‍්‍රතිමා, සිතුවම් සහිත විහාර ගෙයක්ද නිර්මාණය කර තිබේ. බුදු මැදුර ඉදිරිපිට ඇති සුවිසල් තෙමහල් තොරණ දුර්ලභ ඝනයේ නිර්මාණයකි. ආරක්කු හා සිමෙන්ති බදාමයෙන් කළ දොරවල්වලින් යුත් මෙහි කඟවේනා හා සිංහයා ලාංඡුන දක්නට ලැබේ. තොරණ මුදුනේ සර්වඥ ධාතු තැන්පත් කළ කුඩා දාගැබකි.  ඕලන්ද ගෘහ නිර්මාණ කලාවට මෙය නෑකම් කියයි. බුදු මැදුර ප‍්‍රතිමා සහ බිතුසිතුවම්වලින් යුක්තය. බුදු මැදුරේ වම්පස ඇති විෂ්ණු දේවාලයේ රන්මිණි මුවා ඔටුන්නක් සහිත ආභරණවලින්  සැරසූ ජීවමාන ස්වරූපයක් ගන්නා විෂ්ණු දේව හිඳි පිළිමයකි. කන්දේ විහාරය ප‍්‍රසිද්ධියට පත්වීමට බලපෑවේ මහානුභාව සම්පන්න බල ඇතැයි සැලකෙන මෙම විෂ්ණු දේවාලයයි. ඒ හැරුණු විට අනෙකුත් දේවාලවලට භාරහාර ඔප්පු කිරීම සඳහා දිනපතාම දහස් ගණන් බැතිමත්හු මෙහි එති. වර්තමාන විහාරාධිපති කළුතර බෙන්තර දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ විහාරස්ථ වර්තමාන දියුණුව සැළසී ඇත. වර්තමාන විහාරාංගයන් වන තෙමහල් සංඝාවාස විශ‍්‍රාම ශාලාව, විහාරයට ප‍්‍රවිෂ්ඨ වන මාර්ගය, නව දේවාල පන්තිය, බෝධියේ රන්වැට, දාන ශාලාව සහිත සිව් මහල් සංඝාවාසය ආදියටත් විහාරාධිපතීන් වහන්සේ විහාර සංවර්ධනයට කැපවී ඇති බවට සාක්ෂි වේ. ප‍්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇති උන් වහන්සේ සිව් දිගින් පැමිණෙන බැතිමතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරමින් විහාර දියුණුවට දිවා රෑ නොබලා වෙහෙස වෙති. උන් වහන්සේ මග පෙන්වීම යටතේ ඉදිකෙරුණු ධාතු මන්දිරය ශ්‍රී සරණතිස්ස පුස්තකාලය හා කෞතුකාගාරයක් සහිත නව සය මහල් ගොඩනැගිල්ල ද විහාරස්ථානය තව තවත් අංග සම්පූර්ණ කිරීමකි. අපවත්වී වදාළ පරිවේනාධිපති යටදොළවත්තේ ආරියවංශ හිමියෝ ද මෙම විහාරස්ථානයේ දියුණුවට සිදුකළ වෙහෙස අපමණය. කන්දේ විහාරස්ථ ක්‍ෂේත‍්‍රරාම මහ පිරිවෙණෙහි අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමට පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් ද, ජපන් භාෂා මධ්‍යස්ථානයක් ද විහාරය පිළිබඳ වෙබ් අඩවියක් ද ඇත. දායක කාරකාදීන්ගේ සහාය ඇතිව විහාරාධිපති බටුවන්හේනේ නාහිමියන්ද ක්‍ෂේත‍්‍රාරාම පරිවේණාධිපති කොක්කාවිට විපුලසාර හිමියන්ද විහාරස්ථ දියුණුව උදෙසා ගෙන යන කාර්ය භාරය සුළු පටු නොවේ. විහාරස්ථානයට ලබන්නා වූ පුද පඬුරුවලින් අවට ප‍්‍රදේශයන්හි පාසල් සහ විහාරස්ථාන සඳහා මහල් ගොඩනැගිලි ඉදිකර දීමටද විහාරාධිපති හිමිපාණෝ කටයුතු කරති. මේ වන විට එවැනි පරිත්‍යාග රැුසක් සිදු කරදී තිබේ. සතියේ දින හතේම උදේ සිට රාත‍්‍රිය දක්වා මෙම පුද බිම සැදැහැවතුන් බැතිමතුන්ගෙන් පිරී පවතී. විහාරයේ පරිසරය රැුකෙන පරිදි තැඹිලි කෝම්බ හා නොදිරන දෑ විහාර භූමියේ නොදැමීමත් මෙහි එන සැදැහැවතුන්ගේ යුතුකමකි.
බෙන්තොට ජේ. ඉඳුරුවගේ
107 රියන් එළිමහන් බුදු පිළිමය දාගැබ ඉපැරැණි බෝධිය විහාර ගෙය ඉදිරිපස සුවිසල් තෙමහල් තොරණ විහාරාධිපති හිමි