මෙවර ලිපිය බුද්ධිමතුන්ගේ මැතිවරණ අපේක්ෂක දේශපාලනය පිළිබඳව ය. මෙරට දේශපාලනය ගැන කලකිරුණු ජනයා කලක සිට ප්‍රතික්ෂේප කිරීමක් සහ යෝජනාවක් සමාජ ගත කළේය. දෙසිය විසි පහම එපා යනු ඒ ප්‍රතික්ෂේප කිරීමය. බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු  යනු ඒ යෝජනාවය. මේ මොහොතේ මේ දෙකම ප්‍රබලය. දීර්ඝ කාලයක් වාර කීපයක් පාර්ලිමේන්තුවේ සිටි අය අර බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු යන යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ සිට මේ දක්වා ප්‍රබල ප්‍රහාර එල්ල කිරීම ඊට උදාහරණයකි.

එහෙත් දේශපාලන පක්ෂ ඊට වඩා උපායික විය. සැරසිලි ලෙස සහතිකපත්‍ර බුද්ධිමතුන් තම පක්ෂවල අපේක්ෂක ලැයිස්තුවලට එකතු කළේ ඒ නිසා ය. දැන් හැම පක්ෂයකටම ඒ ආකාරයේ බුද්ධිමත්හු සිටිති. එහෙත් මේ බුද්ධිමතුන් වනාහි ජනතාව අර එපා කියූ දෙසිය විසිපහට අයිති අයගේ බුද්ධියෙන් අනුමැතිය ලැබූ අය ය. එසේම ඒ දෙසිය විසිපහට අවනත අය ය. ඒ අනුව බුද්ධිමත්භාවය යනු ධුර-ලාභ අපේක්ෂාවෙන් අවනතවීමේ ගුණයක් විය යුතුය?.

ඒ අතර, අසරණ ජනයා කෙරෙහි  වූ හෘදසාක්ෂියක් සහිත අය කීපදෙනකුද සිටින බව සඳහන් කළ යුතුය. එහෙත් එවැන්නන්ට පවා තමන්ලාට අපේක්ෂකත්වය ලැබුණු පක්ෂයේ ගති ලක්ෂණ සහ චරියාව නම් වෙනස් කළ නොහැකිය. බොහෝවිට ඔවුන් එවැනි උත්සාහ ගන්නේද නැත. මන්ද ඒවා සිදුවුණේ හතළිහ පනහ හැට දශකවලය. බුද්ධිමතුන්ට ද ආසන කීපයක් වෙන්කර තිබුණාට ඉන් පලක් නොවන්නේ ඒ නිසාය. මන්ද ඇන් ඇම්ලා, කොල්වින්  ලා, එස් ඒලා, කන්නන්ගරලා, මුත්තෙට්ටුවේගමලා එස්.ඩබ්ලිව්.ආර්.ඩීලා නැවත ඒ ආසනවලට එන්නේ නැති නිසා ය. සමහරවිට ලෝක තත්ත්වයද මේ ආකාර විය හැකිය.  

ඒ අතරම ඇතැම් බුද්ධිමතුන්’ තමන්ට අපේක්ෂක වරම් නොලැබීම ගැන තවමත් කනස්සල්ලෙන් පසුවෙති. ඇතැම්හු ස්වාධීනව ඉල්ලති. දිස්ත්‍රික් නායකයෝ තම ලැයිස්තුවල ඉන්නා බුද්ධිමතුන්ට එරෙහිව වාචික සහ සැඟවුණු සටන්වල නිරත වෙති. බුද්ධිමත්හුද දවල් මිගෙල් රෑ දනියෙල් චරිත රඟපාති. එනම් එළිපිට දෙසිය විසිපහම වර්ණනා කරමින් ඒ අය හරහා මනාපයක් ලබා ගැනීමට කටයුතු කරන අතර රහසේ තමා පමණක් ප්‍රවර්ධනය/ප්‍රමෝට් කර ගනිති. මෙය අපූරු නාටකයකි.

හුදු බුද්ධිමතුන් පක්ෂවලින් ඉල්ලු‍වාට ඒ අය අතුරින් කීපදෙනකු තේරීපත් වූවාට පක්ෂ, සහ පාර්ලිමේන්තුව බුද්ධිමතුන්ගේ පාලනයට නතු වන්නේ නැත. නතුවුණා යැයි සිතමු. එහෙත් ඒ බුද්ධිමතුන්ට ජනයා කෙරෙහි වූ ප්‍රගතිශීලී හෘද සාක්ෂියක් නැත්නම් ඔවුන්ගෙන් ඔවුන්ටම මිස ජනසමාජයට සිදුවන සෙතක් නැත.

අද බොහෝ අයට ඇත්තේ බුද්ධිය’ පමණය. එය උත්තරාරෝපිත බුද්ධියකි. එහෙත් මනුෂ්‍යයකුගේ මනුෂ්‍යත්වය පරිපුර්ණවීම සඳහා අවශ්‍ය වන අංග සතරකි. එය මනා අයුරින් ප්‍රත්‍යශතකයේ සඳහන් වන්නේ මෙසේය. එහි සංස්කෘත ශ්ලෝකයේ සරල තේරුමට අනුව නරයාට (මනුස්සයාට) ආභරණය රූපයයි, රූපයට ආභරණය ගුණයයි, ගුණයට ආභරණය ඥානයයි, ඥානයට ආභරණය ඉවසීමයි. දැන් ගැටලුව වන්නේ ගුණය, ඥානය සහ ඉවසීම නොමැති එහෙත් රූපයෙන් පමණක් බුද්ධිමහතුන්’ බුද්ධිමතුන් ලෙස පෙනී සිටීමයි. මහ බැංකු සිද්ධිය එවැනි බුද්ධිමහතුන්ගේ ප්‍රහාරයක් ලෙස තේරුම් ගත්තොත් මා කියන දෙය ඔබට යසට පැහැදිළිවනු ඇත. අප බුද්ධිමතුන්ගෙන් අපේක්ෂා කළ යුත්තේ රූපය නොව ගුණය, ඥානය, ඉවසීම සහ පොදුජන සමාජය වෙනුවෙන් වූ හෘදසාක්ෂිය ය.

දාර්ශනික බුද්ධිමත් පාලකයන් පිළිබඳ යුරෝපීය අදහස ඉතාම විධිමත්ව මුලින්ම ඉදිරිපත් කළේ ප්ලේටෝය. ඒ අපේ (ඉන්දියාවේ) ප්‍රත්‍යශතකකරුවාට, බුදුහාමුදුරුවන්ට, චානක්‍ය කෞටිල්‍යයට සියවස් තුන හතරකට පමණ පසුව ය.ඔහු කියූ ආකාරයට දාර්ශනිකයෝ පාලකයෝ විය යුත්තෝය, නැතහොත් පාලකයන් දාර්ශනිකයන් විය යුතුය. දෙවැන්න ඉටුකර ගැනීම ඉතා අපහසු නිසා දාර්ශනික පාලකයන් නිර්මාණය කරගැනීම පිණිස වූ අධ්‍යාපන ක්‍රමයක් ද හෙතෙම ඉදිරිපත් කළේය. දාර්ශනික පාලකයන්ගේ පාලනයකින් තොරව මානව වර්ගයාට දුක් කම්කටොලු‍වලින් නම් ගැලවීමක් නොමැති බව පහදා දුන්නේ ප්ලේටෝය. මේ අදහසින් පෙනී යන්නේ පාලකයන් හුදු බුද්ධිමතුන් වීම පමණක් නොව ඔවුන් මානව වර්ගයාගේ යහපත සලසන්නන් විය යුතු බවය. එසේ නැතුව තම තම නැණ පමණින් තමන්ගේ පමණක් යහපතක් සලසා ගන්නන්ගේ බුද්ධියෙන් පොදු ජනයාට ඵලක් නැත.

ව්‍යවස්ථාවක් තිබේනම් යක්ෂ ජාතියකට වුවත් රාජ්‍යයක් සැදිය හැකිය යනුවෙන් කීවේ එම්මානුවෙල් කාන්ට් ය. එහි සරළ අදහස වන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී තීරණාත්මක සහ උත්තරීතර වන බවය. එපමණක් නොව රටක් විධිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ දී තීරණාත්මක සාධක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එය අනුව යන ව්‍යවස්ථානුකූලවාදය ය. ව්‍යවස්ථානුකූලවාදය යනු ව්‍යවස්ථාවට අනුකූලව සියලු‍ දෙනා ක්‍රියාකිරීමය. එනම් එය පිළිපැදීම ය. රාජ්‍යයක සමාජ-දේශපාලන-ආර්ථික ගමනට අදාළ මාර්ග සිතියම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය.

කවරකුට වුවද ව්‍යවස්ථාවට උඩින් යා නොහැක, එය යටපත් කළ නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක සියලු‍ ජනයාගේ සම්මුතිය, ගිවිසුම, සහ එකඟතාවවීම ඊට හේතුව ය. ඒ නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු නෛතික ලියවිල්ලක් පමණක් නොවේ. එසේම ව්‍යවස්ථා සම්පාදනය යනු හුදු නීතිවේදීන්ගේ සහ නීතිඥයන්ගේ වැඩක් පමණක් ද නොවේ. 1972 දී සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කළේ ඒ නිසා සහ පාර්ලිමේන්තුව හරහා සමස්ත ජන සමාජයම නියෝජනය වනවාය යන මූලධර්මය මත පිහිටා ය.

මා මෙතැනට ව්‍යවස්ථා කතාව ගෙන ආවේ හේතුවක් මතය. එනම් බුද්ධිමතුන්ගේ වැඩ සහ අවැඩ ගැන යමක් කීමට ය. අපේ රටේ ව්‍යවස්ථා සම්පාදනය සහ සංශෝධන ඉතිහාසය දිහා බලනවිට පෙනීයන්නේ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ පක්ෂග්‍රාහී බල අරමුණු හේතුකොටගෙන එකී ක්‍රියාවලිය අපවිත්‍රවී ඇති බවය. ඒ අපවිත්‍රතාවට ඒ පාර්ලිමේන්තුවල සිටි බුද්ධිමත්හුද වගකිව යුත්තෝය. ඉන් පෙනී යන්නේ බුද්ධිය තිබුණාට එවැනි අකටයුතුකම්වලින් දේශපාලනය වැළැක්වීමට ඔවුන්ට හැකියාවක් නොතිබුණු බවය. මෙරට බුද්ධිමහතුන් 1972 ව්‍යවස්ථාවට නගන ප්‍රධාන චෝදනා දෙකෙන් එකක් වන්නේ බුද්ධාගමට මුල්තැන දීම සහ පරිපාලන, සහ අධිකරණ සේවා කොමිසම අහෝසි කිරීම පිළිබඳවය. එක්සත් ජනපද ඩොලර්වල මුද්‍රණයකොට ඇති දෙවියන් වහන්සේ විශ්වාස කරන්න’ යන්න නොපෙනෙන සහ තේරීපත්වන ආණ්ඩුවට නිත්‍යානුකූල ලෙස රාජ්‍ය සේවය පක්ෂපාතී විය යුතුය යන බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය දෙස නොබලන අයගේ 72 ගැන චෝදනා කෙසේ වෙතත් නිදහසින් පසු මා දකින හොඳම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එය ය. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාය.

තවත් ගැටලුවක් වන්නේ ජනහිතකාමී බුද්ධිමතුන් තේරීමට ජනතාව බුද්ධිමත් ද යන්නය. ඊයේ උදෑසන පහයි පනස් අටට රේඩියෝ නාලිකාවකින් ඇසුණු උදා ගීතය වුණේ ‘‘ඔබ ඇසිපිය නොසොලා බැලු‍වා මගෙ දෑස් දිහා’ යන්න වූ අතර ඊට පසුව ඇසුණේ’’ පනන් අටින් මට වැඩිකර දුන්න හැකිවුණත් බත් මිටක් දරුවට කවන්න’ යන ගීතය ය. මේ ගීත දෙකට මමත් කැමතිය. ඒත් උදෑසන පහට හයට ඇසීමට නම් නොවේ. රේඩියෝ සහ ටෙලිවිෂන් චැනල වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ඇති සංස්කෘතික සංහාරයෙන් පාන්දර, උදෑසන, දහවල, මධ්‍යහනය, හැන්දෑව සහ රාත්‍රිය යන කාලසීමා අතුරුදන්කොට ඇත. ඒ සංස්කෘතික සංහාරයට ගොදුරුව බොල්වී ඇති සමාජයෙන් මනාපය ලැබෙන්නේ බුද්ධිමතුන්ට නොව අර සංස්කෘතික සංහාරයට දායකවන සහ අනුග්‍රහය දක්වන අයට ය. ඒ අනුව බුද්ධිමතුන්ටත් කලියුග කාලේ සංස්කෘතික සංහාරකයන්ගේ සරණ සහ පිහිට මිස වෙන පිහිටක් හෝ සරණක් නොමැත.

මේ පසුබිම තුළ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න කියා මනාප දුන්නාට යැවෙන්නේ බුද්ධිමහතුන්’ ය. ඒ බුද්ධිමහතුන්ට කටයුතු කරන්නට සිදුවන්නේ ස්වකීය බුද්ධියට අනුව නොව තමන්ට අපේක්ෂක වරම දුන් පක්ෂවලට අවනතවය. කීකරුව ය. ඇත්තටම බුද්ධිමහතුන්ට එය ගැටලුවක් නොවන්නේ මුල සිටම ඔවුන් එයට සූදානම් නිසා ය. එසේවන බව ඔවුන් දන්නා නිසාය. ඔවුන්ට අවශ්‍ය මැතිකම, ඇමැතිකම මිස පොදු ජනයාට වැඩ කිරීමේ ඉඩකඩ නොවේය. ඒ නිසා බුද්ධිමතෙකි’  යන හැඳුනුම් පත්‍රය යොදාගෙන ක්‍රමයේ දැත්තක් වීමේ ඉඩකඩ සලසා ගන්නවා මිස ක්‍රමයක් තැනීමේ යන්ත්‍රයක් වීමට මොවුන් උත්සාහ නොකරනු ඇත.  

එසේ නොවන බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ බුද්ධිමහතකු නොවී පක්ෂයක කණ්ඩායමක දාසයකු හෝ ප්‍රවේණි දාසයකු නොවී ලද මැතිකම හෝ ඇමැතිකම රටේ ජනයා වෙනුවෙන් රැඩිකල් ලෙස භාවිතාවේ යෙදවීමය. එවිට ඒ බුද්ධිමතා වටා එළියේ සිටින බුද්ධිමතුන් රැස්වනු ඇත. පාර්ලිමේන්තුවට යාමට සැරසෙන මගේ බුද්ධිමත් මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ බුද්ධිමතකු වීමේ රෝගයට දැන්ම සිට ප්‍රතිකාර ගන්නා ලෙසය.


***
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක