වර්තමානයේ දී පිරිහීමකට ලක්ව ඇති රටේ දේශපාලන සංස්කෘතිය ගැන කතිකාවතක් ගොඩනැගීම අවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා 10 වැනිදා පැවසීය.

 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වැනි නායකයන්ගෙන් වර්තමානයට ලබාගත හැකි ආදර්ශ රැසක් පවතින බව කී ගුණසේකර මහතා වර්තමානයේදී සියලු දෙපාර්තමේන්තු දේශපාලනීකරණය වී ඇතත්, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැතිවරයාව සිටියදී බදු ගෙවීමට නොහැකි වූ අවස්ථාවක ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත තනිවම පැමිණ කරුණු දැක්වූ බව ද සඳහන් කළේය.

ඔහු මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිනි, දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වැනි ගුණ සැමරුම වෙනුවෙන් එම පක්‍ෂය විසින් සූම් තාක්‍ෂණය ඔස්සේ පවත්වනු ලැබූ ගුණානුස්මරණ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

 ඩිව් ගුණසේකර මහතා එහිදී මෙසේ ද පැවැසීය.

“නිදහසින් පසු අපේ රට පාලනය කළ නායක නායිකාවන් අතරින් ප්‍රමුඛ වන්නේ කවුදැයි කිසිවෙක් ඇසුවොත් මම තෝරාගන්නේ බණ්ඩාරනායක මැතිනියයි. ඒ මා සතුව පවතින ඓතිහාසික දත්ත, ඇය මුහුණ දුන් අභියෝග, ඇගේ ඓතිහාසික කාර්ය භාරයන්, පැවැති ජාත්‍යන්තර සන්දර්භය ආදිය අනුවයි. එහිදීත් මම ප්‍රමුඛත්වය දෙන්නේ බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට පැමිණීමට ගත් තීරණයටයි. බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය කළ අවස්ථාවේ රට හා පක්‍ෂය තුළ මතුවූ අර්බුද අපි දුටුවා. එදා නායකත්වය ගන්නා ලෙස සියලු දෙනා මැතිනියගෙන් එකහඬින් ඉල්ලුවා. වැන්දඹුවක්, මවක් ලෙස ගන්නට වූ ඒ අසීරු තීරණය ගැනීම තුළින්ම ඇගේ පෞරුෂය ඉස්මතු වුණා.

අපේ රට පාලනය කළ ඩී.එස්. සේනානායක මහතාගේ සිට වත්මන් ජනාධිපතිතුමා දක්වා සියලු නායකයන්ට වඩා ඇය අභියෝගවලට මුහුණ දුන්නා. 1962 දී හමුදාව හා පොලිසියේ කුමන්ත්‍රණය ගැන ඇන්.ඇම්. පෙරේරා, පීටර් කෙනමන්, පිලිප් ගුණවර්ධන මහත්වරුන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළා. එය මැතිනියගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ කුමන්ත්‍රණයක්. එදා බුරුමයේ, ඉන්දුනීසියාවේ, පකිස්තානයේ නායකයන් එළවා හමුදාව බලයට ආ නමුත් ශ්‍රී ලංකාවේ කුමන්ත්‍රණය සාර්ථක නොවුණේ දේශපාලනයේ විපක්‍ෂයේ සිටි වමේ නායකයන් ආණ්ඩුව ආරක්‍ෂා කරන්න මැදිහත්වීම තුළ බණ්ඩාරනායක මැතිනියට ලැබුණු ශක්තිය නිසයි.

ඇයට එරෙහි දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වනවිට පළමු වතාවට විපක්‍ෂය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මුදල් දී ගත්තා. 1971 තරුණ කැරැල්ල එනවිට බලයට ඇවිත් මාස නවයක්වත් නැහැ. එත් ඇය එදෙස සමාජ විද්‍යාත්මක කෝණයකින් බැලුවා. තරුණයන් කෙරෙහි වෛරයෙන් නොබලා ඒ සියලු දෙනා පුනරුත්ථාපනය කළා. මෙරට සිටි ඉන්දියානු කම්කරුවන් ගැන ප්‍රශ්නය විසඳන්න වුණේත් ඇයටයි. ඇය ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි සමග සාකච්ඡා පවත්වද්දි ඩඩ්ලි සේනානායක විපක්‍ෂ නායකතුමාට වාර්තාවක් දී ඔහුගේ උපදෙසුත් ලබාගෙන ඊළඟ සාකච්ඡාවට ගියා. එදා ඇය දුරදක්නා නුවණින් යුතුව ඓතිහාසික ගිවිසුමකින් මේ ප්‍රශ්නය නොවිසඳුවා නම් 1983 ආරම්භ වූ යුද්ධය නවතින්නේ කළුතර දිස්ත්‍රික්කයටත් ඇවිල්ලායි. එහෙම වුණා නම් 2009දීත් යුද්ධය අවසන් කරන්න බැරිවෙනවා.

එතුමිය බ්‍රිතාන්‍ය, ඇමෙරිකා අධිරාජ්‍යවාදී කඳවුරු තහංචි දමද්දීත් තෙල් ජනසතු කළා. තෙල් සංස්ථාව ලබාගත්තේ අධිරාජ්‍යවාදී බලවේග සමග කළ අරගලයකින්. නිදහසින් පසු තිබූ ආණ්ඩුවලින් බුද්ධිමත්, ප්‍රවීණ, දක්‍ෂ, පරිපූර්ණ නායකයන් සිටියේ ඇගේ කැබිනට්ටුවේයි. එවැනි කැබිනට් මණ්ඩලයක් ඊට පෙර හෝ පසු සිටියේ නැහැ. රට කාර්මිකකරණය කළේ ඇගේ යුගයේයි. මානව සම්පත් සංවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දුන්නා. පෞද්ගලික පාසල් ආණ්ඩුවට ගෙන ජාතික අධ්‍යාපනයක් ඇතිකළා. ඒ ක්‍රියාවලිය ඉදිරියට ගියා නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද ඇතිවෙන්නේ නැහැ.

ඇය අභියෝග රැසකට මුහුණදුන්නා. කුස්සියෙන් ආ අගමැතිනියක් වුණාට චීනය හා ඉන්දියාව අතර යුද්ධයක් ඇතිවූ වෙලාවේ ලෝකෙම බලා සිටියදී එයට මැදිහත් වුණේ අපේ පුංචි රටේ අගමැතිනියයි. දෙරටේ අගමැතිවරුන් ගෙන්වාගෙන කතා කර ඒ යුද්ධය නැවැත්වූවා. චීනය හා ඉන්දියාව තවමත් ඇයට ගරු කරන්නේ ඒ නිසයි.

සිරිමාවෝ මැතිනිය පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස සිටියදී අගමැති ප්‍රේමදාස මහතා සහ අනුර බණ්ඩාරනායක මහතා අතර පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමක් දුර ගොස් අනුර අසභ්‍ය ආකාරයෙන් කතා කළා. මැතිනිය රූපවාහිනී තිරයෙන් එය බලා සිට අනුර බණ්ඩාරනායක මහතා ගෙන්වා ඔහුගේ කම්මුලට පාරක් ගසා අගමැතිට කතා කරන්නේ එහෙමද ඇහුවා. එය අම්මා කෙනෙක් වගේම දේශපාලන නායිකාවක් ලෙස කියාදුන් පාඩමක්.

 මැතිනියට පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම අපහාස කළේ ප්‍රේමදාස මහතායි. මැතිනිය ඒවා හිතේ තියාගෙන හිටියේ නැහැ. මොනව වුණත් ප්‍රේමදාස මහතා අගමැති කියන තැන සිට කටයුතු කළා.
ඇය රාජ්‍ය නායිකාවක් ලෙස හැසිරුණු ආකාරය ඉතා ආදර්ශවත්. ඒ කාලේ පාර්ලිමේන්තුවේ මොන තරම් ගැටුම් වුණත් මැතිනිය, ඩඩ්ලි සේනානායක වැනි නායකයන් පිටුපස හැරී බැලූ සැනින් සභාව නිහඬ වෙනවා. අද ජනාධිපතිතුමා, අගමැතිතුමා හැරිලා බැලුවට කවුරුත් තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. අද දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. අද රටේ පිරිහුණු දේශපාලන සංස්කෘතිය ගැන කතිකාවතක් අවශ්‍යයි.

බණ්ඩාරනායක මහතා 1956 මැතිවරණය කළේ රොස්මිඩ් වලව්වත් උකස් කරලයි. ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරියකු ලෙස සිටියදී බණ්ඩාරනායක මහතාගේ ආදායම් බදු ලිපිගොනුව භාරව සිටියේ මමයි. වරක් බදු ගෙවීමට සිහිකැඳවීම් කළාම බණ්ඩාරනායක අගමැතිතුමා තනියම ආදායම් බදු කොමසාරිස් කාර්යාලයට ආවා. මම ණය වෙලා නිසා ගෙවන්න පුළුවන් රුපියල් 1000 ක් පමණක් බව පවසා ඒ ගෙවීම කළා. අද අගමැති තබා මන්ත්‍රීවරයකුවත් එහෙම එනවද? අද දෙපාර්තමේන්තු සියල්ල දේශපාලනීකරණය වෙලා. මැතිනිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අද රට වෙනුවෙන් ඉදිරියේදී කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. අද ඉන්නේ 56 දරුවෝ නොව 77, 78 දරුවෝ නිසා මේ ගමන අමාරුයි. එත් දැන් අපි දැවැන්ත මතවාදී අරගලයක් කළ යුතු වෙනවා.”
කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහි ප්‍රධාන අනුශාසනය පවත්වමින් මෙසේ පැවැසූහ.

“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය උපදින්නේ දේශපාලන දර්ශනයක් ඇතිව මිස හදිසියේ අලුතින් බිහිවන පක්‍ෂයක් ලෙස නොවෙයි. එහෙත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට එන්නේ අහම්බෙන්. ඇයට දේශපාලනයට එන්න සිදුවෙනවා. එහෙම වුණත් ඇය අතිශයින් සාර්ථක දේශප්‍රේමී මාවතක යමින් රට තීරණාත්මක වෙනසක් කරා ගෙනඑනවා. ඇය ලංකාවේ දේශපාලනයේ දිශානතිය හඳුනාගත්තා. තමා නොදන්නා විෂය ක්ෂේත්‍ර ගැන විෂය ප්‍රවීණයන්ගෙන් අසා කටයුතු කළා. නිර්භීත තීන්දු රැසක් ගත් ඇය නොබැඳි ජාතීන් අතර ජනප්‍රිය චරිතයක් වුණා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ අසහාය නායිකාවයි. ඇගේ ක්‍රියාකාරකම් අද දවසට ගලපන්න උත්සාහ කළ හැකි නම් එය ඉතා වටිනවා.”

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී මෙසේ පැවසීය.
“මේ රටේ දේශපාලන පක්‍ෂ බොහොමයක් පුද්ගලවාදී, රටේ පොදු ජන සම්මතයට, සහජීවනයට විරුද්ධ, ආගමික, භාෂාමය මුහුණුවර ගන්න ඒවායි. එදා අභියෝග ආවේ බණ්ඩාරනායකවරුන්ගේ ප්‍රතිපත්ති හා දර්ශනයට එරෙහිවයි. අද තිබෙන්නේ 56 දරුවන්ගේ හා 77 දරුවන්ගේ ගැටුමක්. 56 දරුවන්ගේ දර්ශනය ජාතිකවාදී එකක්. 77 දරුවන් තුළ ඇත්තේ ලෝකයේ ආර්ථික සුළං මත රට ගෙනයාමේ වැඩපිළිවෙළයි. ශ්‍රී.ල.නිපයේ දේශපාලනය අදට ගැලපෙන ආකාරයට ඉදිරියට යා යුතුයි. අද අපි මුහුණ දී සිටින දුගීභාවය, ආර්ථික අර්බුදයට ප්‍රායෝගිකව විසඳුම් සකස් කරන ප්‍රබුද්ධ දේශපාලන ව්‍යාපාරයක් වටා ජනතාව ඒකරාශී කළ යුතුයි.”

 

(***)
(ඩයනා උදයංගනී)