කිරුළේ උරුමකරුවන් සමග
පසුගිය බ්‍රහස්පතින්දා, එංගලන්තයේ මහරැජිනගේ වයස අවුරුදු අනූව සම්පූර්ණ විය. විසිපස්වැනි වියේදී එංගලන්ත කිරුළට හිමිකම් කියූ ඇය මේ වනවිට කිරුළ දරාගෙන සිටි කාලය වසර හැට හතරකි. ඒ තරම් කාලයක් කිසිම රැජිනක් කිරුළ දරාගෙන සිට නැත. වික්ටෝරියා රැජිණ පවා කිරුළ දරාගෙන සිටියේ වසර හැට තුනකුත් දවස් දෙසිය දාසයක් පමණකි. එම ලෝක වාර්තාව පවා කඩා දමන්නට දෙවැනි එළිසබෙත් රැජිණ වාසනාවන්ත වූවාය. හැබැයි ඇය පැරැදවිය හැකි රජෙක් නම් ලොව සිටියි. ඒ තායිලන්තයේ භූමිපෝල් රජුය.

කෙසේ වෙතත් අවුරුදු අනූවක් ආයු වළඳා සිටින දෙවැනි එළිසබත් රැජිණ ඇත්තෙන්ම වාසනාවන්ත ගැහැනියකි. තවමත් ඇය මනා සෞඛ්‍යයකින් පසුවන්නීය. ඇයට පසුව රජ කිරුළට හිමිකම් කියන්නට කිහිප දෙනෙකුම බලා සිටියත් ඇය තවමත් කිරුළ බිම දමන්නට සිතාවත් නැත.
ඇයට තරම් වෙන කිසිවෙකුටත් එංගලන්ත ජනතාව ආදරය නොකිරීමද ඊට හේතුවක් විය හැකිය. අනෙක් අතට ආදරණීය මිත්තනියකගේ හැඩරුව ඇති මේ ආදරණීය ගැහැනිය තම මව්බිමට පමණක් නොව මුළු ලෝකයටම ආදරය කරන්නීය.
මේ වනවිටත් එංගලන්ත ආධිපත්‍යයට නතුව තිබී නිදහස ලබා පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු වූ රටවල් රාශියකම නායකත්වය දරන මේ මහා රැජිණ, මේ රටවල සංචාරය කරන්නේ ප්‍රීතියෙනි.
1926 අප්‍රේල් 21 වෙනිදා උපන් එළිසබෙත් කිරුළ පැලැන්දේ 1953 ජුනි 2 වැනිදාය. ඉනික්බිති ජීවිතයේ ජුබිලි 3ක්ම සමරන්නට ඇය වාසනාවන්ත වූවාය. ඒ රිදී, රත්තරං, සහ දියමන්ති ජුබිලීන්ය. පිළිවෙළින් 1977, 2002 සහ 2012 යන වසරවලදී මේ ජුබිලි උත්සවශ්‍රීයෙන් සැමරූ මහ රැජිණ ඉකුත් බ්‍රහස්පතින්දා තම අනූවෙනි ජන්ම දිනය ද ප්‍රීතියෙන් සැමරුවාය.
දශක නවයක් තිස්සේ ලෝකයේ විවිධ කලබගෑනි මොනවට දුටු මේ අභිමානවත් ගැහැණියගේ ජීවිතයේ රසමුසු තැන් කොයිතරම් කියෙව්වත් එපාවන්නේ නැත.
කෙන්යාවේ මහා වනාන්තරයට ඉහළින් සඳ පායා තිබිණි. විසල් තුරක මුදුනෙහි සාදා තිබූ පැල්පතක මුදුනේ සිට වනාන්තරයේ අසිරි නරඹමින් සිටි සොඳුරු කුමරියකි. විසිපස් වැනි වියේ පසුවූ ඇය වනාන්තරයේ මැද වූ පොකුණකට බැස සිටි රයිනෝසිරස් සතුන්ගේ ආරවුලක් දෙස බලා සිටියේ ප්‍රීතියෙනි.
“මොකද ඒ සත්තු රණ්ඩු වෙන්නෙ”
ඇය ඇගේ මඟපෙන්වන්නාගෙන් විමසුවාය.
“එහෙම තමයි කැලේ සත්තු. තමන්ගෙ වර්ගයාගෙ සතෙක් මුණ ගැහුණාම උනුත් එක්ක මරා ගන්නවා.”
මඟ පෙන්වන්නා කීවේය.
“කැලේ සත්තු විතරද?” මිනිස් සතාත් එහෙමනේ. තමන්ගෙ ඈයො එක්කමනෙ ගහ මරාගන්නෙ...”
කුමරිය පැවැසුවේ සිනාසෙමිනි.
“එහෙම නම් මේක ඔබ තුමියට ඉස්සරහට හොඳ පාඩමක් වේවි. කවදා නමුත් රට අයිති වෙන්නෙ ඔබටනෙ.”
මේ කාන්තාවගේ ආරක්ෂාව බාරව තුරු පාමුලට වී සිටි ආරක්ෂක භටයා වහාම තුරු මුදුනෙහි වූ පැල්පතට නැග ඇය ඉදිරියේ මහා ගරු ගාම්භීරත්වයක් පළ කරමින් පෙනී සිටියේය.
“මහා රාජිනියනි, කරුණාකර බිමට සැපත්වන්න. අපි මේ මොහොතේම එංගලන්තය බලා පිටත්විය යුතුයි.”
සඳ පහනේ නැහැවුණු වනාන්තරයේ චමත්කාරයෙන් වසඟව සිටි කාන්තාව තම ආරක්ෂකයා දෙස බැලුවේ විමතියෙනි.
“මට සමාවෙන්න මහා රාජිනියනි. ඔබතුමියගේ පියා අති උතුම් හයවැනි ජෝර්ජ් රජු අද උදෑසන ස්වර්ගස්ථවී තිබෙනවා. ඒ මොහොතේ පටන් එංගලන්ත දේශයේ අති උතුම් රාජිනිය බවට පත්ව සිටින්නේ ඔබයි.”
මුරභටයා එසේ කීවත් එළිසබෙත් කුමරියට සතුටක් දැනුණේ නැත.
අති උතුම් ජෝර්ජ් රජු ස්වර්ගස්ථ වූයේ කෙසේද?
ඇය ඇස්දෙක කඳුළින් තෙමෙද්දී විමසුවාය. ඇයට තම පියා මිය ගිය අයුරු ඇත්තටම ගැටලුවක්ව තිබිණි.
කමා කරන්න, රැජිනියනි. ඒ බව තවම මට දැන ගන්නට ලැබුණේ නැහැ.
ඩයනා - චාල්ස් සමඟ
විශ්මය පළ කළ දෙනෙත, පසෙක සිටි පිලිප් කුමරු වෙත යොමුකළ කුමරිය ඔහුගේද සහාය ඇතිව තුරුමත පැල්පතෙන් බිමට බහින්නට වූවාය.
රාත්‍රිය වන සතුන් එළි පහළියට එන මොහොතක් බැවින් තුරු මතින් වනපෙතට පා තැබීම භයානකය. එහෙත් උදාවී තිබූ වාතාවරණයේ හැටියට ඇයට තව දුරටත් ඈත එපිට කෙන්යාවේ මහා වනගහනයක තනිව සිටීමට නුපුළුවන් විය.
ඇය වහාම එංගලන්තය බලාගොස් රාජ්‍යයේ කිරුළ තම හිස මත පැළඳ ගත යුතුව තිබිණි.
එළිසබෙත් කුමරිය ඇගේ සැමියා වූ පිලිප් මවුන්බැට්න් සමඟ වහාම එංගලන්තය බලා යන්නට පිටත්වූවාය.
ඒ වනවිටත් තම පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ වයස අවුරුදු පනස් හයක් පමණි. එහෙත් තරුණ වියේ සිටම අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටි බැවින්දෝ ඔහු පෙනහලු ආබාධ ගණනාවකින්ම පෙලුණේය. ජීවිතයේ අවසාන කාලය ඔහු ලෙඩ ඇඳේ ගත කළ බැවින් එළිසබෙත් කුමරිය ඇයට යන්නට ලැබුණු ඇතැම් සංචාර අවලංගු කළාය. එහෙත් කෙන්යාව හරහා ඕස්ටේ්‍රලියාව සංචාරයට කුමරිය සහ ඇගේ සැමියා පිටත්වුණේ සතුටිනි. ඔවුන් මව්බිමෙන් පිටමංව සිටින අතරතුරේදී තම පියා ජීවිතයෙන් සමුගනිතැයි කුමරිය නිකමටවත් සිතුවේ නැත. එහෙත් සිදුවූයේ ඇය සිහිනෙකින්වත් නොසිතූ නොපැතූ දේමය.

හයවැනි ජෝර්ජ් රජු මියගොස් සිටියේ නිදි යහනේදීමය. කුමරිය තම මව්බිමට පය තබන විට තම පියාගේ දේහය සැන්ඩි්‍රගම්හි හා ශාන්තමේරි මහ්දලේනා පල්ලියෙහි තැන්පත් කර තිබිණි. කුමරිය තම පියාගේ දේහය වෙත ගියේ හැඬූ කඳුළෙනි.
තමන්ට කිරුළ බාරදුන්නා කල් වැඩි නේදැයි තම පියාගේ නිසල දේහයෙන් විමසූ මුත් කුමරියට පිළිතුරක් ලැබුණේ නැත.
මේ කිරුළ ඇගේ දෛවයේ උරුමයයි. එසේ නොවේනම් අටවැනි එඞ්වඞ් ලෙස කිරුළ පැළඳි ඇගේ මහප්පා සිම්ප්සන් නම් නිකම්ම නිකම් ගැහැණියකට පිස්සු වැටී තම කිරුළ බාල සහෝදරයාට පවරා මව්බිමෙන් පලා යන්නේ නැත. එළිසබෙත් කුමරියට මේ අයුරින් කිරුළ හිමිවන්නේ තම පියා හයවැනි ජෝර්ජ් ලෙස රජ කිරුළ දැරීම නිසාය.
බැරි වෙලාවත් අටවැනි එඞ්වඞ් රජකම දැරුවේ නම් ඔහුගෙන් පසුව රජ කිරුළ උරුම වන්නේ ඔහුගේ දරුවෙකුටය. මේ යථාර්ථය තේරුම්ගත් කුමරිය තමනට දෛවයෙන් පැවරුණු රජ කිරුළ බාරගෙන රටටත් ජනතාවටත් තමන්ගේ සේවය ලබාදීමට තීරණය කළාය.
තවත් දින කිහිපයකට පසුව වින්ඞ්සර් මැදුරේ ශාන්ත ජෝර්ජ් පල්ලියේදී හයවැනි ජෝර්ජ් රජුගේ අවමඟුල් උත්සවය චාම්ලෙස පැවැත්විණි.
එළිසබෙත් කුමරිය උපදින විට එංගලන්ත කිරුළ දැරුවේ ඇගේ සීයාය. පස්වැනි ජෝර්ජ් නම් වූ ඔහුට පුතුන් දෙදෙනෙක් සිටියේය. එළිසබෙත් කුමරියගේ පියා වූ ඇල්බට් කුමරා පවුලේ දෙවැන්නාය. ඔහුට පැවරී තිබුණේ යෝර්ක් හි ආදිපාද තනතුරයි. ඇගේ මව වූ එළිසබෙත් යෝර්ක් හි ආදිපාදවරිය ලෙස හැඳින්විණි.
ජීවිතයේ ළපටි අවධිය ලන්ඩන් නුවර මේෆයාර්හි බෲටන් වීදියේ අංක 17 දරන නිවසේ ප්‍රීතියෙන් ගත කළ මේ පුංචි කෙල්ලට එළිසබෙත් ඇලෙක්සැන්ඩි්‍රයා මාරි යන නම් තුනක්ම ලැබී තිබුණේ ඇගේ අම්මාගෙනි. ඇලෙක්සැන්ඩි්‍රයා පස්වැනි ජෝර්ජ් රජුගේ අම්මාගෙනි. මාරි ඇගේ තවත් ආච්චි අම්මා කෙනෙකුගෙනි.
එහෙත් මේ පුංචි කෙල්ල රජ පවුලේ අය අතර හැඳින්වුණේ එළිසබෙත් යන්නෙහි කෙටි නම වූ “ලිලිබට්” යන හුරතල් නාමයෙනි. ලිලී මල් කැකුළක් මෙන් ලස්සන මේ පුංචි සුරතලියට ලිලිබට් යන නම ද කදිමට ගැලපුණේය.
ඊට අවුරුදු හතරකට පසුව පුංචි එළිසබෙත්ගේ තනි නොතනියට පුංචි නංගියෙක්ද ලැබිණි. තවත් ලිලී මලක් වූ ඇයට ලැබුණේ මාගරට් යන නමයි.
දැන් එළිසබෙත්ට තනියක් නැත. පුංචි නංගියා හැම තිස්සේම අක්කා ළඟට වී සිටි නිසාය.
පුංචි කුමාරියන් දෙදෙනාට ඉගෙන ගන්නට සිදුවූයේ ස්කෝලයකට ගොස් නොවේ. ඔවුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරු ගෙදරටම ගෙනැවිත් දුන්නේ ඔවුන් රාජකීයයන් ලෙස රටට දායාද කළ යුතු වූ බැවිනි. භාෂාව, ඉතිහාසය, සාහිත්‍යය හා සංගීතය ඔවුනට ඉගැන්වුණු විෂයයන්ය. මේ විෂයන් හතර නොදැන සෞන්දර්යාත්මක ගැහැණියක් ලෝකයට බිහිකළ නොහැකිය.
මේ කලාව හා සෞන්දර්යය උගත් නිසාමදෝ ඇය තම හිත ආදරයෙන් පුරවා ගත්තාය. එහෙත් ඇය මුලින් තම ආදරය මුදා හැරියේ රජගෙදර සිටි රාජකීය බල්ලන් සහ අශ්වයන්ටය.
මේ හිතවතුන් සමඟ රජ මැදුරේත් උද්‍යානයේත් කෙළිදෙළෙන් ගතකළ කුමාරිකාවන් විටෙක අශ්වයන්ට කෑම ගෙනගොස් දුන්නේ උන්ගේ ආදරයද නොමඳවම විඳිමිනි.
මේ විදිහට බල්ලන්ට සහ අශ්වයන්ට ඇලුම් කළත් උන් එක්ක සෙල්ලම් කළත් මේ පුංචි එළිසබෙත් රජ කිරුළේ තුන්වැනි උරුමක්කාරයාව සිටියාය. එහෙත් මේ පුංචි ලිලිබට්ට එදා රජකිරුළේ කිසිම වටිනාකමක් නොදැනුණේ පුංචි හිත්වල ආදරය මිස ලෝබකම් කිසිවක්ම නොතිබූ නිසාය.
(ලබන සතියට)


COMMENTS
තමන්ගේ රට ජාතිය ගැන මෙහෙම අවතක්සේරුවෙන් බලන මිනිස්සු දැකීම තරම් ලැජ්ජාවක් තවත් නැත . අපේ ජාතික වීරයෝ මේවගේ මිනිස්සු වෙනු වෙනද සටන් කලේ ??(ම)
ඉතිහාසය ඉගනගැනීම පරගැතිකම වේ. නොදත් තතු දැන ගන්න පුළුවන් දැනුමෙන් පරිපුර්ණ වෙන්න පුළුවන් (ම)
චතුරි ඔබේ අදහස ද මාගේ අදහස හා සමානයි.ස්තූතියි !.(බ)
ශාලින්ද ඉතිහාසය ඉගෙන ගැනීම පරගැති කමක් නොවෙයි පරගැති කම වෙන්නේ අපි අපේ අාගම ධර්මය අමතක කරලා ඔවුන්ගේ පස්සෙන් වැටෙන්න ගත්තොත් විතරයි. හැබැයි අපේ රටේ කළු සුද්දෝ කරන්නෙත් ඒකම තමයි. (හේ)
වැදගත් ලිපියක්.(හේ)
පාසල් දරුවන්ට වැදගත් ලිපියක්.(හේ)
ඉතිහාසය ඉගෙන ගැනීම පරගැති කමක් නොවෙයි (හේ)
ඇය මුළු ලොවටම ආදර්ශයක් (නි)
සුද්දෝ අාවේ නැත්නම් මේ රට සෝමාලියාව වගේ. (නි)
සුද්දෝ ලංකාවට ආවේ නැත්නම්, තවමත් සිංහලයන් ගස් උඩ තමයි. (නි)
ඇය එංග්ලන්ඩ් වලට රැජිනක් වුනත් තව දුරටත් අපිට රැජිනක් නොවෙයි. තව දුරටත් රජ පෙළපත ගැන දන ගැනීමේ ආසාවක් ඇත් නම් මා දකින්නේ එය පරගැති කමක් හැටියටි . (ර)
සුද්දෝ පාරවල් හැදුවේ අපේ රටේ සම්පත් සූරාගෙන තමුන්ගේ රටවල් වලට ගෙනියන්න මිසක් අපිට ආදරේට නොවන බව නොදන්නා අයත් ඉන්නවද? (නි)
ඇයට කිසි බලයක් නැත. ඒ නිසා ඇය ජනප්‍රිය. ඇයගේ පෙනුම ආකර්ශනීය. නමුත් ඇයගෙන් ලෝකයට ලොකු සේවයක් නැත. (ර)
අපි කෙනකුට යමක් කියන්න කලින් අපේ තරම දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. අපේ රට එංගලන්තයය ට යටත්ව. තියෙන කාලේ අපේ රටේ සුද්දෝ කරපු දේවල් ඒවා සදා කාලිකයි. ඒ වගේම හරිම ලස්සනයි රට රේල් පාර හැදුවේ. නැතිනම් අපිට තවමත් දුක නුවර පැත්තට. යනකොට හරිම ලස්සනයි ඒ වගේම තමයි ගාලු කොටුව , දැන් ඉන්න දේශ පාලකයින්ගේ වැඩ තාව කාලිකයි රටේ මුදල් හොරෙන් කන එක විතරයි කරන්නේ. අදිවේග. හදනවා එක වැස්සට ඔක්කොම ඉවරයි. රජිනියනි එදාවගේ. අද වෙනකම් ඔබට අපේ රට බාරව තිබුනානම් හැම. මනුස්සයම උතුම් මිනිසුන් ගනනට වැටෙන්නේ. අපේ රටත් පුංචි එංගලන්තේ. වගේ අපිට නිතරම එංගලන්තයට. යන්න එන්න පුළුවන් එහෙනම් මිනිස්සු දුප්පතුත් නැහැ. හැම කෙනාටම හිතන්න මොලයක් කියන දේ අනිවාර්යෙන්. පිහිටනවා. ඔබට. දිර්ගයුෂ පතනවා.! (ර)
ශාලින්ද, ඹබ හරි ඵදා වැවයි දාගැබයි සංකල්පයෙන් තුන්වේලම පෝෂණය ලබා, සිල්වත්ව, කාටවත් අතනොපා හිටපු සිංහල ජාතියේ ඉතිහාසය නොදැන මෙහි අදහස් දමන අයෙක් කියා දුකක් හිතෙනවා (නි)
ඇත්තම තමයි. සුද්දෝ කළ දේවල් ඉන් ඉදිරියට කරන්න තවම කාටවත් බැරි වුණා උදා. රේල්පාර. සුද්දෝ අපේ දේ සූරාකෑවා කිය කියා සුද්දන්ට බැන්නට අපේම දේශපාලුවෝ පහුගිය දවස්වල අපේ දේ මොනතරම් සූරාකෑවද? ලංකාව තමන්ගේ පවුලේ බූදලයක් ලෙස සළකා කාපු හැටි අමතකද? (නි)