ගාල්ල වරායේ පසෙකින් පිහිටි පැරණි ගිබට් දූපත කෙළවරේ ගල් පර අතර සිට මම බලා සිටියෙමි. මුහුද පැහදිලිව පෙනේ. ජලයට යටින් ගිනි පුළිගු විසිරෙන ආකාරය මගේ ඇස් පනාපිට දක්නට ලැබේ. පුදුමයකි. ජලය යට ගින්දර දක්නට ලැබේ. මොහොතකින් ඒ කාර්යය නතර විය. තවත් කිහිප දෙනකු සමග ජලය යටින් ගින්දර ගෙනගිය මේ අපූරු මිනිසා ගොඩට පැමිණියේ පිහිනුම් ඇඳුම්කට්ටලයකින් සැරසීගෙනය. මේක හරිම අමාරු වැඩක්. ජීවිතය පරදුවට තියල තමයි කරන්නේ. දැන්වගේ තාක්ෂණික මෙවලම් ඉස්සර තිබුණෙ නැහැ. ඒත් මිනිස්සු නැව් කපා ඉවත් කරලා ගිලූණු නැව් වලින් මුහුදු ගමන් මාර්ග වලට සිදුවෙන අවහිර බාධක ඉවත් කළා. චතුර  කුඩච්චි නම් මේ අපූරු මිනිසා එසේ කීවේය. ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චතුර කුඩච්චි දැන් ද ඩයිවර්ස් නැමැති ආයතනයක හිමිකරුවෙකි. ගිලෙන නැව් කපා ඉවත් කිරීම. මහ මුහුදේදී නැව් අලූත්වැඩියා කිරීම මෙන්ම නැව් වලට විවිධ සේවා සැපයීම ඔහුගේ කාර්ය භාරයයි. මේ සඳහා ඔහු විසින්ම පුහුණු කැරගන්නා ලද ගාල්ල අවට තරුණයෝ පිරිසක් ද සිටිති. ‘‘මම ඉපදුනේ හැදුනේ වැඩුණේ උණවටුණේ. මුහුද ළඟම අපේ ගේ තිබුණත් මගේ අම්මත් තාත්තත් මට මුහුදට යන්න දුන්නේ නැහැ. තාත්තා ටිකක් සැර පරුෂ ඒ වගේම නීතියට කලාවට වැඩ කරන කෙනෙක්. නිවසින් වැටුණු මේ තහනම නිසාම මට මුහුද ගැන පුදුම ආශාවක් තිබුණා. මට හැමදාමත්  ඕනෑ වුණේ මුහුදට දුවන්න. ඒ කාලේ ඒක හීනයක් ’’ මහින්ද විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී විද්‍යාලයීය පිහිනුම් සමාජයට නවක සිසුන් බඳවාගන්නා බවත් කැමැත්තක් දක්වන අයට ගාල්ල වරාය පැරණි ජැටියට පැමිණෙන ලෙසත් දැනුම් දෙනු ලැබිණි. මේ අනුව කුඩච්චි පිහිනුම් කී‍්‍රඩාව ප‍්‍රගුණ කිරීම සඳහා මාපියන්ගෙන් අවසර පැතුවේය. අම්මා අකමැති වුවත් තාත්තාගේ කැමැත්ත ලැබිණි. විදුහලේ තූර්යවාදක කණ්ඩායමේ පුහුණුවීම් සඳහා සවස් කාලයේ පාසලේ නතරවන ඔහු එය අවසන් කොට පයින්ම ගාල්ල නගරයට පැමිණෙන්නේ පිහුණුම් පුහුණුවීමේ අපේක්ෂාවෙනි. බෑගයත් කරේ දමාගෙන එන චතුර කුඩච්චිට පිහිනුම් කියාදෙන්නට කිසිවකුත් සිටියේ නැත. ඒ විද්‍යාලයේ පිහිනුම් කටයුතු පුහුණුකරුවා ඉවත්ව ගොස් සිටි බැවිනි. මේ නිසා ඇතැම් සහෝදර සිසුන් පිහිනුම් සඳහා ජැටියට නොපැමිණිය ද හෙතෙම ජැටියට යන්නේ මුහුදට තිබෙන ආශාව හේතුවෙනි. ‘‘ පරණ ජැටිය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. හරිම අලංකාර සුන්දර තැනක්. මෙතන විවිධ පාසල් වලින් කට්ටිය ඇවිත් පීනනවා. දැන් කාලේ වගේ අම්මලා පුතාලා පස්සේ ගිහින් පීනන්න උගන්වන්නේ නැහැ. අප හැමදේටම පුරුදු වුණේ තනියම. අපේ පාසලේ පුහුණු කරුවා නොමැති වීම නිසා මාත් මගේ යාළුවෝ කීප දෙනකුත් ජැටියේ ඒ මේ අත දුව පනිනවා මුහුදට පැනලා පුළුවන් විදියට පීනනවා. නමුත් එතන හිටි හැමෝගෙන්ම අපිට ලොකු ආරක්ෂාවක් තිබුණා. අනිත් පාසල් වල පුහුණුකරුවන් අපගැන ඇහැ ගහගෙන හිටියේ. මේ අතර රිච්මන්ඞ් විද්‍යාලයේ පිහිණුම් කණ්ඩායමේ නායකයා වෙත්තසිංහ අයියා අපිට කථා කළා. අපි එයාට වදයක් වෙලා හිටියේ. ඒ නිසා එයා කිව්වා අපිටත් උගන්වන්නම් කියලා. වෙත්තසිංහ අයියා තමයි මගේ පළමු පිහිණුම් ගුරුවරයා. ’’ කුඩාකල පටන් මුහුදට පෙම්බැඳි කුඩච්චි පාසල් ගිය පසු තමන් මුහුදේ පිහිනා යන ආකාරය මිතුරන් සමග නිතර නිතර කීවේය. මෙහි ප‍්‍රතිඵලය වූයේ මහින්දයේ මිතුරන් අතර ඔහුට ‘‘ මුහුදු කන්නා ’’ යනුවෙන් නමක් පටබැඳීමයි. ඔහුගේ නිවෙස පිහිටි පරිසරයේත්, ජැටිය ආසන්නයේත් මුහුදෙන් ජීවත් වන්නෝ බොහොමයක් වූහ. ඔවුහු කුඩා චතුර සමග විවිධ අත්දැකීම් පවසයි. මෙහි ප‍්‍රතිඵලය වූයේ මේ කුඩා සිසුවා මුහුදේ තමන්ට පෙනෙන දෙයට වඩා සැ`ගවුණු ලෝකයක් පවතින බව ක‍්‍රමයෙන් තේරුම් ගැනීමයි. දුරබැහැර ගමනක් ගොස් පැමිණි තාත්තා පිහිණුම් සඳහා අවශ්‍ය ඇස් ආවරණයක් ගෙනවිත් තිබීම චතුරට මුහුදේ අපූරු ලෝකයට එබී බලන්නට අවස්ථාවක් ලැබීමට හේතුවක් විය. ‘‘ ඒක දාගෙන පිහිනන කොට වතුරෙදී හොඳට ඇස් ඇරලා බලන්න පුළුවන්. මම යාළුවන්ගෙන් මිදිලා ටිකක් එහාට මෙහාට වෙලා මුහුද යටට ඔළුව දාලා බැලූවා. බුදු අම්මෝ තාමත් මට පුදුමයි. එහෙම ලෝකයක් දැක්ක පළමු වතාවේ ඇතිවුණු හැගීම කියා නිමකරන්න බැහැ. මට අලූත් ලෝකයක් විවරවුණා.’’ ටිකෙන් ටික පිහිණීමට අමතරව කිමිදුම් වල යෙදීමට ද චතුර පුරුදු වූවේය. මුහුදේ බාහිරින් දකින්න ලැබෙන දේට වඩා බොහොම චමත්කාරජනක දේවල් තියෙන්නේ මුහුද යටයැයි අවබෝධකැරගත් චතුර ඒ ලෝකය ගැන වැඩිදුර අධ්‍යයනය කරන්නට ද යොමු වූවේය. මුහුදේ ජීවත් වන සතුන්, කොරල් පර, ධීවරයන් මසුන් අල්ලන ක‍්‍රම ආදී සියල්ල ඔහු ටිකෙන් ටික අධ්‍යයනය කළේය. මේ අතර කිමිදීමට ගන්නා උපකරණත්, ඒවා භාවිත කරන ආකාරයත් පිළිබඳව ද ඔහු උගත්තේය. 1991 වර්ෂයයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී යළි උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කරනතුරු කාලය චතුර කුඩච්චිගේ ජීවිතයේ වැදගත්ම අවධියක් බව හෙතෙම පවසයි. ‘‘ අපේ තාත්තාගේ මිත‍්‍රයෙක් හිටියා ධම්මික අබේවර්ධන කියලා. ධම්මික අංකල් දවසක් නැෂනල් ජියෝග‍්‍රැෆි පොත් වගයක් තාත්තාට ගෙනත් දුන්නා. මමත් මේවා කියෙව්වා. එතකොට තමයි හිතුනේ අපි මුහුද යට අපූර්වත්වය දන්නේ නැහැ කියලා. මම මේවා අධ්‍යයනය කළා. මුහුදේ ගිළුණු නැව් කපා ඉවත් කරන හැටි. ගිළෙන්න යන නැව් පිළිසකර කරන හැටි. ගිළුණු නැව් යළි පාකැර යවන හැටි කියන මේ දේවල් මුලින්ම දැනගත්තේ ඒ පොත් ටික කියවීමෙන්. ’’ ටිකෙන් ටික මුහුද යට කිමිදීමට පුරුදු වූ ඔහුට උණවටුණේ රූමස්සල පහළ වෙරළේ සිටි ඒ.කේ.ඥානදාස හමුවූයේය. ඥානෙ අයියා යනුවෙන් හඳුන්වන ඔහු මුහුදේ ගිලෙන්නට ගිය සිය ගණනක් මිනිසුන් බේරාගත්තේය. නමුත් මේ ලිපිය ලියන මොහොත වනවිට ඥානෙ අයියා ජීවතුන් අතර නැත. අදින් වසර හතකට පෙර සුනාමියට හසුව ඔහු මියගියේ ඔහු ජයගත් මුහුදේ රළ පහරටම ගොදුරු වෙමිනි. ‘‘ නොගැඹුරු මුහුදේ කිමිදෙමින් හිටපු මට ගැඹුරු මුහුදේ පිහිනීම පිළිබඳ අත්පොත් තැබුවේ ඥානෙ අයියා. දිනේෂ් කියන ඔහුගේ පුත‍්‍රයාත් මේ පළමු ගැඹුරු මුහුදේ සවාරියට එකතුවුණා. මුහුදේ කිමිදීම ඉතාමත්ම භයානක දෙයක්. මේ සඳහා බය නැතිවිය යුතුමයි. ඒ වගේම මුහුද යටදී සිදුවිය හැකි අනතුරු මුහුදේ ජීවත්වන සතුන් ආදී සියලූ දේ ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඥානේ අයියා මේ දේවල් අපිට කියා දුන්නා. නොගැඹුරු මුහුදට වඩා ගැඹුරු මුහුද වඩාත් භයානකයි. ’’ සිය පියාගේ මග පෙන්වීමෙන් ලබාගත් කාර්මික දැනුමත් අලූතෙන් ඉගෙන ගත් කිමිදුම් කටයුතු පිළිබඳ දැනුමත් උපයෝගී කැරගත් කුඩච්චි එතෙක් ගාල්ලේදී අලූත්වැඩියා කළ නොහැකිව තිබූ කිමිදුම් උපකරණ අලූත්වැඩියා කිරීම ඇරඹුවේය. නමුත් ඒ කිසිවකින් ඔහු මුදල් ගත්තේ නැත. තමන්ට තනි පංගලමේ කිමිදෙන්නට නොහැකි බවත් ඒ සඳහා තවත් සාහයකයන් සිටිය යුතු බවත් දන්නා කුඩච්චි තමන්නේ උපකරණ අලූත්වැඩියා කරගන්නා පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු වූයේ මුහුදේ කිමිදීමේදී අවශ්‍ය සහයෝගය පමණි. මේ හේතුවෙන්ම ඔහු ගාල්ලේ කිමිදුම් කරුවන් අතර ජනපි‍්‍රය චරිතයක් බවට පත්වූවේය. දිගින් දිගටම මුහුදේ කිමිදුම් අභ්‍යාස කළ කුඩච්චි පවසන්නේ එකල ගිලී යන නැව් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් බිහිකරන්නට තමන්ට කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ බවයි. ‘‘ මම කිමිදුනේ විනෝදෙට. මුහුදට තිබුණු ආශාවට, ඒ වගේම මුහුදු සත්තු ගැන තිබුණු ආදරයට මම පාසලෙන් ඉවත් වෙලා ජාතික රූපවාහිනී සංස්ථාවේ රැකියාවට ගියා. නමුත් මගේ ආශාව මුහුද නිසා ඒ වගේ කාර්ය බහුල ජීවිතයකට හුරු වෙන්න බැරිවුණා. මුහුද පදනම් කැරගත්තු ව්‍යාපාරයක් ආරම්භ කිරීමටනම් කවදාවත් හිතුවේ නැහැ. ’’ ගොඩබිමටත් වඩා මහ මුහුදු පත්ල හොඳින් හුරු පුරුදු චතුර කුඩච්චි තම පියාගේ ව්‍යාපාරයේ තාවකාලිකව සහයෝගය දක්වමින් උපයාගත් මුදල් ද කිමිදුම් කටයුතු සඳහාම යෙදවූවේය. මේ අතර ඔහු කිමිදෙමින් මසුන් දඩයමේ යෙදීම තම විනෝදාංශයක් කරගෙන තිබිණි. ‘‘දවසක් මමත් කි‍්‍රෂාන් වේවැල්වල කියලා මගේ යාළුවකුත් ගාල්ල කොටුව ළ`ගින් මුහුදට බැස්සා. මේ වෙලාවේ තවත් මිත‍්‍රයෙක් අපි දෙන්නා සමග සිටියා. නමුත් ඔහුට කිමිදෙන්න බැහැ. අපි ආවේ ඔහුට කිමිදුම් පුරුදු කරන්න. ටික වෙලාවක් කිමිදිලා අපි වැඬේ නැවැත්තුවා. අර යාළුවා කොටුවට යවා කි‍්‍රෂාන් සහ මා කිමිදෙමින් සිටියා. අපි නැවත ඒමට සූදානම් වෙද්දී කොතරම් වෙර යොදා පිහිණුවත් කොටුව පැත්තට එන්න බැහැ. ගැඹුරු මුහුදටම ඇදිල යනවා.’’ යැයි කියූ ඔහු පවසන්නේ ගාල්ල නගරය දෙසින් ගැඹුරු මුහුද දෙසට හදිසියේම හටගත් දියවැලක් හේතුවෙන් තමන්ට මේ අවස්ථාවේදී පිහිනාගත නොහැකි වූ බවයි. මොනව කරන්න ද කියලා හිතාගන්න බැහැ. කොටුව ළග තියෙන ඒවියන් පොමන්ට්ස් නමින් හඳුන්වන ගල් සහිත දූපතේ වැදුණොත් අපට තුවාලවනවා. මේ වෙලාවේ අපේ පිහිටට ආවේ දඩයමට අරගෙන ගිය තුවක්කුව. එහි ඉදිිපස කොක්ක ගල්වල හිරවෙන ආකාරයට විදලා ඒකේ එල්ලෙමින් ගොඩ බිම දෙසට හැකිතරමින් කිට්ටු කළා. ඔහු පවසන්නේ මෙලෙස හදිසියේ හටගන්නා දියවැල් හේතුවෙන් අවස්ථා ගණනාවක්ම මුහුදේදී තමන් අමාරුවේ වැටුණු බවයි. ‘‘ එක දවසක් ති‍්‍රකුණාමලයේ මුහුද යට කිමිදුම් කරමින් හිටියා. ජලය හොඳට පැහැදිලියි. අප දෙන්නෙක් අඩි සියයක් පමණ ගැඹුරේ හිටියේ. විනාඩි අටක කාලයක් පමණයි අපට රැඳී සිටීමට කාලය තිබුණේ. මේ අතර මට පෙනෙනවා මුහුදු පත්ලේ තැන තැන අඳුරු හෙවණැලි ගමන් කරන බවක්. මම එකවිටම උඩ බැළුවා. ඒක පුදුමාකාර දර්ශනයක් අධික විෂ සහිත ජෙලිෆිෂ් වර්ගයක් අපේ හිසට ඉහළින් ගමන් කරනවා. මොවුන් අති විශාලයි. එක් සත්ත්වයෙක් අඩි වර්ග අඩි 200 ක් පමණ විශාලත්වය ඇති කුඩා කාමරයක් වගේ. මේ සත්තු දහස් ගණනක් අපේ හිසට ඉහළින් පියඹා යනවා. මම හිතුවා එදානම් මොනවා හරි වේවි කියලා. තව විනාඩි දෙකතුනකින් අපි ඉහළට යන්න පටන් ගන්න  ඕනෑ. එසේ නොවුණහොත් අපිට මියයන්න වෙනවා. ඉහළට යන්න ගන්නා උත්සාහයේදී අර සතකුගේ ගෑවුණොත් ඒත් මරණය සිදුවන්න ඉඩ තිබෙනවා. මේ නිසා අප කළේ සතුන් ගමන් කරමින් සිටින දිශාවට ප‍්‍රතිවිරුද්ධ දිශාවට පිහිනාගොස් ඔවුන් රංචුව අවසන් වූ විට ඉහළට ආවා. ’’ චතුර කුඩච්චි පවසන්නේ මෙවැනි දර්ශන දැකගැනීමට නම් මුහුදු පත්ලේ කිමිදීම අත්‍යාවශ්‍ය බවයි. ලබන සතියේ : මසුන් දඩයමේ යද්දී බිහිසුණු මිනී මෝරකුට කොටුවෙයි.
සජීව විජේවීර
දිය යටදී හමුවූ  විශාල ජෙලිෆිෂ් විශේෂයකි කුඩච්චි පිහිනුම් පුරුදු වූ ගාල්ලේ පැරණි ජැටිය ගාලූ මුහුද චතුර කුඩච්චි