මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහිව මුස්ලිම් කාන්තා සංවිධානවලින් අවුරුදු 40 ක පමණ සිට සෙමෙන් සෙමෙන් නැඟුණු හඬ දැන් උච්ච වී තිබේ. ඒ හඬ යටපත් කිරීමට විවිධ මෙහෙයුම් දියත් වන බව මුස්ලිම් කතුන්ගේ විවේචනයයි. කළ යුත්තේ කුමක්ද විශේෂාංගයෙන් අද සාකච්ඡා කෙරෙන්නේ මුස්ලිම් කතුන්ගේ ඒ ඉල්ලීම් පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් අද රටට කරුණු කියන්නේ නීතිඥ අර්මිසා ටීගල් ය. මුස්ලිම් පුද්ගල නීති සංශෝධනය කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමේ (MPLRAG) ප්‍රබල ක්‍රියාකාරිනියක වන අර්මිසා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිනියකි.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය 1951 දී සම්මත වූ පනතකි. ඊට පෙර තිබුණේ 1929 දී සම්මත කළ මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනතයි. මෙය යටත් විජිත සමයේ පැනවූ නීතියකි. එයට පසුබිම සැලසුණේ මොහොමඩියන් කෝඞ් නමින් ලන්දේසි සමයේ ඇති කළ නීතියෙනි. එය ලංකාවට පැමිණියේ එකල බටාවියා නමින් හැඳින්වූ වර්තමාන ඉන්දුනිසියාවෙනි. වර්තමානයේ ක්‍රියාත්මක 1951 සම්මත කළ නීතියට මූලික අඩිතාලම වැටී තිබෙන්නේ ඒ මොහොමඩියන් කෝඞ් එකෙනි.

දැනට ක්‍රියාත්මක නීතිය ධනාත්මක නීතියක් නොවන බවට මේ නීතිය සම්මත වූ යුගයේ සිටම විවේචන එල්ලවී තිබිණ. එහෙත් මේ නීති සංශෝධනය විය යුතුය යන හඬ නැඟෙන්නේ දැනට අවුරුදු 40 ක පමණ සිටය. මේ නීති සංශෝධනය සඳහා 1973 දී එවකට පැවැති ආණ්ඩුවෙන් ෆාරුක් කොමිසම පත් කළත් නීතිය සංශෝධනය නොකෙරිණි. අනතුරුව 2009 දී මිලින්ද මොරගොඩ අධිකරණ අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේය. ඒ කමිටුව එදා සිට 2018 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වී තිබේ. එහෙත් 2017 තෙක් ඒ කමිටුවෙන් වාර්තාවක් ඉදිරිපත් කළේ නැත. මුස්ලිම් කාන්තාවන්ගේ හා ඔවුන්ගේ සංවිධානවලින් නැඟුණු හඬ හමුවේ ඒ කමිටුව තම වාර්තාව ඉදිරිපත් කළේ 2018 ජනවාරි මාසයේ දී ය. එහෙත් එහි සඳහන් නිර්දේශ සියල්ල කමිටු සාමාජිකයන් සියලු දෙනාගේ ඒකමතික තීන්දුවකින් කළ නිර්දේශ නොවේ. සරලව කිවහොත් ඒ කමිටුව දී තිබෙන්නේ බෙදුණු තීන්දුවකි.

දැනට තිබෙන මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහය සඳහා අදාළ කාන්තාවගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට ක්‍රමවේදයක් නැත. විවාහ සහතිකයේ ඇයගේ අත්සන තැබීමටද තැනක් නැත. රටේ සාමාන්‍ය නීතිය යටතේ විවාහ වන දෙදෙනාම විවාහ සහතිකයෙහි අත්සන් කළ යුතුය. ඉන් කියැවෙන්නේ ඒ දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් විවාහ වන බවය. ඒ නීතිය යටතේ දෙපැත්තේ සාක්ෂිකරුවන් දෙදෙනෙක්ද අත්සන් කරති. එහෙත් මුස්ලිම් විවාහ නීතිය යටතේ මනාලියගේ කැමැත්ත අකැමැත්ත නොවිමසයි. ඇයට එය කීමටද ඉඩක් නැත. ඇයගේ විවාහය වන්නේ ඇයගේ කැමැත්ත මත නොව අන් අයගේ කැමැත්ත මතය. ඇය අකැමැති වුවත් ඒ විවාහය සිදුවෙයි. රටේ සාමාන්‍ය නීතිය යටතේ විවාහ විය හැක්කේ අවුරුදු 18 පිරුණු අයටය. එහෙත් මුස්ලිම් විවාහ නීතිය යටතේ අවුරුදු 18 ට අඩු දැරියන් පවා ඒ දැරියන්ගේ කැමැත්තකින් තොරව විවාහ කරවීමට වැඩිහිටියන්ට හැකියාව ලැබී තිබේ.

අවුරුදු 35-40 කාන්තාවන්ගේ විවාහ වුවද සිදුවන්නේ එලෙසිනි. තීරකයා වන්නේ තමා නොව තාත්තා, මාමා හෝ වැඩිහිටි පිරිමියෙකි. මුස්ලිම් විවාහ නීතියෙහි තිබෙන අනෙක් බරපතළ කාරණය වන්නේ පුරුෂයාට බහුවිවාහ කර ගැනීමට නිදහස හා අයිතිය ලබාදීමය. එක් පුරුෂයකුට කාන්තාවන් හතර දෙනකු විවාහ කරගත හැකිය. එක් විවාහයක් කරගෙන සිටින පුද්ගලයකු තවත් විවාහ එකක් දෙකක් හෝ තුනක් කරගන්නේ නම් ඒ සඳහා ඒ වන විට ඔහු සමග විවාහ වී සිටින අනෙක් බිරියන්ගෙන් කැමැත්ත ගතයුතු නොවේ. ඔවුනගේ අකැමැත්ත මත වුවද ඔහුට බහුවිවාහ කරගත හැකිය. දැනුම් දීමක් කළ යුතු බව නීතියෙහි සඳහන් වුවද එවැන්නක්ද සිදු නොවේ. තම සැමියා තමන්ට අමතරව තවත් දෙතුන් දෙනකු සමග විවාහ වී සිටින බව බිරිය දැනගන්නේ සැමියාගෙන් නොව සමාජයෙනි. ඇතැම් විට අනෙක් විවාහයේ බිරිය හා දරුවන් නඩත්තු නොකරන විට ඔවුහු තම සැමියා හා පියා සොයා ගෙන එති. සැමියා බහු විවාහකයකු බව තවත් බිරියක් දැනගන්නේ එවිටය. තම සැමියා අසල්වැසි කාන්තාව විවාහ කරගතහොත් ඇය ඒ බව දැනගන්නේ පෙරදා නින්දට ගොස් පසුදා උදේ අවදි වී අසල්වැසි කාන්තාව සමග කතා කරන විටදීය.

අනෙක් බරපතළ කාරණය වන්නේ විවාහය ලියාපදිංචි කරද්දී සැමියා මීට පෙර විවාහවී සිටීද ඒ කී දෙනෙකු සමග දැයි නොවිමසීමය. මෙය ඔබගේ පළමු විවාහයද නැතිනම් දෙවැනි තුන්වැනි හෝ සිව්වැනි විවාහය දැයි නොවිමසයි. ඒනිසා බහු විවාහ කරගත් මුස්ලිම් පිරිමින් කී දෙනෙක් රටේ සිටිත්දැයි කිසිවෙක් නොදනිති. පිරිමියාට තිබෙන අයිතිය හා නිදහස මුස්ලිම් කතුන්ට නැත.

විවාහය සම්බන්ධ අනෙක් බරපතළ කාරණය වන්නේ අවුරුදු 12 ට අඩු දැරියන්ද විවාහ කරවීමය. ඒ සඳහා කාති (Quazi) උසාවියේ අවසරය ගත යුතුය. එය මහේස්ත්‍රාත් අධිකරණයක් සතු බලය තිබෙන ආයතනයක් නොවේ. එය ඇත්තෙන්ම සමථ මණ්ඩල ක්‍රමයකි. එහි නියෝජිතයන් එනම් කාතිවරුන් පත්කරන්නේ අධිකරණ සේවා කොමිසමෙනි. හොඳ ගතිගුණ තිබෙන මුස්ලිම් පිරිමින් පමණක් පත්කළ යුතු බව නීතියේ සඳහන් වෙයි. එසේ පත්කරන පුද්ගලයන්ගේ අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් සොයා නොබලයි. ඇත්තෙන්ම ඒ පත් කිරීම් සම්බන්ධයෙන්ද දැන උගත් මුස්ලිම් ගැහැනු පිරිමි දෙපිරිසටම බරපතළ ප්‍රශ්න තිබේ. ඒ කෙසේ වුවත් අවුරුදු 12 ට අඩු දැරියන් විවාහ කරවීමට කාතිගේ අවසරය ගත යුතුය කීමෙන් අදහස් වන්නේ අවුරුදු 12 ට අඩු දැරියන්ටත් විවාහ විය හැකි බවය. නොඑසේ නම් එතරම් ළාබාල දැරියනුත් විවාහ කරවිය හැකි බවය. එයද බරපතළ ප්‍රශ්නයකි. ඒ වයසේ දැරියක් ළදරුවකු පෝෂණය කරන්නේ කෙසේද යන්නට පෙර අප සිතිය යුත්තේ ඒ වයසේ දැරියකට දරු ගැබක් දරාගත හැකිද යන්නය. මේ තොරතුරුවලින් අනාවරණය වන්නේ මුස්ලිම් විවාහ නීතියෙන් වැඩිහිටි මානව අයිතීන් පමණක් නොව ළමා අයිතිවාසිකම්ද උල්ලංඝනය වී තිබෙන බවය. ඒ නීතිය මුස්ලිම් කාන්තාවන්ට හා දැරියන්ට මානුෂිකව නොසලකන බවය. සරලව කිවහොත් එය අන්ත අමානුෂික නීතියක් බවය.

දික්කසාදය සම්බන්ධයෙන් පිරිමින්ට අදාළ වන්නේ තලාක් (Thalaq) ක්‍රමයයි.  මාස තුනක් පිට පිට කාති උසාවියට පැමිණ තමාට දික්කසාදය අවශ්‍ය බව කාති හමුවේ ප්‍රකාශ කළ යුතුය. ඒ ප්‍රකාශය කළ යුත්තේ බිරිය ඉදිරියේදීය. දික්කසාද වන්නේ ඇයි දැයි හේතු දැක්විය යුතු නැත. එහිදී සැමියාගේ අදහසට හෝ කැමැත්තට විරුද්ධ වීමේ අයිතියක් හෝ නිදහසක් බිරියට නැත. ඇය කළ යුත්තේ බලාගෙන සිටීම පමණකි. මාස තුනක් කල් දෙන්නේ සැමියාගේ තීරණය වෙනස් වෙනවාදැයි බැලීමටය. නැතිනම් සැමියාගේ තීරණය වෙනස් කර ගැනීමටය. දික්කසාදයක් අපේක්ෂා කරන බිරියට තිබෙන්නේ වෙනත් ක්‍රමයකි. එය(Fasah) නමින් හැඳින්වෙයි. සැමියා දික්කසාදය අවශ්‍ය ඇයි දැයි හේතු දැක්විය යුතු නැති වුවත් බිරිය එයට හේතු දැක්විය යුතුය. එසේම ඇය කියන හේතු සත්‍ය බව ඔප්පු කිරීමට සාක්ෂිකරුවන් දෙදෙනකුවත් කැටුව යා යුතුය. ඒ ක්‍රම දෙක එනම් තලාක් හා ෆෂා නීතියේ සඳහන් දික්කසාද ක්‍රම දෙකයි. ඊට අමතරව නීතියේ නැති ක්‍රම ද පවතී.(Khula) හා මුබාරත්  (Mubarath) ඉන් ක්‍රම දෙකකි. කුලා ක්‍රමය යටතේ හේතු නොදක්වා දික්කසාදයක් ඉල්ලීමේ හැකියාව බිරියට තිබේ. එහිදී බිරිය සැමියාට ගෙවීමක් කළ යුතුය. ඉන් අදහස් වන්නේ දික්කසාදය අවශ්‍ය නම් බිරිය එය මිලදී ගත යුතු බවය. මුබාරක් ක්‍රමය යටතේ දෙපාර්ශ්වයේම වුවමනාව මත කාති උසාවියට ගොස් දික්කසාදය ලබාගත හැකිය.

එහෙත් මුස්ලිම් දිස්කසාද වැඩි ගණනක් වන්නේ ඒ ක්‍රමය මත නොව තලාක් ක්‍රමය යටතේය. තලාක් ක්‍රමය යටතේ සැමියා බිරියට වන්දියක් ගෙවිය යුතුය. ෆෂා ක්‍රමය යටතේ සැමියා බිරියට වන්දි ගෙවිය යුතු නොවේ. ඒ නිසා ඒ ගෙවීමෙන් ගැලවීම සඳහා ඇතැම් පිරිමි බිරියට ෆෂා දික්කසාදයකට යන්නැයි බල කරති. තර්ජනය කරති. පවතින විවාහ හා දික්කසාද නීතිය යටතේ කාති උසාවියේ හෝ වෙනත් කිසිම තනතුරක් කාන්තාවන්ට දැරිය නොහැකිය. ඒ සෑම ආයතනයකම සෑම තනතුරක්ම දැරිය හැක්කේ පිරිමින්ට පමණකි. මුස්ලිම් කාන්තාවන්ට මේ තත්ත්වය උදා කර තිබෙන්නේ රටේ පවතින නීතියෙනි.

එහෙයින් මේ අතිඅමානුෂික හා අප ජීවත් වන මේ දියුණු යුගයට නොගැළපෙන මේ නීති වෙනස් කළ යුතු බව අපේ ස්ථාවරයයි, ඉල්ලීමයි, වුවමනාවයි. එහෙයින් මතු දැක්වෙන ලෙස මුස්ලිම් විවාහ හා දික්කසාද නීති වෙනස් කරන්නැයි අපි රජයට යෝජනා කරමු, බල කරමු. රටේ අනෙක් පුරවැසියන්ට මෙන්ම මුස්ලිම් අයටද විවාහයට ඉඩ දිය යුත්තේ වයස අවුරුදු 18 න් පසුවය. අවුරුදු 18 ට පෙර විවාහ වීම මුස්ලිම් අයටද තහනම් කළ යුතුය. අවුරුදු 18 න් පහළ අයට කිසිම හේතුවක් මත විවාහ වීමට ඉඩ නොදිය යුතුය. එසේම මුස්ලිම් පිරිමින් සේම මුස්ලිම් කාන්තාවන්ටද ක්වාසි (Quazis) වරියන්, ක්වාසි මණ්ඩල සාමාජිකාවන් ලෙස පත්කළ යුතුය. එසේම විවාහ රෙජිස්ට්‍රාර්වරියන් ලෙස මුස්ලිම් කාන්තාවෝද පත්කළ යුත්තාහ. එසේම ජුරි සභිකවරියන් සහ රෙජිස්ට්‍රාර්වරියන් ලෙස පත්වීමට මුස්ලිම් කාන්තාවන්ටද ඉඩ දිය යුතුය. ඒ සඳහා අවශ්‍ය පරිදි පවතින නීති සශෝධනය කළ යුතුය. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය ස්ත්‍රී-පුරුෂ බේදයකින් තොරව සැමට එකාකාරිව ක්‍රියාත්මක කළ යුතුය. ස්ත්‍රී-පුරුෂ හෝ නිකාය මත පදනම්ව පිරිසකට වාසිවන ලෙසත් තවත් පිරිසකට අවාසිවන ලෙසත් නීති ක්‍රියාත්මක නොකළ යුතුය.

මුස්ලිම් විවාහවලදී මනාලයා සේම මනාලියද විවාහ සහතිකයේ අත්සන් කළ යුතුය. විවාහයට අදාළ සියලු ලියකියවිලිවලට මනාලයාගේ සේම මනාලියගේ අත්සන ද ගත යුතුය. අවුරුදු 18 ට වැඩි සෑම මුස්ලිම් කාන්තාවකටම ස්වාධීනත්වය හා ස්වාධීනව තීන්දු ගැනීමේ අයිතිය දිය යුතුය. එසේම විවාහයකට එළඹීමේ දී පියා හෝ මාමා වැනි කිසිදු පිරිමි ඥාතියකුගේ හෝ ක්වාසිවරයකුගේ අවසරය අවශ්‍ය බවට දැනට තිබෙන නීති අහෝසි කළ යුතුය. බලෙන් විවාහ කරවීම බරපතළ දඬුවම් ලැබෙන වරදක් කළ යුතුය. එසේම විවාහය නීත්‍යනුකූලව වලංගුවීම සඳහා ලියාපදිංචිය අනිවාර්ය කිරීම ද කාලීන අවශ්‍යතාවකි. බහුවිවාහ සඳහා අවසර දිය යුත්තේ සුවිශේෂී තත්ත්වයන් මත සාධාරණ හේතු යටතේය. එසේම සියලු පාර්ශ්වවල අවසරය අනුමැතිය හා කැමැත්ත ලබා ගැනීම එහිදී අනිවාර්ය කොන්දේසියක් කළ යුතුය. එසේම බහු විවාහය සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීම අනිවාර්ය කිරීමද යුගයේ අවශ්‍යතාවකි. තලාක් සහ ෆෂා ක්‍රම යටතේ දික්කසාදය ලබාගැනීම සඳහා කොන්දේසි පැනවිය යුතුය. දික්කසාදයක් ලබාගැනීමට සැමියාට මෙන්ම බිරියටද තිබිය යුත්තේ එක ක්‍රමයකි. එහි ක්‍රියාපටිපාටි සේම අභියාචනා ක්‍රියාවලියද දෙපාර්ශ්වයටම සමාන විය යුත්තේය. විකල්ප ලෙස මුබාරක්  (Mubarath) සහ කුලා (Khula) ආකාරයේ දික්කසාද ක්‍රම ද නීතියෙන් පිළිගත යුතුය. අවසාන වශයෙන් දෑවැදි ඉල්ලීම හා ගැනීමද නීතියෙන් තහනම් කළ යුතුය. ත්‍යාග හා තිළිණ දෑවැදි ලෙස නොසැලකිය යුතුය. මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය විය යුත්තේ එලෙසිනි. මුස්ලිම් කාන්තාවන්ට හා දැරියන්ට මානව අයිතිවාසිකම් භුක්ති විඳීමට ලැබෙන්නේ නීති එලෙසින් සංශෝධනය කිරීමෙන් පමණකි.

අපේ මේ ඉල්ලීම් හා යෝජනා සම්බන්ධයෙන් ඇතැම් මුස්ලිම් පිරිමින් කියන්නේ ඒ තරම් නිදහසක් හා අයිතිවාසිකම් භුක්ති විඳීමට  සුදුසු මට්ටමකට ලංකාවේ මුස්ලිම් කාන්තාවන් දියුණු වී නැති බවය. එය පුරුෂාධිපත්‍යය මත පිහිටා කරන බොළඳ, මෝඩ හා හිස් තර්කයකි. කාන්තාවන්ට තිබෙන ප්‍රශ්නවලට සවන් දීමට කවුරුත් වැඩි කැමැත්තක් නොදැක්වීම මුස්ලිම් සමාජයේ පමණක් නොව සිංහල හා දෙමළ සමාජයේද පවතින තත්ත්වයකි. එහෙත් ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ පවතින්නේ බරපතළ තත්ත්වයකි. තීරණ ගන්නා තැන්වල සිටින පුද්ගලයන් කාන්තා ප්‍රශ්නවලට මූලිකත්වයක් නොදීම මේ රටේ හැමතැනකම තිබෙන රෝගයකි. අප කියන්නේ කාන්තා ප්‍රශ්නවලට කාන්තා කටයුතු අමාත්‍යාංශය ද ප්‍රමුඛත්වයක් නොදෙන බව ය. එයින් පැහැදිලි වන්නේ ඔවුනට වෙනත් ප්‍රමුඛතා තිබෙන බව සහ කාන්තා ප්‍රශ්න විසඳීමට දක්වන උදාසීන ස්වභාවයයි. කාන්තා ප්‍රශ්න නොසලකා හරින ස්වභාවයයි. මුස්ලිම් කාන්තා හා ළමා ප්‍රශ්න සම්බන්ධයෙන් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට ළමා හා වනිතා කටයුතු අමාත්‍යාංශය සේම රජය ද මෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අපට සිදුවෙයි.

මුස්ලිම් දැරියන්ට හා කාන්තාවන්ට ගෙදරිනුත් සමාජයෙනුත් රජයෙනුත් සහනයක් නැති විට ඔවුන් වැටී සිටින්නේ දෙවැනි නොව තෙවැනි පන්තියේ පුරවැසියන් ගණනට ය. හාස්‍යජනක කාරණය වන්නේ 18 වැනි සියවසේවත් නොතිබුණු මේ ඇතැම් ලක්ෂණ පවත්වාගෙන යන්නට 21 වැනි සියවසේදීත් මාරාන්තිකව සටන් කිරීම ය. ප්‍රධාන ප්‍රවාහයේ සිටින දේශපාලන නායකයන් මුස්ලිම් කාන්තාවන්ගේ හඬට සවන් නොදෙන්නේ තම ඡන්ද පදනම් රැක ගැනීමට බව දැන් සමස්ත රටම දන්නා කරුණකි. මුස්ලිම් කාන්තා ප්‍රශ්නවලට විසඳුම් දුන්නොත් බලය ලබාගැනීම හා බලය රැක ගැනීම ප්‍රශ්නයක් වනු ඇතැයි ප්‍රධාන දේශපාලන පක්ෂ කල්පනා කරයි. ඡන්ද බලය තිබෙන්නේ මුස්ලිම් පිරිමින්ට පමණකැයි ඒ දේශපාලන නායකයන් සිතනවා විය හැකිය. මුස්ලිම් කාන්තාවන් වෙතින් මෙතරම් ප්‍රබල හඬක් නැඟෙමින් පැවතිය දී නැති ප්‍රශ්න ඇති කිරීමට හේතුවන සහ තිබෙන ප්‍රශ්නවලට සැබෑ විසඳුම් නොලැබෙන නීති සංශෝධන කීපයකට ඇමැති මණ්ඩල අනුමැතිය දී තිබෙන්නේ ඒ වැරැදි අවබෝධය මත පිහිටා විය යුතුය. ඇස් බැන්දුම් හා බටර් ගෑමෙන් ප්‍රශ්න නොවිසඳෙන බව ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන නායකයන් සේම මුස්ලිම් ජනතා නියෝජිතයෝද තේරුම් ගත යුත්තෝය.

ගුණසිංහ හේරත්