dh

 

ගැට කපන්නන්ගේ ලෝකයේ සිටින පැරැණිතම සාමාජිකයකු ලෙස සැලකෙන්නේ ඔහුය. ගැට කපන්නන්ගේ පමණක් නොව ගැට කපන්නියන්ගේ ලෝකයේ කිරුළු නොපළන් රජෙක් ලෙස ද හැඳින්වෙන මේ පුද්ගලයා බස්වල ගමන් කරන මගීන්ගෙන් උස්සා ඇති පොකට් ගාන කීමට ඔහුටවත් මතකයක් ඇත්තේම නැත. ඒ තරමටම ඔහු පොකට් ගසා ඇත.

 


දශක තුනකට ආසන්න කාලයක් කැට කපා (පොකට් ගසා) ඇති ඔහු දැන් ජීවිතයේ මැදි විය පසු කරමින් සිටියි.


ගැට කපන්නන් හා ගැට කැපීමේ නිරතව සිටින කාන්තාවන් පවා හඳුන්වන්නේ ”මොනරා” යන අන්වර්ථ නාමයෙනි.


”සර් මම ක්ලීන් එකට අඳින පළඳින හින්දා තමා ගැට කපන බජාර් එකේ කොල්ලෝ කෙල්ලෝ මට ”මොනරා” කියන්නේ. අන්කල් හැට පැන්නත් තවම කොල්ලා වාගේනේ කියා උන් සේරම මට කියනවා. කතාව ඇත්ත සර්. මට දැන් හැටත් පැනලා. ඒත් මම හැට පැනපු කෙනෙක් කියලා එක පාරටම කියන්න බැහැනේ සර්.”

 

1


ගැට කැපීමට ගොස් කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට කොටුවූ ගැට කැපීමේ සක්විත්තෙක් ලෙස සැලකෙන මොනරා පවසා ඇත.
හැට පැනලා හොට බිම ඇන ගෙන සිටියත් කරගෙන ආ රස්සාව ඉඳහිට හෝ කරන්න සිතුන අවස්ථාවක මොනරා බස් එකකට නගින්නේ කාගේ හෝ පර්ස් එකක් උස්සා ගතමනාවක් සොයා ගෙන යාමටය.


කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමකට මොනරා කොටු වන්නේ ටික කාලයකට පස්සේ බස් එකක පොකට් ගැසීමට ගිය අවස්ථාවකය.


කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට මහතාගේ විශේෂ උපදෙස් මත කැට කපන්නන් ඇල්ලීමේ මෙහෙයුමක් ද ආරම්භ කර ඇත.
ගැට කපන්නන්ගේ ලෝකය ගැන මොනරා බොහෝ දේවල් දන්නේ මේ රස්සාව කරන පැරැණිතම සාමාජිකයකු නිසාය.


ගැට කැපීම ජීවිකාව කරගෙන යන මොනරා හොඳ ගෙයක් දොරක් හදාගෙන බිරිය හා දරුවන් සමග හොඳින් ජීවත් වෙයි.
දරුවන් ද හොඳ අධ්‍යාපනයක් ලබා රැුකියාවල නිරතව සිටින බව මොනරා පොලිසියට පවසා තිබේ.


මේ සියලූම හපන්කම් කළේ ගැට කපා උපයාගත් මුදලින් බව මොනරා පවසයි.


පොකට් එක නැතුව එහි අයිතිකරු සුසුම් හෙළුවත් කඳුළැලි සැලූවත් ඔහුට ඒ සුසුම් කඳුළු ගැන වගක්වත් නැත.

 

2


පොකට් එකේ ඇති මොනර කොළ දැකීමෙන් සිතට ඇති වන සතුටින් ඉපිල යන නිසා එය අහිමි වීමෙන් සුසුම් හෙළන කඳුළැලි සලන අය ගැන සිතන්නට ඔහුට වේලාවක් ද නැත.


කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ සහ කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලලිත් සිලෝගම යන මහත්වරුන් ද මෙම සැකකරුගෙන් ප‍්‍රශ්න කර කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ගැවසෙන ගැට කපන්නන් ගැන බොහෝ තොරතුරු හෙළි කරගෙන ඇත.


මම ඉගෙන ගත්තේ අටේ පන්තියට විතරයි. ටික කාලයක් කොල්ලොත් එක්ක රස්තියාදු ගහමින් ඉඳලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. තුනපහ පැකට් කරලා විකුණන එක තමා ඒ බිස්නස් එක. වැඩි කාලයක් ඒ බිස්නස් එක කරගෙන යන්න බැරිව ගියා, පාඩු වුණා. ජීවත් වෙන්න විදිහක් නැති නිසා හොරකමේ යන්න පටන් ගත්තා. ඒකත් වැඩි කාලයක් කරගෙන යන්න බැරිව ගියා. පොලිසියට මාට්ටු වුණා. හිරේ ගියා.


හිරේ ඉද්දි වනාතමුල්ලේ මනුස්සයෙක් හඳුනා ගත්තා. මිනිහා පොකට් ගහලා පොලිසියට අහු වෙලා හිරේ වැටුණ කෙනෙක්. මල්ලි එළියට ගියාම අපි හම්බ වෙමු. මම උඹට මම දන්න සාස්තරේ උගන්වන්නම්. දවසකට හොඳ ගාණක් හොයා ගන්න පුළුවනි කිව්වා. හිරෙන් නිදහස් වෙලා මම ඒ මනුස්සයා හොයාගෙන ගියා. එයා මට කලින් නිදහස් වෙලා ගිහින් තිබුණා. ඒ මනුස්සයා මට පොකට් ගහන හැටි ඉගැන්නුවා. එතකොට මගේ වයස අවුරුදු 18ක්වත් නැති තරම්.


පොකට් ගැසීමේ රස්සාවට අත්පොත් තැබූ හැටි මොනරා පොලිස් නිලධාරීන් සමග පවසා ඇත්තේ එසේය.


දහ දෙනෙක් විතර මගෙත් එක්ක ගැට කපන්න පුරුදු වුණා. කෙල්ලෝ කට්ටියකුත් ඒ අතර හිටියා. ඒ කෙල්ලෝ දවල්ට බස්වල ගිහින් ගැට කපනවා. ?ට ගණිකාවන් විදිහට වැඩ කරනවා. ගැට කපන්න පළපුරුදුකම් ඇති අය එක්ක නවකයන් වන අපව එක්කගෙන බස්වලට ගිහින් මේ වැඬේ පුරුදු කරනවා, යැයි මොනරා ගැට කපන්න පුරුදු පුහුණු කරන ආකාරය ගැන ද හෙළි කළේය.


පරණ ගැට කපන සාමාජිකයෙක් එක්ක තමා අලූත් කෙනෙක් ගැට කපන්න පිටත් කරන්නේ. මුලින්ම පරණ ගැට කපන්නා බස් එකේ ඉන්න මගියකුට හේත්තුව දමා පොකට් එක උස්සගෙන ඉන්න හැටි බලාගෙන ඉන්න  ඕනෑ. පොකට් එක ඉස්සුවාට පස්සේ බස් එකෙන් හිමින් සීරුවේ බැස යන විදිහක් තියෙනවා. ඒවත් ඉගෙන ගන්න  ඕනෑ. ටික කාලයක් ගියාට පස්සේ තමා තනියම ගැට කපන්න යන්නේ.

 

3


මගියාගේ ළඟට ගිහින් පිටිපස්සෙන් හේත්තුව දානවා. ඊළඟට ඇඟිලි දෙකක් පිටුපස්සේ තියන සාක්කුවට හිමින් සීරුවේ අත දමා ඇඟිලි දෙකෙන් පර්ස් එක උස්සනවා. මේ වැඬේට හොඳ පුහුණුවක් තියෙන්න  ඕනෑ. ඒ වගේම හොඳ ඉවසීමක් තියෙන්නත්  ඕනෑ. නැත්නම් මේ වැඬේ කරන්න අමාරුයි. දිගටම පොකට් උස්සන කොට ඒ ගැන හොඳ පුහුණුවක් ලැබෙන්නේ. හොඳ පුහුණුවක් තියන කෙනෙකුට තුන් හතර දෙනෙක් ඉන්න බස් එකක වුණත් පොකට් ගහන එක එච්චර අමාරුවක් නෙමේ. මහත්තයෝ ඒක බොහොම සිම්පල් දෙයක්, යැයි මොනරා නමින් හැඳින්වෙන ගැට කපන සක්විත්තා පවසා ඇතැයි කියන්නේ ඇඟට පතට නොදැනිය.


මාපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල යොදා ගනිමින් සාක්කුවල තිබෙන පොකට් උස්සන බව ද ඔහු පොලිසියට පවසා ඇත.


පොකට් ගසා අනුන්ට දුක් ගින්දර දී ජීවිතය සරි කර ගන්නා පොකට්කාරයන්ගේ පවා තොරතුරු ගැන ද මොනරා පොලිස් නිලධාරීන්ට කියා ඇත.


කාලයක ඉඳලා පොකට් ගහලා සැපවත් ජීවිත ගත කරන එවුන් මේ බජාර් එකේ  ඕනෑ තරම් ඉන්නවා. හොඳ ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන පවා අර ගත්තු එවුන් ගැන මම දන්නවා. උන් හොඳට කාලා බීලා දරු මල්ලොත් එක්ක ජීවත් වෙනවා. දිග කලිසම් අත් දිග කමිස ඇඳලා ටයි පටියක් එහෙම දාගෙන ගිහින් පොකට් ගහන එවුන් ද අපේ කණ්ඩායමේ ඉන්නවා.


සමහර එවුන් මේ ජොබ් එකට එන්නේ කුඩු ගහන්න සල්ලි හොයා ගන්න. උන්ට කිසිම ආත්මයක් නැහැ. ඒ කියන්නේ දියුණුවක් නැහැ. ඒත් පොකට් ගහලා හම්බ කරන සල්ලි අරපිරිමැස්මෙන් වියපැහැදම් කරලා ජීවිතය ගොඩ දාගත්තු මගේ ගෝලයෝ විතරක්  ඕනෑ තරම් ඉන්නවා. අපි කරන්නේ ලොකු වරදක් බව දන්නවා. දැන් මේකට පුරුදු වුණ එවුන්ට මේ ජොබ් එක අත හරින්න බැහැ. හිරේ විලංගුවේ කොච්චර වැටුනත් එළියට ආපු ගමන්ම ආයෙත් පරණ රස්සාවට බහිනවා.


අපේ එකෙක් හිරේ වැටුණාට අනිත් එවුන් ගැට කපලා හොයන සල්ලිවලින් කීයක් හරි හිරේ වැටුණු එකාගේ පවුලේ අයට දෙනවා. හිරෙන් එළියට එනකම් මේ විදිහට උදව් කරනවා, යැයි ද ගැට කපන්නා පොලිසියට පවසා ඇතැයි කියති.


ගැට කපන මොනරා කියන පුද්ගලයා පොලිසියට පවසා ඇති ආකාරයට ගැට කපන්නන් කණ්ඩායම සෙනසුරාදා හා ඉරිදා දිනවලට නිවාඩුය.


උත්සව කාලවලට පමණක් ඒ දවස් දෙකේ වැඩට බහින්නේ හොඳ ගතමනාවක් සොයා ගත හැකි නිසාය.


පුංචි බොරැුල්ලේ තැපැල් කන්තෝරුව ළඟට හැමදාම කට්ටිය එකතු වෙනවා. එහෙම එකතු වෙලා ඒ අයට වෙන් කර දී තියෙන බස් රූට්වලට පිටත්ව යනවා. එහෙම ගිහින් බස්වලට ගොඩ වෙලා වැඬේට බහිනවා. උදේ 11.00ට විතර ඉඳලා දවල් 2.00 විතර වෙන කම් වැඬේ කරගෙන යනවා. පර්ස් එකක හොඳ ගාණක් තිබුණොත් එතැනින් එහාට ආයෙත් පොකට් ගහන්න යන්නේ නැහැ. වැඬේ එතැනින්ම ක්ලෝස් කරනවා. එහෙම නැති වුණොත් තමා පර්ස් පහක් හයක් වුණත් උස්සන්න සිද්ධ වෙන්නේ, යැයි මොනරා නමැත්තා පවසයි.


පොලිස් නිලධාරීන් සමග ඔහු මෙසේ ද පවසා ඇතැයි කියති.


සමහර දවස්වලට අපිට බලාපොරොත්තු නොවුන විදිහට සල්ලි ලැබෙන අවස්ථා තිබෙනවා. එදාට හොඳ හෝටලයකට ගෑනියි දරුවොයි එක්ක ? කෑමට යනවා. මාසයකට දෙකකට සැරයක් පොකට් ගහන අපේ එවුන් කට්ටිය එකතු වෙලා හෝටලයකට එකතු වෙලා සාදයක් පවත්වනවා. හොඳට අරක්කු තමා එදාට බොන්නේ. ගැට කපා මාසයකට ලක්ෂයක් විතර හොයන එවුන් අපේ මේ බජාර් එකේ ඉන්නවා.


පොලිස් නිලධාරියෙක්: දවසේ එක් වෙලාවක් ගැට කපන්න තෝරා ගන්නේ ඇයි?


සැකකරු (මොනරා): උදේ 11.00-2.00 අතර තමා හුඟ දෙනෙක් බැංකුවලට යන්නේ එන්නේ. රෝහල්වලට ලෙඞ්ඩු බලන්න එහෙම වැඩිපුර යන්නේ. අන්න ඒ හින්දා රජයේ සේවක සේවිකාවන් ළඟ වැඩිපුර සල්ලි ගැවසෙන්නේ නැති බව අත්දැකීමෙන්ම දන්නවා. ලෙඞ්ඩු බලන්න යන අය නොයෙකුත් අවශ්‍යතාවන්ට වැඩිපුුර සල්ලි අරන් යනවා.


පොලිස් නිලධාරියා: බස් රියැදුරන් හා කොන්දොස්තරලා ගැට කපන එවුන්ට සපෝර්ට් කරනවා කියන කතාව ඇත්ත ද?


සැකකරු: අපෝ සර් අපිට ෆුල් සපෝර්ට් එක දෙන ඩ‍්‍රයිවර්ලා කොන්දොස්තරලා ඉන්නවා. පොකට් එකක් ගහලා හොඳ ගාණක් හොයා ගත්තොත් අපි ඒ දෙන්නාට රුපියල් 1,000ක් හෝ 2,000ක් දෙනවා. අන්න ඒ හින්දා සමහර ඩ‍්‍රයිවර්ලා කොන්දොස්තරලා අපට සපෝර්ට් කරන්නේ.


පොලිස් නිලධාරියා: ගැට කපන්න ගිහින් තමුන්ව අහු වෙලා නැති ද? හිරේ වැටිලා එහෙම නැති ද?


සැකකරු: මොකද නැත්තේ සර්,  ඕනෑ තරම් අහු වෙලා මිනිස්සුන්ගෙන් අම්බානකට ගුටි කාලා තියෙනවා. පික් පොකට් ගහන්නේ කොයි අතින් ද කියා අහලා ඒ අතේ ඇඟිලිවලට ගහලා කඩා දමා තිබෙනවා. සමහරු ඒ විදිහට ගහලා අත හරිනවා. තවත් සමහරු ගහන්නේ නැහැ. පොලිසියට බාර දෙනවා. හිරේ විලංගුවේ වැටෙනවට වඩා හොඳා මහත්තයෝ මිනිස්සුන්ගෙන් ගුටි කන එක. ඒ වේදනාව උහුලගෙන ඉන්න පුළුවනි. හිරේ විලංගුවේ වැටුනාම කාලයක් යනකම් අපා දුක් විඳින්න  ඕනෑ. ගෑනු දරුවෝ එක්ක ඉන්න තරම් සැපක් කොහෙන් ද මහත්තයෝ හිර ගෙවල්වල. හිරේ ඉන්න එවුනුත් අපට අල්ලාගෙන හොඳටම තඩි බානවා.


පොකට් ගැසීමට ගොස් මාට්ටු වීමට යන බව තේරුම් ගියොත් එයින් ගැලවීමට යොදන උපක‍්‍රම කිහිපයක් ගැන ද සැකකරු පොලිස් නිලධාරීන්ට හෙළි කර තිබේ.


මේ ඒ ගැන සැකකරු පොලිසියට කී කතාවයි.


පොකට් එක ඉස්සුවා කියා ඒ පොකට් එකේ අයිතිකාර මහත්තයාට තේරුම් ගිය බව දැනුනම අපි කරන්නේ ඒ පර්ස් එක බස් එක ඇතුළේම බිම අත හරිනවා. බිම අත හැරලා මෙන්න මහත්තයාගේ පර්ස් එක බිම වැටුණා කියා අහුලා දීලා ෂේප් වෙනවා. වැඩක් වැරැුදුනු බස් එකක ආයෙත් පොකට් ගහන්න යන්නේ නැහැ.


පොකට් උස්සන්න ගිහින් මාට්ටු වුණාම පිස්සු ද අපිට අනුන්ගේ පර්ස් උස්සන්න  ඕන නැහැ.  ඕන නම් තමුසෙලාටත් සල්ලි අපි දෙන්නම් කියා බය කරනවා. අපි ජැන්ඩියට ඇඳගෙන ඉන්නවා දැක්කාම හුඟ දෙනෙක් බය වෙනවා. නමුත් එහෙම කියා තම්බන්න බැරි අය ඉන්නවා. ඉමිටේෂන් බ්‍රේස්ලට් ඉමිටේෂන් මාල දාගෙන මේ වැඬේට යන්නේ. හුඟ දෙනෙක් හිතන්නේ ඒවා රත්තරන් කියා. මගීන්ව රවට්ටන්න තමා මේ වගේ උපක‍්‍රම යොදා ගන්නේ.


බස්වල පොකට් ගහන්න අපි තවත් හොඳ උපක‍්‍රමයක් යොදා ගන්නවා. සහායට යන ගෝලයා බස්  එකේ ෆුට්බෝඞ් එක අවහිර වෙන විදිහට ඉන්නවා. එතකොට බහින්න යන කෙනාට එක පාරටම බහින්න අමාරුයි. තෙරපුමක් ඇති වෙනවා. එතකොට පිටිපස්සෙන් ඉන්න එකා ඒ මගියාගේ පර්ස් එකට විදිනවා. මේ වැඬේට හොඳ පළපුරුද්දක් තියෙන්නට  ඕනෑ. නැත්නම් ඉතිං මාට්ටු. එතකොට අම්බානකට කන්න වෙනවා. ඒකෙ දෙකක් නැහැ.


පොලිස් නිලධාරියා: කොච්චර විතර පොකට් ගහලා තියනවා ද කියා තමුන්ට කියන්න පුළුවන්කමක් තියෙනවා ද?


සැකකරු: අවුරුදු විසි අටක් (28) විතර තිස්සේ ඉඳලා මේ රස්සාව කරනවා. අපේ සර් හිසේ කෙස් ගාණට වැඩිය පොකට් ගහලා තියනවා. මිනිස්සුන්ටයි පොලිසියටයි මාට්ටු වෙලා හිරේ විලංගුවේ තපින්න සිද්ධ වුණ ගණනවත් මට මතක නැහැ. හිරේ ඉඳලා එළියට ආව ගමන් ආයෙත් ඉතින් පුරුදු ජොබ් එකම පටන් ගන්නවා. මම විතරක් නෙවේ අපේ අනිත් එවුුනුත් එහෙමයි.


යමක් කමක් ඇති පවුල්වල සිටින ඇතැමුන් පවා මහලූ වියට පත්වූ මව හා පියා මහ මග දමා යන අවස්ථා මෙන්ම නිසි ලෙස සලකන්නේ නැතිව අන්ත අසරණව සිටින අනුවේදනීය සිදු වීම් ගැන අපි  ඕනෑ තරම් අසා ඇත්තෙමු.


ගැට කපන්නන් අතර පවතින අපූරු සබැඳියාවක් ගැන ද මොහු පොලිස් නිලධාරීන් සමග විස්තර පවසා ඇත.


පොකට් ගසන්නන් ඔවුන් සාස්තරේ ඉගැන්වූ අය සලකන්නේ ඔවුන්ගේ ගුරුවරුන් ලෙසය.


පොකට් ගහන අය වයසට ගිහින් කිසිම දෙයක් කර කියා ගන්න බැරිව අසරණ වුණාට ඔහුගෙන් ගුරු හරුකම් ලබාගත් ගෝලයෝ පොකට් ගසා හොයා ගන්න මුදලින් දවස් පතා රුපියල් 1,000ක් හෝ 2,000ක් ගෙනවිත් දෙනවා. ඔවුන් ඒකෙන් තමා ජීවත් වෙන්නේ. මටත් මගේ ගෝලයෝ හැමදාම හවසට ඇවිත් සල්ලි දීලා යනවා. මට එච්චර කරදරයක් නැහැ දරුවෝ රස්සා කරනවා. ඒත් ගෝලයෝ මට තවමත් සලකනවා. ඒ බජාර් එකේ හැටි මහත්තයෝ. උන් සාත්තරේ ඉගෙන ගත් මිනිහාට සලකනවා. දවසකට මගේ එක් ගෝලයෙක් රුපියල් 2,000ක් හෝ 3,000ක් දෙනවා.


පොකට් ගහලා හම්බ කරගෙන තට්ටු දෙකේ ගෙවල් ගහගෙන ඉන්න අය ගැනත් මම දන්නවා. ඒ වගේ කිහිප දෙනෙක් දැන් රස්සාවට ආයුබෝවන් කියා උන් කරන්නේ ගෝලයෝ දාලා ඒ වැඬේ කරන එක යැයි ද පොකට් ගහන සක්විත්තෙක් වන මොනරා නමින් ප‍්‍රකට පුද්ගලයා පවසා ඇතැයි ද දැන ගැනීමට ඇත.


කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට මහතාගේ විශේෂ උපදෙස් මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රොෂාන් ද සිල්වා සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කොටුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම යන මහත්වරුන් ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇත.


කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සමරසිරි, සැරයන් ලෙස්ලි (28746), කොස්තාපල්වරුන් වන වසන්ත (3264), සඳරුවන් (86645), රංජිත් (40746), පි‍්‍රයංකර (76812), සමීර (77029), උදාර (68188) සහ චානක (84039) යන මහත්වරුන් ද මෙම පරීක්ෂණවලට හවුල්වී තිබේ.


m