ගල්ඔය ජාතික වනෝද්‍යානය වල් අලින්ට පාරාදීසයකි. වැසි සමයට වනාන්තරයේ ඔවුන්ට ඇති තරම් ආහාර තිබේ. ක‍්‍රමයෙන් නියං සමය එළැඹෙද්දී සේනානායක සමුදුරේ ජලය අඩුවෙන්නට පටන් ගනියි. ජලය අඩුවෙන විට ඒ දිය සීරාව නිසා වැව් පිටියේ හොඳින් තණකොළ වැවෙන්නට පටන් ගනියි. සවස 4.00ට පමණ තණකොළ කන්නට වැව් පිටියට බසින අලි රංචු ඇති තරම් කුස පුරවාගෙන වැවට බැස ජලය බී සුවසේ සිටිති. සැන්දෑවේ සිට අලූයම තෙක් වැව් පිටියේ සරන අලින් දහවල් හිරුඑළිය සැර වෙද්දී වන වදිති. දිනක් නිල්ගල පැත්තෙන් බීඩි කොළ කඩන්නටත්, දඩයම් කරන්නටත් වනයට රිංගු පිරිසක් මකරය ආසන්නයට පැමිණ ඒ අසල සිටි අලි රංචුවක් බියට පත්කර එළවා දැමූහ. අලි රංචුව එකා පිට එකා දිව ගියහ. එසේ යන අතරතුර එක් ඇතින්නක් මඬේ එරිනි. ගොඩඑන්නට දරන සෑම වාරයක් පාසාම ඇතින්නට සිදුවූයේ තව තවත් මඬේ එරෙන්නටයි. මෙසේ දවසක් දෙකක් මඬේ එරී සිටි ඇතින්න හෙම්බත් වූවාය. මකරයේ ඇතින්නක් එරී සිටින බවට ගල්ඔය උයනේ ඉඟිනියාගල මූලස්ථාන කාර්යාලයට පණිවුඩයක් ලැබුණි. එවක උද්‍යාන භාරකරු වූවේ වීරසිංහ මහතාය. ඒ 1994 වර්ෂයේදීය. ”අපි නිල්ගල හරහා මකරෙට ගියා. ගිහින් ඇතින්නව නිරීක්ෂණය කරද්දී අපට තේරුණා ඇය ගැබිනි ඇතින්නක් බව. මඩ වගුරට කොට දාලා ලණු භාවිත කරලා නොයෙකුත් උපක‍්‍රම භාවිත කරලා ඇතින්න ගොඩගන්න උත්සාහ කළත් වැඩක් වුණේ නෑ. ඉන් පසු දින යුද හමුදා සෙබළ පිරිසකුත් සම්බන්ධ කරගෙන ඇවිත් බොහෝම අමාරුවෙන් ඇතින්නව ගොඩගත්තා. නමුත් ඒ වනවිටත් ඇතින්න පැත්ත වැටිලයි හිටියේ. කොතෙක් උත්සාහ කළත් ඇගේ ජීවිතයත්, කුස තුළ සිටිය පැටියත් බේරාගන්න බැරිවුණා. අනිත් සත්තුන්ට වගේ නොවෙයි අලි ඇතුන්ට දින ගණනාවක් නිරාහාරව ඉන්න අමාරුයි. අපි ඇතින්න ගොඩගන්න මකරෙට එන්න කලින් දඩයක්කාරයෝ එරිලා හිටපු අලියගේ නැට්ටේ කෙඳි විශාල ප‍්‍රමාණයක් ගළවගෙන ගිහින් තිබුණා. ඇත්තෙන්ම ඒවා තිරිසන් වැඩ. අලි කෙඳි යොදලා මුදු හැදීම. අතේ බැඳගෙන සිටීම වැනි දේ වලින් තමන්ට තියෙන කරදර, දෝෂ ආදිය දුරු වෙනවා කියලා මේ සමාජයේ මිථ්‍යා මතයක් තියෙනවනේ. අන්න ඒ නිසයි ඔය වගේ වැඩ කරන්නේ. වනසතුන් සහ වනාන්තරය රකින්නට ගිය චන්දරේ අයියා, වනාන්තරයේ නොයෙක් උපද්‍රවවලින් දිවි ගළවා ගත් වාර ගණන විශාලය. කුමන උපද්‍රවවලට මුහුණ දුන්නත් ඔහු අධෛර්යමත් වූයේ නැත. බැඳපු තුවක්කුවක් පත්තුවීමෙන් දිනක් ඔහුගේ ජීවිතය අනූනවයෙන් ගැළවුණේය.”ගල්ඔය උද්‍යානයේ තුවාල වුණු අලියකුට බෙහෙත් කරන්න පශු වෛද්‍ය නන්දන අතපත්තු මහත්තයයි, කුසුම්පාලයි, අධිකාරියි මමයි බරවපිටිය පැත්තට ගියා. මම තමයි ඉස්සරහින්ම ගියේ. දඩයක්කාරයෝ සත්තු මරන්න තුවක්කු බැඳලා තියෙන බව අප දන්නවා. ඒ නිසා දිග ලීයක් අරගෙන ඉස්සරහින් යන කෙනා තමන් ඉදිරියේ පොළොව කූරු ගාමින් තමයි යන්නේ. මොකද බැඳපු තුවක්කුවේ නූල පාර හරහා තමයි ඇදලා තියෙන්නේ. ඌරන්ට, මුවන්ට නම් අඩි එකහමාරක් දෙකක් උසින් තමයි තුවක්කුව බඳින්නේ. තුවක්කුව පත්තු වුණොත් සතාගේ ඔළුව, ඉදිරිපස ගාත් හෝ බෙල්ල ප‍්‍රදේශයට මූනිස්සම් වදිනවා. මනුස්සයකුට පත්තු වුණොත් දනිස් කඩලා යනවා. එහෙම වෙච්ච බොහෝ දෙනකුගේ එක කකුලක් කපන්න වෙච්ච අවස්ථා  ඕනතරම් තියෙනවා. ඉතින් මම එදා ලීය ගගහා ඉස්සරහින්ම ගියා. මේ විදිහට කැලේ මැදින් ටික දුරක් යද්දි ”ඩෝං” ගාලා වෙඩිල්ලක් පත්තු වුණා. මුළු පළාතම දුමෙන් වැහුනා. මගේ ලීය අටවපු තුවක්කුවේ නූලේ වැදිච්ච ගමන් තමයි පත්තු වුණේ. බැඳපු තුවක්කුවලින් බේරෙන්න තියෙන හොඳම ක‍්‍රමය තමයි ඒ විදිහට ලීයක් භාවිත කිරීම. නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්ෂ කේ.ඒ. අමරතුංග මහත්මයාගේ කාලෙදි, දවසක් එතුමා මටත්, වනජීවී නියාමක සරත් ද සිල්වාටත් ස්ථීර කම්කරු එම්.එම්. කරුණාරත්නටත් නියෝග කළා. පල්ලංඔය - දේවාලහිඳ ප‍්‍රදේශයේ විදුලි වැට ඉදි කිරීම සඳහා අදාළ මාර්ගයේ සලකුණු කරන්න කියලා. අපි තුන්දෙනා කැලේ මැදින් අඩි පාරවල් දිගේ අදාළ සලකුණු කිරීම් කළා. මෙහෙම ඉස්සරහට යද්දි ගෙරවුම් හඬක් ඇහුනා. තවත් විපරමින් බලද්දි ගස් සෙවණක ගල් කුලකට හේත්තු වෙලා අලියෙක් නිදි. අලින්ගේ නින්ද දෙයාකාරයකට සිද්ධ වෙනවා. එකක් තමයි හිටගෙන ගසකට හෝ ගලකට හේත්තු වෙලා නිදා ගැනීම. අනිත් ක‍්‍රමය තමයි පැත්ත පෙරලිලා නිදාගැනීම. පැත්ත පෙරලිලා නිදාගන්නකොට අපි කොට්ටයක් භාවිත කරනවා වගේ අලියත් එයාගේ ඔළුව උස් තැනකයි තියාගන්නේ. එක්කෝ උස් පස් කන්ඩියක නැතිනම් හුඹහක, එහෙමත් නැත්නම් ගස් මුල්වල. අලියා ඒ විදිහට නිදාගන්නේ හදිසියකට ඔලූව උස්සලා ඉක්මනින් නැගිටීම සඳහා. මිනිස්සු නිදාගන්නකොට ගොරවනවා වගේ අලිත් ගොරවනවා. ඒ ගෙරවුම් හඬ මීටර් 40ක් විතර ඈතට ඇහෙනවා. නිදාගෙන හිටියට නිතරම හොඬවැල එහාට මෙහාට හරවමින් ඉව අල්ලනවා. උදේ 9.00ට විතර ගස් සෙවණක නිදාගන්න අලියෙක් දවල් 11.00ට විතර තමයි අවදි වෙන්නේ. දවසක් අපි ඉතාමත් ආරක්ෂාකාරීව (ඉව නොදැනෙන්න, හුළං අත බලා) මීටර් 10ක් විතර නිදාගත් අලියෙක් ආසන්නයට ගියා. ගල් කීපයක් අලියා ළඟටම විසි කළත් අලියා ඇහැරුණේ නෑ. අපේ හඬ සහ ඉව දැනුනම තමයි ඌ ඇහැරුනේ. අපි ඒ වෙලාවේ හෙමිහිට මාරු වුණා. අලියගේ ඇස්වල පිහිටීම අනුව ඉදිරිය පැහැදිලිව පේන්නේ මීටර් 25ක පමණ දුරක් විතරයි. දෙපැත්ත නම් මීටර් 40ක් පමණ පේනවා. අලියා මිනිස්සු පසුපස එළවන්නේ පෙනීම පමණක් නිසා නොවෙයි. ඉවත් ඒ සඳහා උපයෝගී කරගන්නවා. අලියට හොඳට බඩ පිරෙන්න කන්න නම් ඌ දිනකට සැතපුම් 25ක පමණ දුරක් ඇවිදිනවා. එකම ප‍්‍රදේශයක වුවත් ඒ දුර ඇවිදිනවා. සාමාන්‍යයෙන් අලියකුට දිනකට තණකොළ හෝ ගස්වල කොළ අතු හොන්ඩර 20ක්වත්  ඕන. එදා අපි විදුලි වැට ගෙන යා යුතු මාර්ගය සලකුණු කරමින් දෙමටඇල්ල වැව ළඟට ආවා. අනික් දෙන්නා කැලේ මැද වැඩකරද්දි මම විදුලි වැට මාර්ගය බලන්න තවත් ඉස්සරහට ආවා. ඇවිත් දෙමටඇල්ල වැවේ ඉවුරේ දිරාගිය ගසක් ළඟ නතර වුණා. ඒ ගහේ නොපෙනෙන තැනක ලොකු බෙණයක හැංගිලා හිටපු ඌරු තඩියෙක් එක සැරේම මගේ ඉස්සරහට පැනගෙන ආවේ මට හිතන්නවත් වෙලාවක් ඉතුරු කරලා නෙවෙයි. ආපු වේගෙටම උගේ හොම්බෙන් මගේ කකුල් දෙකට ගැහුවත් එක කකුලකට විතරයි වැදුනේ. මම ඒ පාරට එතනම ඇදගෙන වැටුණා. එහෙම ගහලා මූ ආයෙත් බෙනේ පැත්තට දුවලා ආයෙත් හැරිලා ආවා. මමත් ක්ෂණිකව නැගිටලා එතන බිම තිබුණු තරමක් දිරච්ච පොලූ කෑල්ලක් අතට අරගෙන ඌරා එන වේගෙටම පැත්තකට පැනලා දෑත බදලා ගැහුවා. උගේ හොම්බට ”පටාස්” ගාලා වැදුනා. ඌ හඬතලාගෙනම දිව්වා. දුවලා ගිහින් කැලේට වැදිලා අතුරුදන් වුණා. මට තුවාල නොවුණත් කකුලේ පොඩි තැල්මක් තිබුණා.
සටහන සහ සේයා රූ - දිගාමඩුල්ල සමන් දිසානායක
ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 1 ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 2 ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 3 ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 4 ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 5   හිටපු අඩවි ආරක්‍ෂක දසනායක චන්ද්‍රසිරි