ශිලාවතුර මූදුතීරය අදත් මනස්කාන්තය. පුත්තලමේ සිට මන්නාරම දක්වා වූ ඒ අපූරු වෙරළේ සැඟවුණු අතීත රහස් අපමණය.

මන්නාරම් මූදු බොක්කේ ශිලාවතුර හා කොන්ඩච්චි අඩවිය එදා ප‍්‍රකට වූයේ මුතුපර සඳහායි. ඒ ගැන ඓතිහාසික සාධක විල්පත්තුව ප‍්‍රදේශයේත්, විලච්චිය ප‍්‍රදේශයේත් අදටත් සඳහන්ව ඇත.

ඩොරික් බංගලාවේ නටබුන් ශිලාවතුර වැල්ලේ සිට කියාපානුයේ මෙරට ඉතිහාසයේ තවත් එක්තරා පැතිකඩකි.

මන්නාරමට වැටෙන අධික අව් රශ්මිය මේ දැවැන්ත ගොඩනැගිල්ලේ දැවැන්ත ගඩොල් බිත්තිවලින් සිසිල්කර තිබෙන්නට ඇත. ඒ බටහිර ජාතීන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ සාමාර්ථකමකි.

ගොඩනැගිල්ලේ  කොටස් නටබුන්වී

මන්නාරම් වෙරළ තීරයේ 1800 ගණන්වල ඉදි වූ  මෙරට පැවැති මනස්කාන්තම නිවහන වන ‘ඩොරික් බංගලාව’ නම් මෙය පුරාවිද්‍යා සංරක්‍ෂණය කට ලක් නොකිරීමෙන් ශීඝ‍්‍ර විනාශයකට ලක් වෙමින් පවතී.

මෙරට පාලනය කළ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ පෙඩි‍්‍රක් නෝර්ත් මහතා නැවතී සිටි නිවහන මෙය බවට විශ්වාස කෙරේ. ග‍්‍රීක ව්‍යවහාරයක් වන ‘ඩොරික්’ යන්නෙහි අදහස වන්නේ දැවැන්ත කුළුණු සහිත ආරුක්කුවලින් සමන්විත වීමයි. ගී‍්‍රක සම්ප‍්‍රදායට මෙම ගොඩනැගිල්ල පෙඩි‍්‍රක් නොර්ත් මහතාගේම සැලසුමකට අනුව ඉදිකර වූ බව කියැවේ.

ඒ අනුව මූදට නුදුරු ගල් පර්වතයක් මත මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ප‍්‍රධාන ගොඩනැගිල්ල ඉදිකර ඇත. පහත මාලය කාමර හතරකින් හා විශාල සාලයක් සහිතව තිබූ අතර ඉහල මාලය ද නිදන කාමරයකින් යුක්ත විය. 1804 දී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල පිළිබඳව 1807 රචිත ඩිස්කි‍්‍රප්ෂන් ඔෆ් සිලෝන් කෘතියෙහි සඳහන් වන්නේ ‘‘එය අවිවාදයෙන්ම මේ දිවයිනේ පිහිටි මනස්කාන්තම නිවහන වන අතර ගෘහ සැලසුම් ශිල්පයට අනුව නිමවන ලද එකම ඉදිකිරීම විය හැකිය.’’ යනුවෙනි.

ශ්‍රී ලංකාවේ වටිනාම මුතුපර සහිත කොණ්ඩච්චි මූදු බොක්කේ මුතු වෙළෙඳාම එවකට ඉතා දියුණු මට්ටමක පැවැති අතර එම වෙළෙඳුන්ගෙන් ඇතැම් අය මෙම ස්ථානයේ නවාතැන් ගත බව ඉතිහාසයේ සඳහන්ය. රොබට් නොක්ස් ගේ කෘතිය වන ‘‘එදා හෙළදිව’ හි තවත් බොහෝ තොරතුරු අඩංගු වෙයි.
උඩරට රාජධානි ඉතිහාසයේ සුප‍්‍රකට කරල්ලියද්දේ බණ්ඩාරගේ දියණිය දෝන කතිරිනාව සිරකරගෙන සිටි ස්ථානයක් ලෙස ද මෙය සැලකේ.

දමිළ බසින් ‘අල්ලේ රාණි කොටුව’ යනුවෙන් හැඳින් වූ මෙය විනාශ කර දැමීමට එවකට ත‍්‍රස්තවාදීන් පවා කටයුතු නොකර තිබේ. යුද්ධය නිමා වීමෙන් පසු උතුරේ පුරාවස්තු සංරක්‍ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ සටහන් රාශියක් දියත් කළේය.

ඩොරික් බංගලාවද සංරක්‍ෂණය කළ යුතු තැනක් ලෙස නම්කර තිබේ. එහෙත් අද වනවිට මූදු ඛාදනයටත් සංරක්‍ෂණය නොවීම නිසා දිරාපත් වීමටත් එය ලක්ව තිබේ.

වසර 200 ක් පැරණි මෙය ජාතික උරුමයක් ලෙස ආරක්‍ෂා කළ යුතු වුවත් අද වන විට ගොඩනැගිල්ලේ බටහිර බිත්ති රැුසක් මූදට පෙරළී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම්කර ඇති මුත් සංරක්‍ෂණ වැඩ පිළිවෙළකට මුදල් නොමැති බව පවසයි. මේ වන විට නාවික හමුදාව එය ආරක්‍ෂා කරයි.

මේ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා කියා සිටියේ මෙය සංරක්‍ෂණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් තනිව කළ හැක්කක් නොවන බවයි.

මේ ගැන අපේ අවධානය යොමු වෙලා තිබෙන්නේ වෙරළ ඛාදනයක් සිදුවන නිසා ගොඩනැගිල්ලේ භාගයක්ම මූදට වැටිලා. මේ වැඬේට වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවත් එක් විය යුතුයි. අප මේ ගැන ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තුමාට දැනුම් දීමෙන් පසු එතුමා මේ සඳහා නාවික හමුදාවට කටයුතු කීපයක් පැවරුවා දැන් ඔවුන් එය ආරක්‍ෂා කරනවා මේ පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වීම වැදගත් බවද සෙනරත් දිසානායක මහතා කීය.
අද කවුරුත් කතාකරන්නේ සංචාරක ව්‍යාපාරය ගැනය. මන්නාරමට එවැනි දැවැන්ත සංවර්ධනය මගක අවශ්‍යතාවද බොහෝ දැනේ. මන්නාරම අරිප්පු ප‍්‍රදේශයේ සුන්දර වෙරළ තීරයට සංචාරකයින් ගෙන්වා ගැනීමට මහඟු සම්පතක් හා ජාතික උරුමයක් වන මෙය රැක ගත යුතුව ඇත.

 

අනුරාධපුර සරත් මනුල වික‍්‍රම

 

ගස් වැවී ඇති ප‍්‍රධාන ගොඩනැගිල්ල

 

සාලයේ ආරුක්කු අතරින් මූද පෙනෙන අයුරු

 

 

ඉහළ මාලයට වෙරළක් ගරා වැටුණ කොටසත් මෙලෙස දිස්වේ