09_PAGE_22_M 6 1

 

ඉරාන ජාතික ෂියා ඉස්ලාම් ආගමික පූජකයකු ඇතුළු 47 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට සෞදි අරාබිය ගත් තීන්දුවත් සමග මේ වනවිට ඉරානයත් සෞදි අරාබියත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුද ගණනාවක් පැන නැගී ඇති ආකාරයක් දක්නට ලැබේ. පෙළ ගැසෙමින් තිබෙන සිදුවීම් අනුව මේ ප‍්‍රශ්නය මුළු මැදපෙරදිග කලාපයම උණුසුම් කිරීමට සමත්ව ඇති බවක් පෙනේ. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සහ ප‍්‍රතිවිපාක පිළිබඳ විදෙස් තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා දක්වන අදහස් මෙසේය.

 


මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සෞදි අරාබිය පුද්ගලයන් හතළිස් හත් දෙනෙකුට මරණ දඬුවම පැනවීය. එසේ මරණ දඬුවමට යටත්වූ පිරිසගෙන් ඇතැමුන් හිසගසා දැමීමෙන් මරණයට පත් කළේය. තවත් සමහරුන් වෙඩි තැබීම මගින් මරණයට ලක් කළේය. මියගිය එම පිරිස අතර ඉතාමත් ප‍්‍රකට පූජකයෙක්ද සිටියේය. එනම් සෞදි අරාබියේ ෂියා ඉස්ලාම් පූජකවරයෙකු වන ෂේක් නිමාර් බකර් අල් නිමාර්ය. ඔහු ෂියා මුස්ලිම්වරුන්ගේ මෙන්ම සෙසු ආගමික කොටස් අතරද ගෞරවයට පාත‍්‍රවූ උගත් ආගමික නායකයෙකි. හෙතෙම අත්අඩංගුවට ගෙන තිබුණේ 2012 වසරේදීය. එනම්, 2011 වර්ෂයේදී ආරම්භවූ අරාබි වසන්තයේ පළමු ජනතා නැගිටීම මර්දනය කිරීමෙන් පසුවය.


මරණ දණ්ඩනයට පමුණුවන අවස්ථාවේ ඔහු සිටියේ සිරගෙදරය. සෞදි රජය පෙරළා දැමීම සඳහා විදේශ මැදිහත්වීම් සැලසුම් කළේය යන්න ඔහුට එරෙහිව ඉදිරිපත්වූ ප‍්‍රධාන චෝදනාවයි. මේ චෝදනාව සම්බන්ධයෙන් අල් නිමාර් ගේ ප‍්‍රතිචාරය වුණේ තමන් සෞදි අරාබියේ පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමට කතා කළ බව සත්‍ය වන නමුත් ඒ සඳහා කිසිදු විටෙක විදේශ මැදිහත්වීම් සිදු කිරීමට පෙළඹවීම් සිදු නොකළ බවත් ආයුධ සන්නද්ධ අරගලයකට සැලසුම් නොකළ බවත්ය.


ඔහුගේ එම ප‍්‍රකාශය සත්‍ය බව හැඟවෙන ප‍්‍රමාණවත් සාක්ෂි දක්නට ලැබේ. සිය අනුගාමිකයන්ට ඔහු හැම විටම කියා සිටියේ තුවක්කුවට වඩා වචනය ප‍්‍රබල බවය. අනෙක් අතට අරාබි වසන්තයේදී සෞදියේ පාලන රටාව වෙනස් විය යුතු බවත්, නිදහස් හා සාධාරණ මැතිවරණයකින් පාලකයන් තෝරාගත යුතු බවත් ඔහු කියා සිටියේය. සෞදි අරාබියේ ෂියා ඉස්ලාම් ආගමිකයන්ගේ ප‍්‍රතිශතය එරට මුළු ජනගහනයෙන් සියයට පහළොවක් (15%) පමණ වේ. 
අල් නිමාර් සමග ඝාතනය වූ සෙසු හතළිස් හය දෙනාට එරෙහිව එල්ලවී තිබූ චෝදනා අතර අල්ක්වයිඩා ත‍්‍රස්ත සංවිධානයට උදව් කිරීම හා සහයෝගයෙන් කි‍්‍රයා කිරීම, රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම යනාදිය ප‍්‍රමුඛ වේ. මෙලෙස හිස ගසා දැමීමෙන් සහ වෙඩි තැබීමෙන් ඝාතනය කළ අයගේ සිරුරු ප‍්‍රසිද්ධ ස්ථානවල ප‍්‍රදර්ශනය කිරීමට සෞදිය කටයුතු කළේ ආණ්ඩුවට විරුද්ධ සෙසු පිරිස් බිය වැද්දවීම සඳහාය.

h
මෙම ඝාතනවලින් පසු ලෝකයේ රටවල් ගණනාවක් එය හෙළා දැකීමට කටයුතු කළ අයුරු අපි දුටුවෙමු. තවත් සමහර රටවල් ඒ පිළිබඳ කනස්සල්ල පළ කරමින් කම්පා වන ආකාරයක්ද දැක ගන්නට ලැබිණි. එම ඝාතනවලට එරෙහිව ප‍්‍රබලම විරෝධය පළ කළේ ඉරානයයි. ඉරානය ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි. අනෙක් අතට ඉරානය සහ සෞදි අරාබිය අතර දිගු කාලයක් මුළුල්ලේ පටන් ගැටුමක් පවතී. 1979 දී සිදුවූ ඉරාන විප්ලවයෙන් පසු එම රටේ ආණ්ඩු පෙරළියක් සිදු කිරීමේ අරමුණෙන් සෞදි අරාබිය ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කළ රටකි. 


සෞදි අරාබිය විසින් කි‍්‍රයාවට නංවනු ලැබූ මෙම මරණීය දණ්ඩනයන් හෙළා දකිමින් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ප‍්‍රකාශයක් නිකුත් කළේය. සිය වෙබ් අඩවියේ මේ සම්බන්ධ කාටුන් පළ කිරීමටද හෙතෙම පියවර ගෙන තිබිණි. මේ සියල්ල මධ්‍යයේ ඇතිවූ තවත් වර්ධනයක් නම් ඉරානයේ සෞදි අරාබියානු තානාපති කාර්යාලයට ෂියා ඉස්ලාම් භක්තිකයන් පිරිසක් එකතුවී පහර දී ගිනි තැබීමය.


කෙසේ වෙතත් ඉරාන රජය එම ප‍්‍රහාරය මෙල්ල කරමින් ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. එය සිදුවූයේ ජනවාරි දෙවැනිදාය. මේ සිදුවීමට අදාළව ඊට පසුදින දැක ගන්නට ලැබුණු වර්ධනය නම් සෞදි අරාබිය, ඉරානය සමග පැවැත්වූ තානාපති සබඳතා අත්හැරීමට කටයුතු කිරීමය. එය ඉතා බරපතළ දේශපාලන වර්ධනයකි. මන්ද මෙම කලාපයේ සාමයට එවැනි කි‍්‍රයාමාර්ගයකින් ඇතිවන බලපෑම ඉතාම සුවිශාල නිසාය. තවත් ඉස්ලාම් රටවල් දෙකක් වන බහරේනය සහ සුඩානය ද සෞදි අරාබිය අනුව යමින් ඉරානය සමග පැවැති තානාපති සබඳතා අත්හැරීමට කටයුතු කළේය. සුඩානය මින් පෙර ඉරානයට පක්ෂපාතීව කටයුතු කළ රාජ්‍යයකි. නමුත් සෞදි අරාබියෙන් ලැබුණු විශාල මුදල් ආධාර නිසා සුඩානය සිය ස්ථාවරය වෙනස් කොට තිබේ.
මීළඟට අප විමසා බැලිය යුත්තේ මෙම වර්ධනයට සමගාමීව ඇතිවිය හැකි ප‍්‍රතිඵල කවරේද යන්නය. අප මේ කතා කරන අවස්ථාව වනවිට අල් නිමාර් පූජකයා මරණ දණ්ඩනයට ලක් කිරීමෙන් පසු හටගත් කම්පනයන් ඉදිරියට යමින් තිබේ. මෙහි අවසානයට කුමක් විය හැකිද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.


මා දකින පරිදි මෙහි මූලිකව දක්නට ලැබෙන්නේ ඉස්ලාම් ආගමේ නිකායවාදී ගැටුමකි. එනම්, සුන්නි ඉස්ලාම්වරුන් බහුතරයක් සිටින අරාබිකරයේ රාජ්‍යයන්ගේ සහ ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයක් අතර ගැටුමකි. තමන්ගේ ආගමික නිකාය ව්‍යාප්ත කිරීම සඳහාත් එය අධිපති බලය බවට පත්කර ගැනීම සඳහාත් මෙම ගැටුම පවතී. නමුත් එම ගැටුම පිටුපස වෙනත් දේශපාලනික ආර්ථික සාධක තිබෙන බවද වසන් කළ නොහැකිය. මෙම වර්ධනයන් නිසා සිදුවිය හැකි දෙයක් වන්නේ මැදපෙරදිගත් සෙසු මුස්ලිම් රටවලත් යම් ප‍්‍රමාණයකට ආගමික නිකායවාදී යුද්ධයක් ඇතිවීමට හැකි පරිසරයක් නිර්මාණය වීමය. එවැන්නක් සමස්ත අරාබි ලෝකය පුරාම ඉතාම බලවත් අයුරින් ඇතිවීමටද පුළුවන. සෞදි අරාබිය, යේමනය, බහරේන්, සිරියාව, ඉරාකය, ඉරානය ආදී රටවල මේ ගැටුම් ඇතිවිය හැකිය. 


බියකරු සාහසික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මේ වනවිටත් සිදු වෙමින් තිබෙන අතර ඉදිරියේදී ද ඒවා සිදුවිය හැකිය. මැද පෙරදිග කලාපයෙන් බැහැර මුස්ලිම් රටවල පවා යම්කිසි ආගමික නොසන්සුන්තාවක් ඇතිවීමට මෙම සිද්ධිය බලපෑ හැකිය. ඉන්දුනීසියාව, මැලේසියාව වැනි මැදපෙරදිග කලාපයට ඈතින් පිහිටි රාජ්‍යයන්හි වුව එවැනි තත්ත්වයක් මතුවීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේද මේ හේතුවෙන් බෙදීමක් ඇති විය හැකිය.


මෙවැනි ආගමික යුද්ධවලට මැදිහත්වන රටවල ජනතාවට මෙන්ම ඉන් බැහැර රටවල ජීවත්වන ජනතාවටද ඒ මගින් යහපත් ප‍්‍රතිඵල උදාකරදී නැති බව ඉතිහාසයේ සිදුවූ එවැනි ආගමික යුද්ධ ආශ‍්‍රයෙන් අපට අවබෝධ කරගත හැකිය. 


නිදසුනක් ලෙසට 16 සහ 17 වැනි සියවස්වලදී යුරෝපයේ ඇති වූ කි‍්‍රස්තියානි යුද්ධ දැක්විය හැකිය. එම යුද්ධ ඇතිවූයේ කතෝලික හා ප්‍රොතෙස්තන්ත කි‍්‍රස්තියානි ආගමිකයන් අතරය. කි‍්‍ර.ව. 1520 සිට 1660 දක්වා කාලයේදී ජර්මනිය, ඉතාලිය, එංගලන්තය ආදී ප‍්‍රධාන පෙළේ මධ්‍යම යුරෝපීය රටවල මෙවැනි ආගමික යුද්ධ සිදුවිය. ඒවා මගින් මහා මිනිස් සංහාර සිදුවිය. පසුකාලීනව සිදුවූ තිස් අවුරුදු යුද්ධ සඳහා හේතුවූයේ ද ඉහත සඳහන් කළ ආගමික සංග‍්‍රාමයන්ය. තිස් අවුරුදු යුද්ධය පැවැතියේ 1618 සිට 1648 දක්වාය. දේශපාලන, සාමාජීය හා සංස්කෘතික යන ක්ෂේත‍්‍රයන්හි බරපතළ හානි මේ යුද්ධ නිසා එම රටවලට සිදුවිය. කිසිදු රටකට මේවායෙන් උදාවූ යහපතක් නැත. එම කලාපයෙන් බැහැර රටවලද අස්ථාවරත්වයක් බෙදීමක් ඇති වීමට එම ආගමික යුද්ධ මුල් විය.


මේ පසුබිම සිහියේ තබාගෙන මෙම සිදුවීම කෙරෙහි අවධානය යොමු කිරීමේදී ප‍්‍රථම කොට දැකිය හැකි කාරණයක් වනුයේ මෙම කි‍්‍රයාවලිය සෞදි අරාබිය විසින් සැලසුම්සහගතව කි‍්‍රයාවට නංවන ලද්දක් වන බවය. 2012 දී අත්අඩංගුවට ගෙන මරණ දඬුවමට නියම කළ ෂියා මුස්ලිම් පූජකවරයා මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින ඝාතනය කිරීම මගින් සෞදි අරාබියට අවශ්‍ය වී තිබෙන්නේ මැදපෙරදිග කලාපයේ ආණ්ඩුවලට සහ තමන්ගේ රාජ්‍යයට විරුද්ධ කණ්ඩායම්වලට පණිවුඩයක් ලබා දීමටය. එනම් සිය රටේ ආණ්ඩුවෙහි වෙනසක් සිදු කිරීමට යෝජනා කරන කවරෙකු වුව ත‍්‍රස්තවාදියකු ලෙස සලකා බියකරු දඬුවම් ලබාදීමට කටයුතු කරන බවය.


මෙහි තවත් පැත්තක් අපට දකින්නට පුළුවන. එනම්, අද වනවිට ලෝකයේ රටවල් 140 ක් පමණ මරණ දඬුවම අහෝසි කර තිබීමය. මීට දින කීපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශකර තිබුණේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම අහෝසි කරන ලෙසය. ලංකාවේ කලක සිට මරණ දඬුවම කි‍්‍රයාත්මක නොවුණ ද මරණ දඬුවම පැනවීම අඛණ්ඩව සිදුවේ. 


මෙවැනි අවධියක මේ ආකාරයට මිනිසුන් හිසගසා මරා දැමීම සහ එම හිස නැති මළ සිරුරු ප‍්‍රසිද්ධ ස්ථානවල එල්ලමින් ප‍්‍රදර්ශනය කිරීම මනුෂ්‍යත්වයට කැළලකි. ශිෂ්ටාචාරයට නිගාවකි. එවැනි නිගාවන් සිදුවෙමින් තිබියදී සෙසු රටවල සාධාරණ තත්ත්වයන් යටතේ සිදුවිය හැකි මානව හිමිකම් උල්ලංඝනයවීම් ගැන විශාල ඝෝෂාවක් නගන බටහිර ජාතීන් මේ සිදුවීම ගැන ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවක් පෙනේ.
ඇමරිකාවට මැද පෙරදිග කලාපයේ සිටින හිතෛෂීම රාජ්‍යය වන්නේ සෞදි අරාබියයි. සෞදි අරාබිය ඩොලර් බිලයන ගණන් ඇමරිකානු සමාගම්වල අයෝජනය කර තිබේ. ඇමරිකාවට මැදපෙරදිග කලාපයේ ගෙනයන සෑම සන්නද්ධ කි‍්‍රයා මාර්ගයකටම ආක‍්‍රමණයකටම සෞදි අරාබියේ සහාය ලැබේ. 1991 දී හා 2003 දී ඇමරිකාව විසින් ඉරාකයට පහර දෙනු ලැබීමේදී සහ 2011 දී ලිබියාවට කළ මැදිහත්වීමේදීත් වර්තමානයේදී සිරියාවට කරන මැදිහත්වීමේදීත් සෞදි අරාබිය සහාය පළ කළ අයුරු සහ පළ කරන අයුරු ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. එවැනි සහයෝගයක් ලැබෙන නිසා ඇමරිකාව මේ සිදුවීමට විශාල හඬක් නගන්නේ නැත. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ නිවේදනය මගින් මෙලෙස කෲර අන්දමින් මිනිසුන් මරණයට පත් කිරීම හෙළා දැකීමට පියවර ගෙන නොතිබිණි. සිදුවීම වෙන අතකට හැරවීමට ගත් උත්සාහයක් එහි ගැබ්වී තිබේ. සත්‍ය වශයෙන්ම අමෙරිකාව කළේ කනස්සල්ල පළ කිරීමක් පමණි.


ලෝක දේශපාලන කතිකාවේ තිබෙන වංචනික ස්වභාවය මෙමගින් පෙන්නුම් කෙරේ. ඇමරිකාව ඇතුළු රටවල මේ කි‍්‍රයා කලාපය ඔවුන් කතා කරන මානව හිමිකම් ප‍්‍රවර්ධනයට බාධාවකි. මානව හිමිකම් සංවිධාන පවා සෞදි අරාබියේ සිදුවන මේ බිහිසුණු කි‍්‍රයාකාරකම් ගැන දක්වන්නේ ඉතාම ලිහිල් සහ ඇල්මැරුණු ප‍්‍රතිචාරයකි. මේ තත්ත්වයට හේතුව වන්නේ මැදපෙරදිග කලාපයේ තිබෙන තෙල් සම්පත පාලනය කිරීම සඳහා සෞදි අරාබියේ සහාය ඔවුන්ට අවශ්‍ය වීමය. එහිදී ඇමෙරිකාව ඇතුළු බලවතුන් සෞදි අරාබිය කරන සැහැසිකම් හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පුදුමයට කාරණයක් නොවේ.
ෂියා සහ සුන්නි මුස්ලිම් නිකායික ගැටුම් වඩාත් ප‍්‍රචණ්ඩ ලෙස 21 වැනි සියවසේදී මේ ආකාරයට මතුවීමට බලපෑ හේතුවක් තිබේ. එනම්, ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය ලෝකයට බොරු කියමින් 2003 දී ඉරාකය ආක‍්‍රමණය කිරීමට ගත් කි‍්‍රයා මාර්ගයයි. ඒ ආක‍්‍රමණය නිසා අද වනවිට ඉරාකය නොනිල රාජ්‍යයන් තුනක් බවට පත්ව තිබේ. එක් කොටසක සුන්නි මුස්ලිම්වරු සිටිති. තවත් කොටසක ෂියා මුස්ලිම්වරු සිටිති. බලය තහවුරු කරගෙන සිටින්නේ කුර්දි ජනයාය. මේ කණ්ඩායම් තුන ඉදිරියේදී එක්වේ යැයි සිතිය නොහැකිය. අද වනවිට ඉරාකයේ ෂියා-සුන්නි නිකායන් අතර ගැටුම් ඉතාම බිහිසුණු ඒවා බවට පත්වී තිබේ.


කෙසේ වෙතත් මේ වර්ධනයත් සමග සිදුවිය හැකි තවත් ප‍්‍රතිවිපාක තිබේ. සිරියාවේ ගැටුම් නිරාකරණය කිරීම පිණිස ආරම්භ කිරීමට යෝජිත සාම සාකච්ඡුා බිඳවැටිය හැකි අනතුරක් නිර්මාණය වීම එකකි. යේමනයේ දැනට ඇතිවී තිබෙන තත්ත්වය උත්සන්නවීමටද මේ තත්ත්වය බලපෑ හැකිය. බහරේනයෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා නිර්මාණය වී තිබෙන පරිසරය අවුල්වීමටද මේ ගැටුම හේතුවක් විය හැකිය.

m