”අතිගරු ජනාධිපතිතුමාගේ සේනාධි නායකත්වයෙන් යුද්ධය ජයග‍්‍රහණය කළේ නැවත එවන් යුද්ධයක් එන එක සදාකාලිකව නැවැත්වීමටයි. එවන් යුද්ධයක් නැවත එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිටරට සිට ඉල්ලනවා. නැවත බෙදල වෙන් කරල එවැනි යුද්ධයකට පාර කපන්න මේ දෙමළ ඩයස්පෝරාව මාන බලනවා. එ් අයට දෙන්න පුළුවන් හොඳම උත්තරය එවැනි ප‍්‍රශ්නයක් නැවත ඇති නොවෙන්න ජාතික ප‍්‍රශ්නයට මුල් වූ කරුණු හොයල ඊට දේශපාලන විසඳුමක් ලබාදෙන එකයි. ” ”එවන් දේශපාලන විසඳුමක් ලබා දෙන්න මේ රටේ කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ විරුද්ධ කෙනා කරන්නේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ වුවමනාවට සමපාත වන එකයි. දෙමළ ජනතාව අතර දෙමළ ජාතිවාදය පතුරුවල වෙනම ඊළමක් ඉල්ලන එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිටරට සිට නඟන හඬට ලොකුම උදව්ව ලංකාව ඇතුළෙ ඉඳගෙන කරන්නේ සිංහල ජාතිවාදය පතුරුවන, දෙමළ ජනතාවට විරුද්ධව මත ගොඩනගන සිංහල ජාතිවාදීන්. මේ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්තක්. එදා එල්.ටී.ටී.ඊ. ඝාතන ලැයිස්තුවල සිංහල ජාතිවාදී නායකයන් සිටියේ නැහැ. ඔවුන්ගේ එක මයිලක්වත් සෙලවුණේ නැහැ.” හාලිඇළ පසුගියදා පැවැති රණවිරු සමරු රැලියකදී මේ ප‍්‍රකාශය කළේ විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරායි. ප‍්‍රාදේශීය මට්ටමින් කෙරෙන ඉහළ තලයේ රණවිරු රැුලියක් වෙත්නම් එය වාර්ෂිකව හාලිඇළ පැවැත්වෙන ඩිලාන්ගේ රැලිය බව ප‍්‍රකටය. ඩිලාන් කවදත් ජාතීන් අතර සුහදතාව හා සහෝදරත්වය අවංකවම අපේක්‍ෂා කළ දේශපාලනඥයෙකි. උතුරේ   ඇත්තේ ජනවාර්ගික අර්බුදයක් බවත් ඊට දෙමළ  ජනතාවගේ විශ්වාසය හා ගෞරවයට පාත‍්‍රවන දේශපාලන විසඳුමක් අවශ්‍ය බව හැමදාම පිළිගත් නායකයෙකි. ඇමැතිකමකට, මන්තී‍්‍රකමකට හෝ ආණ්ඩුවක රැඳී සිටීම වෙනුවෙන් කිසිදිනක ඔහුගේ මේ ස්ථාවරය වෙනස් කරගත්තේ නැත. මේ දේශපාලනය තුළ එවන් අයගේ පැවැත්ම ද දුෂ්කරය. එහෙත් දේශපාලන වශයෙන් යම් යම් අවාසි සිදු වුවද හැමදාම ඔහු තම ස්ථාවරයේම සිටියේය. කිසිදු බලපෑමකට හෝ මූනිච්චාවට හෝ හෙතෙම තම මතය වෙනස් කරගත්තේ නැත. මෙවන් දේශපාලනඥයෝ  ඕනෑම රටක විරලය. විශේෂයෙන්ම රණවිරු උපහාර රැුලියක දී ඩිලාන් කළ ඉහත දැක්වෙන ප‍්‍රකාශය වඩාත් වැදගත් වන්නේ මේ දිනවල ද්‍රවිඩ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මඩකළපුවේ පැවැති තමිල් අරසුකච්චි 14 වැනි සමුළුවේදී කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය හා සැසඳීමේදීය. එය මඩකළපුවේ දී නැවත පුපුරාගිය බෝම්බයකට සමානය. කෙටියෙන්ම සඳහන් කරන්නේ නම් සම්බන්ධන් නැවත ජාතිවාදී මඩගොහොරුවක පය තබා කකුල කටේ දාගෙනය. දෙමළ ජනතාව නියෝජනය කරන පැරණි අත්දැකීම් සහිත කෘතහස්ත දේශපාලනඥයකු ලෙස ඔහු එවන් කතාවක් නොකිය යුතුව තිබුණි. එහෙත් අපේ රටේ දේශපාලන සෙල්ලමේ හැටියට මෙවන් කතා අසන්නට ලැබීම පුදුමයක් නම් නොවේ. සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා දැන් මේ පැරැණි නායකයන් අලූතින් සිතීමට නොහැකි කල් ඉකුත් වී ගිය භාණ්ඩ වැනිය. එහෙත් අපට ප‍්‍රශ්න විසඳා ගැනීමට සිදුවී තිබෙන්නේද ඔවුන් සමඟය. ඩිලාන් වැනි දේශපාලනඥයන්ගේ වටිනාකම වැඩි වන්නේ මෙවන් පසුබිමකය. රණවිරු රැලියකදී වුවද ඔහු තම දේශපාලන ස්ථාවරය වෙනස්කර ගන්නේ නැත. යාපනේ දී සිංහ කොඩිය ඔසවා ”ඒකීය” ශී‍්‍ර ලංකාවක් තුළ බලය බෙදාගැනීමට සූදානම් යැයි සම්බන්ධන් කී කතාව නිසා ඔහුට එරෙහිව යම් යම් ජාතිවාදී බලවේග කි‍්‍රයාත්මක වූවා විය හැකිය. ඒ සම්බන්ධයෙන්ද පසුගිය සමයේ විවිධ වාර්තා දෙමළ පුවත්පත්වල පළවිය. මේ නිසා සම්බන්ධන් දෙමළ දේශපාලනය තුළ රැුඳී සිටීමට පැරණි ස්ථාවරයකට මාරු වූවා විය හැකිය. යුද්ධය නිමාවට පත් වී තෙවසරක් ගතවූ පසුව ද ප‍්‍රශ්නයට විසඳුම් ප‍්‍රමාදවන විට මෙවන් ජාතිවාදී ප‍්‍රවණතා ඇතිවීම ස්වාභාවිකය. ඊට හේතුව ප‍්‍රශ්නයට විසඳුමක් ගෙන එ්මට දෙමළ අන්තවාදීන් මෙන්ම සිංහල අන්තවාදීන් ද කැමති නැතිවීමයි. අමාත්‍ය ඩිලාන් පෙරේරා කෙටියෙන්ම සඳහන් කරන්නේ එම සත්‍යයයි. ”උතුරු නැගෙනහිර දෙමළ නිජබිමය. දැන් අහිංසවාදීව අපේ අරමුණු ඉටු කර ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. කිසිසේත්ම සන්නද්ධ අරගලයකට නොයා යුතුය. වෙන ම රාජ්‍යය වෙනුවට එක්සත් ශී‍්‍ර ලංකාවක් තුළ ස්වයංපාලන ඒකකයක් ලබා ගැනීමට හැකි වී තිබේ. එය ඉන්දියාවේ හා ඇමරිකාවේ සහායෙනි. ඒ නිසා ඒ අය අමනාපවන වැඩ නොකළ යුතුය.” මේ සම්බන්ධන්ගේ මඩකළපු දේශනාවේ හරයයි. ඕනෑම නායකයකුට තමන්ට අයත් ජනවර්ගය ගැන කතා කිරීමේ අයිතියක් තිබේ. ආර්. සම්බන්ධන්ට ද එම අයිතිය ඇත. එහෙත් වාර්ගික අර්බුදයක් මතු වී එය රටක් දෙකඩ වීමේ බිහිසුණු යුද්ධයක් බවට පරිවර්තනය වීමෙන් පසු නැවත එළඹෙන සාමකාමී සංහිඳියාවේ දී සෑම වර්ගයකම නායකයන් කතා කිරීමේ දී වගකීම් සහගතවීම වැදගත්ය. එසේ නොමැති වන්නේ නම් නැවත රටට දිගුකාලීන සාමයක් උදාකර ගැනීම දුෂ්කර වේ. මේ සියල්ලට මුල නිදහසින් පසු වසර 64 ක් ගෙවී ඇති නමුදු අපට ”ශී‍්‍ර ලාංකික ජාතිය” ගොඩනගා ගැනීමට නොහැකි වීමයි. ඊට මෙරට ආණ්ඩු කළ සියලූම පක්ෂ වගකිව යුතුය. එසේම එක්සත් ජාතික පක්ෂයට, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට මෙන්ම තමිල් අරසුකච්චි පක්ෂයට ද එම වගකීමේ වැඩි බරකට කරගැසීමට සිදුවේ. ප‍්‍රශ්න ඇතත් ඉන්දියාව එය ඉටුකරගෙන ඇත. ඒ සඳහා සියලූ ජාතීන්ට පිළිගත හැකි නම්‍යශීලී ව්‍යවස්ථාවක් හදාගැනීමට ඔවුනට හැකිවිය. අපට එය නොහැකි වී තිබේ. ඊට හේතුවද දේශපාලන අවස්ථාවාදයමය. අපේ ව්‍යවස්ථාව තුළ දෙමළ ජනයා පිටස්තරයන්ය යන මතයක් ඔවුන් අතර පවතී. අප කොතෙක් එසේ නැතැයි කීවත් ඔවුන් එය විශ්වාස කරන පාටක් පෙනෙන්නට නැත. ඊට තමිල් අරසුකච්චි වැනි දෙමළ ජනතාවගේ දේශපාලන පක්‍ෂ ගෙනගිය ප‍්‍රචාර ද හේතු වී ඇත. සැබෑ දේශපාලන විසඳුමක් අපේක්‍ෂා කරන්නේ නම් සියල්ලම පැරණි ස්ථාවරයන් වෙනස් විය යුතු බව මේ වයෝවෘද්ධ දේශපාලනඥයන්ට අමුතුවෙන් කියාදිය යුතු නැත. මඩකලපුවේ පැවැති තමිල් අරසුකච්චි 14 වැනි සමුළුව ද යම් දුරකට පැරණි දේශපාලන මඩගොහොරුවේම නැවත නැවත ගිලූණාසේය. යල්පැනගිය නිජබිම් සංකල්ප නැවත වැමෑරීමට පටන්ගෙන තිබෙන්නේ ඒ නිසාදැයි කියන්න දන්නේ නැත. ”නිජබිම” යන්නට විවිධ අර්ථකතන තිබිය හැක. සාමාන්‍යයෙන් ”නිජබිම” යන්නෙන් අදහස් කරන්නේ යම් ජන වර්ගයක මුල් උප්පත්තිය ලැබූ බිම යන්නයි. මෙය එක් අර්ථයකි. ඒ අර්ථයෙන් ගත්කල මේ රට යම් තරමකට හෝ නිජභූමියක් වන්නේ ”රාවණ යුගයේ” සිට ජීවත්වන ගෝති‍්‍රක ජනයා වෙත්නම් ඔවුනගේය. ඒ අනුව ”යක්‍ෂ ගෝති‍්‍රකවරුන්ගේ නිජබිම මහියංගණයයි. නාගයන්ගේ කැලණියයි. දේව ජනයාගේ සබරගමුවයි. අන් හැමෝම විවිධ යුගවල මෙරටට පැමිණි පරදේශක්කාරයෝ වෙති. ආර්යයන් ශී‍්‍ර ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවට එන්නේද සින්දු නිම්නය දිගේ පර්සියාව හරහාය. විවිධ අර්ථකථන ඔස්සේ මේ තෝම්බු දිගහැර ගැනීම නිෂ්ඵලය. මේ අර්ථයෙන් ඉන්දියාවේ වුව ද ”නිජබිම” කාරයන් හෙවත් ආදිවාසීන් සිටින්නේ සියයට 5 ක් යැයි කියැවේ.  මේ රටේ පුරවැසියන් වන සියලූ ජනයාට මිනිසුන් මෙන් ජීවත්වීමට ඇති සම අයිතිවාසිකම් ගැන කතා කිරීම සාධාරණය. යථාර්ථවාදීය. දෙමළ ජනයාට සුළු ජනකොටසක් වීම නිසා යම් අසාධාරණයක් සිදු වී තිබේ නම්, එසේ සිදු වී තිබේ යැයි ඔවුන් තුළ ආත්මගත විශ්වාසයක් වෙත්නම්, එය 30 අවුරුදු වාර්ගික යුද්ධයකට හේතු වූවානම් එ් ගැන සාකච්ඡා කර විසඳුමකට පැමිණීම සාධාරණය. ඊට ද හොඳ ආදර්ශයක් අපේ අල්ලපු රටින් වුවද ගත හැකිය. තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළේම ”පොන්ඩිචේරි” නමින් බලතල සහිත වෙනම ඒකකයක් බිහි වී තිබෙන්නේ ජනවාර්ගික විවිධත්වය මත ගොඩනැගෙන විවිධ සංස්කෘතික සම්ප‍්‍රදායන්ට ගරු කිරීමක් වශයෙනි. ඒ තරමටම ඉන්දියානු ව්‍යවස්ථාව නම්‍යශීලීය. මේවා ගැන කතා කිරීමෙන් තොරව යුද්ධයෙන් අපට වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට නොහැකිවීම නිසා අහිංසාවාදයෙන් අන්තර්ජාතික ප‍්‍රජාවගේ සහායෙන් ලබාගත හැකි ”ස්වයං පාලනයක්” ගැන කතා කිරීම සම්බන්ධන් වැනි පැසුණු දේශපාලනඥයකුට තරම් වන්නේ නැත. එමගින් ඔටෝ චූන් වූ සිංහල අන්තවාදීහු දැන් ”ගනු කඩුව එනු සම්බන්ධන් සටනට..” කියන තැනට උෂාර් වී සිටිති. එයද වැරදි ඉසව්වකට අර්බුදය ගමන් කරවීමකි. ප‍්‍රශ්නයට විසඳුමක් සොයාගැනීමට ඇති මේ ස්වර්ණමය අවස්ථාව නැතිකර ගැනීමකි. ජාතිකවාදී අන්තවාදය සිල්ලර දේශපාලන ජනපි‍්‍රයත්වයට යහපත්විය හැකිය. එහෙත් ජාතීන් කීපයක් ජීවත් වන රටක එය වහා ගිනි ඇවිළෙනසුළුය. රටවල් දෙකඩ වීමේ ප‍්‍රවණතා මතුවන්නේ එවන් කි‍්‍රයාදාමයන් ඔස්සේ බව අමුතුවෙන් කිවයුතු නැත. පසුගිය ජනාධිපතිවරණයේ දී සතියක් දෙකක් තුළ උතුරු නැගෙනහිර හා සම්බන්ධ වූ ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ප‍්‍රමාණය 85,000 පමණ යැයි කියවේ. මින් බහුතරය එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවෙන් විය හැකිය. ඔවුන් උතුරු නැගෙනහිර ජනමතය හැසිරවීමට කරනු ලබන බලපෑම මින් පැහැදිලි වේ. මළවුන් අතරට යෑමට පෙර ප‍්‍රශ්නය විසඳා ගැනීමට වුවමනාවක් ඇතත් ආර්. සම්බන්ධන් වැනි නායකයකුට වුවද එවන් දැඩි බලපෑමක් එල්ලවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. ඉල්ලන මිනිහා හැමදාම ඉල්ලන්නේ වැඩියෙන්ය. ඉල්ලන ප‍්‍රමාණයට නොලැබෙන බව ඉල්ලන්නා වුවද හොඳින්ම දනී. මේ නිසා දෙමළ සන්ධානයේ ඉල්ලීම් සම්බන්ධයෙන් කලබල විය යුතු නැත. වැදගත් වන්නේ ඔවුන් සාකච්ඡුාව තුළ රඳවා ගැනීමයි. ඉන්දියාව හා ඇමෙරිකාව එක්වී විසඳුමක් ලබාදෙන තුරු ළතවීමේ දේශපාලනයෙන් ඔවුන් මුදවා ගැනීමයි. එසේම වැදගත්වන්නේ රට නොබෙදා බලය බෙදා හදා ගැනීමක් තුළින් ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමයි. පළාතක් හෝ කිසියම් වූ ඒකකයක් වෙත බෙදන බලය නැතිනම් ”පරිධියට” බෙදන බලය වැරදි ලෙස පරිහරණය කරන්නේ නම් යළි මධ්‍යම රජයට පවරා ගතහැකි නම් බලය බෙදීමට බියවන්නේ මන්දැයි කියන්න දන්නේ නැත. වරක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ආසියානු සංගමය අමතා කළ කතාවේදී සඳහන් කළේ දේශපාලන විසඳුමක් සෙවීමේදී වචනවල එල්ලී සිටීමට තමා සූදානම් නොමැති බවයි. ඒ නිසා වැදගත් වන්නේ කි‍්‍රයාත්මක වන ක‍්‍රමවේදය මිස වචන නොවේ. එවන් ක‍්‍රමවේදයක් සොයාගැනීමේදී බාහිරව තැන තැන මොනවා කතාබහ වුවද සාකච්ඡාව සිදුවිය යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රජයේ මෙහෙයවීමෙන් ද්‍රවිඩ සන්ධානය ද නියෝජනය වන සාකච්ඡා මණ්ඩපයකින් වීම අද දවසේ යථාර්ථයයි.
වසන්තප‍්‍රිය රාමනායක