වසර විස්සකට කලින් ඇෆ්ගනිස්තානය ගැන ලාංකේය බොදුනු ජන කොටස්වලට මහත් උනන්දුවක් තිබුණි. තලෙයිබාන්වරු බාමියන් බුදු පිළිම විනාශ කරන ප්‍රහාරයක් එල්ල කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සමස්ත මනුෂ්‍ය සංහතියම විස්මයට පත් වූහ. බාමියන් බුදුපිළිමවලට හයවැනි සියවස දක්වා ඉතිහාසයක් තිබේ. එකක් මීටර් 38 ක් සහ අනෙක මීටර් 55 උස මෙම ශෛලමය ප්‍රතිමා ගාන්ධාර ලක්ෂණ සහිතය. තලෙයිබාන්වරු එයට එල්ලකරන ලද බර අවි ප්‍රහාර වලින් ලෝක උරුමයක් සේ සලකන මෙම ප්‍රතිමා සහමුලින්ම විනාශයට පත් වූ බව මතක් කළ යුතුය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මෙම පිළිම නැවත ප්‍රතිෂ්ඨාපනය කරන සේ යෝජනා කළහ. එහෙත් ප්‍රතිඵලයක් අත් වූයේ නැත. සහෝදර ජනතාව කුසගින්නේ සිටිය දී ලෝක ප්‍රජාව බාමියන් පිළිමවල ආරක්ෂාව සඳහා මුදල් වැය කිරීම ගැන තලෙයිබාන්වරුන් අමනාපයෙන් පසු වූ අතර ලෝක අවධානය වෙනස් කිරීම මෙම විනාශයට තුඩු දුන් හේතුව බව, එකල ඇතැම් තලෙයිබාන් නායකයන් ප්‍රකාශ කරන ලද බව ජාත්‍යන්තර වාර්තා දක්වයි.

හිටපු පාලකයන් පලවා හරින ලද තලෙයිබාන්වරු ඇෆ්ගනිස්තානයේ තාවකාලික රජයක් ස්ථාපිත කර තිබේ. වසර විස්සකට කලින් බාමියන් ලෝක උරුමය විනාශ කළ පිරිස අද වගකිවයුතු තැන්වලය.

ඇෆ්ගනිස්තානය වෙනස් කරමින් සිටී. සංවර්ධන යෝජනා ක්‍රම ගැන කතා කරයි. ඉස්ලාම් නීති අනුගමනය කරන බව පෙනේ. කාන්තා නියෝජනයක් රහිත තලෙයිබාන් නායකයන්ගේ කැබිනට් මණ්ඩලයක් ඉක්මනින් පත් කරනු ඇතැයි කියැවේ. පළවෙමින් පවතින තොරතුරු අනුව නුදුරු කාලයේ දී තලෙයිබාන් පාලනය ජගත් ප්‍රජාවගේ පිළිගැනීමට ලක්වන බව පැහැදිලිය.

තලෙයිබාන්වරු බලය අත්පත් කරගැනීම සමග ජාත්‍යන්තර දේශපාලනය ද කැළඹී තිබේ. ඇමරිකානු හමුදා ඉවත් කරගැනීමෙන් පසු හිතවාදී රටවල් නිශ්ශබ්ද වී සිටින බව පෙනේ. පකිස්තානය, ඉන්දියාව, චීනය හා රුසියාව වැනි රටවල් අලුත් පාලකයන් සමග නිල සම්බන්ධතාන අරඹන්නට ඉඩ ඇත. එවැනි පැති ගැන අවධානය යොමු කළ යුතුය. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සමග ඉදිරියේ අලුත් ව්‍යුහයක් නිර්මාණය වෙමින් තිබෙන බව පැහැදිලිය.

ශ්‍රී ලංකාව අනුගමනය කරන ස්ථාවරය ගැන පැහැදිලි කරගැනීම වැදගත්ය. බොදු උරුමය වෙනුවෙන් පෙනී සිටින රටක් වශයෙන් බාමියන් ප්‍රතිමා ගැන සඳහනකට යා යුතුය. ලෝක වාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් තීරණයක් ගැනීමට සිදුවෙයි. ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර සබඳතා ඇති කරගන්නට සිදුවුවහොත් එයට කලින් බාමියන් බුදු පිළිම ගැන ප්‍රකාශයක් නිකුත් කිරීම කාලෝචිතය. නැවත ස්ථාපනය කිරීම හෝ දැනට එරට ඇති අනෙක් ඓතිහාසික වැදගත්කමක් සහිත පුරාවස්තු ආරක්ෂා කරන බවට සහතිකයක් ඉල්ලා සිටිය හැකිය. මහා සංඝරත්නයට හා බෞද්ධ සංවිධානවලට මෙකී කාරණය ගැන ගැඹුරෙන් සලකා බැලීම සුදුසුය. බෞද්ධ ජනතාව  ශක්තිමත් යෝජනාවක් රජයට ඉදිරිපත් කළහොත් එය ජගත් ප්‍රජාව හමුවේ තබන අවස්ථාවක් රටට තිබේ.

බාමියන් බුදු පිළිම බුදු දහමේ සංකේතයකි. එක සමාජයකට හෝ ජන කොටසකට අයත් වස්තුවක් නොවේ. බුදු පිළිම විනාශ කිරීම හිත් සසල කළ සිදුවීමකි. එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් බව ප්‍රකාශ කරන තීරණය තුළ එම සංකල්පය ගැබ්ව ඇත. මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරගත යුතු සංකේත වෙනුවෙන් හඬක් නගන වගකීමක් අපට තිබේ.

අද පවතින වාතාවරණයෙන් පසු ඇෆ්ගනිස්තානයේ සිවිල් යුද්ධය අවසන් වනු ඇතැයි සැලකේ. තලෙයිබාන් නායකයන්ට රට නගා සිටුවන පියවර අනුගමනය කරන්නට බාධාවක් නොවන්නට ඉඩ තිබේ. සංවර්ධනය උදෙසා ජගත් ප්‍රජාව ආධාර කරන්නට කලින් ඔවුන් සිය ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් අනුගමනය කරන බව ලෝකය ඉදිරියේ දැක්විය යුතුය. ත්‍රස්තවාදය වෙනුවට සාමය තහවුරු කර සියලු ආගම් හා සියලු ජාතීන්ට එක හා සමානව සලකන බව ඔප්පු කිරීම සඳහා බාමියන් ප්‍රතිමා නැවත ප්‍රතිෂ්ඨාපනය ගැළපෙන සහතිකයක් වනු ඇත.

(***)
මිලින්ද මොරගොඩ          
www.milindaprashna.wordpress.com