හමුදා නිලධාරින් අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම, පොලිස් ප්‍රධානීන්ට එල්ල වන චෝදනා, හමුදාපති හා හිටපු හමුදාපති අතර විවාදය, ඒකාබද්ධයේ ජන බලය, 20ට එරෙහි සිවිල් සංවිධාන මතය, ඊළඟ ජනාධිපතිවරණය හා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි.

ප්‍රශ්නය - නඩු පැවරීමකින් තොරව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා දැඩි ලෙස දෝෂාරෝපණය කිරීමට ජනාධිපතිවරයා පසුගියදා කටයුතු කළා. ජනාධිපතිවරයාගේ මේ දේශපාලන ප්‍රතිචාරය ගැන ජවිපෙ මතය කුමක්ද?

පිළිතුර - බලය සහ ධනය තිබෙන අයට නීතිය ක්‍රියාත්මක නොවීම අපේ රටේ දිගටම සිද්ධවෙච්ච දෙයක්. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වී දඬුවම් ලැබී තිබෙන්නේ බලය නොමැති දුර්වල ධනය නොමැති දුප්පතුන්ටයි. ජනාධිපතිවරයාගේ මේ මැදිහත්වීම හරහාත් පෙන්නුම් කරන්නේ ඒ යථාර්ථයයි. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරිය නෙරපාහැරියෙත් ධනවතුන්ට බලවතුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය නිසයි. අපේ විශ්වාසය නීතිය හමුවේ කටයුතු කරනවා නම් ඔවුන් දරන තනතුර නිලය ඔවුන්ගේ ඉතිහාසයේ යම් සාධනීය කාර්යභාරයන් ඒ කිසිවක් සැලකිල්ලට භාජන නොකළ යුතුයි. නඩුවක් පැවරීමට පෙර සාක්ෂි තොරතුරු එක්රැස් කරගත යුතු බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම වැළැක්විය යුතු බවත් ජනාධිපතිවරයා නොදන්නවා නෙවෙයි. එසේ නැතිව වරද කළ අය ස්වෙච්ඡාවෙන් සිල් රෙදි පොරවාගෙන ඇවිත් සාක්ෂි සටහන් ලබාදෙන්නේ නෑ. ඒ සාක්ෂි ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිසි බලයක් දිය යුතුයි. ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ අරමුණ මේ පරීක්ෂණ යටපත් කිරීමයි. 

ප්‍රශ්නය - පාතාලය ද හවුල් කරගනිමින් ජනාධිපතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමට පොලිස් ප්‍රධානියකු කුමන්ත්‍රණ කළ බවට වූ අනාවරණය සමඟ රටේ ආරක්ෂාව ගැන විශාල සංවාදයක් හටගෙන තිබෙනවා. මේ සිදුවීම ජවිපෙ දකින්නේ කොහොමද?

පිළිතුර - ඒ ඉදිරිපත් වූ කරුණුවල සත්‍ය අසත්‍යතාවය ගැන සීයට සීයක නිවැරැදිතාවයක් අප සතුව නෑ. කෙසේ වුවත් අපේ රටේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කප්පම් ගැනීමට මිනී මරලා හිරේ ඉන්නවා. රාජ කුමාරවරුන්ගේ ඝාතන යටපත් කිරීමට සාක්ෂි මෙහෙයවලා තිබෙනවා. ඒකට නියෝජ්‍ය පොලිස්පතිවරු රිමාන්ඩ්භාරයේ හිටියා. තමන්ගෙ දේශපාලන වුවමනා වෙනුවෙන් පරීක්ෂණ යටගැසීම් ඝාතන කුමන්ත්‍රණයන්ගේ ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය සමග සැසඳීමේදී මේ සිදුවීම කිසිසේත් බැහැර කළ නොහැකියි. අදාළ ප්‍රකාශ ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. කාලයක් තිස්සේම බල වුවමනා වෙනුවෙන් නීතිවිරෝධී සන්නද්ධ කණ්ඩායම් පාතාලය වැනි අය පාවිච්චි කළා වගේ නිල රාජ්‍ය යාන්ත්‍රණයත් උපයෝගී කරගත් ඉතිහාසයක් ඇති බැවින් කිසිසේත්ම කාලයේ වැලි තලාවෙන් යටවීමට ඉඩ නොදී පරීක්ෂණයක් කර ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුයි. ජවිපෙ අපට නම් මෙය අරුම පුදුම දෙයක් නෙවෙයි.

ප්‍රශ්නය - රටේ ජාතික ආරක්ෂාව අනතුරේය යන්න ඒකාබද්ධ විපක්ෂය දිගටම එල්ල කළ චෝදනාවක්. එහෙත් දැන් යුද්ධයට අණ දුන් හමුදාපතිවරයා වෙච්ච සරත් ෆොන්සේකාම බල ඇණි 33 ක් වසා දමමින් අනවශ්‍ය අවදානමක් ගැනීමට හමුදාව කටයුතු කරන බව කියනවා. ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම එල්ල වන මේ විවේචනය සරල නැහැ නේද?

පිළිතුර - මේක ආණ්ඩුවක් නෙවෙයි. එක් එක් දේශපාලන බල වුවමනා අනුව ගොඩනැගුණු රංචුවක්. ඒ නිසා ඒ රංචුව ඇතුලේ නිරන්තරයෙන්ම කා කොටාගැනීම කුලල් කාගැනීම් හා බල වුවමනා වෙනුවෙන් ප්‍රකාශ නිකුත්වීමේ ස්වභාවයක් තිබෙනවා. අප කියවාගත යුත්තේ ඔහුගේ හඬ පමණක් නෙවෙයි. ඒ හඬ තුළ ඇති දේශපාලන වුවමනාවයි. විශේෂයෙන්ම හමුදාවන් ඇතුලේ යම් ගැටුම්කාරී තත්ත්ව තිබෙන බව අපි දන්නවා. ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයෙන් බැලුවොත් ඔහුව සිරගත කිරීමේ ක්‍රියාවලියේදී හමුදාවේ යම් යම් පාර්ශ්ව සාක්ෂි මෙහෙයවලා වගේම සාක්ෂි දීලාත් තිබෙනවා. එනිසා ඔහු යම් කරුණු සම්බන්ධයෙන් පුද්ගලික ගැටුම්කාරී ස්වභාවයකින් කටයුතු කරනවා. කෙසේ වුවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන ජනාධිපතිවරයා තමන්ගේම කැබිනට් ඇමැතිවරයකු රටට කරන ප්‍රකාශවල තත්ත්වය ගැන රටට ප්‍රකාශයක් කළ යුතුයි. 

ප්‍රශ්නය - කොළඹට ගැලූ ජන බලයෙන් වැඩියෙන්ම කලබල වුණේ ජවිපෙ යැයි ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරු කියනවා. ජවිපෙ ඇත්තටම කලබල වුණාද?

පිළිතුර - ඔව්. අපට කලබලයක් තිබෙනවා. අපගේ පාර්ලිමේන්තුවේ යම් සම්ප්‍රදායක් තිබුණා නම් රාජපක්ෂ පාලනය එය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා. ජනතාවට අධිකරණය ගැන විශ්වාසයක් තිබුණා නම් ශිරාණි බණ්ඩාරනායක නෙරපාදැමීමේ සිට අරලියගහ මන්දිරයේ සිට නඩු තීන්දු ලිවීම දක්වා ක්‍රියාවලියෙන් එයත් විනාශ කර දැමුවා. මේ රටේ දේශපාලන පක්ෂ පිළිබඳ විශ්වාසයක් තිබුණා නම් මැරයන් කුඩු මුදලාලිලා ළපටි දැරිවියන් වැනි අවර ගණයේ කණ්ඩායම් කැඳවාගැනීමෙන් එයත් නැති කළා. ඒ මොන තත්ත්වයක් තිබුණත් අවසානයේදී ජනතාවට ජන බලය ගැන විශ්වාසයක් තිබුණා. ආණ්ඩුවක් රටට ජනතාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලදී ජනතාව පාරට බැස සටන්කිරීම ඉතාම හොඳ මතවාදී බලපෑමක් කළ හැකි අවියක් ලෙස එම ජන සටන් ඉතිහාසගත වී තිබුණා. හැබැයි පස්වැනිදා කරපු වැඩෙන් එම ජන සටන්වලට තිබූ ගෞරවනීයභාවය හා සටන්කාමීත්වය මුළුමනින්ම විනාශකරලා දැම්මා. යළි සටන් කරන බලවේගයකට සටන් කිරීමට බැරි තරමට එම සටන් ක්‍රියාමාර්ගය පහත් තත්ත්වයට දමා විරෝධතාව විනෝදතාවක් බවට පත්කළා. ඈත ගම්වලින් ආපු අහිංසක මිනිස්සු බීලා තැන තැන වැටිලා නිදාගන්න මුත්‍රා කරන්න තැනක් නැතිව ලයිට් කණු දිගේ බඩගාමින් මේ කරන ලද විකෘතිසහගත ක්‍රියාවෙන් ජන සටන් ගැන තිබූ ජනතා විශ්වාසය බිඳ දැමුවා. ඒකාධිපති රජයන්ට එරෙහිව ජන සටන් ප්‍රබලතම අවියක් හැටියට විශ්වාසය කළ ව්‍යාපාරයක් හැටියට ජනතා ව්‍යාපාරයන් මේ සා පහත් අඩියකට වැට්ටවීම ගැන අපට කලබලයක් තිබෙනවා.

ප්‍රශ්නය - ඒකාබද්ධ ජන බලයෙන් කොළඹ අඩපණ වූ බවත් ඊළඟ වටයේදී රට පුරා වැඩි වර්ජන මාලාවක් දියත් කරන බවත් කියනවා. වෘත්තීය සමිති හයියක් ඇති ජවිපෙ මේ ඊළඟ වටය ගැනත් කලබල විය යුතු නැද්ද?

පිළිතුර - කිසිසේත් නෑ. මොකද අඩපණ වුණේ ඔවුන් මිස කොළඹ නෙවෙයි. මහා සටනට පස්සේ කිරි පැකට් එකක එල්ලිලා විලිවසාගන්න දරන උත්සාහයෙන්ම මේ අඩපණ වීම පෙන්නුම් කරනවා. විනයක් නීතියක් සහිත රාජ්‍යක් සෑදිය හැකි බවට මැද පංතිය චූන් කිරීමට පසුගිය කාලයේ ඔවුන් සටන් පාඨයක් හැදුවා. හැබැයි මේ විසිපන්දාහක විතර කණ්ඩායමක් කොළඹ ගෙනැල්ලා හික්මීමක් හදන්න බැරි දේශපාලනයට මේ රටට විනයක් ගේන්න පුළුවන් කවදාද? 

ප්‍රශ්නය - ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් 20 වැනි සංශෝධනය ගෙනැවිත් 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීම හරහා බෙදුම්වාදයට පාර කපන්නේ යැයි ඇතැම් භික්ෂු සංවිධාන චෝදනා කරනවා. ඒකීය රාජ්‍ය විශ්වාස කරන භික්ෂුන් වැනි කණ්ඩායම් මෙවැනි මතයක් දැරීම ජවිපෙ වැඩේට කොහොම බලපාවිද?

පිළිතුර - අපේ රටේ භික්ෂූන් විශාල සංඛ්‍යාවක් රටත් ජනතාවත් ගැන හැඟීමකින් කටයුතු කරනවා. ඒ අතරේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් බෞද්ධ ථෙරවාදය වෙනුවට රාජපක්ෂවාදය ප්‍රචාරය කරමින් සිටිනවා. කොල්ලකරුවන්ට පිරිත් නූල් බඳින්නේ, කොල්ල කාලා හිරේ ගියාම පිණ්ඩපාතේ වඩින්නේ, මිනීමරු දේශපාලකයන්ගේ රැකවරණය වෙනුවෙන් පෙනීසිටින්නේ ඒ නිසයි. ඒ නිසා උන්වහන්සේලාගේ ප්‍රකාශ දේශපාලන ප්‍රකාශ මිස සංඝපීතෘවරුන් වහන්සේලා මගපෙන්වන්නන් ලෙස කළ ප්‍රකාශ නෙවෙයි. උන්වහන්සේලාට යම් ගැටලුවක් තිබෙනවා නම් අපි සාකච්ඡා කරන්න සූදානම්. අවබෝධයකින් තොරව කියන අයට කරුණු කියා දැනුම්වත් කළ හැකියි. නමුත් දැන දැනම වංක තක්කඩි වුවමනා වෙනුවෙන් කරන දේශපාලන ප්‍රකාශවලට කරුණු කීමෙන් පලක් නෑ. රටේ බෙදුම්වාදය ගැන බොහෝ අයට වඩා සටන් කළ ඉතිහාසයක් තිබෙන්නේ ජවිපෙටයි. රාජපක්ෂලා ජනයා පීඩාවට පත්කරද්දී තපස් රකින අනෙක් වෙලාවට කෑ මොර දෙන අය වගේ නෙවෙයි. මේ රට බෙදීමට තුඩු දෙන කිසිදු කරුණක් 20 වැනි සංශෝධනයේ නොමැති බව අප සෘජුව කියනවා. ජනාධිපති වගේම පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රම ලෝකයේ තිබෙනවා. නිරපේක්ෂ වශයෙන් මේ දෙකෙන් කෝකද හොඳ කියලා කාටවත් කියන්න බෑ. නමුත් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය රටේ ඉදිරි පැවැත්මටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් කොයි තරම් විනාශකාරී අත්දැකීමක්දැයි වසර හතලිහක අත්දැකීම් අපට තිබෙනවා. 2005 දි 2010 දි 2015 දි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා යැයි කියද්දී එය තමන්ගේ දේශපාලන සටන් පාඨයක් බවට පත්කරගෙන වේදිකාවට නගිනකොට ඒ වෙනුවෙන් කතා කළ අයම අද ඇවිත් ඒකට ප්‍රතිපක්ෂව කරුණු කියනවා. එනිසා රාජපක්ෂ වන්දනාව හැර වෙනස් දේශපාලන බලවේගයක් හෝ ජීවිකාවක් නොමැති අයට කොන්තයක් ඕනෑ. එනිසා ඔවුන්ගේ ප්‍රකාශ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම හෝ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් කළ ප්‍රකාශ නෙවෙයි. 

ප්‍රශ්නය - 20 වැනි සංශෝධනය ජය නොගතහොත් ජවිපෙ අනිවාර්යෙන්ම අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවට කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා පැවසුවා. මේ ප්‍රකාශය පක්ෂ සාමාජිකයින්ගේ ප්‍රතිචාර හා එළඹෙන ජනාධිපතිතිවරණය අරභයා අනිකුත් දේශපාලන පක්ෂ ක්‍රියාකාරකම් විමසාබැලීමට කළ එකක් යැයි ඇතැම් දේශපාලන විචාරකයන් පවසනවා. මේ තර්කය පිළිගන්නවද?

පිළිතුර - ජවිපෙ කියන්නේ පහළම සාමාජිකයාගේ සිට ඉහළට අදහස් ගලාගෙන එන අභ්‍යන්තර සංවිධාන ජාලයක් හා අභ්‍යන්තර ප්‍රජතන්ත්‍රවාදී ව්‍යාපාරයක්. එනිසා පක්ෂයේ අභ්‍යන්තර සාමාජික මතය ජනමාධ්‍යට ප්‍රකාශ කිරීමෙන් මනින සම්ප්‍රදායක් අපට නෑ. එහෙත් අපි ඉතාමත් වැදගත් දේශපාලන තීන්දුවක් ප්‍රකාශ කර තිබෙනවා. 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර නොගන්නේ නම් ජනාධිපතිවරණය අනිවාර්ය සාධකයක් වෙනවා. ඊට අපි විකල්ප අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එය මුට්ටිය දාලා බැලීමක් නෙවෙයි. නිශ්චිත වශයෙන් ජවිපෙ ගෙන තිබෙන තීරණයක්. විශේෂයෙන්ම 20 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා අධිකරණයේ විභාගයට ලක්කිරීමෙන් පලක් නෑ. මොකද මේක ව්‍යවස්ථා සංශෝධනයක්. නමුත් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළහැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන්ද නැද්ද යන්න අධිකරණයේදී විභාගයට ලක් කළ හැකියි. එසේ නැතිනම් තුනෙන් දෙක හා ජන මත විචාරණයකට ලක්කළ යුතුද යන්නත් සාකච්ඡාවට ලක්කළ හැකියි. ජනමත විචාරණයට තුඩු දෙන වගන්ති සංශෝධනය නොකිරීමට අපි මෙහිදී උත්සාහ ගෙන තිබෙනවා. එහෙත් මෙය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු යැයි අධිකරණ තීන්දුවක් දෙනවා නම් එය ඉතාමක් කැමැත්තෙන් පිළිගැනීමට අපි සූදානම්. එතකොට අපි පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාට කියන්නේ එය පාර්ලිමේන්තුවේදී අඩපණ කිරීමට ඉඩ නොදී එය ජනතාව වෙත ගෙනයාමට ඉඩකඩ නිර්මාණය කරන්න කියලයි.

ප්‍රශ්නය - ඇතැම් සිවිල් සමාජ කණ්ඩායම් දැන් සිටම කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයටත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය කියායි. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකුට අපේ සමාජයේ නැවත ඉඩක් තිබේද?

පිළිතුර - ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරුත් දිගුකාලීව ප්‍රජාතන්ත්‍රවාදයත් ආර්ථිකයේ සංවර්ධනයත් අපේක්ෂාවෙන් කවරෙකු හෝ රනිල් මෛත්‍රී සංයෝගය බලයට ගෙනාවා නම් ඔවුන්ගේ බුද්ධිය පරීක්ෂාවට භාජන කළ යුතුයි. ඒ වගේම ඔවුන් විවේචනයට බඳුන් කළ යුත්තේ තමන්ගේම දේශපාලනයේ දිළිඳුභාවයයි. ජනවාරි 8 රනිල් මෛත්‍රීට පැවැරී තිබුණේ ඉතාම සීමිත කාර්යභාරයක්. එතැනින් එහා ප්‍රගතිගාමී සමාජ ආර්ථික ජනතාවාදී ක්‍රියා ගැන ඔවුන්ගෙන් අපේක්ෂා කිරීමම වැරදියි. දිගුකාලීන දේශපාලන වුවමනා වෙනුවෙන් පෙළගැසුණු නමුත් ඊට මුළුමනින්ම පිටුපස හරවා කටයුතු කරන රනිල් මෛත්‍රී පාලනයට එරෙහිව ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතුයි. අද කාර්යභාරය තිබෙන්නේ එතැනයි. ඉතාම ප්‍රගතිශීලී වුවමනා නියෝජනය කළ ජන බලවේගයක් ජනවාරි 8 තිබුණා. මේ හවුල් ආණ්ඩුව අමුඅමුවේ පාවාදුන්නේ එම අපේක්ෂායි. අපේක්ෂකයා පොදුද කවුද කියන කාරණයට වඩා ජවිපෙ අවධානය යොමුකරමින් තිබෙන්නේ ඒ ප්‍රගතිගාමී ජනතා බලවේගයට නායකත්වය දිය හැකි මධ්‍යස්ථානයක් ගොඩනැගීමයි. පොදු අපේක්ෂක කියන්නේ ඉතාම තියුණු දේශපාලන සංකල්පයක්. ඊට තිබුණු මුළු හරයාත්මක වටිනාකමම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තූ තූ කොට විනාශ කර තිබෙනවා. එනිසා පොදු අපේක්ෂක නමැති ඉතාම හොඳ තියුණු දේශපාලන සටන් පාඨයක් අවලංගු කිරීම ගැනත් සිවිල් සමාජය තමන්ගේ කරුණු ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට භාජනය කරනවා නම් හොඳයි.

සංවාද සටහන -බිඟුන් මේනක ගමගේ